namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, January 4, 2026

Sinhala music of 70s - Originals - Bagpipe music in Sinhala Songs

 ගීයක් යනු කිම?..... විමසා දැන ගනු  මැනවි... 08  බෑග් - පයිප් (ස්කොට්ලන්තය)

පැසකට වායු පුරවාගනිමින් වාදනය කරනු ලබන මෙයින් නිකුත්වෙන නාදය පෙර සඳහන් කළ කවර හෝ ශුෂිර භාන්ඩයකින් නිපදවා ගත නොහැක්කකි. එය ඇතැම්විට දේශිය පංචතූර්ය නාද සංකලනයේ හොරණෑවේ හඞ ටද නෑකම් කියයි.

අති පුරාණ ග්‍රීක ශීෂ්ඨාචාරයේදී භාවිතා වූයේ යැයි කියන ’අස්කෝස්’ නම් වූ ශූෂීර වාද්‍ය භාන්ඩය බෑග්පයිප් හී ආදි මුතුන්මිත්තා යැයි සඳහන් කෙරෙන්නේ විකපීඩියා අන්තර්ජාල වෙබ් අඩවියයි

එක්සත් රාජධානිය හා කලකදී එහි යටත් විජිත ලෙස පැවතුනු රටවල් ගණනාවක සන්නද්ධ හමුදා තූර්ය වාදන වෘන්දන්හිදී මෙම උපකරණය භාවිතා කරනු ලබන අතර විශේෂ උත්සව සහ ප්‍රසංගයන්හිදී එය නොවැරදීම කළඑළි බසී. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ හමුදා තූර්ය වාදන වෘන්දයන්හිදීද මෙම උපකරණය භාවිත වන අතර ජාතික නිදහස් දින උළෙල, රණවිරු සැමරුම් සහ වෙනත් එයාකාර රාජ්‍ය උත්සවයන්හිදීද සංදර්ශනයන්හීදීද ’බෑග්පයිප්’ හඞ නෑගි ප්‍රතිරාව නංවයි.


මෙම වාද්‍ය භාන්ඩයේ වාදන රසය ඇතුළත් කරමින් 60 දශකයේ උත්තර භාරතීය සිනමා ගීතාවලිය හැඩගන්වන්නට එහි සුරුවිරුවෝ සමත්විය. ඒ 1964 වසරේ තිරගත වූ බොලිවුඩි සිනමාවේ දැවැන්තයෙකු වූ ’රාජ් කපූර්’ ගේ ’සංගම්’ සිනමාපටයේ ගැයුනු ’මෙරෙ මන්කි ගංගා... (බෝල් රාධා බෝල් සංගම් හෝ කා කෙ නහී....) හිදී මෙම අපුරු බටහිර සංගීත භාන්ඩය වැයෙන අතර එහි ජවනිකාවන්හිදී ද ’රාජ් කපූර්’ එය වයන අයුරු දැක්වෙන වීඩීයෝ පිටපත් යූ ටියුබය පුරා ඔබට දැක ගත හැකිවනු ඇත.

ශ්‍රී ලාංකීය සිනමාලෝලීන් මතුනොව ගුවන් විදුලියෙන් ගීත ඇසූ සංගීතලෝලීන් අතර පවා අතිශයන්ම ජනප්‍රිය වූ එම ගීතය ද එකී සිනමාපටයද පිළීබඳ මතක ඡායා 70 80 90 දශක පුරා ඔවුන් අතර රැව්පිළිරැව් දුනි.

සිංහල සිනමාවේදී හෝ වෙනත් ගීතවලදී ඒ තාක් භාවිත නොවූ ’බෑග්පයිප්’ නාදයට පෙම් බැන්දේ, සමකාලීන දෝස්ති සිනමාපටයෙන් ඇසුනු ’මවුත් ඕගන්’ රාවයටද පෙම්බැඳි ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න නම් වු අතිදක්‍ෂ සංගීතවේදියා විසිනි. ’සංගම්’ ගීත රාවය නැගුණු අවධියේ සිට ඔහු එය සිය සිනමා නිර්මාණයකට ඇඳාගැනීමට අර අඳිමින් සිටින්නට ඇත. එකී සිහිනය සැබෑ වන්නට තවත් වසර පහක් පමණ ගත වු අතර සිනමාවේදී කිංස්ලි රාජපක්‍ෂ විසින් නිර්මිත ’කළණ මිතුරෝ සිනමාපටයේදී ඔහු සිය මවුත්ඕගන් සිහිනය සමග ’බෑග්පයිප්’ සිහිනයද සැබෑ කරගත්තේ සිංහල සිනමාවේ මුල්වරට ’බෑග්පයිප්’ වාද්‍ය රසය ඇතුළත් ගීයක් රසික සවනට යොමු කිරීමෙනි.


අභිමාන ධීර වීර වූ අතිජාත භූමි ලංකා ..................

ලංකා ධීර ලංකා ලංකා ධීර ලංකා ලංකා ධීර ලංකා ලංකා මාගේ ලංකා ............................

ගීතරචනා කලාවේ මහගුරු බඳු කරුණාරත්න අබේසේකරයන් විසිනි විරචිත එය ගායනා කරන්නට යෙදුනේ අල්හාජ් මොහිදීන් බෙග් ඇතුඵ කන්ඩායම විසිනි.

මෙතැනින් සවන්දෙන්න

-----------------------------


ඉන් පසුව ද ඔහු මේ ශූෂීර වාද්‍ය භාන්ඩයට බැඳි පෙම අතහැරියේ නැති බවට සාධක හමුවන්නේ 1972 වසරේ සිංහල සිනමා වංශ කතාවට එක්වූ එස් රාමනාදන් ගේ ’හිතක පිපුණූ මල්’ සිනමාපටයෙනි. විවිධ ගණයේ විවිධ රස කැන්දූ විචිත්‍ර ගීතාවලියකින් හැඩගැන්වූ එහි දොස්තර ආර් ඒ ස්පිටල් රසවතා විසින් 20 සියවසේ මුල් යුගයේ සටහන් කළ වැදි පැදි පෙළක අනුසාරයෙන් රසගැන්වූ ගීතයක් ඇතුළත්ය.



මා මෙනි මා දෙයියා දෙයියා..................

කාබෙන් පාබලයක්කම යේ ..................

යමු දෙන්නා .......

බිමින් යන්නට බොල්පිනි බැරිනම් ....

වඩනා මිමා ලණු බැඳගන්...

යමු දෙන්නා...


මෙතැනින් සවන්දෙන්න

-----------------------------

විමල් ජේ සාගර (ආචාර්ය ෂෙල්ටන් ගේ බාලසොයුරු) ඇතුඵ ගායක කන්ඩායම ගැයූ මෙහි දී ඔහු පැකිළීමකින් තොරවම ඇති පදමට ’බෑග්පයිප්’ නාදරටා වයා ගයවන්නට පෙළඹෙයි. ඒ කවරඅයුරකින් ද යත් මෙහිදී මනාව වටහගත හැකි වනු ඇත.

එපමණද ?

ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් පමණද ’බෑග්පයිප්’ රසය සිංහල ගීත රසයට හා මුසුකළේ ?

=============

ෂෙල්ටන් ප්‍රෙුමරත්න පන්ඩිත් අමරදේව සහ චන්ද්‍රිකා සිරිවර්ධන සමග 70 දශකයේ ගුවන් විදුලියේදී ගීතයක් පටිගත කිරීමට සුදානම්ව.................. මේ බොහෝවිට ඒ දෙදෙන ගැයූ ’රන්වන් රන් කෙත සිපගෙන හමනා....’ නම් වූ යුග ගීය විය හැකිය. එය ’රන්කෙතයි ගොවිදෑතයි’ ලෙස 1975 වසරේ ගුවන් විදුලියේ විකාශය වූ නාට්‍යමය සංගීත විචිත්‍රාංගය විය හැකිය. අතිශය ජනප්‍රියත්වයට පත් ගායිකා මාලිනි බුලත්සිංහල ගැයූ ’සඳමඩලේ සිට තරුමඩලේ සිට...’ ගීය ඇතුළත් වූයේද මෙම වැඩසටහනේය. එය ’මවුත්ඕගනය’ යටතේ විස්තර කරන්නට යෙදුනි.


ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ දයාබර ශිෂ්‍ය නැසිගිය මර්වින් ප්‍රියන්ත විසින් ඔහු ගේ මඟපෙන්වීම යටතේ ඒ වෙනුවෙන් අසීරූ මවුත්ඕගන් වාදන රටාවක් මැව්වේය.

====================================

වර්තා වෙන පරිදි එය එපමණය. ඒ අන් කවර කරුණක් හෝ නිසානොව, වාදකයන් සපයා උපයා ගැනීමේ අසිරූතාවය නිසා වන්නට ඇතැයි ලියුම්කරු අනුමාන කරයි. පෙර සඳහන් නළ පරිද්දෙන් ම ’බෑග්පයිප්’ වාදකයන් රැඳෙන්නේ පුහුණුවන්නේ සැරිසරන්නේ ’ත්‍රිවිධ හමුදා තූර්ය වාදක ක්‍ෂේත්‍රය පමණක් වන නිසාය. ඔවුන් ද එදා සිටින්නට ඇත්තේ අල්ප ගණනනි. එසේම බාහිර වානිජමය පටිගතකිරීම් සඳහා ඇවැසි අවසරය ලබා ගැනීම සහ කාලය මිඩංගු කරගැනීමේ අපහසුතා ද එමට තිබෙන්නට ඇතැයි සිතීම සාධාරණය. අනෙක් අතට, තත්පර ගණනක හෝ නිමේෂයක එක් සංගීත ඛන්ඩයක් උදෙසා එතරම් වෙහෙසකර කටයුත්තක නිරතවෙන්නට ඒ යුගයේ පවා සංගීතකරුවන් මැළී වන්නට ඇත. එහෙත් ෂෙල්ටන් ප්‍රේමරත්න යනු එසේ ලෙහෙසියෙන් පහසුවෙන් තමන්ට පැවරුණු වගකීම සැහැල්ලුවෙන් සළකන්නෙක් නොවන වග ඔහුගේ නිර්මාණ ගණනාවකින් පසක් කර දෙයි. ඔහු විනාඩි කිහිපයක කටයුත්තකට තම ක්‍ෂේත්‍රයේ සෙස්සන්ට වඩා දින සති මාස ගණන් වෙහෙසෙන්නට මැළි කමක් නොදක්වන චරිතයකි. 

එහෙත් ඔහු ’බෑග්පයිප්’ වාදනයට ඇඵම් කළ බව හැඟෙන්නේ මතු කී ලෙස 1971 කළණ මිතුරෝ ගීතය සඳහා එය තෝරාගෙන පසුව ’හිතක පිපුණු මල්’ වෙනුවෙන්ද එය වාදනය කළ බැවිනි.

මෙයින් නැගෙන හඞ විසින් ලියුම්කරු කැඳවාගෙන යන්නේ පෝදාක විහාර බිමකටයි. ඒ එය තරමකට පංචතූර්ය නාදයේ ’හොරණෑ’ වට නෑකම් කියතැයි සිතෙන බැවිනි. 

බෑග්පයිප් වාදනයක් හසුකරගැනීමට සිංහල ගීත කොපමණ ප්‍රමාණයකට සවන්යොමුකරයුතුවේද ? අපැහැදිළිය. එවන් ගීත තවත් හමුවේනම් මේ ලිපිමාලාවේ අතරතුර මා ඔබට නිසැකවම එය මතුකරදක්වමි. එය සපථ කරමි.

------------------------------------------------------------

මෙතැනින් ඉදිරියට ඉදිරි දිනක......

2 comments:

  1. අගෙයි... ස්තුතියි ප්‍රභාත්.

    ReplyDelete
  2. අප අසා ඇති පැරණි මිහිරි ගීත ඒ මුල් ස්වරූපයෙන්ම ඇසීමෙන් අපට දැනෙන සතුට තෘප්තිමත් කිරීම වෙනුවෙන් ඔබ කරන්නේ ලොකු සේවයක්. ස්තුතියි.

    ReplyDelete