සමන් වැළේ ජයට පිපුනු මල් ......................01 වෙනි දිගහැරුම
සහෘද රසිකයන් පිනවන්නට, ඔවුන්ගේ රසිකත්වය ඔප් නංවන්නට කාලය, ශ්‍රමය වැයකළ සොඳුරු කලාකරුවන් මෙහි ගණනින් එතරම්ම විසල් නොවේමය. ඔවුනතරින් ඇතැමෙකු ගැන වැඩිමනත්ව කතා බහට ලක්වෙද්දී තවත් අය පිළීබඳව මතකය අවදිකරන්නේ ඉඳ හිටය. රසිකයන්ගේ හදවත් හි සදා ලැගුම්ගත් කමණිය නිර්මාණ බිහිකල එකි කලාකරුවන්ගෙන් බහුතරය සිය දිවිමගේ සත්වැනි දශකයට එළඹෙන්නට පෙරාතුවම, ඔවුන්ගේ නිර්මාණ ශාක්‍යතාවය නොසිඳී තිබියදීම මෙලොව හැර ගියහ. එකකු දෙදෙනෙකු හැරෙන්නට අන් සියල්ලෝ ගේම සිරුරු එහි ලැගුම්ගත්තෝ අකාලයේ පළවා හැරියේය.
-------------------සී ඩී ෆොන්සේකා සිය දරු කැළ සමඟ සොම්නසින්.... 70 දශකයේදී
වම් කෙළවරේ ඉදිරි පෙළ වාඩිවි සිටින්නේ ෂර්මිලා ෆොන්සේකා ළමා ගායිකාවයි. ඉහළ පේලියේ වම් පස ෆොන්සේකා මහත්මිය දරුවන් පිරිවරා වාඩිගෙන සිටී.
--------------------
සංගීතඥ බී ඇස් පෙරේරා, සුනිල් සාන්ත, මහගම සේකර, දයානන්ද ගුණවර්ධන, යූ ආරියවිමල්, නෙවිල් ප්‍රනාන්දු, සී ටී ප්‍රනාන්දු, ක්ලැරන්ස් විජේවර්ධන, මිල්ටන් මල්ලවාරච්චි, ජෝතිපාල, ධර්මදාස වල්පොළ, කේ ඩි කේ ධර්මවර්ධන, බන්ඩාර කේ විජේතුංග, ගාමිණි විජේතුංග, ඔගස්ටස් විනයාගරත්නම්, එම් කේ රොක්සාමි, ආර් මුත්තුස්වාමි, මෙහොමඩ් සාලි, ටී ෂෙල්ටන් පෙරේරා, කරුණාරත්න අබේසේකර ආදි මෙකි නොකී කලා ශීල්පීන් ගණනාවක් ඔවුන් උපතින් උරුමකරගෙන සපැමිනි අසාමන්‍ය හැකියාවන් අසාමන්‍ය ලෙස මුදාහැර අසාමන්‍ය ලෙස නික්ම ගියහ.
එසේම රුක්මණී දේවි, විජය කුමාරණතුංග, නිහාල් සිල්වා සහ ප්‍රේමකීර්ති ද අල්විස් රුදුරු ඉරණම හමුවේ පරාජයට පත්වූහ.
මේ නාමාවලිය අතරින් එතරම්ම කතාබහට ලක්නොවී සිටිමින්, එහෙත් සිංහල ගීත කලාවේ කලක් නම රන්දා අකාලයේ මිළිනව ගිය චරිතයක පවත ගෙනහැර දක්වන්නට ගත් තැතකි මේ.
හින්දි අනුකරණයන්ගෙන් වල්වැද තිබූ සිංහල සිනමා ගීතය නවමඟකට යොමුකරමින් එහි විචිත්‍රවත් බව ඔප් නැංවූ සංගීතඥයන් අතර ප්‍රේමසිරි කේමදාස නාමය ප්‍රමුඛය. ඔහු ඒ කාර්යයට අතගසන්නට යෙදී රසිකයන් දිනූ පළමු සිනමා පටය 1966 වසරේදි තිරයේ ඇඳුනු ’සැනසුම කොතැනද’ ලෙස න්ම් කෙරි තිබුනි.
එහි ඇතුළත් අමරණිය සිනමා ගීත ගොන්න අතරට එක්වුනු සම්භාෂණ වේගරිද්ම ගීතයක පද ඔබට මතකද ?
තරුණ සිතට මිහිර රැගෙන ආපු කුරුල්ලා ....................
සිනහ ලොවක නටන්න මනමාල කුරුල්ලා .....
මල්සාරා...මල්සාරා...මල්සාරා.....මල්සාරා..................
එක්තරා යුගයකදී ගුවන් විදුලි සිනමා ගීත සංග්‍රහය රසවිඳි රසිකයන් නිබඳව පිනවූ මෙම නිර්මාණයේ ගායන ශිල්පියා පිළීබඳව වත්මන් යොවුන් හා ඇතැම් වැඩිහිටි පරපුර නොදැනුවත්ය. ඔහු කවරෙක්දැයි විමසනු මනාය.
ඒ සඳහා ලක්බිමේ දුර ඈත දිනයක පැවැත්වුනු එක්තරා සුවිශේෂී සුබ මංගලෝත්සවයකට පියමං කරනු වටනේය. ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනපති ධූරය දැරූ එක්තරා යුගයක ආසියානු කලාපයේ පතළ නම රැන්දු ජනපති ජේ ආර් ජයවර්ධනයන් සිය කුලකුමරිය එලිනා බන්ඩාර රූපසිංහ හා අතිනත ගත් සුබමංගල්‍ය මොහොතට සහභාගි වී නව දම්පතීන්ට ආසිරි පතා එක්තරා කලාශීල්පියෙකු සිය තෙහැවිරිදි පුතු සමග පැමිණ ගීයකින් සංග්‍රහ කරන්නට යෙදිනි.
ඒ 1935 වසරේ පෙබරවාරි මස 28 වැනි දාතමිනි. මේ කලාශිල්පියා එවකට එකොළොස් හැවිරිදි දැරියක්ව සිටි රාසම්මා ඩේසි ඩැනියල්ස් හෙවත් පසුව රුක්මණි දේවි නමින් සිංහල කලා කෙත ඒකාලෝක කල යුවතියට ද ගුරුවරයෙකුව සිටි සී ඒ ෆොන්සේකාය. ඔහු එදවස වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේ සුපතළ නමක් දිනු ශිල්පියෙකි. ජිවිකාවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගරු කටයුතු නිලයක් හෙබවු බලදරුවෙකි.
ඉහත දිනයේදී එකී මංගල්‍ය මොහොතට සහභාගී වු ඔහුගේ තෙහැවිරිදි ළදරු පුතු කොම්පඤ්ඤගේ ඩැනියල් මයිකල් ඇන්තනි ෆොන්සේකා ය. පසුව ඔහු ලංකා ගුවන් විදුලිය හරහා ඔබත් මමත් අප සියලුදෙන දැනහැඳිනගත්තේ ’සී ඩී ෆොන්සේකා’ යන නාමයෙනි.
සිය පියාගේ අඩිපාරේ ගමන් කරමින් කලා ක්‍ෂේත්‍රයට පිළිපන් ඔහු ශ්‍රි ලංකාවේ මුල්ම ගුවන් විදුලි සරළ ගී ශිල්පී එකතුවේ සාමාජිකත්වය ලබන්නට වරම් ලද්දේ 50 දශකය තරම් ඈත කාලයකදීය.
කඳුකරේ කිරි ඇල්ලේනි පාවේ ....
රැළි නැගේවි තරඟ දේවී ...
පුබුදතී ගම්මානේ හෝ හෝ ....
පුබුදතී ගම්මානේ ........
පිටිසරේ විස්තරය කියා දී ...රැව් නෑගී එන රමණීය ගීතේ......
සුලඟ පවා මේ දේ කීවා... යමිය වහා වනය දිහා...
මිහිර එක්වූ - එහිම සොයලා .......
(පද රචනය - බර්ට්‍රම් දෙණිපිටිය සංගීතය - ප්‍රැට්‍රික් දෙණිපිටිය)
--------------------------------------
මෙතැනින් සවන්දෙන්න (මුල් ගීතය)
------------------------------------------
ඔහු 50 දශකයේ ලංකා ගුවන් විදුලි සේවයේ පටිගත කළ මංගල ගීත නිර්මාණයයි.
දහතුන් හැවිරිදි නවයොවුන් පාසල් දැරියක් වූ ශීලා හා පෙමින් වෙඵනු දහඅට වියැති යොවුන් සී ඩී ඇය හා අතිනත ගැනීමේ සිහිනය සැබෑකරගන්නට ඇඟිලි ගනිමින් සිටින්නට ඇත. බැතිමත් කතෝලිකයන් වූ ඔවුන් ගේ අසිරිමත් ජේසු බිළීඳු උපත සිදුවු උඳුවප් මහේ දෙදෙනා ගේ අතැඟිලි බැඳුනේ 1956 වසරේදීය.
ශීරෝමා දෙටු දියණියට පසුව ඩිලන්ත ශීරාන්, සහ දිල්රුක්ෂ නම් ලද දූ දරුවන් පෙළහි ’බඩපිස්සිය’ වූයේ ’ෂර්මිලා’ ය. ෆොන්සේකා පවුලේ දූ දරු කැළ අතරින් ඇයව නොහඳුනන 70 දශකයේ ගීත ලොළී රසිකයන් සිටිය නොහේ. ඒ අන් කවර කරුණක් නිසා නොව ඇය ’ළමා ගායිකාවක්’ ලෙස සිය ආදරණීය පියාණන් හා ගැයු අමයුරු යුග ගී රසාකරය නිසිවෙනි.
සී ඩී ෆොන්සේකා හා පුරා කියා ගැයූ සිනමා ගීතය හමුවන්නේ 1966 ඩඩ්ලි වානගුරු සිනමාවේදියා ගේ ’සැඟවුනු මැණික’ සළරුව ඔස්සේය. එහි මියැසි නාදරටා මැවිසුරු ප්‍රවිණ සංගීතවේදී ’ප්‍රැට්‍රික් දෙණිපිටිය’ සී ඩී ගේ මධූර ගුවන් විදුලි ගීතාවලියේ සංගීත සංයෝජකයා ලෙස ඉටුකළ කාර්ය භාරය පුඵල් කරමින් ඔහු සිය මිතුරාව සිනමා ගීත කලාව වෙතට කැඳවාගනු ලබන්නට ඇත.
-------------
සී ටී ප්‍රනාන්දු - සී ඩී යුගයේ ..පළමු රිදී සිණු හඞ...
-----------
පැට්‍රික් දෙණිපිටිය ගේ සංගීත රටා මෙහෙයුමෙන් උපරිම ඵල ලද අනෙක් සාමාජික ’සී ටී ප්‍රනාන්දු’ හා ’සී ඩී ෆොන්සේකා’ එකට එක්ව ගැයු වග නම්
ඈත කඳුරැළි සිඹ සිඹ දැවටිලා ...............
සීත චන්දන සිසිලක එතිලා .....
හමන මදනලයි සුවඳ බර මලයි...
කරන සුරතල් රඟදැක සැනසිලා...
( ගී පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, සංගීතය - පැට්‍රික් දෙණිපිටිය- 1967)
පසු යුගයකදී සිංහල සිනමා ගීත කලාවේ ජයදද නංවා ඇන්ජලීන් ගුණතිලක නමින් පරසිඳු ’ඇන්ජලීන් ද ලැනරෝල් මෙනෙවිය සමග ඇය ගායනයට පිවිසි මුල් යුගයේදී ’සී ඩී ’ ඇතුඵ පිරිස සමග ගැයූ සමූහ ගුවන් විදුලි ගීතයක මතක සටහන් දශක ගණනාවක් ඔස්සේ වියැකී නොයමින් අදද ජීවමානය. 50 දශකයේ ගුවන් විදුලි ගායන සංසදයේ සාමාජිකයන් ව සිටි අර් එස් මෙන්ඩිස් සහ රසීනා යකීම් ද මෙහි අත්වැල් ගායනයේ යෙදුනු පිරිස අතර විය
උඩරට මැණිකේ ...
මනහර කඳුරට තිලකේ...
කඳුරට තිලකේ මනහර උඩරට මැණිකේ....
ඔසරි මාල වළලු කූඩු හවරි ඔබට හරි හැඩයි.......
( ගී පද - කරුණාරත්න අබේසේකර, සංගීතය - ප්‍රැට්‍රික් දෙණිපිටිය )
--------------------------------
මෙතැනින් සවන්දෙන්න (මුල් ගීතය)
--------------------------------
60 දශකයේ ගායක ගායිකා සංසදයේ කැපී පෙණුනු සිඵමිණක් බඳු සී ඩී ෆොන්සේකා ට එකී තත්වය උදාකරගැනීමට ඉවහල් වු අරුත්බර රසපූර්ණ ගීත පිළීගන්වන්නට එදා ජාතික ගුවන් විදුලි සේවයේ කලාකරු රසවතුන් සැදී පැහැදී සිටියහ.
දෑස පුරා සිත නළවන ලතාවයි...
මූණ පුරා රස වෑහෙන හිනාවයි...
සිරස පුරා මල් සැරසුනු කලාවයි....
මගේ පැළට ඔබ හරි වාසනාවයි...
අහන්න රහස ළංවෙලා ...
කියන්න කණට කොඳුරලා ...
ලස්සන මුහුණ බලබලා...
සුසුම් හෙළා .....
(ගී පද ධර්ම ශ්‍රී කල්දෙරා, සංගීත නිර්මාපක - පී එල් ඒ සෝමපාල- 1967)
-----------------------------------------
මෙතැනින් සවන්දෙන්න - (70 දශකයේ වෙළඳ තැටිය)
සොඳුරු අතීත මතක අවදි කරවන ආදරණීය ගී...
ReplyDeleteස්තුතියි හදවතින් ම...
මතකයේ බිඳිත්තයි අවදි කලේ, හොඳම අවදිවීම ඉදිරි කොටස් වල අඩංගු ය.
Deleteස්තුතියි
තොරතුරු කදිමයි
ReplyDeleteගීතත් සොඳුරුයි
බෙදලා දුන්නට
ගොඩ ස්තුතියි!
සවනත පිනවයි...
Deleteහදවත පාරයි....
දෙන්නට එමටයි....
දැනගනු ලැබතෙයි....
විස්තර කදිමයි...
අමතක නොමවෙයි....
අදටත් මිහිරියි....
හෙටටත් වටිතෙයි....
අප ආශාවෙන් සවන් දුන් අපූරුව කටහඬක්. සමහර ගීත වාදනය නොවීම කණගාටුවට කරුණක්
ReplyDelete🙏
Deleteකවටකමට ඔබෙයි මගෙයි නම ලියා වගේ හදවතට දැනෙන සින්දු.
ReplyDeleteඉදිරි කොටස් වල රසවිඳිය හැකියි
Delete