namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, July 17, 2025

Sinahala songs of 70s - Review - Number 03

ගීයක් යනු කිම?..... විමසා දැන ගනු  මැනවි... 03

 03 වාද්‍ය රසය 

එදවස මෙන්ම වත්මනෙහි ද ලාංකීය ගී රසිකයන්ගේ අවම අවධානයට ලක් වූ කාරණයකි. සිතුවමක් හැඩ වැඩ කරන්නේ වර්ණ යෙදීමෙනි. උත්සව ශාලාවක් විවිධ සැරසිලි මගින් වඩාත් ආකර්ශනීය බවට පත් කරයි. ගීයක සැරසිලි, වර්ණ සංකලනය එහි ආරම්භයේදී, පදකොටස් අතරවාරයේ දී හා ඇතැම් අවස්ථාවන්හිදී ගැයුම අවසන් වූ පසුවද යෙදෙන විවිධ සංගීත ඛන්ඩයන් ලෙස ගිණිය හැකිය. 

-------------------------------
පන්ඩිත් අමරදේවයන් හට සංගීතවේදී සරත් දසනායකයන්ගෙන් උපදෙසක්  සිනමා නඵ අධ්‍යක්‍ෂ මිල්ටන් ජයවර්ධන (දකුණේ) ඔවුන් දෙස බලා සිටී. (පා වේලා නිල් වලාවේ......... ගීතයේ පුහුණුවද ?)
---------------------------------

ඇතැම් ගීයක ගායකයා ගේ හඞට ප්‍රමුඛත්වය දී සංගීත රසය අවම මට්ටමකින් ඇතුළත් කරද්දී තවත් ගීතයක පමණ ඉක්මවා යෙදුනු වාද්‍ය රසයෙන් ගායකයා ගේ හඞ පෞරුෂය යටපත් කර දමයි.  ලාංකීය සංගීත ක්‍ෂේත්‍රයේදී තනු නිර්මාපකයා ම එහි සංගීත සංයෝජකයා එනම් අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන අවස්ථා බහුලය. එහෙත් ඇතැම් ගීතයන් හි තනුව අයෙකුගේය. සංගීත රටා මුසුව තවත් අයෙකු විසිනි.

ඉහත සඳහන් කරන ලද පරිදි, ගීයක තනුව මනසේ ඉපදී හැදී වැඩී යද්දී, අන්තර් වාද්‍ය සංගීත රටාවන්ද ඒ හා සමග මතුවෙද්දී, ක්‍ෂේත්‍රයේ නිපුණයෙකු, එහි ස්වර ලිපිය පිටපත් කරගනු ලැබූ අවස්ථාද, නැතහොත් එකී සංගීත ඛන්ඩ ඔහු ලවාම නිර්මාණය කරවා ගත් අවස්ථා ද වර්තා වේ. ඉන් අනතුරුව වාද්‍ය වෘන්දය නියෝජනය කරන ප්‍රවිණයන්ගේ ද සහභාගීත්වයෙන් අදාළ ස්වර රටාවන්, විවිධ සංගීත භාන්ඩයන් උපයෝගි කරගෙන වාදනය කෙරේ. ඒ අනුව එය ඇතැම් අවස්ථාලදී සාමූහික ප්‍රයන්තයකි. එහෙත්, ඇතැම් සංගීතඥයන් ඒ කටයුත්තට වෙනත් ශිල්පීන්ගේ යෝජනා අදහස් සැළකිල්ලට ගැනීම ප්‍රතික්‍ෂ්ප කරමින්. තමන් අවසාන තීරකයා බවට පත් වෙයි. 

බටහිර සංගීත විෂයෙහි යොදාගැනෙන සුසංවාද ප්‍රසංවාද ක්‍රමවේදයන් අනුව ගායනයේ මධුර බව තිව්ර කරගනී. ගීතය ගැයෙද්දී,ගායනයට පසුබිමෙන් සමාන්තරව විවිධාකාර සංගීත භාන්ඩ වාදනය කරවයි. ඒවාද එකිනෙක මිශ්‍ර කරවයි. සිනමා ජවනිකාවන් උදෙසා ගැයෙද්දී, ගී පද අතර විරාම සංගීත ඛන්ඩ දිර්ඝ වෙයි. ගීත සතරක් පමණක් ඇතුළත් වන වෙළඳ තැටියකදී නිර්මාණකරුවා වෙතට එල්ලවන සිමා බන්ධන වැඩිය. අවම කාලාන්තරයකදී ගීතය ගයා නිම කරවා දිය යුතු නොවන්නේ නම් තැටියේ එක් පැත්තක ගීත දෙකක් අඩංගු කිරීමෙන් වැළකි සිටිමට සිදු වේ.

ඇතැම් ගීතයක එකම ස්වර මාලාවක් වාදනය වන එකම සංගීත ඛන්ඩය පළමු සහ දෙවන විරාමයන් උදෙසා භාවිත කෙරෙද්දී, ඇතැම් සංගීවේදීන් විසින් එය වඩාත් විචිත්‍රවත් කරන්නේ අවස්ථා ද්විත්වය සඳහා වෙනස් විරාම සංගීත ඛන්ඩ වයමින්ය.

විදෙස් තනු උපයෝගී කොටගත් ගීතවල ඇතුළත් සංගීත ඛන්ඩ පවා අනුකරණය කරන්නට ඇතැම් අය පෙළඹි සිටියත් තවත් අය ඒවාට නව සංගීත ඛන්ඩ නිර්මාණය කරදෙයි. ඒ ගීතය ජනප්‍රසාදයට පත්ව ප්‍රතිනිර්මාණයේදී ඒ සංගීත ඛන්ඩ පවා ඉවත් කර වෙනත් නව සංයෝජනයන් සහ වාද්‍ය භාන්ඩ උපයෝගී කොට ගැනේ.

----------------------------

සංගීතවේදී ලංකා ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ නායක (80 දශකය) ටියුලින් ජයරත්න තමා වාදනය කළ වයිබ්‍රෆෝන් උපකරණය දෙස බලා සිටී... (මේ ගුවන් විදුලි මැදිරියකි)


පුංචි පංතිවල හැබෑම හුරතල්  - ටී එම් ජයරත්න සහ නාග සළඹ වැයෙන පදට  - මාලිනී බුලත්සිංහල සංගීත සංයෝජන සහ තනු ඔහුගේය. ඔහු මෙම උපකරණය නිතර වාදනය කරන ලද්දේ මහඇදුරු සනත් නන්දසිරි ගේ ගීත වලටය.  ඔහුගේ වයිබ්‍රෆෝන් වාදන ඇතුළත් ගීත අතර


ආදර සැමරුම් කැටිවූ නෙතු සඟලින්, උදා ලහිරු හිනැහේ, කාගේද මේ කෝමළ නාමලියා, මෙන්ම වික්ටර් ගේ ඒදන්ඩෙන් පිය මනිනු එපා.. වැනි ගීත වේ

-------------------------------

පුඵල් පරාසයක් විහිදී යන විවිධාකාර පෙරදිග සහ බටහිර වාද්‍ය භාන්ඩ සිය නිර්මාණයන් සඳහා යොදාගන්නට දිවයිනේ විශ්ෂ්ඨතමයන් වූ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න,සරත් දසනායක, වික්ටර් රත්නායක සහ කේමදාස වැන්නන් ක්‍රියා කළේය. එමගින් ඔවුන් වඩාත් විසිතුරු, රමණීය නිර්මාණ ඉදිරිපත් කළහ. ඒ සඳහා වාදකයන් විශාල සංඛ්‍යාවක සහභාගීත්වය සිදු විය.

සමහර ගීත ශ්‍රාවකයන් වෙතට සමීප කලේ ඒවයේ වදන්, ගැයුමේ මිහිර හෝ අරුත් නොවේ, පුර්ණ ලෙස එහි රිද්මය සමග වාද්‍ය සංගීත මුසුව විසින් ගීතය ජනප්‍රිය කරවීමේ මුඵ බර කරට ගත්හ.

ඉහත දැක්වූ අවස්ථාවන් සඳහ නිදසුන් සිංහල ගී ඉතිහාසය හාරා අවුස්සා එමට සපයා ගත හැකිය. 

සිනමාරූපි බවක් ආරුඩ කරගත් වෙළඳ තැටියක ඇතුළත් වූ ගීතයක ගැබ් වී තිබුනේ අතිදිර්ඝ සංගීත ඛන්ඩයන්ය. ඒවාද වාද්‍ය භාන්ඩ ගණනාවක සංකලනයකින් සමන්විත විය. ඉහතදී ගුවන් විදුලියෙන් නිරතුරු විසුරුවා හැර ජනප්‍රිය කර නොතිබුනේ නම්, වානිජමය අරමුණකින් බහිවන ගීතයක එවන් හැඩතල පැවතීම අතව්‍යශ්‍ය විය. 70 දශකයේ අගනුවරින් බැහැර, එනම් ත්‍රිකුණාමලය ප්‍රදේශය විසූ, ලාංකීය එකම ද්විත්ව සංගීත කරුවන් දෙපොළ වූ ’පරමේෂ් සහ කෝණේශ් ’ විසින් සංගීතවත් කරන ලදුව සිය පෞද්ගලික මුල්‍ය ආයෝජනයෙන් එය නිර්මාණය කරනු ලැබිය. 

-------------------
එම් පී පරමේෂ් සහ කෝණේශ් - ත්‍රිකුණාමලයේ සංගීතවේදී යුග්මය - 1970 දශකය
----------------


බටහිර සංගීත විෂයෙහි පැණෙන, නාදරටා ක්‍රමවේද මනාව ප්‍රකට කළ එය, ශ්‍රවණය කරන කවරෙකු හෝ ඊට සිනමා ජවනිකාවක පසුබිම් ගීතයකි යන ලේබලය දෙවරක් නොසිතා අලවනු නිසැකය.


දුර ඈත අතීතේ .............කඳු සීත පළාතේ ...........මල් පිබිදෙන කාලේ.............. දෙහදක කතන්දරේ...............

(අතුරු වාදනය)

අකාසේ සිඹින නීලවන් කඳුවැටි....සුදු මීදුමේ සිහින් සඵව ඔතාගෙන සිටි.........................

කඩාහැළෙන ඇල්ලක් ලග ඇයව හමුවුනා .... ඈගේ දෑසේ නිල් කැඵම්...ආදරේ හැගුම්...හදට සුව ගෙනේ...............

(සංගීතඥයන්ගේ තනුව අනුව පද රචනය සංගීතඥ ගීත රචක මෙල්රෝයි ධර්මරත්න විසිනි, ගැයුම ආචාර්ය වික්ටර් රත්නායක - 1974)

ඉහත සඳහන් පරිදි, ලාංකීය ගීත නිර්මාණයේදී තනු නිර්මාපකය සහ සංගීත අධ්‍යක්‍ෂවරයා බොහෝවිට තනි පුද්ගලයෙක් වූ අතර, ඔහු විසින් අතුරු වාද්‍ය ඛන්ඩ නිර්මාණය සහ තූර්ය වාද්‍ය භාන්ඩ අදේශ කිරීම සිදු කරයි. එහෙත්, ඔවුනොවුන්ගේ සල්ලාපයන්ගෙන් වාර්තාවන පරිදි, ස්වර ලිපියේ අන්තර්ගත නොවූ, වාදන ඛන්ඩ පසුව වාද්‍ය මන්ඩල සාමාජිකයන්ගේ අභිමතය අනුව ගීය හැඩවැඩ කරන්නට රොක්වෙයි. 

ගීතය පටිගත කරන අවස්ථාවේ , සංගීත අධ්‍යක්‍ෂනයේ නිපුණයෙකු හා දීර්ඝ අත්දැකීම් සහ පළපුරුදු නියමුවකු ගේ අධාර උපකාරය ලබන්නට උත්සුක වන අතර 70 දශකයේදී ඒ කර්තව්‍යය සඳහා ගුරු හරුකම් ලබා දී ඇත්තේ නැසිගිය සංගීතඥයන් වූ ’ආර් ඒ චන්ද්‍රසේන’ සහ ’එම් කේ රොක්සාමි’ විසිනි. අතිශය පුඵල් අත්දැකීම් සම්භාරයක් අත්කරගෙන සිටි ’රොක්සාමි’ ගේ සේවය දිවයිනේ ප්‍රකට සංගීතකරුවන් විසින් එදා නිරතුරු පැතීය. ඔහු වාදක මන්ඩලය නියෝජනය නොකරන අවස්ථාවකදී වුව, ගීතය පටිගතකරන ශබ්දාගාරයේ රැඳි සිටිනු දකින්නට ඔවුන් ප්‍රිය කළහ. රිසි වූහ.

ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය නිර්මණයන් උදෙසා පුඵල් පරාසයක පෙරදිග - බටහිර වාද්‍ය භාන්ඩ ගණනාවක් යොදා ගන්නට රිසි වු අතර ඒවා සියල්ලම පාහේ කැපී පෙනෙන 01 ආරම්භක සංගීත ඛන්ඩයකින්  02 අන්තර් වාදන ඛන්ඩ  03 සුසංවාද ප්‍රසංවාද සංගීත ඛන්ඩ වලින් අලංකෘතය. කොර් ඇන්ගලියිස් නම් වූ අපුර්ව, ලාංකීකයන්ට ආගන්තුක ශුෂීර වාද්‍ය භාන්ඩය සිංහල ගීත කරළියට පිවිසියේ ඔහුගේ අනුග්‍රහයෙනි.

’ආවා ආදරෙන් රන් කැඵම් දිදි ...............’ (කරුණාරත්න අබේසේකර) , ඉන්දුමතී හා බින්දුමතී (ප්‍රේමකීර්ති ද අල්විස්)’- මිල්ටන් මල්ලවාරච්චි , නීල බිගු කැළ (කේ ඩි කේ ධර්මවර්ධන - රජගෙදර පරවියෝ-1975) 

--------------------



වමේ සිට සංගීතවේදී එම් කේ රොක්සාමි (වයලීන්) සංගීතවේදී ග්‍රේෂන් ආනන්ද (ගිටාර්) පිටුපසින්, සංගීතවේදී මර්වින් පෙරේරා (වයලීන්), සංගීතවේදී පියදාස අතුකෝරාළ (සිතාර්)  සිංහල ගුවන් විදුලි ගීතයේ රසමියුරුබව මතුකළ පමුඛයන්ය. ඔවුන් සියඵදෙනා අප අතැර ගොසිනි.
-----------

සරත් දසනායක ගේ ගීතාවලිය රසවිඳින්නෝ මිහිරෙන් මත්වන්නේ ඔහුද ඒ ක්‍රමවේදය අනුගමනය කරන්නට  පෙළඹුනු බැවිනි. එහෙත් ඔහු  ගායනය පසුබිමෙන්  වාදනය වන සංගීත ඛන්ඩ යොදාගැනීම අවම කරගන්නට උත්සහ දරා ඇති  බව පසක් වෙයි.  පහත දැක්වෙන නිදසුන් ඊට සාක්‍ෂි සපයයි.

ආවා ආදරෙන් රන් කැඵම් දිදී - ආචාර්ය වික්ටර් රත්නායක සහ එම් කේ රොක්සාමී - සුසංවාද සංයෝජනය - වයලීන් පෙළ සහ මිල්ටන් මල්ලවාරච්චි ගී නාදයේ මුසුව 


බොඳ  මිදුම් කඳුරැල්ලේ ... -(අජන්තා රණසිංහ- දුහුඵ මලක් - 1976)  - සුජාතා අත්තනායක - අබේවර්ධන බාලසූරිය, රොන් සොයා පියඹන ... (කරුණාරත්න අබේසේකර - ආවා සොයා ආදරේ - 1975) - ලතා වල්පොළ, මන්දහාසේ මන්දහාසිනි.. (ධර්මසිරි ගමගේ - සමන්මලී - 1978) - ත්‍රී සිස්ටර්ස්, මුව මදහාසේ සීපද රාවේ... (සෝමපාල ලීලානන්ද - ආශා දෑසින් - 1978) - මිල්ටන් මල්ලවාරච්චි, මියුරු කල්පනා නෙතක දැල්වුනා .. (ප්‍රේමකීර්ති ද අල්විස් - දිනුම් කණුව - 1974) - වික්ටර් රත්නායක

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් උච්චාවචිත  ස්වර පරාසයේ දෝලනය කරවන වාද්‍ය රසය, සුසංවාද - ප්‍රසංවාද ශෛලියේ භාවිත කළ අවස්ථා ද නැත්තේ නොවේ.

සැනසුම් සුසුමන් පාවිලා ..(ගාමිණි විජේතුංග - නෑදෑයෝ - 1977) - ටී එම් ජයරත්න, ආදර මල් පවනේ (දුලිකා - 1973) - ලතා වල්පොළ, අඳුරු කුටිය තුළ (ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ) - ටී එම් ජයරත්න සහ අයිවෝ ඩෙනිස්,   

සිනමා සංගීතයේදී ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න උචිත පරිදි බටහිර ශීල්පීය ක්‍රමෝපායන් අනුගමනය කරන්නට පසුබට නොවීය.

සුපුන් සඳක් නැගීලා .... (ශ්‍රී නිහාල් ජයසිංහ-සිහින හතක් - 1966) - මිල්ටන් පෙරේරා - සුජාතා අත්තනායක

ආචාර්ය වික්ටර් රත්නායකගේ ’ස’ ප්‍රසංගයේ ප්‍රේක්‍ෂකාගාරය වශීකෘත කරන ලද්දේ, ඔහුගේ වාද්‍ය වෘන්දය නියෝජනය කළ ශූරයන් අතර ’සර්පිනා’ වාදනයේ අතිශූරයෙකු නැසගිය සංගීතඥ ’ඒලියන් ද සොයිසා’ ය.  මහඇදුරු සුනිල් ආරියරත්න පබැඳු  ප්‍රේක්‍ෂකාගාරයේ සාමාජිකයන් මනසින් ගම්මානයේ වෙල් නියර අද්දරට කැඳවාගෙන ගිය  ’ පොඩි කුමාරිහාමියේ ....එපා වලව්වට යන්න නියර පිට.....’ ගීතය වික්ටර් විසින් සංගීතවත් කොට ගැයුවේ එහි මනස්කාන්ත සර්පිනාවාදනයක යෙදෙන ’ඒලියන්’ වෙනුවෙන්දෝ යැයි වරෙක සිතේ. 

ගීයක රිද්මය පවත්වාගනු පිනිස තාල වාදනය කරන්නට ’දෙඅතින් වයන’ කිසියම් ’ඝන’ වර්ගීකරණයට අයත් භාන්ඩයක් යොදාගැනේ. එය පෙරදිග සංගීතයේදී ’තබ්ලා’ ද බටහිර සංගීතයේදී ’ඩ්‍රම්ස්’ හෝ වෙනත් සමාන වද්‍ය භාන්ඩයක්ද විය හැකිය. එදවස නිර්මාණකරණයේ යෙදුනු ලාංකීය ප්‍රවිණ සංගීත අධ්‍යක්‍ෂවරුන්, තමන් යෙදී සිටි කාර්ය භාරයේ ’සාමූහිකත්වය’ මනාව අවබෝධකරගනිමින්, වාද්‍ය වෘන්දයේ සහය වන වෙනත් ප්‍රවිණයන්ගේ අදහස් උදහස්, වාද්‍යලංකරන ඉවසා අනුමත කළ බවට තොරතුරු සාධක බොහෝය. 

ස්ටැන්ලි පීරිස්, සරත් දසනායක සහ ක්ලැරන්ස් විජේවර්ධන නිර්මාණයන් උදෙස පෘථුල දායකත්වයක් පළකල පර්කෂ්න්’ වාද්‍ය ශිල්පී ’ප්‍රේමනාත් කොඩිතුවක්කු’ ද විවිධ අවස්ථාවලදී තම සිතැගි පරිදි සිය සිතේ මැවෙන වාද්‍ය රටාවන්ගෙන් ගීතය රසගන්වන්නට උත්සුක විය. 1978 වසරේදී කැසට් පටයක් උදෙසාම හාපුරා කියා නව නිර්මාණ පෙළකින් පරිපූර්ණව දොරට වැඩි (Anytime - Anywhere)  ’එනිටයිම් - එනිවෙයාර්’ නමින් වූ මිල්ටන් මල්ලවාරච්චි කැසට් පටයේ ඇතුළත් 

සඳඵ තලේ ඔබ සිටියා බලා ......................

ඈත තියා මම දුටුවා ...............

අසුපිට එන සඳ .....ඔබ දැකගන්නට....

තවත් සඳක් දෝ...මට සිතුනා ............

ගීතයේ අසුකුර ගැටන හඞ මතුකරගන්නට ඔහු සිය ’කොම්බෝ’ උපකරණය මගින් නවමු තාලවාදනයක් උපදවා ගත්තේය. ඔහු විසින්ම තනු නිර්මාණය කරමින් සංගීත අධ්‍යක්‍ෂනයේ යෙදුනු, ගුවන් විදුලි සරළ ගීතයකට, සාම්ප්‍රදායානුකුල ’තබ්ලා’ වාදන රටාවට නවමු හැඩතලයක් එක්කර ගන්නට ඔහු සමත්විය. ඒ ’ඩ්‍රම්ස්’ කට්ටලයේ සුවිශේෂී උපාංගයක් වූ ’ස්නෙයා ඩ්‍රම්ස්’ වාදනයක් තබ්ලාව හා එකට මුසු කරගැනීමෙනි



එහි ගැයුම ඔහුගේ දෙටු සොයුරිය වූ ගුවන් විදුලි ගායන ශීල්පී ’චන්ද්‍රා බන්ඩාර’ සහ ’ෆීලික්ස් ඇන්ටන්’ ගෙනි. ගී පද සංකල්පනාව ප්‍රේමකිර්ති ද අල්විස් ගෙනි. මේ 70 දශකයේ මැද භාගයයි. 


හද ගී පොතේ පිටුවක් ඉරා...ලියා එවමි ආදරේ..............

සඳ ඉර හා තරු එළියේ ...පළමු ලියන ආදරේ..................


1978 තිරගත වූ ’අපේක්‍ෂා’ සිනමාවේදී එච් ඩී ප්‍රේමරත්න ගේ දෙවැනි නිර්මාණය වු අතර එය ’ක්ලැරන්ස් විජේවර්ධන’ ද සංගීත සංයෝජනයේ යෙදුනු දෙවැන්නයි. එහි තාල වාදනයේ යෙදුනේ ද ප්‍රේමනාත් කොඩිතුවක්කුය. ඇන්ජලීන් ගුණතිලක ගායන ශීල්පිනිය ගැයූ ගීතයකට ඔහු මනරම් ආරම්භක ’කොම්බෝ’ බෙර රිද්මයක් (Combo percussion)  සපයයි.

ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා.......

තුරුණු වියේ සිත ඔකඳ වෙලා...................

මතු කී ඒක පුද්ගල රසසාගරයේ කිමිද ගිය රසවතුන් ගේ නෙත්මානයේ රැඳි, වයලීනය අතදරා උපැස් යුවළකින් සැරසී ගත්, තවත් අයෙකු, වික්ටර් රත්නායකයන්ගේ පසුබිමින් රැඳි සිටියේය. ඔහු සිංහල සංගීත ක්‍ෂේත්‍රය මනනන්දනීය වාදනයෙන්, මධුරතර තනුවෙන් රසගැන්වූ සංගීතඥ මරද කොලොන්නේ රොක්සාමි එනම් කවුරුත් හොඳින් නමින් දැන හැඳනගත් ඉහතින්ද, මේ ලිපිමාලාව පුරාවටම නෙකවර නම සටහන් වන  ’එම් කේ රොක්සාමි’ ය. ’රොක් මාස්ටර්’ ගේ දායකත්වයෙන්, අධීක්‍ෂනයෙන්, සහයෝගයෙන්, යෝජනාවෙන්, උපදෙසින් තොර  සිනමා , වෙළඳ තැටි ඈ මෙකී කවරාකාරයේ  ගී පටිගතකිරීමක් සිදුවූයේ නම් එය අතිශය දුලබ අවස්ථාවක් විය හැකිය.  ඔහුගේ භාවපූර්ණිත වයලීන් වාද්‍ය ඛණ්ඩ ඇතුළත් ගීත මහත් රැසක් එදා සිංහල ගීතකෝෂ්ඨාගාරය පුරා විසිරි පැතිරී පැවතින.

මෙතැන් සිට ඉදිරියට ................


Thursday, June 12, 2025

Sinahala songs of 70s - Review - Number 02

ගීයක් යනු කිම?..... විමසා දැන ගනු  මැනවි... 02


 මහඇදුරු සුනිල් ආරියරත්නයන් තරම් උක්ත කාරණය පිළීබඳව ගී පබැඳු වෙනත් අයෙකු නොමැති තරම්ය. ඒවා ආචාර්ය නන්දා මාලිනිය විසින් 80 දශකයේ මුල් යුගයේ සිට පැවැත්වූ  ’සත්‍යයේ ගීතය’ සහ ’පවන’  


නම්ින් වූ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයන් හි ඇතුළත් විනි. ඉන් පරිබාහිරව ඔහු 70 දශකයේ ගුවන් විදුලි වැඩසටහනක් වෙනුවෙන් මෙසේ හෙළිදරවු කරන්නේ නව කුටුම්භයක් තනා තමාගෙන් දුරින් දුරස්ව යමින් පවතින සිය ආදරණිය දූ දරුවන් පිළිබඳව වියපත් මාතාවකගේ අතීතාවර්ජනයයි.


සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ.... දිගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ....

ලේලිය කැටුව මගේ පුතු වෙන්විය රහසේ....මං විතරයි තනිවම දැන් මගේ නිවසේ ....

දරුවන් ඇඳුම් අගැලුම් ගෙන සිටින්නෙම්ි... මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමි...

මරණයේ දොරකඩට සපැමින සිටින්නේමි....ලේ කිරි පෙවු දරුවන් දැක මියෙන්නෙමි...


(නන්දා මාලිනී ගැයුම, තනුව සහ සංගීතය)



සාහිත්‍ය කලාව පරිශිලනය පිළීකෙව් කරන, එසේම සංයමයකින්, ඉවසීම ප්‍රගුණ කරමින්, නිසි ගුරු ඇසුර අත්කරගැනිමේ අභිරුචියකින් තොරව, සිමා මායිම් ඉක්මවා තාක්‍ෂනයට වහල් ව යමින් පාරිභෝජනවාදී වානිජමය සමාජයක දිවි ගෙවන වර්තමානිකයන් ගේ නිර්මාණ උල්පත් කටු කොහොල් හැර කෙසේ පාදාගනු හැක්කේද?. අතළොස්සක් හැරෙන්නට නව සහස්‍රකයේ අංකුර නිර්මාණකරුවන් වෙතින් බිහිවන ඇතැම් ගී පද සංකල්පනාවන් සසඳා බැලීමෙන්,  බොරවී, අපවිත්‍ර වි ගිය නිර්මාණ උල්පතක තතු පැවසෙයි. එය ගීත රචනා සාහිත්‍යකලාවේ  හෙට දිනය වසා පැතිරෙන ගොම්මන් අඳුරක බියකරු බව පසක් කරයි.


02 ගායන මාධූර්යය


සමාජයේ විවිධ ස්ථරයන්හි වෙසෙන අනේකාකාර වින්දන ශක්ති මට්ටම් වල ශ්‍රාවකයන් අතරින් ඇතැමෙකු ’ගීතය’ එසේ සිය ජීවන අත්දැකීමකට සමිප කරගනිද්දී, තවත් අය එහි ගැයුමට ආශක්තව සිටි. ඔවුන් අදාළ ගායකයා හෝ ගායිකාව සිය ප්‍රියතම තේරීම බවට පත්කරගෙන, නිරතුරු ඔහුගේ හෝ ඇයගේ ගැයුම්  වැඩි වැඩියෙන් සවන් දෙන්නට ප්‍රිය කරති.

ගීත ලොවට පිවිස සිය හැකියාව විහිදා දක්වන්නෝ සහජයෙන් විවිධ ස්වර පරාසයන් හි සැරිසරන්නට සිය හඞ හික්මවාගෙන සිටිති. නියමිත කල්හි නිවැරදි ’ගුරු ඇසුර’ ලබා, එකී උපදෙස් දැඩිව පිළීපදිමින් නව යොවුන් වියේදීම තමන් හට අයාසයකින් තොරව පිවිසිය හැකි ’ස්වර පරාසය’ දැන හැඳින එහි රැඳෙමින් ගයන්නේය.

ශ්‍රි ලංකීය ගායන ශිල්පී ශිල්පිනියන්, දක්‍ෂ සංගීතවේදීන් යටතේ පුහුණු වෙමින්, ඇතැම් අවස්ථාවන්හීදී තම ගතානුගතික ගායන පරාසයෙන් ඔබ්බට ද ගමන් කරන්නේ සිය ශ්‍රාවකයන් ද විස්මයට පත් කරමිනි. එවැනි ගීත ශ්‍රවණය කිරීමේ අවස්ථාවන් ඊට ප්‍රිය කරන්නන් ගෙන් ගිලිහි යන්නටද හේතු සාධක පවතී. එය සිදුවන්නේ ප්‍රධාන ජනමාධ්‍යන්ගෙන් ඒවා වසන් වී යටපත් වීමට ලක්වීමෙනි.

ආචාර්ය නන්දා මාලිනී, ප්‍රවිණ සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් හමුවේ ගයා පටිගත කළ සිනමා සහ වෙළඳ ගී තැටි මහත් රාශියක් පවතී. ඒ අතරින් ඇයගේ සුපුරුදු ගායන ලීලාවෙන් වියුක්ත වූ අවස්ථවකට මනා නිදසුනක් පහත දැක්වේ. 70 දශකයේ අග භාගයේ නිකුත් වූ ’වෙළඳ ගී තැටියක’ එය ඇතුළත් විනි. 


’මං ගමන් කරත්තෙන් පිටගං යනවා ...කොහේ යාඵ නුඹ නාඩන්....’

’කැවුම් බදින අවුරුදු දා .... එයයි මමයි මහ ගෙදරට නෑගම් එනවා....

(ගී පද ආචාර්ය අජන්තා රණසිංහ - ’ජෙම්ටෝන්’ වෙළඳ ගී තැටි - 1979)


ඔහුගේ වැඩිහිටි විය ඉක්මවා යන්නට පෙරාතුව, පන්ඩිත් අමරදේවයන් ගේ  මධූර ගී නාදයට සවන් යොමු කරන්නට අවස්ථාවක් ලද රසිකයන්ගේ මතකයේ රැඳුනු ඊට සාජෂි සපයන ගීතයක පදවැළ මෙයාකාරයෙනි.


කව් කෝකිළයන් ගයන වේලාවේ.... මල් යාය කිකිණි හඞට සිනාසේ ......

නෙත් දැළවරින් කියන කථාවේ - මල් සළෙල සමේ මහිම උදාවේ ...

බඹර පැටික්කි.... තුනුසිරි විලේ නටන බඹර පැටික්කි.....

(මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය වික්ටර් රත්නායක - වෙළඳ ගී තැටි - 1975)


මින්පෙර සාකච්ඡා කරන ලද කරුණු පිළිබඳව අවධානයට ගෙන, ශ්‍රාවකයා විවිධ ඉසව් ඔස්සේ සිය පරිකල්පනය මෙහෙයවා ගන්නට රුකුල් දුන් ගීයක ප්‍රබන්ධකයා වූයේ සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා ශූරීන් ය. 70 දශකයේ ගුවන් විදුලි ශ්‍රාවක ප්‍රතිචාරය දැඩිව ලබමින්, පෙරමුණට සපැමිනි මෙම නිර්මාණය සර්ව සම්පූර්ණ වන්නේ අමරදේවයන්ගේ මෝහණිය ගායන මාධුර්යෙයන් සහ තනුවෙන් පුබුදුවා ලීමෙනි.


පෙරදිනයක මා පෙම්කල යුවතිය...සියපුතු නළවනවා ............

මගේම ගීයක් නැළවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා...............


සිංහල ගීත කලා ඉතිහාසය තරම්ම පුඵල්ව දශක සතක් තරම් දිර්ඝ කාලයක් තිස්සේ අතිමහත් සංඛ්‍යාවක සිනමා  සහ ගුවන් විදුලි ගීත ගයමින් සිය කමණීය ස්වරදැහැනෙන් ශ්‍රාවකයා වශි කල කලාශූරී ලතා වල්පොළ හඞ    සාපේක්‍ෂව පුඵල් පරාසයක මෙහෙයවීය හැකිබව ශ්‍රාවක සහ සංගීත ශිල්පයේ නිපුනයන්ගේ මතයයි. 



ලංකා...............භූමි...පින්බර ලංකා...භූමී.....

කිත්සිරි රැන්දු ............ලක්දද බැන්දූ .............

භූපතියන් රන්දාමේ .............සම්බුදු සසුනේ ...

සම්පත විළසේ...රක්‍ෂිත ලංකා භූමි..පින්බර ලංකා භූමි....

ගීත ගයනු රිසිව, රූපවාහිනි රියැලිටි වැඩසටහන් කරා එළඹෙන යව්වනයන්ගේ පැතුම් මල්ඵල ගැන්විමේ ගාමක බලවේගය ඔවුන්ගේ ’මේ ගායන මාධූර්යයි’. ඔවුන් විනිශ්චයට බඳුන් වෙන මෙවළම එයයි. යමෙකු සතු ’ධනබලය’ ඔහුව හෝ ඇයව ප්‍රසිද්ධ ගායකයෙකු හෝ ඇතැම්විට ගායන තරුවක් බවට පත් කරනු ඇතිබව නිසැකය එහෙත් ඔහුට හෝ ඇයට එහි අඛන්ඩව රැඳි සිටිමේ ඉරණම තීන්දු කෙරෙන, ගීයක රසය තිව්ර කරන, ශිල්පිය කුසලතාවය කෙතරම් වැදගත් දැයි එයින් ද පසක් කරගත හැකිවනු ඇත.

ලාංකීය මෑත කාලීන ගායන ඉතිහාස වංශ කථාවේ, දුටුගැමුණු චරිතය හා සමගාමි වූ ජනතාවාදී නිල නොළත් ගායන රජූ ’එච් ආර් ජෝතිපාලයන්ගේ ගායන ළයාදර බව, සුමධුරබව විසින් සිංහල සිනමා ගීතය ප්‍රේක්‍ෂකයන් මතුනොව ඉන් එපිට ශ්‍රාවකයන් අතරට රැගෙන ගියේය. ඔහු සැබැවින්ම ආශ්චර්යජනක කුසලතාවයකින් හෙබියා වූ ගායන තරුවක් බවට අවිවාදාත්මක වන්නේ සිනමා ජවනිකාව තිරය මත දිස්වෙන ඕනෑම චරිතයක් හා එකී හඞ මනාලෙස පෑහී ගිය බැවිනි. සිංහල වදනින් වෙස්වළාගත් ඔහු ගැයූ අනුකාරක විදෙස් තනු විසින් ඒවයේ මුල් ගැයුම් පාගා යටපත් කළ අවස්ථා බොහාමයකි.

ගීතයක අරුතෙන් මතුකරදෙන ’භාවයන්’ තිව්ර කර, එය අසන්නාගේ හදවතේ ලැගුම් ගන්වන්නට සමත් වූ ’ගයන ශිල්පී ශිල්පිනියන්, ක්‍ෂේත්‍රයේ දිගු චාරිකාවට ස්ථිරසාර අඩිතාලම එයින් සකසා ගත්හ. ඔවුන් කිසියම් ප්‍රසංග වේදිකාවක, සංදර්ශනයකට පිවිසියේද, ශ්‍රාවක ප්‍රේක්‍ෂක ගනයා, වහා එක්රොක්වී දැහැන් ගත විය.  දශක තුනකට අධික කාලයකදී අඛන්ඩව එක්දහස්පන්සියයකට අධික වාරගණනක, මතු නොබිඳිය හැකි ස්ථිරසාර ඒක පුද්ගල සංදර්ශන වාර්තාවට හිමිකම් කියන ’වික්ටර් රත්නායකයන්, ඒ බව අත්කරගත්තේ ඔහුම පවසන පරිදී, දැඩි කැපවීමෙන් එහි නිරත වී සිදුකරන ලද අභ්‍යාසයෙනි. මනාව සංයමයෙන් හික්මවා ගන්නා ලද සිය හඞ මාධුර්යයෙන් රසික ගණයා වසගයට ගැනීමෙනි. ඔහුගේ ’ආදරයේ උල්පත වූ අම්මා,..... සිහිල් සුළං රැල්ලේ.....අමා දහර දිය ගලා ගලා..., පාවේ වලා ...., වැනි විසල් ගණනක ගැයුම් හමුවේ ශ්‍රාවකයා උන්මාදයෙන් දැහැන් ගත වන්නේ, ඒවයේ ස්වරසංකලනයන් ගේ අපුර්වත්වයෙනි. 

'

03 තනු නිර්මාණ විසිතුරු

කවියක් ගීතයක් බවට රූපාන්තරනය වන්නේ, සරළ හෝ සංකීර්ණ ස්වර රටාවකට නතු ව, තනුවකට අනුගත වීමෙනි. යමෙකු ක්‍රමානුකූලව වඩවා ගත් පාරමිතාවක් බඳුව, හදේ ඇඳන තනුවක්, කිසියම් වාද්‍ය භාන්ඩයක් ඇත්නම් එයින් වයන්නට රිසිවෙයි. ඊට අසමත්වුවද, යටත් පිරිසයෙන් තොල් අතරින් හෝ මුමුණන කල්හී, පුහුණුව ලද්දෙකු විසින් සංගීතය නම් විශ්ව බසේ අක්‍ෂර මාලාව වන ’සවර ලිපියකට’ නංවනු ලබයි. ඔහුම හෝ වෙනත් අයෙකුගේ වදන් ඊට සිරුවෙන් මුසුකළ යුත්තේ අර්ථ සම්පන්න බව නොබිඳි යා නොදී පවත්වා ගන්නට උත්සහ කරමින්ය. 

එහෙත් පුතිභාපුර්ණත්වයෙන් පරිපූර්ණ  තනු නිර්මාපක සංගීතඥයෙකු ’කවියක්’ වහා ’ගීතයකට’ පරිවර්තනය කරද්දී ඇතැම් අවස්ථාවලදී එහි තැනුම් ඒකක වන ’වදන්’ සිරුමාරු කරන්නට සිදුවනවා ඇත. 

මේ දෙවර්ගයේම සංගීතඥයන් ගණනාවක් එකම යුගයකදී ලක් ඉතිහාසයේ පහළවීම ද අසිරිමත් සිදුවීමකි. 1950-1980 යුගයේදී ඔවූහූ එකිනෙක පරයමින්  සුන්දරත්වයෙන් සපිරි මනරම් ගී තනුරටාවෙන් වදන් වැල් සරසවා, අසල්වැසි භාරතීය ගී උන්මාදයෙන් විකල් ව සිටි ලාංකීය ශ්‍රාවකයන් සැළකිය යුතු මට්ටමකින් ඉන් මුදවා ගන්නට සමත්විය. 

සහජයෙන් ගී තනු රටා මනසේ මැවී මතුවී නැගෙන බොහෝ සහෘදයන් සංගීතය න්‍යානුකූලව හෝ ප්‍රයෝගිකව හදාරා ඇත්තවුන් නොවේ. ඒවා නිරායාසයෙන්ම ඔවුන් ගේ සිතුවිලි දහරාවේ වෙළි එතී පවතී. 

එදවස ක්‍ෂේත්‍රයේ කැපි පෙනෙන විපර්යාසයකට දායක වූ බොහෝ ගයන ශිල්පී ශිල්පිනියන් මෙකී ගණයේ සාමාජිකයන් බව වාර්තා වේ. එයින් ප්‍රමුඛතමයන් වේගරිද්ම බටහිර ආරට නතුව ගී ගැයූ ’එම් එස් ප්‍රනාන්දු’ සහ ’ක්ලැරන්ස් විජේවර්ධන’ ය. ඔවුන් ගැයූ ගීත අතිවිශාල සංඛ්‍යාවක තනු හිමිකරුවන්ද  ඔවුන්ම වේ.  ’මිල්ටන්’ යුගළය ඒ වර්ගීකරණයේ දෙවැනි ස්ථානයට පත්වෙයි. ඒ ’මිල්ටන් පෙරේරා’ සහ ’මිල්ටන් මල්ලවාරච්චි’ ය. කාන්තා ගායන පාර්ශ්වයෙන් ගුවන් විදුලි ගායිකාවන්ද වූ ආචාර්ය ’නන්දා මාලිනි’  සහ ’නාලිනී රණසිංහ’ නම්කළ හැකි මුත් ඔවුන් මනාලෙස සංගීත ශිල්පය ප්‍රගුණ කරන ලදුව ඒ තත්වය අත්කරගත්තෝ වෙති.

මේ ප්‍රස්තුතයේදී වඩාත් සුවිශේෂි තැනැත්තා ’ගලගෙදර එම් එම් ඒ හක්’ නම් වූ රසවතාණන්ය. ඔහුද ’සංගීත’ විෂයයට සම්පුර්ණ ආගන්තුකයෙකුව සිටිමින් අතිශය මධුර ’තනු’ උල්පතකට හිමිකම් පෑවෙකි. ඔහුව සොයාගැනීමේ සම්පුර්ණ ගෞරවය හිමිකරදිය යුත්තේ  උතුරේ අගනගරයෙන් හෙළ සිනමා කර්මාන්තයට පිවිසි ’ජෝ දේව් ආනන්ද්’ සිනමාකරුවාණන්ටය. තමා සහජයෙන් ලද දායාදයෙන් ඔහු 1970 වසරේ සිට, ් මධුර ගී තනු ආකාරයන් වූ සමකාලීන භාරතීය ශිල්පීන් ද පරයමින් සිංහල සිනමා රසිකයන් ගී රසගුලාවක සතපාලීය. 

ජෝති ගැයූ ’චන්දන ඇල්ලෙන් නාලා........., (සුජිවා- 1972) -  ගී පද ධර්මසිරි ගමගේ, ඇන්ජලීන් ගුණතිලකගේ ’මගේ හද වෙණ පිරිමැදලා..........., නුපුරුදු හැගුමකි තෙරපෙන්නේ..(සුජීවා) - කරුණාරත්න අබේසේකර, ආචාර්ය සූජාතා අත්තනායක ගැයු ’ඈත වනපෙත සරසාලා............(සුජීවා) - කරු. අබේසේකර,  ’පැන පැන එන සඳේ............(ගීතා) - සුජාතා අත්නායක -  ධර්මසිරි ගමගේ,  දකින දසුනේ දෙනෙත ඇඳුනේ (ගීතා) - ජෝති - ධර්මසිරි ගමගේ, හිටින්න පොඩ්ඩක් හිටින්න... (සුනේත්‍රා - 1973) - ජෝති - ධර්මසිරි ගමගේ, පායයි මේ රෑ සඳවතී... (සුනේත්‍රා) - සුජාතා - ධර්මසිරි ගමගේ, හංස දෝණි හංසයාගේ... (සුනේත්‍රා) - ජෝති - ඇන්ජලීන් - කරු. අබේසේකර, ප්‍රංසයෙන් රැජිනක්... (සුනේත්‍රා) - ෆ්‍රෙඩී සිල්වා - ප්‍රේමකීර්ති ද අල්විස්, හද සන්තානේ ඇති සන්තෝසේ... (සුනේත්‍රා) - ජෝති - ඇන්ජලීන් - කරු අබේසේකර

වැනි ගී තනු ඔහු මුමුනද්දී, ලංකා ගුවන් විදුලියේ ප්‍රවිණ සංගීතඥ ’ටී එෆ් ලතිෆ්’ විසින් ඒවා ස්වර ලිපි පිටපත් කර, සංගීත සංයෝජනයෙන් රසවත් කළ බවට වාර්තා වේ.

බටහිර ගී ආරට සබඳකම් පෑ, එහෙත් ලාංකීය ජන සංගීතයේ ගැබ්වුනු සුවිශේෂිතා සැළකිල්ලට බදුන් කරමින් පරිපුර්ණ ස්වතන්ත්‍ර ගී තනු නිර්මානය කරදීමේ බුහුමන ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් වෙත හිමිකර දුන්නේ ඔහුගේ නිර්මාණ ගණනාවක් ’ජනපති සිනමා සම්මානයට ලක් කරනට කටයුතු සැළැස්වීමෙනි. සිනමාවේදී ’කේ ඒ ඩබ්ලිව් පෙරේරා’ සහ ’ටී අර්ජුන්’ ගේ නිර්මාණ ගීයෙන් සරසවාලූයේ ඔහුය. 

සුළං කුරුල්ලෝ - හරූන් ලන්ත්‍රා - ඇන්ජලීන්  -(සැනසුම කොතැනද) -ධර්මසිරි ගමගේ, කැකුඵ මලක පෙති කැට - ජෝති  - ඇන්ජලීන් - (ලොකුම හිනාව) - ප්‍රේමකීර්ති, මා ප්‍රර්ථනා ආසාවෝ..  - ජෝති - ඇන්ජලීන් (ළසඳා) - කරුණාරත්න අබේසේකර, හඳ හාවුන් හඳේ .. (මොණරතැන්න - 01) - නන්දා මාලිනි - අජන්තා රණසිංහ, දේදුන්නෙන් එන සමනලුනේ - සංගීත් නිපුන් සනත් නන්දසිරි - ලතා වල්පොළ (වසන්තයේ දවසක්) - අජන්තා රණසිංහ


ඒ අතරින් අල්පයකි.

සංගීතඥ සරත් දසනායකයන්ගේ ගී තනු නිර්මාණ ලැයිස්තුව දිගු පුඵලෙන් වැඩිය. ඔහු ප්‍රවිණ සිනමාකරු ’සේන සමරසිංහ’ ප්‍රමුඛව, යසපාලිත නානායක්කාර, දයා විමලවීර, විජය ධර්ම ශ්‍රී හමුවේ සිනමාවේ නිර්මාණකරණයේ නිරතව සිටියා මතුනොව ලංකීය වෙළඳ ගී තැටි නිර්මාපකයන් ගේ මැදිහත්වීමෙන් කරළියට පැමිනි ශිල්පීනී ඉන්ද්‍රාණි පෙරේරා ඇතුඵ  ’ත්‍රී සිස්ටර්ස්’  ගායිකාවන් ඇතුඵ චන්ද්‍රිකා සිරිවර්ධන, තිලකසිරි රත්නායක, ආචාර්ය දයාරත්න රණතුංග වැනි ශිල්පීන් ගේ ’ගී තැටි’ සත්සර රටාවෙන් හැඩවැඩ කළේය. ඔහුද සිය තනු නිර්මාණයන් විදෙස් ගීතයන්ගෙන් කිළිටි නොවීමට වගබලාගත්තේය.

පාට පොදක් තිලකලා ...... - ජෝති ඇන්ජි (කස්තුරි සුවඳ) - සෝමපාල ලීලානන්ද, අමර පෙම් ලතාවේ.... - ජෝති ඇන්ජලීන්  - කරු, අබේසේකර (සදහටම ඔබ මගේ), බොඳ මිදුම් කඳුරැල්ලේ - සුජාතා අත්තනායක - අබේවර්ධන බාලසූරිය - (දුහුඵ මලක්) - අජන්තා රණසිංහ, ලස්සන නම් නෑ පෙනෙන්නේ .... සනත් නන්දසිරි (විශ්මය), උන්මාද සිතුවම් මැවේ බිඳේ... - ගුණදාස කපුගේ (එක්ටැම්ගේ) - මහචාර්ය සුනිල් ආරියරත්න, නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ...මිල්ටන් මල්ලවාරච්චි  - (නිල්ල සොයා) - සෝමපාල ලීලානන්ද, කීන දං මිටක් කඩන් ආවා....නීලා වික්‍රමසිංහ - මිල්ටන් මල්ලවාරච්චි (චංචල රේඛා) - අජන්තා රණසිංහ

ලාංකීය සංගීත වංශයේ නව පර්ච්ඡේදයක් ඇරඹිය යුත්තේ ’ආචාර්ය වික්ටර් රත්නායකගෙනි. ඔහු අසමසම වාර්තාගත ඒක පුද්ගල සංගීත ප්‍රසංගයන් පැවැත්වමෙන් ඊට දායක වූවේය. ප්‍රමාණාත්මකව, තමා ගැයූ නිර්මාණයන් හා ආසන්නව සමවන ගී තනු ගණනාවක් ඔහුගේ සමකාලීන වෙනත් ශිල්පීන් වෙත තිළිණ කරදෙන්නට ඔහු සමත්විය. ඒ අතර උපහාස රසය ජනිත කළ ගී ගැයූ ෆ්‍රෙඩී සිල්වා, මෙන්ම ගුවන් විදුලි ගායිකා ශ්‍රීමතී තිලකරත්න, සුජාතා අත්තනායක, වින්සන්ට් ප්‍රේමසිරි,අබේවර්ධන බාලසූරිය, නෙරංජලා සරෝජිනී, නිර්මලා රණතුංග ප්‍රමුඛත්වය ලබයි.


ඔහුගේ ගී රන්දාමයේ පුරුක් අල්පයකි.

ආනන්ද සමරකෝන් ගේ සිට බී ඇස් පෙරේරා, පන්ඩිත් අමරදේව, සුනිල් සාන්ත, ආර් මුත්තුසාමි, එම් කේ රොක්සාමි, මර්වින් පෙරේරා, ලාල් තේනබදු, ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න,ක්ලැරන්ස් විජේවර්ධන, පැට්‍රීක් දෙණිපිටිය, ටී එෆ් ලතිෆ්,මොහොමඩ් සාලි,සුසිල් ප්‍රේමරත්න,  සිසිර සේනාරත්න, ස්ටැන්ලි පීරිස්, ග්‍රේෂන් ආනන්ද, ආචාර්ය දයාරත්න රණතුංග, ස්ටැන්ලි එම් ප්‍රනාන්දු, ඔස්ටින් මුණසිංහ, පී වී නන්දසිරි, මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය රෝහණ වීරසිංහ, සෝමතිලක ජයමහ, විශාරද නිහාල් ගම්හේවා, තිලක් කරුණාතිලක, ගුණදාස කපුගේ, පුන්‍යසිරි මහවත්ත, සෝමරත්න පෙරේරා, එඩ්ගා පෙරේරා, කළනි පෙරේරා, ටියුලින් ජයරත්න, අමරසිරි පීරිස්, නිමල් පෙරේරා, ආචාර්ය නන්දා මාලිනී, එච් එම් ජයවර්ධන, නාලිනී රණසිංහ, සරත් බාලසූරිය, මෙල්රෝයි ධර්මරත්න,ආර් ඒ චන්ද්‍රසේන, උපාලි කන්නන්ගර, සරත් ද අල්විස්, ද සම්පත් දායකයන්ගේ සෘජු හෝ වක්‍ර බලපෑම මත විදෙස් තනු ඉඳහිට සිය නිර්මාණ සඳහා යොදගන්නට පෙළඹුනත් ඔවුන් ද රසිකයන්ගේ මතකයෙන් නොමියෙන මියුරු ස්වාධින ගී තනු රැසකින් සදාතනික ගී නිර්මාන රැසක් දායාද කර දුන්හ. 

50 දශකයේ ස්වාධීන තනු නිර්මාණයන් ඉදිරිපත් කළ ’පී එල් ඒ සෝමපාල’ එයින් පසුව බැහැරව ගිය බවක් පෙනෙන්නට තිබිණ. එකී දශකයේ සිටම සිනමා ගීත ක්‍ෂේත්‍රයේ ජයකෙහෙළි නැංවුයේ ඔහුගේ සංගීත රටා රැගත් සිනමා පට ගණනාවක ගීත ජනප්‍රිය කරවා දී ඒවා වානිජමය සාර්ථකත්වයෙන් ඉහළ තලයකට නංවමිනි. බටහිර ලෝකයේ සහ භාරතයේ අතිශය මධුර ගී තනු රැසක්, ඔහුගේ තියුණු නිරික්‍ෂණයට ලක්වී ඒවයේ සුඵ වෙනස්කම් සහිතව, සිංහල සිනමා පසුබිම් ගීතාවලියට එක් විය.

අදරේ හිතෙනවා දැක්කම (1972) - මගේ ජිවිතයම වටහා ගන්නට ........ - මිල්ටන් මල්ලවාරච්චි, ඔබට තිබෙන ආදරේ මම.... - එම් එස්  ප්‍රනාන්දු, දෑසේ විමන් දොරින් - ජෝති, සයිමන් අයියයි මාටින් අයියයි - එම් එස්, මුතු මිටක් පිරි ඇත්තේ - මොරිස් දහනායක, අකාසේ රැස් විහිදා... - ශිරෝමි ප්‍රනාන්දු

දමයන්ති (1975) - සිනහවෙන් හෝ කථාවෙන් බැහැ.... - මොහිදීන් බෙග්, මල් මල් හැගුමින් පැතුම් පිරී.... ඉන්ද්‍රාණි පෙරේරා සහ අනිල් භාරතී, (කරු. අබේසේකර)  කෝ කොයිදෝ ලොවේ සම්පත් ... - මිල්ටන් මල්ලාරච්චි (ප්‍රේමකීර්ති)


පෙම්බර මධු (1977) - පෙම්බර මධු මගේ..... වික්ටර් රත්නායක - (කරු. අබේසේකර)

මෙම සංගීතඥයාගේ අනුකාරක ගීත ලැයිස්තුව වර්ණවත් කරයි. 


ගීයක ප්‍රාණනාලිය බඳු වු ’තනුව’ ඊට අනන්‍යතාවයක් එක්කර, එය ’කවිය’ යන කලානිර්මාණයෙන් ’ගීතය’ වෙන්කර දක්වයි. ’ගී අරුත’, ඇවැසිනම් පුර්ණ ලෙස නොසළකා සිටීමින්, භාෂාවේ සිමා මායිම් අතික්‍රමණය කර එය බිහිවූ සංස්කෘතියෙන්, දැයින්, දේශයෙන් ඔබ්බට පතුරාව හරින ගාමක බලවේගය ’තනුව’ යි. දශක ගණනාවක සිට, භාරතීය ගී රසයෙන් ලක්වැසියා මන්මත් වන්නේ මේ කාරණය හේතුකොටගෙනය. නුහුරු නුපුරුදු බසක පදරුත් අඳුරේ අතපත ගාමින් වුවද ඔවූහූ ඒ ගීත ශ්‍රවණයෙන් පමණක් සෑහීමකට පත්වී භාෂා උච්චාරනයේ ශිල්පීය ක්‍රම අංශූ මාත්‍රයක් හෝ නොදැන, එය ’ගයන්නට’ පෙළඹේනවා මතුනොව එසේ ගයා ඒ භාෂා මාධ්‍යය නොදන්නා රසික සමූහයක් වසග කරති. හින්දී ගීත් මාධූර්යය එසේ බෙදාහදා දුන් ලාංකිකයන් අතර ගායන ශීල්පීන් වූ ’මිල්ටන් මල්ලවාරච්චි’ , ’ටියුඩර් ජයශාන්ත’, ’නුවන් ගුණවර්ධන’, ’චම්පා කල්හාරි ජයසේකර’ වැන්නෝ කැපී පෙනිනි.

මෙම කාරණය මනාලෙස ප්‍රකට කෙරෙන සිංහල ගීත ද අනල්පය. ඒ සියඵ ගෞරව බුහුමානය එකී තනු නිර්මාපකයන්හට හිමිවිය යුතුය.  ( ’කැන්ඩි ළමිස්සී’ - මරියසෙල් ගුණතිලක - තනුව එම් කේ රොක්සාමි, සළකා බලනු වටී)

මෙතැන් සිට ඉදිරියට ................

Monday, May 19, 2025

Sinahala songs of 70s - Review

 ගීයක් යනු කිම?..... විමසා දැන ගනු  මැනවි...

මෙහිදී අඵතෙන් නිර්මාණය වූ  ’ගීත’ වලට සවන්දීමෙන් (හෝ වර්තමානයේ ඊට වඩා සිදුවන ආකාරයට නැරඹීමෙන්) ’ගීතය’ නම් කලා මාධ්‍යය පවතින්නේද, එහි භූමිකාව වන්නේ ද, රූප රචනය ඔස්සේ රගදෙන්නට ’රිද්මය’ සැපයිම හා ’ප්‍රේමවියෝග අඳෝනා’ කියාපෑම   ලෙසින් ළමා  - යොවුන් පරපුර දුර්මතයකට පොළඹවන සුඵ බවක් හැගේ.

එහෙත්. උත්ප්‍රාසජනක ලෙස, ඉහත වයස් ඛාන්ඩයේ රූපවාහිනි සේවා ’රියැලිටි’ වැඩසටහන් උදෙසා සහභාගි වන ආධුනිකයන් විසින් ගායනා කරන්නේ සිංහල ගීතයේ මල්බර වසන්ත සමයේ නිර්මාණය කරන්නට යෙදුනු අරුත්බර, රසපූර්ණ. මධූර ගීතයන්  බව පෙනියයි. එයින් ඔවුන් කෙසේ වෙතදු යටත් පිරිසෙයින් ඔවුන් ඒවා සඳහා යොමුකරවන වැඩිහිටියන් වර්තමානයේ නව පරපුරේ සාමාජිකයන් වෙතින් නිර්මාණය වන ගීත ප්‍රතික්‍ෂේප කරන බවක් වැටහී යයි.

'ඉඳහිට කිහිපයක හෝ හැරෙන්නට මෙකී නව ගීතවල කිසිලෙසකින් වත් නිරික්‍ෂනය කළ නොහැකිව පවතින නමුත්, ’ගීතය’ නම් කලා මාධ්‍යයෙන් එහි පාත්‍ර වර්ගයා වූ ශ්‍රාවකයා වෙත පිරිනැමිය යුතු වූ, ඔහුට ගතහැකි වන ඵලප්‍රයෝජන ලුහුඞින් හකුඵවා ලන්නේ නම්















01 අර්ථපූර්ණබව

02 ගායන (ස්වර හැසිරවීම) මාධූර්යය

03 වාද්‍ය රසය 

04 රිද්මය

විය යුතුයැයි හැගේ.

නවකථාවක් හෝ සිනමා කෘතියක්, චිත්‍රකථාවක්, නාට්‍යයක්, ඉගිනඵවක් රස විඳිමකට වඩා වෙනස් මානයකට රැගෙන යමින් අසන්නාට නැවුම් අත්දැකීමක් අත්කරදීමට ගීතය සමත්විය යුතු නොවන්නේද? ඉහත කලා කෘතිවලින් ’භාව ප්‍රකම්පනය’ ට පත්වන රසිකයා හට ඒවාට වෙනස් ලෙස ඉතා කෙටි කාලාන්තරයකදී එකී තත්වය විඳගන්නට ගීතය විසින් අවස්ථාව උදාකර දෙනු ලබයි.  ඒ ඔහු හෝ ඇය ’ගීතය’ ට පාදක වූ අරුත එනම් එයින් විස්තර කෙරෙන අත්දැකීම හොඳින් වටහගනු ලැබ ග්‍රහනය කරගන්නට සමත්වී නම් පමණකි.

සිනමාව හැරුණුවිට, ශ්‍රී ලාංකීය ශ්‍රව්‍ය  - දෘෂ්‍ය ජනමාධ්‍යය කලාව රජයේ ඒකාධිකාරයෙන් ගිලිහෙන්නට පෙර ඒවා ප්‍රමිතිගතව, දැඩි විනයානුකූල මාධ්‍ය ප්‍රතිපත්තියකට යටත්ව පවත්වාගෙන යන ලද අතර එහිදි ලාංකීය වැඩිහිටි රසිකයන්හට අත්දැකීම් අත්කර දුන්නේ ’ගුවන් විදුලි මධ්‍යයයි’ එය ඇසුරු කරන සතරවන හෝ ඇතැම් විට පස්වන ලාංකීය ශ්‍රාවක පරම්පරාව වත්මන් ළමා පරපුරයි. එහෙත් ඒ ඔවුනරින් ඉතා සුඵ ප්‍රතිශතයක් විය හැකි බව නිසැකය. දිපව්‍යාප්ත ’රූපවාහිනි’ මාධ්‍යයක් ලෙස පැවතුනු එකම නාලිකාව ද එහි ගුණාත්මකව බව සැලකිය යුතු මට්ටමින් රැකගන්නට සමත් වීමට සාක්‍ෂි ලෙස ඔවුන් විසින් 80 දශකයේ විසුරුවා හරින ලදුව දැන් සමාජ මාධ්‍යයෙන් නතුකරගන්නා ලද විශි්ෂඨ සංගීතමය සහ වාර්තාමය වැඩසටහන්, දෙස් විදෙස් උසස් ගණයේ ටෙලි නාට්‍ය සහ කාටුන් වැඩසටහන් පෙළ ගෙනහැර දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව උඩුයටිකුරු කළ විපර්යාසය සිදුවන්නට පෙර යුගය ලෙස සැලකිය හැක්කේ ’90’ දශකයේ මුල් යුගයෙන් එපිටට දිවයන දශකයන්ය. පොදු මහජනතාවගේ  ’ගීත’ රසවින්දනයේ උල්පත ලෙස පැවතියේ ’ලංකා ගුවන් විදුලියයි සහ ඊට දෙවැනි වූ ’සිනමා කලාවයි’. නාගරික මධ්‍යම පන්තියේ සාමාජික ප්‍රජාව වෙත ඊට අතිරේකව සේවා සැපයූ ’වෙළඳ තැටි සහ පසුව කැසට් නිෂ්පාදකයන්, ඔවුන් සතුව පැවති ’තැටි - පටි ධාවන යන්ත්‍ර’ සඳහා ’ගීත’ අඵතෙන් නිෂ්පාදනය කරන්නට යෙදුනි.

ඒවා ’වානිජමය අරමුනු’ පෙරදැරිකොටගෙන සිදු කළ යුතුව තිබුනත්, ’ගී තැටි’ සහ ’කැසට්’ ව්‍යාපාරිකයන් අති බහුතරය ’ගීතය’ නම් කලා මාධ්‍යයේ ප්‍රමිතිය කඩතොඵ කරන්නට උත්සුක නොවූ අතර, ඒවායේ වාද්‍ය රසය සහ ඇතැම්විට ’රිද්මය’ තිව්ර කිරීමෙන් සිය පාරිභෝගික භවතුන් ගේ අවධානය දිනා ගන්නට තැත් දැරූහ.

’ගීතය’ නම් වූ මාධ්‍යයේ, අව්‍යාජ ස්වරූපය මතුකර දක්වන ඉහත ගති ලක්‍ෂන එකිනෙක සළකා බලමින්, එදවස සිංහල ගීත සාහිත්‍යය පෝෂණය කල නිර්මාණ පිළිබඳව විමසා බලනු මනාය.

------------------
Pandith Amaradeva
--------------------

01 අර්ථ රසය

කැළඹී කැළති අවුල්ව ගිය ශ්‍රාවක මනස ඒකාග්‍රතාවයට පත් කර, එහි ආවේගාත්මක බව, මිනිසා ස්වභාවයෙන්ම නැඹූරු වු ’ප්‍රචන්ඩ’ බව සංසිඳුවාලන්නටද, ඒකාග්‍රතාවයෙන් නිසසල බවට පත් වූ මනස දැහැන්ගත කරනට, භාව ප්‍රකම්පනය කරනට ගීතයක ගැබ්වු  පදවැළකින් ජනිත වන අර්ථය ඉවහල් වේ. එය ඇතැම්විට වෙනත් කලා මධ්‍යයක එනම් සිනමා පටයක, නාට්‍ය ජවනිකාවක, විශේෂංගමය ශ්‍රව්‍ය වැඩසටහනක ද්විතීය ප්‍රථිපලයක් ලෙස නිර්මාණය කෙරුණා විය හැකිය. එහෙත් එය ’ශ්‍රාවකයා’ ට අදාළ නොවේ. ඔහුට ඇතැම් විට එහි මුලාශ්‍රය තබා එය ගැයූ ගායක ගායිකාවන් ගේ හෝ අවම වශයෙන් එහි ප්‍රබන්ධකයා කවුරුන්දැයි හෝ විමසා බැලීමට අවශ්‍ය නොවනු ඇත. එනමුත්  එයින් කියැවෙන, විස්තර කෙරෙන අත්දැකීම, පණිවුඩය සිය ජිවිතයේ කවර හෝ අවධියක කිසියම් සිදුවිම්කට හෝ සිදුවිම් දාමයකට ආරෝපනය කරගත හැකි වන්නේය. එයින් එය ’ඔහුගේම’ අත්දැකීමක් බවට ද එයිනුදු ඔබ්බට ගොස් එය සිය දිවියේ සදාතනික සිහිවටනයක් බවටද පත් කර ගනු ලබනවා ඇත. 

මේවාට නිදසුන් ලෙස ගෙනහැර දැක්විය හැකි නිර්මාණ මහත් රාශියක් බිහිවූයේ සිංහල ගීතයේ සමෘදිමත් යුගය ලෙස සැළකිය හැකි 70 දශකයේදීමය.  ඒවායින් බොහොමයක් ’ගුවන් විදුලි ගීත’ හා ’සිනමා ජවනිකා පසුබිම්’ කොට ගැයුනු ’ඒකල’ ’යුග’ හෝ ’සමූහ’ ගීතයන්ය.

දෙම්වපිය සෙවණේ, ඔවුන්ගේ ආදර - සත්කාර ලබමින් දශක දෙකක් හෝ ඊටත් වැඩි කාලයක් රැඳෙමින් අවසානයේ පතිකුලයට පිවිස, ඔවුන් හැරදමා නික්ම යන මොහොතේ යුවතියකගේ සිතුවිලි දහරාවට එබි බලන නිර්මාණකරුවා ගේ වදන් ලාංකිය සාම්ප්‍රදායික සමාජයේ ඕනෑම යුවතියකගේ බඳුනොව ඇයගේ දෙමව්පියන්ගේ පොදු අත්දැකීමක් වනු ඇත්තේය. ඒ ප්‍රතිභාපූර්ණ ශිල්පියා ඔහුගේ යුගය විචිත්‍රවත් කළ නිර්මාණ ගොන්නක් දායද කල ආචාර්ය අජන්තා රණසිංහ නම් වු මාධ්‍ය රසවතාණන්ය.

---------------
Dr. Sujatha Attanayake
---------------


පුංචි දවස්වල නින්දට යද්දී..............

පිතූපාදං නමාමහං කියලා ...........

වැන්ද දෙපා යළි අදත් වඳින්නම් ...........

මංගල ගමනට යන්න අවසරයි පියාණෙනි..............

මල් බෝනික්කන්...පූසි පැටව් ටික...පාට ගවුම් පොඩි අද තනිවෙනවා....

පියාණෙනි ඔබේ ආසිරි විඳ විඳ ඉරණම් ගමනක් යන්නට යනවා..........

(ගායනය - ආචාර්ය සුජාතා අත්තනායක, සංගීතය - නැසිගිය සංගීතඥ සරත් දසනායක - ගුවන් විදුලි ගී - ’කිරිකවඩි’ ගී තැටිය - 1975)

එසේ පාත්‍ර වර්ගයා ගේ  ’හදවත’ ආමන්ත්‍රණය කරනට සමත්කම් දක්වන්නට තරම් ප්‍රවිණත්වයට පත්වූ ගීත රචකයන් පොකුරක පෙර නොවූ විරූ සම්ප්‍රාප්තිය එකවර සිදූවු 70 දශකය, ඒ කාරණයෙන්ම විචිත්‍රත්වයට පත් වී කැපී පෙනෙයි. ඔවුන් එකෙකු අනිකෙකු අභිබවා ගියා නොවේ. ඔවූහූ එකිනෙකා විවිධ පැතිකඩ ඔස්සේ සිංහල බසේ කාව්‍යාත්මක බව, සංස්කෘත ඇතුඵ වෙනත් ඥාති භාෂාවන් විසින් එය ලද පන්නරය මේ යැයි මොනවට ගෙනහැර පැවේය.

ඒ අතරින්  පුජ්‍ය ප්‍රජාව නියෝජනය කළ වැළමිටියාවේ ධම්මරඛ්ඛිත හිමි, මර්සලීනු ජයකොඩි පියතුමා, සමග අදටත් මේ කර්තව්‍යයේ යෙදෙන රඹුකන සිද්ධාර්ථ හිමි, පල්ලේගම හේමරත්න හිමි සහ ලීනස් මෙන්ඩිස් පියනම යන මේ නාමයන් සඳහන් කළ යුතුය 

එසේම, ලංකා ගුවන් විදුලි සේවයට සේවය කරමින් අකාලයේ මෙළොව හැරගිය  කරුණාරත්න අබේසේකර, ඩෝල්ටන් අල්විස්,චිත්‍රාන්නද අබේසේකර, ලලිත් එස් මෛත්‍රිපාල, කේ ඩි කේ ධර්මවර්ධන, ප්‍රේමකිර්ති ද අල්විස්,චන්ද්‍රා වයමන්, මහින්ද අල්ගම   එසේම අදටත් ඉඳහිට නිර්මාණකරණයේ යෙදෙන දයා ද අල්විස්, රත්නාලංකා අබේවික්‍රම, ලූෂන් බුලත්සිංහල, හඩ්සන් සමරසිංහ, චන්ද්‍රසේන රංගේ සහ ඊට අමතරව පුවත්පත් කලාවේදීන් ලෙස කටයුතු කරන ලදුව නික්ම ගිය ජොර්ජ් ලෙස්ලි රණසිංහ, ධර්මසිරි ගමගේ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සිරිල් ඒ සිළවිමල, සිසිර කුමාර මානික්කාරච්චි, අජන්තා රණසිංහ, මෙන්ම සැඳැ සමය ගතකරන සෝමපාල ලීලානන්දයන් ද සිහිකටයුතුය.

මෙකී ක්‍ෂේත්‍රයන්ගෙන් පරිබාහිරව නමුත් ඒ හා සමීපව කටයුතු කළ සාහිත්‍ය කලාවේ විකුමන් පෑ  මහඇදුරු සුනිල් ආරියරත්න, මහඇදුරු තිලක් රත්නාකර, මහඇදුරු චන්ද්‍රසිරි පල්ලියගුරු, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, අරිසෙන් අහුබුදු, හියුබත් දිසානයක, පියසේන කොස්තා,  මහගම සේකර, මඩවල එස් රත්නායක, උපාලි ධනවල විතාන, අධිනිතිඥ ඩබ්ලිව් ඒ අබේසිංහ, හේම ශ්‍රි ද අල්විස්, සුනිල් සරත් පෙරේරා,යමුනා මාලිනි පෙරේරා, රත්න ශ්‍රී විජේස්ිංහ, ශ්‍රී නිහාල් ජයසිංහ, උදය මානවසිංහ, ප්‍රභාත් මානවසිංහ, ඇලෝයි ගුණවර්ධන, දෙල්තොට චන්ද්‍රපාල, තු ව කුසුමපාල, ප්‍රියානන්ද විජේසුන්දර, ඔගස්ටස් විනායාගරත්නම්, ගුණරත්න අබේසේකර, ී කරුණාසේන ජයලත්, බන්ඩාර කේ විජේතුංග  මෙන්ම සංගීතඥයන් සහ තනු නිර්මාපකයන් මතුනොව ගායන ශීල්පීන් ලෙස කටයුතු කළ යූ ඩී පෙරේරා, ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත,  ක්ලැරන්ස් විජේවර්ධන, වර්ණන් පෙරේරා, මෙල්රෝයි ධර්මරත්න, සෝමතිලක ජයමහ ද වෙසෙසා දක්වනු වටී.

40 දශකයේ සිට ක්‍රමයෙන් පරිණත වෙමින් පැවති සිංහල ගීත රචනා කලාව, එදිනෙදා ව්‍යවහර බස් වහරින් මෙන්ම පුරාණ සිංහල සාහිත්‍ය බස්වහරින්ද පෝෂණය කරන්නට උක්ත නිරමාණකරුවන් සමත් විය. ඔවූහූ කුඩා දරුවන් ලෙස පාසල් සිසුන් ලෙස ගතකල අවධියේ දිවයිනේ පැවති අධ්‍යාපන ක්‍රමවේදයට සිංහල සාහිත්‍යය සහ රසාස්වාදනය පුඵල් ලෙස ඇතුළත්ව තිබිනි. ඒ නිසාවෙන් ඔවූහූ සිංහල සංදේශ කාව්‍යය, පුරාණ ගද්‍ය රචනා හොඳින් පරිශීලනය කර, එහි ගැබ්වුනු කමනීය සංස්කෘත සහ හෙළ තත්සම තත්භව වදන් සිතෙහි ධාරණය කර, සිය වදන් කෝෂය පුඵල් කරගෙන සිටින්නට ඇත. 

සැළලිහිණි. ගිරා, කොවුල්, මයුර සංදේශ කාව්‍යයන් රචනා වූ කෝටටේ යුගයේ (1400-1550) පඞිවරුන්, යතිවරුන් ඔවුන්ගේ පූර්වගාමිකයන් වූ ’ගුරුඵගෝමි පඞිවරයා’ විසින් පොළොන්නරු යුගයේ ලියූ  ’ධර්මප්‍රදිපිකාව’, ’කාලිංග බෝධි ජාතකය’, ’අමාවතුර’ වැනි ග්‍රන්ථ ද කුරුණෑගල යුගයේ කාලිකාල සාහිත්‍ය පන්ඩිත පරක්‍රමබාහූ නරපතියා විසින් විරචිත රමණිය ’කව් සිඵමිණ’ කාව්‍ය සංග්‍රහය ගුරු කොට ගන්නට ඇත. 

මෙම පරිණාමිය දාමය අනුව, 50-80 දශකයේ නූතන ගීත රචනා සාහිත්‍යයේ ස්වරණ යුගයේ අක්මුල් ඈත පොළොන්නරු යුගය දක්වා විහිදී පැවතෙන ආකාරය දැකිය හැකිය.

පෙරදිග සමාජය අගයන මානව ගුණධර්ම සහ සිරිත් විරිත් අළලා ගී කව් කලාව පුබුදුවන්නට පෑන් තුඩ මෙහෙයවූවන් අතර සීරිල් ඒ සීළවිමලයන්ගේ නාමය වැදගත්ය. අඹු-සැමි අරගලයන් හටගන්නට එකිනෙකා කෙරෙන් පිරිහි ගිය අනf්‍යා්න්‍ය විශ්වාසය සහ  ගෞරව සම්ප්‍රයුක්තබව හේතුවෙයි.  මින් අඩසියවසකට පෙර යුගයක ඔහු විසින් පබැඳු පදපෙළක  තත්කාලින යුගයේ සිංහල ගැමි සමාජයේ  අඹු-සැමි  සබඳතාවයේ මහිමය කියැවෙයි.


ඇය - වෙළේ මඞේ අව් පින්නේ   වේළෙනවා..........

දිවා රැයේ අප වෙනුවෙන් වෙහෙසෙනවා................

ඔබේ දහඩියෙන් අප ජීවත් වෙනවා ...........

ප්‍රියේ ඔබට මතුබුදුබව අත්වෙනවා ................

ඔහු - දවල් ඇඹුල කුඹුරට ගෙනඑයි නිතර.........

ළමුන් නිසා කරදර බොහොමයි ගෙදර ............

දුකින් කල ගියත් කිසිදින නැහැ දබර ............

බුදුන් දැක නිවන් දකිනු පිය සොඳුර ..............

(රන්ජන් ජයතිලක සහ සුජාතා අත්තනායක - සංගීතය ලාල් හිනටිගල - 1967)

ඔහු විසින් ලියූ ’ළීඳෙන් වතුර බිලා ..........’  ’මෝහෙන් මුළාවෙලා මානෙන් උදම්වෙලා.....’ - වික්ටර් රත්නායක, ගුණදහම් අගයන සමාජයක යහපැවැත්මේ මූලික තතු මතුකර පෙන්වයි.

ආචාර්ය නැසිගිය අජන්තා රණසිංහ විසින් පදබැන්දූ මෙහි, ’ප්‍රේමවියෝගය’ ක තතු කියැවෙන අතර, දෙදෙනාගෙන් අයෙකුට එයින් නිබඳවම උරුමවන සන්තාපය, ශෝකය, අපේක්‍ෂාභංගත්වය කිසිවිටක ’ක්‍රෝධ වෛර’ මානව දුබලතා, දුර්ගුණ අවුඵවාලිමේ නිමිත්තක් ලෙස නොගතයුතු මනා බව පසක් කොට දෙයි. එය සමාජයක යහපැවැත්මට හානිකරය, මානව සබඳතාවයන් තළා පොඩිකර දමයි.  අවසනදී එය අතිමහත් ව්‍යාසනයකට හේතු සාධක වන බවට මෑත කාලීන නිදසුන් එමට ගෙනහැර දැක්විය හැකිය.  

තම සිහින විජිතය සුනුවිසුනු කරමින් පිටුපා යන ඇයට ඔහු සුපුරුදු හෘදයාංගම සොඳුරු වදනින් ආමන්ත්‍රණය කරමින් අවසනයේ ආසිරි පතන්නේ නව දිවියේ ’මැණික් පහන් වැට’ දැල්වේවා යනුවෙනි.


විකසිත පෙම් පොකුරු පියුම් ........

ඔබේ පයට පොඩිවී ගියාදෙන් ...............

පතිකුලයට අද මට පිටුපා යන....

මගේ සොඳුරු ළඳුනේ ............

තනිකම රජයන පාඵ විමානේ ...

ගොම්මන් කඵවර හඞා වැටෙද්දී....

ඔබ දිවි අරණේ ...රුවන් විජිතයේ ...

මැණීක් පහන් වැට දැල්වේවා ....

(පන්ඩිත් අමරදේව ගැයුමේ සත්සර ආචාර්ය ප්‍රේමසිරි කේමදාස)


කේ ඩි කේ ධර්මවර්ධන සහ කරුණාරත්න අබේසේකර වැන්නෝ හෙළ සාහිත ආකාරයේ ගැඹුරට කිමිද, සංදේශ කාව්‍යයන් සහ සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ග්‍රන්ථාවලියෙන් ගුරු හරුකම් ලැබ, ඒ ප්‍රදිපාලෝකයෙන් සිය නිර්මාණාලෝක ස්ථම්භයන් දල්වා දීප්තිමත් කරගනිති.

-------------------
Late.  K.D.K. Dharmawardena with his late wife Samadara Kottage 
-------------------

උකුළ ළැමහස මලවි කරළිය ....

මුවා කළ ඇගේ දුහුල් සඵ තිර ...

විවර කෙරුවා මනස්සළෙලුන් ..,

උමතු වූ දෙණුවන් රැහැන් මැඞ ...

මා අබියස මැවෙන තුසිතය ..,

සුරන් නැළවූ සුයාමය....

(කේ ඩි කේ ධර්මවර්ධන නිර්මාණප්‍රභාව පන්ඩිත් අමරදේව - සංගීතය ආචාර්ය වික්ටර් රත්නායක - වෙළඳ ගී තැටි)

සාහිත්‍ය කලාව. සමගින් සිය ජීවන අත්දැකීම් එකට මුසුකරමින් කළතා මැවූ ගී රසාකාරයක සිංහල ගීත ශ්‍රාවකයා පා කළ ඔවුන් ගේ නිරමාණ සංයමයෙන් සීරුවෙන් අධ්‍යයනය කරන්නෙකුට, සිංහල භාෂා සාහිත්‍යයේ ගාම්භීරත්වය මැනකියා ගැනිමේ අවස්ථාවට අමතරව, එහි යෙදුම්, වදන් කෝෂය, උපමා, ප්‍රස්ථා පිරුඵ. ව්‍යාංගාර්ථයන්, යන මේ භාෂා නිපුණතාවයන් අත්කර ගැනීමේ හැකියාව ලැබෙනු නිසැකය.

අතීතයේ ගීත ප්‍රබන්ධ බලමුඵව එදා සමාජයේ බහුලව පැතිර, දන මුව තුඩ තුඩ රැව් දුන්  ’ජන ගී සහ කවි’ ද සිය නිර්මාණ වපසරියට ඇතුළත් කරගත් අතර ඊට නිදසුන් එමටය. ප්‍රේමකීර්ති ද අල්විස් ඊට රැකුල් දුන් අයුරු විමසනු මනාය.

-----------------
Late. Neela Wickramasinghe
------------------

අත රන්වන් පරවියනේ..............

තුඩ රන්වන් පරවියනේ .......

ගෙල රන්වන් පරවියනේ ...

පාට එරන් පරවියනේ ...ස්වර්ණදීප පරවියනේ.........


(නැසිගිය ශිල්පිනී නීලා වික්‍රමසිංහ සමග නැසිගිය සෝමරත්න පෙරේරා සංගීතඥයාගේ ගැයුම සහ තනුව)

ඔහු ඇතුඵ පිරිස ලාංකීය සමාජයේ පහළ ස්ථරවල දිවිගෙවූ සාමාජිකයන්ගේ ’සමාජ ගැටඵ’ පිළිබඳව ගීතයෙන් සාකච්ඡා කරන්නට නොපැකිඵනු බවට එළවිය හැකි නිදර්ශනයන් ද විරළ නොවේ.

------------------
Late Malini Bulathsinhala
------------------

’මා එක්කලා අමනාපව...වී දබර..........

දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර ..........

හඳමාමා නැගෙන තුරු අපි තරු ගනිමු... 

දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු..,

හඳමාමා අතම ඒ පණිවුඩ යවමු...

හෙටවත් ගෙදර ඒදැයි බලමින් ඉඳිමු...


(අප හැරගිය මාලිනී බුලත්සිංහල ගායිකාවගේ ගැයුම, තනුව දිවංගත එච් එම් ජයවර්ධන විසිනි)


මෙතැන් සිට ඉදිරියට ................

Monday, March 31, 2025

Evergreen Sinhala Songs of 70s

පිළිතුරු ගී රචනා කලාව - 70 දශකය

දිනපතාම පාහේ වෙළඳ තැටියකින්, ගුවන් විදුලියෙන්, සිනමාවෙන්, වේදිකා නාට්‍යයෙන් සිංහල ගීත කලාවට මහා ගීත ප්‍රවාහයක් කුණාටුවක් හමා ගිය 70 දශකයේ දී, එසේ බිහි වූ ගීත දිනය පුරා විසුරුවා හරින්නට ’ලංකා ගුවන් විදුලිය’ සැදී පැහැදී සිටියේය. ඒ උදෙසා එහි විවිධාංගීකරණයට ලක් වූ ගීතමය විචිත්‍රාංග දිනකට අඩ පැයක්, අඩ පැයකින් අඩක් ලෙස එකක් පසුපස එකක් පෙළගස්වනු ලැබ තිබිනි.


ළමා ගී, 

කන්ඩායම් ගී,

බොදු ගී

සරල ගී

චිත්‍රපට ගී

සමූහ ගී

වේදිකා නාට්‍ය ගී

විරිදු

යුග ගී

පර්යේෂන ගී

දේශාභිමානී ගී

නිවේදක තෝරයි

සම්පාදක තෝරයි


ඒ අතරින් කිහිපයකි. රූපවාහිනි මාධ්‍ය සම්පූර්ණයෙන්ම ආගන්තුක වු අපට, එදිනෙදා විනෝදාස්වාදය සඳහා ඉතිරිව පැවති එකම මාධ්‍යය මේ රාජ්‍ය ගුවන් විදුලියයි. 












---------------------

එදා ගුවන් විදුලියේ ගී පබැඳුම් පහන් තරු - නිවේදිකා දයා ද අල්විස් මහත්මිය සහ නිවේදක කේ ඩි කේ ධර්මවර්ධන (සිංහල දෙවැනි සේවය - 70 -- 80  දශක)
---------------------

පෞද්ගලික පංති නොගිය සිසු දරුවෝ හවස් වරුව පුරාම. පාසල් නිවාඩුව පුරාම, ගීත රසාස්වාදය විඳිමින් සිය රසිකත්වය වර්ධනය කර ගත්හ.

ගීතයක් අතිශයින් ජනප්‍රිය වූ විට එහි පදමාලාවෙන් අරුත් ගැන්වෙන කාරණය උදෙසා වෙනත් පදමාලාවක් ප්‍රබන්ධ කර එදවස තිබූ ගුවන් විදුලි ගීත රචනා බැංකුව වෙත තැපැල් කර හරින්නට ලක්දිව පුරා විසිරි සිටි කවියන් කිවිඳියන් පැකිඵනේ නැත. එය අරුත්බර නම්  මුලින් කී ජනප්‍රිය ගීතයට පිළිතුරු ගීතයක් ලෙස නිර්මාණය කරන්නට එහි බලධාරීන් උත්සුක විය. එදවස ප්‍රකට සංගීතවේදීන් ඊට මධුර තනු සහ සංගීත රටා නිර්මාණය කර දුන්හ.


මේ කාරණයේදී ඇතැම් විට එකම ගීත රචකයා ගීත යුගළයක්ම පැන - පිළිතුරු ගීත ලෙස සකසන්නට ඉදිරිපත් වූ අවස්ථා ද නැත්තේ නොවේ. ප්‍රේමකීර්ති ද අල්විස් කවියා ගේ බිරිඳ දයා ද අල්විස් කිවිඳිය සිය සැමියාට නොදෙවෙනි ප්‍රකට ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස සිය හඞ හසුරුවමින් කටයුතු කළ 70 දශකයේ ලියු ගීත යුගළයක අතීත පුවත් අඩසියවසකට පසු අදටත් රසික හදවත් වලින් වියැකි ගොස් නැත්තේය.


සහසක් පැතුමන් ඉපදී මියගොස් ...

ඉතිරිව ගිය එක පැතුම දරාගෙන...

ඇහැළ මහට අඩ සඳ පෑයූ දා ...

මතකද සිරි දළදා වැන්දා.......


සෙංකඩගල පුර ඉපිද හැදී වැඩුනු ’දයා’ සිය ගමිපියසේ තොරතුරු එසේ ලියා එයින් නොනැවතී ඊට මේ ගීතයෙන් පිළිඹිබු වන ’යුවතිය’ ගේ  ආදරවන්තයා ට ආරුඩ වෙමින් යළිත් පදවැලක් පබැඳුවාය.


සහසක් පැතුමන් නැම මා පැතුවේ...

එකම පැතුම පමණකි හිත රැඳුනේ ...

හද අඹරෙහි අඩසඳ වැනි නෑනේ...

මතකයි සිරි දළදා වැන්දා ................


මේ යුගයේ දීම සෙංකඩගල පුරය අළලා ඇගේ සැමියා ප්‍රේමකීර්ති ද අල්විස් විසින් ලියු ගීයක්ද මහත් සේ රසික ජනාදරය දිනාගෙන තිබුනි.


මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි....

මේ නගරය මා ඔබ වෙන්කෙරුණු නගරයයි...

වැව් ඉවුරේ දියරැල පෙරසේම බිඳෙනවා...

නුග ගස් පෙළ අප නැතුවත් තව දඵ ළනවා ....

සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා...

නුඹත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා....

--------

මර්වින් පෙරේරා 
----------

ගීතය ගුවනින් උදේ හවා තරංග මාලාවන් හා මුසුවෙමන් ශ්‍රාවක සවනත පිනවද්දී එයින් මත් වු එක්තරා ශ්‍රාවිකාවක් ඊට පිළීවදිනින් සංග්‍රහ කර ගුවන් විදුලි ගීත රචනා බැංකුව වෙත තැපැල් කර හැරියාය. ගීතය තෝරාගත් සංගීතවේදී ’ගුණදාස කපුගේ’ ශූරීන් ගුවන් විදුලියේ සේවය කළ වැඩසටහන් සම්පාදිකාවක් ගායන ශිල්පිනියක් ලෙස අබිසෙස් ලැබ ගයන්නට නියමිත සරළ ගී වැඩසටහනක් උදෙසා ඊට මධුර තනුවක් මුසු කරදුන්නේය. 

ගීතයේ ගායිකාව පුන්‍යා කත්‍රිආරච්චිය රචිකාව පාසල් ගුරුවරියක වූ සුනිලා විජේසිංහය ඇය කෘතහස්ත පුවත්පත් කලාවේදීයෙකුව ’දිවයින’ කර්තෘ මන්ඩලයේ සේවය කළ ’චන්ද්‍රසිරි දොඩංගොඩ’ ශූරීන් ගේ දයාබර බිරිඳය.


මා ඔබ මුණ ගැසුනු අයුරු සිහිකරන්නෙපා.............

මා ඔබ වෙන්කෙරුණු අයුරු සිහිකරන්නෙපා ..............


එදවස වෙළඳ දැන්වීම පිටපත් රචකයෙකු ලෙසද, සාරගර්භ අරුත්බර සාහිත වදනින් සිය ගීත රචනා කලාව මෙහෙයවන්නෙකු ලෙස ද පරසිඳුව සිටි උපාලි ධනවලවිතානයන් මුදුකර ගම්මානයක තමා අත්දුටු දසුනක් ඇසුරෙන් ගීතයක් පබැඳුවේය. ඒ එදා ගුවන් විදුලියේ සංගීත පාලක සංගීතවේදී දයාරත්න රණතුංග වෙනුවෙනි.


මංගල මධු සමය පතා .......

කුලගෙට ආ රූපිකාව...

පාඵ ලොවක තනිකරදා දියඹට යනවා...

කුස ගින්දර නිවා ලන්න දියඹට යනවා.....


(සංගීතය සරත් ද අල්විස්)

--------------

සංගීතවේදී දයාරත්න රණතුංග  - උපාලි ධනවලවිතාන
----------------

ඔහුගේ බිරිඳ ගායිකා මහාචාර්ය ’අමරා කස්තුරිරත්න’ ගුවන් විදුලි අසන්නන් වෙත හඳුන්වාදුන්නේ ’අමරා රණතුංග’ නමිනි. ඇය ඊට සැපයූ පිළිතුර ලියා දුන්නේ ආචාර්ය අජන්තා රණසිංහ විසිනි.


පාඵ පැලේ මට තනි නෑ හිමියනේ ...

සිත සංකා ගන්න එපා හිමියනේ ...

විදුලි අකුණු මේඝ වළා එතෙර ඇදෙන්නයි...

සතර වරම් දෙවි පිහිටෙන් මෙතෙර දකින්නයි...

කිඳුරු ලියන් දුටුවෝතින් මා අමතක වන්න එපා...

කාසි නැතත් හිමිසඳිනේ වැඩි ඈතක යන්න එපා.....


බාධක දුක් දුරුවිලා ගිය කාරිය හරි යනවා...

මගෙ දෙයියෝ උදැනැක්කේ වෙරළ දිගේ ගෙට එනවා....


(සංගීතය - ආචාර්ය දයාරත්න රණතුංග)



ගුවන් විදුලි සංස්ථා සංගීතමය වැඩසටහන් විසින් හඳුන්වාදුන් මෙම රැල්ල එයින් ඇදීගියේ වෙළඳ තැටි කලාවටය.


70 දශකයේ මධ්‍ය භාගයේ ව්‍යාපාර ගණනාවක් රජය සතු දෙපාර්තුමෙන්තු’ , ’සංස්ථා’ සහ ’මන්ඩල’ ලෙසින් ක්‍රියාත්මකව තිබිනි. ’ජාතික කිරි මන්ඩලය’ ’වැස්සියකගේ’ රක්ත වර්ණ ලාංඡනය දරා සිය නිපැයුම් වූ රසකළ කිරි සහ යෝගට් අලෙවිකරමින් සිටියේය. ඊට අයිති අලෙවි කුටි ද ’කහ සහ රක්ත වර්ණ සිරස් තීරූ මගින් වර්ණ ගන්වා පැවතියේය. චන්ද්‍රකුමාර් කඳනාරච්චි කැටුව ගුවන් විදුලිය අසල තිබුනු කිරිමන්ඩල කුටියකට ගොඩවැදුනු ’කේ ඩි කේ ධර්මවර්ධන’ නම් වූ ප්‍රවිණ ගුවන් විදුලි නිවේදකයා සිය මිතුරාගේ වෙළඳ තැටියකට පෙම් ගීතයක් පබඳන්නට පටන් ගත්තේය. 

’මචං මේක නම් හරියන්නේ නෑ....’

’මේක රේඩියෝ සිලෝන් එකෙන් තහනම් කරනවාමයි....


පදමළාව කියවූ ගායකයාට කියැවිනි. ඒ එදා ගීත පදරචනාවක ගුණාත්මක භාවය, සදාචාරය, ආගම, සිරිත් විරිත්  මෙකි නොකී නිර්ණායක ගොන්නකින් පදමාළාවකට සිමා පැණවි තිබුනු යුගයක වු බැවින් වන්නට ඇත.

’තහනම්...?   තහනම් ...? 

එහෙනං මෙහාට ගනින් ඕක...

කියමින් කේ ඩි කේ සිය පදමළාව විසිකර දැමුවේය. යළිත් වරක් කොලයක් ගෙන තවත් එකක් ලියන්නට පටන් ගත්තේය. 

ඇගේ සිනහව තහනම් ...

ගෙදරින් මට තහනම් ....

සැළවෙයි ගෙදරට ඇය හමුවුනොතින්...

චර පුරුෂයෝ දැන් මා වටලා ...

යනඑන හැම තැන් මුරදාලා .......


(චන්ද්‍රකුමාර් කඳනාරච්චි සංගීතය - උපාලි කන්නන්ගර, පදබැඳුම - කේ ඩි කේ ධර්මවර්ධන)


මුලින් කී පදමාලාවට මෙය නෑකමක් තිබෙන්නට ඇත. එහෙත් එය විමසා දැනගන්නට අද ’චන්ද්‍රකුමාර්’ හෝ ’කේ ඩි කේ’ හෝ ’උපාලි කන්නන්ගර’ යන මේ කිසිවෙකුත් අප අතර නැත. දුරකථනයෙන් අසා දැනගත් දේ එපමණක්ම පමණක් විය.


'දින සති මාස ගණන් ගතවිය. ගායකයා යළිත් ඊට පිළිතුරු දුන්නේ මෙයාකාරයෙනි.


’සිනහව ඇගේ තහනම් වූ පසු පෙර දවසේ....’

’මා නොයනා ගුරු පාරක් ඇත මේ පදෙසේ ....

’එහි වූ තුරුවැල් මල් ගැන නොදනිමි පෙරසේ ...

එනමුදු මඟ සළකුණු තවමත් ඇත මනසේ .....



(කේ ඩි කේ - උපාලි - චන්ද්‍රකුමාර්)


අනිල් භාරති ගැයු ’අද වෙයි ඉරු දින ඔබ හමුවේවිද’ ගීතය ද , මිල්ටන් මල්ලවාරච්චි ගේ අතිපරසිඳු ’එදා රෑ ගුවන් තොටුපොළේදී මා..............’ යන යුගළයද එළිදුටුවේ වෙළඳ ගී තැටි ඔස්සේය. ප්‍රවිණ සංගීතඳ ගායක මෙල්රෝයි ධර්මරත්න සුරස ගීත පද රචකයෙකු ද වෙයි. ඔහු මේ බව අළලා ලියුවග නම්


ගිය ඉරිදා ඔබ මා සමගයි....

මේ ඉරිදා ඔබ වෙන තැනකයි...

වෙන තැනකයි ඔබ වෙන රටකයි....

සෝ දුක් කඳුළැලි තවම නැගෙයි.......

ඔබ නැති පාඵව සිතට නැගෙයි.....


(ඉන්ද්‍රානී පෙරේරා ගැයුමකි - ’තරංගා’ වෙළඳ තැටි - 1976)


ක්ලැරන්ස් විජේවර්ධන ගේ ’ද ගෝල්ඩන් චයිම්ස්’ වාදක ගායක පිරිස ගැයු ’අක්කාගේ ලියුම’ ශ්‍රවණය නොකළ රසිකයෙකු 70 දශකයේ සිටියේ නම් ඔහු ගීත ලෝළියෙකු නොවනු නිසැකය.









----------------

වම් පස සේයාරුවේ වම් කෙළවර තරුණ ඉන්ද්‍රානී පෙරේරා සිය සොයුරියන් සහ සංගීතවේදී නැසිගීය සරත් දසනායකයන් සමග ගීතයක් පටිගත කිරීමකදී සහ දකුණු පස වම් කෙළවර  තරුණ මෙල්රෝයි ධර්මරත්නයන් ළමා ගායිකා ශීරෝමි ප්‍රනාන්දු සහ ලැම්බට් පෙම්මාවඩූ (හඳමාමා ළමා සඟරාව  - ගුවන් විදුලිය) ඔහුගේ මනාලිය දකුණු පසින් ටයි පටියක් පැළඳ සිටින්නාගේ දකුණීන් ක්ලැරන්ස් විජේවර්ධනයන් සහ ඔහුගේ වම් අත පැත්තෙන් ප්‍රවිණ හවායන් ගිටාර් වාදන ශුරී උපේන්ද්‍ර ප්‍රනාන්දු
-------------------


ගමෙන් ලියුමක් ඇවිල්ලා ....

අක්කගෙන් වාගේ ....

මොකක් කියලාද දන්නෑ...

එහි ගියෙත් නෑනේ .....


පහළ කුඹුරේ නිල්ගොයම් රැල්...

හරිම සාරුසාරයි... 

වැසි වැටි වැව් ළිං පිරීලා ...

හරිම සිරියාවයි....

ළඟදි එනවානං හොඳයි ...

නිවාඩුව දැන් දැන් ළඟයි...


ඔහුම  ඊට පිළිවදනින් සංග්‍රහ කරමින්


දයාබර අක්කේ....

කලක් ගතවී ගියා....

තවම නෑ පිළීතුරක් ලියා ....

අදම මෙය ලියැමියැයි කියා...

ලියන්නේ වැඩ දහක් තියා...

ගමේ එන්නට සිතේ තියා..

සිටිය මුත් සති ගණන් ගියා...

ඉවරයක් නැති ලියුම් ලියා...

පළක් නෑ මම ගමේ නොයා...


මෙම සටහනේ කවරයේ පළකර ඇති එදා ගුවන් විදුලියේ ගීත රචනා කලාව එකාලෝක කල මහා පහන් ටැම් අතර රැඳුනු ’දයා ද අල්විස්’ සහ ’කේ ඩි කේ ධර්මවර්ධන’ දෙදෙනා සිය අනොන්‍ය එකඟත්වයෙන් ලියූ අපුරූ ගීත යුගයකින් මෙම සටහන් ඈවර කරන්නට සිත්විය.


හින්දුන් ගේ අති පූජනීය වන්දනීය ආගමික සාහිත්‍යය ග්‍රන්ථයක් වූ ’රාමායනය’ ඔවුන් පරපුරෙන් පරපුරට ආගමික බැතිමත් බව වඩවාලමින් ගෞරව බුහුමානයෙන් පිළිගනු ලබන්නේය. එකළ අප කුඩා දරුවන්ව සිටියත් ’රාමායනය’ ගැන දැනුවත් නොවි සිටියේ නැත. එහි සියඵ ගෞරව හිමිවිය යුත්තේ එදා පළවූ ’චිත්‍රකථා’ සාහිත්‍ය කරුවන්හටය. ’සතුට’ චිත්‍රකතා පුවත්පත ’රාමායනය’ සිතුවමින් අප කරා රැගෙන අවේය. 


’රාවණ’ චරිතයට අරූඩ වූ ’කේ ඩි කේ’ සිරූවෙන් ඇමිණු පද මෙළෙසිනි.


සීතාවනි ඔබ හැඩ රුව ඇතිබව...............

දිවිහිමියෙන් පතිදම් සුරකින බව.........

දනිමි ඔබත් දැනගත යුතු මේ බව....

ඔබේ සෙනෙහස මට ඕනෑ නැති බව ......................


ඔහුගේ විවාදසම්පන්න මතය එවක සිංහල සාහිත්‍ය ගීත ලෝකයේ දැවැන්තයෙකු වූ ’අරිසෙන් අහුබුදු’ ඇතුඵ හෙළ හවුලේ නියමුවන්ද දැරූහ. ඔවුනට අනුව ’රාවණ’ රජ ස්ත්‍රීධූර්තයෙකු නොව, සිය නැඟනිය ’සුපර්නිඛා’ වන්ගේ නාස් කන් ඡේදනය කරවා ’ලක්‍ෂමණ’ ඇයට විරූපි කිරීමේ පළීය ගැනුමට, ’සීතා’ ව පැහැරගැනීමේ කටයුත්ත කළ විරුවෙකි

අරිසෙන් අහුබුදු ශූරීන් සිය ’සක්විති රාවණ’ වේදිකා නාට්‍යයෙන් ඒ බව කියා සිටියේය. එහෙයින් ’කේ ඩි කේ ලියූවගනම්


මගේ සොහොයුරියක් පෙර දවසක් දා ...........

රාම කුමරුගෙන් හිරිහැර වින්දා ....

පිළිතුරු ලෙස ඔබ සිරකර තැබුවා...

රජ පෙළපත අබිමන් දද බැන්දා ...

-------------------

ඔහු එය ගයන්නට එකල අතිදක්‍ෂ සංගීතවේදියෙකු ලෙස කටයුතු කළ එහෙත් ගීත නොගයා සිටි ’වින්සන්ට් ප්‍රේමසිරි’ කලාකරුවාට ඇරයුම් කලේය. ඔහු ගේ හැඩුම් ගැයුම් ලතාව එදා වැඩිහිටියන් පමණක් නොව කුඩාවුන් වූ අප පවා හඩවා රාවණ රජූ කෙරෙහි අපමණ ගෞරව උපද්දවාලන්නට සමත්වූ බව කියමි.

--------------
මෙම සේයාරුවේ සිටින්නෝ

ජාතික ඇඳුම හැදගත් පුද්ගලායට වම් පැත්තෙන් නැසිගිය මර්වින් පෙරේරා ඔහුට දකුණින් ආචාරය වික්ටර් රත්නායක සහ ඊට දකුණු පසින් නැසිගිය වින්සන්ට් ප්‍රෙමසිරි සංගීතවේදියා

-----------


ඒ ගීතය තැටියට නැගී ගුවනින් ගැයෙද්දී. ඊට සවන්යොමා සිටි ’දයා ද අල්විස්’ නිවේදිකාව සිය කාර්යාල සගයා මුණගැසෙන්නට ගියේය.


’කේ ඩි කේ’ මම එහෙනම්  ’සීතා’ ගැනත් දෙයක් ලියනවා ඕකට හරියන්න...  කමක් නෑනේ..?


අනේ.... කමක් නැහැ දයා ලියන්න.......


ටික දිනකට පසු ’මාලිනි බුලත්සිංහල’ ගුවන් විදුලි ගායිකාවගේ හඩ අපට ඇසෙන්නට වුයේ මෙවන් පදවැළකිනි.



රාම කුමරුනේ ඇත්ත කියන්නම්....

ඔබ ලඟ නෑ මා පැතූ ආදරේ  ...

රාවණ රජු මට සිහිවෙනවා...

ලක් දෙරණේ සුව සිහිවෙනවා...............

-------------------------

එසේ කියන්නේ ’සිතා’ ය. ’රාමායනයේ’ ලියා ඇති දේ යළිත් අභියෝගයකට ලක්ව ජනගත වී තිබේ. සුවහසක් ලාංකීය ද්‍රවිඩ ජනතාවගේ සහ කෝටි සංඛ්‍යාත ඉන්දියානුවන්ගේ මුවඟ රැව්දෙන ’රාමා-සිතා’ සදාතනික දිව්‍යමය ප්‍රේමය ගැන සැක සංකා උපදවා ඇත්තේය.  


සියවර ’සිතා’ ගේ ආලිංගන ප්‍රේමය අයැද සිටි ’රාවණ’ රජ්ජුරුවෝ එය දිනාගැන්මට අපොහොසත්ව ඇය ’අශෝක වනයක’ සිරකර තබන්නේය. ඒ ඇයට සිය අදහස වෙනස් කරන්නට දින වකවානු දෙමිනි. ඒ බව එහි චරපුරුෂ සේවයට භාරතයේ සිට පැමිණි ගෝත්‍රික නායක ’හනුමා’ හට ’සිතා’ සැළ කරන්නිය. ඔහු නොපමාව ඒ බව සිය ස්වාමියා වූ ’රාම’ කුමරුට දන්වා වහා සේනා රැස්කරන්නේ එබැවිනි. ඒ රාමායනයයි.

ගීතය වාදනය කිරීම යෙහෙකිද ?

කේ ඩි කේ ලාගේ, දයාලාගේ. ප්‍රේමකිර්තිලාගේ ’රජ්ජුරුවෝ (ප්‍රේමකීර්ති ගේ ආමන්ත්‍රණය) ඒ නමට නොකැළැල් ගුණය එක් කල එදා ගුවන් විදුලියේ මහ පුටුව හෙබ වූ ’රිජ්වේ තිලකරත්න’ ඊට අවසර දුන්නේය. ගීතය අපට අහන්නට ලැබුනේ ඔහුට පින්සිදුවන්නටය. නැත්නම් එය ආගමික අපහාස ලේබලයට හසුවි සදාකල් අතුරුදහන් වන්නට ඉඩ තිබිනි.


එහෙත් 1977 වසරේ දී ’රිජ්වේ සර්’ යන්නට ගියා නොව යන්නට බල කෙරිණි. ඔහු ඉන් තෙවසරකදී රුදුරු මිනිස් ලොවින් යන්නටම ගියේය. 


අපට ඔබට සදාතනික කලා නිර්මාණ දෙකක් පමණක් ඉතිරි විය.

එපමණකි

--------------

මේ අතරවාරයේ සුනිල් සාන්තයන් චිත්‍රා සෝමපාල හා ගැයු ’බෝවිටියා දං පඵ කං වාරේ..............’ නම් වු අතිශය සොඳුරු ගීතය ඔහු විසින්ම පද විපර්යාසයකට භාජනයක කොට වෙනත් ළයකින් ගායනා කරන්නට  යෙදුනු අතර

මහාචාර්ය සුනිල් ආරියරත්න පබැඳූ දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින්   -නීලා වික්‍රමසිංහ ඒකල පන්ඩිත් අමරදේවයන් හා යුග ගීයක් ලෙසද, ආචාර්ය අජන්තා රණසිංහ ගේ ’දම්පැහැ වීදුරු පුංචි වළල්ලක්’ චන්ද්‍රානි ගුණවර්ධනට පසුව වෙනස් පද පෙරළියකින් ශ්‍රීලාල් සෙනවිරත්න ගැයු වගද, කරුණාරත්න අබේසේකරයන් විසින් ඉන්ද්‍රානි විජයබන්ඩාරට ලියු ’කරුලනි කාගේදෝ මංගල්ලේ... පද පෙරළියකින් ළමා ගායිකා ලිලන්ති කරුණායක ගැයු වගද, ඔහුම ලියා ශ්‍රීමති තිලකරත්න ගැයු ’මගේ පුතා සැපට නිදයි කුටියේ ඇඳිරියේ....’ නවපද මුසුවකින් ඇන්ජලීන් ගුණතිලක විසින් ගැයු බවද වෙසෙසා දක්වනු මනාය. 

ගීතය ආත්මය කරගත් රසික සමූහයකින් හෙබි එදා යුගය මෙවන් රසවත් සිදුවිම් හා සබැඳි නිර්මාණ රැසකින් පරිපුර්ණ විය. යුග යුග දශක ගණන් ශ්‍රාවක මතකයේ ලැගුම් ගත් අමරණිය ගී උල්පතක අතීත මතකාර්ජනය නිමා කරමි.