namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, June 1, 2023

ක්ලැරන්ස් විජේවර්ධන - Clarance's Creations

 ශ්‍රී ලංකාවේ කන්ඩායම්  සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලාවකි) -  අංක 01

60 දශකය යනු ශ්‍රී ලාංකීය කලා ක්‍ෂේත්‍රයට නවක ශීල්පීන් පිවිසෙන්නට පටන් ගත් යුගයයි. එසමයෙහි සිනමාව, නාට්‍ය කලාව, ගුවන් විදුලි නාට්‍ය මෙන්ම සංගීතය, චිත්‍ර කලාව, ඉගිනඵ, නර්තනය, කවි කලාව, සාහිත්‍යය, පුවත්පත් කලාව ආ දී මෙකි නොකී ශිල්පයන් හි විශීෂ්ඨතමයන් ගේ නිර්මාණ මහත් රාශීයක් කළඑළි බැසීම ඇරඹුනේ මේකී දශකයේදී වුවද එය ඉන් පසු දශක ද්විත්වය දක්වා ක්‍රමයෙන් පරිණත වෙමින් පුඵල් වෙමින් පැතිර ගොස් 90 දශකයේදී අනපේක්‍ෂිත බාධක හිරිහැර කම්කටොඵ වලට මුහුණ පෑ බවක් පෙනීයයි.  පළමු කී දශකයේ ශීල්පීන් ගේ දිවියේ ප්‍රඥා දශකය ගෙවි යන්නටද පෙරාතුව ඔවුන් හට දිවියෙන් සමුගෙන යන්නට සිදුවිම ද ඊට හේතු වන්නට ඇත.


මේ ලැයිස්තුව ආවර්ජනය කරන්නේ නම්  - නාට්‍ය කලාව - මහචාර්ය සරත්චන්ද්‍ර ඇතුඵ හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, පී වැලිකල, ද  නර්තනය - පණිභාරත, මිරැන්ඩා හේමලතා, ඉගිනඵ - ප්‍රේමකුමාර එපිටවෙල, චිත්‍රසේන සහ වජිරා  සාහිත්‍යය - මහගම සේකර, ජී බී සේනානායක, පුංචිබන්ඩාර සන්නස්ගල, බද්දේගම විමලවංශ හිමි, සිරිසේන මාඉටිපේ, කේ ජයතිලක, සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර  සිනමාව - ලෙස්ටර් ජේම්ස් පීරීස්, සුගතපාල සෙනරත් යාපා,ගාමිණි ෆොන්සේකා, තිස්ස ලියනසූරිය, කේ ඒ ඩබ්ලිව් පෙරේරා, ලෙනින් මොරායස්, ජී ඩී එල් පෙරේරා, චිත්‍ර කලාව - එල් ටී පී මංජුශ්‍රී, පුවත්පත් කලාව - මිමන ප්‍රේමතිලක, රෙජී සිරිවර්ධන, ටී බී පෙරමුණේතිලක, ධර්මසිරි ගමගේ, ආතර් යූ අමරසේන, ශ්‍රී  චන්ද්‍රරත්න මානවසිංහ,    කැපී පෙනෙන පරමාදර්ශී චරිත වෙති. ඔවුන්ගේ ඇතැම් නිර්මාණ 50 දශකයේ එළිදුටුවද, ඒවා විකාශනයට පත්ව පරිණතභාවයට පත්වුයේ ඉන් ඉක්බිති දශකයේදීය.

මේ අතරින් සංගීත ක්‍ෂේත්‍රයේ  යුග පුරුෂයන් ලෙස පන්ඩිත් අමරදේව, සනත් නන්දසිරි. වික්ටර් රත්නායක, මෙන්ම නන්දා මාලිනී, මර්වින් පෙරේරා, ප්‍රේමසිරි කේමදාස, සෝමදාස ඇල්විටිගල, ලයනල් අල්ගම, ඩී ආර් පීරිස්, වැන්නෝ සිහිකටයුතුය. 

එදවස උත්තර භාරතීය සහ දක්‍ෂින භාරතීය සිනමා සංගීතයේ බලපෑම නිසා ලාංකීක ගීත ලෝලීන් වඩාත් නැඹුරුව සිටියේ රාගධාරි පෙරදිග සංගීත ශෛලිය අනුව ගැයුනු ගීතයන් රසවිඳින්නට බව කියැවෙයි. එදවස පැවති එකම විද්යුත් මාධ්‍යය වූ ’ලංකා ගුවන් විදුලිය’ ද හින්දී ගීත ද හින්දි තනු අනුකරණිත සිංහල ගීත ද ඊට අමතරව රාගධාරි පෙරදිග සංගීත මූලධර්මයන් අනුව ගැයුනු ගීතද සිය සංගීතමය වැඩසටහන් ඔස්සේ විසුරුවා හරින්නට වඩාත් නැඹුරුවක් දැක්වීය.  

දැවැන්ත සංස්කෘතික බලපෑමක නිරත විය හැකි මහා භාරතයේ වගකිවයුත්තන් හට සිය අල්වැසි කුඩා දිවයින් වාසීන් ද තමන්ගේ සිනමා සහ සංගීත කලාවේ සෙවණ යටට ගන්නට අවැසි ව තිබුනු බවද ඊට රැකුල් දෙන එය ඉගි කරන සිද්ධීන් මෙන්ම වෙනත් සාක්‍ෂි ද හෙළිදරවු වු අවස්ථා වාර්තා වේ. 

එහෙත් ඒ මහද්විපයට වඩා බ්‍රිතාන්‍ය ආධිපත්‍යය දැඩිව පැතිර එහි සංස්කෘතික බලපෑමට යටත් ව තිබු ලක්වැසියන් අතරින් එක්තරා කොටසක් එකී සංගීත සහ කලාව පිළීකුල් කරන්නට නැඹූරු වූ අතර ඔවුන් බටහිර සංගීතය දෙසට වඩාත් ආශක්ත ව. ඒ ආරට ගැයෙන සිංහල ගීතවලට ප්‍රිය කරන්නට වූහ.

මීට පූර්ව දශකයේ ආරම්භක යුගයේදී ’සුනිල් සාන්ත’ විසින් හඳුන්වාදෙන්නට යෙදුනු සරළ ලගන්නා සුඵ තනු නිර්මාණයන්ගෙන් යුත් ගී දහරට මෙන්ම ඔහු ඉන් දුරස්ව යාමෙන් පසුව මතුවූ ’සී ටි ප්‍රනාන්දු’ ගායන  ශීල්පියා ගේ ගීත කලාව අසාමන්‍ය ලෙස ජනාදරයට පත්වන්නට මෙම කාරණය හේතු වන්නට ඇත. 

60 දශකයේ දී මේ දෙදෙනාට අමතරව එම ආරට ගී ගයන්නට පුරුදු පුහුණූ වූ ’මොරිස් දහනායක’ ’ක්‍රිස්ටෝපර් පෝල් ගේ ගීත ද ක්ෂණික ශ්‍රාවක ප්‍රතිචාරයන්ට ලක් වූයේ ද ඒ නිසා වන්නට ඇත.

මෙම රික්තය වටහාගත් එක්තරා පිරිසක්, නවමගක යන්නට තිරණය කරන ලදුව, එතෙක් ඉතිහාසයේ නොපැවති ’ගී නවයුගයක්’ ඇරඹීමේ භාරදුර කටයුත්තට අතගැසුවේය. ඔවුන් අතරින් පළමුව නමක් රැන්දු පුද්ගලයා ’නෙවිල් ප්‍රනාන්දු’ නම් වු යව්වනයාය. ඔවූහූ කන්ඩායම් ලෙස පෙළගැසී බටහිර ගී අනුකරණය කරමින් සරළ පදවැල් ඇතුළත් ගී ගයන්නට නැඹූරුවෙද්දී සාම්ප්‍රදායික පෙරදිග සංගීත භාන්ඩ ඉවත ලා ලතින් ඇමෙරිකානු ප්‍රමුඛ වෙනත් වාද්‍ය භාන්ඩ තම ගායනයන් සරසන්නට යොදාගත්තේය. ’නෙවිල්’ ගේ ලොස් කැබැයියරෝස්’ ගායක කන්ඩායම විසින් වසග කරන ලද්දාවූ ’ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස්’ සිනමාවේදියා, සිය සිනමා නිර්මණයන් හි පිටපත් පවා වෙනසකට බඳුන් කරමින් මෙම යව්වන ගායක පිරිස ට අවස්ථාව ලබා දුන්නේය.

ඔහුගේ ’දෙළොවක් අතර’ - 1966 සිනමා පටයේ දී එදාමෙදාතුර සිංහල ගීත කලාවේ හැරවුම් ලක්‍ෂයක් සනිටුහන් කල ’ගයන ගැයුම් ..............නටන නැටුම්’ ගීතය මුල්වරට ගැයුනේ ’සමාජ ශාලා ජවනිකාවක්’ ඇසුරු කරගෙනය.

එතැන් හි සිට බිහිවන්නේ ’ශ්‍රී ලංකාවේ කන්ඩායම් ගී  නවයුගයයි’ හතු පිපෙන්නා සේ ’ ගායක කන්ඩායම් ’ එකපෙළට බිහිවූ අතර ඒවායේ සාමාජිකයන් තිදෙනා ගේ පටන් සයදෙනා දක්වා වූ අතර නායකයා බොහෝවිට ගේයවාග්කරුවෙකුම විය. (ගී පද රචනය, ගායනය, තනුව තනි පුද්ගලයෙකුගේ) පළමුව බටහිර වෙරළ තීරය ආශ්‍රීත සංචාරක හෝටල් හී ගී ගයද්දී, 60 දශකයේ මධ්‍ය භාගයේදී දේශපාලන පෙරළීයකට හසුවු ලංකා ගුවන් විදුලියට පත් ව ආ නිසි බලධාරීයා වූ  ’නෙවිල් ජයවීර’ නම් කීර්තිමත් පරිපාලන නිලධාරියා විසින් මෙම කන්ඩායම් වල ගීත සඳහා එහි ඉඩකඩ විවර කර දුන්නේය. 

ඒ අනුව 1962 පමණ කාලයේ සිට ක්‍රමයෙන් මෝදුවෙමින් ආ කන්ඩායම් ගී උන්මාදයේ කුටප්‍රාප්තිය 1972 පමණ වෙද්දී එළඹුනේ ඒ වනවිට බටහිර නගරාශ්‍රීතව විවිධ ගායක කන්ඩායම් පණහකටත් වඩා බිහිව තිබිමෙනි. මොවුන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රශස්ත නිර්මාණකරණයේ යෙදෙමින් ස්වාධීන තනු සහ ගී පද ඇතුළත් නව ගී බිහිකරගත්තේ එවක පැවති ගී තැටි වෙළඳ සමාගම් හි පිහිටෙනි.

පැට්‍රික් කොරේරා ගේ ’ගෞරි කෝපරේෂන්’ - පිලිප්ස් ලේබලය,  විජයපාල හෙට්ටිආරච්චි ගේ ’විසාකාමාල්ස්’ හි ’ජෙම්ටෝන් ලේබලය,  ජෙරල්ඩ් වික්‍රමසූරිය ගේ ’චිල්රන්ස් බුක් ෂොප්’ හී ’සූරිය’ ලේබලය, ඒ අතරින් ප්‍රමුඛ විය.


නෙවිල් ප්‍රනාන්දු සිය කන්ඩායමට ස්පාඤ්ඤ බස අනුව තැබූ ’ලොස් කැබැයියරොස්’ අනුව යමින් බොහෝ සාමාජිකයන් එකී නාමකරණයෙන් තම කන්ඩායම් හඳුන්වා ගනිද්දී තවත් අය ඉංග්‍රීසි බසින් ද ඇතැමුන් ’සිංහල’ බසින්ද සිය සාමාජිකයන් නම් කළහ.

මෙල්රෝයි ධර්මරත්න ගේ ’ධර්මරත්න බ්‍රදර්ස්’, ප්‍රියා පීරිස් ගේ ’ලා බම්බාස්’ , වින්සන්ට් ජයවර්ධන ගේ ’ලොස් ෆ්ලෙමින්කෝස්’,  ’ලොස් මුචාචෝස්’  නොයෙල් බ්‍රයන් රණසිංහ ගේ ’ලා සෙයිලනියන්ස්’  වර්ණන් පෙරේරා සහ වෛද්‍ය රංජිත් බොලොන්නේ ගේ ’ද ෂන්සයින්ස්’, ජෙරී ජයසේකර ගේ ’ජේ බ්‍රදර්ස්’  ටෝනි ප්‍රනාන්දු ගේ ’ජෙට්ලයිනර්ස්’  ජෝ බී පෙරේරා ගේ ’මි මැස්සෝ ග්‍රේෂන් ප්‍රනාන්දු ගේ ’ග්‍රෙන් ලෙනාඩෝර්ස්’  රේමන්ඩ් ෆොන්සේකා ගේ ’සමණළයෝ’ සහ පසූව  ඔහුම සාමාජිකත්වය දැරූ   ’සියැක්’ ,  නිශ්ශංක විමලසූරිය ඇතුඵ පිරිස නියෝජනය කල මිගමූවේ ’ඇමිගෝ රොමැන්ටිකාස්’ මැක්ස්වෙල් මෙන්ඩිස් ගේ  මෙන්ඩිස්  ෆෝසම්  ලෙස්ලි ප්‍රනාන්දු ප්‍රමුඛ බෙන්තොට බීස්,  කන්නන්ගර ඇතුඵ පිරිස ගේ ’ද ලවර්ස්’ සහ ළාබාලතම කන්ඩායම වූ ’සුනිල් පෙරේරා ඇතුඵ සහෝදරයන්ගේ ’ජිප්සීස්’ මේ අතර විය. මේ ලැයිස්තුවට ’ස්ටැන්ලි පීරිස’ ගේ ෆෝර්චූන්ස්’ මෙන්ම අර්නස්ට් සොයිසා ගේ ’සුපර්ස්ටාර්ස්’ ඇතුළත් නොකළ හැක්කේ ඔවුන් සිය නමින් ’කන්ඩායම් ගී’ කිහිපයක් පසුව පටිගත කළත් ඒවා ඉහත ගුවන් විදුලිය විසින් මුල්වී කෙරුණු ’කන්ඩායම් ගී’ වර්ගීකරණය ට ඇතූලත් නොවූ නිසාය. ජෙට්ලයිනර්ස් කන්ඩායම වැඩිමනත්ව ’ඉංග්‍රිසි ගී’ ගැයුවත් ඔවුන්ගේ සමාජිකා මිනෝන් රත්නම් ප්‍රනාන්දු’ විසින් සිංහල ගී කිහිපයක් පටිගත කරන්නට යෙදුනු අතර ඒවා අතිශයින් ජනප්‍රිය විය.  (කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී වගේ................, අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී - සතපණහ සිනමාපටය - 1965 සහ රණමොණරාගෙන් මොණරිය ඉල්ලන්නේ - සැණකෙළිය - 1975)

මෙම කන්ඩායම් අතරින් සියඵ සාමාජිකයන් අභිබවනය කරමින් කිසිවෙකු හට මතු වි කැපී පෙනෙන්නට හැකි වූයේ නම් ඔහු එවකට ලාංකිකයන් අතර පැවති උසස් ගණයේ කලා සාක්‍ෂරතාවය අනුව, සුවිශේෂි ගායන ශීල්පියෙකු නිර්මාණකරුවෙකු විය යුතුමය. සැබැවින්ම එතැන ගන්නට සමත් සාමාජිකයෙකු මතු වි නැග ආවේය. ඔහු අන් කවරෙකු හෝ නොව ඔබත් මමත් හොඳින් හඳුනන ’මූන්ස්ටෝන්ස්’ කන්ඩායමේ මෙහෙයුම්කරු ලෙස මුලින්ම කටයුතු කල අනගිභවනීය කලාකරු ක්ලැරන්ස් විජේවර්ධනය.

කන්ඩායම් ගී ගැයූ සෙසු සාමාජිකයන් අනුව යමින් හේතමේ තනු නිර්මාණයේ යොදුනේය. ඒවා සෙස්සන්ට වඩා විචිත්‍රවත් විය. වර්ණවත් විය. ඉන් නොනැවතී ඒවාට කමණිය සිංහල ගී පද ඇතුළත් කරමින් අරුත්බර ගී පද රචනාවන් ඉදිරිපත් කලේය. අරුමයකි. ඒ සෑම නිර්මාණයක්ම එකක් පසා මහත් සේ ජනප්‍රසාදයට ලක් විය. සෙස්සන්ගේ ගී නිර්මාණ ගණනාවකින් දෙක තුනක් පමණක් ඉදිරියට එද්දී ඔහුගේ ගී නිර්මාණ අතළොස්සකින්  එකක් දෙකක් පමණක් ගිලිහි ගොස් අන් සියඵ ඒවා ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ වැජඹුනේය. ඒ රහස කිම ?

ඒ ඔහුගේ ජන්ම වාසනාව නිසාද ? නැතහොත් සහජ නිරමාණශීලිත්වය නිසාද ? නව ක්‍රමවේද අත්හදා බැලීම නිසාද ? ඇතැම් විට ඊට මේ සියඵ කරුණු හේතු වුවා නිසැකය. 

ඔහු පිළීබඳව හොඳින් දැන හැඳින ගත්තෝ ඔහුගේ සමකාලීනයන් ය. ඔවුන්හට ඔහු ගැන බොහෝ දෑ පවසන්නට ඉතිරිව තිබෙනවා විය හැකිය. මෙම අපුර්ව නිර්මාණකරුවා ලාංකීය ගීත ලෝලීන් උදෙසා තිස්වසක කාලයක් තුල කළ කී දෑ ලුහුඞින් විමසා බැලීමට දරන්නා වු තැතකි මේ. මෙහිදී හුදෙක් පුද්ගලාභිවාදනයකට සිමානොවී ඔහු ගේ නිර්මාණකරනයේදී අත්වැල් බැඳගත් සෙසු ශිල්පීන්  ගේ තොරතුරු ද ඊට සහය වූ පුද්ගලායතනයන්ගේ වතගොත ද සාකච්ඡාවට බඳුන් කෙරෙයි.

විතාන කුරුප්පුආරච්චිගේ ක්ලැරන්ස් ආතර් සේමසිංහ විජේවර්ධන 1943 වසරේ අගොස්තු මස 03 දින  හපුතලේ දී උපත ලබා පසුව රත්නපුර බටුගෙදර ප්‍රදේශයට පැමිණියේ සිය පියා වතුයායන්ගේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි නිසාය.

ලීවර් සහෝදර සමාගමේ දැන්විම් අංශයේ සේවය කල ’ශ්‍රී සගබෝ කොරයා’  මුණගැසෙන ලදුව 1966 වසරේදී ඔහු ’මූන්ස්ටෝන්ස්’ නම් වු ගායක වාදක කන්ඩායම පිහිටුවා ගන්නා ලද අතර පළමුව ගීත 04 ක තනු සහ වදන් ඔහු විසින්ම සකසා ප්‍රැටික් කොf්රරා ගේ ’පිලිප්ස්’ ජාත්‍යන්තර ලේබලයේ ඊ පී තැටියක් උදෙසා පටිගත කරන්නට යෙදුනි. එහි පෙරටුගාමී සාමාජිකයන් ව සිටියේ ධම්මික විජේසිරි, මොන්ටි වත්තලදෙනිය සහ ඇනස්ලි මාලේවනයි. ඉන් ටික කලකට පසුව ඊට ෆෙරෝස් අස්මන් (ගිටාරය), උපාලි උබයසේකර (සිතාර්) ද සම්බන්ධ විය.  

'ගුවන් විදුලි ඉංග්‍රිසි සේවයේ ප්‍රවිණ නිවේදක ’විජය කොරයා’ විසින් ඔහුගේ ගීත ඇතුළත් තැටි ඇල්බම ගුවන් විදුලියේ ඉංග්‍රිසි සේවයේ සති අන්තයේ ’සැටර්ඩේ ස්ටාර්ස්’ වැඩසටහනේ වාදනය කරන ලදුව, ඔහුද ඔහුගේ කන්ඩායම ද දිවයින පුරා සංගීතලොලීන් විසින් ආදරයෙන් වැළඳගන්නා ලදී. ඔහුගේ මැදිහත්වීම නොවන්නට, ඔවුන් ඇතුඵ සියඵ කන්ඩායම් ගී  සාමාජිකයන් ගේ ගීත ’වෙළඳ තැටියට සිමාවී ඒවා ධාවන යන්ත්‍ර පෞද්ගලිකව සතු කරගත් ඉතා සිමිත ගණනක සංගීත ලෝලීන්ට සිමා වන්නට ඉඩ තිබිනි. 

---------------------------------------------------------
මෙම ලිපිමාලාවේ දී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ මුල් ගීත ගණනාවක් ඉදිරියේදි පළකරන්නට අදහස් කරගෙන සිටිමි. මෙහි ඉදිරිපත් කෙරෙනුයේ පූර්විකාවක් බැවින්, ඔහුගේ අනගිභවනීය නිර්මාණ හැඳින්වීමේ සංයුක්ත සංගීත ඛණ්ඩයක් එනම් ඔහු විසින් තමන්ගේ සහ අනුන්ගේ ගීත උදෙසා පබඳින්නට යොදුනු සුරම්‍ය විදුලි ගිටාර් වාදන ඛන්ඩ රටා සහ ඔහුගේ නිර්මාණයන් ගුරුකොට ගෙන සහෝදර ශීල්පී ස්ටැන්ලි පීරිස් 
 ඇතුඵ ඔහුගේ ෆෝර්චූන්ස් වාදක මන්ඩලය (දුව රෝසී - වින්ස්ලෝ සික්ස් ගායිකාවන් - 1971)   විසින් කළ අනුවාදනයක් ඇතුළත්ය.

---------------------------------------------------------------

මෙතැන් හි සිට ඉදිරියට.................
----------------------------------

මුලාශ්‍ර තොරතුරු - කෘතඥ පූර්වක ස්තුති ප්‍රනාමය 

ගායන ශිල්පී ඇනස්ලි මාලේවන මහතා (මූන්ස්ටෝන්ස් - ද සුපර් ගෝල්ඩන් චයිම්ස්)

ගායන ශිල්පී අනිල් භාරති මහතා (ද ගෝල්ඩන් චයිම්ස්)

ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය (ත්‍රී සිස්ටර්ස්) 

ගායන ශීල්පිනී ලාංකිකා පෙරේරා මහත්මිය (ද ගොල්ඩන් චයිම්ස්)

සංගීතඥ ගායන ශිල්පී  මෙල්රෝයි ධර්මරත්න මහතා (ධර්මරත්න බ්‍රදර්ස්)

සංගීතඥ ගායන ශිල්පී මහින්ද බන්ඩාර මහතා (ෆෝර්චූන්ස්) - ප්‍රවිණ ගිටාර් වාද්‍ය ශිල්පී  - 

පීටර් රණසිංහ මහතා (ලාංකා ගී තැටි සංරක්‍ෂකයන් -එකතුකරන්නන්ගේ සංගමය)

4 comments:

  1. පෙරවදනත් හරි වැදගත්
    ඉතිරිය වෙයි හරි රසවත්
    දෙවෙනි කොටස කියවන්නට
    එනවාමයි මං ආයෙත්!

    ReplyDelete
    Replies
    1. මතු පරපුර අමතන්නෙමි...
      යුගයක තතු පවසන්නෙමි....
      සත්සර රස කළතන්නෙමි...
      ඔහුගේ ගුණ අගයන්නෙමි

      Delete
  2. යොවුන් වියේ සොඳුරු මතක කතාවට සංගීතය සැපයූ සහෘද සංගීත සං‍යෝජකයන් පිරිස අතරේ සිටි ළබැඳියෙක් ඔහු..... ඒ සොඳුරු අතීතයට යළි ඇතුළු වන්නට මා නමින් ද ප්‍රවේශ පත්‍රයක් මේ සටහන ඔස්සේ ලබා ගත් බව මෙහි ලියා තබමි..
    ජය ම වේවා.....

    ReplyDelete
    Replies
    1. පැමින කියවා බලා යන්නන්...
      බලා නොකියවා දුවන්නන්....
      එමට සිටියත් නිතර මෙදියත....
      තවත් අය සටහනක් තබමින්...
      අගයමින්, නොගරහමින්....
      දිරිය වඩවා .... යමක් පවසති...

      බොරඵ ගල්කැට එමට ඇත්තේ...
      මැණික් කැට නැත නිතර ඇත්තේ..
      සුහදිනිය ඔබ මැණික් කැටයකි.
      බොරඵ කඳු වැටි යාය මත්තේ...

      Delete