namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, October 2, 2016

ප්‍රවිණ සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන ජීවන තතු














එදවස දෙසවන් නැළවු සත්සර රන්ස්‌වරය (1924-1980)

ආර් ඒ චන්ද්‍රසේන තම වාද්‍ය වෘන්දය මෙහෙයවමින් එවකට ජනප්‍රිය ශිල්පිනී ගායිකා මේබල් බ්ලයිත් විසින් ගයනා කරන සිනමා ගීතයක්‌  සංගීතවත් කරනු ලබයි - 1950 දශකයේ දෙවැනි භාගය ලංකා චිත්‍රාගාරය වනලිය  - අධ්‍යක්‍ෂණය බී ඒ ඩබ්ලිව් ජයමාන්න

01 ප්‍රවිණ සිංහල සිනමාවේ පුරෝගාමි චිත්‍රපට අධ්‍යක්‍ෂ මීගමුවේ මිනර්වා නාට්‍ය කණ්‌ඩායමේ ප්‍රධානි බී ඒ ඩබ්ලිව් ජයමාන්නයන්
02 1950 දශකයේ අතිශය ජනප්‍රිය සිනමා ගී ගනනාවකට පදවැල් ඇමිණු ගී පද රචක ඒ ජේ ද සොයිසා
03 මයික්‍රෆෝනය ට හඩ මුසුකරමින් ගායන ශිල්පිණි මේබල් බ්ලයිත්
04 සිංහල සිනමා සංගීතය විප්ලවීය වෙනසකට බඳුන් කරන ලද දැවැන්තයෙකු බවට පසුව පත්වූ ආචාර්ය ප්‍රේමසිරී කේමදාස  (මයික්‍රෆෝනය  පසුබිමින් කැමරාව දෙසට මුහුණලා පාදය දුරට විහිදුවා)

ඕබෝ   සැක්‌සෆෝනය   ක්‌ලැරිනට්‌    ට්‍රම්පට්‌   වාදකයන් (කෙළවර සිටගෙන) ඩ්‍රම්ස්‌ වාදක ශිල්පයාට වම්පසින් වයලීන් කණ්‌ඩායම එවකට හා පසුව  ඔබ මෙහි සාමාජිකයන් හඳුනගන්න සමත් වේ නම් කරුණාකර සටහනක්‌ මගින් එකී විස්‌තර දක්‌වන මෙන් ඉල්ලා සිටිමි

(විශේෂ ස්‌තුතිය - ඡායාරූපය අනුග්‍රහය - ආචාරිනී දර්ශනී චන්ද්‍රසේන මහත්මිය - ආර් ඒ චන්ද්‍රසේන කණිටු දියණිය)


------------------------------------------------------------------------



(සීණුව දෙවරක්‌ නාද වෙයි) වේලාව පෙරවරු නවය පසුවි විනාඩි තිහයි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ සිංහල දෙවැනි සේවයයි මෙතැන්දි සිට කණ්‌ඩායම් ගී තීරයක්‌ ආරම්භ කරමින් සුපර් ගෝල්ඩන් චයිම්ස්‌

ඩ්‍රම්ස්‌ වාදන පමණක්‌ද නැත නැත ගීටාර් වාදන විවිධාකරයෙන් සැක්‌සෆෝන් ට්‍රම්පට්‌ ඒ සියල්ලට ම වඩා අධිවේග රිද්මය විසින් අමුතු චමත්කාරයක්‌ මවනු ලැබ තිබේදි


යළිත් දෙවැනි ගීතය වාදනයට සුදානම් වන සෙයකි
අසවල් ගායකයන්ගේ අසවල් ගීතය වන්නේනම් යන සිතිවිල්ල සමග හෘද ස්‌පන්දනයද ඉහළ ගොසිනි

නිවේදිකාවගේ හඩ ඇසේ එවර ඇය මෙසේ කියයි

දැන් තිලංගනී හා දර්ශනී චන්ද්‍රසේන ගැයු ගීතයක්‌

ඒ සියල්ල රස වෑහෙන විදුලිරටා වේගයෙන වැයෙන විදුලි සරපුවරු නාදමාලා වලින් අනූනය
දවස පුරාවටම අඩුවෙන්ම ඇසෙන දුර්ලභ එතරම් සුන්දර සුමියුරු ඕගන් වාදන මොහොතකින් ඇසෙනු ඇත

ශ්‍රී ලංකා අලංකාර ලංකා ?
විලේ මලක උපන්නී ?
රොන්සුනු මල්පැණි දිගන්තේ ?


එලෙස ළමා ශ්‍රාවක අප කුල්මත් කළ ඒ ගීතයන්හි නිර්මාපකයන් පද රචකයන් මේ කිසිවෙකුත් පිළිබඳව දැන ගන්නට එදා අපට අවැසි නොවිය

නමුත්

එලෙස දිනෙන් දින වසරින් වසර ගතවී පරිණත වැඩිහිටි සිසුන් වූ අප මේ සුමියුරු ගීතාවලියේ සංගීතය වාදන රටා මේවා කවරෙකුගේද ?

යන්න පිළිබඳව සොයා බලන්නට සිත්වූයේ සංගීත විෂයයේ පුඵල් බවේ සංකීර්ණ බවේ දිග පළල අවබෝධ වන්නට පටන් ගත් අවධියේය

සෙසු ශිල්පීන් සරල ගීතාවලිය මත පදනම් වූ ගායන රටාවේ ගැඹුරු බව පදමාලාවන්හි අරුත්බර බව පමණක්‌ නොවදි අරුත්සුන් බවදි සංගීත අධ්‍යක්‍ෂණයේ සංයෝජනයේ විසිතුරු යන මේ කරුණු නිරවුල් කරගන්නට සමත් වූ වයස්‌ මට්‌ටමකදී ඒ අපුරු සංගීතඥයා ගේ වතගොත සොයා දැනගන්නට පෙළඹවීය

ඔහු නවක ගායක ගායිකාවන් රැසක්‌ හඳුන්වාදෙමින් ඔවුන් ගේ හෙට දිනය යහපත් කරන්නට පසුනොබා ගුරුහරුකම්ලබා දෙමින් මැවු තම මුල්ම ස්‌වරරටාවෙන් ඔවුන් ගැයු ගීතය ඔස්‌සේ ඔවුන්ව ජනප්‍රියත්වයේ නම් සෝපානයේ මුදුන් ඉමටම කැඳවාගනිමින්දි සිංහල ගීත ක්‍ෂේත්‍රයේ ප්‍රගමණයට අනුපමේය දායකත්වයක්‌ ලබාදුන්

ප්‍රවිණ සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේනයන්ය රණසිංහ ආරච්චිගේ චන්ද්‍රසේනය

ඔහු පිළිබඳව අදදවසේ ගී ශ්‍රාවකයන් සහෘදයන් නොදන්නා දෑ බොහෝ ය ඇතැම්විට එදා එකී ගී පෙළ රසවිඳී රසික ඔබද ඒවා නොදන්නා බව නිසැකය


ඔහුගේ නිර්මාණ දිවිය කිසිසේත් රෝසමල් යහනාවක්‌ නොවීය පියමං කල ගී මං පෙතේ විඳින්නට සිදු වූ දුක්‌ ගැහැට කැපිළි කෙටිලි අවමන් ගැරහුම් නම් මහා ප්‍රවාහය විසින් ලද සිමාසහිත කිත් පැසසුම් තලාපෙළා පොඩිකර දැමුවා වැන්න

මෙතැන් සිට එදා එකී ගී ශ්‍රවණිත අගය කළ ශ්‍රාවක ඔබවෙත නිරාවරණය කෙරෙන්නේ ඒ මහා පෞරුෂය දරාගත් කුඩා සිරුරකින් හෙබියා වූ මෙකී ගාන්ධර්වයාගේ දිවිගමනේ තොරතුරු බිඳකි


ප්‍රිය රසිකය

පහත පේළි කරා සෙමෙන් ඔබේ දෙනුවන් මෙහෙයවනු ලබත්වා මක්‌ නිසාද යත් ඔබ මින් පෙර නොඇසු දෑ මෙහි ඇතැයි යන්න හැගෙන නිසාවෙනි
මේ ලක්‌ පොළොවේ තම සහෝදර ජනයන් වෙත සංසාරිකව තමා උරුමකරගත් සංගීත ශිල්පයේ විසිතුර පාන්නට දෛවය විසින් යොමුකරවන ලද ඔහුට මුහුණදෙන්නට සිදුවූ අනුවේදනීය සිදුවිම් පෙළක අනාවරණයයි මෙසේ ලියෑවි ඇත්තේ

එයින් රසික සහෘද ඔබටද මතු නොව මෙකී ශීල්ප සතර හදාරන විද්‍යර්ථීන්හටද තම දිවිමග චාරිකාව වඩාත් සුමුදු සුමට කරගැනීම සඳහා එය මහෝපාකරීවනු ඇත

මේ සටහනේ ඇරඹුම පිණිස හෙළයේ අවසන් රාජධානිය වූ කන්ද උඩරට සෙංකඩගල පුරවරය වෙත පිවිසෙමු

ඒ විසිවන සියවසේ දෙවැනි දශකයි 1924නිකිණි මස 07 වන දිනයයි චන්ද්‍රසේන දරුවා සාමාජිකයන් එකොළොස්‌ දෙනෙකු ගේ පවුලේ තෙවැන්නා ලෙස රණසිංහ ආරච්චිගේ පීරීස්‌ පෙරේරා හා සෙලෙස්‌තිනා ඩයස්‌ යන මේ දම්පතීන්ට දාව උපත ලැබීය ඔහු අකුරු කලේදිඑවකට රාහුලය නමින් හැඳින්වූ මහනුවර සිරි සුමංගල විදුහලෙනි එහෙත් අකුරට යන ඔහුගේ ගත එහි රැඳුනද සිත පියඹා ගියේදිවාදනය වෙතටයි පියාගේ දැඩි විරෝධය හමුවේ පෙර අත්බැව්හි පටන් ප්‍රගුණ කරන්නට ඇතැයි යමෙකුට හැගීයන සංගීතය විෂයෙහි ඔහු ඇලි ගැලී සිටියේය ඒ තුර්ය භාන්ඩ සාදමින් ඒවා වාදනය කරමින් හා අසල්වැසියන්ගේ ඒවා අඵත්වැඩියාකරදීමෙනි

යම් දිනක ඉවසීමේ සීමාවේ අන්තයට ගිය පියාණන් විසින් අඵත්වැඩියා කර තිබු වයලීනයක්‌ උදුරා පොළවේ ගැසීමේ ප්‍රථිපලය වූයේ තමා හැදුණු වැඩුණු නිවස ද පවුල ද හැරදමා නික්‌ම යන්නට ගත් හිතුවක්‌කාර තීරණයයි

එය ඉරණම විසින් ඔහු යා යුතු මග තීරණය කල සිදුවිමක්‌ වැන්න ඔහු අගනුවරට සේන්දු විය

කලාවට ලැදී කලාවේ නිමග්න මිතුරෙකුගේ නිවසේ නවාතැන් ගෙන වේදිකා නිළියක්‌ වූ එකී මිතුරාගේ භාර්යාව රගපෑ අන්ධ ආලය නාට්‍යයේසර්පිනා වාදකයෙකු ලෙස කටයුතු කරන්නට ඉඩ හසර ලබා ගැනිනි


1930 අවසන් වසර කිහිපයක එක්‌තරා දිනයකදී මාතර පැවැත්වුනු එය නැරඹිම සඳහා පැමිණ සිටි මහ සංගීතඥ ආනන්ද සමරකෝන් හා නාලන්දයේ ප්‍රවිණ ගුරුවරයෙකු වූද ගුවන් විදුලයේ ළමා පිටියේ මහ මෙහෙයුම්කරු අධිනිතිඥ යූ ඒ එස්‌ පෙරේරා චන්ද්‍රසේනයන්ගේ එතැන් සිට දිවිමග එළිය කරන්නට පායා හා හිරු සඳු ය

එදා ලැබි ඔවදන් හිස්‌මුදුණින් පීලිගනිමින් යළි පාසල් ගමණ ඇරඹු චන්ද්‍රසේන අදද පවතින කොටහේනේ කුමාර මහා විදුහලට ඇතූළත්ව එයින් නික්‌ම පසුව පුවත්පත් කලාවේ විස්‌කම් දෙව්පුත් බවට පත් ඩී බී ධනපාලයන් විදුහල්පති අසුන් අරා සිටි කැළණීයේ ධර්මාලෝකයේදී ශිල්ප දැක්‌වීය

විවේක වේලාවන්හිදී ගුවන් විදුලි ළමා පිටියේ වාදකයෙකු ලෙස ශිල්ප දක්‌වන්නට පටන් ගත්තේ සුපුරුදු සර්පිනාවෙන් පමණක්‌ම නොවේ තමා ඉන්ද්‍රජාලික වාදකයෙකු බව මනාව පසක්‌ කරවමින් තබ්ලා වටද වයලීනයටද මැන්ඩලීනයටද ඔහුගේ අතැගිලි පහස ලබන්නට ඉඩ හැරියේ නියමු යූ ඒ එස්‌ හෙවත් සිරි අයියාගේ නළල රැළිගන්වමිනි

තම දෑතට හසුවන කිනම් හෝ අයුරක හෝ වාද්‍ය භාන්ඩයක්‌ සොළොස්‌හැවිරිදි මෙතරම් තරුණ දරුවකු මෙයාකාරයෙන් වාදනය කරන්නේ කෙලෙසකදැයි තමාගේ ඇස්‌ අදහගත නොහැකිව තිබු බවත් එය නිසැකවම අනවග්‍ර්‍ර සංසාරයේ දුරඈතක සිට ප්‍රගූණ කරමින් එන්නා වූ දස්‌කමක්‌ විය හැකිය යන්න තමාගේ අදහස වන බවත් චන්ද්‍රසේනයන් මෙළොව හැරගියදා යූ ඒ එස්‌ පෙරේරා මහතානන් ලියූ සටහනක සඳහන් ව තිබේ

ශිල්පය මැනැවින් හදාරා ගායිකාවක්‌ ලෙස කිරුඵ දරන්නට සිහින මවමින් හඩ පරික්‍ෂණයක්‌ අරභයා ගුවන් විදුලියට ආ ගිය මියුසියස්‌ බාලිකාවියක්‌ වූ ශ්‍රීයාවතී පෙරේරා ඔහුගේ දිවිමග අත්වැල දරන්නිය බවට පත් වුයේ දිනදසුනේ පිටු 1946 වසර වෙනුවෙන් පෙරළෙද්දීය

අගනුවරින් තාවකාලිකව සෙංකඩපුර වෙත යළි සේන්දු වූ නවයුවළගේ පසුව ස්‌ථිර නවාතැන බවට පත් වූයේ එවක මරදානේ ඩේවිඩ් මාවත වූ වර්තමාන එල්ෆින්ස්‌ටන් රංගශාලාව පදෙසය

1948 යනු ලක්‌ ඉතිහාසයේ වංශකතාව මෙන්ම මෙකී සංගීතඥයා ගේ දිවිගමන ද එකාලෝක කල වසරයි අදද පැරණි රසංග තීරයේ සවනත වැකෙන දසබලධාරී බුදුරජු පෙරකළ ගීතය ගැයූ ආර් ඒ චන්ද්‍රසේන නම් ගායකයා ගේද සංගීතඥයා ගේ ප්‍රභා කාන්තිධාරා ලක්‌ පොලොව මත විහිදගියේ එකී වසරේදීය

එය ඔහුගේ පවුලේ හිතවතෙකු වූ වසන්ත කුමාර නම් ශිල්පියා නිර්මාණය කළ සඳකිඳුරු මුද්‍රා නාටකයේ ආරම්භක ගීතයයි එය එහි කථාංගයේ ද රචකයා වූ පාඨශාලාචාර්යය සෝමපාල කැකුළවලගේ පද සැකසුමකි

අගනුවර කලා ලැදී සංගීත ශිල්පය හැදෑරීමේ පිපාසාවෙන් පෙළෙන සිසු දරුවන් වෙනුවෙන් මරදාන චන්ද්‍රසේන කලායතනයේ දොර කවුඵ විවෘත වුයේ අදින් පන්සැට වසරකට ඔබ්බෙන් 1951 වසර ගෙවෙද්දීය එවකට භාරතයේ භාත්ඛන්ඩයේ හා ශාන්ති නිකේතනයේ ශිල්ප හැදාරා ලක්‌බිමට සැපත් වූ දෙවැනි ගාන්ධර්වයා ලෙස සැලකෙන සුනිල් සාන්තයන් ද නුදුරින් බම්බලපිටියේදීද සංගීත පාඨමාලාවක්‌ පවත්වාගෙන යමින් සිටියේය

දසුන නෙත ගැටුනු මතින් යමෙකුගේ නිසග හැකියාව දැන හඳුනාගැනීමේ ගුප්ත හැකියාවක්‌ ලද ඉන්ද්‍රජාලික චන්ද්‍රසේනයන් ගේ පෙළඹවීම මත එහි ඇතුළත්ව මෙකී සංගීතායතනයේ ඔහුගෙන් ගුරු හරුකම් ලබා ශිල්ප හැදෑරුවන් අතර පසුව සිංහල ගීතාවලිය බැබඵවෝ ගණනාවක් විය

මෙසමයෙහි චන්ද්‍රසේන නාමය අගනුවර කලා ලෝලීන් ගේ මුවග තුඩ තුඩ රැව්දෙන්නට පටන් ගත්තේ ඔහුගේ සප්තස්‌වරය කැවූ වේදිකා නාට්‍ය ගණනාවක්‌ එළිදැක්‌වීම නිසාය ඒ අතර පසුව දසත පතල දැවැන්තයන් වූ හර්බට්‌ එම් සෙනෙවිරත්න ජී ඇස්‌ බී රාණී ඇතුඵ පිරිසක්‌ චරිත නීරූපනය කළ දස්‌කොන් ද අරුණ ශාන්ති ජේශප් සෙනවිරත්න රගපෑ නගර ශෝභනී ද විය

ඒ චන්ද්‍රසේන නාමධාරී මිළග පරපුර දරු සම්ප්‍රාප්තිය ඉහත වසරින් ඇරඹුනු දශකයේදී සිදුවුයේ කෙසේද යත් පවුලට සිරිදුව කැන්දු කුඵඳුල් දුවණිය තිලංගනී ද පුතු ලලිත් ද දශකය ගෙවීයද්දී තෙවැන්නිය දර්ශනී ද ඩේවිඩ් මාවත කැදැල්ල ට එකතුවීමෙනි

අඳුරු වළා පටල ඈතින්වත් නොදිස්‌ වූ පැහැබර කාන්තිමත් නීලම්බරයේ හමනා මදපවනේ පහස ලබමින් චන්ද්‍රසේන කුටුම්භයේ දිවි තවලම කිරිසිනහා උතුරවමින් ඇදී යන්නට විය...........................

විරාමයකින් මතු හමුවෙමු.....................
(විශේෂ ස්‌තුතිය - ආචාරිනී දර්ශනී චන්ද්‍රසේන මහත්මිය - ආර් ඒ චන්ද්‍රසේන කණිටු දියණිය)
මූලාශ්‍රය - චන්ද්‍රසේන ගාන්ධර්ව අපදාන - මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් විරචිතය

ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං

හෙටටත් අදටත් සර්වකාලීනය - මියුරුය ඒ අමයුරු ගී සරය  - ශ්‍රී ලංකාවේ ග්‍රැමෆෝන් ගී යුගය - 1915-1950


ලෝ නාථා බුදුහිමි රාජා  - පා ප්‍රේමා මුදු සිත ලොවටා
ගායනය  - ආර් ඒ චන්ද්‍රසේන - ශ්‍රියානි චන්ද්‍රසේන යුවළ විසිනි
පටිගත කිරීම - සිල්වර්ෆෝන් ශබ්දාගාරය (ප්‍රාථමික මට්‌ටමේ පැවති අවම තාක්‍ෂනික පහසුකම් සහිත ශබ්දාගරයකි) - කොළඹ යුනියන් පදෙස (වර්තමානයේ දක්‌නට නැති 90 දශකය දක්‌වා පැවති එම්පයර් සිනමා ශාලාව අසල පිහිටා තිබිණි)
හිස්‌ මාස්‌ටර්ස්‌ වොයිස්‌  ලේබලය - නිෂ්පාදනය - සිමාසහිත කාර්ගීල්ස්‌ සමාගම කොටුව - 1949 ?
තැටි අනුක්‍රමික අංකය - WN 151

පද රචනය - ශ්‍රියානි චන්ද්‍රසේන 


තනු නිර්මාණය හා සංගීත අධ්‍යක්‍ෂණය - ආර් ඒ චන්ද්‍රසේන


විශේෂ කරුණු - චන්ද්‍රසේන යුවළ විසින්ම සම්පූර්ණයෙන්ම දායක වූ ගී නිර්මාණයකි ගායනා කිරීමේදී ආර් ඒ චන්ද්‍රසේනයන් ස්‌පාඤ්ඤ ගිටාරය අතදරා වයමින් ගායනා කරනු ලැබූ බව වාර්තා වේ


මෙතැනින් සවන්දෙන්න

2 comments:

  1. අක්ක අයන්නෙ එන්නෙ කන්නෙ බොන්නෙ හරිම තාලෙටයි....

    මේ චන්ද්‍රසේන මාස්ටර්ගෙ දුවල දෙන්න කිව්ව තවත් සින්දුවක්. අද ඒ එක දුවෙක් ආකිටෙක් කෙනෙක්, අනික් එක්කෙනා ගැන දන්නෙ නෑ.

    කේමදාස විතරක් නෙමේ වික්ටර් පවා චන්ද්‍රසේන මාස්ටර්ගෙ ගෝලයො අතරෙ ඉන්නව. නමුත් ඒ කවුරුත් එතුමට කළ ගුණ සැලකුවද කියල සැකයි.

    ReplyDelete
  2. ස්‌තුතියි ඔබට

    ඔහුගේ බාල දියණිය දර්ශනි චන්ද්‍රසේන මහත්මිය විසින් හෙළිකළ තොරතුරු ද පදනම් කරගෙන මෙම ලිපිය සකස්‌ කෙරී ඇත
    ඇය සංගීත ගුරුවරියකි සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාවකි

    ReplyDelete