namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, January 17, 2024

එදා සිංහල ගම්මානය - 05

සීංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 05

ජන්මයෙන් ලද කලා රසඥතාවය පුබුදුවන පරිසරය ’ගම්මානය සහ එය වටකරගත් ’බැද්ද’ යි. ගම්මානයේ ප්‍රභූවරයෙකු ලෙස සැළකූ වෙදරාළ තමාගේ ඔසු නිපදවාගන්නා කම්හල අවට වනයයි. එහි වැවි ඇති ඖෂධීය ශාක වර්ග හොඳින් හඳුනන්නේ ඔහු පමණක් නොව සාමාන්‍ය ගැමියන් පවා ඒවා පිළිබඳව හොඳින් දැනුවත්ය. ඒ බවට සාක්‍ෂි සැපයන්නේ 17 වන සියවසේ උඩරට සෙංකඩගලපුර රජවාසළ සිරකරුවෙකු ලෙස දිවිගෙවූ බ්‍රිතාන්‍ය ජාතික ’රොබ්ර්ට් නොක්ස්’ ය. ඔහු ලියු ජගත් පූජිත පුස්තකයේ ඒ බව සටහන් වි තිබේ. සංගීත කලාව අගයන්නෝ හට තම කුසලතාවය වඩවා ගන්නට ඇවැසි ගහකොළ් අතර උණ’ පඳුරු ප්‍රමුඛය. එයින් කපාගන්නා බට සිදුරු කරමින් ඔවුහූ ’බටනළාව’ නිර්මාණය කර ගත්තේය. ලන්දේ, බඩවැටියේ, කුඹුරේ ඇවිද යමින් ලද විවේකයේදී පාඵව කාන්සිය දුරුකරගත්තේ එය වැයීමෙනි. හේනේ කූඹුරේ අටවාගත් පැල තුළින් නැගඑන සීපද රාවය, සවන් වැකි වෙනත් පැල්රකින්නන් ද පිළිතුරු සීපදයකින් සංග්‍රහ කරයි. එය එකම සීපද රසගුලාවක් වන්නේ එවිටය. මෙ හඞ සවනත වැකි වල් සතුන් බැද්දෙන් මෑත් වීමට බියක් දක්වයි. මේ සංවාදය පැල් රකින හිරිමල් වියේ ගෙවිළියක් සහ ගොවි තරුණයෙකු අතරය. 










රෑ.... රෑහඳේ හේනකින් සීපද ඇහුණයි....

හීනෙකින් ඒ හඞට මගේ හිත බැඳුනයි.....


රෑන බඹරු වටකරගත් වැටකේ මල වැන්නේ...

උඹේ රූ වරුනා සීපද මට කියන්න හිතදෙන්නේ ...


මීරකින් කීවොතින් ගී කවි සිංදු .....

ආදරේ කෝලපෙම් රූබර ලන්දූ .....


හව් හරනෙට පැළඉනිවැට විතරයි කල එළියේ ...

මා කාන්සියේ රෑ වරුවම හිරිමල් හුරතළියේ...


පාඵවේ රෑ දවල් කිමද තැවෙන්නේ...

ගංගොඩින් කවුරු හෝ කැන්දන් එන්නේ


නපුරු බහට සුබාරුසිරු අඩුවක් නොමවන්නා..,

රෑ බැත පාගන කමතෙහි කවි කියමුද අපි දෙන්නා....

(අජන්තා රණසිංහ කවි පද මියැසිය ප්‍රේමසිරි කේමදාසගෙනි, ගැයුම අමරදේව සහ නිරංජලා සරෝජිනීගෙනි)

’වැටකෙයා’ පඳුරු ශාඛය දිය සිරාවට පෙම් බඳියි. එය හොඳින් ගං හෝ..වැව් පොකුණු විල් ආශ්‍රීතව වැවෙයි. උද්භිද වේදයේ ’කඩොලාන’ පවුලේ සාමාජිකයෙකි. ’දුනුකෙයියා’ වැටකෙයියා වේ නිවුන් සොයුරා වැන්න. එය ද ජලජ පඳුරු ශාඛයකි. එකබැල්මට ’අන්නාසි’ ඵලයක් බඳූ වූ සුගන්ධවත් වැටකේ මල කටු සහිත ජලජ පඳුරු ගොන්නට ළංවි අසිරූවෙන් නෙළා ගත යුතු නිසදෝ එය බුදුපුදට පැමිණවු කල්හි ඔහුට ඇයට අනුසස් බොහෝ යැයි ජනවහරින් කියැවෙයි. වැටකෙයියා නොසළකා හැරිය නොහැකි ඔසු ශාක ගණයට අයත්ය. දියවැඩියාව, අර්ශස්, මුත්‍රා අඩස්සිය, උණ, අපස්මාරය ආදි රෝගාබාධයන් සංසිඳවාගන්නට එය පිහිටවෙයි.

--------
වැටකෙයියා
-------------


ලක් ඉතිහාසයෙ ලියැවුනු සාහිත්‍යවංශයේ, වැටකෙයියා පත් ද ලේඛනකලාවට උපයෝගි කරගත් බව කියැවේ. වැටකෙයියා මල සංස්කෘත බසින් ’කේතකි’ යැයි කියැවෙද්දී, ඇතැම් විට ඒවා වර්ග දෙකක් බව සඳහන් වෙයි.

පිදූනු රන්වන් ගොයම හිසින් රැගෙන විත්, ගෞරව බුහුමානයෙන් ’කමතේ’ තැන්පත් කර, අම්බරුවන් යොදා පෑගිම අරඹන්නේ ගොම්මන් යාමයෙන් පසුවය.  ලන්තෑරුම් සහ පසුකාලීනව පසුගිය සියවසේ අවසන් දශක කිහිපයේ ’පැට්‍රෝමැක්ස්’ ලාම්පුවෙන් එකාලෝක වූ කමතෙහිදි ’බැත’ පාගනු ලබයි. එහිදී  ගොවිදරු දැරියන් හා වැඩිහිටියන් එකට එකතු වෙයි. 

හේන අද්දර රෑස්ස ගහක ඇටවු අට්ටාලයේ සිට පැල් රකින ගැමියාට නින්ද පළවා හරින්නට සිදුවෙයි. නිදිබර දෑස පියවී ගොස් තිබුනේ යම් කාලාන්තරයකටද, තමා මෙතෙක් දිනක් දැරූ වෙහෙස මහන්සිය, උත්සහය සම්පූර්ණයෙන් අපතේ යන්නට ඒ කාලාන්තරය සෑහෙනු ඇත. පියවි ලොවට එළඹෙන ඔහුට ඇතැම් විට දක්නට ලැබෙනුයේ සතුන් විසින් කා දමා ගිය භෝගවගාව විය හැකිය. එය ඉවසා දරාගත හැකි පිඩාවක් හිරිහැරයක් කරදරයක් නොවනු ඇත. රැයක් පුරා නිදිවර්ජිතව අට්ටාලයේ හිඳිනා ගැමියා ගේ සසල සිතට නොයක් සිතුවිලි පහළ වනු ඇත. තවමත් විවහයක් කර නොගත්තේ නම්, එය සිදුකර ගන්නට පවා අස්වනු සරු විය යුතුය. භවභෝග සම්පතින් අටුකොටු පිරිය යුතුය. එවිටය ඔහුට ඥාති වර්ගයාට බත බුලතින් සංග්‍රහ කළ හැක්කේ. සිතුවිලි දාම රැහැන් පටින් වෙළෙමින් යන ගැමියා තම හෙට දිනය සරුකරගන්නට සිහින මාලිගා මවමින් සිටී.


බොල්පිනි වැටිලා හිරු රැස් වැටිලා මැණික් ලෙසින් දිලිසේ ....

මට බහ දුන්දා විළීයෙන් ඇඹුරුන මැණිකෙගේ නෙත් විලසේ ..,

මෙදා සැරේ කුරහන් කිරි වැදිලා සුළගේ ළෙලදෙනවා ....

කූඹුකෙන් නාගෙන වරළ විදා යන මැණිකෙව සිහිවෙනවා....

ගොවිතැන් සාරයි එකෙන් නැහැ නොවැ .....අතමිට අඩුපාඩු .....

පළඳන්නම් ගෙල මාල සවන් යුග ළෙලවමි රන්තෝඩු ...


ගේ පොඩියෙත් වැඩපල අවසන් මුත් ...

එළියක් එහි නැනේ ... මේ කන්නයෙදිම අස්වනු කැපුවම...

මැණීකෙත් එනවානේ ......


රෑ පැල් රැකලා ...පැල් කවි කියලා ....

නිදි නැති දෙනෙත බරයි ......

වෙහෙස නිවන්නට තුරුලිය නළවා ...

එන මද පවන සුවයි.....


(කරුණාරත්න අබේසේකර, පැට්‍රික් දෙණිපිටිය ගී තනුවේ මිහිර සී ටී ප්‍රනාන්දුගෙනි - 1973)


මතු කි ලෙසම,ගම්මානය පුරා ස්නානය පිනිස ඇති ළිං වලට ,කුඹුක් ගස් සෙවණ ලබන්නට සලස්වා ඇත්තේ ගැමියන් විසිනි. දියපිරිසුදු කිරීමේ කාරකයක් ලෙස එය නම් දරා සිටියි. ඒ නිසා සියඵම පොදු නාන ළිං ’කුඹුක ළිඳ’ නම් ලබයි. 

----------------------
වදමල

-----------------

හේනේ පැල් රැකිමේ භාරදූර රාජකාරියෙන් ඉසිඹු ලද ගැමියා හිමිදිරි පිනි පොද වැටුනු , වදමල් යායේ ලෝහිත පැහැයෙන් සිත්තම් වූ දෙවැට දිගේ තම පැල්කොටය කරා පියනගයි. ගැමි යුවතියෝ ඒ යාමයේ ඉහුම් පිහුම් කටයුතු සඳහා ලක ලෑස්ති වෙති. ඇය ස්නානය පිනිස අසලින් ගලායන ඔයට, පිහිල්ලට, දියකඳුරට යන්නී, කලය උකුලේ රඳවාගෙනය. ඒ පැල්කොටයට දිය ගෙන ඒමටය. ඇය ඈතින් එන්නේ කෙත්යායේ නියර දිගේ හෙමින් ඇවිද යයි. රැයක් පුරා නිදිවරා එන ’ඇය’  ඔහුගේ නෙතට රසඳුනකි. නිතැතින්ම ඔහුගේ කවිසිතුවිලි පිබිද අත්තටු ලැබ ඈතට පියඹා යයි. මනහර මුව සරසන එකපෙළට කඩතොඵ රහිතව පිහිටි දසන් උපමා කරනුයේ ’සමන් කැකුඵ’ වලටය. ගැමි ගෙමිදුල් පුරා, ඔවුන්ගේ නිවසට පිවිසෙන කඩුල්ල දෙපසින් සමන් පිච්ච පඳුරු විරාජමානය. එහි පිපි ළෙලදෙන ’සමන් මල්’ පිසඑන මන්ද මාරුතය හමන්නේ සමන් මල් සුවඳ ද රැගෙනය. මිදුලේ කොණක අටවා ඇති පහන් පැළට පුදදෙන්නේ සමන් මල්ය. නුදුරින් ඇති විලෙහි සුපිපි ’නෙඵම්’ සහ ’මානෙල්’, එහි කරවටක් බැස නෙළා ගන්නේ විහාරය වඳිනු පිනිසය. ඒ කාර්යය පිනිසම කැපවූ කොඵ කෙළි පොඩිත්තන් ඔරුවක නැගී ඒ කාර්යය පහසුවෙන් ඉටුකරගනිති. විල් ඉවුරට එන ඔරු කඳ මත නෙඵම්, මහනෙල් පොදි ගැසී තිබේ. 

අපුරු ඔසුගුණයක් රක්ත වර්ණයෙන් දිදුළන ’වදමල’ සතුය. එය දරුගැබ ඇතිවීම වළකන බව කියැවෙයි. රුධිර පෝෂනය කරයි. නිරක්තිය පළවා හරී. පොකුරු වදමල් පෙති උණුසුම් ජලයේ තබා එය පානය කරන්නෝ අධිරුධීර පීඩනයෙන් මිදෙති යැයි කියැවේ.  පොල් හෝ තල තෙලින් රත්කරගත් මේ පෙති කල්ගිය පැසවූ තුවාල සමනය කර සුවය ඇති කරයි. 


මහනෙල් මල් දෙකක් වගේ ... දෙනෙත දිළෙන්නේ ....

සමන් කැකුඵ දසන් විදා ... සිනහ නගන්නේ ...

වදමල් පැහැ ගත් දෙතොලග මිහිර පෙනෙන්නේ ...

පුරහඳ මෙන් මුතුමැණිකගේ මුහුන පෙනෙන්නේ .....


මුතු මැණිකේ කලේ අරන්........

දිගු වරළස පිටේ හෙලන් ... 

කොයි යනවද උදෑසනින් ...?

තව පොඩ්ඩක් හිනාවෙයං....


නියර දිගේ සුමුදු පාද හෙමින් තබනවා....

විලේ නෙඵම් ඇය දැක ගන්නට පොරකනවා...

උදාගිරෙන් හිරු කුමරා මුකුඵ කරනවා...

ගමේ පහන මුතුමැණිකේ වතුරට යනවා.....

(සරත් මුණසිංහ ගේ පද පැට්‍රික් දෙණිපිටිය සත්සරයෙන් ගැයුවේ සී ටී ප්‍රනාන්දුය - 1967?)

විහගුන්, සමනලුන් මෙන් ගම්මානය පුරා දුවපැන ඇවිද ගිය ළපැටියෝ සොබාදහමේ අසිරිය විඳිමින් එහි දායාදයන් අත්දකිමින් තමන්ගේ නෙත  ගැටුනු සොඳුරු දසුන්, පරිකල්පනය හා මුසුකරගනිමින්, රසකාමින් බවට පත්වූහ. මතු කීවාක් මෙන්, ගහකොළ පැළැටි ගැන ඔවුන් හොඳින් දැනුවත් විය. සිය කුසගිනි නිවාගන්නට සොබාදම් මාතාව දායාද කළ රසමසවුඵ  කවරේද, රෝගාබාධ පීඩා දුරුකරගැනීමට ඇය පිරිනැමූ ගස්වැල් කවරේද යන්න ඔවූහූ අත්දැකීමෙන් දැනකියාගත්හ. ඔවුන්ගේ සිතකය සනසා නැළවූයේ ඇයයි. පාරිභෝගිකවාදයෙන් ජරාජීර්ණව, ගතවන හෝරාවක් පාසා අසහනයෙන්   පෙළෙන නාගරිකයන් ගේ දූෂිත මනසින් කවර නම් නිර්මාණයන් බිහිවේද? කවර ලෙසට මානව වර්ගයා සුවපත් වේද? එසේ නොවන්නේමය. ඔවූහූ අතෘප්තියෙන්, අසහනයෙන් ජිවිතාවසානයට එළඹෙන්නේ බහුභාන්ඩිකත්වයේ වහලුන් බවට පත්වෙමිනි.

මෙහිදී, එදා දුරාතීතයේ විසු ගම්වැසියන් ද්‍රරිද්‍රතාවයෙන් පෙළීම නිසා, ඔවුන්ගේ ජීවන මට්ටම පහත් ව පැවතෙන්නට ඇතැයි, වර්තමානිකයන්ගේ දෘෂ්ඨි කෝණයෙන් අතීත ගම්වැසියා දෙස බලන්නවුන් තර්ක කළ හැකිය. එහෙත් එදා ගමක කුලධූරාවලියට යටත්ව, ඔවුන් සිය ජීවන මට්ටම පිළිබඳව සෝ දුක් සංකා ඇති කර ගත් බවක් කියැවෙන පුවත් දුලබය.  එහෙත් සාමාජ අසාධාරණයට ගොදුරු විම අදටත් වඩා එදා තිබුනි. එවැනි පුවත්, වාර්තා සුලභය. 

දෙසතියක විරාමයකි................

8 comments:

  1. සුපුරුදු ලෙසින් ම දැනුමින් සහ මිහිරෙන් රසික සිත් සැනහෙනවා.. මේ කුඹුකෙ ළිඳේ ගී ගොන්නට අබේවර්ධන බාලසූරිය සහ නිර්මලා රණතුංග ගැයූ "කුඹුකෙ ළිඳෙන් දිය නා අපූරුයි රන් කද වාගෙයි රන් මැණිකේ..." ගීතයත් එකතු වේවි නේද?
    සී.ටී.ප්‍රනාන්දු මහතාගේ "රෑ පැල් රැකලා" අහද්දී "කුඹුකෙන් නාගෙන වරල විදා යන මැණිකෙ" කොටසින් මේක මතක් වුණා....

    ReplyDelete
    Replies
    1. 02 වැනි කොටස කියවන්න ඒ ගීතය එහි වාදනය වෙයි. ස්තුතියි !

      Delete
  2. සී. ටී. ප්‍රනාන්දුගේ "රෑ පැල් රැකලා..." ගීතයේ මුල් පද පේලිය "බොල් පිනි මත ලා හිරු රැස් වැටිලා..." ලෙස නිවැරදි විය යුතුය. මෙම පැරණි ගීත මුල් ස්වරූපයෙන්ම අසන්නට අවස්ථාව ලබාදීම ගැන ඔබට තුති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ! මේ සියල්ලම මුල් පිටපත්ය
      රෑ පැල් රැකලා....ඒ යුගයේම දෙවන පට්ගත කිරිමක් නමුත් එය මුල් ගීතය ට ඉතා සමානය. එසේ කියන්නේ ගීත දෙකම මා සතුව ඇති නිසයි.

      ඒ මුල් ගීතය මෙම සර්වරයේ දී ක්‍රියා නොකරයි.

      Delete
  3. රෑ හදේ සී පද ඇහුණයි ගීතයේ මියුසික් එක පාරටම කේමදාස මාස්ටර්ගේ කියලා කියන්න බැරි තරම්...එහෙත් සංගීතය කේමදාස මාස්ටර් ගෙ කියලා දැන ගෙන අහනකොට කේමදාස ලකුණ පේන්න ගන්නවා.

    සීටී ප්‍රනාන්දුගෙ ගීතය මා අසා තිබෙනේ රෑ පැල් රැකලා කියන ඉන්ට්‍රො එකත් එක්ක තමයි...සිටී ගේ ගීත ඇසුවේ නාගරික මිනිස්සු. නාගරිකයන් අතර සුන්දර ගම කියන ආකල්පය වැඩෙන්න මේ වගේ ගීත හේතුවෙන්න ඇති කියලා හිතනවා..

    ReplyDelete
    Replies
    1. මේ සියල්ලම ළමා කාලයේ හෝ ඔවුන් සහ දෙමව්පියන් ගේ ගැමි පරිසරය ආශ්වාදනය කරන්නට ඇත.

      සී ටී ගේ ගී පද රචකයෝ ද එවැන්නන් බව නිසැකය.

      බටනලා ශුරයෙකු ලෙස සංගීතය අත්පොත් තැබු කේමදාසයන් ගේ නිර්මාණ එයින් හැඩවැඩ විම අරුමය නොවේ.


      ස්තුතියි

      Delete
    2. ‘බකිනි ගහේ බකිනි මලෙන් පාර අහන්නේ’
      ‘සෙවනේ කුඹුක් සෙවනේ’ හිඳ ආල වඩන්නේ
      ‘වරල විදාගෙන කුඹුකෙන් නාගෙන’ හනිකට ගෙට එන්නේ
      ‘ගම්මැද්දෙ ඉතින් හැදුණාට කතන්දර ඒකෙ වගක්’ නැහැනේ!

      Delete
    3. එවන් වදන් ඇත එමට ගෙතීලා.....
      නොගිනිය හැකි ලෙස රසට ගයාලා.....
      එබැවින් මිතුරේ යසට පෙරාලා.....
      ගැමිරස උතුරන ගී අමුණාලා....
      ගෙත්තම් කෙරුවෙමි එකට ගොතාලා....
      ලක්බිම ගම වරුණාව කියාලා....
      ලක්මව සරසන ගී රන්දාමය...
      සිව්හෙළ ගැමි ගී රස අබිමානය...
      යුග යුග පොබයන කව්මිණිමුතුපෙළ...
      සැනෙහෙව්...අගයව්..දින දින මේලෙස....

      Delete