namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, October 11, 2017

ඔස්‌ටින් මුණසිංහ නිර්මාණ මියැසි රස ගුලාව ................. 03

ඈත ලොවක සිට හිනැහෙන හඞින් සුවය වේවා ................  03 කොටස


ඔස්‌ටින්- අචිරවති නැවුම් කැදැල්ලේ සුව පහස විඳි මේ අවධියේ ගුවන් විදුලියේ එක්‌ව සුසැදි ලුෂන් - ඔස්‌ටින් සුසංයෝගයේ නව මානයක මං සළකුණු මෝදුවෙමින් තිබුනි  පළමුවැන්නා ගේ නවතම වේදිකා නාට්‍යයේ ඔහු ම ලියූ පදවැල් වෙනුවෙන් තනු සහ සංගීතය දෙවැන්නා වෙත පවරනු ලැබීය  රතු හැට්‌ටකාරී නම් වූ එහි ස්‌වර රටා රෑහි හඞ නැගනු නිශා යාමයේ ඔහු අතැගිලි පහස ලැබු හර්මෝනියම් යතුරු වෙතින් මැවෙමින් තිබුනි


ඒවා ද සිංහල වේදිකා නාට්‍ය වංශයේ නොමැකෙන මං සළකුණු සටහන් කළ ගීතාවලියට ඇතුළත් ව වත්මනෙහි ද දශක 04 අයු ලබමින් රසික හදවත් සනහාලයි

දීකිරි දීකිරි ගෙනවා දීකිරි මිහිපිට කාටත් - ගුණදෙන දීකිරි

පැටියා මෝරපු දෙනගෙන් රාන්කිරි - හොඳහැටි උණුකර බීවා රන් කිරි

නැවුම් මුට්‌ටියේ වත්කළ මේ කිරි - පණමට ලාබයි මං දෙන දී කිරි

(ලුෂන් බුලත්සිංහල - අනුලා බුලත්සිංහල)

මෙතැනින් සවන්දෙන්න
------------



මෙහිදි වාදනය කෙරෙන්නේ මැටි කළගෙඩියක්‌ සහ පහතරට බෙරයකි පහත රට බලි තොවිල් ඇසුරේ යෙදෙන රොකු දෙක තිත යනුවෙන් ව්‍යාහරිත තාලයයි (සොඳුරු ගාන්ධර්වයා පිටුව 132)


ළමා කාලයේ සිය ජාත භූමි පියසේ කටුබැද්දේ පුරාණ සත්පත්තිනි දේවාලයේ ද  එහි පෙරහැර මංගල්‍යයේ ද වැයුනු බෙරපද නාදයෙන් වශීකෘතවු ඔහුට ඒවා සිය නිර්මාණ උදෙසා යොදාගන්නට නොහැක්‌කේ මන්දැයි යන්න වැටහෙන්නට ඇත


පාරම්පරික ගැමි ජනහදවත් දිනු ඔවුන්ගේ සංස්‌කෘතිය මෙන්ම එදිනෙදා දිවිය හා දැඩිව බැඳුනු  පෙරහැර උත්සවයන් හි හේවිසි  වැයෙන්නේ  දහඅට වන්නම් මාලාවේ එන ගජගා වන්නමෙනි  ඒ ඇත් ගමන සිහිගන්වමිනි 

එහි නාදරටාවෙන් මැවු අපුර්වත්වය වේදිකා නාට්‍යය ගීතය වෙත කැඳවාලුයේ ද රතු හැට්‌ටකාරි වෙතිනි

යස ඉසුරු පිරුණු තැනා - සිරි දෙව් දූ සිටින තැනා''''''

ලගම ඇතේ දුරක නැතේ - අපි යන්නේ මේ පාරේ'''''''


රජවරු රජ මැතිවරු - යස රාජ බිසෝවරු''''''

කළ කෙළි සෙල්ලමම් දැක - තව කාසි දියං මට''''''


හොඳ තෑගි දියං මට - හොඳ තෑගි දියං මට''''''


මෙතැනින් සවන්දෙන්න
-------

(ලූෂන් බුලත්සිංහල - ජය ශ්‍රී චන්ද්‍රජිත්)

ඔස්‌ටින් මුණසිංහ නාමය පෙරටුකොටගත් මෙකී පෙරළිකාර සංගීත නිර්මාණ උදෙසා ඔහුට නියමිත  නිසි ගරු බුහුමන නිසි අවධියේ නිසි ලෙස ලැබුනේ එය 1974 වසරේ හොඳම නාට්‍ය සංගීතයට හිමි සම්මානය දිනගනිමිනි එයාකාරයෙන් ඔහු මැදිවිය ඉක්‌මවා යන්නට පෙරාතුවම සිය කලා දිවියේ තුරුණු මල් සමයේදීම සිය උපන් බිමේ සහෝදර ජනතාවගේ රසික දනන්ගේ කෘතවේදීත්වය ලබන්නට වසනාවන්ත විය

ඉහත ගී බිඳු ගී රසික තුඩ තුඩ බිඳ බිඳ වැහෙද්දී රතු හැට්‌ටකාරි ශිල්පි කැල සමගින් ඔහු ලක්‌දිව සිසාරා යමින් වේදිකාවේ ඉදරිපස සිට සිය වාද්‍ය භාන්ඩය වැයුවේය 

මේ වකවානුවේ එක්‌තරා දිනක රතු හැට්‌ටකාරි දර්ශන වාරයක්‌ වේදිකා ගත කරන්නට සුදානම් වී තිබෙද්දී වාද්‍ය වෘන්දය මෙහෙයවමින් සිටි ඔහු වෙත කිසියම් පණිවිඩයක්‌ ලැබුනේය

ප්‍රේක්‍ෂක ඔල්වසරන් මැද සුපුරුදු පරිදි එය නියමිත ලෙසම අවසන් වු අතර සිය නායකයාගේ මුහුණ අඳුරු වි ඇතිබව දුටු සෙස්‌සෝ 
ඒ පිළිබඳව විමසා සිටියහ

ලැබුණු පිළිතුරෙන් ඔහුවු වික්‍ෂිප්ත වුහ දැඩි ලෙස සසල වුහ එතරම්ම තැන්පත් ඉවසිලිවන්ත බවක්‌ කෙසේ අදහම්ද ?

ඒ පනිවිඩයෙන් කියෑවි තිබුනේ මුණසිංහයන් ගේ දයාබර මැණියන් මෙළොව හැර ගොස්‌ තිබුනු බවති


මෙලොව වෙසෙන මිනිසා වරෙක අසිමිතව ප්‍රිති ප්‍රමෝදය ලබයි ඊලග පැයේ දුක්‌ වේදනා අනුභව කරන්නට පොළඹවයි ඊලග වසරේ රෝ ගී සිය  දයාබර මැණියන්ද පියාණන්ගේද වියෝව අත්විඳින්නට සිදුවු ඔහු මාස ගණනක ඇවැමෙන් උතුම් පිය පදවියේ කිරුඵ දැරීය 

ඒ 1975 වස බිනර මස 04 දාතමින් මෙලොව ජනිත වූ තිසර තරුපති පුතු නිසායමතු දිනක ඉතිරි කොටසින් යළි හමුවෙමු .....
තොරතුරු මුලාශ්‍රය සහ වැඩිදුර කියවිම


(සොඳුරු ගාන්ධර්වයා - අචිරවතී යාලගම)

ප්‍රණාම පූර්වක ස්‌තුතිය - අචිරවතී යාලගම (ඔස්‌ටින් මුණසිංහ මහත්මිය)  වෙත

Sunday, September 24, 2017

ඔස්‌ටින් මුණසිංහ නිර්මාණ මියැසි රස ගුලාව ................. 02

ඈත ලොවක සිට හිනැහෙන හඞින් සුවය වේවා ................ 02 කොටස


සුජාතාවන් සිය කිංකිණි හඞ අවදිකරන ස්‌වර පරාසය ඔහු හොඳින් අවබෝධ කරගෙන තිබේ ඊට වඩාත් ගැළපෙන තනුව ඔහුගේ සිතේ ඇඳි නැගි ගියේ වෙරළ වෙත සෙමින් ඇදෙන තරග මෙනි 


දිනෙන් දින සිතකය නළවන දෙසවන් පිනවන  වඩාත් සුමධුර මෝහනීය තනු රටා මැවූ ඔහු ට ලැබුනු තෙවැනි පදමාලාව යළිත් වරක්‌ ප්‍රේමකිර්ති ගෙනි

රණඹර අබරණ ගෙළ රැව් දී දුනු - මලවට බඹර තුඩු........

සිතකය නළවන ඔබ ලග ඇත්නම් - මට මොන දෙයද අඩූ..............

------
මෙතැනින් සවන්දෙන්න



1972 වසර ගතවෙමින් පැවතිනි නවක මුහුණු ගණනාවක්‌ ඊට එක්‌ වෙමින් පැවති යුගයයි නව වැඩසටහන් සම්පාදකයන් නිවේදකයන් නිෂ්පාදකයන් තාක්‍ෂණ ශිල්පීන් යන මෙකි නොකි සේවක කාරකාදින් අතර වේදිකාවෙන් ඊට එකතු වු ලුෂන් බුලත්සිංහල නම් වැඩසටහන් සම්පාදකයා විසින් ද පබැඳු ගීතයකට තනුව නිර්මාණය පිනිස මෙවර මුණසිංහයන් අතට ලැබිනි එය ලූෂන් ගේ කුඵඳුල් නිර්මාණය බව පසක්‌ කරගත් මුණසිංහයන් සිය සහෝදර කලාකරුවෙකුගේ නිර්මාණ දිවියේ සංධිස්‌ථානයකට දායක වන්නට ලැබිම භාග්‍යයක්‌ කොට සලකන්නට ඇතැයි නොඅනුමානය

සඳ බැස නෑ වෙසක්‌ සඳ - ඉර බැස නෑ අවරගිර...........

තරුකැට නුඹ දිදුළන - ඔබ නිසා නෑ අඳුරක.............

---------

මෙතැනින් සවන්දෙන්න (ගුවන් විදුලි මුල් පිටපත)


සංගීත අධ්‍යක්‍ෂණය - ඔස්‌ටින් මුණසිංහ
තනුව  - ඔස්‌ටින් මුණසිංහ

---------

මෙතැනින් සවන්දෙන්න (70 දශකයේ වෙළඳ තැටි පිටපත)

ඇසි මිහිර  - ජෙම්ටෝන් ලේබලය වෙනුවෙනි


සංගීත අධ්‍යක්‍ෂණය - නවරත්න අත්තනායක
තනුව - ඔස්‌ටින් මුණසිංහ



සුන්දර යව්වනයේ වියේ දඵලා නැගී ආ හැගුම් සිත තුල තෙරපී වැඩි පැතිරෙන දිවිමගේ තෙවන දශකයේ එළිපත්තට පියමං කරමින් සිටි ඔහු අතින් ඒ සුවඳ කැවුණු සත්සර නාදමාලා බිහිවීම අරුමයක්‌ නොවේමය

ගායිකාවගේ හඞට පමණක්‌ දෙවැනි ව පසුබිමින් අඛන්ඩව වැයෙන අපුරු සිතාර් වාදන රටාවෙන් එය සරසවා තිබිනි

එකී නාද මාලාවෙන්  ඔහු කියන්නට තැත් කළ දේ කුමක්‌ විය හැකිද ? සඳ බැස නෑ ගුවන් විදුලි සරළ ගී ආකෘතියේ නවමු ඉසව් ස්‌පර්ශ කළ අපූර්ව නිර්මාණයක්‌ විය

දිමේ අවධිය වනවිට මුණසිංහයන් ගුවන් විදුලි ශිල්පී ශ්‍රේණිගත පරීක්‍ෂණයෙන් සමත්ව ගායන වරම ද හිමිකරගෙන තිබුනි 

මේ අවධියේම තවත් අවස්‌ථාවකදී මිතුරු ලුෂන් විසින් ලබා දෙන ලද පදපෙළක්‌ යුග ගීතයක්‌ ලෙස  තමන්ගේම සරළ ගී වැඩසටහනක්‌ වෙනුවෙන් තොරාගන්නා ලද අතර ගුවන් විදුලි කටහඞ පරීක්‍ෂණයෙන් සමත්ව සිය සරළ ගී වැඩසටහනකට සුදානම් සිටි අනුලා බුලත්සිංහල සමග ඊට හඞ පොවණ ලදී

පටිගත කිරීමේ  මැදිරි තාක්‍ෂණ ශිල්පී ලෙස කටයුතු කල ගුණදාස කපුගේ  ගීතය ට වශී වි ගොස්‌ තිබිණි කාලයක්‌ ගත වුවද අදාල තැටිය නිෂ්පාදනය වන සෙයක්‌ නැත 

මේ අතරවාරයේ හඞ පරීක්‍ෂණයෙන් සමත්ව සිය සරළ ගී වැඩසටහන ඉදිරිපත් කරන්නට නියමිත සිටි ගුණදාස කපුගේ ලුෂන් මුණගැසි අදාළ ගීතය තමන්ගේ වැඩසටහන වෙනුවෙන් ලබාගන්නට අවසර පැතුවේය 



ඒ වැඩ කඩුල්ලෙන් එතෙර වු ඔහු දෙවනුව මුණසිංහයන් ගේ කැමැත්තද මතුනොව එදින ට ඔහුගේ සහභාගීත්වය ද දිනා ගන්නට තරම් වසනාවන්ත විය ඒ වාරයේ එහි සහය ගායිකාව  සිංහල ගී රසසයුරේ කිමිද ගිය  තවත් බුලත්සිංහලවරියකි ඇය එවකට රජයේ සංගීත විදුහලේ ශිෂ්‍යා මාලනී බුලත්සිංහලය 


ගුණදාස කපුගේ නාමය එදා රසික හදවත් හි නොමැකෙන ලෙස ලැගුම් ගන්වන ලද මේ ගීතයේ හිමිකරුවාණෝ වූ මුණසිංහයන් ට ඒ පිළිබඳව සියඵ ගෞරව හිමිකරදිය යුතු වේ

දම්පාටින් ළා සඳ බැස යනවා...................

 ආකාසේ රන්වන් පාටයි ...............

 සමුගෙන යන්න මගෙන් තව මොහොතයි...............


නොදොඩා ඉන්නේ ඇයි...............

දම්පාටින් සඳ මුහුණ පෙනෙනවා  ...............

 වෙන්වි යන මොහොතක්‌ නැගේ..................


දෑසට ලංව තවත් මේ මොහොතේ.............

ගොඵවී ඉන්නෙමි මං ගොඵවි ඉන්නෙමි මං...............


---------------

මෙතැනින් සවන්දෙන්න


මෙයාකාරයෙන් ලුෂන් බුලත්සිංහල විසින් සිය ගුවන් විදුලි භූමිකාවේ මුල් අවධීයේ නිරත වු ගී පබැඳුම් කලාවේ  වැඩිමනත් තනුරටා වියමන් උදෙසා දායකත්වය දැක්‌වුයේ මුණසිංහයන්ය

මේ අවධියේදීම ජේ ඒ ධර්මරත්න නම් අධුනික සරළ ගී ශීල්පියා ලුෂන් - ඔස්‌ටින් නිර්මාණ පහස ලබන්නට වසනා මහිමය ලද්දේය


නුවන් කැඵම් වතුරේ -  පීනා නොයන් ළඳේ ...............

හසගන සේ පියුම් විලේ - මා හදවත් පොකුණේ ............

සැගවි නොපෙනී  - හිඳින් ළඳේ ...........................

දෑසේ නිඵපුල් මවනු එපා - නළලත අඩසද ගන්න එපා ...............

වත පියුමක්‌ සේ පුබුදන්න එපා - නීර වරල උරලා .............

කවියෙකු එනමග යන්න එපා - මා හදවත් පොකුණේ ...........

-------------
මෙතැනින් සවන්දෙන්න




අනුලා බුලත්සිංහලගේ   තවත් සරළ ගී වැඩසටහනක්‌ උදෙසා එදවස ගුවන් විදුලි නිවේදක සංසදයේ සමාජික හඩ්සන් සමරසිංහයන් විසින් නැවම් මගක පෙම් ගීතයක්‌ ලියවා දුන්නේය ඒ එවකට සිංහල ශෛලිගත වේදිකා නාට්‍යයේ ක්‍ෂේත්‍රය කළඹවන සැඩ මාරුතයක්‌ බඳුව වේදිකා ගත කෙරුණු මහඇදුරු සරත්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයය පදනම් කරගනිමිනි   1960 තරම් ඈත යුගයකදී සිය සරළ ගී පරීක්‍ෂණයෙන් සමත් වුව නමුදු  නිති සිය හඞ අවදිනොකළ ප්‍රවිණ ගුවන් විදුලි රංගනශීල්පී විජේරත්න වරකාගොඩ මෙවර ඇයගේ සහය ගායකයා විය 

රගහල දැන් නැත අඩ අඳුරේ - අපි දෙදෙනා පෙම් පිළිසඳරේ......

අන්න බලන් කුමරිය මනමේ තනිවි ඇත හිම ගිරි අරනේ......


ශෛලිගත නාඩගම් සම්ප්‍රදායේ වැයෙන මද්දලය උපයෝගි කරගනිමින් මෙවර සිය වගකීම ඉටුකරවාදුන් මුණසිංහයන් ගේ මෙකී නිර්මාණය එකග සිතින්  රසනෙවිඳින  නොදැනුවත් ඇතැම් ශ්‍රාවකයන් ඊට වසගවයන්නේ එයද මනමේ නාට්‍යයේම ගීතයක්‌ යෑයි සළකාගෙනය 


සරසවි දෙව් අසිරි  ලද මේ සංගීතවේදියා විසින් මැවු එකකට එකක්‌ නොපරදින මෙකී සුමධූර ස්‌වර රටා වියමන් විසින් ඔහු නාමය ගීත කලාවේ නිරතවුවන් අතර අමර වරම ලබන්නට හේතුභුත විය

එදා මෙන්ම අද  - ඈත අහසේ ...................

රුවන් තාරකා මතුවන යාමේ .........................

ඔබ මට පෙන්වු කුරුඵ පෙම්වතුන් ...............


කටරොඵ මල් පඳුරට ආවා......................

ඔහුගේ මෙකී ස්‌වර ගෙත්තම බැබළවු තවත් නිර්මාණයකි එහි ගායනය ත්‍යාගා එන් එඩ්වරඩ්ගේය පද රචනය - දයානන්ද කුමාරසිරිගේ ය 
--------
මෙතැනින් සවන්දෙන්න


1973 වසර උදව ඔහුගේ දිවිගමනේ නව මාවතක්‌ විවර කළ සිදුවිම් මාලාවක ආරම්භය සනිටුහන් කලේය 

රජ්‍ය සේවයට සංගීත ගුරුවරුන් බඳවාගැනීමේ ව්‍යාපෘතියක්‌ හඳුන්වාදුන් අතර ඔස්‌ටින් ද ඊට නොපැකිළිව ඉදිරිපත්විය  මතුදින සිය ඉරණම් චාරිකාවේ අත්වැළ වු අචිරවතී යාලගම යුවතිය හා  ඔහු ගේ දෛවෝපගත හමුවිම සිදුවුයේ මෙහිදීය

සිය පුර්ණ කාලින ගුවන් විදුලි රාජකාරියෙන් ඉසිඹු ලත් ඔහු ගේ ගුරු භුමිකාව ඇරඹෙන්නේ අගනුවරින් දුර බැහැර කන්ද උඩරට පිවිසුම් මාර්ගයට යාබදව අගනුවර මහනුවර හරිමැද පිහිටි කෑගල්ල තෝලංගමුව මහා විදුහලෙනි 

තමා ප්‍රගූණ කළ ශිල්පය සිය ජන්මිය පුරුද්දෙන් හා පළපුරුද්දෙන් ඔප කරවාගත් හෙතම ඒවා එක්‌ව ගෙන කිරා මැන පෙරා සිය සිසු දරුවන් ගේ ස්‌වරඥානය දියුණු තියුණු කලේය සිය පෞද්ගලික වැඩකටයුතු දෙවැනි තැනද ගුරුකම පළමු තැනද ලා නිති සැලකීය
ඔහුගේ අප්‍රතිහත ධෛර්යයේ  ප්‍රතිඵලය වහා අත්කරදෙමින් ඒ යුගයේ තෝලංගමුව මහා විදුහල වෙත සමස්‌ත ලංකා ජය මාවත් විවර කර දුන්නේය

මිනිසෙකුට සිය දිවිමගේ චාරිකාවේ නවමංපෙතකට කැඳවාලන සිය පියඹ හා කැදැළි ගත විමේ සුභ මංගල්‍යයය ඔහුවෙත උදාවුයේ 1974 වසරේ වප් මස දීය එය එසේ වෙතදු  සෙසු සහෝදර කැළ ඉක්‌මවා මහත් සේ සෙනෙහස්‌ දාමයෙන් වෙළි බැඳි සිය මවගේ රෝගි තත්වයද සලකා එය ඉතා චාම්ව සිදුකරන්නට තීරණය විය

යළි හමුවෙමු .....
තොරතුරු මුලාශ්‍රය සහ වැඩිදුර කියවිම

(සොඳුරු ගාන්ධර්වයා - අචිරවතී යාලගම)

ප්‍රණාම පූර්වක ස්‌තුතිය - අචිරවතී යාලගම (ඔස්‌ටින් මුණසිංහ මහත්මිය)  වෙත


Tuesday, September 5, 2017

ඔස්‌ටින් මුණසිංහ නිර්මාණ සත්සර රස ගුලාව ................. 01

ඈත ලොවක සිට හිනැහෙන හඞින් සුවය වේවා ................ 01 කොටස


ලක්‌දිව බටහිර සයුරු තෙර අද්දර කොළොම්තොටින්  දකුණු ලක දක්‌වා දිවෙන පුරවර තීරුව සරසවිදේවි වරම් ලද බොහෝ කලාශිල්පීන් ගේ ජාත භූමි ද ජය භුමි ද විය 

එයින් පළමුව ද වෙසෙසින්ද සඳහන් කළ යුතු පුරය මොරටුවය මක්‌ නිසාද යත් පසුගිය සියවසේ දශක ගණනක්‌ පුරාවට රසික සිත් සතන් මන්මත් කළ හෙළ ගී අඹර පෑයු තරුකැට බඳුවන් ගායන ශිල්පීන් වාදකයන් ගාන්ධර්වයන් රැසක ගේ ජන්ම භුමිය එය බැවිනි


ඔවුහු එහි ඉපිද හැදී වැඩී ගී නිමැයුම්  කලාවේ  විවිධ ආරයන් ප්‍රගුණ කරමින් ඒ ඔස්‌සේ සුරුවන්ව තමන්ට ආවේනික ශෛලීන් ඔස්‌සේ දිවයින පුරා ගී රසිකයන් එදා මෙන්ම අදද පිනවමින් සිටිති

හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස විරුදාවලිය ලත් පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේවයන් පෙරටුකොටගෙන  ඉන් තරමක වෙනස්‌ මගක ගිය ක්‍රිස්‌ටෝපර් ටියුඩර් ප්‍රනාන්දු හෙවත් සී ටී ද ඔහුගේ අඩිපාරේ පොප් ශෛලිය අනුගමනය කල නිහාල් නෙල්සන් සහ බයිලා චක්‍රවර්ති යන නම් ලද මහගමගේ සැම්සන් ප්‍රනාන්දු හෙවත් එම් එස්‌  පෝල් ප්‍රනාන්දු සමන් ද සිල්වා  මොරිස්‌ ජෝසප් ද සිල්වා හෙවත් ෆේ‍රඩී සිල්වා සුප්‍රකට නමුත් මතභේදකාරි ගීත කලාවක නිරත වු පංච පෙරේරා සහෝදරයන් වු සුනිල්  - නිමල් - පියල් - ලාල් ඇතූඵ පිරිස ඒ අතරින් කිහිප දෙනෙකි

ඒ අතරින් එකී මොරටු පුර ජන්මය ලදින් සිය හඞ අවදිකිරිම අවමව සිදුකරනු ලැබුවත් සෙසු ශිල්පීන් වෙනුවෙන් සිය මනසේ මැවි නැගී ආ සුමියුරු සත්සර නාදරටා මුසුකරමින් හෙළ ගී කෙත අස්‌වැද්දූ සුවිශේෂි චරිතයක සිංහාවලෝකනයයි මේ

සිය ජන්මයෙන් ලද සත්සර සිප්සර වාසනා ගුණය නිසි මග මෙහෙයවා නිසි සුයාමයේ නිසි සුරු ගුරු ඇසුරින් ඒ වසනා ගුණය ඔප මට්‌ටම් කරගනු ලැබූ ඔහු පසුව වාදකයෙකු ගායකයෙකු තනු රටා නිර්මාපකයෙකු සංගීත සංයෝජකයෙකු මෙන්ම ශිල්ප ලැදි දහසක්‌ සිසුණැන පැදූ ගුරු පියෙකු ද වූ ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ සංගීතඥ ඔස්‌ටින් මුණසිංහය

මෙතැන් සිට මදින් මද දිගැහෙරෙන්නේ ඔහුගේ සසරචාරිකාවේ මේ නවාතැනේ පුරා සපනස්‌ වසක දිවි මග රස තතු විත්ති පෙළකි

මොරටුවේ කටුබැද්දේ වැසියෙකු ව සිටි මුණසිංහ ආරච්චි ලේකම්ලාගේ තෝමිස්‌ මුණසිංහ පින්තාරු කොන්ත්‍රාත්කරු ලෙස සිය ජිවිකාව පවත්වාගෙන ගියේය ඔහු ගේ භාර්යාව කොරොට්‌ටගේ දෝන කර්ලැයින් ය අප කථානායක ඔස්‌ටින් මේ පවුලේ පස්‌වැන්නා ලෙස මෙලොවට පිවිසියේ 1941 වසරේ බිනර මස 04 දිනදීය

ඔහුද ඇතුඵව මේ දෙමහල්ලන්ට පුතුන් ලෙස සෝමදාස ගුණදාස වින්සන්ට්‌ ද දියණිවරුන් ලෙස ලිලි මාග්‍රට්‌ (ඔස්‌ටින් ගේ වැඩිමහඵ සොයුරිය) සහ රංජනී සහ සුසිලා (බාල සොයුරියන්) ද දරුවන් සත් දෙනෙකි

අදින් දශක 07 ට ඔබ්බෙන් නාගරිකරණයට පාත්‍ර නොවු මේ ග්‍රාමයේ විසු සෙස්‌සන් මෙන්ම මුණසිංහ පවුලේ සාමාජික සාමාජිකාවන් ද අල්පේච්ඡ සරළ දිවියකට හිමිකම් කීහ

සිය  නිවස ට නුදුරින් පිහිටි තෙළවල කණිෂ්ඨ විදුහලෙන් මූලික සිප්සත හැදැරූ ඔහුගේ දෙවැනි පාසල් මාතාව වුයේ මොරටුව කටුබැද්දේ බෝධිරාජ විදුහලයි

කුඩා සිසුවකු වූ  ඔස්‌ටින් ඇතැම් විට පෙර සසර පුරුද්ද පණගසා නැගී විත් දෝ තෙළවල පාසලේ ගුරුවරයෙකු ගේ වයලින් වාදනයන් වෙත දැඩි සේ ආකර්ෂණය විම ඔහුගේ මෙවාරයේ සංගීත චාරිකාවේ මුලාරම්භය සනිටුහන් කලේය නිතිපතා අපර භාගයේ පාසලේ වගා කටයුතු උදෙසා කැඳවු සිසුකැල අතරින් හුදකලා වු ඔහු ගේ එකම හා පරම සතුට ද වුයේ එකී පුරුද්දයි

ගොම්මන් අඳුර වැටිගෙන එද්දී පවුලේ සෙසු සාමාජිකයන් හා එක්‌ව බුදු පහන දැල්වීමේ කටයුත්තට සහභාගි වු ඔහු සෙසු අයගෙන් කැපී පෙනෙන ලෙස ඉතා ළයාන්විතව ගාථා පාඨ ගයන්නට පුරුදුව සිටියේය 

මුණසිංහ නිවසට තරමක්‌ දුරින් පිහිටි පුරාණ සත්පත්තිනි දෙවොලේ තේවාව වෙනුවෙන් වැයෙන භේරි නාදය ඔස්‌සේ එහි දිවගොස්‌ හිටිපියවර සිට ඊට සමවැද සිටියේ තමා සොයන්නට නිවසින් එනතුරුය

සිය පියා සදාදුන් බෙරය වාදනය කරමින් ඒවා අනුකරණය කරන්නට පටන් ගත්තේය


නිවස ඉදිරිපිට අතු පතර විහිදා නැගි සිටි ලාවුඵ ගසට නැග එහි අතුපතර රැඳෙමින් හඞනගා ගැයුවේ අවට හාත්පස ඇසෙන පරිදිය

තවත් කලෙක වෙල් ඉපනැල්ලට පිම්මේ දිවගොස්‌ ගොම්මන් අඳුර වැටෙන තුරු  තමා විසින්ම සදාගත් වස්‌දඞුව ට මුවතබා මියුරු නාදරටා මවන්නට විය 

මෙසේ සිය ළමාවිය ගතකල කුඩා ඔස්‌ටින් පවුලේ සෙස්‌සන් අබිභවා සිය දෙමව්පියන් හට  වෙසෙසින් මවට දැඩි ලෙස කිකරු දරුවකු වු අතර මව විසින් කියන තමා අකමැති යමක වුව නිහඞව නිරත වුයේ ඇයගේ සිත රිදවනු නොහැකි වීම නිසයි

ජ්‍යෙෂ්ඨය සමත්වීමෙන් සිය පාසල් දිවියට සමුදුන් ඔහු ට නිවැසියන් ගේ තීරණයට හිසනමා සිය දෙටු සොයුරාගේ ලී බඩු ව්‍යාපාරයේ සහයකයෙකු ලෙස කටයුතු කරන්නට සිදුවි තිබිණි 

තමාට දෛවය විසින් නියම කෙරි ඇති කටයුත්තෙන් බැහැර යන්නට සිදුවිම නිසාදෝ ඇවැටිලි - පැමිණිළි මාලාවකින් පසු එයින් නිදහස ලැබු ඔහු ට තම අනාගත ඉරණම් මාවතේ දොරටු විවර වන ලකුණු පහළ වෙමින් පැවතිණි

ඒ සිය දෙටු සොයුරිය විසින් ඉල්ලුම් කරන්නට යෙදුනු මැහුම් පාඨමාලාවකට නියමිත අයදුම් පත්‍රයක්‌ ඇස ගැටිමෙනි එය මෙහෙයවන්නේ කොළඹ 07 හේවුඩ් නම් ආයතනයකින් බවත් සංගීතය හැදැරිම සඳහාද අවස්‌ථාව ලැබෙන බවත් සඳහන් වී තිබෙනු දුටු ඔස්‌ටින් එය තමාට දෙන ලෙස අයෑද සිටියේය

අදාළ ලියාපදංචි කටයුත්ත සම්පුර්ණ වීමෙන් පසු නොමිලේ පැවැත්වෙන මෙකී පාඨමාලාවේ ගායනය හා වාදනය හැදැරිය හැකි බවත්  කාලසටහන අනුව දේශන පස්‌වරු 2 00 ට ඇරඹෙන බවත් දැනගත් පසු මාසික වාර ප්‍රවේශ පත්‍රයකින් මොරටුවේ සිට බම්බලපිටිය දක්‌වා සිය ගමන් පහසුකම් සලසා ගන්නට ඉටාගත්තේ නිවැසියන්ගේ එකගතාවය මතය ඒ 1960 දශකයේ මුල් යුගයයි

බයිසිකලයෙන්  තමන්ට ආසන්නතම අගුළාන දුම්රිය නැවතුමට යන අප කථා නායකයා හට කඵතර සිට පැමිණෙන දුම්රිය හමුවෙයි එහි ගමන් ගන්නා සගයන් අතර කලායතනයේ සිසුවකු නොවු ප්‍රේමසිරි කේමදාස ද ඇතුඵ ස්‌ටැන්ලි එම් ප්‍රනාන්දු ජස්‌ටින් ගාල්ලගේ යන මේ මිතුරු කැළද හමුවෙයි 

වාදන විෂය උදෙසා තමා ළමා කාලයේ ප්‍රියකල වයලීනය තෝරාගෙන සිටියද ඒ වාද්‍ය භාන්ඩය පුහුණු කළ ගුරුවරයෙකුගෙන් ලැබුනු දරුණු දෝශාරෝපනයකට ළක්‌ වී සිත් තැවුලට පත් හෙතම එය අත්හැරදමා තබ්ලාව තෝරාගන්නා ලඳී ඒ සිය විදුහල්පතීතුමා වු ලයනල් එදිරිසිංහ ශූරීන් ගේ අවසරය හා අනුදැනුම මතය

ඒ අනුව ඔස්‌ටින් මුණසිංහ නම් අනාගත ගාන්ධර්වයාගේ තරුණ සිසුවා ගේ දිවිමග චාරිකාවේ මුල්ම පහන්සිඵව දැල්වුයේ රජයේ සංගීත විදුහලේ එවක තබ්ලා වාදන උපදේශක ඇඳුරිදු පී වී නන්දසිරි ශුරීන් විසිනි

අතමිට සරු සිසු දරුවෝ සිය උපදේශකයන් ගේ අමතර පංති සඳහා සහභාගීවෙද්දී ලද දෙයන් සංතෘප්තියට පත්වන්නට හුරුව සිටි සරළ යෞවනයෙකු වු හෙතම  ඒ වෙනුවෙන් නිවැසියන් මත යෑපෙන්නට කැමැති නොවිය

ඊට අපුරු විකල්පයක්‌ තමා විසින්ම සොයගත් ඔහු සිය පුහුණුවිම් සඳහා  නිවසේ ගුවන් විදුයෙන් ඇසෙන ගී සඳහා හුරුබුහුටිව අතැගිලි ළෙලවමින් තබ්ලාව වාදනය කරන්නට විය 
--------------------
වමේ සිට 

බර්නාඩ් සොයිසා  - ලංකා සම සමාජ පක්‍ෂය

ප්‍රවිණ සිනමාවේදී තිස්‌ස අබේසේකර

සංගීතඥ ඔස්‌ටින් මුණසිංහ

පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේව
-------------------------

මේ පුරුද්ද විසින්  ඔහුව  සිය සෙසු සගයන් අභිබව ඔසවා තබනු ලැබිය ප්‍රවිණ තබ්ලා වාදන ශීල්පී නැසිගිය විජේරත්න රණතුංග ද මෙම කලායතන සගයන් අතර කැපි පෙනෙමින් ඔස්‌ටින් හා අහිංසක තරගයක යෙදුනේය

මතු ඔහුගේ නාමය නොමැකෙන ලෙස නොමියෙන ලෙස රසික සිත් හි ලැගුම් ගන්වාලු වේදිකා නාට්‍ය සංගීතය උදෙසා හා පුරා සිය දායකත්වය ලබාදෙන්නට අවස්‌ථාවක්‌ ඔහුට උදවුයේ ද මේ යුගයේදීමය ඒ 1962  වසරේ හෙන්රි ජයසේනයන්ගේ ජනේලය වේදිකා නාට්‍යය වෙනුවෙන් තාල තරංග (තබ්ලා) වාදනයේ යෙදෙනු පිණිසය

එයින් මතු ජයසේනයන්ගේ සෙවණැල්ල ලෙස රැඳෙමින් මිතුරු දමින් බැඳී ඔහුගේ විශිෂ්ඨ නිර්මාණයන් වු තවත් උදෑසනක්‌ -කුවේණි - මනරංජන වැඩවර්ජන හරහා අතිශය රසික ප්‍රසාදය ලත් හුණුවටයේ කථාව දක්‌වා සිය වාදන මිහිර බෙදාදුන්නේය රජයේ සංගීත විදුහලේ ඔහුගේ සමකාලින සිසුවකු ව සිටි පසුව ප්‍රවිණ සංගීතවේදී නවරත්න අත්තනායකයන් කුවේණි වාද්‍ය වෘන්දයේ සිතාර් වාදකයෙකු ලෙසින් ඔස්‌ටින් හා එක්‌ව කටයුතු කලේය

මේ අතරවාරයේ සිය සිප්සතර සම්පුර්ණ කරමින් කලායතනයෙන් ඉවත්ව යන්නට ඔහුට කාලය එළඹ තිබිණි

එදා පෙරදිග සංගීතය හැදැරූ ක්‍ෂේත්‍රයේ සමකාලිනයන්ගේ රන් දෙවොළ වු අසල්වැසි භාරතය  වෙත පියනගන්නට සිතැතිව සිටිනමුදු ඊට බරපැණ සපයා උපයා ගන්නට අසමත් වු ඔස්‌ටින් ගේ ගැලවුම්කරුව වුයේ ද මිතුරු ජයසේනයන්ය 

එකී වේදිකා නාට්‍ය පෙළ මෙහෙයවු ලංකා කලා සංගමය මැදහත් වී කුවේණි ආධාර දර්ශනයකින් වහා එකී ගැටඵව විසඳාගත් ඔහු 1967 වසරේ භාරතයේ ලක්‌නව් භාත්ඛන්ඩේ විශ්ව භාරති කලා නිකේතනය ට ඇතුලත් විය

ගුණදාස කපුගේ සහ නන්දා මලනී සහ ඔහු එහිදි එකට හමු වුහ

සිදුවිය යුතු පරිදිම පෙරළා දිවයිනට පැමිණි ඔහුගේ මිළග නවාතැන වුයේ ලක්‌ දනව්වේ ගීත කලාවේ මහගෙදර වු ගුවන් විදුලියයි 

දුර්වර්ණව කඩොතොඵ ව තිබී කැපී ඔපදැමුණු මිණක්‌ බඳුව නිර්මාණ ප්‍රභාව දසත විහිදවු  ඔස්‌ටින් මුණසිංහ නම් සොඳුරු ගාන්ධර්වයා තාල වාදකයා තනු නිර්මාපකයා සංගීත සංයෝජකයා මතු නොව ගායකයාගේ දෙවැනි උපත පුණරාගමනය මෙතැන් සිට ඇරඹෙන්නේය


1967 වසර එළඹ තිබේ ඔහු දැන් දිවයිනේ අග්‍රගන්‍ය සංගීත ශිල්පීන් එකතුව එකට හමුවන ජාතික ගුවන් විදුලියේ එනම් අඵතෙන් ප්‍රතිෂ්ඨාපනය කරමින් ප්‍රතිසංවිධානයට ලක්‌වු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ වාදක මන්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිටි

මේ 1970 වසරයි ම් තමන් හා රජයේ සංගීත විදුහලේ ශිල්ප හැදෑරූ සමකාලින සිසුවියක්‌ වූ ශිල්පිනී සුජාතා අත්තනායක ගේ සරළ ගී වැඩසටහනක්‌ පටිගත කරන්නට සුදානම්ය ඒ වෙනුවෙන් එහි නිවේදක මඞුල්ලේ නවක සාමාජික ප්‍රේමකීර්ති ද අල්විස්‌ ගේ පදපෙළක්‌ මුණසිංහයන් වෙත යොමුකරන ලද්දේ ඇගේ සැමියාණන් වු ද හිත මිතුරු නවරත්න අත්තනායකයන්ය

සංසාරිකව උරුම කරගත් ආයාසයෙන් ප්‍රගුණ කරගත් ශිල්පය වසර ගණනක අත්දැකීම් හා මුසු කරවාලමින්  නිර්මාණයක්‌ මවන්නට සුදුසු මොහොත එළඹ තිබේදිඑය නිර්මාණකරුවෙකුට සිය දිවියේ සදානුස්‌මරණිය මතක සැමරුමකි සිහිවටනයකි මේවාරයේ සිය දිවි ගමනේ නිමාව තෙක්‌ යළි යළි ලබැඳියාවෙන් සිහි ගන්වන මංගල මොහොතකි

නළලත අඩසඳ නම් වූ මෙකී කුඵඳුල් නිර්මාණයෙන් එතැන් සිට සත් වසරක අයු ලැබු ඔහු ගේ සුමියුරු ගුවන් විදුලි ගී මිණිමුතු දාමයේ උපත සිදුවිය

නළලත අඩසද එළිය සිසිල විද - ගෙවු අතීතය පෙම් සැණකෙළියේ......

අමතකදෝ - අමතකදෝ - අමතකදෝ  - අමතකදෝ.......

අතුඅග පිපුණු මලක්‌ නෙලාගෙන කුටියෙහි බඳුනක ලා.....

පරවෙන්නට ඉඩ දීදෝ කිසිවෙක්‌..... 

නොදනීදෝ නොදනීදෝ.......

මෙතැනින් සවන්දෙන්න
----------------------

Play Music - Music podcasts -

ගීතය ප්‍රචාරය වන්නට පටන් ගැණිනි ඊට ලැබු රසික ප්‍රතිචාරය ඉහමත්ය

යළිත් දිනක ඇයගේ සරළ ගී වැඩසටහනකට නිවේදිකා රත්නාලංකා අබේවික්‍රම විසින් ලියෑවුනු පදපෙළක්‌ මුණසිංහයන් අතට ලැබිනි


ගීතයේ අරුතට යාවූ මුල්පදපෙළ  දැහැන් ගත වු නිසල සයුර උපමා කොට ලියෑවි තිබේ


ඈත දියඹ වැන්නේ  - ඔබ නිසසල වන්නේ...........

මෑත දියඹ වැන්නේ - වරෙක සසල වන්නේ.......

නිලඹර සාගරය සිඹින තැනකය හිනැහෙන්නේ............

මෙතැනින් සවන්දෙන්න
-------------------------

 


ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
ඉදිරි දිනක යළි මුණගැසෙමු .....................

තොරතුරු මුලාශ්‍රය සහ වැඩිදුර කියවිම


(සොඳුරු ගාන්ධර්වයා - අචිරවතී යාලගම)

ප්‍රණාම පූර්වක ස්‌තුතිය - අචිරවතී යාලගම (ඔස්‌ටින් මුණසිංහ මහත්මිය)  වෙත


ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී විශ්‍රාමලත් ආචාරිනි - අධ්‍යපන අධ්‍යක්‍ෂ විශාරද සුජාතා අත්තනායක මහත්මිය වෙත.....
ප්‍රවිණ සංගීතඥ විශ්‍රාම ලත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ නවරත්න අත්තනායක මහත්මා වෙත........
වෛද්‍ය රුමල් ජයමුණි මහතා - ප්‍රේමකීර්ති ද අල්විස්‌ මුහුණුපොත් ගී රසික හවුල (නළලත අඩසද මුල් පිටපත වෙනුවෙනි)......

Monday, August 21, 2017

එදා ඇසුණු සොඳුරු ගීයක අඳුරු වරුණ .....

මැලියම් - යකඩ ඇණ සංගීත පාලකවරුන්ගේ විජිතයක තතු - 1971

අතිබහුතර සාමාන්‍ය වැසියන් ගී රසිකයන් - සිනමාලෝලීන් වූ ද සුන්දර ගී රන් යුගය වු ද 70 දශකය අඩසියවසක ට පසුව වත්මන් යුගය හා සැසඳීමේදී සැළකිය යුතු තරමින් වෙනස්‌ වන්නේ කරුණු ගණනාවකිනි 

21 සියවසේ දෙවන දශකයේ ද අවසානයට එළඹුනු කාලය ලෝ දහමට නතු වෙමින් මැවු අරුමයේ ධනාත්මක සාධක මෙන්ම ඊට යටින් සෘණාත්මක සාධක ද බෝහෝය

එදවසට වඩා  අද ගී ලොව මහත් විපර්යාසයකට ලක් වි ඇති බවක් පෙනියයි

වසනාවකට හෝ අවසනාවකට එදවස ඉහත කී අති මහත් රසික කැළ පිනවන්නට පෙරමුණ ගත්තේ සර්වබලධාරී ඒකාධිකාරී එකම රාජ්‍ය විද්යුත් මාධ්‍ය වු ගුවන් විදුලියයි


ඉහත ජනකාය අතරින් ගී රස උන්මාදයෙන් පෙලුණාවු රසික දනන් සිය හැකියාවන් දියුණු තියුණු කරගනිමින් උදේ හවා එහි ඇළි ගැළෙමින් ගායන ලොවට පිවිසෙන්නට වරම් පැතිය යුත්තේ ද එයිනි

ඒ ද නෙක වරක්‌ වැට කඩොඵ පසුකරමින් බාධක හිරිහැර විඳ ගනිමින්ය 

එකී දැවැන්ත අභියෝගය කරට ගන්නට මැළි වුයේ නම් ඉතිරිව තිබුනු එකම විකල්පය වුයේ අද මෙන්ම සිය බරපැණ යොදවා වෙහෙස දරා කැප වී තමන් විසින්ම පෞද්ගලිකව ගී නිර්මාණය කර ගැනීමයි
එය එසේ නමුදු අවසානයේ ඒවයේ ඉරණම තීන්දු කරවන සර්වබලධාරයා ද වුයේ ඉහත කී ගුවන් විදුලියයි 

මන්ද යත් වත්මනෙහි මින් මිල මුදල් අත නොගැවසුනු අති බහුතර සාමාන්‍ය ගී රසික දෙසවන් ආමන්ත්‍රණය කරන්නට සුපිරි වරම් ලැබ තිබුනේ ඊට හෙයිනි

අංකුර සංගීතඥයන්ගේ ද ගායකයන් ගේද අනාගතය නම් ගැල් රථය ඇදි ගොණුගේ රැහැන් පට දෙඅත රඳවා සිටි රථාචාර්යයා ඒ යුගයේ මෙකී ආයතනයේ සුපිරි තනතුරක්‌ වු සංගීත පාලකවරයාය

මේ සටහන එදා මතු නොව අද රසිකයන් ද සිය මධුර නාදයෙන් වසග කල එදා නවකයෙකු එදා සිය නිර්මාණ බිහිකරන්නට දැරූ වෙර වීරියේ පසුබිම් කථාවයි

මේ 1971 වසරයි


සිය නොසංසිඳෙන ගී පිපාසාව මදකුදු හෝ සංසිඳවාගනු පිනිස එක්‌තරා යෞවනයෙකුට සිය හඞින් ගීතයක්‌ පටිගත කරගන්නට සිතක්‌ පහළ වී තිබුනි ඒ සඳහා නම්දැරූ තැනැත්තන් අතර එදා ප්‍රේමකීර්ති ද අල්විස්‌ නාමය ද ඉහළින්ම කියෑවි තිබුනෙන් ඔහු ගේ දායකත්වය ඒ සඳහා නොමසුරුව පිරිනැමිනි

ගීත කලාව අත්මය කරගත් ඔහු තමා සන්තක ධනය ඒ සඳහා ආයෝජනය කරන්නට කිසිවිටකුදු මැළි නොවී එය පෞද්ගලික පටිගත කිරිමක්‌ ලෙස සිදුකරන්නට තීරණය කරගත්තේ එහි ඇදි දැඩි අවදානමද සිය උරමත පවරා ගනිමිනි

ඒ කිනම් අවදානමක්‌ද යත් ගීතය ජනගත කිරීමේ ඒකාධිකාරී බලය සතු වු ගුවන් විදුලි සංගීත පාලකතුමාණෝ ගේ ලිබීත අනුමැතිය ලැබීමේ වගකීමයි ලක්‌ වැසියා රජයේ ගුවන් විදුලියෙන් ශ්‍රවණය කළයුත්තේ ඔහු කැමති ගීත හෝ ඔහුගේ ඉහළ නිලදරුවන් සිත්ගත් ගීත පමණක්‌ වු හෙයිනි 

ඒ අනුව ලංකිය සිංහල ගී රසිකත්වය ද සංගීත ප්‍රතිපත්තියද තීරණය විය යුත්තේ ඔහු සහ ඔහුගේ සංගීත ආර වු හින්දුස්‌ථානි සංගීතය ළැදි කල්ලිය විසිනි 

මින් වසර 7 කට පසුව එළඹි වීවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක්‌ ලෙස පෞද්ගලික සංගීත රසවින්දනය ට පදනම් වු කැසටයේ ආගමනයෙන් තුනී වී තවත් වසර 16 කට පසුව ලාංකිය විද්යුත් ජනමාධ්‍යයේ එකාධිකාරය බිඳවැටෙන තුරු ම තත්වය මෙසේම විය එය කෙසේ වි නමුදු අන් සියඵ අවස්‌ථාවන්හිදී මෙන්ම මෙහිද අනිටු ඵලවිපාක ද ඉෂ්ඨාර්ථයන්ද ප්‍රකට වුවද දෙවැන්න ඉක්‌මවා පළමුවැන්න පෙරමුණ ගැනීම වෙනම සාකච්ඡාවට බඳුන් විය යුතු කරුණකි

මේ නිර්මාණයට තමන් විසින්ම මුසුකල තනු රටාවේ හැඩ වැඩ අලංකරණ සඳහා සිය හිත මිතුරු යොවුන් ගීටාර් වාදකයෙකු වු උපාලි කන්නංගර වෙත පවරණ ලදී

දැන් ඇත්තේ අවසාන එසේම වඩාත් භාරදුර කටයුත්තයි ඒ සඳහා ඔහු ගේ තේරීම එවකට ක්‍ෂේස්‌ත්‍රයේ ප්‍රවිණ පටිගත කිරීමේ ශිල්පී ඕගී රණවිරයන්ය ක්‍ෂේත්‍රය පිළිබඳව රණවිරණයන් සතු පුඵල් අවබෝධය ඔහු මනාව පසක්‌ කරගෙන සිටියේය

සත්‍ය ලෙසම ඔහු මේ සුන්දර නිර්මාණයේ පසුබිමේ යෝධ සෙවනැල්ල විය ඒ උපදෙස්‌ ගරු කොට ගුරු කොට ගත් අප කථා නායකයා ඔහුගේ අදහස ක්‍රියාත්මක කරන්නට ඉඩ හැරියේය ඒ අනුව එවක සිංහල ගීතයන් සඳහා ඒ දක්‌වා භාවිතා නෙවුනු තරම් වු රිවර්බ් (Reverb) නම් තාක්‍ෂණික ප්‍රයෝගය ඊට යොදා ගනු ලැබිය

මේ නිර්මාණයේ සුවිශිතා එපමණකින් අවසන් නොවේ සංගීතඥ ප්‍රවිණ ගිටාර් වාදක උපාලි කන්නන්ගර වෙළඳ පටිගතකිරීමක්‌ සඳහා සංගීත අධ්‍යක්‍ෂණය කරමින් තමා විසින්ම ලිඩ් ගිටාරය වැයු මංගල මොහොත ද එයම විය

එසේම පසුව ගීත කලාවේ පසුබිම් වාදක මන්ඩලයේ දැවැන්තයෙකු වු මහින්ද සිල්වා නම් යොවුන් ඩ්‍රම්ස්‌ වාදකයාගේ ආගමනය ද එයම විය

සියල්ල හොඳින් සිදුවි ගීතය අඩංගු මුලික හඞ පටය ලංකීය ගීත කලාවේ රන් දෙවොලේ ආසිරි වරම් ගැන්වීමේ පුජාසනය වෙත යොමු කෙරිණි

ඛේදජනක ලෙස සිදුවිය නොහැකි ලෙස අදහගන්නට බැරි ලෙස නොසිතු නොපැතු අවසානාවන්ත ඉරණම ට එය ගොදුරුව ගියේ ගීතය 

වාදනයට නොසුදුසු ලෙස නිර්දේශ කර දෙවොලේ පරමල් කුණු බක්‌කියට වැටීමේ තින්දුවට යටත් වීමයි

එහෙත් එහිද හදවත් ඇත්තෝ ගැලවුම්කරුවෝ පක්‍ෂග්‍රාහි නොවි ස්‌වාධිනව කටයුතු කළ රසිකයන් නොසිටියේ නොවේ මෙවර අප යෞවනයා වෙනුවෙන් පෙනි සිටියේ එහි ජ්‍යෙෂ්ඨ නිවේදකයෙකු වු කේ ඩි කේ ධර්මවර්ධනයන්ය

ඔහු අදාල බලධාරියා ගේ තීරණය අභීයෝගයට ලක්‌ කලේය

ඇයි මොකක්‌ද මේ ලස්‌සන සිංදුවක්‌ නේ ...........?  මේක නවත්තන්න කිසි හේතුවක්‌ නෑ නේ රෑ හරිම අසාධාරනයක්‌ .....................

සිය කාර්ය මන්ඩලයේ සගයා ගේ විරෝධය පිළිකුළ ඉරියව් වලින් වටහා ගත් නිසාදෝ තමාගේම ගී නිර්මාණයන් පවා වාදනය කිරිමේ වගකීම උරදරා සිටි මේ නිවේදකයාට එරෙහිවීම සම්බන්ධව දෙවරක්‌ සිතු බලධාරියා ට පියවරක්‌ අපස්‌සට ගන්නට සිදුවි තිබිණි

ගීතය තැටිගත කර වාදනය කරවු වහාම ලැබුනු ප්‍රතිචාරය අතිමහත්ය සති අන්තයේ වෙළඳ වැඩසටහන් සරසවාලු ගී පෙළ අතර ප්‍රමුඛයෙකු ලෙස එය කිරුඵ දරා සිටියේය

වසර ගණනක්‌ ගතවි දිනක අප ශිල්පියා නමට ගුවන් විදුලියෙන් ලැබුනු ලිපියකි

ඔබ විසින් අප වෙත භාර දෙන ලද 
ඇගේ සිනහව තහනම්  - කේ ඩි කේ ධර්මවර්ධන


නෙඵම් විලේ - ප්‍රේමකීර්ති ද අල්විස්‌

සත් දිනකින් ඔබේ කටහඞ - ප්‍රේමකීර්ති ද අල්විස්‌

යන මේ ගී ප්‍රචාරය පිනිස නොසුදුසු බවට නිර්දේශ වි ඇති බැවින් ඒවා අත්හිටුවන්නට තීරණය කර තිබෙන බව කණගාටුවෙන් දැනුම් දෙමි


තවද මාවතේ මල් වැහැලා - උපාලි ධනවල විතාන

ගීතය මිට අදාළ නොවන බවද සැළකිය යුතුය 

අත්සන් කලේ


........................................
සිංහල සේවා අධ්‍යක්ෂ

අදහනු නොහැකිය දශකයකට වඩා ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ රැඳි මේ ගී පෙළ හිටිහැටියේ ප්‍රචාරයට නොසුදුසු වි ඇත 


ඔහු වහා වහා ගුවන් විදුලියේ අදාළ ලිපියේ නම සඳහන් නිලදරුවා හමුවිය

මං නම් මුකුත් දන්නේ නෑ මල්ලී අරයා තමයි ඕවා කියන්නේ මං ඉතිං අත්සන් කලා තමයි මොනවා කරන්නද රෑ අමනාප වෙන්න නම් එපා 


ගීත නෑසී ගියේය

පසුව අප ශීල්පියාට දැනගන්නට ලැබුනේ අදාළ තැටියේ ජනප්‍රිය නොවී පැවති එක්‌ ගීතයක්‌ හැරුණුවිට සෙසු සියල්ල මත කිසියම් ලාටු වර්ගයක්‌ තවරා ඇති බවයි ඒ සඳහා පාලකතුමා පෞද්ගලිකව මැදිහත් වී ඇති බවද කියෑවිණි

දශක ගණනාවක්‌ ගත වී එවකට දිවයිනේ අතිශය ජනප්‍රිය සංගීත කන්ඩායමක්‌ වු සන්ෆ්ලවර් හි නායක ගායන ශීල්පී නීල් වර්ණකුලසූරිය මේ නිර්මාණය පිළිබඳව කළ සඳහනක්‌ අනුව තමා 1976 තරම් ඈත යුගයක ගීටාරයේ අත්පොත් තැබුවේ මේ නිර්මාණයේ අන්තර් වාද්‍ය ඛන්ඩ ඇසුරෙන් යන කරුණ හෙළිදරවු කලේය

ඔහු ගුවන් විදුලියෙන් බැහැර ලාංකිය ගීත කලාවේ නවමං සොයා ගියවුන් අතර ප්‍රමුඛයෙකු වු ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී චන්ද්‍රකුමාර් කඳනාරච්චි ය


සවන්දෙන්න මේ අපුර්ව සුන්දර මුල් නිර්මාණය වෙත මෙතැනින්


------------------------------
ගී පද - නැසිගිය ප්‍රේමකීර්ති ද අල්විස්‌

සංගීතය - උපාලි කන්නන්ගර

පටිගත කිරිමේ ඉංජිනේරු - විශේෂ ශබ්ද ප්‍රයෝග - ඕගී රණවිර

වසර - 1971
---------------------------------

අහේතුකව වාරණය කරන ලද ඔහුගේ එදා නිර්මාණයක්‌ - 1971


අතීතයේ එක දවසක ඔබ අත ගෙන සැන්දෑවක....................

සක්‌මන් කළ වග වෙරළක - තවමත් මට මතකයි ........

කඵදු ඉඩොර්ය මැකිලා - සතුට වැස්‌ස ඇදහැළිලා........

පැතුම් ලතා නව දඵ ලා - වසන්තයට හැඞවෙයි .................

අහසේ තරු සළකුණු මැද - නියත පහන් තරුව ඔබයි .....................

ඒ අනුවයි ජීවන දැල - සිතු තැනක යන්නේ .......................

පද සංකල්පනාව - නැසිගිය කේ ඩි කේ ධර්මවර්ධන

තනුව - ගායකයා සතුයි


සංගීත නිර්මාණය - උපාලි කන්නංගර 

මෙතැනින් සවන්දෙන්න
--------------------------



(විශේෂ ස්‌තුතිය - ප්‍රවිණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර් කඳනාරච්චි)


Tuesday, August 1, 2017

එදා ගුවන් විදලියේ " V " පවුලේ වත ගොත බිඳක්‌ .....


ටික්‌කි ටිකිරි කැකුඵ මලක්‌ මං.......

එදා ගුවන් විදලියේ " V " පවුලේ වත ගොත බිඳක්‌ .............

අම්මපා  මම ඕකාව හත් දොහක්‌ දඞු කඳේ ගහලා  අවුරුද්දකට මහ උඵ ගෙදරට දක්‌කලයි පස්‌ස බලන්නේ අසමජ්ජාතියා මු මගේ කෝට්‌ බෑය ට වත් ගරු කරන්නෑ හැබෑට අපුදෙන්කෝ ඕකා........... 


ආ මැණීකේ මං මේ හොඳවයින් මි වදයක්‌ ඇඤ්ඤ ආවා....... 

ආ කදිරා  බොලේ හැබෑට අපි මේ උඹව මතක්‌ කලා විතරයි බං වරෙං වරෙං මොනවහරි සප්පායම් වෙලා යන්න බැරියැ...............


------------------
මුවන් පැළැස්ස තේමා වාදනය ට මෙතැනින් සවන් දෙන්න



අදින් වසර 30 කට එපිටින් සඳුදින හිරු අස්‌තගතවි දෙපැයක්‌ ගත වු හෝරාවේ එයුගයේ වැඩිහිටියන් පමණක්‌ නොව තරුණන් මෙන්ම ළමා අපද සියඵ වැඩ කටයුතු නවතා ගුවන් විදුලි යන්ත්‍රය වටා රොඳ බැඳවූ එදා සුපිරිතරු වැඩසටහකින් උපුටාගත් දෙබසකි මේ


වර්තාමානිකයන් හඞ කැවූ හින්දි ටෙලි උන්මාදයෙන් බැඳී රූප පෙට්‌ටිය වටා රොක්‌ වන්නේ යම්සේද එදා එතැන හිමිකරගත්තේ ගුවන් විදුලි නාට්‍යයන්ය ඒවා ද එවකට තිබුනු එකම ජාතික ගුවන් විදුලියේ සිංහල සේවා දෙකකින් විසුරුවා හරින ලදී  

මේ සටහන කියවන එදා ගුවන් විදුලි රසිකයන් ට කිසිසේත් ඉහත දෙබස්‌ ඛන්ඩ ආගන්තුක නොවනු ඇති බව නිසැකය මන්ද යත් ඉහත කී සියඵ නාට්‍ය වැඩසටහන් අතරින් 60 දශකයේ පටන් අඛන්ඩව  අංක 01 ප්‍රමුඛස්‌ථානයේ වැජඹෙමින් කොටස්‌ වශයෙන් ගුවන් ගතවු සුප්‍රසිද්ධ මුවන් පැළැස්‌ස නම් ගැමි නාට්‍යය නොඇසුවෙක්‌ එකල අසන්නන් අතර නොසිටි බව සහතික නිසාය


එහිදි ශ්‍රාවකයෝ තම තමන්ගේ චිත්තරූපවාහිනයේ  මැවුනු රූප දසුන් ඔස්‌සේ මසැසින් නොව මනසින් එය නරඹා රසවිඳින්නට පුරුදු විය


එහි පෙළගැසුනු චරිත ගණනාවක්‌ අතරින්ද වඩාත් ශ්‍රාවක ආකර්ශනය දිනු  කෝරළේ මහත්තයා ප්‍රවිණ රංගනවේදී විජේරත්න වරකාගොඩ විසින්  මැණිකේ රත්නාවලි කැකුණවෙල ශීල්පිනිය විසින්ද නීරූපනය කරද්දී 

අප කථා නායකයා සැබැ දිවියේ ඇගේ එකකුස හොත් ආදරණිය දෙටු සොයුරා විය 

ඔහු එහි පෙරළිකාර කලහකාරී හිතුවක්‌කාර යා වු කදිරා නම් දාමරික වෙඩික්‌කරුවා ගේ හඞ ට ජීවය කවන ලද ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි නාට්‍ය ශිල්පී නාට්‍ය පිටපත් රචක වික්‌ටර් මිගල් මහතාය

මෙතැන් සිට දිගැහැරෙන්නේ මේ අපුර්ව කලා ශිල්පියාගේ හා ඔහුගේ කලාලැදී පවුලේ සාමාජිකයන්ගේ  ජීවන ගමනේ මං සළකුණු බිඳකි

වර්ෂ 1923 අගොස්‌තු මස 20 දින දී මෙලොව ජන්ම දායදය ලද වික්‌ටර් මිගල් රැකියා කිහිපයක නිරත වීමෙන් අනතුරුව  කම්කරු දෙපාර්තුමේන්තුව ප්‍රධාන ලිපිකරු ලෙස කටයුතු කලේය පසුව ඔහු සමාජ සේවා අමාත්‍යංශයෙන්  සිය වෘත්තිය ට සමුදුන්නේය 

ඉන් අනතුරුව 80 දශකයේ මුල් භාගයේදී  එවකට මහවැලි සංවර්ධන ආමාත්‍ය ධුරය දැරූ ගාමිණි දිසානයකයන්ගේ ඇරයුමෙන් මහවැලි අධිකාරියේ මාධ්‍ය ඒකකය හා එක්‌ව  ඒ රජය විසින් මෙහෙයවන ලද දැවැන්තම ව්‍යාපෘතිය වු කඩිනම් මහවැලි ව්‍යාපාරයේ ප්‍රවර්ධන වෙනුවෙන් රත්මල්යාය නමින් නාට්‍යමය වැඩසටහනක්‌ නිෂ්පාදනය කරනු ලැබීය

ජන්මයෙන් සරසවි අසිරි ලද වාසනා ගුණය තුරුඵ කරගෙන ආ වික්‌ටර් මිගල් ජාතික ගුවන් විදුලියට සම්බන්ධවෙමින් එහි නාට්‍ය අංශයේ කටයුතු උදෙසා සිය දායකත්වය දැක්‌වුයේ 50 දශකයේ අවසන් භාගයේ එහි ඇරඹුනු කුරුඵ බැද්ද නම් සන්ධ්‍ය ගැමි නාට්‍යයේ බෙම්පි ආතා නම් වැඩිහිටි චරිතයක්‌ නිරූපරණය කරමිනි  

රැල් බුරැල් හැර සිය ගැඹුරු ස්‌වරය අවදිකළ ඔහුගේ ප්‍රතිභාව මානව විහිදාලමින් ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර සිය නාමය නොමැකෙන සේ සනිටුහන් කිරීමට හෙතම සමත්වුනේ සිය ආයතන ප්‍රධානින්ගේ නොමද කිත් පැසසුම් මධ්‍යයේය

60 දශකයේ මධ්‍ය භාගයේදී කුරුඵ බැද්ද කථාංග‍ය අවසන් වීමෙන් අනතුරුව ඊට ලැබුනු අසිමිත රසික ප්‍රතිචාර නිසා ඊට සමාන ව   මුවන් පැළැස්‌ස නමින් නව කථාංගයක් ගුවන් ගත කරවන්නට කටයුතු කලේ එහි පිටපත ලියු මුදලිනායක සෝමරත්නයන්  විසිනි  

පසුව හදිසියේ ඔහුගේ විදේශගත වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඇතිවූ පුරප්පාඩුව පුරවා දෙනු ලබන්නට ඉදිරිපත් වන්නේ ද වික්‌ටර් මිගල් ය
ඒ අනුව එතැන් සිට සිය දිවිමග චාරිකාව නිමකරන තෙක්‌ මුවන් පැළැස්‌සේ සියඵ පිටපත් රචනා කිරීමේ වගකීම ඔහු වෙත පැවරිණි 

එනැත් සිට මහත් සේ වෙහෙසවෙමින් සජිවීව ගැමි වහර සොයා යෑමෙන් නොනැවතී ඔවුන් අතර රැඳෙමින් ඒවා මනාව අධ්‍යයනය කළ හෙතම  එහි ආ ජනප්‍රියතම චරිතය වු වෙඩික්‌කාරයා ට ආරූඩව ඊට පණපොවන ලදී  පසුව එකී චරිතය කදිරා ලෙස වෙස්‌ගනු ලැබුයේද වික්‌ටර් මිගල් නම් මේ ශූර පිටපත් රචකයා - ගුවන් විදුලි නාට්‍යවේදියා විසිනි

20 සියවසේ මුල්යුගයේ ලාංකික වනගත ගැමි දිවිය පිළිඹිබු කල මෙම නාට්‍යයේ  ආ සෙසු චරිත අතර හාස්‍ය රසය කුඵගැන්වූ පිනා ගේ චරිතය  ලෙසත් වැඩිහිටි වෙදරාළ හෙවත් පසුව ගුරුන්නන්සේ ලෙසත් නැසිගිය ප්‍රවිණ නිවේදක ගැමුණු විජේසූරිය පණ පෙව්වේ සුදුසු පරිදි සිය හඞ විකෘතිකිරීමෙනි 

එහි වඩාත්ම කතාබහට ලක්‌වු සෙසු ප්‍රධානතම චරිත යුගලය වු ආරච්චිල පසුව කෝරළේ මහත්තයා වෙනුවෙන් පෙනි සිටියේ ප්‍රවිණ රංගනශිල්පී විජේරත්න වරකාගොඩයන්ය  සිය සැමියා වු මෙම ගම්මුලාදෑනියා හා නිරතුරු ගැටෙන ඔහුගේ භාර්යාව මැණිකේ ලෙස පෙනි සිටින්නට සිය කණිටු සොයුරිය රත්නාවලී කැකුණවෙල තෝරාගන්නා ලද්දේද වික්‌ටර් මිගල් ශිල්පියාණන්මය

මින් දශක 04 කට පමණ පෙරදී අඛන්ඩව සෑම සඳු දිනකම රාත්‍රි යාමයේ ගුවන් විදුලියෙන් විසුරුවා හැරි මෙම ගැමි කථාංගය වර්තමානයේ රූපවාහිනී රියෑලිටි  සුපර් ස්‌ටාර් වැඩසටහනක්‌ තරමට හෝ ඊටත් වඩා ඒයුගයේ ශ්‍රාවක සිත් එක පැහර ගෙන තිබිණි

දිවයිනෙන් වැඩිම කොටසක්‌ වත්මනෙහි මෙන් නාගරිකරණයට හසු නොවී ගැමි වටපිටාවක පැවති යුගයක මෙහි කියෑවුනු සිද්ධීන් ද ඒවා ඉදරිපත් කෙරුණු දෙබස්‌ ඛන්ඩ ද සිය එදිනෙදා දිවියේම පැතිකඩක්‌ ලෙස ශ්‍රාවකයන් විසින් වටහ ගෙන තිබීමම එය එතරම්ම ජනප්‍රසාදයක්‌ දිනාගන්නට හේතුවුවා විය හැකිය

මේ කථාංගයේ ගුවන් විදුලියේ විකාශය වෙමින් පැවති සමයේම එය පාදක කොටගෙන මුවන් පැළැස්‌ස නමින්ම සිනමා පට 03 ක්‌ තිරගත විනි ඒවා ද ගුවන් විදුලි නාට්‍ය ලද ගරු සැලකිලි සම්මාන ලැබුවද එකී චරිතයන් හා ජවනිකා සම්බන්ධයෙන් එතාක්‌ ශ්‍රාවකයන් සිය මනසේ මවා ගනිමින් පැවතුණු චිත්තරූපය ට සැලකිය යුතු හානියක්‌ සිදු නොවිනි යෑයි පැවසීම යුක්‌තියුක්‌ත නොවේ 

වික්‌ටර් මිගල් ශිල්පියා රාජ්‍ය සේවයේ  සිය වෘත්තිය වගකිම් නොපිරිහෙළා ඉටුකරමින් ඊට සමගාමිව මෙම අපුර්ව ගුවන් විදුලි නාට්‍යයේ ජවනිකා මවමින් ඊට පණපොවන්නට සමත් වි සිටියේ සිය කණිටු සොයුරිය ගේ ද නොමද කැපවීම හා දායකත්වය ලබමිනි

වික්‌ටර් මිගල්  ළබැඳි භාර්යාව බියටි්‍රස්‌ මිගල් ය මේ දොපොළට දුවා දරුවන් සත් දෙනෙකි ඒ සියල්ලෝ සිය පියාණන් ගේ නාමයේ මුලකුර වු වි යන්නෙන් නම් ලද්දෝය

ඒ පිළිවෙළින් මෙයාකාරයෙනි

විනීතා  - විජිත්  - විජයන්ති  - විශාඛා - විශ්වනාත් - විචිත්‍රා  හා විනෝලා
-----------------------
සේයාරුවේ වමේ සිට දකුණට

විනීතා - විජයන්ති - විශාඛා- විශ්වනාත් - විචිත්‍රා   - විනෝලා
------------------

එකී නාමයන් සමහරක්‌ එදා ගුවන් විදුලි ශ්‍රාවකයන්හට කිසිසේත් ආගන්තුක නොවීය 


ගුවන් විදුලි රගමඩල   - ළමා රංග පීඨය - කණිටු සරසවිය - ලන්දේසි දූපත - බෞද්ධ නාට්‍යය යන මේ වැඩසටහන් ශිල්පී නාමාවලිය දිගැහැරෙද්දී

ලන්දේසි දුපතේ  
අද චරිත නිරූපනයන්  ...............ලෙස   විනීතා මිගල් ................. විජයන්ති මිගල්  ..........................  විචිත්‍රා මිගල්

නිෂ්පාදනය මහින්ද අල්ගම  ........පිටපත කරුණාතිලක හඳුවල සමග සමන් අතාවුදහෙට්‌ටි......


සිය පියාණන් ගේ අනුග්‍රහය ලබමින් ඔහුගේ පෙළඹවීම මත ඔවුහු මෙකී ක්‍ෂේත්‍රයට අවතීර්ණව දස්‌කම් පෑවා යන්න මෙයින් යමෙකුට වැටහි යනු ඇත එහෙත් සත්‍යයය අනෙකකි

ඔවුන් අතරින් විජයන්ති සහ විනීතා සිය නැන්දණිය වු රත්නාවලි කැකුණවල ශිල්පිනිය ගේ  බලපෑමෙන් ඇය විසින් යොමු කරවන ලදුව ද විචිත්‍රා සිය දෙටු සොයුරිය වු විජයන්ති ගේ මග පෙන්විමෙන් ද  ගුවන් විදුලි ය වෙත පියනැගීය

ඔවුන්  සියලුදෙනාම එහි ළමා වැඩසටහන් කරා ආධුනිකයන් බඳවා ගන්නා නියමිත ක්‍රියා පටිපාටිය හා ක්‍රමවේදය අනුගමනය කරමින්  නිසි හඞ පරීක්‍ෂණයකින් සමත්ව එහි ඇතුළත් වුවෝ වෙති


ඉහත කී සාමාජිකාවන් අතරින් නාට්‍ය අංශයේ පෙළහර පෑමෙන් නොනැවතී එවක ලාංකීය ළමා ශ්‍රාවකයන් කුල්මත් කළ ළමා ගී ගායන ශිල්පීනියෙකු ලෙස අබිසෙස්‌ ලද  විචිත්‍රා මිගල් සිය අතීතාවර්ජනයක නිරත වු අයුරුයි මේ


මාව ගුවන් විදුලිය වෙත කැඳවාගෙන ගියේ අපේ විජයන්ති අක්කා  එහිදී තාත්තා එකහෙළාම කියා සිටියා එය හඞ පරීක්‍ෂණයකට යටත් කර එහි පැවති සම්ප්‍රදාය අනුවම සිදුවිය යුතු බව

මුලින්ම සහභාගි වුයේ  වෙළඳ සේවයේ සුමනා ජයතිලක මහත්මියගේ හඳමාමා ළමා අඩපැය වැඩසටහනටයි ඒ 1970 පමණ කාලයේ කුඩා දැරියක්‌ව එහිදි මා ඒ වැඩසටහන වෙනුවෙන් ගායනා කල ගීතය තැටිගත කරනු ලැබු අතර නිතර ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුනා


ලක්‌ පොළොවේ හැඩට පිපුණු පුංචි මලක්‌ මං................

පෙති විහිදා හිනැහෙන්නට පෙරම්පුරා බලා ඉන්න....................

ටික්‌කි ටිකිරි කැකුඵ මලක්‌ මං.........................


මේ ගීතය නිර්මාණය කලේ ගුවන් විදුලි වාදක මන්ඩලයේ ටියුලින් ජයරත්න අයියා විසින් ලියුවේ මට මතක ඇති පරිදි සුමනා ජයතිලක මහත්මියමයි 

------------------------------

මෙතැනින් සවන්දෙන්න


(සංස්‌කාරක සටහන  - තාක්‍ෂණික දෝෂයක්‌ නිසා සම්පුර්ණ ගීතය වාදනය නොවිම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරමි එය හැකි ඉක්‌මනින් නිවැරදි කරමි)


පසුව තාත්තා පැවසු ලෙසම ඉහත කී හඞ පරීක්‍ෂණයෙන් සමත්ව ළමා පිටියේ වැඩසටහන් සඳහා සහභාගි වුනා ඒ සිගිති චරිත නිරූපනය කිරීම පිනිස  

මේ කාලයේ මම බම්බලපිටියේ ලින්ඩ්සේ බාලිකාවේ අධ්‍යයනය කටයුතු වල නිරත වෙමින් සිටියා පාසල අවසන් වු වහාම යන්නේ ටොරින්ටන් ‍පෙදෙසේ ගුවන් විදුලි කාර්යාලයටයි

මාව මුලින්ම එහි නාට්‍යයන් හි පෙනි සිටිම සඳහා යොමුකරන ලද අප අතරින් සමුගත් මහින්ද අල්ගම අයියා මේ අවස්‌ථාවේ ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි


නාට්‍ය අංශයේ පී වැලිකල මහතා නිෂ්පාදනය කළ බෞද්ධ නාට්‍යය කරුණාතිලක හඳුවල නිෂ්පාදනය කල ලන්දේසි දූපත රහස්‌ පරීක්‍ෂක ළමා නාට්‍යය යන මේවාට අමතරව සුගතපාල ද සිල්වා මහතා ගේ ගුවන් විදුලි රගමඩලේ චරිත සඳහද මා අඛන්ඩව පෙනී සිටියා

ඊට අමතරව ළමා සංගීත සංධ්‍යාව සඳහා ගීත ගැයීම සිදුකළා ඒ 70 දශකයේ මැද භාගයේදී පමණ මේ මා ඒ යුගයේ ගැයු තවත් ජනප්‍රිය ගීතයක්‌ මෙය ලියා දුන්නේ  නැසිගිය තලංගම ප්‍රේමදාසයන් සංගීතය නිර්මාණය කලේ අයිවෝ ඩෙනිස් මහතා විසින්

රාං කිරිල්ලි රාං කිරිල්ලි රාං කුරුල්ලා කොයි ...........

අර වෙල් යායේ මේ වෙල් යායි සිංදු කියා නටතෙයි ................

සිංදු කියා නටතෙයි තෙතෙයි තෙයි සිංදු කියා නටතෙයි ......................

---------------------

මෙතැනින් සවන්දෙන්න


ඒ කාලයේ තිබුනු එකම විද්යුත් මාධ්‍යය වු ගුවන් විදුලියේ ළමා වැඩසටහන් හි මගේ නම නිතර ඇසෙන්නට විම නිසා පාසලේද මගේ මිතුරියන් හා ගුරුවරුන් අතර මා පිළිබඳව නිතර කථා බහට ලක්‌වුනා

පසු කලෙක ආනන්ද සිරිසේන මහතා ගේ මිටියාවතේ ගීතය නම් නාට්‍යමය වැඩසටහනේ චරිත නිරූපනය කලේ පසුකාලීනව  80 දශකයේදී ඒ යුගයේ මා මිලාගිරිය සාන්ත පාවුඵ බාලිකාවේ සිසුවියක්‌ ලෙස අධ්‍යාපනය හදාරමින් සිටියා

පසුව ලංකාවේ ජාතික රූපවාහිනිය ආරම්භ කල මුල්යුගයේ එහි සේවය කල සිනමාවේදී ටයිටස්‌ තොටවත්ත මහතා මුල්වරට උසස්‌ ගණයේ කාටුන් වැඩසටහන් තෝරාගෙන ඒවා සිංහල හඞකවා විකාශය කිරිමේ ව්‍යාපෘතියක්‌ දියත්කර තිබුනා මුල් යුගයේ ඒ සඳහා පහසුකම් සපයා ගනු ලැබුවේ රජයේ චිත්‍රපට අංශයේ මැදිරි උපයෝගි කරගෙනයි 

එවකට ළමා වියේදී ගුවන් විදුලියේදී ලබාගත් පුහුණුව හා අත්දෑකිම් සම්භාරය සමගින් මා ඒ වැඩසටහන් වල පුරෝගාමි හඞකැවීම් ශිල්පිනියක්‌ ලෙස කටයුතු කළා ඔහුගේ ගලිවරයන්ගේ සුවිසැරිය හි පුංචි කුමාරි චරිතයට මා වඩාත් ප්‍රියකරනවා ඔහුගේ දොස්‌තර හොඳහිත සැකිළි රූ පෙළේ දියරකුස්‌ චරිතය හඩමුසුකලේ මගේ පියාණන් විසින්

ඒ අතීත අත්දැකීම් ඉතා සුන්දරයි 

පසුව විවහපත් ව නිවසේ වැඩකටයුතු සඳහා යොමුවන්නට සිදුවිමෙන් මා ක්‍ෂේත්‍රයෙන් බැහැරව යන්නට සිදුවුනා

මගේ පියා නැන්දනිය මා ඇතුළ අප පවුලේ සාමාජිකාවන්ගේ දස්‌කම් විස්‌කම් එදත් අදත් අගය කළ කරන අපේ ගුවන් විදුලි ශ්‍රාවකයන් වෙත අප පවුල වෙනුවෙන් මගේ ස්‌තුති පුර්වක ප්‍රණාමය පිරිනමන්නට කැමතියි

ස්‌තුතියි

(විශේෂ ස්තුතිය) -

ප්‍රවිණ නිවේදිකා මාලා වජිරා පෙරේරා මහත්මිය


විචිත්‍රා මිගල් මහත්මිය

02 August 2017 - ගී මුතු මාලා බ්ලොග් නිර්මාණ

Tuesday, July 18, 2017

ප්‍රවිණ සංගීතඥ ජයතිස්‌ස අලහකෝන් ජීවන තොරතුරු

ඉරට යටින් සඳට යටින්  - ඔබව සොයා ආවා  

ප්‍රවිණ සංගීතඥ ජයතිස්‌ස අලහකෝන් මැවූ ගී සර අසිරිය



සතුට විලයි සැපත මලයි - නෙඵවොත් මල අතින් එකයි.......

පමා වුනොත් මල පරවේ  - ඉරට යටින් හඳට යටින් කාලය පැනයනවා ..........

ගී පද නැසිගිය නිමල් වික්‍රමසේකර

-----------------

මෙතැනින් සවන්දෙන්න



ගුවන් විදුලියේ නිතර ඇසුවකි  සමූහ ගායනාවක්‌ පමණක්‌ නොව සිනමා ගීයකි නමුදු 60 දශකයේ පටන් ප්‍රචලිත බටහිර -  ලතින් ඇමෙරිකානු සංගීත ශෛලියට ද නෑකම් කියයි
කලාපෙළ නිර්මාතෘ ප්‍රවිණ සිනමාවේදී ජී ඩි එල් පෙරේරා විසින් 1968 වසරේ තිරගත කරන්නට යෙදුනු දහසක්‌ සිතුවිලි සිනමා පටයේ සාද ජවනිකාවක්‌ වෙනුවෙන් පසුබිමින් වැයුනු මෙම ගීතයේ නිර්මාණකරුවා  ප්‍රවිණ සංගීතඥ ජයතිස්‌ස අලහකෝන්ය

භාරත දේශයේ හින්දුස්‌ථානි සංගීත ආභාෂය ලද එම ගුරු කුලයේ සාමාජික  පන්ඩිත් අමරදේවයන් ද එවකට පැවති ගී රැල්ලට අනුගත වෙමින් කැලිප්සෝ ලතින් ඇමෙරිකානු නාදමාලා ට සරිලන තනුරටාවක්‌  බිහිකරනු ලැබීය ඒ මින් දෙවසරකට ඉහත තිරගත වු ආචාර්ය ලෙස්‌ටර් ගේ දෙළොවක්‌ අතර සිනමා පටය උදෙසාය

ඇතැම් විට මෙම නිර්මාණය එය ගුරුතන්හි තබන්නට ඇතැයි අනුමාන කළ හැකිය දේවානන්ද වෛද්‍යසේකර යන නාමය රසිකයන් අතරට වඩාත් සමිප වුයේ  මෙයින් බව කිවහැකිය

නමුදු ඔහු ගේ මංගල සිනමා ගී ගායනය වු ආශා දෑසින් දකිනා සිහිනේ ශ්‍රවණය කරන්නට ලැබුනේ ජී ඩී එල් පෙරේරා ගේ ද මංගල සිනමා නිමැයුම වූ  සාමා වෙතිනි ඒ මින් තෙවසරකට පෙර 1965 වසරේදිය

වනන්තරේ ගල් අරනේ විමානේට  ......

නිරන්තරේ යන ගමනේ විඩාවට.........

නමින් ශිල්පිනි මල්ලිකා පෙරේරා ගැයු ගීතයද  කළඑළි බට එකී සිනමා නිර්මාණයේ ඒ ගරුබුහුමන ට හිමිකම් කිවේ අප කථානායකයාමය ඒ ඔහුගේ මංගල සිනමා සංගීත නිර්මාණයයි
ඔහු පිළිබඳව ලුහුඞින් විමසා බලන්නට දරන ලද තැතකි මේ


බස්‌නාහිර පළාතේ ෙඓතිහාසික අත්තනගල්ල පුරවරයේ නිට්‌ටඹුව ග්‍රාමයේ ජන්ම ලාභය ලැබු ජයතිස්‌ස අලහකෝන් ගේ පියා මාටින් පෙරේරා නමින් වූ පැරණි ටවර් හෝල් ශිල්පියෙකු විය

මරදානේ සංඝරාජ විදුහලේ අකුරු කළ සියපුතු වු ජයතිස්‌සයන් තූර්ය භාන්ඩ අතදරමින් ඒවා ඇසුරේ දිවිගෙවන්නට රිසිබව දැන වටහගත් හෙතම සිය පුතු එවකට ලාංකීය සංගීත ක්‍ෂේත්‍රයේ මහා දැවැන්තයෙකු වු එච් ඩබ්ලිව් රූපසිංහයන් යටතට යොමු කලේය හෙළයේ නිළි අග රැජින මෙන්ම මහා ගායිකාව වු රුක්‌මණි දේවිය ගේ ද සංගීත ඇදුරිඳු වු ඔහු සප්ත ස්‌වරයේ න්‍යයාත්මක හා ප්‍රයෝගික මුලධර්ම පිළිබද දැනුම සිය යව්වන සිසුවා වෙත ගෙනහැරදැක්‌විය

ඉන් අනතුරුව වාදන ශිල්පකලාව ප්‍රගුණ කරවන්නට ඔහු පියනැගුවේ ඒ කටයුත්තේ දැවැන්තයන් වු පන්ඩිත් අමරදෙවයන්දිහා සංගීතවේදී බී වික්‌ටර් පෙරේරා වෙතටය එහිදි ඔහු වයලීන් වාදනය හදාරා ස්‌වෝත්සහයෙන් එය වැඩිදුරටත් ප්‍රගුණ කලේය

මේ අතරවාරයේ ඔහු භාරතයේ විශ්ව භාරතී භාත්ඛන්ඩේ සංගීත විද්‍යාලයේ පරික්‍ෂණයට පෙනිසිට ඉන් සමත්ව රජයේ පාසල් ගුරුවරයෙකු ලෙස සේවය කරන්නට පටන් ගත්තේ තමා අකුරු කල මරදානේ සංඝරාජයෙනි

ඊට සමගාමිව හෙතම දිවයිනේ ප්‍රමුඛතම සංගීත අධ්‍යක්‍ෂවරුන්ගේ නිර්මාණයන් සඳහා තෝරාගත්  වයලීන් වාදක කන්ඩායම නියෝජනය කරන්නට සමත් විය

දිවයිනේ නාට්‍ය වංශයේ රන් අකුරින් ලියෑවෙන මහඇදුරු සරත්චන්ද්‍රයන්ගේ මනමේ  ගුණසේන ගලප්පත්තිගේ මුදූ පුත්තු ඇතුඵ වෙනත් වේදිකා නාට්‍ය ගණනාවක වාද්‍ය වෘන්දයේ සාමාජිකයෙකුව සිය හැකියාව මනා ලෙස ඔප මට්‌ටම් කරගන්නට සමත් වු ජයතිස්‌සයන් සිය කලා දිවියේ සංධිස්‌ථානයකට එළැඹුනු වසර වුයේ 1964 වසරයි 

ජී ඩි එල් පෙරේරා ගේ සාමා නමින් වු වේදිකා නාට්‍යයේ සංගීත නිර්මාණය පැවරි තිබු නිසාම එය සිනමා කෘතියක්‌ බවට පත්කිරීමේ ක්‍රියාවලියේදී ද ඔහු ට එහි සංගීත අධ්‍යක්‍ෂණය පැවරී තිබුනේ එම වසරේදිය

කලාපෙළ සාමාජිකයෙකු වු සුගතපාල සෙනරත් යාපා ඒ වෙනුවෙන් ලියු පෙර සඳහන් ගීතයට සාධරණය ඉටුකරන්නට ජයතිස්‌ස අලහකෝන් සංගීතඥයා සමත් වුයේ එහි ‍ශෝකි රසය ජනනය කරවන ජවනිකාවට එය මනාව පැහි යන ලෙසට ස්‌වර පෙළගස්‌වාලමිනි 

ලියෝනි කොතලාවල නම් අධුනික යොවුන් රංගන ශිල්පිනිය කරත්තයක නැගි සිය ගම් පියසෙන් සමුගෙන යන අයුර එහි ජවනිකා පෙළින් කියා පෑහ

ඉහත සිනමා ගී ද්විත්වයෙන් පසුව ක්‍ෂේත්‍රයේ තමාට හිමි ස්‌ථානය තහවුරු කරගත් ඔහු 70 දශකයේ ජාතික ගුවන් විදුලියේ ශීල්ප හරඹ දක්‌වන්නට අවස්‌ථාවක්‌ උදාකරගන්නා ලදී

කුරවි කෙවිළ්ලන් පානා ඉගිබිගි නෑ නෑ මෙතෙක්‌ දැනුනේ ...........................

-----------------

මෙතැනින් සවන්දෙන්න


මහඇදුරු සුනිල් ආරියරත්න ගේ පද සංකල්පනාවක්‌ වු ඉහත ගීතයේ ස්‌වර සංකලනයෙන් නන්දා මාලිනිය ට සහය වු හෙතම යළිත් වරක්‌ ඇයවෙත සුමධුර තනුවක්‌ නිර්මාණය කරදුන්නේ රත්න දිසානායකගේ පදමාලාවක්‌ ඇසුරු කරමිනි

කප් සුවහස්‌කල් පෙරුම් පුරාගෙන - අනන්ත බාධක දුක්‌ පීඩා විඳ

භවෙන් භවය යන මං සළකුණු දැක - ඔබව සොයා ආවා......................

-----------------
මෙතැනින් සවන්දෙන්න



1972 වසරේදී පේරාදෙණියේ අනුලා දිසානායක සමග විවහ වු ඔහු දරුවන් සය දෙනෙකුගේ  සිය කැදැල්ලට එක්‌කරගත්තේය

1995 වසරේදී රජයේ සේවයෙන් නික්‌ම ගිය ඔහු දැනට විශ්‍රාම සුවයෙන් පසුවෙයි


විශේෂ ස්තුතිය

තොරතුරු මුලාශ්‍රය වෙනුවෙන්

මියැසි හරසර - ලාල් ආනන්ද අබේධීර මහතා වෙත












Sunday, July 2, 2017

ප්‍රවිණ සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන ජීවන තතු - 03 කොටස

එදවස දෙසවන් නැළවු සත්සර රන්ස්‌වරය  - 03 (1924-1980)

ගීතයක උපත සිදුකරවන්නට දායක වන්නෝ තිදෙනෙකු පමණක්‌ යෑයි සැහැල්ලුවෙන් සිතිය හැකි නමුත් සත්‍ය තත්වය එය නොවේ
ඒ තුන්කට්‌ටුව එනම් ගී පද රචකයා තනු නිර්මාපකයා හා ගයකයා පිළිබඳව බොහෝදුරට සැළකිලිමත් වෙයි සේස්‌සෝ නොසළකා හරිති
ගීතය පුෂ්පයක්‌ නම් එයින් විහිදුවන සුගන්ධය තනුවයි ශ්‍රාවකයා නම් මි මැසි කැළ ආකර්ශනය වන්නේ ඒ වෙතයි යුග යුග ගණනාවක්‌ රසික ශ්‍රාවක මතකයේ ගීතය තැන්පත් කරවන්නේ දසත විහිදවූ එකී සුගන්ධයයි


සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන කුඩා දියණි තිලංගනී සහ ශ්‍රීයාණි චන්ද්‍රසේන - ගී පද රචක ඒ ජේ ද සොයිසා (දකුණු කෙළවර) ගීත පටිගතකිරීමක්‌ සඳහා ඉන්දියාව බලා යන්නට සැරසී  රත්මාලාන ගුවන් තොටුපොළ  - 50 දශකයේ අග භාගය


පදමාලාව දුරවබෝධ විදේශිය ගී නිර්මාණ අගය කරන්නේ මේ කරුණ නිසා යන නිදසුන ඒ උදෙසා ගෙනහැර දැක්‌විය හැකිය

සිංහල සිනමාවේ මුල් දශකයේ අඩංගු වු ගීතයන් වැඩිමනත් සංඛ්‍යාවක්‌ අසල්වැසි භාරතීය සංගීතවේදීන් විසින් එහි නිර්මාණය කරන ලද තනු උපුටා ඒ මත වදන් අමුණවා නිමැයුවේද ඒ නිසා වන්නට ඇත
මේ තනුව වඩාත් හැඩවැඩගන්වන්නේ රසලිප්ත කරන්නේ ගීයකට පැළඳවු ආභරණ බඳු අන්තර් පුර්ව සංගීත ඛණ්‌ඩ නිසයි ඒ නිර්මාණය තෙවැනි ශිල්පියෙකුගේ -  සංගීතඥයෙකුගේ විය හැකිය ඒ කටයුත්තේ නිරත වන්නා ද වෘත්තිමය ශිල්පියෙකු විය යුතුමය 

පද මාලාවෙන් කියැවෙන අදහස හොඳින් අවබෝධකරගෙන සිත්හි ධාරණය කරගෙන තනුව සවන් යොමා ඒවා මනාලෙස සම්බන්ධීකරණය වන සේ ඒ කාර්යය සම්පුර්ණ කෙරේ

ඇතැම් දේශිය විදේශිය ගී නිර්මාණයන්හි තනුව අදාළ ගායකයා ගේ මනසේ අකාස්‌මිකව හටගනු ලැබ ඔහු විසින් එය මුමුණයි 

ඊට සවන්දී ඊලග වැදගත්ම පියවර සඳහා මැදිහත් විය යුත්තේද සංගීතය විෂයනුබද්ධව පුඵල්ව හදාරා එහි අභ්‍යාසයන්හි නිරතව ඒ පිළිබඳව අත්දැකීම් ඇත්තෝය ඔවුහු අදාල මිමිණීම සංගීත භාෂාවට පරිවර්තනය කරති එනම් ස්‌වර ලිපියක්‌ බවට හරවා දෙන්නට දායක වෙති

එයිනුදු අදාළ නිර්මාණ කාර්යය නිමාවක්‌ නොදකී අන්තර් වාද්‍ය ඛන්ඩ තනුවෙන් කියවෙන තාලය අනුව නිපැයූ සංගීත රටා වැයීමට සුදුසු කිනම් අයුරකින්දැයි යන්නද ඒ සඳහා තෝරාගත යුත්තේ කුමානාකරයේ වාද්‍ය භාන්ඩදැයි යන්න ද තීරණය කෙරිය යුතුය ඒ අනුව අදාළ වාද්‍ය ශිල්පීන් කැඳවා සම්බන්ධීකරණය කළ යුතුය

ස්‌වර ලිපි ඔස්‌සේ යමින් ඔවුන්ව පුහුණු කළ යුතුය

අවසාන පියවරේදි අදාළ ගායකයා හෝ ගායිකාව කැඳවා තනුව වයා පෙන්වා ගයා පෙන්වා වාදක මන්ඩලය යොදා පෙර පුහුණුව සිදුකළ යුතුය

මේ සඳහා සැලකිය යුතු පිරිසකගේ ශ්‍රම දායකත්වය හා කාලය වැය කළ යුතුය

ගී ශ්‍රාවකයන් මේ සියුම් කරුණු කෙරෙහි සැළකිලිමත් නොවෙති අදාළ නිර්මාණය රසවිඳින්නට ඒවා අනවශ්‍යයය

ඒ සමගම එයාකාර ආත්මාර්ථකාමි සිතිවිලි තම මනස වෙළෙද්දී එය මැඩපවත්වාගනිමින් එකී ශීල්පීන් ගේ  අමිල නිර්මාණ දායකත්වය පැසසිමෙන් අගය කරනු ලැබීමෙන් ඔවුහු වඩාත් ෙෙධ්‍යර්යමත්වය නව පන්නරය ලබමින් වඩාත් සුන්දර මධුර මනෝහර නිර්මාණ නිර්මාණය පිනිස කැප වෙනවා ඇත

පදමලාව නිර්මාණය හා තනුව යෙදීම යන දෙකරුණටත් වඩා සංකීර්ණ නිර්මාණකරණයක යෙදිය යුත්තේ පසුව ඉහත සඳහන් කළ සංගීත අධ්‍යක්‍ෂවරයාය ඔහු ගීතය පටිගත කිරීමේදී තම වාද්‍ය වෘන්දය මෙහෙයවීමේ කටයුත්තේ නිරත වෙයි

මේ ලිපියෙන් සාකච්ඡාවට බඳුන් වන ජ්‍යෙෂ්ඨ සංගීතඥ නැසිගිය ආර් ඒ චන්ද්‍රසේනයන් ඉහත කී සියුම් නිර්මාණකාර්යයේ පරතෙරට පැමිණ ඒ කටයුත්තේ මනා ලෙස නිරතවූ පුරෝගාමියෙකි

සංගීත සංයෝජනයේ එනම් අධ්‍යක්‍ෂණයේ නිපුණතාවයක්‌ ලබා සිටි බී ඇස්‌ පෙරේරා ගේ අභාවයෙන් පසු එකී කටයුත්ත අඛන්ඩව සිදුවුයේ මේ ආර් ඒ චන්ද්‍රසේනයන් ගේ ගුරුහරුකම් උපදෙස්‌ අවවාද යටතේය

එකී ක්‍ෂේත්‍රයේ සුරුවිරුපෑ ශීල්පීන් විරළබව හමුවේ ඒ කාර්යය තමන්ගේ කරට ගෙන නගරයෙන් නගරයට යමින් සංගීත සංදර්ශන වාද්‍ය වෘන්දයන් මෙහෙයවීමද  නොයෙක්‌ ශබ්දාගාරයන් වෙත ගොස්‌ වෙළඳ තැටි ගී නිර්මාණ පටිගතකිරිමේ වාද්‍ය ශිල්පීන් ගේ නියමුවා ලෙසින්ද ඔහු අතිශයින් කාර්ය බහුල දිවියක්‌ ගත කළේය



සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන සහ එම මහත්මිය සිය සිසු කැළ සමග
60 දශකයේ ක්‍රමයෙන් ජනප්‍රීයත්වයට පත්වූ වෙළඳ තැටි උදෙසා ගැයුණු හර්මනි එනම් කන්ඩායම් ගී නමින් එදාද අදද ගුවන් විදුලියේ වර්ගීකරණයට පාත්‍ර වූ ගීත සංගීත සංයෝජන ගුරුහරුකම් ලැබුයේ චන්ද්‍රසේනයන් වෙතිනි

ඒ සඳහා නොමසුරුව තම කාලය හා ශ්‍රමය වැය කරමින් ස්‌වකීය වාද්‍ය වෘන්දයේ සහය ලබාදුන්නේය ක්‍ෂෙත්‍රයේ ශිල්පීන් විමසන ලදුව ගීතයක සංගීත සංයෝජනයේ ඇතිවන ගැටඵ දුරවබෝධී කරුණු වහා නිරාකරණය කර දෙන්නට හෙතම සැදී පැහැදී සිටියේය

 එහෙත් ඒවා හෙළිදරවු කරන්නට හෝ ඉදිරිපත් වී තම දායකත්වය පිළිබඳව ලැබිය යුතු ගරු බුහුමුන හෝ කිසිවිටක නොපැතීය 


දසබලධාරී බුදුරජු පෙරකළ නම් බොදු ගීතය ඔස්‌සේ ජනගත වූ චන්ද්‍රසේනයන් එහි කියෑවුණු බෝසත් ගුණයන් හි පිහිටා සිටිමින් තමා ගුරුහරුකම් සුරුවිරුකම් පෑ වෙනත් ශිල්පීන් ගේ ගී නිර්මාණයන් ජනප්‍රීය වී ශ්‍රාවකයන් අතර රැඳෙනු දකිමින් නිහතමානීව සතුටු විය

ගුවන් විදුලියෙන් පරිබාහිරව ගී පටිගතකිරීම් සංගීත සංදර්ශන වෙනත් ගී ප්‍රසංගයන් හිදී ශිල්පීන් පමණක්‌ නොව වෘත්තිකයන්ගේ හා රසිකයන්ගේ මුවග  තුඩ තුඩ රැවදුන්නේ චන්ද්‍රසේන මාස්‌ටර් යන නාමය බව පසක්‌ කරවන්නට සමත් නිදසුන් බොහෝය

60 දශකයේ දී ඔහු නව ආරක ගී ප්‍රසංග මාලාවක්‌ සංවිධානය කරන්නට පෙරමුණ ගත්හ ඒවා සිය පියඹ - දියණිවරු ගේ නාමයන් අනුව යමින් නී කරය යොදා චතුරංගනී පංචගනී ලෙස නම් කෙරිණි එවක සුපිරි තරු යුවල වු රුක්‌මණී දේවි සහ එඩී ජයමාන්න ඇතුඵ ගායන ශිල්පීන් ගණනාවක දායකත්වය නිසා ජන ගංගා උතුරා ගලා ගියහ

මේවා යේ නිවේදක කටයුතු සිදුකලේ  ගුවන් විදුලියේ ඒ කටයුත්තේ ප්‍රවිණයන් වු කරුණාරත්න අබේසේකර හා ආනන්ද සරත් විමලවීරයන්ය


තම ගම්පියස වූ කන්ද උඩරට සෙංකඩගල පුරයේ ප්‍රමුඛතම ව්‍යාපාරික ප්‍රභූවරයෙකු වූ ඊ ඩබ්ලිව් බාලසූරිය මහතා විසින් එහි පවත්වාගෙන ගිය කැන්ඩි ලේක්‌ ක්‌ලබ් හි සංගීත ප්‍රසංග මෙහෙයවීම සිදුකලේ ද චන්ද්‍රසේනයන්ය

ඒ නගරයට ආසන්න කඩුගන්නාවේ උප නගරවැසියෙකු වු සංගීතලෝලී ආධුනික වික්‌ටර් රත්නායක නම් යව්වනයා ගේ දස්‌කම් අගයා එහි කැඳවා ගයවා වයවා හෙළගී ක්‍ෂේත්‍රයට ඒ අමිල නිධානය හිමිකරවාදෙන්නට මුල්වුයේද මෙකි චන්ද්‍රසේනයන්මය

එවකට බොහෝ ශිල්පීන්හට දුරවබෝධී රේඛා මන්ඩල ප්‍රස්‌ථාර ක්‍රමයේ මුලධර්ම කියා පහදා දෙන්නට නොපැකිලුනේ ඒ සඳහා තම දයාබර බිරිඳ ශ්‍රියානි චන්ද්‍රසේනයන් වද හවුල් කරගෙනය 

බටහිර සංගීතයේ ප්‍රකට හර්මනි ශිල්පිය ක්‍රම සුසංවාද ප්‍රසංවාද ප්‍රයෝග ප්‍රයෝගිකව සිංහල ගී නිර්මාණ උදෙසා භාවිතා කිරිමේ කලාව හා ඊට ඇවැසි පුහුණුව වෙනුවෙන් අතහිත දුන්නේය

සිනමා හා වෙළඳ තැටි පටිගතකිරීම් හමුවේ තමාට හිමිවු අවස්‌ථාවන්හිදී ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් ගේ දායකත්වය රිසි සේ ලබාගත හැකිව තිබියදී ඔහු එය පසකලා ආධුනිකයන් හට අවස්‌ථාව ලබා දුන්නේය

පසුව දිවයිනේ ජනප්‍රියතම ගායන තරු ලෙස අබිසෙස්‌ ලැබු වෝ කලෙක ඔහුගේ නිවස්‌නය ද වු මරදානේ දුම්රිය ස්‌ථානයට විරුද්ධ දෙසින් පිහිටා තිබුනු චන්ද්‍රසේන සංගීතායතනයේ ඉදිරිපස පෙළ ගැසි සිටියෝ වූහ ඒ ඔහුගේ සංගීත ප්‍රසංගයන්හි ගීයක්‌ ගයා රසිකයන් අතර සිය නම රැන්දවීමේ වරය අපේක්‍ෂාවෙනි


චන්ද්‍රසේන සංගීතායතනය වෙත ශිල්ප පතා පැමිණි  දියණිවරුන් පටිගත කිරීම් උදෙසා සහභාගිකරවා ගනු ලැබීය පසුව චන්ද්‍රසේන ආර් ඒ සී ලේබලයේ ගී ගැයු චම්පා අතපත්තු එවැන්නියකි

නිහාල් නෙල්සන් ධනපාල උඩවත්ත ඩබ්ලිව් ප්‍රේමරත්න ඒ අතරින් පසුව ජනප්‍රියත්වයේ හිනිපෙත්ත කරා යොමුකරවුයේ ය විවිධාකාර සංගීත භාන්ඩ වාදනය ශිල්ප හැදෑරිම පිනිස එහි ඇතුළත් වු ආධුනිකයන් ඔහු විසින් ගුවන් විදුලි වාද්‍ය වෘන්දය වෙත යොමුකරවනු ලැබුවේය

මෙයාකාර අසිරු ගමනක යෙදෙමින් මහත් සේ කාලය ශ්‍රමය හා ධනය ද වැයකරමින් තමා දැඩි සේ ඇඵම් කල ගී තනු නිර්මාණ කටයුත්තේ යෙදි සිටි ඔහු ඒ දක්‌වා පස්‌විසිවසරක කාලයක්‌ ගතකර තිබිණි

ප්‍රවිණ ගුවන් විදුලි නිවේදක ගී පද රචක කරුණාරත්න අබේසේකරයන්  එඩි  - රුක්‌මණි යුවළ ඇතුඵ මිගමුවේ මිනර්වා සමාජිකයන් පුවත්පත් කලාවේදීන් ප්‍රසංග සංවිධායකයන් වෘත්තිය මට්‌ටමෙන් හා පෞද්ගලිකව ද ඔහු ඇසුරු කළහ 

මේ 1961 වසරයි ඒ මිතුරු කැළ අතර සිටි එම් පී ගිල්මන් තමන් විසින් නිර්මාණය කරන්නට නියමිත සිනමාපටයේ සංගීත ඇදුරුකම කරන්නට චන්ද්‍රසේනයන් හට පවරා තිබිනි 

එවර සරසවි දෙවි තොමෝ ඔහුගෙන් දුරස්‌ ව ගිය හැඩකි  වාසනාව සැමවිමට ලග රැදෙන්නේ නොවේ වැදිබිම වෙනුවෙන් ඔහු  මැවු උක්‌ත සත්සර රටා වියැකි වියළි ගියේය

මේ අතරවාරයේ අමරසේන කුමාරසිංහ නම් මිතුරා තවත් සිනමා නිර්මාණයකට අතගැසුවේ චන්ද්‍රසේනයන් හට එහි ගීත නිර්මාණය කරන්නට ඇරයුම් කරමිනි

එවර ඔහු දිවා රෑ නොබලා වෙහෙස ව ඊට තම උපරිම ශක්‌තිය යෙදවීය කරුණාරත්න අබේසේකරයන් ගේ පෑන් තුඩින් ගලා ආ පහත වදන් එකිනෙක සත්සර මුතුපට ලා අමුණනන්ට පටන් ගත්තේය


මිහිළිය ගේ තුණු සපුව පුරා..........

විහිදුණු දිවයුරු යුවළ නෙළා...............


මිහිදුම් සඵවෙන් ජයට ඔතා.................

ඉගිබිගි පාමින් කියන කථා..............


මෙතැනින් සවන්දෙන්න



 -----------------------


එතාක්‌ ක්‍ෂෙත්‍රයේ නොරැඳි නැවුම් හඩක්‌ යොදාගත්තේ නම් මැනැවයි ඔහුට පසක්‌විනි ඩබ්ලිව් ප්‍රේමරත්න ගැයු මුල්ම ගීතයෙන් පසුකලක ඒ නාමය දසත පැතිර ගියේය


ලස්‌සන මලකට ළංවි  - වන බඹරු ගයා පෙම් ගී..........

එහි රොන් රසය උරති  සැංගී.............


අසමාන රූපේ ලෝකේ - පුදතී දනෝ.......

රණහංස ළමැදේ දෑසේ - සුවදේ මනෝ - තුසිතේ සැප දේ සිනා.....


අමරසේන කුමාරසිංහ - මිරිගුව (මහජන ප්‍රදර්ශනය - 1971  ගීත - 1964)

ආර් ඒ චන්ද්‍රසේන
කරුණාරත්න අබේසේකර

මෙතැනින් සවන්දෙන්න



 -----------------------



දිවයිනේ විශේෂයෙන් කලා කටයුතු වැඩිමන්වම සිදුවෙමින් පැවති අගනුවර ආර් ඒ චන්ද්‍රසේන නාමය දසත පැතිරි යමින් පැවතුනු අතර විනෝද එළිමහන් සංගීත ප්‍රසංග කලාව බටහිර තනු නිර්මාණ ගැබ්වු සිංහල ගීත යන මෙකිනොකි ක්‍ෂේත්‍රයන්ට පිවිසෙන්නට සිහින මැවු අධුනිකයන්ගේ නවාතැන චන්ද්‍රසේන සංගීතායතනයයි 

නිහාල් නෙල්සන් නමින් වු අධුනික තරුණයෙකු චන්ද්‍රසේනයන් හමුවේ පෙනි සිටියේය  ඒ තමා වෙත ලැබි තිබුනු පදමාලාවකට තනු නිර්මාණය කරගැනීම පිනිසය

ඒ යව්වනයාටම සරිලන වේගරිද්ම තනුවකින් සුසැදි ඒ ගීතය 1963 වසරේ දිනක ජාතික ගුවන් විදුලියෙන් විසුරුවා හැරියේ කරුණාරත්න අබේසේකරයන්ගේ හඳුන්වාදීමේ පාඨයකිනි 


ලස්‌සනට පිපුණු වනමල් ගල් පීරෙන දියවැල්.....................


මං ආස කරන මැණික්‌ කැටේ නිල්...............

දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්...............

ලස්‌සන මගේ කිරිල්ලි සුරතල්..................

පද රචනය - සරත් මුණසිංහ (පසුව බමුණුගම ශාන්තවිමල හිමි නමින් පැවදි දිවියට එළඹින  එපා එපා මස් කන්නට කිරි අම්මාගේ ගීතය ඇතුඵ නිහාල් නෙල්සන් ‍ වෙනුවෙන් ගී කිහිපයක් රචනා කරන ලදී


මෙතැනින් සවන්දෙන්න


 -----------------------


ගෙවිගියේ යම්තම් මාස කිහිපයකි එවර ඔහු කරා එළඹියේ රෝලන්ඩ් අමරසිංහ නම් වු අංකුර සිනමා වේදියාය තමාගේ නවතම කෘතියේ ගී තනු නිර්මාණ සඳහා ඔහු ද චන්ද්‍රසේනයන් තෝරාගෙනු ලැබ සිටියේය

ගුවන් විදුලියෙන් ඈත්වෙමින් ද සිනමා ගී ගායනයෙන් මදින් මද දුරස්‌වෙමින් ද හුදකලා  වෙමින් සිටි ස්‌වකීය  මිතුරු ධර්මදාස වල්පොල ට අවස්‌ථාවක්‌ උදාකරදෙන්නට ඔහු ඉටගත්තේය


ජීවිතේ ජීවිතේ  ප්‍රීති සංචාරෙකි ලොවේ - ගමන මිහිරේ රසයි විනෝදයි......

සිත දිවා රෑ රැඳී සුවේ..................

අහසේ පාවේන සුනිල් වළා - කන්ද සිඹ සිඹ තුරුල්වෙලා..........

රහස කොඳුරයි හැබැයි නොතෙරෙයි - යන්න හිතෙනවා ඉගිල්ලිලා..........

රෝලන්ඩ් අමරසිංහ - කොළඹ හාදයෝ - 1966
ආර් ඒ චන්ද්‍රසේන
කරුණාරත්න අබේසේකර


මෙතැනින් සවන්දෙන්න



 -----------------------

එය කොළඹ හාදයෝ නමින් 1966 වසරේ තිරගත කෙරිණි මෙකී වසර වසර සිංහල සිනමා ගීත කලාවේ අති සුවිශේෂී වසරක්‌ බවට පත්විනි 

කේ වෙන්කටසාලවන් ගේ මහ රෑ හමුවූ ස්‌ත්‍රිය සිනමා පටයේ සංගීතඥ එම් කේ රොක්‌සාමි ගේ ස්‌වරරචනා වූ

01 සරවන බව කඳසුරිඳුගේ තෙදබලේ (මොහිදීන් බෙග් - කරුණාරත්න අබේසේකර)

සිනමාවේදී කේ ඒ ඩබ්ලිව් පෙරේරා ගේ අති සාර්ථක සැනසුම කොතනද සිනමා පටයේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් නිර්මිත අමරණිය ගීතාවලිය වූ 

02 සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලේ (හරූන් ලන්ත්‍රා - ඇන්ජලීන් ගුණතිලක  - පබැඳුම - ධර්මසිරි ගමගේ)

03 තරුණ සිතක මිහිර රැගෙන අපු කුරුල්ලා (සී ඩි ෆොන්සේකා)

04 සංසාර ගමනේ තන්හා ආශා - ක්‌ලේශ මාර සේනා (පන්ඩිත් අමරදේව)


ධර්ම ශ්‍රී කල්දේරා අධ්‍යක්‍ෂණය කල සීතල වතුර සිනමාපටය වෙනුවෙන් කේමදාසයන් ගේ තනු රචනා අඩංගු
05 මංගල දිනයේ රසමධු පානේ (ලතා - ධර්මදාස - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ)

ආචාර්ය ලෙස්‌ටර් ගේ දෙළොවක්‌ අතර සිනමාපටය වෙනුවෙන් පන්ඩිත් අමරදේවයන් ගේ සංගීත නිර්මණ රැගත්

06 ගයන ගැයුම් නටන නැටුම් (නෙවිල් ප්‍රනාන්දු)

කේ ඒ ඩබ්ලිව් පෙරේරා ගේ කපටිකම සිනමාකෘතියේ ලතා වල්පොළ ගැයු

07 කුරුඵ රෑන් රෑන් රෑන් සතුට ගේන් ගේන් ගේන්

ලයනල් අමරසිංහ  ගේ වෙසෙතුරු සිරිත කෘතියේ පන්ඩිත් අමරදේවයන් ගේ සත්සර මුසුව ගැබ් වූ

08 රුවන් වළා දුහුල් කඩින් එබි සඳේ රිදි කැඵම් (නන්දා මලනී - මහගම සේකර)


හා
සිනමාලෝලින් මන්මත් කල අදද කථාබහට ලක්‌වන ගාමිණි ෆොන්සේකා සිනමාවේදියාගේ පරසතු මල් සිනමා කෘතියේ ආචාර්ය ලයනල් අල්ගම ගේ නිර්මාණයක්‌ වූ

09 පරවුනු මල්වල සුවඳ අතීතේ - (සුජතා අත්තනායක)


එකිනෙක පරයා නැගී දසත සුගන්ධවත් වූ ගී පුෂ්ප මාලාවක පිබිදීම සනිටුහන් කලේය

ලේක්‌හවුස්‌ ආයතනය විසින් පළකරන්නට යෙදුනු සරසවිය සිනමා පුවත්පත අනුග්‍රහයෙන් ක්‍ෂේත්‍රයේ නිර්මාණකරුවන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබු සරසවිය සිනමා උළෙලේදි සම්මානිත විම සිනමා කලාකරුවෙකු ගේ සංගීතවේදියෙකුගේ ගායන ශිල්පියෙකු ගේ එදාමෙදා තුර ඒකායන ප්‍රාර්ථනයයි සිහිනයයි 

ඔහු හෝ ඇය කලාලොවේ තමා නිරතව සිටින ක්‍ෂෙත්‍රයේ රජුන් රැජිනන් බඳු ලෙස කිරුඵ පැළැඳීම සිදුකරනා එකි උළෙලේ එළඹෙන මොහොත  ඔවුහු අතැගිලි ගනිමින් බලා සිටිති

1967 වසර ගතවෙමින් තිබිණි එක්‌තරා දිනක තම සංගීත දිවියේ අසන්නට ලැබු සුන්දරතම වදන් පෙළ ගැබ් වූ පනිවිඩය සිහින පැතුම් මල්ඵල ගැන්වීමේ ඉගිය ඔහුට ලැබිනි

තමා විසින් සංගීත අධ්‍යක්‍ෂණය කරන්නට යෙදුනු කොළඹ හාදයෝ සිනමාපටය වෙනුවෙන් ලතා වල්පොල ලවා ගායනා කරවා ඇතුළත් කරනු ලැබූ   අලෝකේ දිලා අපේ ගම නාගාලා නිර්මාණය ඒ වසරේ හෙල සිනමා ගී ලොව අභිසෙස්‌ නංවන්නට සුදනම් ව තිබිමේ තොරතුරයි

අසන්න මෙතැනින්



 ---------------------
මහත් සේ උද්දාමයට පත් චන්ද්‍රසේනයන් එවැන්නක පැවතිය යුතු රහස්‍යභාවය ඒ වෙනුවෙන් අනුගමනය කල යුතු වැඩපිළිවෙල සම්බන්ධයෙන් අමතකව ගොස්‌ තිබිණි 

ඒ සුභ පණිවුඩය තම හිත මිතුරු කැළ හා කියාපාමින් තම නොහිම් සතුට බෙදාහදාගන්නට ඔහු ඉක්‌මන් විය 

සම්මාන උළෙල පැවැත්වෙන ඒ සුභ දිනය එළැඹියේය 

උළෙලේ කටයුතු උත්කර්ෂවත් අන්දමින් සිදුවෙමින් පැවතින

තමා කලා දිවියේ අසිරිමත් මොහෙත එළෙඹියේය  සම්මානයට  අදාල නිවේදනය සුදානම්ය

මේ වසරේ විශිෂ්ඨතම සංගීත අධ්‍යක්‍ෂණය වෙනුවෙන් පිරිනැමෙන සම්මාණය  අත්හිටවනු ලැබ ඇති බව කරැණාවෙන් සළකන්න

චන්ද්‍රසේනයන් ට තම හෘද ස්‌පන්දනය නැවති ඇතැයි සිතිනි 

කුමක්‌ද සිදුවුනු පෙරළිය ? කෙසේ එය ගිළිහුනිද ? තීරණය වෙනස්‌ කර ඇත්තේ මන්ද ? 

ඊට පසුබිම් වු සිද්ධිය හාරා අවුස්‌සනු ලැබූ පසුවිපරමින් හෙළි වු දෑ ඔහුගේ කම්පණය දෙගුණ තෙගුණ කරනු ලැබීය එක්‌තරා කලෙක තමා යටතේ තමාගේ ම ගුරු හරුකම් ලැබූ සගයෙකු ගේ නම ඊට ගෑවිගොසිනි
ජූරි සභාවට සියගණනක්‌ තැපැල් පත් ද පෙත්සම් ද ලැබී තිබුණු බවත් විනිශ්චය මන්ඩලයේ රහස්‍ය භාවය කෙළෙසා ඇති බවත් එයින් පවසනු ලැබ තිබිනි
රුදුරු ගොර සපුන් අරක්‌ගෙන ඇත්තේ තමාගේ මේ ක්‍ෂේත්‍රයේ නොවේදැයි ඔහුට සිතිනි 

ඔහු බලවත් ලෙස කැළඹීමට පත් වි සිටියේය මෙයින් සමුගෙන ඉවත්ව යනවාද නැතහොත් මේ අසාධරණයන් දරා සිට ඊට මුහුණ දී රැඳී සිටිනවාද යන පැණය ඔහු ට ඉතිරිව තිබුනි

මතු දිනක යළි හමුවෙමු ...........................

(විශේෂ ස්තුතිය - ආචාරිනී දර්ශනී චන්ද්රසේන - ආර් ඒ චන්ද්රසේන කණිටු දියණිය)