දූර ඈත දිනක රෑ දුම්රියේ ලියවුනු ගී පද රස පවත....................
මින් අඩසියවසකට ආසන්න යුගයක එක්තර දිනයකදී ගොම්මන් අඳුරු යාමයේ කන්ද උඩරට අගනගරයෙන් කොළොම්තොට බලා පිටත්වන දුම්රිය යෝධ අඳුරු වළා පටල මෙන් අහස් කුස අරා නැගී සිටින පර්වතයාය පසුකරමින් හැල්මේ විත් තැනිතලා බිමේ පළමු මහනැවතුම්පොළ වූ ’රඹුක්කන’ ට සේන්දු විය.
මැදිරියේ තැනින් තැන රැඳවූ විදුලි බුබුඵ මළානික දුබල ආලෝක ධාරා විහිදුවමින් අතරින් පතර අසුන් අරා නිදිලොව ට පියමං කරන්නට තැත් දරන මගීන් ගේ මුහුණු දුබල කහ පැහැයකින් සිත්තම් කරන්නා සේය.
එක්තරා මැදිරියකට ගොඩ වී අසුන් කොනකට බර වු ඔහුගේ සිත කැළඹි ගිය පොකුණක් වැන්න. මොහොතකට පෙර දී සිය ප‍්‍රියාදරියගේ ප‍්‍රියතෙපුල් ද මදහස උතුරන ඇගේ වත කමල ද ඔහුගේ සසළ සිත නිසල කරගන්නට ඉඩ නොදෙනා සෙයකි.
ඇයගේ රුවයළි දෙනුවන් හමුවේ රැුඳෙන්නට යටත් පිරිසියෙන් සත් දිනක් ගතවෙනනු ඇත්තේය. ඇතැම් විට ඊට දිගු කාලයක් ද විය හැකිය.
දුම්රිය සුපුරුදු තාලරටාව මවමින් සෙමින් වේදිකාවෙන් ඔබ්බට ඇදීයයි. දිනිඳු සැගවී ගිය අහස් කුසේ ඈත ඉමෙන් මෝදු වන තරිඳු කිරණ දහරින් ඈත දුරට විහිදී ගිය කෙත්යාය නැහැවි යන්නේ අනේකාකාර කවි සිතුවිලි දහරා මනස අරක් ගනිමින් තිබියදීය.
වරක් හඞ තැලූ දුම්රිය කෙත්යාය මැදින් සෙමින් ඇදීගොස් නතරවිය. කෙත්යායේ ඈත ඉමේ දිස්වන ආලෝක පුලිගු දහරා ඇදී ආ ඉසව්වෙන් මතු වී නැගෙන සිහින් බටලී රාවය සිතේ තෙරපෙන ගී කවි සිත්තම් දියුනු තියුනු කරන්නා සේය.
උකුළ මත රුවාගත් කඩදාසියක සිය පැන්තුඩ පනගැන්වූ ඔහු යමක් සටහන් කරයි.
’මළානිකව හඳ එළිය ගලා එන .............
අම්බලමක හෙවනේ ................
බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර ............
දැල්වෙන එළිය බඳේ ......................
මැදියම් රැුය තවම එළඹී නැති සෙයකි. එහෙත් නිශා යාමයේ පූර්ව භගයෙන් සෑහෙන කොටසක් ගෙවි ගොස් තිබිනි. තරිඳු අහස් කුස ඉස්මත්තට පැමිණ ඇත. ඈය මේ යාමයේ කුමක් කරනවා ඇද්ද ? නිසැකවම ඇය තවමත් නිදිලොවට නෙපිවිස සිටින්නට පුඵවන.
ඈත එපිට ගම්මානෙන් නැගඑන .............
බටලී හඞ අතරේ ......
ඉතාම දුක්බර කවියක් මතුවෙද ............
ඇය නිදි නොමැති පැළේ .........................
දුමරියේ රිද්මය යළි නැගඑද්දී සීත පවන් පහසින් ඔහුගේ නිදිබර දෙනෙත් පියවී යන්නට යන සේය. තවකාලිකව හෝ ඇතිවන පෙම් වියෝගය හද කෙතරම් පාරවන්නේදැයි ඔහුට හැගෙයි. නුබගැබ විසිරි පවතින මල් ඔවිල්ලක් මවන තාරකාවන් වරෙක බොඳවී නොපෙනී යයි. යළි මතුවෙයි. එය ඇය සතියේ කෙළවර මා හමුවී පිය තෙපුලින් සන්තර්පනය වී සතිඅග දැනෙන වියෝගය මෙනි.
වේදනාව නෙතු අගට ගලාලා ............
ඉකිලන නිහඞ රැුයේ ...............
නීල නුවන් තරු කැට බොඳවෙනවා .............
කාටත් හොර රහසේ .....................
මින්පෙර නොළියු චමත්කාර කවි සිතුවිල්ලකි. ඉදිරි දිනක මෙය සුදුස්සා අතට පත් කරවිය යුතුය. ඔහු අතින් අමයුරු නාදරටාවකින් එය ඔපවත් වී සොඳුරු පෙම්කවක් ගැයෙනු ඇත්තේය. ඔහුට සිතිනි.
---------------------------------------------------------------------
80 දශකයේ මුල් භාගයේ එක්තර දිනයකි. දසත අඳුර වෙලා ගත් නිසල නිශා යාමයකදී විසිත්ත කාමරයේ විසල් ගුවන් විදුලි යන්ත‍්‍රයෙන් පාඵව තනිකම දුරලා නැගෙන්නේ රාත‍්‍රී අසන්නන්ගේ ඉල්ලිම් මෙහෙයවන නිවේදක යුවතියගේ හඞයි. සමරවීර මුදලිගේ දොන් පේ‍්‍රමකීර්ති ද අල්විස් සියහඞින් තමාගේම පෙළපත් නාමය තෙපළා ඔහුගේ ’සැරිසර පුවත් සගරාව’ නිමා කළා පමණි.
වේලාව රාත‍්‍රී නමය පසුවි විනාඩි විස්සයි......
සිංහල දෙවැනි සේවයෙන් මෙතැන් සිට ඔබ වෙත අසන්නන්ගේ ඉල්ලීම් ................
(සංඳා තේමා වාදනය පසුබිමෙන් නැගි එයි)
අසන්නන්ගේ ඉල්ලීම් ආරම්භ කරමින් විශාරද සනත් නන්දසිරි ගයනා කරන ගීතයක් ඔබ සැම වෙනුවෙන්
පොල්ගොල්ලේ එස් එම් ගාමිණි රත්නායක...... ගම්පහ පද්මාවෝ මහේශ්වරී ...රේඛාවෝ ඊශ්වරී ... මෝදර රොක්හවුස් කඳවුරේ ගාමා ගාමිනි සුබසිංහ.....
මේ ගීතයේ පබැඳුම සුනිල් සරත් පෙරේරා විසිනි සංගීතය ගයකයා සතුයි.....
මෙතැනින් සවන්දෙන්න
Listen Music Files - Download Audio -
--------------------------------------
එදා ඇසුණු ගී බ්ලොග් සටහන් එකතුව 2020
27 දෙසැ 2020
(විශේෂ ස්තුතිය - ප්රවින ගී පද රචක හිටපු ගුවන් විදුලි - රෑපවාහිනි අධ්‍යක්ෂ ජනරාල් සුනිල් සරත් පෙරේරා ශූරින් වෙත)
හරිම අපූරු ලිපියක්, මනසින් ඒ චමත්කාරය අත්වින්දා
ReplyDelete