namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, August 24, 2023

ක්ලැරන්ස් - ඉන්ද්‍රානී - රුක්මණී දේවි - පන්ඩිත් අමරදේව - චිත්‍රා සෝමපාල ඇතුඵ පිරිස

ශ්‍රී ලංකාවේ කන්ඩායම්  සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලා අංක -07)

 ලිපිමාලා අංක 06 අවසානයේ වාදනය වූ මර්වින් මිහිදුකුළ ගීතයේ ඇතුළත් සංගීත සංයෝජනයේ මිහිරියාව විසින් ශ්‍රාවකයා ගතානුගතික ක්ලැරන්ස් වාද්‍යරටාවෙන් තරමක් එපිටට කැඳවාගෙන යයි. ඒ මෙහි අංක 05 ලිපියේ සඳහන් වූ ’සන්තුරය’ මුල්වීමෙනි. දසවස් කාලයක් තිස්සේ ඔහු සෙවනේ නැළවී සැනහී පැවතුනු ’ලීඩ් ගිටාරයේ’ තනිනොතනිය මකන්නට ඒ හා අත්වැල් බැඳගත් නවක නාද උත්පාදකයා මතු කි ලෙසම ’අපේක්‍ෂා’ ගීතාවලියෙන් පසුවද ක්ලැරන්ස් මියැසියේ වාද්‍ය සාමාජිකයන් හා බැඳි සිටියේ එපමණකින් නොවේ.  ක්ලැරන්ස් හා සමකාලීනව කන්ඩායම් ගී ලොව ජයදද නැංවූ තවත් සාමාජිකයන් දෙපොළකගේ සුසංයෝගයෙන් ගැයූනු ’ක්ලැරන්ස්’ ගීයකදී එය යළිත් නාද රසය පැතිරවීය.


සමුගෙන යන්නෙමි ..............

මම ඔබ තනිකොට ...............

අපේ මතු දියුණ සොයා ................

හිතකින් නොව මා ................

නැව්නැග යන්නේ ...............

සිත ඔබේ තුරුලෙ තියා ...................


ගතින් මෙතැන මම ...

සිතින් ඔබගේ ලග .....

කිසිදින වෙනස් නොවේ ...

ජිවීතයට නැත ඔබේ වැනි ...

මිණී කිරුළක් මේ ලොවේ.....


ගැයුම - වර්ණන් පෙරේරා (ද සන්ෂයින්ස් ගායක කන්ඩායම) සමග ඉන්ද්‍රානි පෙරේරා (ත්‍රී සිස්ටර්ස්)

ගී පද  - නැසිගිය කරුණාරත්න අබේසේකර

සංගීතය, තනුව  - ක්ලැරන්ස් විජේවර්ධන

-----------------------------------
මෙතැනින් සවන්දෙන්න


මේ ලැයිස්තුවේ පෙළගැසෙන්නට මිලගට ඉදිරිපත්වන්නේ ද ඉංග්‍රිසි ගීත ගැයු යව්වනියකි. ඇයව නොහැඳිනගත් අතිමහත් සංඛ්‍යාත සිංහල ගීත ලෝලීන් ගේ හදවත් කරා එකරැයින් සමිපකරවාලූයේ අන් කවරෙකු හෝ නොව ’ක්ලැරන්ස් විජේවර්ධනයන්මය’. ඇය ගැයු ක්ලැරන්ස් නිර්මාණයන් සති අන්ත ගුවන් විදුලියෙන් විසුරුවා හරිද්දී නාමය කියැවුනේ ’ෂ්‍යාමි ෆොන්සේකා’ නමිනි.  එසේ වාදනය කෙරුණේ එදවස වෙළඳ තැටි ගීත කලාවට අවතීර්ණ වූ නවතම සාමාජිකයා වූ විජය රාමණායකගේ ’තරංගා’ ලේබලයයි. එහි සංගීත සංයෝජනයන් ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ වරුන් ගේ ලෙස තැටියේ පැහැදිලිව සඳහන් වෙයි.


01 ගියකින් කෙසේ කියන් සිතුම් ළයේ ..............රන් රුවක් ගෙනෙල්ලා......මා ලගින් තියාලා නොඉල්ලනූ ආදරේ.


02 රස පිරුණු කථා හොඳට ගොත ඔබට කියන්නම් ......ඉර හැරනු වෙලේ සඳපහනේ ගීත ගයන්නම්... එනු ඉක්මන් වී...මා වෙත ළංවි...

ක්ලැරන්ස් විජේවර්ධන නිර්මාණ පෙළහර විසිර පැතිර ගිය ඉසව් එයින් සිමානොවේ, එදා ගුවන් විදුලියේ ප්‍රවිණ ජ්‍යෙෂ්ඨයන් විසින් ’කැසට්’ යුගය වර්ණවත් කරමින් ගැයූ නව ගීත රාශියක ’තනු’ නිර්මාපකයා වුයේ ඔහුය. ඒවා එකී ගායක ගායිකාවන් ගේ ගායන දිවිය නව ඉසව් කරා රැගෙන ගියේය.

මහාචාර්ය සනත් නන්දසිරි - සීත රෑ වසන්තේ කාටදෝ ගයන්නේ (මහාචාර්ය සුනිල් ආරියරත්න) ,

ආදරේ නෑ ආදරේ.. (කිත්සිරි නිමල් ශාන්ත) , විකසිත වත කමලේ .... (කැමිලස් පෙරේරා)

ගායන ශිල්පී ටී එම් ජයරත්න - රුවට රුවේ සකුරා ඉවුරේ  (උපාලි ධනවලවිතාන),

දෙගොඩ තලා ගග ගලා (ප්‍රේමකීර්ති ද අල්විස්),

කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා (ආචාර්ය අජන්තා රණසිංහ).

හදිස්සියේ හනි හනිකට පය තබනා, (කැමිලස් පෙරේරා),

සොවින් බර නුවන් විදාලා (හෙමසිරි හල්පිට)

සිගිරි ළඳුනේ ඇයි තනිවී (වර්ණන් පෙරේරා),

අපමණ සාගරේ ජලාසේ (අජන්තා රණසිංහ) 

මාලිනී බුලත්සිංහල  - බිංදු ඉහෙන පින්නේ අරුණ උදේ (අජන්තා රණසිංහ)

ප්‍රියා සූර්යසේන - ඈත රන් විමන් තුලින් (ෂෙල්ටන් විරරත්න), පැතුම් පිරිලා උතුරා යනවා,

සැන්දෑයාමේ එක්වූ යාමේ.... (අජන්තා රණසිංහ) රටකින් එහා ඉගිලී .... (ප්‍රේමකීර්ති ද අල්විස්),

හිරුද මුවාවි ලැසි ගමන..(උපාලි ධනවලවිතාන)

එච් ආර් ජෝතිපාල - මල් පිබිදෙන එක වසන්ත සමයක (ක්ලැරන්ස් ගී පද සහ සංගීතරටා)

මරියසෙල් ගුණතිලක - යොවුන් සිහින ලෝකේ (ක්ලැරන්ස් ගී පද සමග සංගීතරටා)

නීලා වික්‍රමසිංහ  - රහසේ හඞනා අප පැතුම්...යුග ගැයුම ක්ලැරන්ස් (කිත්සිරි නිමල්ශාන්ත)

ප්‍රියන්ත ප්‍රනාන්දු (ඉන්ද්‍රානි පෙරේරා  සමග) - නිරංජලා කාටදෝ ආදරේලු දැන් ..  

නිහාල් නෙල්සන් - සූකිරි බට්ටෝ තණකොළ පෙත්තෝ .... 

රෝහණ සිරිවර්ධන - නුදුටු ඔබ හා ඇසුරෙන් එක්වි...........

මැක්ස්වෙල් මෙන්ඩිස් - මගේ සුරතල් පොඩි දුව.......

වර්ණන් පෙරෙරා සමග ඉන්ද්‍රනී පෙරේරා  -සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට ..(කරුණාරත්න අබේසේකර)

ලංකා ගුවන් විදුලියේ කැපී පෙනෙන භූමිකාවක යෙදුනු ප්‍රවිණ සංගීතඥ ’පී එල් ඒ සෝමපාල’ 50 දශකයේ මුල් යුගයේදී, සිය දයාබර බිරිඳ ’චිත්‍රා’ සමගින් ගැයු රමණිය යුග ගීතාවලිය 70 දශකයේ දී පවා බිඳකුඳු ගීතලෝලී,ශ්‍රාවක මතකයෙන් ඈත්ව නොතිබුනු අතර, ඒ නිසාදෝ ඒවායේ මුල් ගීත එදවස නිරන්තරයෙන් ගුවනින් ඇසුණු විවිධ වැඩසටහන් අතරින් වාදනය විය. 50 දශකයේ ග්‍රැමෆෝන් යුගයේ ගීත රචනා ශෛලිය අනුව යමින් ශ්‍රී ලාංකාවේ ස්වභාව සෞන්දර්යය සහ ඓතිහාසික මෙන්ම ආගමික සිද්ධස්ථාන පාදක කොටගෙන ලියැවුනු එකී ගීතාවලිය බිහිවී රජත ජයන්තිය එළඹුනු 1978 වසරේදී ඒවා නව ඉලෙක්ට්‍රෝනික සංගීත සංයෝජනය යොදා අධ්‍යක්‍ෂනය කරමින් ප්‍රතිනිර්මාණය කිරීමේ භාරදුර කටයුත්තට අතගැසුවේද ’ක්ලැරන්ස්’ ය. ඒ අනුව  උඩරට කඳුකර සිරියා පරදන....., යමුනා යමුනා සෝබන ගංගා....., උකුළේ කළේ හොවා පිරි සිසිල් ........, ලලිත කලා ඔපකරනා..., දඹුඵ ගලේ රංගිරි දඹුඵ ගලේ..., නම් වූ ඒ ගීතාවලිය සිය ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ සංගීත කන්ඩායමේ සාමාජියන්ගේ සහභාගීත්වය මෙන්ම එවකට දිවයිනේ තවත් සුප්‍රකට වාදක මන්ඩලයක් වූ ’ෆෝර්චූන්ස්.....’ පවත්වාගෙන ගිය සංගීතඥ ’ස්ටැන්ලි පීරිස්’ ගේ සැක්ස්ෆෝන් වාදන රසයද කැටිකොටගෙන ප්‍රතිනිර්මාණය කරන්නට යෙදුනි. එහිදී ජ්‍යෙෂ්ඨ ගායිකා චිත්‍රා සෝමපාල සමගින් ඔහු ’කුරුඵ ගමේ කුරුඵ ගෙදර කුරුඵ කුමාරී...(ගී පද ප්‍රවිණ ගුවන් විදුලි නිවේදක නැසිගිය ලලිත් එස් මෛත්‍රිපාල) නම් වු අතිශය ජනප්‍රිය ගීතය ගයමින් නැවත පටිගත කලේය. 
----------------------------------------
පහතින් සවන්දෙන්න

1978 වසරේ රජත ජයන්ති සැමරූ තවත් කැපී පෙනෙන නිර්මාණයක් වුයේ ඩබ්ලියු ඒ සිල්වා ගේ එනමින් වු චිරප්‍රසිද්ධ නවකථාව ඇසුරෙන් බී ඒ ඩබ්ලිව් ජයමාන්න විසින් හැදු ’කැළෑ හඳ’ සිනමාපටයයි. 1950 දශකයේ යව්වන යව්වනියන්ගේ සදාතනික සිහිවටනයක් බවට පත් ව තිබුනේ යැයි කියැවෙන ’කැළෑහඳ’ සිනමා සිත්තම, එදවස නාගරික ජන සමාජයේ වැඩියෙන්ම කථාබහට ලක් වි තිබුනු මෙන්ම එහි සාමාජිකයන් විසින් වැඩියෙන්ම නැරඹු සිනමාපටයක් බවට පත් වි තිබුනු බව වාර්තා වේ. වර්තමාන පරපුරේ සාමාජිකයන් දැනුවත් වූ මෑත කාලීනව තිරගත වූ ’හෝ ගාන පොකුණ’ , ’සූරිය අරණ’, ’ඇබා’ වැනි සිනමා කෘති ලද්දේ යම්කිසි ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ද ඊට නොදෙවෙනි වූ ජනප්‍රියත්වයක් 50 දශකයේ ’කැළෑහඳ’ අත්කරගෙන තිබුනි. එදවස යව්වනයන් සිය පාසල් වියේ පරිශීලනය කල සාහිත්‍ය කෘති අතරට ඒ නමින් පළවී තිබුනු නවකථාව ද ඊට රුකුළක් වන්නට ඇත.  

1978 වසරේ දී ඔවුන් වැඩුනු දරුවන් සහිත මැදිවියේ රසිකයන් බවට පත් වී සිටිද්දී, සිය යොවුන් වියේ කළ කී දෑ ආවර්ජනය කරමින්, එදවස තමන්  වසගයට පත් ගායක ගායිකාවන් අගයමින් ඔවුන්ගේ නිර්මාණ ගුවන් විදුලිය ඔස්සේ රසවිඳිමින් සිටින්නට ඇත. එකී සාමාජිකයන් අතර, ලියුම්කරුගේ දෙම්ව්පියන්ද විය. ඔවූහූ ’රුක්මණි දේවී’ ශිල්පිනියට මුඵ හදවතින්ම ඇඵම් කළ ඇයව ප්‍රාණසමාන ලෙස සැලකූ රසිකයන්ය. මෙම වසරේ සිදුවු ඇයගේ හදිසි අභාවයෙන් ඔවූහූ මහත් සේ කැළඹීමට පත්වූ අතර, ඇයගේ දේහය මිහිදන් කරනා තුරු, ගුවන් විදුලිය ක්‍රියාත්මක කරවමින්. එයින් දිනය පුරා නිරන්තරයෙන් වාදනය කෙරුණු ’රුක්මණී ගී’ ශ්‍රවණය කලේ නෙත කඳුලක් රඳවාගෙනය. ඒ අතරින් ගුවන් විදුලිය විසින් වැඩිම වාර ගණනක් වාදනය කළේ ’කැළෑහඳේ’ ඇතුළත් වූ ’රුක්මණී ගීතාවලියයි’.

’රූපවාහිනි සේවා’ ඒ වනවිටත් ලාංකීය සාමාන්‍ය ජනයා හට අත්විඳින්නට නොලැබුනු මෙකී වසරේ,  මෑත ලංකා ඉතිහාසයේ මුල්වරට ඒ වසර දක්වා කවර හෝ කලා ශිල්පියෙකු හෝ ශීල්පිණියකගේ අවමංගල්‍යයකට සහභාගි වූ වැඩිම ජන සන්නිපාතය ඇයගේ දේහය හොව තිබුනු මීගමූවේ ’ජයරුක්’ නිවසේ වන්නට ඇත. ඒ බව පුවත්පත් වාර්තා පසක් කල අතර, රාජ්‍ය චිත්‍රපට අංශය විසින් රූ ගත කරන්නට යෙදුනු රුක්මණී අවමංගල්‍යය ඇතුළත් සේයාපටය ඊට සාක්‍ෂි ගෙනහැර දක්වයි.

1953 වෙසක් මහේ තිරගත වූ  ’කැළෑහඳේ’ ඇතුළත් ගීත, ප්‍රධාන රංගන ශිල්පිනී සහ ගයන ශිල්පිනී භූමිකාවන් හි යෙදුනු හෙළයේ පළමු නිළි රැජින ’රුක්මණි දේවි’ ගේ හඞින් ගායනා කරන්නට යෙදී, මහත් සේ ශ්‍රාවක සම්මානනයට පාත්‍ර විනි. අවසනාවන්ත ලෙස එය ඇයගේ ජීවන ඉරණම විසඳූ තිරණාත්මක සමුගැනීම සිදුවු වසරද වූයේය. මතු දැක්වූ පරිදිම,  ’රුක්මණී දේවි’ අකල් වියෝව යොවුන් වියේ සහ වැඩිහිටි වියේ සිටි ඇයගේ රසිකයන් දැඩිව කම්පනයට භාජනය කළ සිදුවිමක් වූ අතර. ගුවන් විදුලියෙන් නිරන්තරයෙන් වැයුනු ඇයගේ ගීතපෙළට පරිබාහිරව සමරු වැඩසටහන් ද පවත්වමින් ඇයට උපහාර දක්වන්නට යොදුනු අතර, ඉතිරිව තිබුනු ප්‍රධාන ජාතික පුවත්පත් සියල්ලම පාහේ ඇයගේ දිවිමග තොරතුරු ඇතුළත් ලේඛන සහ සේයාරූ වලින් පිරි තිබිනි. එපමණකුදු නොව ’රුක්මණි දේවි’ උපහාර ගීතිකා වහා වහා පටිගත වු අතර ඒවා තැටිවල ඇතුළත් වි වෙළඳ පොළට නිකුත් වෙමින් පැවතියේය.  වේගරිද්මයෙන් උන්මාදයට පත්, එදා යෞවනයන්ගේ ජනප්‍රියතම පොප් ගායන ශිල්පියා සහ ශිල්පිනිය වූ ’ක්ලැරන්ස්’ සහ ’ඉන්ද්‍රානි’ දෛවෝපගතව ’රුක්මණී දේවි’ නිර්මාණයන් ප්‍රතිනිර්මාණය කරන්නට කටයුතු යොදා තිබුනේ ඇයගේ ගීත 04 ක් ඉන්ද්‍රානි ගේ හඞින් ගයන අතවාරයේද ’ඉන්ද්‍රානි’ ගේ ජනප්‍රියතම ගීත 04 ක් ’රුක්මණි දේවි’ විසින් ගයන්නට එකගතාවයකට එළඹෙීමෙනි. එය සැබැවින්ම මේ නිලිරැජින ගේ කරුණික ඉල්ලිමක් අනුවය.  ’ක්ලැරන්ස්’ ගේ සංගීත සංයෝජනයන්ට අනුකූලව ඉන්ද්‍රානි ’රුක්මණී ගී’ ගයා තිබුනත්, එහි ඉතිරි කොටස  ක්‍රියාත්මක කරන්නට රුක්මණි දේවි ජීවත්ව සිටියේ නැත.

කෙසේවෙතත් රුක්මණිදේවි ගේ අකල් වියෝව සිදුවන්නට පෙර, ආසන්න යුගයකදී, ’කැළෑහඳ’ සිනමාපටයේ ඇතුළත් වූ ඇයගේ ජනප්‍රිය ගීතයක් නව සංගීතයෙන් ප්‍රතිනිර්මාණය කරගන්නට අවස්ථාව ලද එකම එදා නව පරපුරේ සංගීත අධ්‍යක්‍ෂවරයා වුයේ ’ක්ලැරන්ස්’ මය. 

ඇය හා පුරා කියා ගීත ලොවට පිවිසවූ  රන් දොරටුව වූ ’සිරිබුද්ධගයා විහාරේ’ පටිගත වී ඇත්තේ 1939 වසරේ දී ’ග්‍රැමෆෝන්’ ගීතයක් ලෙසිනි. ඒ ඇය එදවස අතිමහත් භක්තිපූර්වකව සිහිපත් කළ ඇයගේ සංගීතාචාර්යවරයා වූ දිවංගත ප්‍රවිණ සංගීතවේදී එච් ඩබ්ලිව් රූපසිංහ සමගය. ගිල්බට් වීරසේකර විසින් විරචිත එය, වසර 38 කට පමන පසුව දෛවෝපගතව ප්‍රතිනිර්මාණය කරන්නට වරම් ලද්දේ ’ක්ලැරන්ස්’ ය. ඔහූ 1972 වසරේ සමුගෙන ගිය එච් ඩබ්ලිව් රූපසිංහයන්ගෙන් පසුව එදවස සිංහල ගීත කලාවේ ජ්‍යෙෂ්ඨතමයා වූ ආචාර්ය පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේවයන් සිය භාරදූර කටයුත්තට යොදාගත්තේය.  ක්ලැරන්ස් ගේ වෙනත් නිර්මාණ සඳහා අනුග්‍රහය දැක්වූ එදවස සංගීත ලෝලී ව්‍යාපරික ’අජන්තා විජේසේන’ ගේ  ’ලෝටස්’ වෙළඳ තැටි ආයතනය විසින් එය නිකුත් කරන්නට යෙදිනි.

----------------------------------------
පහතින් සවන්දෙන්න

එයින් නොනැවතුනු ක්ලැරන්ස් ශ්‍රි ලංකිකයන්ගේ හදවතේ ලැගුම් ගත් පැරණිතම බොදු බැති ගීය ලෙස කිරුඵ පලන් ටවර්හෝල් නූර්ති ගී යුගයේ නිතිඥ ජෝන් ද සිල්වා ගේ සිරිසගබෝ නාටකයට ඇතුළත් වූ චිරප්‍රසිද්ධ ’දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා..............’  ප්‍රතිනිර්මාණය කරන්නට යෙදුනු අතර එහි ඇතුළත් වු සෙසු ගීත වූයේ 01 දැඩිකල මාතා පෙම්බර මාතා.....(රුක්මණි ගේ මුල් යුගයේ ගීතයකි) 

ඉන්ද්‍රානි සහ ක්ලැරන්ස් විසින් ගැයු ’රුක්මණි ගී...............’ අතර


අන්න සුදෝ අර පාටවලා ....................

සන්ධ්‍යවේ විනෝදේ ප්‍රිති කෙරේ ...............

සුරතේ වෙළි යස සුළග වැදී ....................

යස ඕඵ පිපිලා නීල ජලේ ......

(ගී පද නැසිගිය හර්බට් එම් සෙනෙවිරත්න)


දෙවා ගිනි මවාදී මගේ හෘදයේ ........

ගියාදෝ අනේ මා දමාලා ප්‍රියේ..................

(ගී පද නැසිගිය හර්බට් එම් සෙනෙවිරත්න)

මෙන්ම 1949 වසරේ තිරගත වූ බී ඒ ඩබ්ලිව් ජයමාන්න ගේ ’පෙරළෙන ඉරණම’ සිනමාපටයේ ඇතුළත් වූ,   ’ඕඵ මලෙහි සුදෝසුදූ................’ ගීතයද විය. (ගී පද ජේ එල් පී නන්දනකීර්ති, සංගීත නිර්මාණය - බි ඇස් පෙරේරා)

----------------------------------------
පහතින් සවන්දෙන්න

70 දශකය ඉකුත් වී යද්දී පවා දිවයිනේ ව්‍යාපාරික භවතුන් හට සිය නිෂ්පාදන ප්‍රචලිත කරගැනීමට ඉතිරිව තිබු එකම සහ ප්‍රධාන විද්යුත් මාධ්‍යය නාලිකාව වුයේ ලංකා ගුවන් විදුලියේ සිංහල දෙවැනි සේවයයි (දැන් වෙළඳ සේවය) එහි මිහිරි ලෙස ගැයුනු වෙළඳ දැන්වීම් ගී ඛන්ඩ ගණනාවක් නිර්මාණය කර ගයනු ලැබ තිබුනේ ඔහුය. සිනූ හඞ දෙයි බෙත්ලෙහෙමේ... (පාවහන්), දේදුන්නේ පාට පෙරා දසුන් මවන සතිය පුරා (චිත්‍රකථා පත්‍රයක්) 

---------------------------
ක්ලැරන්ස් සහ මරියසෙල් එක්ව ඔහුගේ නිර්මාණ එක්තැන් කොට ප්‍රතිනිර්මාණය කළ එදවස ජනප්‍රිය වෙමින් පැවති නොනවතින රැල්ල ගණයේ කැසට් පටයක වග තුග වෙළඳ දැන්වීමකින් - 1980 දශකයේ මුල් භාගය
-------------------------

මතු සඳහන් කල පරිද්දෙන් ඔහුගේ වසන්ත සමයේ  අතුඉති පිරි ඉතිරි යන්නට ගී මල්ඵල හට ගැන්වූ ’කන්ඩායම් ගී’ යුගය මුකුලිත වුවද, සුවඳැති, නෙක වර්ණයෙන් බබළන ගී කුසුම් නිරන්තරයෙන් විකසිත වෙමින් පැවතිනි. සූපර් ගෝලඩන් චයිම්ස් රසවතුන් ගේ දුරස් වීමෙන් පසුව කරළියට පැමිනි ’කැසට්’ ගී යුගයද ඔපවත් වූයේ ’ක්ලැරන්ස් ගී’ මල්වරුසාවෙනි.

අඳුර ඉරා සඳමිනි මේලාවේ ........තුෂර බිංදු තීරයේ .....(අජන්තා රණසිංහ), මෙන්ම ඔහුට හුරුපුරුදු  රසවදන් පිරිද්දිමේ කලාවෙන් විචිත්‍රවත් වූ ’සැන්දෑ වලාවන්................’ මලට බඹරෙකු සේ ..........’ ’රන් සමණළයින් (රම්‍යා)...........’දිනෙක මේ නදී තිරේ........’ ’සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ.........’ මුතුමැණිකේ උදේ රැයන්...........’ ’අරුණ කිරණ වැදි ................’ ’සඳ එක් දිනක් තරු හා බැඳී...........’  ’පියඹා යනවා මා අකාසෙයේ............’  මලේ හැන්දෑවේ වහින වෙලාවේ.... ’මාලිනියේ මා ලාලනියේ....’  ඒ අතර වෙයි

රුසිරු ගී තනු උල්පතකට උරුම්කම් කී මේ සොඳුරු ගාන්ධර්වයා වෙනත් මියැසි මැවිසුරුවන්ගේ ගී රටාවන් උදෙසා නොගැයුවේද? නැත...  එය එසේ වී තිබේ. සංගීතඥ ස්ටැන්ලි පීරිස් ගේ ගී තනුවකට අජන්තා රණසිංහයන් ලියූ ’දුව මා වගේ නේද නෑ අම්මා..............’ මෙන්ම එදා අංකුර තනු නිර්මාපකයෙක් වූ රූකාන්ත ගුණතිලක ගේ ’සාගරේ තරංගයේ... (අජන්තා) එවැනි අවස්ථා සිහිකැඳවයි.

70 දශකයේ මූලාරම්භයේදී පවා ’කන්ඩායම් ගී’ කලාව නමැති වෘක්‍ෂය සුපුෂ්පිතව සුවඳ විහිදමින් තිබුනත්, ඔවුන්ගේ තැනු ගීතවල එක්තරා පැහැදිලි කැපී පෙනෙන අඩුවක් පැවතීයේය. ගීතයක තිබිය යුතු සංගීත සංයෝජන සුමියුරු අන්තර් වාද්‍ය සංගීත ඛන්ඩ ඒවයේ නොතිබුනු අතර වෙළඳ තැටි නිපදවූවන් විසින් ඒවායේ ඒ අඩුපාඩුව සම්පූර්ණ කරගන්නා ලෙස මෙම කන්ඩායම් වෙතට උපදෙස් නිකුත් කර තිබිනි. එකි විශේෂඥ කාර්ය භාරය ඉටුකරගැනීම උදෙසා එවකට ඔවුන්හට දිවයිනේ සිටි ප්‍රමුඛතම අත්දැකීම් බහුල බටහිර සංගීතය ශිල්පීය කලාව පිළිබඳව අවබෝධයෙන් සිටි සංගීතඥයන්ගේ අධාරෝපකාරය අතවශ්‍ය වි තිබිනි. ඒ අනුව සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන, එම් කේ රොක්සාමි සහ පැට්‍රික් දෙණිපිටිය ඒ භාරදුර කටයුත්තේ නිරතවිය. තැටිගත වී ගුවන් විදුලි ශ්‍රාවක මනස කුල්මත් කල ’කන්ඩායම් ගී’ බොහෝ ගණනක සංගීත සංයෝජනයෙන් වර්ණවත් වූයේ මෙකී නිර්මාණකරුවන්ගේ දායකත්වය නිසාය. ’මුන්ස්ටෝන්ස්, ගෝල්ඩන් චයිම්ස් සහ සුපර් ගෝල්ඩන් චයිම්ස්’ පමණක් මේ කුලකයට ඇතුඵ නොවූයේ ’ක්ලැරන්ස්’ ගේ කමනීය සංගීත ඛන්ඩ වලින් එකී ගී හැඩවී තිබිම නිසාය.

60 දශකයේ මධ්‍ය භාගයේ දී ගුවන් විදුලිය විසින්  මේ ගීත වර්ගය වාරණය කළ මැනවැයි ක්‍ෂේත්‍රයේ මීට එරෙහි වූ පිරිස හඞ නැගූවත් ’කන්ඩායම් ගී’ සංසදයක් පිහිටුවා ගත් එකී සාමාජිකයෝ ආයාචනාත්මක ලිපි යොමුකරමින් මේවා වාරණය නොකරණ ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිබව වාර්තා වේ. සැබැවින්ම මේවා ලද දැවැන්ත ශ්‍රාවක ප්‍රතිචාරය ට මගපාදාදෙන ලද්දේ අන් කවරෙකුටත් වඩා ’ලංකා ගුවන් විදුලිය’ විය. අගනුවරින් ඈත දුර වෙසෙන ගැමි ශ්‍රාවකයන් පවා ’කන්ඩායම් ගී’ හඳුනාගත්තේ එයිනි.

’සංකරත්වයේ’ සිමා මායිම් අතික්‍රමණය කළා යැයි චෝදනා නගා ඒවා පාගා පොඩිකර දමන්නට ඇතැම් බලදරුවන් තැත් දැරූවද, ඒවායේ ගී පද පිරික්සද්දී, ඒවා අතිමහත් බහුතරය ’ළමා ගී’ යක රුවගුණ ගනී. 

සංස්කෘතිකාංග (කඳසුරිඳුනි ඔබේ....’ ’ඩං ඩං ඩං ඩංකු ටුකුටු, මංගලම් කියලා මල් මිටක් තබාලා..’ රුහැණුබිමේ කතරගමේ, වාසනාව දෝතට ගෙන සිනහසලා, මෙන්න අපේ සුහද පැතුම් ....) ජනශ්‍රැතිය (මහදැනමුත්තා අපේ ගුර රටේ උගත්තා.., අහසට පිඹිනා භූමි කළේයා, ඔළිද තිබෙන්නේ කොයි කොයි දෙසේ,  එදා  මෙදා වෘත්තීන් (සෝබමාන ගුවන් සේවිකා..., කරට කදේ රැගෙන යමි පාරදිගේ මං, මුඵ ගතම වෙහෙසුනා, හෝයියා හෝයියා........., අපි මිතුරෝ මුහුදු ගියෝ...) ස්වභාව සෞන්දර්යය (ඉද්ද පිච්ච මල් පිපිලා, ගළනා දිළෙනා ලක්නදී සෝබා, දුන්හිඳ කෙල්ලේ, යාල යාල යාල යන්න, හිරු නැගී එන උදයේ අප යන්නෙ, පාට පාට රන්තටු සළලා, අව්ව පායලා, හෝ වැස්ස වහිනවා) පාසල් සමය (සඳක් බැස ගියා අවරගිරෙ, ), සහෝදර- දාරක ප්‍රේමය (පුංචි නංගි මාගේ ඈ හරිම ලස්සනයි, ලස්සන සුසිනිඳු සඵ ඇගලා..., ගමෙන් ලියුමක් ඇවිල්ලා, නැළවෙන්න නොහඩන්න චූටි පුතා, සිහින පැතුම් විමනේ, කිරිමුහුද කළඹාලා ගෙනා, බොරුවට අඞ අඞ...)  වැනි දෑ ඒවා මාතෘකා කරගනී. ශෘංගාරය කැටිකොට ගත් ගීත ද ඒ අතර පැවතියද ඒවා එදා නිතර ඇසුනු සරළ ගුවන් විදුලි ගී පදවැල් හා නොසම වූයේ නොවේ.  

මෙතැන් සිට ඉදිරියට ................

සේයාරුව අනුග්‍රහය  - රුක්ෂාන් කරුණානායක මහතා (විශේෂ ස්තුතිය)


No comments:

Post a Comment