namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, June 29, 2023

ක්ලැරන්ස් විජේවර්ධන ගී මධූරස

ශ්‍රී ලංකාවේ කන්ඩායම්  සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලාවකි) -  අංක 03


 ඒකාකාරී සංගීත රටා මුසුකිරීමේ ප්‍රවණතාවයෙන් මිදී, ඉඩලද හැකි අවස්ථාවලදී ඔහු සිය ගිටාරයෙන් විවිධ පර්යේෂනාත්මක අත්හදා බැලීම් සිදු කරන්නටත් ඒවා නිර්මානයන් වෙත අනුගත කරන්නටත් පසුබට නොවීය.  පෙර දැක්වූ පරිදි, සුරගන වෙස් වලා සළා උකුඵ තලා හිදී ඔහු සාම්ප්‍රදායකි උඩරට භේරිවාදන රටා ගිටාර් තතින්  මතුකරගන්නට උත්සහ දැරූ අතර උඩරට නිලිය හැඩ වගේ .....’ ඊට සමාන ලෙසින් ගිටාරයෙන් හැඩවැඩ දමන්නට උත්සහ දැරීය. අනිල් භාරතී ගැයු ’සඳයි තරුයි රැයයි හිරුයි .................’   ඇනස්ලි මාලේවන සහ ඉන්ද්‍රානි පෙරේරා ගැයු ’මම එදා ගොසින් ඇගේ සුසුම් අසා ................’ මෙන්ම තමන් ගැයු ’මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ’ වැනි ගීත වලදී එදවස බටහිර සංගීත කන්ඩායම් අනුගමනය කරමින් ගිටාරයේ තත් නදින් නැගෙන හඞ ළෙලවා පතුරුවා හැරීමේ කලාව වූ ’වාවා පැඩල’ තාක්‍ෂනය භාවිතා කලේය.

1972 පමණ වෙද්දී ෂානක පෙරේරා ගේ ඥාති සොයුරු ’අනිල් භාරතී’ කන්ඩායමේ සාමාජිකත්වය ලබා පැමිණි අතර ,"The dynamic New Sound of The Golden Chimes - volume 02" ,  නම් වු  රක්තවර්ණ තැටි ලේබලය  ’සූරිය’ තැටි ප්‍රදර්ශනාගාරය මෙන්ම දිවයින පුරා විසිර  පැවති ’රෙකෝඩ් බාර්’ වෙළඳ සැල් ජාලය  වර්ණවත් කලේය.   

01 මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ............(ක්ලැරන්ස්  )

  02 අද වෙයි ඉරු දින.........(අනිල්) 

 03  සඳයි තරුයි රැයයි හිරුයි............. (අනිල් සමුග ලාංකිකා පෙරේරා)

  04 තක්කිට තරිකිට කොකෙක් වෙලේ නටතෙයි.....(ක්ලැරන්ස්)

--------------------------
මුල් ගීත පෙළ සවන්දෙන්න

 එවකට ගීතලෝලීන් වසගයට ගත් කන්ඩායම් ගී ධාරාවේ නවමං සළකුණු තබමින් දසත පැතිර විසිර ගියේ විදුලි වේගයෙනි. 1972 වසර ගෙවි යද්දී, ක්ලැරන්ස් ගීතදාමයේ කන්තා ගී හඞ ඔපවත් කළ තෙවැනි සාමාජිකාව වූ ’ලාංකිකා පෙරේරා’ හඞ සම්ප්‍රාප්තිය  මෙයින් සිදුවිය. 











-------------------------------------
සූරිය ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට එහි කාර්යමන්ඩලය සමග ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතා සේයාරුවේ වම් පැත්තේ උපැස් පැළඳගෙන සිටි.
----------------------------------------

 සිනමා ගීත රචනා කලාවේ මෙන්ම ගුවන් විදුලි සංගීතමය වැඩසටහන් ගීපද රචනාකරණයේ හිනිපෙත්තේ වැජඹි කරුණාරත්න අබේසේකරයන් ගේ පබැඳුම් ඔස්සේ ක්ලැරන්ස් තනු නි්ර්මාණයන් හැඩවැඩ වෙමින් ඔවුන්ගේ ගී වපසරිය ක්‍රමයෙන් පුඵල් වෙමින් පැවතියේය. ගී තැටි ව්‍යාපාරයට පිවිසි ’අජන්තා විජේසේන’ මහතා ගේ නෙඵම් පුෂ්ප සළකුණ සහිත ’ලෝටස්’ ඇල්බමය මෙවර ඊට අනුග්‍රහ දැක්විය. කිතුණුවන්ගේ සාම්ප්‍රදායික ’නත්තල්’ බැති ගී තරුපොකුර දීප්තිමත් කරවමින් එහි උදාවූ පහන් තරුව බඳු අනිල් භාරතී ගේ ’බෙත්ලෙහෙම් පුරේ..........’ (හර්මනි සහය ගායිකාව ලාංකිකා පෙරේරා) දොරට වැඩියේ මෙම තැටියෙනි. එය එතැන් හි සිට අද දක්වා ලක්බිමේ නත්තල් උදාව සංකේතවත් කරන මියැසියේ ප්‍රමුඛතමයාව සිටි.  

01 මා අදරෙයි නංගියේ................ 

 02  ජේසු බිළින්දා  ................ 


ක්ලැරන්ස් ගේ පබැඳුම් වූ 

03 කිරි මුහුද කලඹාලා ගෙනා.............. සහ 

04 සුදු මැණිකේ ........... 

එහි ගීත යුගල් යුග්මය සම්පුර්ණ කළේය. 

----------------------------
මුල් ගීත පෙළ සවන්දෙන්න

ලාංකීය ගීත ක්‍ෂේත්‍රයේ ’කන්ඩායම් ගී’ ධාරාවට අනුගත වූ ගායක කන්ඩායම් වලට ආවේනික ලක්‍ෂනය ඒවයේ සාමාජිකයන්ගේ ගේ අස්ථාවරත්වයයි. ඒ අනුව යම් යම් හේතුසාධක කරණකොටගෙන ඔවුන් බිඳි විසිරි යෑම දක්නට ලැබෙයි. පසුකාලීනව ’ගෝල්ඩන් චයි්ම්ස්’ හි කැපි පෙනෙන භූමිකාවක් ඉටු කළ ’අනිල් භාරති’ ද කන්ඩායමෙන් දුරස් ව, සිය ඒකල නිර්මාණයන් වෙත වඩාත් නැඹුරු ව, එහෙත් සිය ජනප්‍රියත්වයෙන් නොපිහිරි සිටින්නට සමත්විය. ඔහුගේ ඒ නිර්මාණ මෙම ලිපිමාලාවේ විෂයපඨයෙන් බැහැර වූවත් ඒවා පිළිබඳව කෙටි සටහනක් තැබිම වටනේය.

ලෝටස් තැටිය - ’සුළග සමග එකතුවෙලා කිව්වට සුළමුල.......’ සහ ’හිරු ඉපදෙන විට නෙඵමි පිපෙන ලෙස............’ ගීතද්වය දිවංගත ප්‍රේමකිර්ති ද අල්විස් විසින් පබැඳු අතර ’ටිකිරිමලී පාසල් යන .....’ ක්ලැරන්ස් ගේ සංගීතයට වර්ණන් පෙරේරා විසින් පද සැකැස්ම කළ අතර ඔහුට ’මගේ පංතියේ ....පුංචි සරෝජිනී....’ ප්‍රබන්ධ කළේ වෛද්‍ය රංජිත් බොලොන්නේ ගේ සංගීත රටාවන්ට අනුවය. ’වර්ණන් පෙරේරා සහ රංජිත් බොලොන්නේ’ එදවස කන්ඩායම් ගීතාවලියේ නමරැන්දු ’ද සන්ෂයින්ස්’ සමාජිකයන්ය.

'’සුරිය’ තැටි නිර්මාපක ගීතලෝලී ’ජෙරල්ඩ් වික්‍රමසූරිය’ ගේ ’ඇනස්ලි - ක්ලැරන්ස්’ යුගය ප්‍රතිනිර්මාණය කිරිමේ   අප්‍රතිහත උත්සහය ඵලදරමින් නැවතත් දෙදෙනා එකට එක්වූ අතර එවර එය ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ නමින් නමකරණය ලද්දේය.එය පෞද්ගලිකව ’ක්ලැරන්ස්’ ගේ සංගීත ජීවන චාරිකාවේ තෙවන නවාතැන්පොළ අතර එතැන් හි සිට ඔහුගේ අපරිමිත ගී තනු උල්පතින් නැගී මතුවි එන මධුරතර වේගරිද්ම ගී තනු පෙණ බුබුඵ වඩ වඩාත් හැඩ වැඩ වන්නට විය. 

ක්ලැරන්ස් මුල්වී ඔහු සමග නැවතත් ගායන සහයක ඇනස්ලි මාලේවන, ඩික්සන් ගුණරත්න (ලීඩ් ගිටර්), කොන්රඩ් ගුණරත්න (බේස් ගිටාර් සහ හර්මනි ගායන සහයක, පෝල් පෙරේරා (ඕගනය), එහි මුල් සාමාජිකයන් අතරට එක්වූ පසුව රුක්ෂාන් පෙරේරා (සරපුවරුව), ලයසින්ද සිල්වා (බේස්), නිමල් පෙරේරා, (ඩ්‍රම්ස්), චන්ද්‍රලාල් ෆොන්සේකා,(බේස් ගිටාර්), කුමාර් පිරිස්, (සරපුවරුව), සුනිල් මාලේවන (බේස් ගිටාර්),  සූරියකුමාර් වීරසිංහම්, (සරපුවරුව),පීටර් ද අල්මේදා (බේස්),  නිමල් පුංචිහේවා (ඩ්‍රම්ස් සහ කොංගෝ) ඇතුඵ තවත් අය අතරින් පතර 1974 සිට 1979 පමණ යුගයේ ’සුපර් ගෝල්ඩන් චයිම්ස් නියෝජනය කළහ. සුපුරුදු ලෙස ’සූරිය’ ලේබලයේ ආශිර්වාදය ලැබූ නව කන්ඩායම මුල්වරට ’The Super Golden Chimes ලේබලය පෙරටුකොටගෙන ගීතලෝලී ජන හදවත් පැහැරගත්තේය.

’සූපර් ගෝල්ඩන් චයිම්ස්’ පරිච්ඡේදය යටතේ ලියැවෙන ’ක්ලැරන්ස්’ ගී වංශකථාවේ පළමු පියවර තිරයෙන් පිටුපස කථාව, ඊට මුල්වූ ගීතය තරමටමට රසයෙන් අනූනය. 

1973 වසරේදී සිය අභිනව සංගීත කන්ඩායමේ සාමාජිකයෙකු වූ ’ශ්‍රී කාන්ත’ ට සිදූවූ අකරතැබ්බයක් හේතුවෙන් ඒ පිළීබඳව සහනයක් පතා සාමාජිකයෝ දකුණු ලක මහ දේව මන්දිරය වූ ’කතරගම’ ට ගියහ. සෙසු බැතිමතුන් අතරට පිවිස, එහිදී ඔවුන්හට එක්තරා ’භාරයක්’ ඔප්පු කරන්නට නියමිතව තිබිනි.  කතරගම කඳසුරිඳු අරභයා ලියැවුනු අති සුප්‍රසිද්ධ බැති උපහාර ගීයේ උපත සිදුවුනේ එළෙසිනි.  ඒ ගී ඇතුළත් ඇල්බම් කවරය අදටද වරෙක වර්ණයෙන්ද වරෙක කඵසුදු සංකලනයෙන්ද බබලන කතරගම මහ දෙවොළ පසුබිමින් ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ කන්ඩායමේ පංච පුද්ගල සාමාජිකයන් පෙනි සිටිති.



















-----------------------------

බැතිමතුන් කරලා ගන්නා ’ඇටමාලයක්’ පැළඳගෙන වම්අත පැත්තේ ’ශ්‍රී කාන්ත දසනායක’ නම් වු කන්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා ගේ රුව දිස්වේ. එතැන් හි සිට පිළීවෙළින් ශ්වෙතවර්ණ ඇඳුමකින් සැරසි ’ක්ලැරන්ස්’ ද, ලීඩ් ගිටාරය වෙනුවට කාවඩිය උරමත රුවාගත් ’ඩික්සන් ගුණරත්න’ ද ඔහුට යාබද විමසුම් දෑසින් ඉපැරණි සාමාජිකයා ගායන ශිල්පී ’ඇනස්ලි’ ද, දකුණු කෙළවරේ කන්ඩායමට අඵතෙන් එක්වු ’කොන්රඩ් ගුණරත්නද’ වෙයි.

----------------------------------

පෙරනොවූ විරූ අපුර්වත්වයකින් හෙබියා වූ මෙකී දසුන ගී තැටි කවර ඉතිහාසයේ සුවිශේෂී මංසළකුණකි. ’සූරිය’ සමාගමෙන් නිකුත් වු ගී තැටි ඇල්බම කංචුකයන් බොහොමයක් නිර්මාණශීලිත්වයෙන් පෙරමුන ගෙන තිබුනු අතර ඒවා ද සැරසුනේ අදාළ ගායකයා හෝ ගායිකාව ගේ වර්ණ සේයාරුවකින් පමණකි. නමුදු ’කතරගම’ තැටිය ලාංකීය ආගමික බැතිමතුන්ගේ නිරන්තර ගෞරවාදරයට පාත්‍ර වූ කතරගම මහදේවාලය සහ පසුබිමෙන් මෙම සමාජිකයන්ගේ දසුන මතුකරදක්වයි.


01 කඳසුරිඳුනි ඔබේ ඔදතෙද....(ක්ලැරන්ස්) 

04 පෙණ බුබුළයි සුදු සඳ කැල්මයි...  (ඇනස්ලි)

02 සීත සුළගක් අහසේ වළාකුළක් තෙරපනවා'.... (ක්ලැරන්ස්)

04 සතුට සැනසුම ලග රන්දා'.... (ඇනස්ලි) 

නමින් එහි ගීතයුග්ම ගීත එහි පෙළගස්වා තිබිනි.
------------------------------
මුල් ගීත පෙළ සවන්දෙන්න

ඊට අමතරව, නැවතත් ’ලෝටස්’ ඇල්බමයේ  ඇනස්ලි මාලේවන ගැයූ   01 වන බඹරො රෝස මලක්..............., 03 උඩරට නිළිය හැඩ වගේ.......... 02 ක්ලැරන්ස්ගේ  ’ගමෙන් ලියුමක් ඇවිල්ලා...............’   සූරිය ලේබලයේ     ක්ලැරන්ස් ගේ 01 මොරටුව මොරටුව.............02 සඳක් බැස ගියා අවරගිරේ......... මෙන්ම ඇනස්ලි ගේ 03 සිහින පැතුම් විමනේ............ සහ 04 ඇළදොළ පිරුනා කුඹුර සරුවුනා........  එළිදක්වද්දී  සුපර් ගොල්ඩන් චයිම්ස් නාමය දිවයිනේ අස්සක් මුල්ලක් නෑර ගුවන් විදුලි සහ ගී තැටි රසිකයන්ගේ හදවත් පැහැර ගෙන තිබිනි. සැණකෙළි  බිම් ඇතුඵ ප්‍රසිද්ධ ගෘහස්ත ප්‍රසංග වේදිකාවන්හිදී  නිවේදකයා  ගේ මුවින් කන්ඩායමේ නාමය කියැවෙද්දී හාත්පස  ඔල්වරසන් හඞින් ගිගුම් දුනි.   














-----------------------------
ද සුපර් ගෝල්ඩන් චයිම්ස් වරුන් - 1974 පමණ

ඩික්සන් ගුණරත්න,ක්ලැරන්ස්, කොන්රඩ්, පෝල් පෙරේරා, ඇනස්ලි සමග ශ්‍රී කාන්ත  

------------------------------

’සිහින පැතුම් විමනේ...........’ බිළීඳුන් අරභයා ක්ලැරන්ස් හැදූ ගී පොකුරේ පස්වැන්නයි. පළමු ගීත හතරෙන් දෙකක් ’ශ්‍රී සගබෝ’ ගේ බිළිඳියන් දෙපොළක් වෙනුවෙනි. තෙවැන්න කරුණාරත්න අබේසේකරයෙන් ගේ ’දිලීප’ පොඩිපුතු හටය සතරවැන්න නිර්ණාමිකව ’විජය කොරයා’ ගේ පුතණුවන්හටය මේ ගැයුවේ  ගොල්ඩන් චයිම්ස් යුගයේ සිය කන්ඩායමේ සාමාජිකාවක් වූ ’ලාංකිකා’ ගේ මෙන්ම ’ෂානක’ ගේ බිළිඳු පුතු දෙස බලමිනි. 

-------------------
මුල් ගීත පෙළ සවන්දෙන්න

------පසු සටහන----

මෙම ගීතපෙළ එළිදුටු 70 දශකයේ ශ්‍රාවක අපි වයසින් දසවසකට ද වඩා කුඩා සිගිත්තන්ව සිටියහ. සිය නිවස්හී තැටි ධාවක යන්ත්‍ර සතු නොවූවන් ට ඒවා සවන් දීමට පැවති එකම විකල්පය වූයේ ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් දිනපතා විනාඩි 15 ක් තරම් කෙටි කාලයකදී විකාශයක කරන්නට යෙදුනු ගීත 04 (හෝ වෙළඳ දැන්වීමක් ඇතුළත් වූයේ නම්. එය සිදුවූයේ ඉතා කළාතුරකිනි එවිට ගීත 03 ක් හෝ අවසන් ගීතයේ කොටසක් පමණකි, ගීත 03 වාදනය කළ කල්හී ඉතිරි කොටස ද වෙළඳ තැටි ඔස්සේ නිකුත් වූ ගී අනුවාදනයකින් සමන්විත විය.) පමණකි.  කාල විරාම ඝටිකාව හැඞවීමෙන් පසු (දැන් මෙය සිදු නොකෙරේ)

’ ... වේලාව උදෑසන අට පසුවී විනාඩි හතළිස්පහයි..... මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල දෙවැනි සේවයයි.... මෙතැන් සිට කන්ඩායම් ගී තීරයක්.... ආරම්භ කරමින් ... ’

ද දින ’සුපර් ගෝල්ඩන් චයිම්ස්, මූන්ස්ටෝන්ස්, ගෝල්ඩන් චයිම්ස්, හෝ ත්‍රී සිස්ටර්ස් ... ගීතයක් වාදනය වේවා යැයි සිතින් පතමින්... මහත් නොඉවසිල්ලෙන් ඔවූහූ සාලයේ තැන්පත් කර තිබු දැවැන්ත ගුවන් විදුලි යන්ත්‍රය අසළ රැඳි සිටියහ. මේ බව හොඳින් දැන කියා ගත් ගුවන් විදුලි නිවේදක සමාජිකයෝ සතියකට මේ කන්ඩායම් වල ගීත පහක් හයක් වාදනය කරන්නට උත්සුක වූහ. එහෙත් ’කැසට් ධාවක යන්ත්‍රය’ පවා ශ්‍රී ලංකාවට ආනයන නොකළ යුගයක (අප එවැන්නක් ඇත්දැයි දැන සිටියේ නැත) ගීතය වාදනය වූ පසු යළිත් අසන්නට නම් මතුදිනයක ’ගුවන් විදුලි යන්ත්‍රයේ’ අපහැදිළී හඞ ම මිසක වෙනත් සරණක් නොවීය. එබැවින් අප වෙනත් සියඵ කටයුතු නවතා දමා අදාළ වේලාවට ගුවන් විදුලිය අසළට රොක්වන්නට අමතක නොකළහ.  ක්ලැරන්ස් ගේ රුව දකින්නට  සැණකෙළියක් සංවිධානය වනතුරු බලාසිටිය යුතු වූ අතර එහි යම්තමින් ඇටවූ සිමිත ඉඩකඩ සහිත ටකරං වේදිකාව අසළට රොක්වි ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ ගායකයන් වේදිකා ගතවන තුරු රාත්‍රී නවය කණිසමද පසුවන තුරු බලා සිටියහ, මේ සදානුස්මරණිය රසවත්  සිදුවීම මතු මතු යුග යුග පවතින ලෙසට සිනමා කැමරා කාචයේ සටහන් කරදුන් සිනමාවේදී ’එච් ඩී ප්‍රේමරත්න’ හට පින් සිදු වේවා...(මේ පසුබිම් පුවත සහ තොරතුරු මෙම ලිපි පෙළෙහි මතුවට පළවනු ඇත)

සැළකිය යුතුයි -

මෙහි වාදනය වන මුල් පිටපත් හී සම්පූර්ණ ගීතය ඉදිරිපත් කිරීමට අසමත්විම සම්බන්ධයෙන් කණගාටුව පළකරමි. බුද්ධිමය දේපොළ හිමිකම් ගරු කරමින් එසේ සිදු කිරීමෙන් වැළකී සිටිමි. 



----------------------------------
මෙතැන් හි සිට ඉදිරියට.................
----------------------------------

මුලාශ්‍ර තොරතුරු - කෘතඥ පූර්වක ස්තුති ප්‍රනාමය 

ගායන ශිල්පී ඇනස්ලි මාලේවන මහතා (මූන්ස්ටෝන්ස් - ද සුපර් ගෝල්ඩන් චයිම්ස්)

ගායන ශිල්පී අනිල් භාරති මහතා (ද ගෝල්ඩන් චයිම්ස්)

ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය (ත්‍රී සිස්ටර්ස්) 

ගායන ශීල්පිනී ලාංකිකා පෙරේරා මහත්මිය (ද ගොල්ඩන් චයිම්ස්)

සංගීතඥ ගායන ශිල්පී  මෙල්රෝයි ධර්මරත්න මහතා (ධර්මරත්න බ්‍රදර්ස්)

සංගීතඥ ගායන ශිල්පී මහින්ද බන්ඩාර මහතා (ෆෝර්චූන්ස්) - ප්‍රවිණ ගිටාර් වාද්‍ය ශිල්පී  - 

පීටර් රණසිංහ මහතා (ලාංකා ගී තැටි සංරක්‍ෂකයන් -එකතුකරන්නන්ගේ සංගමය)


2 comments: