namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, June 20, 2024

Three Sisters and Mallika Perera

එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ  ගී හඞ  - 01 


1970, 71, 72,73  යුගය ගෙවි යද්දී සිංහල සංගීත ලොලීන් ආනන්දයෙන්, රසයෙන්, මිහිරෙන් තෙමූ  නව ප්‍රවණතාවය වූ ’කන්ඩායම් ගී’ මල්වරුසාව තුරල් ව නොගොස් තිබිනි. ඒකම ආරකට භාරත ගීත රාමුවට කොටු වී ගැයුනු ගීත කලාවෙන් තෙහෙට්ටුවට පත්, ඔවුන් ගේ වින්දනයේ විඩාව දාහය නිවාදමමින් වට කන්ඩායම් ගී පිණිබිඳු ඔවුනට අමා දිය බිඳක් බඳුව තිබුනා යන්න තහවුරු කිරීමට සාක්‍ෂි ගෙනහැර පෑමට එදා එකී ගී ගැයු අද වියපත් වූ ශිල්පීන් සමත්ය. 

දස දහස් සංඛ්‍යාත ප්‍රේක්‍ෂක සමූහයා එක්රෙක් වූ ගෘහස්ත සංගීත සංදර්ශනයන් හිදී ඔවූහූ නැවුම් ආරක ගීත කලාවකින් සිය ආදරණිය රසිකයා පිනවන්නට සමත් විය. අඩසියවසකට පසුවද එදා රසයෙන් කුල්මත් වූ කුඩා ළපැටියන් පවා අද වැඩිහිටියන් ව සිටිමන් ඒ රසය හඹා යන්නට යුහුසුඵ වෙමින් සාමාජ මාධ්‍ය ජාලා පීරමින් සිටිති.

ඒ මන්ද යත්, ඒවා ජනගත වූ ’ගී තැටී’ කලාව අභාවයට ගොස් ඒ ගී තැටි වාදනය කල මාධ්‍ය ආයතනයද බොහෝ සේ අකර්මන්‍ය ව ගොස් අතැයි ඔවුන්ට හැගී ගොස් ඇති බැවිනි. වාසනාවකට, එයින් හටගත් රික්තය, සමාජ මාධ්‍ය කලාව විසින් සපුරාලන ලදුව, එයින් උක්ත රසිකයන්ගේ මනදොළ සපුරාලන්නට ගත් තැතකි මේ.

දුසිම් පහක තරම් පිරිමි ගායක පිරිස් අතරට එක්වූ කාන්තා ’කන්ඩායම්’ අතර එදා ජයකොඩි නැංවූ ත්‍රීත්වය ’ත්‍රී සිස්ටර්ස්’ ය. ඔවුනතර පෙරදිග සංගීතයේ මූලධර්ම සහ ප්‍රයෝගීක ක්‍රීයාකාරකම්  හොඳින් ප්‍රගුණ කළ ’මල්ලිකා පෙරේරා’ නම් පියකරු ළඳ, ඇයගේ නැගනිය, තමා විසින්ම ගීයකින් ’ඔබ සොයනා කඵ කෙල්ල මමයි...’ ලෙස හඳුන්වාදුන් ’ඉන්ද්‍රානි පෙරේරා’ සහ පවුලේ ළාබාලතම සාමාජිකාව ’අයිරාංගනී’ යන සාමාජිකාවන් වුහ. 



වරෙක ඔවුන් තිදෙන එකහඞින් ගයද්දී, තවත් වරෙක තිදෙනා ’විවිධ’ ස්වර තලයන්හි සැරිසරමින් එකම ගීයේ විවිධ පද උසුරුවා, ’කන්ඩායම් ගී’ කලාවට ආවෙනික රිද්මය රටාව, ගුණය රැකගන්නා ලදී.

සෙසු සාමකාලීන ශිල්පීන් සේම ඔවුන්ද, ලාංකීය සංගීත ඉතිහාසයේ කියැවෙන අග්‍රගන්‍ය සංගීතඥයන්ගේ නිර්මාණයන් රසගන්වන්නට වාසනා මහිමය ලද්දේය. 


සරත් දසනායක

ක්ලැරන්ස් විජේවර්ධන

වික්ටර් දඵගම


බටහිර සංගීත ශීල්පිය උපක්‍රමයන් හොඳින් හදාරා ඒවා පෙරදිග සංගීත කාලවේ මූලධර්මයන් හා මුසුකරවාලමින්, සිංහල ගීත රසිකයන් හට මෝහණීය රසාකරයක් මවා දුන්නේය. ත්‍රී සිස්ට්රස් ගායිකාවෝ ගැයූ ගීත අල්පයක් හැරුනුවිට අන් සියල්ලම පාහේ සංගීතවත් කරන ලදුව, වාද්‍ය ශීල්පියොපක්‍රමයන්ගෙන් හැඩගන්වා ලුයේ පෙරකී සාමාජිකයන් සතරදෙනා විසිනි.

පෙරකී ’අල්පය’ 


අරනස්ට් සොයිසා,

මෙල්රොයි ධර්මරත්න 

මිල්ටන් පීරිස්, 

මයික් ගුණසේකර

වික්ටර් රත්නායක

පන්ඩිත් අමරදේව

සෝමදාස ඇල්විටිගල

යනාදින් නියෝජනය කරන්නට යෙදුනි.

එපමණකුදු නොවේ, ඔවූහූ දෛවෝපගතව ශ්‍රි ලංකාවේ පහල වූ විශීෂ්ඨතම ගී පද රචකයන් ගේ  නිර්මාණ කලාවේ ’වසන්ත සමය’ හා සමපාත ව

කරුණාරත්න අබේසේකර

මහාචාර්ය සුනිල් ආරියරත්න

කුලරත්න ආරියවංශ

ප්‍රේමකීර්ති ද අල්විස්

මහගම සේකර

අජන්තා රණසිංහ

ධර්මසිරි ගමගේ

කේ ඩි කේ ධර්මවර්ධන

ක්ලැරන්ස් විජේවර්ධන

හේම ශ්‍රී ද අල්විස්

හඩ්සන් සමරසිංහ

යන දැවැන්තයන්ගේ ගී පබැඳුම් රසගැන්වූහ.

වෙළඳ තැටි ගණනින් තිහකට අධීක සංඛ්‍යාවක්  එනම් ගීත ගණනින් 120 ක්ද ඉක්මවා නිකුත් කරවා ’කන්ඩායම් ගී’ ලොව රැජිනියන් වූ ඔවුන් ඒ වාර්තාවෙන්  සෙසු සියඵ ’කන්ඩායම්’ අබිභවා සිටී. ගීත කලාව පිරිහි යමින් පවතින් වර්තමානයේ මෙන්ම මෑත අනාගතයේදීද එකී වාර්තාව බිඳ හෙලන ගායිකාවන් කිසිවෙකු සමත් නොවෙනවා ඇති බව නිසැකය.



සිහින ලොවක් - 1972

ජීවන ගංගා - 1974

සමන්මලී - 1978


නිර්මාණකරුවෝ ’ත්‍රී සිස්ටර්ස්’ ගී සිය සිනමාකෘතිවලට ඇඳාගෙන එයින් වැඩිමනත් ජනප්‍රසාදයක් ලබන්නට ඇත.

මෙම ළඳුන් තිදෙනා එකට එක්ව ගීත ගයන්නට ද පෙරාතුව පවුලේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකාව ’මල්ලිකා’ සිනමා ගීත කලාවට ප්‍රවිශ්ඨ ව සිටියාය. 

1965 දී ’ජී ඩී එල් පෙරේරා’ හැදූ ’සාමා’ හිදී ’සුගතපාල සෙනරත් යාපා’ නමින් එවකට අධුනික ශීල්පියෙකු වූ මානවකයා ගේ ගී පද රචනයක් සංගීතවේදී ’ජයතිස්ස අලහකෝන්’ යටතේ ඇය ගයනා කළාය.


වනන්තරේ ගල් අරණේ විමානෙට ..............

නිරන්තරේ යන ගමනේ ...................

--------------------------------------------

ඇයගේ භාවපූර්ණ ගී නාදය ඇගැයූ ’ආචාර්ය ප්‍රේමසිරි කේමදාස’, තමන් සංගීතයෙන් හැඩ ගැන්වූ ’වනසරා’ - 1969 හි ගයන්නට ඇයට ඇරයුම් කළේය. එිහිදි ඇය සිංහල ගීත කලාවේ එතරම් සාකච්ඡාවට බඳුන් නොකළ නැවුම් ප්‍රස්තුතයක් මතුකර දුන්නේ කරුණාරත්න අබේසේකරයන් ලියූ පදමලාවකිනි. ස්ත්‍රී ලාලිත්‍යය වැනුම් අපමණව පවතින සාහිත්‍ය කවි කලාවේ ශෝභාසම්පන්න, පාංශූ දේහධාරී ’පුරුෂ දේහ’ වැනුම් විරළය.

අබේසේකරයන්ගේ කවි සිතුවිල්ල පවසනා පරදී එවන් දේහවිලාසය ’යුවතියකගේ’  නිදිගත් සිතුවිලි කළඹා අවදී වී වියරු වෙසක් ගන්නේද ?






සැතපෙන සිතුවිලි අවදිකරන සුඵ .............

රණවිරු දේහ විලාසේ................

ගත ගොරහැඩි වී සිත දැඩි නැත වී...

කටු නටු අග පිපි මල සේ...............


දෙබැම නළල් තල සවිබල උරහිස........

අපමණ සිහින මවයි....


දෙනෙත හෙලන තැන ...

දෙපිය ගැටෙන තැන ...

ජීවන රසය කවයි............


මිනිස් හඞින් තොර...

ඝන තුරුළිය සෙවණේ...

එඩිතර කම ලග අවිහිංසක බව ...

මුසුවන අයුරු පෙනේ.................


(වනසරා - 1969)

---------------------------------

1973 වසරේ තිරගත වූ ’ගොපඵ හඞ’ සිනමා පටයේදී ඇය ගේ ගී හඞ මුල්වරට ඔපමට්ටම් කරදෙන්නට ඉදිරිපත් වන්නේ සංගීතවේදී ආර් මුත්තුස්වාමි ය. ’ශ්‍රී නිහාල් ජයසිංහ’ ගේ ගීත සංකල්පනාවකි මේ


පුංචි පුංචි මල් වගේ රංචු රංචු වී...........

මල් කුමාරයන් වටේ මල් කුමාරියෝ ........

පුංචි පුංචි සමනලුන් රංචු රංචු වී...........

මල් කුමාරයන් වටේ මල් කුමාරියෝ..................


(සහය ගායිකා - මල්ලිකා කහවිට)

-------------------------------------

දයානන්ද රොද්‍රිගෝ ගේ ’ජීවන ගංගා’ ව රිදීතිරය මතින් ගලා ගියේ 1974 වසරේදීය. එනම් ’ත්‍රී සිස්ටර්ස්’ ගායිකාවන්ගේ සමනල සමය ගෙවුනු සමයේදීය. ඒ සාමාජිකාවන්ගේ ගීයක් ඇතුළත් වූයේ නම් එය සිනමාපටයේ වානිජමය ඉලක්ක සපුරාගැනීමට දිරි නොදෙන්නේද ?  නැත, එය සිනමාපටයට ආභරණයක් මය. එහිදී ’මල්ලිකාවන්’ යුග ගී ගැයුමෙන් සහය වන්නේ සිනමා ගීත කලාවේ අගරජ ’ජෝති’ ටය.


-----------------------

60 දශකයේ ගී ලොව එකාලෝක කල තරු පොකුරක අසිරිය - 

වමේ සිට දකූණට

දෙවැන්නා - සී ටි ප්‍රනාන්දු, ඊලඟට පිළිවෙලින්  මල්ලිකා පෙරේරා, ඇන්ටන් ජෝන්ස්, මොරිස් දහනායක, එම් එස් ප්‍රනාන්දු, ලතා දිසානායක සහ ප්‍රෙඩී සිල්වා
-------------------

ඇය


ජීවන ගංගා බැස යද්දෙන් ...

විඳගමු රන්රස ඒ මැද්දෙන්...

පීර පීර මල් නොසළා ....

බොන්නකෝ පැන් පුරලා .................


ඔහු


රොන්රස ඉල්ලා නලියන තොල්පෙති................

සීතල ග`ඟුලක නළවන්නම්........

ඇය

අපට මොටද සඳඵතලා....


ඔහු

ගන්න සුරත සකුන්තලා .......................


(ආනන්ද සරත් විමලවීර ගී පද රචනයේ සංගීතය ආචාර්ය දයාරත්න රණතුංග සමග එම් කේ රොක්සාමි නමුදු ලිඛිත වාර්තා සටහන් කරන්නේ එහි සංගීතය ජස්ටින් සිල්වා’ ගේ බවයි. ඔහු ඒ සිනමාපටයේ වාද්‍ය වෘන්දයේ සිතාර් වාදකයා ලෙස කටයුතු කළ බව කියැවෙයි)

---------------------

ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවේදීයා ගේ සත්සර වියමනකින් පරිපුර්ණ වූ කවි සිතුවිල්ලකි මේ. ’ගජගා වන්නමේ’ නාදරූප හැඩතලයකින් එය සමන්විතය. 


කස පුපුරණවා ............

එළි කැරකනෙවා.....පෙරහැර එනවා ..................

කස පුපුරණවා .... පෙරහැර එනවා .............


වයනා තලෙට තබනා පාදේ ...

කදිටම වයනා හේවිසි නාදේ .....

( ගී පද සංකල්පනාව - බර්ටිජයසේකර- 1972)

-----------------------------------------------


මෙතැන් සිට ඉදිරියට...............දෙසතියක විරාමයකින්.................

ප්‍රණාම පූර්වක ස්තුතිය  - තොරතුරු මුලාශ්‍රය සහ සේයාරූ  -- ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය (ත්‍රී සිස්ටර්ස්) විසිනි - 2024 ජූනි මස 20 දිනදීය

Thursday, June 6, 2024

එක්තරා යුගයක ලක් දිවයිනේ ගමක වරුණ...14

 සිංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය...........(අවසන් දිගහැරුම) -14

මේවා රසගන්වන්නට මියැසි විසිතුරු රටා මැවූ සංගීතඥයන් ද ඔවුන් සේම ගැමියන්මය. ඔවුන්ගේ දිවිමග තොරතුරු සංග්‍රහයන්හී ඒ බව පැහැදිළිව දක්වා තිබේ. පන්ඩිත් අමරදේව, ප්‍රේමසිරි කේමදාස ප්‍රමුඛව සෝමදාස ඇල්විටිගල, දයාරත්න රණතුංග, සනත් නන්දසිරි, සුනිල් සාන්ත, රෝහණ වීරසිංහ, රෝහණ බැද්දගේ, වික්ටර් රත්නායක, සරත් දසනායක, පැට්‍රික් දෙණිපිටිය, බන්දුල විජේවීර, ක්ලැරන්ස් විජේවර්ධන, ඔස්ටින් මුණසිංහ. නාලිනී රණසිංහ, නන්දා මලනී වැන්නෝ ඒ අතර වූහ. මෙහිදි හද්ද පිටිසර සියඹලාන්ඩුව වැනි ගැමි පරිසරයක යොවුන් විය ගෙවා අගනුවරට පැමිනි එච් එම් ජයවර්ධන නම් සංගීත කරුවා වෙසෙසිනි කැපි පෙනෙන්නේ. 
----------------------------


බටහිර ගී තනු ඇසුරු කරමින් වේගරිද්මය ට ගැයුනු ගීතවල පවා පදමාලාවන් ’ගැමි ජන ජිවීතය’ වටා ගෙති පැවතින. 60 දශකයේ ගායක ගායිකාවන් අතර රැල්ලක් සේ හඹාගිය ’කණ්ඩායම් ගී’ නම් වූ බටහිර කැලිප්සෝ ගායන රටාවේ ගීත බොහොමයක්ම මෙම ගැමි ජන ගී සහ එදා පැවති නිස්කලංක ගැමි පරිසරයේ විචිත්‍රත්තවය මතුකර දුන්නේය. බයිලා චක්‍රවර්තී ලෙස පිළිගැනුනු ’එම් එස් ප්‍රනාන්දු’ ද, ත්‍රී සිස්ටර්ස් ගායිකාවෝද, ක්ලැරන්ස් විජේවර්ධන නියෝජනය කළ මූන්ස්ටෝන්ස්, ගෝල්ඩන් චයිම්ස් සහ ද සුපර් ගෝල්ඩන් චයිම්ස් ද, අදපවා ක්‍රියාකාරී මෙල්රෝයි ධර්මරත්නගේ  ’ධර්මරත්න සහෝදර’ පිරිස ද මෙම කුලකයට අයත් වෙති.

ළමුන් උදෙසා එදා ගුවන් විදුලි ළමා පිටියේ සහ වෙළඳ තැටි විසින් නිපැයුනු ’ළමා ගී’ ගැයූ එදා ’ළමුන්’ ද ගැමි සෞන්දර්යය සහ ජන ජිවීතය අරභයා ලියැවුනු ගීත ගායනා කළහ.


 


’කෝබෝ නීල මලක මිදුණු පිනි කඳුලැලි සේ ...............

’අහසේ ඈත දිළීසෙනවා පුංචි තාරකා...... (කණාමැදිරියෝ) - ලිලන්ති කරුණායක

’අවිච්චියා අයි චාං...’ 

’බට්ටිච්චෝ ඔයත් එක්ක..’

’එගොඩ ගොඩෙත් නැත සුදු හා පැටියා’

’කුරුම්මැට්ටි මැසිමේ...’

’රාන් කිරිල්ලි රාන් කුරුල්ලා කොයි...’ - විචිත්‍රා මිගෙල් 

--------------------------------------

ගම්මානයක් ඇසුරුකරගත් තිර පිටපතක්, කථාංගයක් ඇතුළත් සිනමාපටයකදී රාමුවකට කොටුවන ගීත රචකයා එකි චරිත සහ පරිසරය පාදක කොටගෙන ගීතය පබැඳිය යුතුය. ’ගම්මානයේ’ කථාංග ඇතුළත්ව තිරගත වූ මහත් සංඛ්‍යාවක සිංහල සිනමාපටයන්හීදි එවැනි ගීත දහස් ගණනින් ඇතුළත් වෙයි. එහෙත් වෙළඳ ගී තැටියකට හෝ ගුවන් විදුලි සංගීතමය විචිත්‍රාංගයකට ලියන ගීත ප්‍රබන්ධකයා ස්වාධින වෙයි. 

පෙර කී විග්‍රහයට නිදසුන් ලෙස ගම්මානයක වරුණ මතුකරදෙන පහත ලැයිස්තුව විමසා බලනු මනාය. මේ ගීත සියල්ලම සිනමා කලාවෙන් බැහැරව රචනා වූ නිදසුන්ය.

දී කිරි දී කිරි ගෙනවා දී කිරි - අනුලා බුලත්සිංහ, ගී ද ලූෂන් බුලත්සිංහ,රතු හැට්ටකාරි නාට්‍යය - ඔස්ටින් මුණසිංහ

මට තනි නැති නුඹ නාඩන් සුරතලියේ - ටී එම් ජයරත්න, ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ගුවන් විදුලි ගී - එච් එම් ජයවර්ධන

කන්දෙන් ලන්දෙන් බැස දිවැ එන්නේ මාදං බෝවිටියා රස දන්නේ - අමරදේව, පද - සුනිල් සරත් පෙරේරා, ගුවන් විදුලි ගී, අමරදේව

අතුළ සිනිඳු සුදු වැල්ලේ - අමරදේව පිරිස, නන්දදාස කෝදාගොඩ, ගුව, අමරදේව

කඳුවැටියෙන් බැසඑනා මිටියාවත රගදෙනා, අමරදේව, අමරා රණතුංග, සුනිල් සරත් පෙරේරා, දයාරත්න රණතුංග

ගෙවිළියනේ වෙල් එළියේ අඩසඳ සේ නැමි නැමි, සනත් නන්දසිරි පිරිස, ප්‍රේමකිර්ති ද අල්විස්, ගුවන් විදුලි, සනත් නන්දසිරි

සොඳුර මට සමුදෙන්න ඈත ගමේ සරු පස, ඩී ඩී ගුණසේන, සමන් චන්ද්‍රනාත්, ගුවන් විදුලි, ප්‍රේමසිරි කේමදාස

ගෝණගලට මාව දෙතෙයියා - චන්ද්‍රනි ගුණවර්ධන, ඩෝල්ටන් අල්විස්, ගුවන් විදුලි, බී වික්ටර් පෙරේරා

ලොකු නැන්දා එනවා අපේ දිහාවේ - චන්ද්‍රානි, ඩොල්ටන් අල්විස්, ගුව, වික්ටර් පෙරේරා

මට මතකයි මන බැන්දු සිනා - මර්වින් මිහිඳුකුල, ක්ලැරන්ස් විජේවර්ධන, වෙළඳ කැසට්, ක්ලැරන්ස්

ඇළ දොළ පිරුනා මැණිකේ නිසා - සුපර් ගෝල්ඩන් චයිම්ස්, වෙළඳ තැටි, ක්ලැරන්ස්

සඳක් බැස ගිය අවරගිරේ - සූපර් ගෝල්ඩන්, තැටි, ක්ලැරන්ස්

ආදරයෙන් මා හද වට එතෙන ලතා - අබේවර්ධන බාලසූරිය, කුලරත්න ආරියවංශ, ගුව, සරත් දසනායක

,නෙඵම් විලේ නෙඵම් මලට  - අබේවර්ධන සහ නිරංජලා සරෝජිනී, අජන්තා රණසිංහ, තැටි, ප්‍රේමසිරි කේමදාස

දවස ගෙවි දැන් ටික ටික   - සී ටී ප්‍රනාන්දු, සුසිල් සේනාධීර, තැටි, පැට්‍රික් දෙණිපිටිය

නගේ නගේ වැහි එනවා පැලට වරෙන්නේ - නීලා වික්‍රමසිංහ සහ වික්ටර් රත්නායක, සුනිල් ආරියරත්න, ගුව, වික්ටර් රත්නායක

දෑතට වළලු මල් මුතුළැල් මාල පොටයි - නීලා සහ ටී එම්, සී ද එස් කුලතිලක, ගුව, සී ද එස්

රුක් අත්තන මල මුදුනේ- නන්දා මලනී, මහින්ද අල්ගම, ගුව,නන්දා මලනී

සිතක සතුට නැළවෙන දිය රැළි සේමා - පුන්‍යා කත්‍රිආරච්චි - සේන වික්‍රමආරච්චි, ගුව, සෝමරත්න පෙරේරා

සාරි පොඩිත්තක් ඇඳගෙන - නන්දා මාලිනී, සුනිල් ආරියරත්න, ගුව, නන්දා මලනී

දුම්බර කළලේ තුන්පත් රටා වියන්නම් - නාලනී රණසිංහ, ගුව, නාලනී රණසිංහ

අර බලපන් නගෝ  - නාලනී රණසිංහ, ගුව

සුවඳ මලේ පැණි බඹරුනට පිදෙන්නයි - එඩ්වර්ඩ් ජයකොඩි සහ රෝහණ බෝගොඩ, ජෝරජ් ලෙස්ලි රණසිංහ, ගුව, බන්දුල විජේවිර

දෝත පුරා මුතුමාල ලතා - බන්දුල විජේවිර, උපාලි ධනවලවිතාන, ගුව, බන්දුල විජේවිර

බකිණි ගහේ බකිණි මලේ පාර අසන්නේ - පුන්‍යා කත්‍රිආරච්චි සහ එඩ්වර්ඩ් ජයකොඩි, ඩෝල්ටන් අල්විස්, ගුව, රෝහණ වීරසිංහ

බොලං පොඩි නංගී ටිකක් හිටපන් - සුජාතා අත්තනායක, අජන්තා රණසිංහ, ගුව, නවරත්න අත්තනායක

මුතු පබඵ කාරි දඹරන් වළලු කාරි - සුජාතා අත්තනායක, අජන්තා,ගුව, ලයනල් අල්ගම

මුතු වරුසාවට තෙමිලා පිනි ඉහිරුණු - වික්ටර් රත්නායක, ප්‍රේමකීර්ති ද අල්විස්, ගුව, වික්ටර් රත්නායක

හීන් හාමිනේ උඩහ වත්තේ පොල් කඩනවා - ඉන්ද්‍රානී විජයබන්ඩාර, සිරිල් ඒ සීලවිමල, ගුව, සිසිර සේනාරත්න

සල් සපුමල් දෙවැට දිගේ පිපිලද දුනුකේ - සිසිර සේනාරත්න

සරුපස දිලේ පූදින ගොයමක් සේම - සුනිල් ආරියරත්න, වික්ටර් රත්නායක

දවසක් පැල නැති හේනේ - රන්බන්ඩා සෙනවිරත්න, ගුණදාස කපුගේ

නාඹර ගොයමට රහස් කියලා - සමන් චන්ද්‍රනාත් වීරසිංහ,කපුගේ, 

සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ - ප්‍රේමකීර්ති ද අල්විස්, කපුගේ

අක්කා නගාලගේ බොළඳ හිනා - ඩෝල්ටන් අල්විස්, චන්ද්‍රානි 

රජ මැදුරක ඉපදී හිටියානම් - ලුෂන් බුලත්සිංහල, මාලනී බුලත්සිංහල

පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ - ලුෂන් බුලත්සිංහල, මිල්ටන් මල්ලවාරච්චි

එගොඩහ කන්දේ රුවැති එළන්දා - ඩෝල්ටන් අල්විස්, සනත් නන්දසිරි


මේ නිර්මාණ සංගීතවත් කරන්නට ඔවුන් සිය ළමාවියේ දී විහාරයේ. පිංකම් පොළේ, සල්පිලේ, දේවාලයේ, මෙන්ම ගැමි යාතුකර්මයන් වූ බලිතොවිල් සහ එහි රගදැක්වූ නාඩගම් ගුරුකොටගත් බව කියැවේ. ගම්මානය සිඝ්‍ර විපර්යාසයට ලක්වූ 80 දශකයට පෙර, ගැමි ජනකලා නිර්මාණ, රග දැක්වීම්, උත්සව එහි නිතර පැවැත්වූ වග කියැවේ. ඒවා නරඹා රසවිඳින්නන් ගේ කලා නිර්මාණ කෞෂල්‍යය හිමිදිරි පිනි පොද වැටී සූරිය උදාවේදී විකසිත වන පියුමක් බඳුවන්නට ඇත. උක්ත මහරු ගීතාවලියේ නිර්මණකරුවන් සියල්ලෝ මෙම පිරිසේ සාමාජිකයන්ය. ඔවුනට ජනකවියේ, ජනගීතයේ, නාඩගමේ, බලියාගයේ, කෝලම් සංදර්ශනයේ, තොවිල් පොළේ ඇසුනු සංගීත රාවය, පසුකාලීන නිර්මාණවේශය අත්කරදෙන්නට ඇත. 


කෙත් යාය සිසාරා ඈතින් නැගෙන බටනලා වාදනයක ශෝකී ස්වරය, ඔබේ හද කිතිකවනු ඇත. මෙම ගීත නිර්මාණ සංගීතවත් කිරීම සඳහා ඒ නිසාදෝ බටනලාව යොදාගන්නට නිර්මාණකරුවෝ ප්‍රිය කරති. උක්ත ගීතාවලියේ වැයූ ගීත බොහොමයක එකී වාද්‍ය ඛන්ඩ ඇතුළත්ය. ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය බටනලා වාදකයන් වූ ඈත දුර ඌව පුරවරයෙන් බිහිව පසුව ප්‍රවිණයන් බවට පත් වූ  වී හේමපාල සහ එච් එම් ජයවර්ධන මෙම ගීත උදෙසා බටනලා වාදනයෙන් සහය වූ බව කියනු ලබයි. විසල් ගවපට්ටි රැකබලාගනිමින් ලඳු කැළෑ, තැනි පුරා සැරිසැරූ ගොපඵ කොලුවන්ගේ පාඵව කාන්සිය දුරුකරදුන් ’බටනලා’ නාදය, නෙකවර ඉහත ගීතාවලියට මුසු වූ අවස්ථා හමුවේ


ළන්ද දිගේ හැංගි හොරා සැඳැ කාලයේ  - ගැයුම - නන්දා පතිරණ, සංගීතය - ස්ටැන්ලි පීරිස්, බටනලා වාදන රසය - වී හේමපාල පෙරේරා

කුරහන් යායේ සඳ උතුරාගෙන  - ටී එම් ජයරත්න, ස්ටැන්ලි පීරිස්, බටනලා වැයුම් - හේමපාල පෙරේරා

බිංදු ඉහෙන පින්නේ අරුණ උදේ - මාලනී බුලත්සිංහ, අජන්තා රණසිංහ, සංගීතය  - ක්ලැරන්ස් 


ආචාර්ය ප්‍රේමසිරි කේමදාස බටනලා වදකයන්ගේ පරපුර නියෝජනය කරන ලද්දෙකි. ’ජන ගී’ කලාව පිළිබඳව විශේෂඥයන් වු සංගීතවේදින් අතර ඔහුද ප්‍රමුඛයෙකි. සරළ ගී පදමාලාවකින් ’ජන ගී’ රසය මතුකර පාදා ගැනීමට ඔහු සමත්කම් දැක්වූ නිදසුන් එමටය.  පන්ඩිත් අමරදේව සහ නිරංජලා සරෝජිනි ගැයූ ’රෑ හඳේ හේනකින් සීපද ඇහුණයි....’ ඊට නම්කල හැකි අපුර්වතම නිදසුනකි. (පෙර ලිපියක ගීතය පළ කරන්නට යෙදුනි). එහි පදවැලේ ආරම්භක පදයන් හී එක් අක්ෂරයකට මාත්‍රා ගණනාවක් පුරුද්දා ඔහු ’ජන ගී’ ආර මතුකරගෙන, එය රසය දියුණු තියුණු කරන්නේ ’බටනලාව’ වැයීමෙනි.

'

රෑ හඳේ හිනකින් සී පද ඇහුනයි - අමරදේව සහ නිරංජලා සරෝජනී

නෙඵම් විලේ නඵම් මලක ලස්සන ගැන - අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා 
--------------------------------


එහෙත්, ගම්මානයේ තතු කියූ ගීත නිර්මාණයන්, සංගීතවත් කිරීමේදී ඔවුන් ඇතැම්විට බටහිර වේගරිද්ම නාද රටාවන් ද ඊට යොදාගත්හ. එහිදි අපරදිග වාදf්‍යා්පකරනයන් ද එක්කර ගැන්මට පසුබට නොවූහ. උක්ත සටහන් පෙළෙහි ’එම් එස් ප්‍රනාන්දු’ ගායන ශීල්පියා ගේ ගීත සළකා බලනු වටී. එහි වැයෙන්නේ ’ට්‍රම්පට්’ සහ ’විදුලි ඕගනය’ ’විදුලි ගිටාර්’ සහ ’ඩ්‍රම්ස්’ ය. 


ටිකිරිටිකිරි ටිකිරි ලියා කවුද කියලා බලමු කියා ................ 

පාර පුරා මල් හැලෙනවා ඇඳපු චිත්තේ .............

------------------------------------

ගැමි සෞන්දර්යය සහ පරිසර වැණුම් ගයන්නට පෙළඹුනු සී ටී ප්‍රනාන්දු ශිල්පියා වෙනුවෙන් සංගීත සංයෝජනයේ යෙදුනු සුනිල් සාන්ත සිසු පැට්‍රික් දෙණිපිටියද බටහිර සංගීත නාදරටා ඊට එක්කරගත්තේය.

(රෑ පැල් රැකලා පැල් කවි කියලා.... , මගේ සුදු මාමේ ................ , අනේ ඩිංගක් ඉන්නකෝ ඔය..................) ඒ අතරට පෙළගස්වනු වටනේය. මේවයේ ඔහු (පැට්‍රික්) සැක්ස්ෆෝන්, ට්‍රම්පට්, විදුලි ඕගන, විදුලි ගිටාර් වර්ග, මෙන්ම පෙරදිග මූලයක් ඇති ’සන්තූර’ යද අප්‍රිකානු ජන සංගීත වාදf්‍යා්පකරණ වූ කොම්බෝ සහ බොංගා තාල වාදන, සමග මුසුකර තිබේ. එහෙත් ඒ කරණකොට ගෙන ගී පදමාලාවන්ගෙන් වහනය වන ගැමි සුවඳ හීන වූ බවක් දක්නට නොලැබීම ආශ්චර්යයකි. 

මේ අතර රත්නපුරයෙන් පැමිනි ක්ලැරන්ස් විජේවර්ධන ඉලෙක්ට්‍රෝනික ගිටාරයට පෙම් බැන්දේය. ගැමි ජනදිවිය මෙන්ම එහි සෞන්දර්යය ගී පදමාලාවන්ට නංවා  චිත්‍රනය කළ ඔහු සිය නිර්මාණ මතු කී විදුලි ගිටාරයෙන් හැඩ වැඩ කරගන්නට ඇඵම් කලේය. විහාරයේ සිට ගම වටා ඇදෙන පෙරහැරේ නර්තන ශිල්පීන් වෙනුවෙන් වැයෙන ’බෙර දවුල්’ හඞ ගිටාරයෙන් මවමින් පර්යේෂාන්තමක අත්හදා බැලීම් සිදු කලේය

රන් මොණරුන් රගදෙනු දුටුවා - වින්ස්ලෝ  සික්ස්, පාට පාට රන්තටු සළලා - ගෝල්ඩන් චයිම්ස්, උඩරට නිළිය හැඩ වගේ - ඇනස්ලි මාලේවන, කියන්න සුළගේ - ලිලන්ති කරුණායක. අහසේ ඈත දිළීසෙනවා පුංචි තාරකා - ලිලන්ති, ගොයම් කපනවා මැණීකේ වෙලේ නෙළනවා මැණීකේ - ඇනස්ලි මාලේවන, 


බටහිර සංගීතයෙන් වශීකෘත වු, සිංහල ගැමි මූලයන් ඇති ගීත රසික ප්‍රජාවට ඒ වාද්‍ය ආර බලපෑමක් කළ බවක් පෙනෙන්ට නැත. ඔවූහූ ඒවා එදත් අදත් ආදරයෙන් ලෙන්ගතුකමින් වැළඳ ගනිති.

නිර්මාණකරුවන්ගේ පරිකල්පන ශක්තිය, ප්‍රතිභාපූර්ණත්වය දඵලා වැඩි යන්නේ, නිහඞ නිසල පරිසරයන්හිදීය. ’ගම්මානය’ තරම් ඊට අන් කවර තැනක් සුදුසු වේද? ශ්‍රී ලංකාවේ එදාමෙදා තුරු බිහිවූ විශීෂ්ඨ සාහිත නිර්මාණ එනම් කෙටිකතා, ගී, කවි, සිතුවම්, නවකථා, සිනමා නිර්මාන බිහිවි ඇත්තේ ගැමියන්ගේ අත්දැකීම් පාදක කොටගෙනය.

රසිකයන් ද හදවතින් වැළඳගන්නේ, ප්‍රිය කරන්නේ, තම ළමාවියේ අත්දුටු, නෙතගැටුනු දසුන් මනසින් අවර්ජනය කළ හැකි.  අතීතයට පියඹා යා හැකි නිර්මාණයන් හටය.

ෂෙල්ටන් ප්‍රේමරත්න වැනි ප්‍රවිණ සංගීතඥයන් ගේ ප්‍රතිභාව කැපි පෙනෙයි. කෙසේද යත් ඔහු ’වැදි ගී’ නාදමාලාව සංගීතවත් කරන්නට පවා බ්‍රිතාන්‍යයන්ගේ සාම්ප්‍රදායික උත්සව තූර්ය භාන්ඩයක් වන ’බෑන්ඩ්පයිප්’ නම් වූ ශූෂිර වාදනෝපකරණය යොදා ගන්නට පසුබට නොවීය.

කොළඹ ආනන්දය අසල වසමින් එහි අකුරු කළ ’ප්‍රේමකිර්ති ද අල්විස්’ ද ’වාද්දුවේ’ වැසියෙකි. එහි ගම්මුන් ඇසූ දුටු දෑ, කළ කී දෑ. ඔහුද අත්දකින්නට ඇතිවා නිසැකය. මතු ලියැවුනු සටහන් පෙළෙහි ඇතුළත් වූ නෝංජල් ’හඳයා........’ නම් ගැමියා ගේ පවත උපුටාගන්නට ඇත්තේ ද වාද්දුවෙනි. ’රබර් වගාව’ සරුවට සිදුවූ කඵතර දිස්ත්‍රික්කයේ ඒ රබර් වතු හිමි ’හාමු’ මහතැන්ලා එමට සිටියහ. එය කවියක නිසග ලක්‍ෂනයක් වූ ’අනුප්‍රාස’ රසයෙන් හීන වූ පබැඳුමකි. ආචාර්ය කේමදාස වැන්නෝ ඒවා ගීත බවට රූපාන්තරනයට ලක් කිරීමේ විශේෂඥයෝ ම විය.

මෙම ලිපි මාලාවෙන් ගීත රසයේ කිමිද ගිය ශ්‍රාවක රසික ඔබ ඒ කර්තව්‍යයේදී  සියවස් සියවස් ගණනකදී එතරම් විපර්යාසයකට ලක් නොවී තිබී, අසමාන්‍ය ලෙස අභව්‍ය ලෙස ගෙවිගිය දශක කිහිපයක් තරම් කෙටි යුගයදී සිඝ්‍රයෙන් වියැකි අතුරුදහන් ව යන ලක්බිම ’ගම්මානය’ ක විසිතුරු අත්විඳින්නට ඇති බවට නිසැකය. 

ඉතිහාසගත ග්‍රන්ථාවලිය හැදෑරිමේදී උක්ත කරුණ මනාව පැහැදිළී වේ. එනමුත් යුරෝපීය කාර්මික විප්ලවයේ ප්‍රතිඵල පසුගිය සියවසේ මුල් භාගයේ සිට ඒ සුන්දරත්වය නම් වූ කඩතිරය තැනින් තැන පඵදු  කරන්නට පටන් ගන්නා ලදී. 

ලංකා ජනතාව ඉතිහාසයේ මුල්වරට අවිචාරවත් බහු භාන්ඩිකතාවයට රැකුල් දෙන විවෘත ආර්ථික රටාවට සම්පූර්ණයෙන්ම නතු වු 70 දශකයේ අවසන් දෙවසරෙහි සිට ඉතා කෙටි කාලයක් එනම් දශක පහක් ගතව යන වත්මනෙහි නොඇදහිය හැකි ලෙස සිය අනන්‍යතාවය, සාරධර්ම, මානව ගුණාංග, චාරිත්‍ර වාරිත්‍ර, යන මේවයෙන් පිරිහි ගොස් ඇති බවට නිදසුන් පුවත් නිතිපතා දිනපතා එමටය.

එය යළි කිසිදිනක ආපසු හැරවිය නොහැකි රූපාන්තරණයක් විපර්යාසයක් ව පවතී. ඒ අනුව මෙම ගීතාවලියෙන් ඔබට නිරාවරණිත සදාහරිත ගම්මානය යළි ප්‍රතිනිර්මාණය කර දෙන්නට සමත්විනි නම් එය මහත් සොම්නසකි.


සමාප්තයි