මර්සලිනු ජයකොඩි පියතුමා - සුනිල් සාන්ත - එඩ්වින් සමරදිවාකර - කරුණාරත්න අබේසේකර - ප්‍රේමකීර්ති ද අල්විස් යුගයක විසිතුරු - (1956-1976)
ගී කව්පද රචනය ඇතුඵ වෙනත් සාහිත්‍ය රචනයන්හිදී කව්‍යාලාංකරණය තුලින් පරිසර වැනුම් සඳහා යොදා ගන්නා බස් වහරේ නිතර උපයෝගී කරගන්නා සත්ව වර්ග නාමයන් කිහිපයකි
(රණ) මොනරා හෙවත් රණමයුරා (රණ) හංසයා හෙවත් රණතිසරා - සැළලිහිණියා ආදී මෙකි නොකී පක්‍ෂීන්ද මුව - වගවළස් - සිංහ ආදී සිවුපාවුන්ද නයා පිඹුරා වැනි උරග ගණ නාමද ඒ අතර වෙති
සත්ව මළකුණු බුදින පිළිකුල් සහගත උරග සමාජිකයා කබරයා එනම් කබරගොයා ඉහත සත්ව ගණයා හා නොපෑහේ ඔහු සිංහල සාහිත්‍ය වංශ කථාවේ හමුවන චරිතයක් නොවුවද හෙළ ජන ගීයේ නොසඳහන් නොවේ
ටිකිරි ටිකිරි ටිකිරි ලියා - කලෙත් අරන් ළිඳට ගොයා......
ළිඳ වටකර කබරගොයා - කකුල කාපි දියබරියා.....
යන මේ අතිශය ජනප්‍රිය ජන කවිය අනුව යමින් වරෙක හෙළයේ මහා ගාන්ධර්ව ගුරුදෙවි සුනිල් සාන්තයන් මෙසේ ගැයුවේය
ටිකිරි ටිකිරි ටිකිරි ලියා - කලෙත් අරන් ළිඳට ගොයා....
ළිඳ වටකර කබරගොයා - ටිකිරි දැකලා පැනලා ගියා.....
ටිකිරි - ටිකිරි - ටිකිරි - ටිකිරි - ටිකිරි - ටිකිරි - ටිකිරි මලී.......
--------------
සවන්දෙන්න
ගුවන් විදුලියේ ඊර්ෂ්‍යා පරවශ බලවේග විසින් 1950 දශකයේ උදාවේදී නෙරපා හැරි ඔහුගේ 60 දශකයේ අවසන් භාගයේ සිදුවූ පුනාරාගමනයේදී බිහිවු මෙම ගීතය එදා යුගයේ රසිකයන් ගේ ගී පවස සංසිඳවු නිර්මාණ අතර නිති රැඳී පැවතිනි
එහෙත් ඊට පෙර ඉහත මුල් ජන කවියේ ආභාෂය ලබමින්දෝ ස්‌වර්ගස්‌ත ගරු මර්සිනු ජයකොඩි එනම් පන්සලේ පියතුමා ලෙසින් විරුදාවලිය ලද එකම කතෝලික පැවිදි උතුමා සිය සමිප ඇසුර ලැබු සුනිල් සාන්තයන්ගේ මියෑසි රටා අනුව මෙසේ ලියා තැබුවේය
කබරගොයා උගේ සුරතලී - සෙයා ඇදේ නගා දියසුළී......
නැඹුරු වි බලා කුඩා සුදුවළා - ඔබේ රුවට වශී වෙලානේ....
යමු නැළවිල්ලේ නැළවිල්ලේ - නැළවිල්ලේ....
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ.....
ඒ රසිකයන් බොහෝ දෙනෙකු දැනුවත් පරිදී ශ්‍රී ලාංකීය ප්‍රථම අව්‍යාජ හෙළ ගැමි සංස්‌කෘතිය විදහා පෑ සිනමා සිත්තම වු ආචාර්ය ලෙස්‌ටර් ජේම්ස් පීරිස් ගේ රේඛාව වෙනුවෙන් ඔහුගේ බලවත් ඉල්ලීම පරිදි එහි සත්සර මිහිර මවන්නට එකගත්වය පළකල සුනිලුන් ගේ කොන්දේසියක් අනුවය
ඉන් දශක දෙකකටද පසුව එදා නව පරපුරේ යොවුන් ගී නාදයෙන් යව්වන රසිකයන් මන්මත් කල වික්‌ටර් රත්නායක ගේ ගීයකට පද මුසුකල ප්‍රේමකීර්ති ද අල්විස් ද අඩුවැඩි ලෙසින් සිය පුර්වගාමීන් කළ කි දෑ ගුරු කොට ගන්නට ඇත
ළිඳ ලගටා යන්ට එපා දියබරියා කයි - වැට ලගටා යන්ට එපා කබර ගොයාඑයි.....
ගග ලගටා යන්ට එපා අභිමානා එයි - ගම හැරදා යන්ට එපා මා මෙහි තනිවෙයි......
----------------
සවන්දෙන්න
රේඛාව රිදීතිරයේ ඇඳී තෙවසරක ඇවෑමෙන් එන්ම 1958 වසරේදී කළඑළි බට දස්‌කම සිනමා සිත්තමේදී මෙසේ ඇසුණු ගී හඞකි
බඩ බිම තියා - තියා - යනවා - යනවා - කබරගොයා ............................
මනමාලියේ වෙලේ පිළිහුඞු හාමිනේ - මට තේරුනා බැලු කාරනේ ........................
ගොයම් පැසිලා කුඹුරේ - රන්වන් කරල් පැසීලා දිලේ ...................
හෝ හෝ ... රන්වන් කරල් පැසීලා දිලේ .............................
----------------
සවන්දෙන්න
Music File Hosting - Play Audio -
ගී පද රචනා කලාවේ අටවැනි වස ගතකරමින් සිටි කරුණාරත්න අබේසේකරයන් එසේ ලියා තැබුවේ රේඛාවෙන් සිය කෝකිල නාදය නැංවු යව්වනිය ඉන්ද්‍රාණි විජයබන්ඩාර වෙනුවෙනි
එවකට ප්‍රේක්‍ෂක ප්‍රවණතාවය වු ද්‍රවිඩ වට්‌ටෝරු සිනමාවෙන් නොමිදුනු මෙකි නිර්මාණය ද දක්‍ෂිණ භාරතීය අධ්‍යක්‍ෂ නීලකණ්‌ඨන් ගේ වල්විලේ ඔරුනාල් කතා පුවතේ අනුකරණයක් බව මහඇදුරු සුනිල් ආරියරත්න විසින් සඳහන් කර ඇත ලාංකීය මුල්ම සිනමා වෘතාන්තය වු කඩුවුනු පොරොන්දුව අධ්‍යක්‍ෂණය කල ඉන්දීය ජාතික ජ්‍යෙතිෂ් සිං එය මෙහෙයවනු ලැබීය
සිමාසහිත සිලෝන් තියටර්ස් වෙනුවෙන් මුල් යුගයේ විකට නඵවෙකු ලෙස ජනාදරයට පත් බර්ට්‍රම් ප්‍රනාන්දු එහි නිෂ්පාදන අධිකාරි ලෙස කටයුතු කලේය
මේ සටහනේ පුර්වීකාව මෙසේ අවසන්කරමින් පිවිසෙන්නේ මේ සුමධුර නාදමාලාවේ නිමැයුම්කරුවා ගේ පුවත කියාපානු පිණිසය
ඔහු යව්වනවිය පසුකර යන්නටද පෙර මෙහෙවර නිමා නොකර නික්‌ම ගිය සංගීතඥ එඩ්වින් සරමදිවාකරයන්ය
1916 වසින් ඇසළ මස 22 දිනදී බස්‌නාහිර පළාත්බද වත්මන් ගම්පහ දිස්‌ත්‍රික්‌කයට අයත් කටාන ග්‍රාමයේ ජන්ම ලාභය ලැබු සමරදිවාකර ඒ දිස්‌ත්‍රික්‌කයේ අනෙත් අන්තයේ දොම්පේ පැලහැල වලව්වේ විලියම් සමරදිවාකර සහ කටානේ පී ඩී එලිසබත් දම්පතීන්ගේ පුතණුවන්ය
කිතුණු ජනසංයුතියෙන් සාර වූ මීගමුවේ කිතුගොස නැංවු මාරිස්‌ටෙලා විදුහලින් අකුරු කල හෙතම සිය පියාණන්ගේ වයලීන් වාදන මිහිරෙන් මන්මත්ව ආත්මීය ජන්ම වාසනා මහිමයෙන් ලද ශිල්පීය ඥානය උපයෝගී කරගනිමින්දෝ ගුරු ඇසුරකින් තොරවම ජපන් හා ඉන්ග්ලිෂ් මැන්ඩලීනය හැඞවීය
සුප්‍රකට සඳලංකාවේ සුබසිංහ පවුලේ සාමාජික ටියුඩර් සුබසිංහ රාළහාමි ගේ මග පෙන්වීමෙන් නයිනමඩමේ ජේ කේ එස් පෙරේරා නම් සංගීත ගුරුවරයා යටතේ ක්‍රමවත්ව සංගීතය හැදෑරිය
වද්‍ය භාන්ඩ ඇසුරේ විවිධ අත්හදාබැලීම් කරන්නට නොහිම් ආශාවකින් පෙළෙන්නට වූ හෙතම වරෙක ජපන් මැන්ඩලීනයක් වයලීනයේ අඵවෙන් වයන්නට උත්සහ දැරීය
එක්‌තරා දිනක ගුවන් විදුලියෙන් ඇසුනු සුමියුරු වාද්‍ය සංගීතයකි සිදුවිය යුතු ලෙසම ඊට වද්‍ය වෘන්දයක සහය ලැබිය යුතුය යමෙකුට එසේ හැගී ගියද ඒ වැඩසටහන මෙහෙයවු ප්‍රවිණ පුරෝගාමි නිවේදක ඩී ඇම් කොළඹගේ එසේ නොවීය එය ඔහු දෙබැම හකුඵවාලු විස්‌මයජනක දසුනකි
එක්‌තරා යව්වනයෙක් සිය පාදයක ගෙජ්ජි වැලක් රුවාගෙන එය හඞවන්නේ අතදැරි වයලීනය වයමින් නර්තනයක යෙදෙමිනි වහා ගොස් අසල තිබු මැන්ඩලීනය ගෙන එය වයන්නට පටන් ගත්තේය යළිත් වයලීනය අතදරා එය වයන්නට විය ඔහු අන් කිසිවෙක් නොව මේ යව්වන එඩ්වින් සමරදිවාකරය
ටියුඩර් සුබසිංහ රාළහාමි ගේ ආශීර්වාදයෙන් භාරතයේ ශාන්ති නිකේතනය වෙත යොමුකරනු ලැබු සමරදිවාකරයන් ගේ අභිනව ගුරුවරයා වුයේ සුසිල් කුමාර් හංජා චෞද්රිය
එහි ශිල්ප හදාරනු පිනිස සැපත් වු භාරතයේ යසිසුරු ලත් ප්‍රභූ පවුලක සාමාජිකාවක් වු ප්‍රීතී ඝෝෂ් සුප්‍රකට ටාටා සමාගමේ ඉංජිනේරු සිය පියාණන් ඇතුඵ පවුලට එරෙහි වෙමින් සමරදිවාකරයන්ගේ සෙවණ ද රැකවරණයද පැතීය
විනයවිරෝධියෙකු බවට පත්ව තාගෝර් සෙවණින් නෙරපා හරිනු ලැබ සිටියදී චෞද්රි ගුරුවරයා සිසු දරු පෙම් උපදවා සිය ප්‍රියතමයා වෙනුවෙන් මැදිහත් වහා මැදිහත්විය
හෙළද්වීපය නිදහස් අරුණඵ ලැබ වසරක ඇවැමෙන් පෙරළා පැමිණි මේ නවයුවල බටහිර වෙරළ තීරයේ නගාරාශ්‍රිතව සංගීත පාඨමාලා ඇරඹීය
ඔහුගෙන් ස්‌වරඥානය ලබන්නට වසනා මහිමය ලද්දෝ අතර පසුව හෙළ ගීතයට අපිරිමිත සේවයක් කල ලයනල් අල්ගම සහ ශාන්ති දිසානායකද මෙන්ම ජේර්ජ් පල්ලේවත්ත එච් එම් පියසේන වැන්නෝ ද සිටියහ
ලංකා ගුවන් විදුලියේ ස්‌ථාවර වාද්‍ය වෘන්දයක පහළවීම සිදුවුයේ සමරදිවාකරයන් ඒ හා බැඳුනු 1952 වසරේ දීය ඒ වනවිට සුනිල් සාන්ත නම් මහා ගාන්ධර්වයාද එයින් නික්‌ම ගොස් සිටියේය
මේ වාද්‍ය වෘන්දයේ සාමාජිකයන් අතර
ජේ ඒ පොඩි අප්පුහාමි - (තබ්ලා) - ගායන ශිල්පී ජේ ඒ මිල්ටන් පෙරේරා ගේ පියාණන්
ඇම් ඒ පියදාස - (වයලීන්)
සදානන්ද පට්‌ටිආරච්චි (දිල්රුබා)
ඒ ජේ කරීම් - (ක්‌ලැරිනට්)
ඩී ඩී ඩැනි - බටනලා
යන පසුව හෙළ ගීතය පොබකරන්නට දායකත්වය දැක්‌වු සාමාජිකයන් ගෙන් සමන්විත විය
ශ්‍රී චන්ද්‍රරත්න මාණවසිංහයන් ඇතුඵ කන්ඩායම මේ යුගයේ එනම් 50 දශකයේදී ගුවන් විදුලියේ නවාංගයක් වු ගීතනාටක රචනා කිරිමේ යෙදී සිටියහ ඔහුගේ සෝණගං තීරය ගීත නාටකය මියෑසි නාද රටා සමරදිවාකරයන්ගෙනි ගැයුම පුෂ්පාරාණී ආරියරත්නගෙනි
සුළග හමා ළපලු නටයි - රහස් කියා ආදරේ
ලලිත ලතා මඩුලු පෙනෙයි - සෝණ ගගේ ගං තෙරේ
සවන්දෙන්න
මෙකී දශකයේදී ගුවන් විදුලියේ රවින්ද්‍රනාත් ඨාකුරයන්ගේ ගීත ගැයූ වංග ජාතික ප්‍රිතී ඝෝෂ් - එඩ්වින් කැදැල්ලට එකඵ කලේ ග්ලැඩ්වින් සහ ඩොනල්ඩ්ය
තමා පෞද්ගලික දිවිය හා ගීත කලාව එකක්‌ම ලෙසින් සැලකු සමරදිවාකරයන් දිවා - රෑ ඒ වෙනුවෙන් ගතකලේය නිදිවැරුවේය හෘදරෝග සම්බන්ධයෙන් ලැබුනු අනතුරු හැගවීම් නොතකා හරිමින් සිය සුපුරුදු දිනචරියාවෙන් බැහැරව යන්නට අදිමදි කලේය
ළමාකාලයේ සිට සිහින මැවූ ලෙස සංගීත ශිල්පයේ විවිධ අත්හදා බැලීම් පුඵල් කරමින් දිල්රුබාව සහ එස්‌රාජයේ මුලධර්ම එකමිටට මුසුකරවා තැනු වාද්‍ය භාන්ඩයට දිල්රාජ් යෑයි නම් තැබිය වරෙක සාම්ප්‍රදායික පංච තුර්ය නාද මන්ඩලයේ වාද්‍ය භාන්ඩයක් වූ හොරණෑව වඩාත් ක්‍රමවත් කරන්නට පියවර ගත්තේය
මේ යුගයේ හෙළයේ මුල් පිටුව හොබවමින් සිටියේ එහි පහළ වූ අභිනව දේශපාලන පක්‍ෂය එනම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයේ පුරෝගාමියා වු එස් ඩබ්ලිව් ආර් ඩී බන්ඩාරණායක සිරිමතුන්ය සහසිකයෙකු ගේ වෙඩි පහරකින් මෙළොව දිවිය නිමා කරන්නට සිදුවු ඔහු වෙනුවන් සෝ ගී මාලා ලියෑවිනි ගැයිනි ඊට සුනිල් සාන්තයන් ද තවත් අයද සහභාගි වෙද්දී ස්‌වර රචනයෙන් දායකවන්නට සමරදිවාකරයන් වර ලැබීය
එතැන් සිට දොළාස් දිනක් සටහන් කරමින් හිරු නැග බැස යද්දී දිනක ගුවන් විදුලි කාර්යාලයේ යළිත් සෝ සුසුම් මාලා රැව් දෙන්නට විය ඒ එහි වාතලය සිසාර දිවගිය ගී හඞ අතරේ මුසුවෙමින් ඇදිගිය එඩ්වින් සමරදිවාකරනම් මේ ජවසම්පන්න ප්‍රතිභාපුර්ණ ගාන්ධර්වයාගේ අවසන් සුසුම් පොද වෙනුවෙනි ඒ 1959 වප් මසින් 08 වැනි දාතමිනි
ඒ කුටුම්භයේ දරුකැළින් තෙවැන්නාගේ ආගමනය සිදුකරනු වස් සිය මව්පිය තුරුළට වන් ප්‍රිති ඝෝෂ් හෙවත් සමරදිවාකර පතිනිය දරාගත නොහි කම්පිතව සිය සැමියාගේ දේශයට වෙත අවසන් වරට පියනැගුවේ ඔහුට සමුදෙන්නටය
සිය පෙම්බර සැමියාණන් පණ සේ සුරැකි වාද්‍ය භාන්ඩ ඔහුගේ ම ගෝල පිරිස වෙත පරිත්‍යාග කලේය ඔහු නිදන තැන ස්‌මාරකයක් ගොඩනගා මතු කිසිදින ලක්‌දිව පා නොතබනු පිනිස සිය මව් භුමිය වෙත නික්‌ම ගියාය
සිය පියාණන් ගේ උනුසුම් සුව පහස ලබන්නට වරම් නොලද දියණිය රූමා පිළිබඳ නොපැහැදි මතකාඅවර්ජනය සිදුකලේ සමරදිවාකර ගෝල පිරිස විසිනි
එඅයුරින් අකලට මිලිණව ගිය අමිල හෙළ ගී කුසුම එඩ්වින් සමරදිවාකරයන් පිළිබඳව පසුදිනක ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් මෙසේ ලියා තැබූවේය
ඔහුගේ ඇගපත පුරා සංගීතය කිඳි රැඳී විහිදී තිබුණේය එය එහෙම පිටින්ම මධූර මෝහනයකි
සමරදිවාකර වැනි කලාකරුවන් කවර ජාතියක වුවද පහල වන්නේ කලාතුරකිනි කලාකරුවෙකු තුල සහජයෙන්ම තිබිය යුතු සියඵ දස්‌කම් සමග නියම ගති ගුණ ඔහු තුල තිබුණේය
ඔහුගේ චරිතයත් සංගීතය මෙන්ම මිහිරිය ඔහුගේ කථාබහ ඉක්‌මන්ය වැඩකටයුතු ඉක්‌මන්ය ඓහෙත් ඒ සියල්ලේම ව්‍යක්‌ත භාවයක් තිබුනේය
ඔහුගේ අභාවය ගැන සැළවෙනවාත් සමගම ඔහුගේ පූණ_ ප්‍රභාවයෙන් යුතු අවසන් දර්ශනය මා සිත ඇඳි ගියේය කඵදු දහරා ගලා ගියේය මිහිරිතම කලාකරුවෙකුගේ මළගමය ඒ
එඩ්වින් සමරදිවාකරයන් විසින් තනු නිර්මානය කරන්නට යෙදුනු එකම සිනමා සිත්තම වු දස්‌කම වෙනුවෙන් ඔහු තැනූ සියඵ ගී සය දශකයක ඇවැමෙන් අදද එදාමෙන් එකසේ දිවමන්ය නිති නිති රසික හද පිනවයි සුභාවිත ගී රසය පොබයයි) ඒවායේ සියඵ ගී පද රචනා නැසිගිය කරුණාරත්න අබේසේකරයන් වෙතිනි ඔහු ඇදහු පිළිපැදී බුදුදහමේ ඉගැන්වෙන අනියත බව මතුකර දක්‌වන්නට එයින් උත්සහ කොට තිබේ
මඩ දිය පිපුණට - පිරිසුදු කිරිසුදු ඕලු.....
රජ සිටු දූවරු - වරළස පළඳා ලංකාර වේදෝ......
(ජී එස් බී රාණි පෙරේරා)
--------------
සවන්දෙන්න
ඉපිද මැරේ යළි ඉපිදේ - නොතිර සසර සාගරේ.......
නොතිර සසර සාගරේ - අතරතුරේ නෙමැරි මැරේ දස දහස් වරේ......
නිසල නැසේ සසල වෙතේ - නෙතිර සසර සාගරේ..........
(පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේව)
---------------
සවන්දෙන්න
(උපුටාගැනීම හා සේයාරූ සහ වැඩිදුර විස්‌තර සඳහා - ගාන්ධර්ව අපදාන -03 - මහචාර්ය සුනිල් ආරියරත්න)
(හෘදයාංගම ස්‌තුතිය - මහඇදුරු සුනිල් ආරියරත්න වෙත)
ela
ReplyDeleteතවත් සින්ඩියක් http://sithuwilisatahan.com
රසවත් මතක සුවඳ අපට ගෙනෙන ඔබට මාගේ උත්තමාචාරය
ReplyDeleteවිචාරක දියණිය
ස්තුතියි විචාරක දියණිය !
ReplyDeleteඅදයි මෙහි පිවිසුනේ. වැදගත් කරුණු රැසක් ඇතුළත් ලිපියක්. අවස්ථාව ලැබෙනයුරින් පිවිසෙන්නම්.
ReplyDeleteස්තුතියි.
ඔබට ජය!
ස්තුතියි ඔබතුමාට ...!
Delete