namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, November 20, 2024

සිංහල සිනමාව - 70 දශකය -

 නිරුදක, ධාරා, සුරේන් අප............සහ ඔවුන්...


ගම්මානයේ ඇති වැවෙහි සුන්දරත්වය දෙගුණ තෙගුණ කෙරෙන්නේ ඒ මත සුපිපි නෙඵම් කුසුම් පෙළිනි. නාඹර කෙළිලොල් යුවතියන් එහි විත් සිය වස්ත්‍ර සෝදද්දී තවත් අය දිය බැස නෙඵම්  පත් දෙබෑ කරමින් ගොස්  පිහිනා යති. 



දුරින් පිහිටි නෙඵම් පත් යාය තුලින් කිසියම් අමුතු වස්තුවක් මතුවෙයි. නැත එහි අරුමයක්. එය මුණින් අත හැරවූ සිදුරු දෙකක් ඇති මුට්ටියකි. එය සීරූවට ජලතලයෙන් උඩට මතුව යළි යළිත් නොපෙනී යන්නේය. 

සැණින් මේ අරුමය දුටු යුවතියෝ තැතිගෙන යුහුසුඵව දියෙන් මෑත්ව දනි පනි ගා ගොඩට පීනති. ඒ පෙරකී මුට්ටිය එක සිරූවට ඔවුන් දෙසට ඇදී එන නිසාය. 

’ඒයි අන්න අරූ අදත් ඇවිල්ලා .... අනේ වරෙල්ලාකෝ .........(මුල් පිටපතෙහි පැවති දෙබස්ම නොවේ)

කෙළි පොඩිඩියන්ගේ බෙරිහන් දීමට එහි දිවඑන මදාවි කොඵරැළ දියෙහි පාවෙන මුට්ටියේ සිදුරු තුළින් දිළිසෙන පබඵ වැනි ’ඇස්’ යම්තමට නෙතට හසුකරගනිති.

වියරු වැටි දඞු මුගුරු ගෙන දිවඑන කොඵරැළෙන් බේරීයන මුට්ටිය විදුලි වේගයෙන් වැවේ දුරාන්තයට ඇදී යෙයි. ඊලඟ නිමේෂයේ අවුල් ව ගිය හිසකේ සහ අපිළිවෙළින්  වැඩුනු රැවුලකින් හෙබියා වූ මුහුණක් ඇති ඉතා විරූපි රකුසෙකු බඳු මිනිසෙක් ජලතලයෙන් මතුවෙයි. 

කොඵ සේනාවෙන් බේරීගොස් ගහක ඉහළ අතුවල එල්ලී සිටින හැඩිදැඩි ඔහුද, වඳුරු තඩියෙකු ද අතර වෙනසක් නොපෙනේ.

විලාප තබමින් හිස අත ගසාගනිමින් එහි දිවඑන වඳුරු මිනිසාගේ මවගේ බෙරිහන් දීමෙන් පසුබැසයන පිරිස දකින්නේ උතුරා ගලා යන අපමණ දරු සෙනෙහසින් ගසමුල සිට  ආදරණීය පුතු අමතන මහඵ මවගේ වදන්ය

අනේ බැහැපං මගේ රත්තරං පුතේ... උඹට මොනවත් කරන්න මම ඉඩ දෙන්නේ නෑ.... (මුල් පිටපතේ දෙබස්ම නොවේ)

වදෙන් පොරෙන් ගසෙන් බස්සවා ගත් වඳුරු මිනිසා කැටුව වියපත් ඇය දෙස් දෙවෙල් තබමින් ඈතට ඇදී යයි.

අවිහිංසක එහෙත් සදහටම පියවී ඇති දෙනයනින් ලොව අසිරිය නොදකින්නී, ගම්මානයේ සුරුපිණියයි. ඇය ගේ ආවතේව බැළමෙහෙවර නොපැකිළිව ඉටු `කරනුයේ වඳුරු මිනිසාය. මේ මානවකයා නෝංජල් බසින් යටහත් පහත්ව නෙත්අඳ ඇයට ආවතේව කරන්නේ ඇයව යම් මතු දිනක තමා සතු කරගැනිමේ නොනිම් ආශාවෙනි.



මහ මූකලානේ ගල් ලෙනක තවුස්දම් රකින ඔහු අතිශයින්ම කඩවසම්ය. පිරිමිබවේ ප්‍රතිමූර්තියකි. ඇය ඔහු අබිමුවෙහි තබාගන්නා තවුසා තමාගේ වෛද්‍යකර්මය පණගන්වාලමින් ඇයගේ අවිහිංසක දෙනෙත විවර කරදෙන්නට තැන් දරයි. ඊට 

ඇවැසි සියඵ  දෑ සිදුකරන්නේ වඳුරු මිනිසාය. 

එක්තර දිනක අඵයම් යාමයේ ඈත ක්ෂිතිජයෙන් එබි බලන සුර්ය දිව්‍ය තමෝ එදවසට නියමිත සිය හිරිමල් රැස්දහර එල්ලකරන්නේ උස් ගල්ලෙනෙ මස්තකයෙහි තමා දෙසට වත යොමු කරනා සුරූපිණිය වෙතටය. එතුවක් කල් ඇයගේ නෙත්වසා බැඳි ඖෂධ පින්ඩය සෙමින් ඉවත්කරන තවුසා එයින් කාමභූමියන්ගෙන් මධ්‍යම තරමේ සුව සම්පත එළවන ’මිනිස් ලොව’ අසිරිය ඇයගේ සුවපත් නෙතට ලක්කරන්නට සමත්වන්නේය.

මේ මිනිස් භවයේදී මුල්වරට දෑස් දල්වා අවට සිරිනරඹන ඇයගේ නෙතට වහාම ලක්වන්නේ නුදුරින් සිටගෙන සිටින වඳුරු මිනිසාය. 

හඬනඟා සිනා උපදවන ඇය ඒ තියුණු උපහාසාත්මක විෂ වේග සරය අසරණයා වෙතට දමාගසන්නී, කෙමෙන් කඩවසම් තවුස් මානවකයා ගේ ළැමට තුරඵවෙයි. 



ඒ විෂ ඔච්චම් සිනා සරයෙන් හද සිදුරු කරගත් අසරණ මිනිසා හිස බිමට නැඹුරු කරගනිමින් කෙමෙන් ඈතට පා නගනු පෙනෙයි. සසරෙහි කිසියම් කලෙක සිදු කරන්නට යෙදුනා යැයි අනුමාන කෙරෙන අකුසලයකට ගොදුරු ව, බාහිර පෙනුමෙන් විරූපියෙකු වුවත් ලොව අන් කවර හෝ මිනිසෙකුගෙන් නොවෙනස් වූ හදක් ඇති ඔහු ?

ඒ හද තුල බුරා නැගුනු සෝ ගිනි ජාලා පමණ කළ නොහැකි වනු ඇත.

’මාගමුන් ’ නිසා හද සිදුරු කරගත් ’නිරුදක’ ගේ පුවත එළෙසින් සංවේදි හදවත් දසදහසකට කියාපෑවේ ලක්දිව පහළවු මහ සිනමාවේදී දිවංගත ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. ඔහු ඒ පුවත නම්කළේ ’දෑස නිසා’ යන කෙටි දෙපදයෙනි. ඒ 1976 තරම් දුරකදීය.



--------------------------------

වනපියසේ තම රාජධානියේ සර්වබලධාරියාව, එහි වෙසෙන්නා වූ සිය රෑහේ උන් ගේ අසහාය නායකයාණන්ව, මහත් පෞරුෂයකින් ඔවුන්ව ග්‍රහණයට ගත් බලවන්තයාව සිටි ඔහු දුර ඈත කොණේ, උකුඵ මුකුඵ කරමින්, එකිනෙකාට තුරුඵ වෙමින්, තොඳොල් වෙමින්, වරෙක අත්පටලා ගනිමින් ඈතින් ඈතට පියමං කරන සිය ළයාදර ඇඹේනිය දෙස බලාසිටී. 


ඇය කැටුව පියමං කරන කඩවසම් තරුණයා රැහේ උන්ට මාල.වළලු, තොරොම්බල් බඩු සිදාදියෙන් ගෙන එන වෙළෙන්දාය.


තමා පැල්කොටෙයෙන් මෑත් වූ විට, කල්යල් බලමින් එහි රිංගන තරුණයා හා තොඳොල් වී පෙම්බස් දොඩා, රතිකෙළියෙහි රන්රසය විඳගන්නායුරු ඔහු මින් ඉහත වාර ගණන් දැක ඇත්තේය.  


ඇවැසි නම්, එක කෙටේරී පහරින් සිය ලාලනියගේ ආදරවන්තයාව පරලොව යවන්නට තමන්ට ඕනෑතරම් ඉඩකඩ තිබු බව ඔහු දන්නේය. එහෙත් ඔහු එසේ නොකළේය.


පණමෙන් රකිමින්, තමාට හැකි සැපසම්පත් ආදර සත්කරයෙන් ළෙන්ගතුකමින් කරුණා දයාවෙන් තමන් රැකබලාගත් සුරූපි ඇය අහේතුකව අද තමාට පිටුපා අන් තරුණෙකුගේ ළයට තුරුඵවෙමින් නික්ම යයි. 



වවාගත නොහුනු සෝකයෙන් දෑස් කෙවෙණි පිරී ඉතිරී ගොස් එයින් දෙකොපුලින් රූරා හැළෙන කදුඵ දහරා ඇති දෙනෙතින් ඔහු මේකි අවසනාවන්ත දසුන් පෙළ නරඹන්නේය.


හඹා ගොස්, එක පහරින් නරුමයා ගේ හිස දෙපඵ කරනොදමන්නේ ඇයි...?  


එයින් ඇයගේ  කය යළිත් තමාවෙත නතුකරගත්තද පැහැර ගත් ’ආදරය’ යළි අත්කරගත නෙහැකි බව වැටහී ගිය නිසා වන්නට ඇත.


මේ අතිසංවෙිදී දසුන් පෙළින් ජනිත වු සන්තාපය තිව්ර කරමින් දෙගුණ තෙගුණ කරන්නේ පසුබිමින් ගැයෙන කවි පෙළකිනි.


කුඩා ගමේ මද්දහනේ .............

අවු රස්නය නිවා ...............

හූරි කඳු පෙතේ දඩමං දිගේ ගියා මෙමා...........

එවන් ගමන් මා නම් ගියේ සෙනෙහස ගැන සිතා ...........

නුඹේ කරට රිදී පොටක් පළඳඤ්ඤයි සුබා ................


අලෙ කියන අකුරු පහේ තේරවිල්ල සකී..

රෑට නිදන තනි පැදුරේ දුටු සිහිනෙකි සකී...

ආලේ බිඳුනු දා කුමටද කදුඵ හෙළනු සකී...

ආල වඩන යන ඒ රුව බෝසත් කම සකී................


’ළඳක් නිසා බිඳුනු හදක පුවත හදසසළකරවනා සංවේදී කව් පෙළට සිය භාවපූර්ණ හඞින් පණපෙව්වේ ගායන ශූරී ’සුනිල් එදිරිසිංහයන්ය’ ඒ දිවංගත ’ඩබ්ලිව් ඒ බී ද සිල්වා’ සිනමාවේදියාගේ ’හුලවාලි’ වෙනුවෙනි. ඒ 1976 දීය.



-----------------------------------------


සමනලියක සේ ලන්දේ ඇළේ දොළේ දෙනියේ දුව පැන ඇවිඳ ගහකොළ සතා සීපාවා සමග අඟර දඟර පානා යුවතිය වෙත නෙත යොමන්නේ ගම්මානයේ මුදල් හදල් යහමින් පවතින ව්‍යාපාරික පවුලක තරුණෙකි. එහෙත් ඔහු ’මිට්ටෙකි’. ගතින් වීකෘතියට ලක් වුවද ඔහු ද පෙරකි දෙදනා මෙන් මිනිස් හැඟීම් දවනද සංවේදී හදවතක් ඇත්තෙකි. 

මේ සුන්දර කෙළිලොල් මනබඳින රූ සිරු ඇති ළඳ තමාවැන්නෙකුට ඇඵම් කරයිද ? එසේ විය හැකි යැයි ඔහු සිතන්නට ඇත. මක් නිසාද යත් ඔහු ගේ පියා ගම්මානයේ බලවතා, ධනපතියා බැවිනි. මේ වයසෙහි අන් කවර යුවතියක් සේම ඇයද රන්මිණිමුතු සැප සම්පත් හි ලොබ බඳිනු ඇත. සැපරියකින් තමා සමග ඔබමොබ යනු ඇත්තේ උජාරුවෙනි. සැකයක් නැත තම පියාණන් ගේ ඉසුරු සම්පතින් ගිනිකණ වැටෙන මේ අසරණ ගැමි ළඳ තමා ට වසඟවනු ඇත්තේ සිය ’රුව’ නොසළකා හරිමිනි. එය සැකයක් නැත්තේමය. ඔහු සිතයි.

අවසානයේ ඔහු සිය සිහිනය සැබෑ කරගත්තේය. ප්‍රිය සම්භාෂන මංගල සිරි අසිරිය මැද ඔහු ඇයව තමාගේ නිවහනට කැඳවා ගත්තේය. 


මංගල දින රාත්‍රි යාමයේ, ළදරුවෙකුගේ වැනි සිය කුඩා අත්වලින් ඇයගේ ගෙළ. හිස, ළමැද පිරිමැද්දේය. පෙම්බස් දොඩමින් සිපසැනසුවේය.  ඊලඟ නිමේෂයේදී නිදියහනෙහි උඩුබැලි අතට සිය කුඩා සිරුර සතපවා රිසි සේ නිදි සුව විඳගත්තේය.


තම ළබැඳි මනාලිය ගේ හද බිඳකුඳු හෝ පාරවාලන්නට මහත් සේ බියගත් ඔහු සිය තරුණ රියදුරුද කැටිව ඇයව අගනුවර සවාරියකට යොමුකරගත්තේය. 


ගාලුමුවදොරදී රිය මඟ ඇණහිටියේය. නවයුවළ රිය තුළ දමා රියදුරා රථයෙන් බැස බොනට්ටුව විවර කරමින් මොනවදෝ කළේය. රථයේ ආබාධය ට පිළියම ලැබුනා වැන්න. දැන් සිදු කළ යුත්තේ තල්ලුවකි. ඉසුරුමත්  ’අඟුටුමිට්ටා’ ට ඊට උපකාරී කරන ලෙස කරන්නාවු ආයාචනයකි. ඔහු සිය සිඟිති පා පොඩි වෙතට අසිරූවෙන් වාරු ගනිමින් රථයේ පිටුපසට වී ඒ කාර්යය සිදුකරයි. එක්වරම, රථය පණගැන්වී විදුලි වේගයෙන් නික්ම යයි. මනමාල සිඟිත්තා අත්පොඩි ඔසවා වනමින් ඒ පසුපසින් දිවයන්නට විය. එහෙත් ඒ පියවර කිහිපයකටය. රථය අතුරුදහන් විය. හදපිරි සොවින් ඔහු මහමඟ දනගසා වැළපෙයි.


මේ අනුවේදනීය දසුන් පෙළ විසින් ඔබ අපගේ කැළඹු හද තවත් උද්දීපනය වූයේ එයින් නැගෙන ශෝකී විලාප ගී කවි රාවයෙනි...


කොමළ ලියා ...බොළඳ ලියා .................

මාව දමා යන්න ගියා.............

සියුමැලියා සිකුරුලියා ................


ගත සීතල පහස ලබා ....

ළැම රන්වන් සුවඳ සොබා............

මුව මී රොන් ලැබුව මේමා...

සිකුරුලියා... මාව දමා යන්න ගියා ......


නෙත ඇඳි රුව ඔබය සුදෝ..

අද ඒ නෙත කඳුඵ බිඳු ...

ආදරයෙන් ඔබව හැදූ...

සිකුරුලියා... මාව දමා යන්න ගියා..........


ආදරයෙන් ඔබ හින්දා...

මා මනසින් දුක් වින්දා...

පාඵව හද මා රන්දා ..

සිකුරුලියා.. මාව දමා යන්න ගියා.....



කාමලොවක ළඳක මහිම මොනවට කියා පෑ සිකුරුලියකු වු ’සමන්මලී’ නිසා හද පාරවාගෙන පෙමින් අවතැන් වූ අඩ-තරුණයා  ගේ පුවත කරළියට ගෙනාවේ එදා අංකුර සිනමාවේදී ’එච් ඩී ප්‍රේමරත්න’ ය. 

එකම ’ලය’ ආරකින් ගැයුනු හද පාරන උක්ත විරහා ගී යුග්මයෙන් නොහික්මුනු ළඳුන්ගේ අවකල්  පැවතුම්  නිසා දිවිමඟ සෝතැවුල් දුක් සංකා විඳි මිනිසුන්ගේ ශෝකාන්තය’ කියැවෙයි. එනමුදු ඒ ගී පබැඳු රසවතා කලෙක සිය ආදරවන්තියව සිට දිවිමඟ අත්වැල ගත් සිය ආදරණිය බිරිඳ ’රෝ’ දුකින් මුදවාලන්නට අපමණ කැපකිරීම් කළ උත්තම පුරුෂයෙකි. ඒ පුවත්පත් කලාවේදීන්හට මහා ’පහන් ටැඹක්’ ව ’පහන්වැට’ නිර්මාණ සංසදය දල්වාලූ දිවංගත ’ධර්මසිරි ගමගේ’ ශූරීන්ය.



කරුණා දයාවේ ප්‍රතිමූර්තියක් බඳුව, සිය මාධ්‍ය සිසුන්හට ළබැඳි පියෙකු බඳු ඔහු නිරන්තරයෙන් සුන්දර අව්‍යාජ මන්දස්මිතියකින් සිය මුව සරසාගෙන සිටියේය.


-------------------------------------

මහත් සේ චිත්ත වික්‍ෂෝපයට පත් ඔහු වරෙක සිය කාර්යාල කාමරයට වැදී එහි ලාච්චුවක් විවර කර පිස්තෝලය අතට ගනී. අවකල් අශීක්ෂිත ක්‍රියාවක නිරත වන ඇයගේ දිවිගමන කෙළවර කර දමන්නට ඔහුට සිත්වන්නට ඇත. එහෙත් සිය අසරණ සිඟිති දියණිය ට මවකගේ උණුසුම අහිමි වීම ඔහුට දරා ගන්නට නොහැකි වන්නට ඇති නිසාදෝ එය සිදු නොකරයි. බිත්ති ඔරලෝසුවේ රාත්‍රී 11 කණිසම නාදවෙයි. එහෙත් දියණියගේ මව තවමත් නැත. ඇය සිය සිහින කුමරා ගේ තුරුළේ තවමත් සැතපෙනවා ඇත. 

රැකියාවේ කාර්ය බහුල බව නිසාම නිවසේ දී පවා එහි කටයුතු වල නිරත වූ තමාගෙන් ඇයව සිනමා පටයක් නරඹන්නට ගෙන යන ලෙස එදා කී පවත ඔහුට සිහි වනවා ඇත. 

ගෘහ සේවිකාව සහ සිය කුඩා දියණිය සමග ගාලු මුවදොර සැඳැ සුව විඳිනට යන ඔවුනට සම්මුඛ වන කඩවසම් තරුණයා හා දොඩමඵ වන්නට මුලින් පැකිඵනත් දෙවන දිනයේ ඇයව තම දැලට හසුකරගන්නට ස්ත්‍රී ධූර්තයා සමත් වෙයි. එතැන් හි සිට ඔවූහූ සදාතනික අත්මීය පෙම්වතුන් ගේ භූමිකාව රඟදකවන්නට විය. 

සැමියාගේ කාරයාල කටයුතු නිසා ඔහු සමග නුවරඑළියට පිටත්වන ඇය ඇතුඵ පිරිස පසුපස හඹා ඔහු එහිදීද ඇය සමග අනඟ රැඟුම් පාන්නට වරම් ලබයි. 


----------------------------
ආචාර්ය අජන්තා රණසිංහ නම් වු ප්‍රවීණ ගී පද රචක පුවත්පත් කලාවේදියාගේ ගී පද නිර්මාණයේ සත්සරය සරත් දසනායකයන්ගෙනි හඞ - අබේවර්ධන බාලසූරිය සමග ආචාර්ය සුජාතා අත්තනායක
-----------------------

පසුව   ඔහුව සිය නිවසට කැඳවාගන්නට පවා සෙල්ලක්කාර, කෙළිලොල් හැඩකාරියක් වූ ඇය පෙළෙඹෙන්නීය. 

දුරකථන ඇමතුම් ඔස්සේ පුවත කණ වැකුණු සැමියා ගේ ළෙන්ගතු විමසීම හමුවේ චෝදනාව බැහැර කරමින් හඞා වැටෙන ඇය ඊලඟ දිනයේ සිය තුරුණු පෙම්වතා ගේ මෝටර් රථයේ සවාරි යනු ඔහුටගේ නෙතට හසුවෙයි. 

ඒ අනාචාරය අඵයම ලු කෙළ බිඳක් සේ ඉවතලූ ’නිලුපා’ සහ ඇයගේ සැමියා වූ ’සුරේන්’ ගේ පුවතයි. විජය ධර්ම ශ්‍රී සිනමාකරුවා ගේ ’දුහුඵ මලක්’ මේ පුවත්දාමය ට එක්වු තවත් අපුර්ව සිනමා කලාංගයකි.

සිය ආදරණිය සැමියන්, පෙම්වතුන් හට එරෙහි ගිය චපල ස්ත්‍රීන් ගේ පුවත් රැසකින් හෙබියා වූ භාරතීය - ලංකා සාහිත්‍ය මුලාශ්‍රය මෙවන් පුවත් මැවිමේ උල්පත වන්නට ඇත.

එකම කලෙක එකිනෙක හා සමිප කාල පරතරයකින් සිංහල සිනමා තිරයට නැංවුනු මෙම සළරූ පුවත් එකම ආකෘතියක සිරි ගත්තේය. පුරාණ භාරතිය හින්දු දර්ශනය සහ බොදු සාහිත්‍යයේ පැණෙන ’පතිවත’ නොරකින, දුෂ්ඨ නොහික්මුණු කාන්තා සමාජයේ චරිත ගුරුකොටගත් මෙම නිර්මාණ ත්‍රිත්වය එකම කුලකයේය.


70 දශකයේ සහ ඉන් ඉහත යුගයේ කලා නිර්මාණ අතිමහත් ගණනක් ’අනියම් පෙම - සහ ස්ත්‍රි දුරාචාරය’ ඇසුරෙන් පෝෂනය විනි. 


සිය විවහ දිවිය ගතකිරීමේදී ද, පෙම් සබඳකම් පවත්වා ගැනීමේදීද ඉහත කියු කටුක අත්දැකීම් ලත් පිරිස් එදා ද බොහෝ සිටියහ. අදද එමට සිටි. මතුද සිටිනු ඇත්තේය. ඒ බව තහවුරු කෙරෙන ඇතැම් විට අනුවේදනීය වන පුවත් සහ සිදුවීම් ද එමටය.


’ස්ත්‍රීය’ යනු නැණවතුන්. ගුණවතුන් පඞිවරුන් විසින් ගර්හාවට ලක්විය යුතු, අවසර ලද සැණින් වරදෙහි බැඳි, කාමපාශයෙන් වෙළෙන, ඒ කරුණින් සමාජ ගැටඵ රැසකට නිමිත්ත වූ, සමාජයේ ගෞරව බුහුමානයට පාත්‍ර නොවිය යුතු, වගකීම් පැවරීම නොකළ යුතු, පිරිසක් ය යන්න ඒත්තු ගැන්වීම සඳහා අනාදිමත් කාලයක සිට පෙරදිග ආගමික සාහිත්‍යය කෘති සැදී පැහැදී සිටී. පෙරදිග සාම්ප්‍රදායික භූමිකාවෙන් ඇය වෙත පවර ඇති වගකීම ලිහිල් වී කාර්මිකරණයට ලක් වු සාමාජයකදී ඔවුන්ගේ භූමිකාව මහත් සේ පුඵල් වි ඇති පසුබිමක,  ඉහත මතවාදය වරෙක පිළිගනිමින් ද වරෙක අභියෝගයට ලක් කරමින් ද පවතී.

ප්‍රභාත් රාජසූරිය

2024 නොවැ 19




























Friday, November 1, 2024

70 දශකයේ සිංහල මුල් ගීත රසය

 පිළිතුරු ගී රචනා කලාව - 70 දශකය


දිනපතාම පාහේ වෙළඳ තැටියකින්, ගුවන් විදුලියෙන්, සිනමාවෙන්, වේදිකා නාට්‍යයෙන් සිංහල ගීත කලාවට මහා ගීත ප්‍රවාහයක් කුණාටුවක් හමා ගිය 70 දශකයේ දී, එසේ බිහි වූ ගීත දිනය පුරා විසුරුවා හරින්නට ’ලංකා ගුවන් විදුලිය’ සැදී පැහැදී සිටියේය. ඒ උදෙසා එහි විවිධාංගීකරණයට ලක් වූ ගීතමය විචිත්‍රාංග දිනකට අඩ පැයක්, අඩ පැයකින් අඩක් ලෙස එකක් පසුපස එකක් පෙළගස්වනු ලැබ තිබිනි.


ළමා ගී, 

කන්ඩායම් ගී,

බොදු ගී

සරල ගී

චිත්‍රපට ගී

සමූහ ගී

වේදිකා නාට්‍ය ගී

විරිදු

යුග ගී

පර්යේෂන ගී

දේශාභිමානී ගී

නිවේදක තෝරයි

සම්පාදක තෝරයි


ඒ අතරින් කිහිපයකි. රූපවාහිනි මාධ්‍ය සම්පූර්ණයෙන්ම ආගන්තුක වු අපට, එදිනෙදා විනෝදාස්වාදය සඳහා ඉතිරිව පැවති එකම මාධ්‍යය මේ රාජ්‍ය ගුවන් විදුලියයි. 

පෞද්ගලික පංති නොගිය සිසු දරුවෝ හවස් වරුව පුරාම. පාසල් නිවාඩුව පුරාම, ගීත රසාස්වාදය විඳිමින් සිය රසිකත්වය වර්ධනය කර ගත්හ.

ගීතයක් අතිශයින් ජනප්‍රිය වූ විට එහි පදමාලාවෙන් අරුත් ගැන්වෙන කාරණය උදෙසා වෙනත් පදමාලාවක් ප්‍රබන්ධ කර එදවස තිබූ ගුවන් විදුලි ගීත රචනා බැංකුව වෙත තැපැල් කර හරින්නට ලක්දිව පුරා විසිරි සිටි කවියන් කිවිඳියන් පැකිඵනේ නැත. එය අරුත්බර නම්  මුලින් කී ජනප්‍රිය ගීතයට පිළිතුරු ගීතයක් ලෙස නිර්මාණය කරන්නට එහි බලධාරීන් උත්සුක විය. එදවස ප්‍රකට සංගීතවේදීන් ඊට මධුර තනු සහ සංගීත රටා නිර්මාණය කර දුන්හ.

මේ කාරණයේදී ඇතැම් විට එකම ගීත රචකයා ගීත යුගළයක්ම පැන - පිළිතුරු ගීත ලෙස සකසන්නට ඉදිරිපත් වූ අවස්ථා ද නැත්තේ නොවේ. ප්‍රේමකීර්ති ද අල්විස් කවියා ගේ බිරිඳ දයා ද අල්විස් කිවිඳිය සිය සැමියාට නොදෙවෙනි ප්‍රකට ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස සිය හඞ හසුරුවමින් කටයුතු කළ 70 දශකයේ ලියු ගීත යුගළයක අතීත පුවත් අඩසියවසකට පසු අදටත් රසික හදවත් වලින් වියැකි ගොස් නැත්තේය.

ප්‍රේමකීර්ති සහ දයා ද අල්විස් දෙපොළ

සහසක් පැතුමන් ඉපදී මියගොස් ...

ඉතිරිව ගිය එක පැතුම දරාගෙන...

ඇහැළ මහට අඩ සඳ පෑයූ දා ...

මතකද සිරි දළදා වැන්දා.......


සෙංකඩගල පුර ඉපිද හැදී වැඩුනු ’දයා’ සිය ගමිපියසේ තොරතුරු එසේ ලියා එයින් නොනැවතී ඊට මේ ගීතයෙන් පිළිඹිබු වන ’යුවතිය’ ගේ  ආදරවන්තයා ට ආරුඩ වෙමින් යළිත් පදවැලක් පබැඳුවාය.


සහසක් පැතුමන් නැම මා පැතුවේ...

එකම පැතුම පමණකි හිත රැඳුනේ ...

හද අඹරෙහි අඩසඳ වැනි නෑනේ...

මතකයි සිරි දළදා වැන්දා ................

--------------------------


සනත් නන්දසිරි සහ මල්කාන්ති දෙපොළ


මේ යුගයේ දීම සෙංකඩගල පුරය අළලා ඇගේ සැමියා ප්‍රේමකීර්ති ද අල්විස් විසින් ලියු ගීයක්ද මහත් සේ රසික ජනාදරය දිනාගෙන තිබුනි.




මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි....

මේ නගරය මා ඔබ වෙන්කෙරුණු නගරයයි...

වැව් ඉවුරේ දියරැල පෙරසේම බිඳෙනවා...

නුග ගස් පෙළ අප නැතුවත් තව දඵ ළනවා ....

සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා...

නුඹත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා....
----------------------------


ගායක සංගීතවේදී මර්වින් පෙරේරා  - 70 දශකයේ ගීත තාරකාව


ගීතය ගුවනින් උදේ හවා තරංග මාලාවන් හා මුසුවෙමන් ශ්‍රාවක සවනත පිනවද්දී එයින් මත් වු එක්තරා ශ්‍රාවිකාවක් ඊට පිළීවදිනින් සංග්‍රහ කර ගුවන් විදුලි ගීත රචනා බැංකුව වෙත තැපැල් කර හැරියාය. ගීතය තෝරාගත් සංගීතවේදී ’ගුණදාස කපුගේ’ ශූරීන් ගුවන් විදුලියේ සේවය කළ වැඩසටහන් සම්පාදිකාවක් ගායන ශිල්පිනියක් ලෙස අබිසෙස් ලැබ ගයන්නට නියමිත සරළ ගී වැඩසටහනක් උදෙසා ඊට මධුර තනුවක් මුසු කරදුන්නේය. 

ගීතයේ ගායිකාව පුන්‍යා කත්‍රිආරච්චිය රචිකාව පාසල් ගුරුවරියක වූ සුනිලා විජේසිංහය ඇය කෘතහස්ත පුවත්පත් කලාවේදීයෙකුව ’දිවයින’ කර්තෘ මන්ඩලයේ සේවය කළ ’චන්ද්‍රසිරි දොඩංගොඩ’ ශූරීන් ගේ දයාබර බිරිඳය.


මා ඔබ මුණ ගැසුනු අයුරු සිහිකරන්නෙපා.............

මා ඔබ වෙන්කෙරුණු අයුරු සිහිකරන්නෙපා ..............

--------------------

එදවස වෙළඳ දැන්වීම පිටපත් රචකයෙකු ලෙසද, සාරගර්භ අරුත්බර සාහිත වදනින් සිය ගීත රචනා කලාව මෙහෙයවන්නෙකු ලෙස ද පරසිඳුව සිටි උපාලි ධනවලවිතානයන් මුදුකර ගම්මානයක තමා අත්දුටු දසුනක් ඇසුරෙන් ගීතයක් පබැඳුවේය. ඒ එදා ගුවන් විදුලියේ සංගීත පාලක සංගීතවේදී දයාරත්න රණතුංග වෙනුවෙනි.


මංගල මධු සමය පතා .......

කුලගෙට ආ රූපිකාව...

පාඵ ලොවක තනිකරදා දියඹට යනවා...

කුස ගින්දර නිවා ලන්න දියඹට යනවා.....

(සංගීතය සරත් ද අල්විස්)



ඔහුගේ බිරිඳ ගායිකා මහාචාර්ය ’අමරා කස්තුරිරත්න’ ගුවන් විදුලි අසන්නන් වෙත හඳුන්වාදුන්නේ ’අමරා රණතුංග’ නමිනි. ඇය ඊට සැපයූ පිළිතුර ලියා දුන්නේ ආචාර්ය අජන්තා රණසිංහ විසිනි.


පාඵ පැලේ මට තනි නෑ හිමියනේ ...

සිත සංකා ගන්න එපා හිමියනේ ...

විදුලි අකුණු මේඝ වළා එතෙර ඇදෙන්නයි...

සතර වරම් දෙවි පිහිටෙන් මෙතෙර දකින්නයි...

කිඳුරු ලියන් දුටුවෝතින් මා අමතක වන්න එපා...

කාසි නැතත් හිමිසඳිනේ වැඩි ඈතක යන්න එපා.....

බාධක දුක් දුරුවිලා ගිය කාරිය හරි යනවා...

මගෙ දෙයියෝ උදැනැක්කේ වෙරළ දිගේ ගෙට එනවා....


(සංගීතය - ආචාර්ය දයාරත්න රණතුංග)



ගුවන් විදුලි සංස්ථා සංගීතමය වැඩසටහන් විසින් හඳුන්වාදුන් මෙම රැල්ල එයින් ඇදීගියේ වෙළඳ තැටි කලාවටය.

70 දශකයේ මධ්‍ය භාගයේ ව්‍යාපාර ගණනාවක් රජය සතු දෙපාර්තුමෙන්තු’ , ’සංස්ථා’ සහ ’මන්ඩල’ ලෙසින් ක්‍රියාත්මකව තිබිනි. ’ජාතික කිරි මන්ඩලය’ ’වැස්සියකගේ’ රක්ත වර්ණ ලාංඡනය දරා සිය නිපැයුම් වූ රසකළ කිරි සහ යෝගට් අලෙවිකරමින් සිටියේය. ඊට අයිති අලෙවි කුටි ද ’කහ සහ රක්ත වර්ණ සිරස් තීරූ මගින් වර්ණ ගන්වා පැවතියේය. චන්ද්‍රකුමාර් කඳනාරච්චි කැටුව ගුවන් විදුලිය අසල තිබුනු කිරිමන්ඩල කුටියකට ගොඩවැදුනු ’කේ ඩි කේ ධර්මවර්ධන’ නම් වූ ප්‍රවිණ ගුවන් විදුලි නිවේදකයා සිය මිතුරාගේ වෙළඳ තැටියකට පෙම් ගීතයක් පබඳන්නට පටන් ගත්තේය. 

’මචං මේක නම් හරියන්නේ නෑ....’

’මේක රේඩියෝ සිලෝන් එකෙන් තහනම් කරනවාමයි....

පදමළාව කියවූ ගායකයාට කියැවිනි. ඒ එදා ගීත පදරචනාවක ගුණාත්මක භාවය, සදාචාරය, ආගම, සිරිත් විරිත්  මෙකි නොකී නිර්ණායක ගොන්නකින් පදමාළාවකට සිමා පැණවි තිබුනු යුගයක වු බැවින් වන්නට ඇත.


’තහනම්...?   තහනම් ...? 

එහෙනං මෙහාට ගනින් ඕක...


චන්ද්‍රකුමර් කඳනාරච්ච්

කියමින් කේ ඩි කේ සිය පදමළාව විසිකර දැමුවේය. යළිත් වරක් කොලයක් ගෙන තවත් එකක් ලියන්නට පටන් ගත්තේය. 


ඇගේ සිනහව තහනම් ...

ගෙදරින් මට තහනම් ....

සැළවෙයි ගෙදරට ඇය හමුවුනොතින්...

චර පුරුෂයෝ දැන් මා වටලා ...

යනඑන හැම තැන් මුරදාලා .......

(චන්ද්‍රකුමාර් කඳනාරච්චි සංගීතය - උපාලි කන්නන්ගර, පදබැඳුම - කේ ඩි කේ ධර්මවර්ධන)

මුලින් කී පදමාලාවට මෙය නෑකමක් තිබෙන්නට ඇත. එහෙත් එය විමසා දැනගන්නට අද ’චන්ද්‍රකුමාර්’ හෝ ’කේ ඩි කේ’ හෝ ’උපාලි කන්නන්ගර’ යන මේ කිසිවෙකුත් අප අතර නැත. දුරකථනයෙන් අසා දැනගත් දේ එපමණක්ම පමණක් විය.

'දින සති මාස ගණන් ගතවිය. ගායකයා යළිත් ඊට පිළිතුරු දුන්නේ මෙයාකාරයෙනි.

’සිනහව ඇගේ තහනම් වූ පසු පෙර දවසේ....’

’මා නොයනා ගුරු පාරක් ඇත මේ පදෙසේ ....

’එහි වූ තුරුවැල් මල් ගැන නොදනිමි පෙරසේ ...

එනමුදු මඟ සළකුණු තවමත් ඇත මනසේ .....

(කේ ඩි කේ - උපාලි - චන්ද්‍රකුමාර්)
---------------------------------------

අනිල් භාරති ගැයු ’අද වෙයි ඉරු දින ඔබ හමුවේවිද’ ගීතය ද , මිල්ටන් මල්ලවාරච්චි ගේ අතිපරසිඳු ’එදා රෑ ගුවන් තොටුපොළේදී මා..............’ යන යුගළයද එළිදුටුවේ වෙළඳ ගී තැටි ඔස්සේය. ප්‍රවිණ සංගීතඳ ගායක මෙල්රෝයි ධර්මරත්න සුරස ගීත පද රචකයෙකු ද වෙයි. ඔහු මේ බව අළලා ලියුවග නම්


ගිය ඉරිදා ඔබ මා සමගයි....

මේ ඉරිදා ඔබ වෙන තැනකයි...

වෙන තැනකයි ඔබ වෙන රටකයි....

සෝ දුක් කඳුළැලි තවම නැගෙයි.......

ඔබ නැති පාඵව සිතට නැගෙයි.....

(ඉන්ද්‍රානී පෙරේරා ගැයුමකි - ’තරංගා’ වෙළඳ තැටි - 1976)

ක්ලැරන්ස් විජේවර්ධන ගේ ’ද ගෝල්ඩන් චයිම්ස්’ වාදක ගායක පිරිස ගැයු ’අක්කාගේ ලියුම’ ශ්‍රවණය නොකළ රසිකයෙකු 70 දශකයේ සිටියේ නම් ඔහු ගීත ලෝළියෙකු නොවනු නිසැකය.


ගමෙන් ලියුමක් ඇවිල්ලා ....

අක්කගෙන් වාගේ ....

මොකක් කියලාද දන්නෑ...

එහි ගියෙත් නෑනේ .....

පහළ කුඹුරේ නිල්ගොයම් රැල්...

හරිම සාරුසාරයි... 

වැසි වැටි වැව් ළිං පිරීලා ...

හරිම සිරියාවයි....

ළඟදි එනවානං හොඳයි ...

නිවාඩුව දැන් දැන් ළඟයි...



ඔහුම  ඊට පිළිවදනින් සංග්‍රහ කරමින්

දයාබර අක්කේ....

කලක් ගතවී ගියා....

තවම නෑ පිළීතුරක් ලියා ....

අදම මෙය ලියැමියැයි කියා...

ලියන්නේ වැඩ දහක් තියා...

ගමේ එන්නට සිතේ තියා..

සිටිය මුත් සති ගණන් ගියා...

ඉවරයක් නැති ලියුම් ලියා...

පළක් නෑ මම ගමේ නොයා...
--------------------------------------------

මේ අතරවාරයේ සුනිල් සාන්තයන් චිත්‍රා සෝමපාල හා ගැයු ’බෝවිටියා දං පඵ කං වාරේ..............’ නම් වු අතිශය සොඳුරු ගීතය ඔහු විසින්ම පද විපර්යාසයකට භාජනයක කොට වෙනත් ළයකින් ගායනා කරන්නට  යෙදුනු අතර

මහාචාර්ය සුනිල් ආරියරත්න පබැඳූ දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින්   -නීලා වික්‍රමසිංහ ඒකල පන්ඩිත් අමරදේවයන් හා යුග ගීයක් ලෙසද, ආචාර්ය අජන්තා රණසිංහ ගේ ’දම්පැහැ වීදුරු පුංචි වළල්ලක්’ චන්ද්‍රානි ගුණවර්ධනට පසුව වෙනස් පද පෙරළියකින් ශ්‍රීලාල් සෙනවිරත්න ගැයු වගද, කරුණාරත්න අබේසේකරයන් විසින් ඉන්ද්‍රානි විජයබන්ඩාරට ලියු ’කරුලනි කාගේදෝ මංගල්ලේ... පද පෙරළියකින් ළමා ගායිකා ලිලන්ති කරුණායක ගැයු වගද, ඔහුම ලියා ශ්‍රීමති තිලකරත්න ගැයු ’මගේ පුතා සැපට නිදයි කුටියේ ඇඳිරියේ....’ නවපද මුසුවකින් ඇන්ජලීන් ගුණතිලක විසින් ගැයු බවද වෙසෙසා දක්වනු මනාය. 

ගීතය ආත්මය කරගත් රසික සමූහයකින් හෙබි එදා යුගය මෙවන් රසවත් සිදුවිම් හා සබැඳි නිර්මාණ රැසකින් පරිපුර්ණ විය. යුග යුග දශක ගණන් ශ්‍රාවක මතකයේ ලැගුම් ගත් අමරණිය ගී උල්පතක අතීත මතකාර්ජනය නිමා කරමි.