namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, December 21, 2023

එදා සිංහල ගම්මානය - 03 අංකය

 සීංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 03

කූලීන යුවතියන් ගේ පොදු නාමය ’මැණීකේ’ ය. ඔවුනතරින් ’හීන් මැණීකේ’, ’පොඩි මැණිකේ’, ’කඵ මැණිකේ’ , ’සුදු මැණිකේ’, ’කොයින් මැණිකේ’, ’මුතු මැණීකේ’ සිටියාය. මේ අතරින් ’රන් මැණීකේ’ වඩාත් උසස්ය. වර්තමානයේ මේවා ඇතැම් නාගරිකයන් ගේ දූවරුන්ගේ  පවුල් ජාලය තුල ’සංකේත නාම’ බවට පත්වී තිබුනද, එදා ඒවා ළඳුන්ගේ අව්‍යාජ නාමයන්ය.  වැඩිමනත්ව භාවිත වූ බව කියැවෙන්නේ පෙර දවස උඩරට රාජධානියට යටත් බල ප්‍රදේශයන් හිදීය. 


කූඹුකේ ළිඳෙන් දිය නා අපූරුයි ...

රන්කඳ වාගේ රන්මැණීකේ ..........

සීතල වතුරට නුහුරුද මන්දා ...

හිතට දුකයි මගේ රන් මැණීකේ....

ගිනිකන ගිනිඅව්වේ කොටනවා ...

වෙල් නියරේදී මට පෙණුනා ....

අනේ හැබෑටම මොකදෑ මන්දා ...

හිතට ඉබේටම දුක හිතුනා.....

----------------------------------------------

(අජන්තා රණසිංහ නිබන්ධකයාගේ ගීයේ ගැයුම අබේවර්ධන බාලසූරිය සහ නිර්මලා රණතුංග ගෙනි, සංගීතය රෝහණ වීරසිංහ - 1976)

වියළි කාලයකදී, සැඩ හිරු රැසින් පීඩා ලබමින් සිය කාර්යයේ නිරතවනවා විනා වෙනත් විකල්පයක් ගොවිතැනෙහි නිරතවන ගැමියෙකුට නැත. මේ තත්වය, කර්කශ දේශගුණයකින් යුත් පළාතකදී තවත් දැඩි වෙයි. කය වෙහෙසා දහඩිය මුගුරු හෙළමින් මිහිකත සමග පොර බදන ඔහු, ඒ සිදුකරන්නේ භෝග වගාව සඳහා පොළොව සකස් කිරීම, කටුකොහොල් හැර නව බිමක් සූදානම් කිරීම හෝ අස්වනු නෙළාගැනීමේ කටයුත්තද විය හැකිය. ’අත්තම්’ එනම් ගම්මානයේ සෙසු පුද්ගලයෙන්ගේ කටයුතු සඳහා ස්වේච්ඡාවෙන් සහභාගි වෙන්නට ගිවිස ගෙන සිටින ඔහුට සිය බිම්කඩේ වගකීම අහවර කළ පසු, වෙනත් අයෙකු වෙනුවෙන් ශ්‍රම දායකතවය පුදදෙන්නට සැදී පැහැදී සිටිය යුතුවේ. ’වගා කටයුතූ’ පමණක් නොව නව නිවසක් එනම් පැල්කොටයක් අටවා ගැනීම වැනි තරමක භාරදුර කටයුත්තකදී ඔහුට මිනිස් ශ්‍රමය ඇවැසි වේ. 


ගමේ ප්‍රභූවරුන් වූ ’වෙද මහත්තයා’ මෙනම් ’ආරච්චිල හෝ කොරාළ’ ගේ ඉඩකඩම් සම්බන්ධ කුදු මහත් කටයුතු වලදී, ඔහුගේ අණ පරිදි තම ශ්‍රමය කැපකරන්නට සිදු වන්නට ඇත. ඊට හිලව් ලෙස ’ආහාර සහ වගා ඉඩම්’ භුක්ති විඳිමේ වරය පමණක් ලබන්නට ඇත. ’වලව්වක’ සේවය කරනු සඳහා ගැමියන් ගැමිකතුත් විශාල සංඛ්‍යාවක් සැදී පැහැදී සිටියහ, එහි මුඵතැන්ගෙය නිරතුරු කාර්ය බහුලය. මක් නිසාද යත් වෙනත් දුර බැහැර සිට සිය බල ප්‍රදේශය පසුකරගෙන යන ප්‍රභූන් හට බත බුලතින් සහ වෙනත් දෑ සපයා සංග්‍රහ කරන්නට ප්‍රභූවරයා වගකීමෙන් බැඳි සිටින බැවිනි. ඒ වැඩ රාජකාරි ඉටු කරන්ගන්නේ තම යටත් වැසියන් වූ ගැමියන්ගේ ශ්‍රම දායකත්වයෙනි. ඔවුන්ගේ යහපැවැත්ම කලදවස තිරණය කරන්නේ එකී ප්‍රභූවරයාමය. ඉංග්‍රිසි යටත් විජිත සමයට පෙර, රජ දවස හමුදා සේවයට මානව සම්පත සපයන්නේ ද නිළමේතුමාණෝ මය. එදවස ඔහු ගේ අණ පරිදි සිය අඹු දරුවන් තනිකොට දමා, ගැමියා රාජසේවයට දුර බැහර යා යුතුම වේ. එවිට ඔහුගේ ගොවිතැන් කටයුතු අඩාල වීම නොවැළැක්විය හැකිය. උඩරට පළාතේ ’එකගෙයි කෑම’ නමින් ව්‍යාවහරයට පත් එකම පවුලේ සහෝදරයන් ගණනාවක් එක් යුවතියක් සිය පවුලේ පොදු ’භාර්යාව’ ලෙස තොරාගැනීමේ චාරිත්‍රය පැතිර යන්නට ඇත්තේ මෙවන් කාරණා හේතුකොටගෙනද විය හැකිය. කිසියම් කරුණක් නිසා එක් සහෝදරයෙකු ජිවිතක්‍ෂයට පත් වුවහොත්, ඔහුගේ අඹු - දරුවන් අනාථ විම එයින් වැළකී යයි.  

උඩරට රජදවස නිත්‍ය හමුදා සාමාජිකයන් සමන්විත වූයේ අදමෙන් වැටුපකට සේවය කරන්නට ඇපකැප වූ සිමිත සංඛ්‍යාවක විදේශිකයන් ගෙනි. ඔවුනතර දක්‍ෂින භාරතීය ජනවාර්ගිකයන්ද, අග්නිදිග ආසියානු රටවලින් පැමිනි (මැලේ හමුදාව) පුද්ගලයන්ද විය. ඔවුන් සෙංකඩගල මහවාසල අවට, රජුගේ පෞද්ගලික අංගාරක්‍ෂක භට පිරිස නියෝජනය කරන්නට ඇති නමුදු, ආක්‍රමනයකදී දස දහස් ගණනින් පෙරට ආවේ   ගැමියන් සහ දුනුවායන්ගේ රාජකාරිය ඉටුකරදුන් ’වැදි’ ජනතාවය පමණකි.



කුලීන රදළ වංශිකයන් ගේ පවුල්වල සාමාජිකයන් හා සමීප සබඳතා පැවැත්වීමේ වරය උසස්ම කුලය නියෝජනය කල ’ගොවි වංශිකයන්’ ට පවා අහිමිය. එහි ආදිනවය විනාශකාරීය. මක් නිසාද යත් ව්‍යවස්ථාදායකයද, විධායකයද, අධීකරණයද උක්ත ප්‍රභූවරයා විම නිසාය. ඔහුගේ අධීකරණ බලය එනම් මරණීය දන්ඩනය පැනවීම වැනි දෑ පමණක් සිමා වී තිබුනත්, එයින් පහළ දන්ඩනයන් ඔහුට පැනවිය හැකිය. මරණ දන්ඩනය පමුණුවන්නේ ’රජු’ ය. එහෙත් ප්‍රභුවරයා තම සිමාව ඉක්මවා කටයුතු කළේ නම් ඔහුව අධීක්‍ෂනය කිරීමේ බලධාරීයා වූ ’රජු’ ද අසරණ ගැමියන් ගේ පාර්ශ්වය උදෙසා සාධාරනය ඉටුකරන්නට ඇත්දැයි යන කුකුස හටගනී.

නුදුරින් ඇති කුඹුරු යායේ දිය පිරි ඇත්තේ එය අස්වද්දා එතරම් දිනක් ගතනොවූ නිසා විය හැකිය. ළීයදි වෙන්කෙරෙන ’නියර’ අතරින් එකකින් අනික් ළියද්දකට දිය බේරි ගලා යන්නේ වක්කඩෙනි. එහි ජලය වේගයෙන් ගලාබසී ඒ අනුව


වක්කඩ කැඩුවා සේ සිනාසෙන සිනා ගගුල මැවුනේ ..........

නුඹෙ සිනා ගගුල මැවුනේ....

පොඩිකුමාරිහාමියේ... එපා වලව්වට යන්න නියර පිට...

බලා ඉන්න පොඩි කුමාරිහාමියේ...

කාසි එපා නුඹ හිනා වෙවි ඔහේ බලා ඉන්නවානම්...


නිලමෙත් නපුරුයි ළමාතැනිත් නපුරුයි...

නපුරු වලව්වට කෝමද කෝමළ කතා නුඹට ලැබුනේ ....

----------------------------------------------
(මහඇදුරු සුනිල් ආරියරත්න, ආචාර්ය වික්ටර් රත්නායක - ’ස’ ප්‍රසංගය-1975)

මතු කී ලෙස, 19 සියවසේ උඩරට ගම්මානයේ උසස් ප්‍රභූවරයා ’නිළමේතුමා’ ය. ළමාතැනී ඔහුගේ බිරිඳට කරන ගෞරවනීය ආමන්ත්‍රණයයි. කුමාරිහාමි ඔවුන්ගේ දියණියයි. එයද ගෞරව නාමයකි. මේවා වලව්වේ ප්‍රමුඛ ප්‍රභූවරියට ද යොදන ලැබේ. 

------------------------------
නිළමේවරුන්ගේ තෙදබල තෙලිතුඩකින්
----------------------

ඇහැළේපොල නිළමෙතුමා විසුවේ සෙංකඩගල නගරාශ්‍රීතව ශ්‍රී වික්‍රම රජ මැදුරට නුදුරිනි. ඔහුගේ භාර්යාව කුමාරිහාමි සහ දරු පිරිස රාජඋදහසට ලක් වි දිවි අහිමිකරගත්තේ 1814 දීය. ඔහුගේ භාර්යාව වූ වංශවත් ’කුමාරිහාමි’ මාතලේ දිසාව භාර ප්‍රභූවරයා ව සිටි ’කැප්පැටිපොළ නිළමේ’ තුමානන්ගේ නැගනියයි. 1818  මහ කැරැල්ලෙන් පසුව, ඊට අනුබල අනුග්‍රහ දැක්වූ බවට චෝදනාවට ලක් කර, හිස ගසා දැමේමේ ඔහුගේය. 

පෙරකී කුඹුරු යායේ අභිජනනයට ලක් වූ සහල් වර්ග වපුරන්නට පෙර යුගයේ, වැවැනු දේශිය බිත්තර වී පෝෂනය ලද්දේ ස්වභාවික පොහොරනි. ’මා වී, කුරුඵ තුඩ, හිනටි. පච්චපෙරුමාල්’ ඖෂධීය ගූණයෙන් පරිපූර්නව තිබුනු බව කියැවේ. සත්ව ගහනයට තර්ජනයක් නොවූ, විෂසහිත නොවූ ඒ පොහොර නිසා, වෙල්යායේ දිය කඩිති ආශ්‍රීතව විසු විවිධ මත්ස්‍යයන් වර්ග වූ ’දන්ඩි, තිත්තියන, කොරළි’ නිරතුරු දිය කෙළිමින් සිටියහ.


වක්කඩ ලග දිය වැටෙන තාලයට ...........

තිත්ත පැටවු උඩ පැන නැටුවා .....

වැස්ස වසින්නට ඉස්සර අහසේ ....

වළාකුලින් විදුලිය කෙටුවා ....


කිව්වටවත් නැත නිල් නිල් පාටින් ...

කටරොඵ මල් වැට කෙරුවා ...

තුන්දවසක් අමනාපෙන් හිටි කඵ ...

නෝක්කාඩු බැල්මෙන් බැඵවා .....

----------------------------------------------
(මහගම සේකර, පන්ඩිත් අමරදේව - 1965)


නැවතත් මෙතැනින් ඉදිරියට දෙසතියකින්....

Wednesday, December 6, 2023

එදා සිංහල ගම්මානය - 02

 සීංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 02

 මේවා වස්දඞු රාවයෙන් හැඩගන්වා ඇත්තේ කිනම් කරුණක් නිසාද? එය ’ගැමියා’ ගේ සංගීත භාන්ඩය වන නිසයි. අත පොවන දුරින් වැවී ඇති ’උණ පඳුරු’ ගොල්ලෙන් බටයක් කපා ගන්නා ඔහු එයින් බටනලාවක් නිර්මාණය කරගන්නේ වැඩි ආයාසායකින් තොරවය. හුදකලා පාඵ බව මකා ගන්නට ඔහු බඩවැටියේ, ළන්දේ ඇවිද යමින් එය වාදනය කරයි. උච්ච ස්වරයෙන් හඞවන එහි රාව ප්‍රතිරාවය ඈත කඳු වළල්ලෙන් හැපී දෝංකාර දෙන්නා සේය.  එයින් මත්වෙන ගැමිලියකගේ සිතතුළ ගුලිවි නිදිගත් ප්‍රේමාදරය කිතිකැවී වහා වහා අවදිවෙයි. දුරින් නැගෙන්නාවු ඒ මෝහණිය වස්දඞු රාවය ඇදී එන ඉසව්ව කරා ඇය පියනගන්නී හදවතේ තෙරපෙන ළයාදරය පවසන්නීය.



දෑත දරා පෙරදා කීව කථාවේ.....

දෑස රැඳි තාම බැඳිලා......

සීත රැයේ හඞනා දෑස ගියාවේ ...

ඈත ඔබේ ලෝකේ සොයාලා ......


ලන්ද දිගේ හැංගි හොරා සැඳැ කාලයේ....

රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ....


පාඵ පැයේ මුමුණා ගීත ගැයේවා..,

පාඵ සිතේ ශෝක නිවාලා ...

ජීවිතයේ තනිවි දෑත රෑඳේවා..,

ආයේ ඔබේ දෑතේ බැඳිලා ....

(කුලරත්න ආරියවංශ ගී පද ගැයුම නන්දා පතිරණ, සංගීතය ස්ටැන්ලි පීරිස් - 1978)


අරුත් විමසුම 

’ඇල් වී’ හේන සහ ’කුරහන් හේන’ ගොඩගොවිතැනක් වූ ’හේන්’ වගාවේ නිරතව සිටි ගැමියන්ගේ කුසගිනි නිවූහ. කුරහන් පැසුනු විට ගොයම් සේම ’රන්වන්’ පැහැතිය. එය ශුෂ්ක භෝගයකි. ඒවායේ අස්වැන්න නෙඵ කල්හී ’කුරහන්’ ඇඹරුම් ගල යොදාගෙන අඹරා පිටි කරවීමෙන් පසුව විවිධ ආහාර නිපදවා ගනී, ඒ අතරින් බහුලම වුයේ ’කුරහන්’ රොටියයි. එය නීරස ආහාරයකි. දඩමස් හෝ එවැන්නක් ඊට එකතුකරගැනීමෙන් පමණක් ආහාර රුචිය වඩවා ගත හැක්කේය. එනමුත් සිරුරු බලගන්වයි. වරක් ආහාරයට ගත් පසූ, කුසගින්න මැඩපවත්වා ගත හැකි කාලය දිගුය. 

ඒ කුරහන් සහ වෙනත් භෝග වවා ඇති හේන්, වනසතුන්ගෙන් රැකගත යුත්තේ ඔවනු එළවා දැමීමෙනි. නමුත් වළසුන්, අලින් ගෙන් මෙන්ම විසකුරු සර්පයන්ගෙන් ජීවිත තර්ජන එල්ල විම නිසා හේනේ උස් ගසක හෝ උස් රිටි මත ’පැලක්’ අටවාගනී. අඳුරු වැටුනු පසු පැල්රැකීම ඇරඹෙන්නේ සීව්පද කවි ගයනා ද සමගිනි. ඒවා තනිව සිටින ගැමියා ගේ කාන්සිය මගහරවයි. යාබද හේන් ගොවින් ගේ සිව්පද ද අතරින් පතර නිහඞ වනයේ රැව් පිළීරැව් දෙයි. රාත්‍රී යාමය පුරා නිදිවර්ජිතව නිවසින් බැහැරව සිටින්නා ගේ  යුගදිවියේ සතුරන් සිටී.

මේ යුවතියද  ’තුන්හිරියා’ වැනි ශාඛ (ඒවා පොදුවේ පන් නමිනි) පත්‍ර කපා ගෙනෙන්නේ, වට්ටි පෙට්ටි ඇසුරුම්, පැදුරු වියා ගැනීමටය.

අදද, නිවෙස් නවීකරණයට ලක් වුවද, නිවස ඉදිරිපට මිදුලේ ’පහන්පැල’ අවටා තිබේ. තමන් ගේ දුක් කරදර කම්කෙටොඵ උදෙසා පිහිටාධාර පතන්නේ ඒ ඉදිරිපිටය. එහි ඇති දේවරූපයට ’පහනක්’ දල්වනු ලැබේ. 

අපමණ දුක් හිරිහැර කරදර ඉවසා දරාගෙන රකින ’කුරහන් යාය’ රන්වන් පැහැ ගන්නේ පැසීගෙන එද්දීය. තම ශ්‍රමයේ ඵල නෙළාගන්නට ආසන්න බව වටහගන්නා ගැමියා අටලෝ දහම් සක කැරකී, දැන් අපමණ ප්‍රිති ප්‍රමෝදයට පත්වෙයි. නුදුරු දිනකදී රන්වන් කුරහන් නෙළාගන්නට සැරසිය යුතුය. එවිට අටුකොට පිරීයයි. අතමිට සරුවෙයි. සම්පත, සිරිදෙව්දුව වඩින්නේය. ඔහුගේ වසන්තය සමය එළඹෙයි. හෙළයන්ගේ බක්මහ සැණකෙළිය ද ළං ළංව එයි. හාත්පස තුරුලිය මලින් ඵලින් බරවී දඵ ළා මද සුළගේ රගදෙයි. ඔහුට ද රැගුම් රගන්නට සිත්දෙනුවා වන්නට ඇත.


කරල් බරින් නැමි දිළෙයි රන්වන් කුරහන්.....

රෑන් ඇදී ගිරව් සැදී කරතෙයි සෙල්ලම් ...

නගේ මලේ ...මොකදැයි ඔය කම්මැළිකම් ...

අත්වැල් බැඳ නෙළන්න යමු හේනේ කුරහන් ......


කුරුඵ පැටවු සිංදු කියති ..බැද්දේ නිල්වන් ...

බඹරු නටති..නලා පිඹිති රොදබැද රුං රුං.....

මමත් මෙතැන බලා ඉඳිමි නෑනා එනකං.....

පුංචි පුංචි නෑනාවරු එක් රොක් වෙන්නයි...

පුංචි පුංචි පුටුවල ඉඳ ඔමරි කරන්නයි....

නගේ මලේ කුරහන් සිංදු කියාපං ...

කුරක්කනේ මංගල්ලය ජයටම ගන්නයි....

(ජයම්පති අල්ගම, එඩ්වර්ඩ් ජයකොඩි ඇතුඵ පිරිස ට මියැසි රටා පන්ඩිත් අමරදේවයන්ගෙනි - 1975)



කූඹුක් ශාකයෙන් වැටෙන බීජ ජල මුලාශ්‍රයන් පිරිසිදු කරන ස්වභාවික සම්පතකි. එසේම කුඹුක් ගස නිසා ඒ ආශ්‍රීත උල්පත හෝ දියවලේ, නානළිඳේ ජලය සිහිල් සිසිළසක් ගෙනදෙයි.

’කුඹුකෙ ළීඳ’ ගමේ පවතින පොදු නාන ළිං අතර ප්‍රසිද්ධය 




මට මතකයි මන බැන්දූ සිනා ඔබේ....

හද පතුලේ සිහිවෙන්නේ ඔයාමයා කුඹුකේ ළිඳ ලගදී...

කුරහන් හේනේ කරල් කපන්නට තනියෙන් නම් මට බැහැ මැණීකේ...

මගේ පොඩි පැල්පත එළිය කරන්නට ... හනිකේ ඇවිදින් මා හමුවෙනවද කුඹුකේ ළිඳ ලගදී...


(ක්ලැරන්ස් විජේවර්ධන ගේ නිර්මාණයේ ගැයුම මර්වින් මිහිඳුකුලගෙනි - 1978)

----------------
කුඹුක් ගස අසබඩ ළිඳ (දිය උල්පත) -  සුපිරිසිදු ජල මුලාශ්‍රයකි
-----------------

එහි විත් කළය බහා දිය පුරවා.. උකුලේ තබා නිවසට පියමං කරන යුවතිය ඒ කාර්ය කරන්නේ ස්නානාය කිරීමෙන් පසුව විය හැකිය. ඒ අනුව ඇය ආපසු යන්නේ දියබේරෙන වරළ මුදාගෙනය. 


නාමල සේමයි පෙණුනේ ....

නාගෙන යනවද ළඳුනේ ...

රෑන කිතුල් සේම රුවට වරළ උනාලා ...

වක්කලමින් ගලා බසින කලබල දියරැල්ල වගෙයි.

වයස ගෙවෙනවා ළඳුනේ වයස ගෙවෙනවා...


(ඩෝල්ටන් අල්විස්ගේ රචනයේ හඞ විජේරත්න වරකාගොඩගෙනි, සංගීතය වික්ටර් දඵගම ගෙනි- 1970)


නළ වතුරෙන් කරාමය ඇර පැන් පහසුව සනහාගන්නාවුන්, එදා නාගරිකයන් අතර පවා අතළොස්සකි. ඔවූහූ වියළි කර්කශ පොළොව හා පොරබදනවුන්ගේ දුක් වේදනා නොහඳුනති. දිය කළයක් උරමත රුවා හෝ කිහිපයක් හිස මත දරා දුර මග යන්නී, එකී සිමිත පැන් සම්පතින් දවසේ පානීය අවශ්‍යතා සපුරා ගනිති. ’කළය උකුලේ රුවා දිය ගෙන යන්නියන්’ තරම් සාහිත්‍ය නිර්මාණයන් හට ද වෙනත් මූර්ති, සිතුවම් කලා නිර්මාපකයන් හටද විෂය වූ අන් යමක් නැත්තා සේය. 



වතුර කලේ ඇයි උකුළ තෙමන්නේ ....

කාගෙන් අහලද එහෙම කරන්නේ ...

පිපුනු මලක් සේ සූරිය තැන්නේ ...

ළීඳට ගිහිල්ලද තනියම යන්නේ .....

(ඩෝල්ටන් අල්විස්, ගැයුම සිසිර සේනාරත්න - 1971)


සැළෙන ළෙලෙන උකුඵ තලේ ...

ළිඳට යනෙන වතුර කළේ ....

කළමහ පින පෙනෙන වෙලේ ....

(ඩෝල්ටන් අල්විස්, අයිවෝ ඩෙනිස් - 1968)



මෙතැන් සිට ඉදිරියට දෙසතියකින්....