namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, November 14, 2016

කුසුම් පිපී තුරු මතේ - ජයමහ සරළ ගී මිණිදමයෙන්

සෝමතිලක ජයමහ -  දිදුලණ සරළ ගී මිණිදාම‍යේ අසිරි සිරිය


ප්‍රවිණ ශිල්පී සෝමතිලක ජයමහ ශූරීන් ගේ ගණනින් සිමීත එහෙත් ගුණාත්මකභාවයෙන් අපරිමිත නිර්මාණ අතරින් රසික සිත් ආලෝලනය කළ එදා ඇසුණු ගීයකට පාදක වූ පසුබිම් කථාව ඔහු විදචැබදචසින් මෙසේ හෙළිදරව් කරන්නට යෙදිනි


මේ කථාවකට පසුබිම් වූ සිද්ධි දාමය අදින් වසර 47 ට පෙර එනම් 1969 වසර තෙක්‌ දිවයයි එවකට මා ගුවන් විදුලියේ යොවුන් ආධුනික ශිල්පියෙකු ලෙස සේවයේ යෙදිමින් සිටිය යුගයයි

සති අන්තයේ නිවාඩුව අපේ ගම් පියස වූ වයඹ පළාතේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයට අයත් කුළියාපිටිය ප්‍රදේශයේ ගතකිරීම මගේ පුරුද්දයි

විදුලි බලය ලැබී නොතිබුනු වර්තමානයේ මෙන් නාගරිකරණයට හසු නොවුනු සුන්දර ගම් පියසක්‌ වූ එහි සැන්දැ යාමයන් එකම රස ගුලාවකි

ඒ මන්ද යත් ඩෝල්කි සර්පිනා රැගත් කොලු ගැටවුන් අපේ නිවසට රොක්‌වී මා සමග ගීත ගායනයට හවුල් වීම පුරුද්දක්‌ කරගෙන තිබිම නිසයි

අප ගම් පියසට අසන්නව ඔවුන් අකුරු කෙරෑ කුලියාපිටිය නක්‌කාවත්ත මැදි මහ විදුහල පිහිටා තිබිණි

එහි එවකට සංගීත විෂය ඉගැන්වූයේ අප ප්‍රදේශයේ ගොමුගොමුව නමින් හැඳින්වූ ගමිපියසේ වැසියෙකු වූ ජොර්ජ් පල්ලෙවත්ත ගුරු මහතායි

ඔහු එකී සිසු දරුවන්ට සෞන්දර්ය විෂයානුබද්ධව ගායනා කිරීම සඳහා මෙකී මනරම් ගීතය පබඳා තනුවක්‌ යොදා නිර්මාණය කර තිබිනි

සංගීත සාජ්ජය වඩාත් හරබර වූයේ පල්ලෙවත්ත මහතාගේ මෙකී ගීතය ද එහි නිතර වැයුණු නිසාවෙනි

එහි ආ සුන්දර යෙදුම් මෙන්ම සොබාදහම් වැණුම් පිනිස යොදාගත් සරල පද සංකල්පනාව මා සිත් ආලෝලනය කරනු ලැබ තිබීණි

ඒ නිසා එය සරළ ගීයක්‌ ලෙස වැඩිදියුණු කරවා ජනගත කරන්නට තරම් වටිනා නිර්මාණකැයි යන්න මට හැගී ගියේ වරක්‌ දෙවරක්‌ නොවේ

ඒ අනුව ඔහු හමුවි මේ පිළිබදව කථාබස් කිරීමට විජේසිංහ නම් වැඩිහිටි සිසු දරුවා ලවා පාසලට පණිවුඩයක්‌ යවන ලදී  

නිසි අවසරය පතා විමසන ලදින් 
එකහෙළාම තම කැමැත්ත දුන්නේ ගීයේ තනුව හා සංගීතය සරළ ගීයකට වඩාත් ගැලපෙන ලෙස යළි සකස්‌කරවාදීමෙනි

මාගේ මුල්ම ගුවන් විදුලි සරළ ගී වැඩසටහන පටිගත කෙරුණු 1969 වසරේ අගභාගයේදී මේ ගීය ද ඊට අමතරව මා විසින්ම පබඳා තනුව යෙදූ සැඳෑ අඳුර ලොව ගලන වේලාවට නම් ගීතයද පටිගත කරන්නට යෙදිනි

සරළ ගීයකට සරිලන ලෙස විනාඩි 05 ක කාලයකට ගැළපෙන ලෙස එහි ඇතැම් පද ඉවත් කරන්නට සිදුවුයේ අකමැත්තෙනි මක්‌නිසාද යත් ඒවා ද මුල්ගීයට ඇතුළත් වූ පදරටාවට නොදෙවෙනි සුන්දර යෙදුම් නිසාවෙනි 

ඒ අතර 

බන්ඩි ගොයම නැමි නැමී
ගමටම ආසිරි පැතී
ගැමි දැරියක්‌ නොකිළිටී
රුව ගෙන පෑවේ මධුර වසන්තේ

යන පද කොටස ද ඇතුළත් වූ බව සඳහන් කළ යුතුය 

තවද මේ ගීයේ පද සංකල්පනාවෙන් කියෑවෙන පරිසරය එවකට එකී පාසල් බිමේ සැබැවින්ම විද්‍යාමාන වූ බව කිව යුතුය

අඹ මල් පොකුරට වෙලා ලේනෙකු ටිං ටිං කියා
මධුරස ගී ගය ගයා - අමරස වින්දේ 

එහි පැවතුනු මි අඹ ගස්‌ සිහිගන්වයි


රේණු සැලේ වැලි තළේ
පෙති ගිලිහී දිය වැළේ
ගඟබඩ තුරු වදුල තුලේ
කුරුළු ගී ඇසේ


පාසල අසලින් ගලාගිය දිය දහරාවද එහි අද්දර වැවී තිබුණු ගස්‌පෙළින් වැටෙන මල්රේණු ඒ මත පතිතවන ආකාරය චිත්‍රණය කරයි


ගම්මානය කෙළවරේ - පන්සල් බිම බෝරුකේ

සිලි සිලි ගා කොළ නැටවේ සම්බුදු මිහිරේ

ගමේ විහාරස්ථානයේ දී රචකයා ‍ඇසු දුටු දෑ ගෙනහැර දක්වයි


මේ නිර්මාණයේ හිමිකරුවාණෝ එනම් ජෝර්ජ් පල්ලෙවත්ත ගුරු පියාණන් පසුව හොරණ ශ්‍රීපාලියේ සෞන්දර්ය අධ්‍යාපනය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලැබූ අතර මින් දස වසරකට මත්තෙන් දිවියෙන් සමුගෙන ගිය බව දැනගන්නට ලැබිණි


කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දසඅතේ
කෝකිල කූජනය නැගේ 
ලියගොමු අතරේ 
මධුර වසන්තේ


රේණු සැලේ වැලි තළේ
පෙති ගිලිහී දිය වැළේ
ගඟබඩ තුරු වදුල තුලේ
කුරුළු ගී ඇසේ
මධුර වසන්තේ

ගම්මානය කෙළවරේ
පන්සල් බිම බෝ රුකේ
සිළි සළි ගා කොල නැටවේ
සම්බුදු මිහිරේ
මධුර වසන්තේ

අඹ මල් පොකුරට වෙලා
ලේනෙකු ටිං ටිං කියා
මධු රස ගී ගය ගයා
අම රස වින්දේ
මධුර වසන්තේ


පද සංකල්පනාව තනුව හා සංගීත නිර්මාණය - නැසිගිය ජොර්ජ් පල්ලෙවත්ත 

ගායනය - සෝමතිලක ජයමහ 

වසර - 1969

(ස්තුති පූර්වකව කෘතඥතාව - ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී සෝමතිලක ජයමහ මහතා වෙතට)

අසන්න මෙතැනින්



10 comments:

  1. හ්ම්......... අගේ ඇති මතකයක්...........

    ReplyDelete
  2. අම්මෝ සෝමතිලක ජයමහ කිව්වහම මොකද්දෝ වෙන තරමට මම ඒ හඬට බැඳිලා...... හිතාගන්න බැරි මොකද්දෝ අමුතු බැඳීමක් මට ඒ හඬත් එක්ක තියෙනවා. ඔහුගේ ගොඩක් ගීත ඔහු විසින්ම රචිත පදමාලාවන් නේද? හරිම අහිංසක ගතියක් මට නම් පෙනෙන්නේ පුද්ගලයා විදියට ගත්තත්.

    මේ ගීතය මම 'ඔහේ අහගෙන ඉන්න' ජාතියේ ගීතයක්. හැඟීම් ලස්සනට ඉහල පහල යන්න ගීතය ලියා තිබෙනවා, ඒ වගේමයි සංගීතයත්. ගායනය ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට අදහස් වෙනුවෙන්

      Delete
  3. මම රචනා කළ පදවැල්වලට තනුවක් මා විසින්ම යෙදූ ගීත දහසයක් විතර වෙනවා. එහෙම පද වැලින් හා සංගීතයෙන් සැඳෑ අඳුර, වත්සුණු සුවඳින්, දෙනුවර මින්පසු, සුනිල්වන් නුවන් යුග ඔය වගේ මගේම නිර්මාණත් බිහි වුණා. නමුත් ඒ කාලෙදි මං සිතුවේම මතු යම් දවසකදී මගේ නමින් පමණක්ම මේ ගීත පැවතීමට විද්වත්තු දෝෂාරෝපණය කරන්නට පුළුවනි කියලයි. ඒ නිසයි මං එම්. රාජපක්ෂ විදියට අන්වර්ථ නාමයක් පාවිච්චි කරන්න හිතුවේ. නමුත් මේ එම්. රාජපක්ෂ නමත් එක තැනකදි හැරුණේ මගේ අවාසියට. ඒ මං ‘මනමාල ගිරව්’ කැසට් පටය එළි දැක්වුවාම මේ කැසට් පටයේ පද රචනා සහ තනුවලට මුදල් ගෙවීම් කරද්දී එම්. රාජපක්ෂගේ කොටසටත් සෝමතිලක ජයමහ අයිතිවාසිකම් කියන්නේ කොහොමද කියලා ඇති වුණේ මතභේදයක්. සමහරු ඇහැව්වේ අනුන්ගේ ගීතවලට නම දාලා කැසට් කළේ ඇයි කියලයි.

    ප්‍රවීණ නිවේදක පාලිත පෙරේරා ඒ වෙද්දි ජනප්‍රියව තිබුණු ආරාධනා වැඩසටහන මෙහෙයවමින් සිටියා. ඇත්ත කතාව දැනගත්ත පාලිත කිව්වේ ‘මට මේක රටටම හෙළි කරන්න ඕනෑ. ඒ නිසා ආරාධනා විකාශය කරද්දි සෝමතිලක එන්නම ඕනෑ කියලා.

    ‘ඔබේ සැඳෑ අඳුර ඉඳල නිර්මාණවලට එම්. රාජපක්ෂ කියලා ආරූඪ නමකින් පෙනී සිටියේ කවුද?’ එදා පාලිත ඇහැව්වාම මං ඇත්තම කිව්වා.

    තවත් දවසක මට මගේම පද රචනාවක් නිසා ඇති වෙලා තිබුණේ දෙගිඩියාවක්. ඒ එයින් බෞද්ධ සාහිත්‍යයට අවැඩක් කළා කියලා චෝදනා නැඟෙයිදෝ කියලා. ඉතිං ගී පද රචනාවත් රැගෙන ගියේ විමල් අබේසුන්දරයන් හමුවට. ගිහින් විමසුවේ මේ ගීතය කියන්න හොඳද කියලයි. එතුමා පද රචනාව කියවා බැලුවා. අන්තිමේදී අදහස විදියට කිව්වේ ප්‍රතිනිර්මාණයක් විදියට මේකේ වරදක් නැහැ කියලයි. අන්තිමේදී ගීතයක් විදියට ‘නව දැළි හේනක’ ගීය එළිදුටුවේ එහෙම. ගීතයේ පද රචනාවට හේතු වෙච්ච තවත් රහසක් තිියෙනවා. මගේ මිතුරෙක් කොළඹ කිට්ටුව හිටියා. නිවාඩුවට මිත්‍රයාගේ ගෙදරට විවේකය ගත කරන්නට යන එන පුරුද්දක් මට තිබුණා. යාළුවාගේ මවුපියන් එහේ ගියාම මට කියන්නේම තවත් දවසක් දෙකක් නැවතිලා යන්නයි කියලයි. ඒ තරමටම එයාලා මාව සැළකුවේ එයාලගේ පවුලේම කෙනෙක් විදියට.

    දවසක් මිත්‍රයාගේ අම්මා මට කතා කරලා කළේ ඉල්ලීමක්. ඒ මගේ මිත්‍රයාගේ ප්‍රේම සම්බන්ධයක පළහිලව්වක්. මිත්‍රයාගේ පෙම්වතියට තිබුණු අකමැත්ත නිසාම එයාලා මගෙන් ඉල්ලුවේ මිත්‍රයාට පෙම්වතියව අතහැර දාන්න උපදෙස් දෙන්නයි කියලයි. නමුත් මිත්‍රයාට ඒ විදිහේ බලපෑමක් නොකළත් මං දවසක් ‘ඔයා ආදරය කරන කෙනාට ඔච්චරටම ආදරේ එයා ලස්සනද?’ කියලා මං මිත්‍රයාගෙන් ඇහැව්වා. එයා කිව්වේ ‘නෑ, නෑ එහෙම එයා රූපයෙන් එච්චර ලස්සන කෙනෙක් නම් නෙවෙයි. ඒත් මං කාලයක්ම ඇසුරු කළ ප්‍රේමවන්තියව මට අමතක කරන්න බැහැයි’ කියලයි.

    මමයි සිතයි එකම පොර බැඳිල්ලකට පැටලුණේ ඔන්න ඔය මොහොතේ ඉඳලයි. එක පැත්තකින් මිත්‍රයාගේ පිළිතුරින් සිතේ මැවුණේ ඇස දකින රූපයයි, හදවත හඳුනා ගන්නා රූපයයි අතරේ වෙනස. ඊට පිටුපසින් චිත්‍රපටයකදී වාගේ මැවුණේ බෞද්ධ සංස්කෘතියේ එන ජනපද කල්‍යාණි – නන්ද කුමාර කතාව. නන්ද කුමරු වෙළුණේත් මිත්‍රයා වගේම ප්‍රථම ප්‍රේමයෙන්ම වෙන්න පුළුවන් බවත් මගේ සිතින් මටම කියන්න ගත්තාම සිත ඇතුළින්ම බිහිවෙච්ච පදවැලක් තමයි මේ ‘නව දැලි හේනක’.
    http://www.sarasaviya.lk/news/?fn=sa14081443

    ReplyDelete
    Replies
    1. සෝමතිලක ජයමහගේ එම් රාජපක්ෂ කතාව වගේම, රිජ්වේ තිලකරත්නත් වෙන නමකින් ගීත ලිව්වා නේද...ඔහු ගුවන් විදුලියේ සභාපති ලෙස හිඳිමින් ඔහුම ලියූ ගීත ප්‍රචාරය වීම සුදුසු නැහැ කියලා හිතු නිසාලු එහෙම කරේ.

      Delete
    2. අරූ අයියා විමලා රංජනී පීරිස්‌ කියලා අන්වර්ථ නාමයකින් තමයි රිඡ්වේ තිලකරත්න ගීත ලියලා තියෙන්නේ .ටි.එම් ගේ "ඔබ හා මෙමා අතිනත් අරන්
      අපගේ ලොවේ තනිවූ එදා" ගීතයේ පද රචනය කියලා තියෙන්නේ විමලා රංජනී පීරිස්‌

      Delete
  4. ජයවේවා ඇණෝ ඔබ නිති මා දිරි ගන්වන අගය කරන සහෘද බ්ලොග් නිර්මපාකයෙකු

    ReplyDelete
  5. සෝමතිලක ජයමහ මමත් හුඟක් කැමති ගායකයෙක්. මේ ගීතයත් කැමතිම එකක්. ස්තුතියි.
    සින්දු ඇනෝ ගේ කොමෙන්ට් එකත් ලස්සනයි. සත්‍ය අත්දැකීම් වලින් ගීත ලියන කොට තවත් ලස්සනයි..

    ReplyDelete
  6. සෝමතිලක ජයමහ කියන්නේ ජාතික වස්තුවක්

    ReplyDelete