namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, July 24, 2019

සංස්කෘත භාෂාව’ භාවිත කළ සිංහල ගී....රසය

 ’සගිස්කුරුත’ බසක මහිම......

’සගිස්කුරුත’ යන පදය මින් අඩසියවසකට ඉහත හා ඉන් පසු දශක කිහිපයක දී දිවිගෙවු ගැමි ජනතාවගේ එදිනෙදා ව්‍යාවහාරයට එක්ව තිබු බවට එදා කුඩාවුන් වු අද වැඩිහිටියන් සාක්‍ෂි දරනවා ඇත්තේය.


ලොව අදීතම ඉන්දු ආර්ය භාෂාවක් බවට පත් වී දැනට එදිනෙදා ව්‍යවහරයෙන් ඉවත් වි තිබුනද වත්මනෙහි පවා සජිවී බසක් ලෙස පිළිගැනෙන ’සංස්කෘත භාෂාව’ පුරාණ භාරතයේ හින්දු සාහිත්‍යයයේ මව්බසයි.  හින්දූන්ගේ පූජනීය ග‍්‍රන්ථ වු ත‍්‍රිවේදය ද හින්දු භාරතයේ මහා කාව්‍යයන්වූ ’මහා භාරතය’ සහ ’රාමායනය’ ද සංස්කෘත සාහිත්‍යය නියෝජනය කරයි.

වසර තුන්දහසක පමන අතීතයකට හිමිකම් කියන බවට මත පලවී ඇති මෙකී භාෂා මාධ්‍යය භාරතයේ මහායාන බෞද්ධ නිකායන්ගේද මූල භාෂාවයි. 

වර්තමානයේ ජාත්‍යන්තරව ’ඉංග‍්‍රීසි භාෂාව’ යම් පිළිගැනිමට ලක්වී තිබේද එපමණ පිළිගැනීමක් පුරාණ ආසියාවේ ’සංස්කෘත’ භාෂාවට ලැබි තිබුන බව කියැවේ. 

ඈත පූරාණයේ සිට පසුගිය විසිවන සියවස මැද භාගයද ඉක්මවන තෙක් ලක්දිවේ මෙකී භාෂාවේ නිපුණත්වයට පත්වූවන් හිග නොවීය.  
තමන් ලද දැනුම් සම්භාරය යොදවා එහි සුවිසල් සාහිත්‍යය කෝෂ්ඨාගාරය ඇසුරු කල එකී ප‍්‍රාඥයන්  අතර වැඩිදෙනා පැවිදි පඞිවරුය. 

ඔවුහු අවස්ථාව ලද විට සංස්කෘත භාෂා වාග්කෝෂයේ අනුසාරයෙන් තම මව්බස වු සිංහලය පෝෂණය කරන්නට පසුබට නොවිය.


විසිවන සියවසේ තාක්‍ෂණික විප්ලවයේ මුලාරම්භයේදී ම ලක්දිව ගුවන් විදුලි මාධ්‍ය කලාව ස්ඵාපිත වී ක‍්‍රමයෙන් වැඩිදියුණු වූ අතර රාජ්‍ය ආයතනයක් ලෙසින් තැපැල් දෙපාර්තුමේන්තුවේ අධිකාරිත්වය යටතේ ක‍්‍රියාත්මක වී එහි දෙවන භාගයේ සිට ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙසින් ප‍්‍රතිව්‍යුහගත වී අද දක්වා ක‍්‍රියාශීලි වෙමින් පැවතෙයි.

සිංහල ගීතය ප‍්‍රථමයෙන් ග‍්‍රැමෆෝන් තැටි නිෂ්පාදන ලෙස දොරට වැඩීමෙන් පසු දෙවනුව ගුවන් විදුලිය් අනුග‍්‍රහය යටතේ එහි වැඩසටහන් ඔ්සසේ නිර්මාණය වී ප‍්‍රචාරය විය.

පෙරකී සංස්කෘත බස මැනැවින් ප‍්‍රගුණ කල බහුශ‍්‍රැතයන් පඞිවරුන්  ලාංකිකයන්ට ආගන්තුක මෙකී නව විද්යුත් මාධ්‍යයේ සෙවන ලැබ සිය පාන්ඩිත්වය ප‍්‍රකට කලේ එහි පිවිස විවිධාකර වැඩසටහන් ගීත ප‍්‍රබන්ධයන් බිහිකරවාදෙමිනි.

ශ‍්‍රී චන්ද‍්‍රරත්න මානවසිංහ
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද‍්‍ර
පන්ඩිත් විමල් අබේසුන්දර

ඒ අතර වඩාත් ප‍්‍රකටය. 

ප‍්‍රශස්ත සිංහල ගීත රචනා කලාවේ අභිවෘද්ධිය උදෙසා සිය දායකත්වය පළකල මුල් පරපුර නියෝජනය කරන ලද මානවසිංහ සහ විමල් අබේසුන්දරගෙන් පසුව දෙවන පරපුරේ සාමාජිකයන් ලෙස දොරට වැඩි ගුවන් විදුලි නිවේදක පරපුරට අයත් කරුණාරත්න අබේසේකර- කේ ඩි කේ ධර්මවර්ධන - ලලිත් එස් මෛත‍්‍රිපාල - වැන්නෝ ද සිය නිර්මාණකරණය ඔප මට්ටම් කරගනු පිනිස සංස්කෘත වාග් කෝෂයේ පිහිට පැතුහ.

සංස්කෘත භාෂාවේ නාමපදයන් උසුරුවිමේදී ඒවයේ ඇති ගීතවත් මටසිඵටු බව සුගායනීය බව නිසා සාහිත්‍යාංගයක් වු ගීතයේ කර්ණරසායන බව වඩවාලන්නට ඊට ඇති හැකියාව කෙරෙහි ඔවුන් එහිදී වඩාත් සැළකිලිමත් වන්නට ඇත. 

පහත දක්වා ඇති අල්ප මාත‍්‍ර වූ සංස්කෘත වදන් කෝෂය පිරික්සීමේදී සිංහල බස ඊට කොතරම් ණයගැති වී දැයි අවබෝධ කරගත හැකිය.
එක - ඒක 
දෙක  - ද්වි
තුන - ත‍්‍රයි
හතර - චතුර්
පහ - පංච
හය - ෂඩ්
හත - සප්ත
අට - අෂ්ඨ
දහය - දස

මීට අමතරව 

ස්වාමී - බෝධි - දේවතා - ගජ - අලංකාර - විශිෂ්ඨ - බහු  - අල්ප - සර්ව - මහත් - ගුරු - පුරුෂ - මනුෂ්‍ය - භාර්යා - පති - පීතෘ - මත්ස්‍ය - සර්ප - මුඛ - දන්ඩ  - ඵල - බීජ - පත‍්‍ර - මුල - මූලය - පුෂ්ප - තෘණ - මංස - අංග - කේශ - සිරස - කර්ණ - අක්‍ෂි - දන්ත - පාද - ජංඝා - හස්ත - උදර - ගුද - හෘදය  - ස්වප්නය - ධාරණය - සූර්ය - චන්ද‍්‍ර - ජල - වර්ෂාව - නදී - පවන - ලවණ - මේඝ - ආකාශ - වාත - තුෂර - තුහින - හිම - ධුමය - අග්නි - මාර්ග - පර්වත - ලෝහිත - නීල - පීත - හරිත - ශ්වේත - රාත‍්‍රී - සංවත්සර - ශීත - පූර්ණ - ග‍්‍රාම - පාප - මිලින - ශුද්ධ - දුර - දක්‍ෂිණ - වාම - ආචාර්ය  - අධර්ම - ධර්ම - භක්ති - භාර - භෝජන - භූමි - භූපාල - බිංදු - බුද්ධ - බුද්ධි - දන්ඩ - දර්ශන - දීරඝ - ගජ - හස්ත - ජනක - ජනනී - ක්‍රෝධ - මධු - මත්ස - මූර්ති - නාටක - නේත‍්‍ර - පන්ඩිත - පවිත‍්‍ර - පුෂ්ප

ඇතුඵ නාමපද රැුසක් සිහල බස්වහර හා මුසුවි කැළතී ඇත.

සංස්කෘත - සිහල බස්වහර සම්බන්ධ මැදි අධ්‍යාපනයක් ලද්දන් හට මේ පද ආගන්තුක නොවේ. ඒවා ඇතුලත් ලියැවිල්ලක් ඒ බස්හුරු දුහුනන් වහා දැන අවබෝධ කරගනු නිසැකය.

ඉහත ලියැවි ඇති එකදු වදනක් හෝ ඇතුලත් නොවු සිංහල ගීතයක් ඇත්තේ වි නම් ඒ අල්ප ගණනක් විය හැකිය.


 එසේ නමුදු ’නාගරී’ අක්‍ෂර අනුසාරයෙන් ලියැවෙන ’සංස්කෘත’ බසේ වඩාත් සංකීර්ණ වදන් පිහිට කොටගෙන පබැඳි ගී ද ඉඳහිට හමුවේ. ඒවා නිර්මාණ කරන්නට මුල්වුයේ ඉහත කී විද්වත් ප‍්‍රබන්ධකයන්ය. 

ඒවා ගැමි වහරට අනුව අමු ’සගිස්කුරුතය’. ගැමියාට දුරවබෝධ යමක් සවන් වැකුනේද නයන රැුඳුනේද ඔහු ඒවා ඉහත පදයෙන් හඳුන්වන්නට මැලි නොවේ. එවැනි වර්ගයේ  වදන් පමණක් මුසුවු ගීතයක් මුලින්ම දොරට වඩින්නේ 1967 වසරේ කොළඹ ’අශෝකා’ සිනමාහලේදීය. ලේක්හවුස් නවතම සතිපතා සිනමා ප‍්‍රකාශනය වු ’සරසවිය’ පුවත්පත ඇල්ම බැල්මෙන් එහි දියත් වු මංගල සරසවි සම්මාන උළෙලේ සමාරම්භය වර්ණවත් කරමින් ගැයුනු ඒ සරසවි දේවි අභිවන්දන ගීතය ’පන්ඩිත් අමරදේවයන්ගෙනි’ 
--------------
ශ‍්‍රී චන්ද‍්‍රරත්න මානවසිංහ----------------
සංස්කෘත - පාලි - සිංහල භාෂා ත‍්‍රිත්වයේ නිපුණතමයෙකු ලෙස හැඳින්වු ’ශ‍්‍රී චන්ද‍්‍රරත්න මාණවසිංහ’ යන් එහි පද පෙළ ගැස්ම සිදු කළේ මෙපරිදිය.

ජගන් - මෝහිණී - මධුර - භාෂිනි.....

චාරූ දේහිණි - කමල - වාදිනි....

සරස්වතී දේවි - වන්දේ....

කම්පිත  - කංචන  - මාලා - පූජිත....

කිංකිණි   - නුපූර - ජාලා....

පාද සරෝදේ - කටී - තටාකේ....

චංචන - නර්තන - ලීලා.......
----------------------
ගායනය - පද්ම ශ‍්‍රී පන්ඩිත් අමරදේව

පද රචනය - ශ‍්‍රී චන්ද‍්‍රරත්න මානවසිංහ

තනුව - පන්ඩිත් අමරදේව

වසර - 1967

වැඩසටහන - ආරම්භක සරසවි සම්මාන උළෙල 
---------------------------
මෙතැනින් සවන්දෙන්න
Free Music - Share Audio -

මෙවැනි මුහුණුවරක් ලද දෙවැනි ගී නිර්මාණය මතු වන්නේ ගුවන් විදුලි වැඩසහනකදීය. ජී එස් බී රාණි පෙරේරා නමින් වු සිංහල සිනමා ගී කලා වේදිනිය ඊට පිවිසෙන්නේ 1950 දශකයේ දීමය. පසුව 1970 දශකයේ මුලාරම්භයේ ගුවන් විදුලිය ට සම්බන්ධ වු ඇය එහිදී පටිගත කල ’නව රසධාරා’වැඩසටහනක් වෙනුවෙන් ගැයු එහි සංස්කෘත භාෂා වෙසරද මහිම පෑවේ ’පියදාස කරඳගොල්ල’ නම් මහතෙකි.

පිළිමතලාවේ ගිරාගම සෞන්දර්ය අධ්‍යාපන විද්‍යා පිඨයේ ඒ යුගයේ ගිරාගම ගුරු ඇබැසි විදුහලය. එහි ඇදුරු මඩුල්ලේ සේවය කල සංගීතවේදී ’එම් ජී සුගතදාස’ සහ ඔහුගේ ශිෂ්‍යා ’ඉන්ද‍්‍රා කුමාරි විජේරත්න’ ජී ඇස් බී රාණි ගායනවේදිනයට අත්වැල් සහය දුන් අතර තනු නිර්මාණය සුගතදාසයන් විසින්ම සිදු කෙරිණි. 

සියවස් අඩ සියවසක්ද ඉක්මවා මනුලොව පැවත එමින් එපමණට අයු විඳි ශ්‍රේෂ්ඨ ඉන්දු සභ්‍යාත්වයේ මව්බස ව වැජඹුනු ’සංස්කෘත’ බසෙහි ගාම්භීරත්වය මෙසේ යැයි කියා පන්නට එය කදිම නිදසුනක්මය


ජන මන නයන වශීකල ලංකා.....

ශාන්ත සුඛදායි ජන්ම භූමි ධරණී......

මධුකර භෘංග සමූහ විභූෂීත....

මනෝහාර ගිරි ශිඛර අලංකෘත....

රම්‍ය භූමි ධරණී.....


රංග තරංග නගා මන මෝහණ.....

ශුද්ධ වර්ණ ජල ධාරා බැස යන....

වෘක්ෂ ගුල්ම පලු පල්ලව බබලන....

සාර භූමි ධරණී......


කරුණා ධර මෛත‍්‍රි ගුණ පෝෂිත....

භක්ති පූර්ණ ජනරාශි නිවාසිත....

බුද්ධ රාජ්‍ය ශ‍්‍රී පාදශ්පර්ශිත.....

පුන්‍ය භූමි ධරණී.....


දේශ විලෝපන - සතෘනිධාරණ......

ජාතභූමි අනුරෝදිපන......

කීර්ති රාව ජය ඝෝෂාලම්භන......

වීර භූමි ධරණී ...... 

--------------------
ගැයුම - ජී එස් බී රාණි පෙරේරා - එම් ජී සුගතදාස - ඉන්ද‍්‍රා කුමාරි විජේරත්න

පද රචනය - පියදාස කරඳගොල්ල

තනුව - සංගීත විශාරද එම් ජී සුගතදාස

වසර - 1970
--------------------------
මෙතැනින් සවන්දෙන්න

Embed Music - Audio Hosting - ලාංකීය ගීත රසාස්වාදය පෝෂණය කරනට එය දියුණු තියුණු කරනට පැවති එකම රාජ්‍ය ආයතනය සහ මාධ්‍යායාතනය වු ’ගුවන් විදුලිය’ 1970 දශකය කරා එළඹෙද්දී දැඩි භාෂා ප‍්‍රතිපත්තියක් මෙන්ම සංනිවේදන ප‍්‍රතිපත්තියක් පවත්වා ගෙන ගියේය. විද්වතුන්ගෙන් සමන්විත අධීක්‍ෂණ මන්ඩලයකින් තෝරා අනුමත කර එවන ’ගී’ සංකල්පනා භාත්ඛන්ඩේ භාරත සංගීත නිකේතනයේ මනා පුහුණවක් ලැබූ සංගීතඥ මඩුල්ලක් ප‍්‍රමුඛ මියැසි විදුදරයන් විසින් ඊට සත්සර මුසු කළේය. 

පී ඩංස්ටන් ද සිල්වා - තිලකසිරි ප‍්‍රනාන්දු - ඩබ්ලිව් එෆ් විමලසිරි - පද්ම ශ‍්‍රී පන්ඩිත් අමරදේව - වාද්‍ය විශාරද ඩී ආර් පීරිස් - සෝමදාස ඇල්විටිගල - ස්ටැන්ලි එම් ප‍්‍රනාන්දු - ආචාර්ය දයාරත්න රණතුංග ඇතුඵ පිරිසක් ඔවුන් අතර විය. 1950 දශකයේ සිට 1970 දශකය අවසානය දක්වා බිහිවුනු රසාලිප්ත රසපුර්ණ ගුවන් විදුලි ගීතාවලියේ නිර්මාණකරුවන් ඔවුන්ය.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය යන නාමයෙන් මේ රජය හැඳින්වෙන්නට මුලපිරුණු නව ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත්තේ 1970 බිහිවු සමගි පෙරමුනු රජයේ නායිකා සිරිමාවෝ බන්ඩාරණායක මැතිනියගේ රාජ්‍ය යුගයේ දෙවන වසරේදිය එනම් 1972 දීය. එතැන් සිට ලංකාද්වීපය බි‍්‍රතාන්‍ය කිරිටයෙන් මුඵමනින්ම ස්වාධීන වු බවද කියැවේ. 
---------------
පන්ඩිත් විමල් අබේසුන්දර
-----------------
මේ මහෝත්සවය වර්ණවත් කල විවිධ රාජ්‍ය උත්සවයන් හට රැුකුල් දෙන්නට රාජ්‍ය ගුවන් විදුලිය පෙරමුණ ගත්තේ ’ජනරජ’ සැමරුම් ගී වැඩසටහන් නිර්මණයෙනි.  ඒ යුගයේ විද්වත් ගුවන් විදුලි කාර්ය මන්ඩලයේ සාමජික කිවිපති පන්ඩිත් විමල් අබේසුන්දර ශූරීන් සිය සංස්කෘත භාෂා වෙසරද සිරි අසිරිය පෑවේ පන්ඩිත් අමරදේවයන් වෙත අනුප‍්‍රාස රසය පිරි ඉතිර යන තවත් සංස්කෘත භාෂාමය ගී පද සංකල්පනාවක් දායදා කරමිනි.



ස්වස්ති ශ‍්‍රී සෞභාග්‍ය සූපූරිත....

පුන්‍ය භූමි ලංකා......

වීර විජිත ලංකා........

සුරංජතු පුන්‍ය භූමී ලංකා......



නීල වර්ණ ගිිරි ජල චල ශාඛා......

ක්‍ෂේත‍්‍ර පංති කෝමල වන රේඛා......

සාගර රංග තරංගජ ජෝති.....

චාමර  - චංචල - චාරූ විභූති......


ස්වස්ති ශ‍්‍රී සෞභාග්‍ය සූපූරිත......

පුන්‍ය භූමි ලංකා.....

සෂ්‍ය භුමි ලංකා......

සුරංජතු රත්න භූමි ලංකා........


ධන්‍ය පුන්‍ය ලක්‍ෂන ප‍්‍රථිමන්ඩිත......

සදාචරගුණ ඥාන විභූෂිත.....


සාගර රංග තරංගජ ජෝති....

චාමර  - චංචල - චාරූ විභූති...


ස්වස්ති ශ‍්‍රී සෞභාග්‍ය සූපූරිත....

පුන්‍ය භූමි ලංකා...

ජන්ම භූමි ලංකා...

සුරංජතු අමර අමිල ලංකා....

------------------------
ගැයුම - පන්ඩිත් අමරදේව - අමිතා වැදිසිංහ

පද රචනය - පන්ඩිත් විමල් අබේසුන්දර

තනුව - පන්ඩිත් අමරදේව

වසර - 1972
--------------------------
මෙතැනින් සවන්දෙන්න

Download Music - Free Audio - කිවිපති විමලේන්ද‍්‍ර වතුරේගම කවියා පිළිබඳ තතු විත්තී දන්නෝ වත්මනෙහි එතරම් හමු නොවේ. 60 දශකයේ වතුරේගම විමලකිත්ති තෙර නමින් පැවදි බිමට පත් වී සිට උපවැදිවු ඔහු ද පාලි - සංස්කෘත - හෙළ බස් වෙසරදත්වයෙන් පරිපුර්ණ විය. 1975 වසරේ ජාතික වෙසක් උළෙලක් සමරුනු පිනිස පැවැත්වු බැති ගී වැඩසටහනකදී මුල්තැන ගත් මෙකී බැති ගීතය ආචාර්ය නන්දා මාලිනිය ගේ ගැයුමක් බවට පත්විය.

ප‍්‍රඥා ප‍්‍රදීප දල්වා - මෝහන්ධකාර වනසා....

ජනතා විමුක්ති සලසා - වජ්රාසනාරූඩ වූ...

සිරිඝන මෛත‍්‍රී මූර්ති - සිරිපද පද්ම නමාමි....

කරුණා සිතල හදෙහි - වස්වා සධර්ම වරුසා....

ලෝකාලෝක සදා - තුන්ලෝකානුකම්පා....

පාරමිතා උපහාරී පුන්‍යශ‍්‍රීයා බලධාරී...

ඥානවිශේෂ සුනාරී - මාර පරාජිත සෑසී......

----------------------------------
පද රචනය - කිවිපති විමලේන්ද‍්‍ර වතුරේගම

ගැයුම - නන්දා මාලිනී

තනුව - නන්දා මාලිනී

වසර - 1975
---------------------
මෙතැනින් සවන්දෙන්න
Listen Music - Upload Audio Files -
මින් පරබාහිරව වැඩිමනත්ව ගීතවත් ගම්භීර තෙදැති ’සංස්කෘත’ වදන් අනුසාරයෙන් සිය නිර්මාණ සරුසාරකරගත් සිහල ගී පද රචකයන් යුග්මයකි ’කේ ඩි කේ ධර්මවර්ධන’ සහ ’මහාචාර්ය සුනිල් ආරියරත්න’. ඔවුන් ඉන් අමරණීය ගීත රැුසක් ලාංකීය ගීත ක්‍ෂේත‍්‍රයට දායක කරන ලද්දේය.

පහත නිර්මාණ විමසනු වටී.

කේ ඩි කේ ධර්මවර්ධන

හෝ පලු වනපෙත කම්පිත කරවන - වික්ටර් රත්නායක - වික්ටර් 
රණඹර ඉඳුදුනු සිතුවම් වෙලා - මිල්ටන් මල්ලවාරච්චි - වික්ටර්
කුමරියක පා සළඹ සැලුනා - පන්ඩිත් අමරදේව - වික්ටර් 
කුංකුම චන්දන අංජන තවරා  - විල්බට් ඇන්තනි - සෝමපාල රත්නායක
මලින් මලේ රොන් ගන්නා බඹරු බඹන්නා- මිල්ටන් මල්ලවාරච්චි - ඔස්ටින් මුණසිංහ - ක්ලැරන්ස් විජේවර්ධන
උමයංගනියෝ සුරලාලනියෝ - ජෝතිපාල - පැටි‍්‍රක් දෙණිපිටිය

මහචාරය සුනිල් ආරියරත්න

මිහිළිය නලලේ අංජන තිලකේ - පන්ඩිත් අමරදේව - වික්ටර් රත්නායක
රුවන්මුවා පොළෝ තලේ ගොයම් සූනිල - නන්දා මාලිනී - වික්ටර්
සබඳ ඔබේ සිත අංජලිකරණීයයි - අමිතා දඵගම - පී ඩංස්ටන් ද සිල්වා
පේ‍්‍රමය නම් රාගයෙන් තොර - නන්දා මාලිනී - එච් එම් ජයවර්ධන
බුද්ධානුභාවෙන සිත් නෙත් පහන් වී - නන්දා මාලිනී - නන්දා මාලිනී
මේඝයක් සේ හුදකලාවේ නීල අම්බරයේ - නන්දා මාලිනී - රෝහණ වීරසිංහ
ඔබයි රම්‍ය සඳ කිරණ - නන්දා - එච් එම් ජයවර්ධන
පේ‍්‍රම අසපුවේ මුණිවරයාණෙනි මලින් ගඳින් පුදනා - නන්දා මාලිනී
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා - නන්දා මාලිනී
අනාථනාථයාණෙනි - වික්ටර් රත්නායක


වත්මනෙහි සිංහල ගී කෙත සරුසාර ඵල බර කෙරෙන්නාවූ මෙවන් පද්‍ය සංකල්පනා හමු නොවනා තරම්ය. ඇසූ පිරූ තැන් ඇත්න්ගේ නිහඞ නිසල බව හෝ ලැබිය යුත්තාට නොලැබුනු දෑ අත්කරගත්  නොලැබිය යුත්තන්  විළියෙන් බරව පළමු කී සද්ජනයා දුරින් දුරු කිරීම ඊට හේතුකාරණා අතර තිබිය හැකිය.

-------------------------සමාප්තයි ----------------








4 comments:

  1. මේක හොඳ ප්‍රවිෂ්ඨයක්!

    සරවන භව (මෙය මට මතක නැහැ) - මොහිදීන් බෙග්

    ReplyDelete
  2. නමෝ නමෝ මාතා... ( පෙර ඇසූ ජාතික ගීය )

    ReplyDelete
  3. LATIN

    එක - ඒක = ūnus
    දෙක - ද්වි = duo
    තුන - ත‍්‍රයි = trēs
    හතර - චතුර් = quattuor
    පහ - පංච = quīnque
    හය - ෂඩ් = sex
    හත - සප්ත = septem
    අට - අෂ්ඨ = octō
    නවය = novem
    දහය - දස =decem

    ReplyDelete
  4. ඩගන් මෝහිනී ගිතය නැතිව පටන් ගන්න කිසිදු කලා උළෙලක් නැති තරම් ඒ තරම් සුමදුරයි ඒ ගීතය මම හිතනවා ගණ පිහිටවලා ලියපු ගීතයක් කියලා.

    ReplyDelete