namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, November 27, 2016

ධර්මදාස වල්පොළ - අතීතාවලෝකනය

ඇසේවා අදද හෙටද එදා ඇසුණු ඒ කන්කඵ කෝකිල නාදය ...... 01
සප්ත දශකයකටත් පෙරසිට  භාරතයේ හින්දි සිනමාව හා ගීතය එකිනෙක හා තදින් වෙලී පවතින්නේ යම්සේද එයින් ආභාෂය ලැබ පෝෂණය වූ සිංහල සිනමාව හා ගීතය ද එකිනෙක හා අනුබද්ධව එකකින් අනික පෝෂණය වෙමින් සහජීවනයෙන් බැඳි පැවතිනි

එදා ජීවන අරගලයෙන් එදිනෙදා හෙම්බත් වූ අසල්වැසි භාරතීයයන්ගේ  මෙන්ම ලාංකිකයන් ගේද ඒ දාහය නිවාලු සිහිල් පවන සිනමා කලාවයි 

වර්තමානයේ මෙන් අසිමාන්තික අවශ්‍යතා ගොන්නක පැටලී භෞතික සම්පත් වඩා ගැනීමේ පොරයක නිරත නොවූ  50-80 දශකයන්හී ලාංකික රසික දනෝ හට ජීවිතය වින්දනය කරන්නට අවැසි තරම් කාලය ඉතිරිව පැවතුන අතර ඒ සඳහා වෙන්කල යුතු මුල්‍යමය සම්පත් දරාගැනීමට හැකි මට්‌ටමක විය
ඒ අනුව සිංහල සිනමාවට යෝධ ශක්‌තියක්‌ වූ අති විශාල ප්‍රේක්‍ෂක ජනකාය ඊට ආභරණයක්‌ වූ ගීයෙන් සනසවන්නට ඇවැසි හඩ පෞරුෂයක්‌ සතු ගායන  ශිල්පීන් ගණනාවක්‌ සිටියේය

ඒ අතර සිංහල රිදී තිරයේ ආකර්ශනිය ජවනිකා මවන ප්‍රධාන පිරිමි රංගන ශිල්පියා වෙනුවෙන් හඩ සැපයූවන් අතර මුල්ම තැනැත්තා මෙහි ජන්ම ලාභය නොලද භාරතය නිජබිම කොටගත් අල්හාජ් මොහිදීන් බෙග්ය
 අතිශය ගැඹුරු ස්‌වර උපදවන්නට සමත් වූ ඔහුගේ හඩ පෞරුෂය ගායකයෙකුට ඉතා කලාතුරකින් පිහිටන දායදයක්‌ විය
ඔහුගේ අනුප්‍රාප්තිකයා මේ ලිපියට පාදක වන ශිල්පියාගේ ආගමනය සිදුවුයේ අහම්බෙනි 

ඒ 1953 වසරේ දී සිංහල සිනමාවේ පුරෝගාමි නිෂ්පාදක ව්‍යාපාරික නායගම් විසින් තැනු ඉන්දිය ජාතික ඒ බී රාජ් විසින් අදියුරු මැවු ප්‍රේම තරගය සිනමා පටයේ ගීත පටිගත කිරීමේ අවස්‌ථාවේදීය

අදාළ පටිගත කිරීමට තෝරාගෙන තිබුනු ගායකයා නියමිත වේලාවට එහි පෙනි නොසිටීම හේතුවෙන් එහි සංගීත අධ්‍යක්‍ෂණයේ නිරතව සිටි රාමයියා මුත්තුසාමි වෙත වාද්‍ය වෘන්දයේ තබ්ලා වාදක ගුවන් විදුලියේ එහ් ආරියදාසයන් විසින් කල නිර්දේශයක ප්‍රථිපය වුයේ සිංහල රිදී තිරයේ වඩාත් ප්‍රේමණිය කෝකිල නාදය සොයාගනු ලැබීමයි

ඒ ප්‍රවිණ ගායන ශිල්පී බටනලා වාදක චිත්‍ර හා මූර්ති ශිල්පී මහනුවර දෙයියන්නේවල ග්‍රාමයේ සිට අගනුවර ට පිවිසි

ධර්මදාස වල්පොළයන්ය


පසුව ඔහුගේ අනුප්‍රාප්තික ජෝතිපාලයන් කරළියට පිවිස ජනප්‍රියවන තුරුම ඔහු සිංහල සිනමාවේ සදාදරණිය ගීත කෝකිලයා ලෙස කිරුඵ පැළැඳ සිටියේය

මේ ශිල්පී ධර්මදාස වල්පොල ජීවන තතු බිඳක සම්පින්ඩනයයි


1952 වසරේදි ගුවන් විදුලියේ එවක බලධාරීන් විසින් ගන්නට යෙදුණු තීරණයක්‌ අනුව එහි ලියාපදිංචි වූ සරළ ගී ගායකයන් ප්‍රමිතිගත කරන්නට සිදුවී තිබුණු අතර ඒ සඳහා ඔවුන් ඉන්දියාවේ භාත්ඛන්ඩේ විශ්ව භාරතී සංගීතායතනයේ විදුහල්පති ධුරන්දර රතන්ජන්කර් පඩිතුමා කැඳවන ලදී

මේ තීරණයට විරෝධය පා එවක සිංහල ගායන ක්‍ෂේත්‍රයේ අංක 01 ස්‌ථානයේ වැජඹුණු සුනිල් සාන්තයන් එය වර්ජනය කළහ ඔහුට තම ශිල්ප හෙළිදක්‌වන්නට ඉතිරි ව තිබුනු එකම මාධ්‍යය අහිමි ව එයින් එළියට බසින්නට හේතු විය සුනිල් සාන්ත සංගීතවේදියා ගේ නිර්මාණ චාරිකාව එසේ අවසනාවන්ත ලෙස ඇණහිටියේය

මේ ශිල්පී කන්ඩායම අතර සිටි නැගී එන ගී තාරකාව යව්වන වියේ ධර්මදාස වල්පොළ ඊට සහභාගී වූ අතර ඒ අනුව විශිෂ්ඨ ශ්‍රේණිය යටතේ වර්ග කරන්නට යෙදුනි

තවත් කලක්‌ ගතවිය

ධර්මදාස බෙග් මාස්‌ටර් අභිබවා සිංහල සිනමා ගීයේ යව්වනයේ සිහින කුමරා බවට පත් ව සිටියේය එපමණකුදු නොව කඨෝර ද්‍රවිඩ උච්චාරණයෙන් ගැයූ දක්‍ෂිණ භාරතීය ගායකයන් විසිවී යන තැනට කටයුතු යෙදී තිබිණි

ඔහුගේ ළයාන්විත ප්‍රේමණීය හඩට රසිකයන් පෙම් බැන්දෝය

මේ අතරවාරයේදී ගුවන් විදුලිය විසින් කුමන හෝ කරුණක්‌ නිසා ඔහුව ඒ ශ්‍රේණිය දක්‌ව පල්ලම් බස්‌සවා තිබිනි විනාඩි 15 ක සරල ගී වැඩසටහනකට රු 45 ක දීමනාවක්‌ ගෙවනු ලැබිය මුදල් අවශ්‍ය නැති බවත් තමන්ගේ වැඩසටහන අඩපැයක්‌ දක්‌වා දිර්ඝ කරවා දෙන ලෙසත් ආයචනයක්‌ ඉදිරිපත් කෙරුනේ වල්පොළයන් විසිනි එය ප්‍රතික්‍ෂේප ව වල්පොළ ට සාන්තයන්ගේ සුපුරුදු කලදසාව ද ලබන ලකුණු පහළ වෙමින් තිබිණි ඔහු මහත්සේ කළකිරී සිටියේය

ඔහු ටද තමා ට සාමාන්‍ය රසිකයා වෙත පියමං කරන්නට තැනුනු පාළම වූ ගුවන් විදුලිය එපා විය

ධර්මදාස ප්‍රකාශ කලේ මුදල්වලට වඩා තමන්ට ශිල්පය වටින බවයි එදා මුල්වරට සංවේදි වල්පොළ හදවත හඩා වැටෙන්නට ඇත මතුයම් දිනයක ඔහුගේ ඉරණම තින්දු කරන්නට සමත් වූ හේතුවේ උපත සිදුවන්නට ඇත

සාන්තයන් මෙන්ම ධරමදාසයෝද තම ශීල්පය පවා දෙන්නට සුදානම් නොවීය එහි ගෞරවය ද ස්‌වකීය අභිමානය ද දිවි දෙවැනි කොට රැකීය

එහෙත් දෙදෙනාම ස්‌වකීය කුටුම්භය රැක ගැනීමේ සටනට මුහුන දෙන්නට සිදු ව තිබිණි ගුවන් විදුලියෙ මුල්ම සිංහල තැටිය රසගැන්වූ සාන්තයන් ජා ඇළ නිවසක කුකුඵ ගොවිපොළක නවාතැන් ගෙන සිටී එහිම සතිපොලේ කරවල වෙළඳාමේ යෙදෙයි

ධර්මදාසයෝ කැළණියේ වරාගොඩ ලතාවාසයේ සිල්ලර කඩයක්‌ කරයි ණයට බඩු දෙන්නට ගොස්‌ බංකොලොත් වෙයි

සුනිලුන් යළි කැඳවනු ලැබ අපුර්ව ගී මිණි ගණනාවක්‌ ජාතියට දායද කරන්නට සමත් වුවද ධර්මදාසට ඊට අවස්‌ථාවක්‌ හිමි නොවිය සිනමා ගී ක්‍ෂේත්‍රය ට පැයූ නව හිරු ජෝතිපාලයන්ගේ ප්‍රභාවයෙන් එය එකාලෝක වෙමින් පැවතිනි

1973 වසරේ දිනක ලේක්‌හවුසියේ කර්තෘ මාන්ඩලිකයෙකු වූ අජන්තා රණසිංහ තරුණයා වල්පොළ මුණගැසී ගුවන් විදුලියට ගොඩවැදෙන්නට පෞද්ගලික ආරාධනාවක්‌ කරනු ලැබ තිබුණත් ඔහු එය ප්‍රතික්‍ෂේප කලේ

"මම දැන් සිංදු කියන්නේ නෑ කියමිනි........."

අජන්තා යළි යළිත් ඇවටිලි කරයි අවසානයේ ඔහු නිසා සිංහල බොදු ගීතාවලිය එකාලෝක කරවු සුපුන්සඳක්‌ වන් ගීයක්‌ ඉපදිනි

"උත්තම මුණි දළදා වඩම්මන මොක්‌පුර රන් නවුකා බලන් සකි සත්සමුදුරු ගැඹරේ ...................................."

අබමල් රේණුවකින් හෝ වියපත් නොවි තිබූ වල්පොළ ගී නාදයෙන් ගුවන් විදුලි මැදිරිය ගිගුම් දිනි

පටිගත කිරීම අවසානයේ තමන්ට නියමිත් ගෙවිම ප්‍රතික්‍ෂේප කල ඔහු යළි එහි නොඑන්නැමැයි සිතා එයින් නික්‌ම ගියේය


ඔහුගේ අතිජාත මිත්‍ර  ප්රේමදාසයන් අගමැතිඳු විය එතුමෝ සුනිලුන්ට නිවසක්‌ පරිත්‍යාග කරන්නට සූදානම් විය සුනිලුන් ගේ සුපුරුදු විරෝධය නැගිනි එය මාසික මුදලක්‌ ගෙවීමට යටත්ව මිසක හෝ භාරගැනීම ප්‍රතික්‍ෂේප කරනු ලැබිය

ධම්දස්‌ වල්පොළයන්ට ද එයාකාරයෙන් එහෙත් එකක්‌ නොව නිවස්‌ යුගලයක්ම පරිත්‍යාග කරන්නට අගමැතිවරයා සුදානම් ව සිටියේය

සුනිලුන් කළා සේම ධර්මදසායන්ද  එය එකහෙළා ප්‍රතික්‍ෂේප කරනු ලැබිය

 මුදලට ගී ගයන තමන්ට මහජනතාවගේ මුදලින්ම තැනු නිවෙස්‌ ලබාගන්නට අයිතියක්‌ නැතැයි කියා සිටියේය......

  xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ජීවන නිරුදක කතරේ - දියපහර ඔබද සොඳුරේ........................

මගේ හද ආදර සයුරේ  - පාදන්න මිණිමුතු - පාදවා මිණිමුතු.................

ගී පද ඇමිණුම - ප්‍රවිණ ගුවන් විදුලි වැඩසටහන් සම්පාදක  - හේම ශ්‍රී ද අල්විස්‌

තනු නිර්මාණය හා සංගීතය - ප්‍රවිණ සංගිතඥ නැසිගිය රමයියා මුත්තුසාමි

(ධර්මදාස වල්පොල 60 දශකයේ ගුවන් විදුලි සරළ ගී පටිගතකිරීමකි)

සවන්දීම මෙතැනින්




ඔහු පිළිබදව යළි පවසනු වස් ඉදිරි දිනක යළි හමුවෙමු ....................

විශේෂ ස්‌තුතිය 

තොරතුරු මුලාශ්‍රය හා වැඩිදුර කියවිම - ධර්මදාස වල්පොල - කපිල කුමාර කාලිංග (ධර්මදාස වල්පොල රසික සමාජය - වෙනුවෙන් විරචිතයි)
වර්ණන් ද සිල්වා මහතා- ගරු ලේකම් - ධර්මදාස වල්පොල රසික සමාජය - මහනුවර

Monday, November 14, 2016

කුසුම් පිපී තුරු මතේ - ජයමහ සරළ ගී මිණිදමයෙන්

සෝමතිලක ජයමහ -  දිදුලණ සරළ ගී මිණිදාම‍යේ අසිරි සිරිය


ප්‍රවිණ ශිල්පී සෝමතිලක ජයමහ ශූරීන් ගේ ගණනින් සිමීත එහෙත් ගුණාත්මකභාවයෙන් අපරිමිත නිර්මාණ අතරින් රසික සිත් ආලෝලනය කළ එදා ඇසුණු ගීයකට පාදක වූ පසුබිම් කථාව ඔහු විදචැබදචසින් මෙසේ හෙළිදරව් කරන්නට යෙදිනි


මේ කථාවකට පසුබිම් වූ සිද්ධි දාමය අදින් වසර 47 ට පෙර එනම් 1969 වසර තෙක්‌ දිවයයි එවකට මා ගුවන් විදුලියේ යොවුන් ආධුනික ශිල්පියෙකු ලෙස සේවයේ යෙදිමින් සිටිය යුගයයි

සති අන්තයේ නිවාඩුව අපේ ගම් පියස වූ වයඹ පළාතේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයට අයත් කුළියාපිටිය ප්‍රදේශයේ ගතකිරීම මගේ පුරුද්දයි

විදුලි බලය ලැබී නොතිබුනු වර්තමානයේ මෙන් නාගරිකරණයට හසු නොවුනු සුන්දර ගම් පියසක්‌ වූ එහි සැන්දැ යාමයන් එකම රස ගුලාවකි

ඒ මන්ද යත් ඩෝල්කි සර්පිනා රැගත් කොලු ගැටවුන් අපේ නිවසට රොක්‌වී මා සමග ගීත ගායනයට හවුල් වීම පුරුද්දක්‌ කරගෙන තිබිම නිසයි

අප ගම් පියසට අසන්නව ඔවුන් අකුරු කෙරෑ කුලියාපිටිය නක්‌කාවත්ත මැදි මහ විදුහල පිහිටා තිබිණි

එහි එවකට සංගීත විෂය ඉගැන්වූයේ අප ප්‍රදේශයේ ගොමුගොමුව නමින් හැඳින්වූ ගමිපියසේ වැසියෙකු වූ ජොර්ජ් පල්ලෙවත්ත ගුරු මහතායි

ඔහු එකී සිසු දරුවන්ට සෞන්දර්ය විෂයානුබද්ධව ගායනා කිරීම සඳහා මෙකී මනරම් ගීතය පබඳා තනුවක්‌ යොදා නිර්මාණය කර තිබිනි

සංගීත සාජ්ජය වඩාත් හරබර වූයේ පල්ලෙවත්ත මහතාගේ මෙකී ගීතය ද එහි නිතර වැයුණු නිසාවෙනි

එහි ආ සුන්දර යෙදුම් මෙන්ම සොබාදහම් වැණුම් පිනිස යොදාගත් සරල පද සංකල්පනාව මා සිත් ආලෝලනය කරනු ලැබ තිබීණි

ඒ නිසා එය සරළ ගීයක්‌ ලෙස වැඩිදියුණු කරවා ජනගත කරන්නට තරම් වටිනා නිර්මාණකැයි යන්න මට හැගී ගියේ වරක්‌ දෙවරක්‌ නොවේ

ඒ අනුව ඔහු හමුවි මේ පිළිබදව කථාබස් කිරීමට විජේසිංහ නම් වැඩිහිටි සිසු දරුවා ලවා පාසලට පණිවුඩයක්‌ යවන ලදී  

නිසි අවසරය පතා විමසන ලදින් 
එකහෙළාම තම කැමැත්ත දුන්නේ ගීයේ තනුව හා සංගීතය සරළ ගීයකට වඩාත් ගැලපෙන ලෙස යළි සකස්‌කරවාදීමෙනි

මාගේ මුල්ම ගුවන් විදුලි සරළ ගී වැඩසටහන පටිගත කෙරුණු 1969 වසරේ අගභාගයේදී මේ ගීය ද ඊට අමතරව මා විසින්ම පබඳා තනුව යෙදූ සැඳෑ අඳුර ලොව ගලන වේලාවට නම් ගීතයද පටිගත කරන්නට යෙදිනි

සරළ ගීයකට සරිලන ලෙස විනාඩි 05 ක කාලයකට ගැළපෙන ලෙස එහි ඇතැම් පද ඉවත් කරන්නට සිදුවුයේ අකමැත්තෙනි මක්‌නිසාද යත් ඒවා ද මුල්ගීයට ඇතුළත් වූ පදරටාවට නොදෙවෙනි සුන්දර යෙදුම් නිසාවෙනි 

ඒ අතර 

බන්ඩි ගොයම නැමි නැමී
ගමටම ආසිරි පැතී
ගැමි දැරියක්‌ නොකිළිටී
රුව ගෙන පෑවේ මධුර වසන්තේ

යන පද කොටස ද ඇතුළත් වූ බව සඳහන් කළ යුතුය 

තවද මේ ගීයේ පද සංකල්පනාවෙන් කියෑවෙන පරිසරය එවකට එකී පාසල් බිමේ සැබැවින්ම විද්‍යාමාන වූ බව කිව යුතුය

අඹ මල් පොකුරට වෙලා ලේනෙකු ටිං ටිං කියා
මධුරස ගී ගය ගයා - අමරස වින්දේ 

එහි පැවතුනු මි අඹ ගස්‌ සිහිගන්වයි


රේණු සැලේ වැලි තළේ
පෙති ගිලිහී දිය වැළේ
ගඟබඩ තුරු වදුල තුලේ
කුරුළු ගී ඇසේ


පාසල අසලින් ගලාගිය දිය දහරාවද එහි අද්දර වැවී තිබුණු ගස්‌පෙළින් වැටෙන මල්රේණු ඒ මත පතිතවන ආකාරය චිත්‍රණය කරයි


ගම්මානය කෙළවරේ - පන්සල් බිම බෝරුකේ

සිලි සිලි ගා කොළ නැටවේ සම්බුදු මිහිරේ

ගමේ විහාරස්ථානයේ දී රචකයා ‍ඇසු දුටු දෑ ගෙනහැර දක්වයි


මේ නිර්මාණයේ හිමිකරුවාණෝ එනම් ජෝර්ජ් පල්ලෙවත්ත ගුරු පියාණන් පසුව හොරණ ශ්‍රීපාලියේ සෞන්දර්ය අධ්‍යාපනය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලැබූ අතර මින් දස වසරකට මත්තෙන් දිවියෙන් සමුගෙන ගිය බව දැනගන්නට ලැබිණි


කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දසඅතේ
කෝකිල කූජනය නැගේ 
ලියගොමු අතරේ 
මධුර වසන්තේ


රේණු සැලේ වැලි තළේ
පෙති ගිලිහී දිය වැළේ
ගඟබඩ තුරු වදුල තුලේ
කුරුළු ගී ඇසේ
මධුර වසන්තේ

ගම්මානය කෙළවරේ
පන්සල් බිම බෝ රුකේ
සිළි සළි ගා කොල නැටවේ
සම්බුදු මිහිරේ
මධුර වසන්තේ

අඹ මල් පොකුරට වෙලා
ලේනෙකු ටිං ටිං කියා
මධු රස ගී ගය ගයා
අම රස වින්දේ
මධුර වසන්තේ


පද සංකල්පනාව තනුව හා සංගීත නිර්මාණය - නැසිගිය ජොර්ජ් පල්ලෙවත්ත 

ගායනය - සෝමතිලක ජයමහ 

වසර - 1969

(ස්තුති පූර්වකව කෘතඥතාව - ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී සෝමතිලක ජයමහ මහතා වෙතට)

අසන්න මෙතැනින්