namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, June 6, 2018

සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන ජීවන තතු - අංක 04

එදවස දෙසවන් නැළවු සත්සර රන්ස්‌වරය  - 04 වන දිගහැ‍ර‍ැම (1924-1980)


1960 දශකය දෙවන භාගයට එළඹී ඇත චන්ද්‍රසේන සංගීත චාරිකාව සතරවන දශකයට එළඹෙමින් තිබිණි 



----------
ආර් ඒ 
චන්ද්‍රසේන -සිය තැටි ගී රස මවලූ සරපුවර‍ැව වයමින්----------------

පිය උරුමයෙන් තමනට දායාද වූ සප්තස්‌වර රස මැවුම් ශිල්පය අපමණ දුක්‌ ගැහැට කම්කොටොඵ විඳිමින් මේ දක්‌වා ස්‌වෝත්සහයෙන් ප්‍රගුණ කරමින්  ලොව ඇතිතාක්‌ හමුවෙනතාක්‌ දැනුවත්වනතාක්‌  සංගීත ශිල්පීය ක්‍රම අනුව ගැයුණු ගී අඩංගු තැටි ශ්‍රවණය කරමින් ඒවායේ ආකෘතින් හදාරමින් යළි යළි අත්හදා බලමින් ඒවා ඇසුරේ තම අත්දැකීම් අනුව නව නිර්මාණ බිහිකරමින් මෙතුවක්‌ කාලයක්‌ තමන් ආ ගමන් මග ඔහු ආවර්ජනය කරන්නට ඇත


තවද පෙර අපර දෙදිග ප්‍රධාන ප්‍රවාහයේ සංගීත විෂයධාරා ගුරුකුල ශිල්ප රටා විස්‌තර කෙරුණු පොත්පත් නිරන්තරයෙන් පරිශීලනය කරමින් තම කාලය මුදල් හා වැය කල ශ්‍රමය අපතේ හරින්නද ?

මේ දිවයින පුරා ගී රසිකයන් අතර නව පිබිදීමක්‌ ඇතිවෙමින් පැවති යුගයයි ගුවන් විදුලිය විසින් එතෙක්‌ කරගෙන පැමිනි හින්දි ගී උන්මාදයට උඩගෙඩි දීම සිමාකරමින් නව නිර්මාණ නව වැඩසටහන් රාශියක්‌ ඔස්‌සේ නිරන්තරයෙන් එළිදකින්නට වු යුගයයි

ඊට සමගාමිව පෞද්ගලික තැටි ධාවන යන්ත්‍ර හිමි රසිකයන් වෙනුවෙන් නවතම වෙළඳ තැටි ඇල්බම් එළි දක්‌වමින් පැවතින ගීත නදියේ ඉවුරු බිඳ නැගි ආ ලතින් ඇමෙරිකානු - ස්‌පාඤ්ඥ වේග රිද්ම සුසංවාද ප්‍රසංවාද ශිල්පය මත පදනම් වූ සාමජිකයන් ගණනක්‌ එක්‌ව ගයන සමුහ වේග රිද්ම ගායක කන්ඩායම් හතු පිපෙන්නාක්‌ සේ එළිදකින්නට වූ අතර ගුවන් විදුලිය ද තම සංගීත ප්‍රතිපත්තිය මදක්‌ ලිහිල් කරමින් ඊට රැකුල් දෙමින් ඒවා සඳහා  දිනපතා තම පෙරවරු ගුවන් කාලය වෙන්කරවා දී තිබිනි
මේ සියඵ කරණා සැළකිල්ලට බඳුන් කළ චන්ද්‍රසේනයන් ශිල්පීය දිවියේ එදා මෙදා තුර නොගත් පෙරළිකාර  තීරණයකට එළඹෙමින් සිටියේය 

  දිවා රෑ නොබලා තමන් දශක ගණනක්‌ තිස්‌සේ රැස්‌කළ ධනය යොදා තමන්ගේ ම වෙළඳ තැටි ලේබලයක්‌ බිහිකරන්නටත් ඒ ඔස්‌සේ තමාගේම තනු රටා නිර්මාණ බිහිකරවා ප්‍රචලිත කරන්නටත් තීරණය කරන ලදී

ඒ අනුව ඔහුගේ නමේ මුලකුරු අනුව සකසනු ලැබ තිබූ  ආර් ඒ සී නම් නවතම තැටි ලේබලය සිංහල තැටි වංශ කථාවට එක්‌විණි

මින් වසර දෙක තුනකට පෙර තමන්ට අත්විඳින්නට සිදුවු දුක්‌ගැහැට හා අමිහිරි අත්දැකීම් ඔහු ගේ සිත නිරන්තරයෙන් පෙළන්නට වූවා විය හැකිය දස වසරක පමණ කාලයක්‌ හෙළ සිනමා ගීතයේ ප්‍රවර්ධනය උදෙසා කල කැප කිරිම් හමුවේ ලැබෙන්නට නියමිත ව සිටි සම්මානය අහිමි වීම විසින් ඔහු ගේ සිත තළාපෙළා මිරිකා දමා තිබිනි

එවකට  කොළොම්පුර කොටුව පදෙසට ආසන්නයෙනි දිවයිනේ ප්‍රමුඛතම පුවත්පත් කාර්යාල ද්විත්වය පිහිටා තිබුනේ එයින් අදද ලේක්‌හවුස්‌ ආයතනය එදා පැවති ආකාරයෙන්ම ක්‍රියාත්මක වුවද ඉන් ඔබ්බෙහි පිටකොටුවේ තරමක උස්‌බිමක පිහිටා තිබුනු දවස - රිවිරැස පුවත්පත් ආයතනය මිලිණව ගොසිනි

70 දශකයේ එළිපත්තේ එක්‌තරා දිනෙක එහි පළවුනු දවස කර්තෘ මන්ඩලය වෙත පියනැගු චන්ද්‍රසේනයන්  තම මිතුරු සමාගමයේ සාමාජිකයෙකු වු එහි ජ්‍යෙෂ්ඨ කර්තෘ සිරිල් ඒ සිලවිමලයන් මුණගැසුනි එහි යාවජීව සාමාජිකයන් අතර ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදක ප්‍රවිණ ගීත රචක කරුණාරත්න අබේසේකරයන් ද වු අතර චන්ද්‍රසේන සංගීතායතනයට නුදුරින් මරදානේ සැලැස්‌කි පෙදෙසේ සිය නිවහනේ  පැවැත්වු සංගීත සාජ්ජයන් සඳහා චන්ද්‍රසේනයන් ප්‍රමුඛ ඔහුගේ වාදක ගායක බලඇණිය නිරතුරුව කැඳවාගනු ලැබීය


කලෙක පටන් සිතේ කැකැරෙමින් තිබු වේදනාව තුනි කරගනු වස්‌ තමන් මුහුණ පෑ එකී අමිහිරි අත්දෑකීම් පෙළ ඔහු හමුවේ අපුරු කවි පද පෙළකට හරවාගත්තේ ඒවා සිය කුඵඳුල් වෙළඳ තැටි නිර්මාණ ගොන්නට එක්‌කරගනු පිනිසය

01 මෝහෙන් මුලාවෙලා - මානෙන් උදම්වෙලා - තන්හාව - ක්‍රෝධ ද්වේෂ පාරේ - මිනිසා කොහේද මේ ?.......

   රත්තරං කෙන්ඩියේ සිංහ තෙල් වගේ - මිනිස්‌ ගුණේ සැමදා බැබළේ - එය රැකීම අප උරුමේ වේ .....

   කේළම් කීමෙන් ඕපදුපයෙන් රට කොටවන වැඩ අවදානම් - උඩින් මිතුරු වි යටින් හතුරු වී.....

   උගුල් අදින්නා යයි දිය වී - බොරුවෙන් රට පිරිහේවී.....

   මා හරි උගතා  - මා හරි ජගතා - හිතනා මිනිහා මෝඩයෙකි....

   අනුන් හෙළන්නට වළක්‌ කපන්නා  - එහි තුල වැටිලා මියයන්නා....

    කළදේ පළදේ මෙළෙසේ.........

මෙතැනින් සවන්දෙන්න
-------------------------




02  ලිඳෙන් වතුර බීලා - එයින් වතුර නාළා - ළීඳට ගල් ගසාලා.....

      වතුර බොරකරයි මිනිසා - ගගට ආවඩයි.....

මෙතැනින් සවන්දෙන්න
-------------------------



තම දිවියේ ලැබෙන මහගු ඇතැම් විට එකම අවස්‌ථාව ලැබී අවසන්ව තිබියදී එය නිසිපරිදි හිමිකරගන්නට ඉඩ නොතබා එහි ඵලය භුක්‌ති විඳිම වළකා දුෂ්ඨ චේතනාවෙන් ඊර්ෂ්‍යා පරවශව එයට අකුල් හෙලා වැනසීමෙන් හටගත් සන්තාපය මේ පද පෙළින් මනාව චිත්‍රණය කර දක්‌වන අතර එය මෙලොව තවත් බොහෝ මිනිසුන්හට පොදු අත්දැකීමක්‌ නිසාවෙන්දෝ ඒවා අදද ජීවගුණයෙන් බබළයි 


තැටි නිෂ්පාදන ව්‍යාපාරයක්‌ යනු අතිශය භාරදූර කාර්යයකි  එවැන්නක නිරතවන්නට ඊට පළපුරුදු අත්දෑකිම් ඇත්තන්ගේ දායකත්වය අතවශ්‍යයය  එකල්හි දිවයිනේ එකී කාර්යයේ නිරතවන්නන් වෙත පැවති අභියෝග සුඵපටු නොවේ  වර්ණ මුද්‍රණ ශීල්පය  නොපැවති සමයේ වර්ණ වෘත්තිය ඡායාරූපකරණයේ නිරතවූවන් ද විරළ විය  විදේශිය සමාගම් හා නිරන්තරයෙන් ගණුදෙනු කරන්නට සිදුව පැවති අතර ඒ සඳහා දුරකථන සම්බන්ධා ලබාගැනීමේ පහසුකම්  භාන්ඩ හුවමාරුකරගැනීමේ පහසුකම් අවම විය


ඉහත කී බාධක අවහිරතා මැඩපවත්වාගෙන ව්‍යාපරය නිසිලෙස පවත්වාගන්නට නම් ස්‌වකීය පවුලේ වගකීම් ලිහිල් කරගනිමින් හා යුතුකම් අතපසුකරගනිමින් කටයුතු කරන්නට සිදුවීම නොවැළැක්‌විය හැකි කරුණක්‌ව පැවතුනි

එවකට දිවයිනේ ජනප්‍රියතම වෙළඳ තැටි ලේබල දෙකක්‌ වෙනුවෙන් වාදක මන්ඩලය හා ගායන ශිල්පීන් පුහුණුකරවා ශබ්දාගාර සම්බන්ධීකරණය කරමින් ඒවා පටිගතකරවා නිර්මාණය කරදීමේ දැනුම හා පළපුරුද්ද යන මේ කරුණු වලින් ඔහු මනා ලෙස සන්නද්ධය

ඉන්පෙර දශක 03 ට ත් එපිට සිට ගුවන් විදුලියේ ළමා පිටියේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ සමයේ සිට හොඳින් දැන හැඳින සිටි අබේසේකරයන් හමුවි තවත් ගී පද රචනා කිහිපයක්‌ ලියවා ගත් චන්ද්‍රසේනයන් හට මෙවර මුහුණපාන්නට සිදුවුයේ තවත් භාරදුර අභියෝගයකටය

එනම් ඒ ගීත ගායනාකරන්නට සුදුසු ජනප්‍රිය ශිල්පීන් තෝරාගැනීමේ කටයුත්තයි එතැනින් අසමත්වීම යනු තමන් දැරූ අපමණ වෙහෙස වැයකල කාළය හා ඊටත් වඩා වැදගත් වූ ධනය මකර කටේ හෙලන්නට සිදුවීමයි

-------------------------------------------------
මතු දිනක යළි හමුවෙමු ...........................

(විශේෂ ස්තුතිය - ආචාරිනී දර්ශනී චන්ද්රසේන - ආර් ඒ චන්ද්රසේන කණිටු දියණිය)
----------------------------------------------------------------

No comments:

Post a Comment