namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, September 4, 2025

Sinahala songs of 70s - Review - Number 05

ගීයක් යනු කිම?..... විමසා දැන ගනු  මැනවි... 05

 මෙම කථාංගයෙන් ලාංකීය කලාකරුවන් ද මත්ව ගියේ යම්සේද යත්, එදා හෙළ සිනමාවේ කැපි පෙනුනු සිනමා නඵ  - සිනමාකරු ’කිංස්ලි රාජපක්‍ෂ’ විසින් එහි තේමාව අනුකරණය කරමින් ’කලණ මිතුරෝ’ සිංහල සිනමා කෘතිය නිපදවන්නට යෙදිනි. මේ 1971 දීය.  එදවස ’හින්දි ගී’ තනු අනුකරණය කිරීම සිංහල සිනමාකරුවන්ගේ සම්ප්‍රදායක් බවට පත්වී තිබෙද්දී පවා, ඒවා අලෙවිකරණය කරමින් සිය සිනමාපට වලට ප්‍රේක්‍ෂක ජනයා ආකර්ෂනය කිරීම සාමන්‍ය තත්වයක් බවට පත්වී තිබියදී පවා, ’දෝස්ති’ හි අතිශය ජනාදරයට පත් ගී තනු අනුකරණය නොකරන්නට ’කිංස්ලි’ රාජපක්‍ෂ’ ගේ සිනමා සංගීතඥයා ලෙස තෝරාගෙන තිබු ’ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන්’ හට රිසි නොවිය. ඒ ඔහු කවදත් භාරත ගී කොපිකලාව පිළිකෙව් කල අභිත නිර්මාණකරුවෙකු ලෙසට පිළීගෙන තිබු නිසා විය හැකිය. ඒ වෙනුවට ඔහු ඊට නොදෙවෙනි ලෙස ’මවුත්ඕගනය’ යොදා ගීත පොකුරක් නිර්මාණය කර දුන්නේය.












අරුත්බර දාර්ශනික සංකල්ප රූපාවලියක් මත පදනම් වූ ’උපන් කාට උනත් මේ චංචල ලෝකේ....’ (කරුණාරත්න අබේසේකර), ’කළණ මිතුරු දහමයි..පිරුණු සදාදරයයි.....’ (කරු අබේසේකර) ඒ අතරින් විශිෂ්ඨත්වයෙන් අගතැන්පත්ය.

මෙම ගීතාවලියේ බලපෑම නිසාදෝ ’70 දශකයේ’ මුල්යුගයේ සිට වෙනත් නිර්මාණකරුවන්ද ’මවුත්ඕගනයේ’ රසය වෙත ඇදී යන්නට විය. ආචාර්ය වික්ටර් රත්නායක’ සහ ’ආචාර්ය දයාරත්න රණතුංග’ ඒ අතරින් කැපී පෙනෙයි. 

ඊට සංගීතඥ ප්‍රේමරත්නයන් විසින්ම පසුව ලංකා ගුවන් විදුලියට නිර්මාණය කළ ගායන ශිල්පිනී මාලිනී බුලත්සිංහල ගැයූ ’සඳ මඞලේ සිට තරු මඞලේ සිට......’ සම්පුර්ණයෙන්ම පාහේ මවුත්ඕගන අන්තර්වාදනයෙන් වැයුනු සුප්‍රකට නිර්මාණයයි.  මේ යුගයේදීම මේ උපකරණය ට පෙම්බැඳි ’ආචාර්ය වික්ටර් රත්නායක’ ද සිය නිර්මාණයක් උදෙසා මෙම වාද්‍ය භාන්ඩය යොදාගැන්මට උත්සුක විය.


නෙඵම් මලේ එක පෙත්තද තියෙන්නේ .....

ගිලිහෙද්දෙන් එක පෙත්තක් .... තවත් එහි තිබේ රොත්තක්.....

ගිලිහුනු පෙත්තකට මොටද අඞන්නේ .....

(ගැයුම ආචාර්ය රෝහණ විරසිංහ, ගී පද රචනය නැසිගීය ප්‍රේමකීර්ති ද අල්විස් ගෙනි)

----------------------------
රෝහණ වීරසිංහ- නව නිර්මාණ රසකලස මැවූ 80 දශකයේ මුල් යුගයේදී
----------------------------------

’මවුත්ඕගනය’ සිංහල ගීත ලෝලීන් අතරට ගෙනයන්නට පසුකාලීනව දායක වූ සංගීතවේදියා සංගීතඥ නැසිගිය සරත් දසනායකයන්ය. ඒ ද ’ලංකා ගුවන් විදුලි’ ගී නිර්මාණපෙළ වෙනුවෙනි.







දෑයේ නමින් පෙර දිවි දී මගේ දෝතට ආ පුතුනේ .....................

වීර විකුම් පෑ පැරකුම් කුමාරයෙකි හෙළ පුතුනේ ....................

දිනූ බීමේ හමන පවන් පොදක් ළයට ගෙන පුතුනේ ..........................

බුදුන් වඳින ඔය දෑතින් දැය නංවනු මැන පුතුනේ .......................


(චන්ද්‍රිකා සිරිවර්ධන ගේ ගැයුමට පද සංකලනය නැසිගිය සමන් චන්ද්‍රනාත් වීරසිංහගෙනි)

සරත් දසනායක - පන්ඩිත් අමරදේව සහ ආචාර්ය නන්දා මාලිනී සමග ගීතයක් පුහුණවීමකි - 70 දශකය (සේයාරුව - අන්තර්ජාලයෙනි)

1972 වසරේ තිරගත වූ ’සිහසුන’ සිනමාපටය නිර්මාණය කළේ ප්‍රවිණ සිනමාවේදී නැසිගිය ටයිටස් තොටවත්තයන් විසිනි. ප්‍රහාසන ගණයේ කථාංගයක් වූ එහි ප්‍රේක්‍ෂකයන් ආකර්ශනය කර ගන්නට නිෂ්පාදකයන් එදා යුගයේ දිවයිනේ අංක 01 ජනප්‍රියතම පොප් සංගීත කන්ඩායම යොදාගත්තේය. ඔවූහූ නැසිගිය ක්ලැරන්ස් විජේවර්ධන ප්‍රමුඛ ’ගෝල්ඩන් චයිම්ස්’ ගායක වාදක කන්ඩායමයි.  සංගීතවේදී ටී ෂෙල්ටන් පෙරේරා විසින් මියැසි නාදරටා හැදූ එහි දී ’මවුත්ඕගනය’ සමගින් ද ගෝල්ඩන් චයිම්ස් ගැයූ එකම ගීතය ශ්‍රවණය කරන්නට රසිකයන්ට අවස්ථාව හිමිවිය.


උඩරට මැණිකෙට පටසඵ පොරවන................

සුදු මුදු මීදුම් දෝනාවේ.....................

කඳුරට දිවයන දුම්රිය මැදිරිය ආලේ ආලක මන්දාවේ......................

(ගී පද සහ සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධනගෙනි)

උක්ත ඡේදයක සඳහන් වූ ’කලණ මිතුරෝ’ ගීතය උදෙසා මවුත්ඕගනය වාදනය කලේ ඒ වාද්‍ය භාන්ඩය වෙසෙසින් ප්‍රගූණ නොකළ එහෙත් එවකට දිවයිනේ ප්‍රමුඛ සැක්ස්ෆෝන් වාදන ශිල්පියෙකු වූ ’කුමාර් මොල්ලිගොඩ’ ය.  එහෙත් පසුව එහි සංගීත නිර්මාණයට දායක වූ ආචාර්ය නැසිගියි ෂෙල්ටන් ප්‍රේමරත්න යටතේ සත්සර හැදෑරු යව්වනයෙක් මෙකී සංගීත භාන්ඩයම උදෙසාම කැපවිය. ඔහු නැසිගිය ’මර්වින් ප්‍රීයන්ත’ ය.    ’සඳ මඩලේ සිට.....’ වයන අසිරූ මවුත්ඕගන් වාදනය ඔහුගෙනි. 

එහෙත් වික්ටර් රත්නායක ගේ ගී වෙනුවෙන් ද සූපර් ගෝල්ඩන් චයිම්ස්’ වෙනුවෙන් ද එය වාදනය කලේ නැසිගිය ’හර්බට් ගුණවර්ධන’ විසිනි.

මර්වින් ප්‍රියන්ත සුජීවත්ව සිටි යුගයේ පැවැත්වූ සාකච්ඡාවකින් කියැවුනු පරිදී, මෙම සංගීත භාන්ඩය භාවිතා කරන්නට බොහෝ දෙනා ප්‍රිය නොකරන්නේ එය දෙතොල් අතරට ඉතා සමීපව තබා ඒ මත අත්තුල්ලමින් වාදනය කළ යුතු උපකරණයක් බැවිනි. එහිදී වාදකයාගේ ඛේටය එහි තැවරෙයි. ආශ්වාස ප්‍රශ්වාස පුහුණුව මනාව පවත්වා ගැනිමකින් තොරව එය වාදනය කිරීම අසිරුය. එසේම ස්වර කවුඵ පිහිටා ඇත්තේ එකිනෙකට ඉතාමත් ආසන්නයෙන් නිසා එය නිසි ලෙස හසුරුවාගැනීමේ ශිල්පීය ක්‍රමය ප්‍රගුණ නොකරගන්නා තුරු නියමිත ස්වර වාදනය කරන්නට අසිරු විය හැකිය. 

ලියුම්කරු ගේ ළමා අවධිය එනම් 70 දශකයේදී මෙම වාද්‍ය භාන්ඩය අනුකරණයෙන් හැදූ ළමා මවුත්ඕගන් පදික වේදිකා පුරා විකිණීමට තබා තිබුනු අතර රූපවාහිනි මාධ්‍යය නොතිබූ ඒ යුගයේ ගුවනින් ඇසු ගීත රසයේ ඇලුණු ළමා අප ඒ වාද්‍ය භාන්ඩ වාදනය කිරීමේ කුතුහලයකින් නොපෙඵනා නොවේ.



මවුත් ඕගනයේ වගතුග බිඳක්

විකපීඩියා හි සඳහන් වන පරිද්දෙන් ඊට පර්යාය පද ලෙස ’ෆ්‍රෙන්ච් හාර්ප්’  සහ ’හර්මනිකා’ යොදාගනු ලැබේ. ඇමෙරිකානු ජෑස් ශෛලිය, සම්භාව්‍යය ගීත ෂනාරය, මෙන්ම රොක්’ සංගීත කලාංගය උදෙසාද එය පොදුවේ භාවිතා වේ.  සුළං කවුඵ වලට පසුපසින් ඇති කූටීරයේ ඇත්තේ ලෝහ පතුරුය. ඒ අතරින් ඇදී යන වායු ධාරාවෙන් කම්පනය වන ලෝහ පතුරු විසින් මීට අවේනික හඞ උත්පාදනය කරයි.

19 සියවසේ මුල් යුගයේ යුරෝපයේ උපන් හර්මනිකා වාද්‍ය භාන්ඩය පසුව ක්‍රමයෙන් ලොව පුරා සංගීතකරුවන් අතර ප්‍රචලිත වන්නට විය. විවිධ පුද්ගලයන් විසින් නවීකරණයට භාජනය කරන්නට යෙදුනු එහි ප්‍රභේද ගණනාවක් පහළ විය. 1898 දී එය පෙරදිගට සංක්‍රමණය වී ජපානයේ ලැගුම් ගත්තේය. එතැන් හි සිට ජපන් ගැමි ජන ගී වාදනය රසගන්වන්නට මේ උපකරණය නැතිවම බැරි විය. 

ශ්‍රි ලංකාවේ සංගීත කලාවේ මුල් යුගය වූ ’නූර්ති’ ගීතයේ හෝ ඉන් පසුව ප්‍රචලිත වූ ’ග්‍රැමෆෝන්’ ගී කලාව පිනිස හෝ මෙම වාද්‍ය භාන්ඩය වාදනය වූ අවස්ථාවක් ගෙනහැර දක්වන්නට තරම් නිදසුන් ඇත්තේ නැත. යටත් පිරිසෙයින් 60 දශකයේ සිනමා සංගීතයේ හෝ ඒ යුගයේ ජනගත වූ ’කන්ඩායම්’ ගීතයේ පවා එහි හඞ අසන්නට නැත. පෙර සඳහන් කලා සේ ලාංකීය සංගීතඥයන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු කළේ උත්තර භාරතීය ’දෝස්ති’ සිනමාපටයයි.


සිංහල ගීත කලාවේ මවුත්ඕගන ගී පෙළ අතරින් 

නෙඵම් මලේ එක පෙත්තද තියෙන්නේ - රෝහණ වීරසිංහ (ප්‍රේමකීර්ති ද අල්විස් - වික්ටර් රත්නායක), මල් පිපිලා ජීවිත උයනේ (චන්ද්‍රසේන රංගේ, ස්ටැන්ලි එම් ප්‍රනාන්දු), රූං පෙත්ත කැරකෙනවා (උදය චාමරසිංහ), ගී ලියන්න මට කීවේ (ගාමිනී ලේල්වල), සමකෝණි ත්‍රිකෝණයකි (සමන් චන්ද්‍රනාත් වීරසිංහ) - - දයාරත්න රණතුංග  , කතරට කුමටද වසන්තයක්  (ප්‍රේමකීර්ති), පායන සඳ ගැන (පුන්‍යසිරි මහවත්ත),  - වික්ටර් රත්නායක, රාම සීතා ඔබයි මමයි.. (හඩ්සන් සමරසිංහ, ෂෙල්ටන් ප්‍රේමරත්න) - ක්‍රිස්ටෝපර් පෝල්, සඳ මඞලේ සිට (සමන් චන්ද්‍රනාත්,ෂෙල්ටන් ප්‍රේමරත්න) - මාලිනී බුලත්සිංහල, දැයේ නමින් පෙර දිවි දී (සමන් චන්ද්‍රනාත්, සරත් දසනායක) - චන්ද්‍රිකා සිරිවර්ධන, කළණ මිතුරු දහමයි (කරු අබේසේකර-කළණ මිතුරෝ-1971,ෂෙල්ටන් ප්‍රේමරත්න), කතරට කුමටද වසන්තයක්..(ප්‍රේමකීර්ති, වික්ටර් රත්නායක) - වික්ටර් රත්නායක, උන්මාද සිතුවම්... (එක්ටැම්ගේ-1980, සුනිල් ආරියරත්න,සරත් දසනායක) - ගුණදාස කපුගේ, පියමං කෙරුවෙමු මහවේ මැද්දෙන්... (සෝමතිලක ජයමහ, සෝමතිලක ජයමහ) - ඔහු සමග නීලා වික්‍රමසිංහ. ගිය ඉරිදා ඔබ මා සමගයි ...(ඉන්ද්‍රානි පෙරේරා, මෙල්රොයි ධර්මරත්න)

අප මතකයෙන් කිසිදා බැහැර නොවේ 



සන්තූර්

උත්තර භාරතීය සිනමා කලාව ආශ්‍රීතව බිහිවූ මධූරතර සිනමා ගිතාවලිය හැඩගැන්වූ තවත් ’තත්’ වාද්‍ය භාන්ඩයකි මේ. මේ සංගීත භාන්ඩයේ භාවිතය පිළීබඳව මින් ඉහත දී මෙම බ්ලොග් විමානයේ පළවු සටහන් පෙළ පරිශීලනය කිරීමට පාඨක ඔබට ඇරයුම් කරමි. එහි ලියැවී තිබුනු ලෙසට, ශ්‍රී ලංකාවේ සිනමා ප්‍රේක්‍ෂකයන් හදවතින්ම වැළඳගත් 70 දශකයේ ජනප්‍රියතම සිනමා පට වූ ’ගීත් - 1970’ සහ ’අභිමාන් - 1976’ හි ගැයුනු ගීත කන්කඵ නාද මාලාවන්ගෙන් ඔපවත් වුයේ මෙකී ’සන්තූර’ යේ ද ආධාරයෙනි. එහෙත් 70 දශකයේ මුල් යුගයේදී පවා මෙම භාන්ඩය ලාංකීය සංගීතඥයන් අතරට පිවිස තිබුනේ නැති තරම්ය. එය සිංහල ගීත කලාවට ’ලංකා ගුවන් විදුලි සරළ ගී’ ය තුළින් හඳුන්වා දුන්නේ ’ආචාරය රෝහණ වීරසිංහ’ විසිනි. 

ගීත් - (සන්තූර් වාදනය - පන්ඩිත් ශීවකුමාර් ෂර්මා) - 1970 - ගැයුම - සුමන් කල්යානපූර්


අප්නා දේශ් - 1972 -  සංගීතය රාහූල් දේව් බර්මන් - (පළමු අන්තර්වාදනය සන්තුරයෙනි) - ලතා මංගේෂ්කාර් සමග කිශෙෘ්ර් කුමාර්






ඒ ඔහු එකී සංගීත භාන්ඩය ඉන්දියාවෙන් මිළදී ගෙන මෙහි ගෙනැවිත් ප්‍රගුණ කර, වාදනය කළ නිසාය


70 දශකයේ ගී රසික ඔබට සිහිකැඳවන වග නම්


කුඹූකේ ළීඳෙන් දිය නා අපූරුයි.......

රන් කඳ වාගෙයි රන් මැණීකේ ......................

සීතලට වතුරට නුහුරුද මන්දා .......................

හිතට දුකයි මගේ රන් මැණීකේ .....................

ගිණීකන ගිණි අව්වේ කොටනදා ......................

වෙල් නියරේදී මට පෙණුනා..................

අනේ හැබෑමට මොකදෑ මන්දා ..................

හීතට ඉබේටම දුක හිතුනා ..............................


නිර්මලා රණතුංග සහ අබේවර්ධන බාලසූරිය නම් වූ එකල ගුවන් විදුලි ගායකයන් විසින් ගැයූ මෙම ගීතය ආචාර්ය අජන්තා රණසිංහ ගේ පදරචනයක්ි. මෙහි සංගීත නිර්මාණය කළේ ආචාර්ය රෝහණයන්ය. ඒ 1976 වසරේදීය. ඒ වනවිට ’සන්තූර්’ මිහිර රැගත් ’අභිමාන්’ සිනමා පටය අගනගරයේ සිනමාහල් වල වර්තා පිහිටුවමින් තිරගත වෙමින් පැවතිනි.

ඒ ශ්‍රාවක ප්‍රේක්‍ෂක පෙළ අතර ඔබද සිටියේ නම්, ඔබට මෙම රූපරාමු මතකයෙන් බැහැර කළ නොහැකි වනවා නිසැකය.

එහි ’සන්තූර් නාද මිහිර ඔබ විඳගනු ලැබුවා විය යුතුය. එයින් ඔබේ දෙසවන මෝහණය කළේ එදා භාරතයේ අග්‍රගන්‍ය සන්තූර් වාදන ශීල්පී පන්ඩිත් ශීවකුමාර් ශර්මා විසිනි.


එසේ ලක්බිම ට සැපත් වූ ’සන්තූරය’ අසාමාන්‍ය වේගයකින් ලාංකීය ගාන්ධර්වයන් අතින් අත යන්නට විමේ ප්‍රතිඵලය වූයේ ඒ වාදන රැගත් ගීත රැසකින් සිංහල ගීතාවලිය පොෂනය වීමයි. 1979 තිරගත වූ එච් ඩී ප්‍රේමරත්නයන්ගේ ’අපේක්‍ෂා’ පෙම් පුවත සංගීතයෙන් හැඩගැන්වූයේ ලාංකිය සංගීත කලාවේ පතළ නමක් දිනූ ’ක්ලැරන්ස් වීජේවර්ධන’ විසිනි. එහි වැයුනු අතිශය ජනප්‍රිය ගීත තුනකට ’සන්තූර්’ වාදනයෙන් සහය වූයේ ද ’රෝහණ වීරසිංහ’ මය.


රසවිඳීන්න

කලක් ඇවෑමෙන් පෙරුම් පුරා..............

සැසඳෙන විසිතුරු ලොවක් සොයා ..................

බවය පුරා ආ පැතුම් පුරාගෙන ..................

ඔබ හමුවී නව කෙනෙක් වුනා .......................

(ඇන්ජලීන් ගුණතිලක සමග මිල්ටන් මල්ලවාරච්චි ගේ ගීත පද රචනය ධර්මසිරි ගමගේ විසිනි)

ආරම්භක සංගීත ඛන්ඩයේ සන්තූරය වැයෙයි දෙවන අන්තර්වාදනයේ ද ඇසෙයි




සඳ තනිවෙලා අහසේ හිරු තනිවෙලා ....................

උතුරා ගැඵ ග`ඟුලක් අද වියළීලා ......................


(ඇන්ජලීන් සහ මිල්ටන් - පද - ක්ලැරන්ස් විසිනි)




සොඳූරු ලොවට මල් වැහැලා ..................

තව්තිසාවේ හද මැවිලා ................

හැඟුම් පහන් තාරකා ...................

පෙමට පායලා .......................

(ජොති සම ආචාරය සුජාතා අත්තනායක - ගී පද ජොර්ජ් ලෙස්ලි රණසිංහ ගෙනි)



පසුකාලීනව මෙකී සන්තූර් රැල්ල සිඳී බිඳී ගිය බවක් පෙනෙන්ට තිබුනත් එය සිංහල ගීත කලාවේ පරිහාණිය සමගම සිදුවු දෙයක් ලෙස සැළකිය හැකිය. එනම් ගීත කලාවද ඉවක් බවකින් තොරව පරිගණක ඉලෙක්ට්‍රෝනික සංගීතය හා මුසු වෙන්නට සැළැස්වී නිසා, එහි රසය කෘතිමව සැකසුනා මිස, අව්‍යාජ නියම සංගීත භාන්ඩ වල රසය ඊට මුසුකරන්නට නිර්මාණකරුවන් පැකිඵන නිසා එය සිදු වුවා විය හැකිය.


සන්තූර් රැල්ල නැගී මතුවි ආ 1976-1984 පමණ කෙටි යුගයේ සිංහල ගීත ලොවට පිවිසි ජනාදරයට පත් ගීත අතර

ඔබ පෙම් කරනා ඔබේ කුමාරි - ගුණදාස කපුගේ (සුනිල් ආර් ගමගේ), කූඹුකේ ළිඳෙන් දිය නා අපූරුයි - අබේවර්ධන බාලසූරිය - නිර්මලා රණතුංග (අජන්තා රණසිංහ),'සමුගෙන යන්නේමි .............(කරු. අබේසේකර,ක්ලැරන්ස් විජේවර්ධන) - ඉන්ද්‍රානී පෙරේරා මහ වර්ණන් පෙරේරා. සුරංගනා ලොවින් වඩින් කුමරියේ... (ජීවන කදුඵ - 1979, උපාලි ධනවලවිතාන, සරත් දසනායක) - ජෝති - ඇන්ජලීන්

වැනි ගීත පැවතුනි.


සන්තූරයේ වගතුග - 

එක් ස්වරයකට තත් හතරක් තරම් විශාල සංඛ්‍යාවක තත් ඊට යොදාගෙන තිබේ. තත් සියයක වාද්‍ය භාන්ඩය සන්තූරය නම් වේ. අතරැඳි සිහින් පටි දෙකකින් වාදනය කරන එයින් නැංවෙන්නේ දෝංකාරත්මක නාදයකි. ශ්‍රී ලාංකීකයනට එදටද වඩා අදට ආගන්තුක භාන්ඩයක් වූ සන්තූරය ඉන්දියානුවන්ට එසේ නොවේමය.

අභිමාන් - 1976  - සංගීතය - එස් ඩී බර්මන් - ලතා මංගේෂ්කර් සමග කිශෝර් 








චිට්චෝර් - 1976 - සංගීතය - රවින්ද්‍ර ජේන් - ගැයුම ජේසුදාසන් - පළමු අන්තර්වාදනයේ මුලින්ම ඇසෙන්නේ සන්තූරයයි