namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, May 8, 2018

ප්‍රවිණ සංගීතඥ පියදාස අතුකෝරාළ වැයුම් මැවුම් අසිරියෙන් බිදිත්තක් ....


එදා වැයු ඒ වෙණ නද ඇසේවා අදත් හෙටත් .............02 වැනි  දිගැහැර‍ැම

එසේම ලක්‌දිව් වැසි ගී රසික සහෘදයන් සොයා ඒක ද්වි පුද්ගල සජීවී වේදිකා ගී ප්‍රසංග කලා අත්දැකීම් පියඹා එන්නේ 70 දශකයේ උදාවේදීය පන්ඩිත් අමරදේවයන් ගේ ශ්‍රවණ රමණී අමරදේව නන්දා මලනී යුගල ගී ඇතුළත් වූ ශ්‍රවණ ආරාධනා මෙන්ම ශිල්පී සනත් නන්දසිරිගේ සවර්ණ කුන්ඩල හා අති දැවැන්ත මහරු ස ප්‍රසංගය සිතාර් වාදනයෙන් සරසවනු පිනිස ඔහුගේ නොමසුරු දායකත්වය ලැබිනි
















-----------------------------------


පියදාස අතුකෝරාළ ශබ්දාගාරයේ  පටිගතකිරීමකදී

සේයා‍‍‍ර‍ැව වමේ සිට

වයලීනය  - එම් කේ රොක්සාමි

බොක්ස් ගිටාරය - ‍ගායන ශීල්පී ග්‍රේෂන් ආනන්ද (රොක්සාමි ට පිටුපසින්)


තුන්වැනි වයලීන වාදකයා -ගායන ශීල්පී  මර්වින් පෙරේරා

සිතාර් වාදක - පියදාස අතුකෝරාළ
-----------------------------------------


එදවස ගුවන් විදුලිය ලාංකීය ශ්‍රාස්‌ත්‍රිය සංගීතය හදාරණ විද්‍යාර්ථින්ගේ ගේ මෙන්ම රසිකයන්ගේ ද තෝතැන්නක්‌ විය හුදු විනෝදාස්‌වාදය පිනිස නොව අධ්‍යයන කටයුතු උදෙසා ගායන-වාද්‍ය සංගීත වැඩසටහන් විකාශය කිරිමේ වැදගත්කම මෙන්ම ලාංකීය සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රගමණය උදෙසා එසේ දායක වීම සිය වගකීම බව වටහගත් වෘත්තියවේදීන් එහි මුලසුන් අරා සිටියහ 

එවැනි වැඩසටහන් එක්‌තැන් කරමින් නිකුත් වූ සංගීතාංජලී කැසට්‌ පටයේ නැගෙන්නේ ද පියදාස අතුකෝරාළ සිතාර් වාදන රසමිහිරයි 

එමතුදු නොව හෙළයේ මහා නිළි - ගායිකා රැජිනිය වු රුක්‌මණි දේවියගේ නමින් එළිදුටු වැයූ ගී රාවයේ රාව නිම්නාදයන්ද ඔහුගේය

ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ රසරාව නැංවු ගාන්ධර්වයන් රැස අතරින් වැඩිමනත් පිරිසක්‌ සිය ශීල්පීය ප්‍රවිණතාවයේ හිනිපෙත්තට පිවිස සුමධුර මෝහනීය තනු නිර්මාණ සහ සංගිත නාදරටා මැවූහ එහි නිමැයුනු නෙකාකාර සංගීත වැඩසටහන් සඳහා ඒවා මුසු කළහ

හෙළ සලරූ වංශයේ අතුකෝරාළ නාමය සටහන් නොවන්නේ නොවේ  එදාමෙදා තුර එහි බිහිවු අති විශිෂ්ඨ නිර්මාණ පසුබිමේ ඔහුගේ සිතාරයේ සියුම් තත් හැඞවෙනායුර ගෙනහැර පාන්නට

එදා ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ නියමුවා වු මහා සංගීතඥ සෝමදාස ඇල්විටිගලයන් ගේ මෝහණිය සංධවනිය ක්‌ ම වු  සත් සමුදුර (1967) සළරුව වෙනුවෙන් පන්ඩිත් අමරදේව ගැයු සේකරයන් ලියූ


සිනිඳු සුදු මුතු තලාවේ

 හා

පිපුණු කුසුම පරවුනා 


සේම

ආචාර්ය ලෙස්‌ටර් ජේම්ස්‌ පිරිස්‌ ගේ ගොඵ හදවත සිනමා රූ ගොණුවේ පසුබිම් සංගීත ඛන්ඩ මෙන්ම තිස්‌ස ලියනසුරිය ගේ සාරවිට වාද්‍ය ඛන්ඩ 

ධර්ම ශ්‍රී කල්දේරා ගේ රෑණ ගිරවු වාද්‍ය මිහිර 

පමණක්‌ නොසෑහේ ඊට දක්‍ෂිණ භාරතීය කර්ණාටක ගී ආරේ විශේෂඥ සංගීතඥ නැසිගිය රාමයියා මුත්තුසාමි ගේ සත්සර පෙළගැස්‌ම පණපෙවූ  පහත සටහන් කෙරෙන ගී මුතුමිණ ද එක්‌විය යුතුමය මෙහි හෙළයේ එදාමෙදා තුර පහළ වු එකම මහා නිළි රැජින - ගායිකාව වු රුක්‌මණි දේවියගේ හඞ පසුබිමින් රැව් පිළිරැව් දෙන්නේ පියදාස අතුකෝරාළ පරම රමණිය සිතාර් නාදරටාවන්ය පද රටා කරුණාරත්න අබේසේකරයන්ගේය එය එසේ වැයෙන්නේ ගැයෙන්නේ  අදියුරු එස්‌ රාමනාදන් ගේ සම්පත (1966) රිදීතිර දසුන් කථාංගය රසවත් කරනු පිණිසය

සිතාරේ ............. සිතාරේ......

සිතාරේ ...සිතාරේ ....සිතාරේ .....

අතැගිලි පිරිමදින හඞට වයන සිතාරේ - නගන සිතාරේ.....

සිතාරේ ...සිතාරේ ....සිතාරේ ..............

---------------------
සළරුව - සම්පත

මහජන ප්‍රදර්ශනය 1966 සැප්තැම්බර් 11

පද සංකල්පනාව - නැසිගිය කරුණාරත්න අබේසේකර

තනු නිර්මාණය - නැසිගිය ප්‍රවිණ සංගීතඥ රාමයියා මුත්තුසාමි

ගායනය - නැසිගිය - ප්‍රවිණ ශිල්පිණි රුක්‌මණී දේවි
---------------------------------------------

මෙතැනින් රසවිඳින්න



පන්ඩිත් අමරදේව - ආචාර්ය කේමදාස - ෂෙල්ටන් ප්‍රේමරත්න - සරත් දසනායක - සිසිර සේනාරත්න - එම් කේ රොක්‌සාමි  - රමයියා මුත්තුසාමි - මෙල්රෝයි ධර්මරත්න - ක්‌ලැරන්ස්‌ විජේවර්ධන ප්‍රමුඛව එදමෙදාතුර හෙළ ගී කලාවේ උත්කර්ෂනය වෙනුවෙන්  උරදුන් සියඵ සංගීතවේදීන් මේ අපුර්ව සිතාර් වාදකයා සොයා ආවේ සිය නිර්මාණයන්හි ඔහුගේ වැයුම් රටා ඇතුළත් කරනු රිසියෙනි 


අතුකෝරාළයන්ගේද  ඉහත කී  සියඵ වැයුම් නද පරයා ඉස්‌මතු වන්නේ ඔහුගේ අමරණීය ගී තනු සමුච්ඡයයි ඒ තතු විමසා බලනු පිනිස  1967 වසර තරම් ඈත යුගයකට පිය නැගිය යුතු වේ 

නවරජය කිරුඵ පැළඳ ගතවී ඇත්තේ දෙවසරකි එහි ආර්ථික ප්‍රතිපත්ති ප්‍රවර්ධක සංගීතමය විචිත්‍රාංග සහ වැඩසටහන් දියත් කිරීමේ මුලීක වගකීම පැවරී ඇත්තේ දිවයිනේ එකම විද්යුත් මාධ්‍යය වු ජාතික ගුවන් විදුලිය වෙතයි

ඒ වෙනුවෙන් කළඑළි බට වැඩසටහන් අතර සුවිශේෂී සංගීතමය රසකලස නම් කෙරුණේ එඩීතර ලංකා ලෙසිනි  සංස්‌ථාවක්‌ ලෙස අබිසෙස්‌ ගැන්වූ අභිනව ගුවන් විදුලියේ මුල්‍ය ප්‍රතිපත්ති වඩාත් නම්‍යශීලිය සිය වැඩසටහන් හි ගුණාත්මක බව රැකගනු සඳහා නිෂ්පාදකවරුන්ට බාහිර ශීල්පීන් ගේ දායකත්වය රිසි සේ ලබාගැනීමේ  වරය හිමිය  

වඩාත් ප්‍රශස්‌ත ගී පද රචනා ද ගී රසගැන්වීමේ බාහිර වාද්‍ය ශිල්පීන්ද කැඳවිනි මේ අතරට අතුකෝරාළයන්ගේ මනෝහර නාදරටා හා අත්වැල් බැඳගත්තේ ඔහුගේම රමණීය තනු නිර්මාණ පෙළකි ඒ ප්‍රවිණ පුවත්පත් කලාවේදී කිවිවර තලංගම ප්‍රේමදාස ගේ පද ගෙතුම් වෙනුවෙනි


න් විමනේ දොර ඇරිලා - රන් වරුසා බිම හැලිලා.....

රන් ගොයමේ කිරි වැදිලා - සොම්නස්‌ ගග ගලනවා.....

ජීවන සරු පස මැද්දෙන් - සොම්නස්‌ ගග ගලනවා...........

---------------------------
නිෂ්පාදනය - ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්‌ථාව - වෙළඳ සේවය

වැඩසටහන - එඩිතර ලංකා - 1967

පද - නැසිගිය තලංගම ප්‍රේමදාස

තනු රටා සහ වද්‍ය සංගීත මුසුව - පියදාස අතුකෝරාළ

ගායනය - රෝහිත විජේසූරිය - ලාලනී සෝමසිරි - අතුල සෝමසිරි  ඇතුඵ පිරිස ?
-----------------------

මෙතැනින් රසවිඳින්න



ඒ වැඩසටහනේ ඒ ළය ඇසුරේ අතුකෝරාළයන්ගේ සත්සර විචිත්‍රත්වය යළිදු මතුවෙන්නේ මෙයාකාරයෙනි



හේළී හෙළ හැගුම් රැගනිවු  - හේළි හෙළ බසින් සුරැකෙව්.....

හේළී හෙළ බසින් සැරසෙවු - හේළී හෙළ බිමේ හෙළ බිමේ....

සර ලක්‌ පොළෝ අගලක්‌ - නෑර සත් ඵලින් ඵලවත්.....

නීල කෙත් වතින් පවසවු - හේළි හෙළ බිමේ......


---------------------------
නිෂ්පාදනය - ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්‌ථාව - වෙළඳ සේවය

වැඩසටහන - එඩිතර ලංකා - 1967 ?

පද - නැසිගිය අරිසෙන් අහුබුදු ශූරීන්

තනු රටා සහ වද්‍ය සංගීත මුසුව - පියදාස අතුකෝරාළ

ගායනය - රෝහිත විජේසූරිය - ලාලනී සෝමසිරි - අතුල සෝමසිරි  ඇතුඵ පිරිස ?
-----------------------

මෙයින් සවන පිනවා ගන්න  මෙතැන ක්ලික් කර පිවිසෙන්න

-----------------------

යළිදු වරෙක පසු දිනක තලංගම පෙම්දස්‌ පන්හිඳෙන් ගලා ආ  දේශවාත්සළ්‍යය -  අබිමන -  ගර්වය පොබයන මෙවදන් පෙළ වෙනුවෙන් ඔහු මුසුකළ මියෑසි රටාවට වසග නොවන්නෝ කවරහුද ?



රත්නදීප රත්නදීප ලංකා දීප සෝබනී - .......

රත්නදීප රත්නදීප ලංකා දීප සෝබනී - ........

ස්‌වර්ණ දීප රත්නදීප  - ස්‌වර්ණ දීප රත්නදීප .......

ලංකා දීප රාජනී  - ලංකා දීප රාජනී  ..............

---------------------------
නිෂ්පාදනය - ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්‌ථාව - වෙළඳ සේවය

වැඩසටහන - එඩිතර ලංකා - 1967

පද - නැසිගිය තලංගම ප්‍රේමදාස

තනු රටා සහ වද්‍ය සංගීත මුසුව - පියදාස අතුකෝරාළ

ගායනය - රෝහිත විජේසූරිය - ලාලනී සෝමසිරි - අතුල සෝමසිරි  ඇතුඵ පිරිස ?
-----------------------

අසන්න මේ සුන්දර නිර්මාණය මෙතැනට පිවිස


මේ සියඵ තනු එකම ළයමානයකින් සුසැදී බව පෙනීයයි එය සුවිශේෂීය එපමණක්‌ද ඒවා ඒ යුගයේ යොවුනන් අතර දසත පතලව උන්මාදයක්‌ බවට පත්ව තිබු බටහිර කැලිප්සෝ කන්ඩායම් ගී රසය මතුකරයි එනමුදු පෙරදිග සංගීත සම්ප්‍රදායෙන් බැහැර නොයයි මෙකි කරුණු නිසාද මේ ගී පෙළේ අනන්‍යතාවය සුරැකෙයි මතුවෙයි ප්‍රකට වෙයි

මේ නිර්මාණ බිහිවන යුගයේ යොවුන් වියේ පෑළ දොර පියමං කරමින් සිටි අප සංගීතවේදියා සිය ඇසුරේ වද්‍ය තත් සිප් සත හැදෑරූ සිය ප්‍රියතම සිසුවිය වෙත  ජීවන තත්පෙළ නංවනු පිනිස ඇරයුම් කලේය ඇය කමලා නවගමුව මෙනෙවියයි 

තිස්‌වසක ගුවන් විදුලි වැයුම් දිවියෙන් සමුගෙන යනු පිනිස වරම් ලැබ 1989 වසින් එයින් බැහැර ව ගිය පසුවද ඊට ඔහුගේ අනුපමේය මෙහෙය යළි යළීත් ඇවැසි විය

හෙළ ගී කෙත සාර අස්‌වනු ගෙන දුන් පියදාස අතුකෝරාළ සංගීතවේදියා  1995 වසරේ දි කලාභුෂණ හා 2000 වසරින් රජ්‍ය සංගීත බුහුමුන් පුදා බැති උපහාර ලද්දේය  


හදේ පිපෙන බැතිමල් ගෙන - .......
සෙනේහයේ පිණිදිය ඉස.......

ඔබේ මුදුදෙපා අබියස ......................

තබා පුදන්නම් තබා පුදන්නම්..............

(එඩිතර ලංකා ගුවන් විදුලි ගී - 1967 පබැඳුම නැසිගිය තලංගම ප්‍රේමදාස)
------------------------
සවනට ගී රසය මෙතැනින්




චිරං ජයතු සොඳුරු ගාන්ධාර්යාණෙනි ඔබ හට .................!

ස්‌තුති පුර්වක ප්‍රණාමය -

මුලාශ්‍ර සහ කරුණු උපුටනය වෙනුවෙන් විශේෂ අවසරය දුන් විජිත් කුමාර් සේනාරත්න මහතා වෙත

ජයාරූපය උපුටනය - ඉන්ද්‍රාණී රොක්‌සාමි මහත්මිය වෙත

 ළකිඳු පීරිස්‌ මහතා වෙත

9 comments:

  1. ප්‍රභාත් මේ වටිනා සටහන උපුටා ගන්නට අවසරය තියෙනවද?

    ReplyDelete
    Replies
    1. මේ මුල් මුලාශ්රයේ අනන්‍යතාවය රැක දීම අපේ යුතුකමක් ඒ අනුව ඔහුගේ නාමය සදහන් කරමින් එසේ සිදු කිරීමේ වරදක් නැහැ .... මෙම බ්ලෝගයේ යොමුවද සදහන් කරන්න

      ස්තුතියි

      Delete
    2. හදේ පිපෙන බැතිමල් ඔබට ❤️

      Delete
  2. වටිනා සටහනක්/.බොහෝ දේ දැන ගත්තා.ස්තුතියි ඔබට

    ReplyDelete
  3. තනු නිර්මාණයන්ගෙන් සහ සිතාර් වාදනයන්ගෙන් අප හදවත් හා යාවූ නිසාම ඒ ඔස්සේ පමණක් දැන හැඳින සිටි මේ මහරු සංගීතඥයා පිළිබඳව මෙසේ තොරතුරු ගෙනහැර පෑවාට ඔබට බොහොම පින් ප්‍රභාත්...
    සමකාලීන විශිෂ්ටයින් අතරේ සැඟව ගිය මෙවන් අගනා සංගීතඥයින් පිළිබඳව මේ කෙරෙන ඉදිරිපත් කිරීම් මිණි සේ වටී...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනාලි

      ඔබ වැනි අයගේ අදහස් හා යෝජනා බොහෙවින් අගය කරමි ..

      Delete
  4. ඔබේ මේ වටිනා බ්ලොග් සටහන් පෙළ මුණ ගැසුනේ අහම්බෙන් (මූණු පොතේ ෂෙයාකර තිබු පෝස්ටුවකින්) ඒ අවස්ථාව උදාකර දුන් හිතවතාට පින් දෙමින් ඔබේ පෙර ලිපි පසු අවස්ථාවක කියවීමට සටහන් කරගතිමි.

    ReplyDelete
  5. ස්තුතියි ... කියවා රස විද මේවා අගයන්නන් සමග බෙදා හදා ගන්න ....

    ReplyDelete