ඒ වැයෙන්නේ කිනම් වාද්‍ය භාන්ඩයක්ද ? - හෙළ ගීයෙන් මතුවුනු දක්‍ෂිණ භාරතීය සත්සර රාවය....
දැන් වේලාව පෙරවරු දහයයි.
මෙතැන් සිට චිත‍්‍රපට ගී තිරයක් ගුවනට මුසුවෙයි. ආරම්භ කරමින් ’ඉපදුනේ ඇයි’ චිත‍්‍රපයට විශාරද සුජාතා අත්තනායක ගැයූ ගීතයක් ...
(ගීතය වාදනය වෙයි)
මින් තිස්වසකටද දුරාතිතයේ දිනයක දුර පෙනෙන කඳුයායෙන් එබි බලන ළා හිරු කිරණ කෙමෙන් සැඩ වෙමින් පැවති පැයේ නිවසේ ආලින්දයේ ගුවන් විදුලි යන්ත‍්‍රයෙන් ඒ හඞ නිකුත් වෙමින් තිබිනි. දියුණු සුපැහැදිලි හඞ නැංවෙන වත්මන් තාක්‍ෂනය එළෙඹෙන්නට පෙර අවධියක එයින් නැගෙන ඒ හඞ අපැහැදිලිය දුර්වලය. විටෙන් විට කර්කශ ආගන්තුක නාද මතුවි ඇසී නෑසි යයි. විටෙක නිවේදිකාවගේ තියුණු හඞ පරයා පසුබිමෙන් ඇසෙන ’ස්ස්ස්.............’ නාදයකි.
එකී සියඵ බාධා කම්කටොඵ නොතකා ගීතයට, වෙසෙසින් සිනමා ගීතයට පෙම්බැඳි රසිකයන් සිය දැවැන්ත ගුවන් විදුලි යන්ත‍්‍ර ආසන්නයට රොක්වනු ඇත්තේය. ඒ තමන් කලකට ඇතැම් විට මෑතක සිහින ලොවක සැරසරමින් අඳුරේ දුටු විස්මිත සිනමා දසුන්ද ආවර්ජනය කරමින් මෝහණිය සුමියුරු ගී රසවිඳිනට ඇති එකම අවස්ථාව එයම වන නිසාය.
’සූජාතා’ ඇය හෙළ සිනමාව ද සුවහස් ගණනක රසික දනන් ද සිය ළයාන්විත හඞින් වසග කරවාගන්නට සමත්වී සිටින්නීය. ඒ අසමසම ගී හඞ ගුවනට මුසුවෙමින් මෙසේ ගලාඑන්නේ අදින් දශක දෙකකටද ඉහතදී නොවේදැයි සිතෙයි. ඇය ගේ හඞ මුසුවූ සිය ගණනක සළරූ ගී අතර දැන් ඇසෙමින් පවතින ගීතයේ කිසියම් අපුර්වත්වයක් දැනෙයි.
එහි අඛන්ඩව පසුබිමෙන් වැයෙන තාල වාද්‍ය භාන්ඩය කුමක්ද ? ඒ නාදය ඇසෙන කවරාකාරයේ හෝ සිනමා ගීයක් තබා ගුවන් විදුලි වෙනත් ගීතයක්ද මතකයට නොපිවිසෙයි.
හිස වඩාත් ගුවන් විදුලි යන්ත‍්‍රයට දෙසට යොමු කරමි. එය තත් භාන්ඩයක් විය යුතුය.
වැංග් ...වැංග් ...වැංග් ... වැංග්.. වැංග් ...වැංග්... ’සුජාතාවන්’ සිය ගීයේ අන්තර්වාදනය ද අන්තයේ අපර කොටස් ගයයි. නාදය නිරන්තරයෙන් තාලය අනුව මතුවෙයි.
මුවග හසරැුල්ලක් නැගී යයි. කිම්ද ඒ ? පසුගිය දිනක මා ද එවැනි හඞක් මතුකලා නොවේද ? ඒ හඞ මේ නාදය ට සමාන නොවේද ? එතරම්ම සරළ සංගීත භාන්ඩයක් ?
ඒ ’අමතර පංති’ නම්වු සංකල්පයක් අසන්නටවත් නොමැති යුගයේ සැන්දෑ යාමයේ එක්ව නිවෙස් අතර දුවපැන ඇවිදිමින් කෙළිදෙළෙහි යෙදෙන අසල්වැසි මිතුරු මිතුරියන් නැති දිනයක කාන්සිය දුරකරදුන් සුමිතුරා මේ ගුවන් විදුලි යන්ත‍්‍රයයි. එනමුදු අඳුරු අහස්කුස දෙදෙරවමින් විදුළි රේඛා ඇදීයන මොහොතක ඊට අත තබන්නට අවසර නැත.
ඉඳහිට හෝ මාවතේ වාහනයක ශබ්දයද නොඇසෙන ඒ යුගයේ හුදකලා නිසසලතාවය අතරේ ගුවන් විදුලියෙන් ඇසුණු ගී සිතුවිළි දහරා හා වෙළි පැටලී නිරන්තරයෙන් නැග එන්නා සේය.
කොණක ඉවත දමා තිබුනු ’කම්බි’ පොටක එක අන්තයක් මුවේ ඉදිරිදත් අතර රඳවා තදින් විකා ගැනීමෙන් පසුව හොඳින් ඇදී තිබෙන ලෙස ඉතිරි අන්තය සුරතේ ඇගිලි අතර රුවා ගනිමි. වම් අතේ අතැගිලි කම්බි පොට මත ළෙලවද්දී නැගෙන්නේ ඉහත කී හඞමය.
වැංග් ...වැංග් ...වැංග් ... වැංග්.. වැංග් ...වැංග්...
’මේ සිංදුවේ ඇහෙන්නේ කම්බි පොටේ සංගීතයද? ’
එවැනි අදහසක් සිතේ නැගුනද එය එසේම නොවන බව ඉඳුර දැන පසක් කර ගනු පිනිස පසුකාලීනව සිදුකළ ’මහෙයුමක’ තතු ලුහුඞින් මෙළෙස ලිය තබන්නෙමි.
එකී රසාලිප්ත ගී නිර්මාණයේ තනු සහ සංගීත රටා නිර්මාපකයා කවුරුන්දැයි දැන හැඳින ගතිමි. ඔහුගේ ගුරුකුලයේ ශිල්ප හැදෑරූවන් විසින් සිය මව් භූමියේ තම දෙස - රැුස - බස ට අනුකූලව ගී රසමිහිර නංවනු පිනිස යොදාගන්නා පෙරකී අති සරල අපුර්ව වාද්‍ය භාන්ඩය හැඳින්වෙන්නේ ,මොර්සින්ග්’ නමින් බව හෙළිදරවු කර ගතිමි.
කුමක්ද මෙකී ’මෝර්සින්ග්’ තත් භාන්ඩය ?
’මෝෂිං’ දක්‍ෂිණ භාරතීය කර්ණාටික සංගීත ශෛලියේ වද්‍ය උපකරණ වු ’මෘදංගය’ ’ඝටම්’ වැනි භේරි නාදය පතුරවන්නා වූ වාද්‍ය භාන්ඩ හා මුසුකරමින් වදනය කරනු ලබන්නා වූ සරළ වාද්‍ය භාන්ඩයකි.
අසුගේ ලාඩමේ හැඩය ගත් ලෝහ වළල්ලක් අතරින් යෙදු ලෝහ පතුරකින් සමන්විත වූ එය මුඛයේ ඉදිරි දත් අතර රඳවාගැනීමෙන් පසුව සුරතේ අතැගිලි යොදාගෙන ලෝහ පතුර ස්පන්දනය කරවීමෙන් නියමිත ’නාදය’ උපදාගනු ලබයි.
වසර දහසකටත් ඉපැරණි ඓතිහාසිකත්වයකින් යුත් ඊට අනුරූපි වාද්‍ය භාන්ඩ විවිධාකාර පෙර අපර දෙදිග සංස්කෘතින් හි දී ද යොදාගනී. දක්‍ෂිණ භාරතයට අමතරව චීනය ජර්මණිය ඉරානය ප‍්‍රංශය ඉතාලිය හංගේරියාව යන රටවල් හිදී අදාළ ජන සංගීත උදෙසා සංගීතය සැපයීමට ද නිරතුරු යොදාගනු ලබන බව කියැවෙයි.
අති දැවැන්ත සිනමා කර්මාන්තයක්ද ඊටම සැසඳෙන ගී නිර්මාණ ඉතිහාසයකින්ද සුසැදි ’බොලිවුඩ’ සිනමා ගී නිර්මාණ උදෙසා 1950 දශකයේ සිට යොදාගත් ’මෝෂිං’ වාදේයා්පකරණයේ සහය ලද එවන් සිනමා ගීත ද විසල් ගණනකි. නමුදු එහි ’හඞ’ මතුකර හඳුනාගැනීමේ ’ඉව’ කින් හෙබි ශ‍්‍රාවකයන් පමණක් එය හොඳින් හඳුනාගන්නවා ඇත.
මේ අතිසරල එනමුත් සූක්‍ෂම නාදජනකය දකුණු භාරතයෙන් ’හෙළ සිනමා ගීතය’ ට මුල්වරට දායද කරදෙනු ලැබු වාද්‍ය සුරුවා ’රාමයියා මුත්තුසාමි’ නම් වේ. අදාළ නාමයෙන්ද මතුකරදක්වන ලෙසට ඔහු ද ’දකුණු හාරතීයෙකි’. සිංහල සිනමාවේ ළදරුවියේ දී එහි සත්සරයේ නාදරස මිහිර මවනු පිනිස උක්ත දිපයෙන් ලක්බිමට සැපත් වූ සංගීත අධ්‍යක්‍ෂවරුන් අතර ඔහු ද වෙති.
සෙස්සෝ සිය කාර්යය නිමවා දී යළිදු සිය මව් භුමිය වෙත නික්ම යද්දී ’මුත්තුසාමි’ ට ඊට ඉඩ කඩ අවස්ථාව අහිමි කලේ ලක්සිනමාවේ පූරෝගාමි ආයෝජකයා වූ ’එස් එම් නායගම්’ නම් ව්‍යාපාරික දැවැන්තයා විසිනි. සිය ධනබල පරාක‍්‍රමයෙන් කඳාන ප‍්‍රදේශයේ ඉදිකරන්නට යොදුනු ’සුන්දර සවුන්ඩ්’ ශබ්දාගාරයේ සේවය නිරත කරවු නිත්‍ය වාද්‍ය වෘන්දයේ නියමුවා ලෙස රැුඳෙන්නට පළමුව දෛවය විසින් නියම කරන ලද ඔහුට දෙවනුව හෙළ සිහල කුලදෘහිතෘ රත්නයක් සිය පියඹ ලෙස අභීසෙස් කරවාගන්නට ඉඩ කඩ විවර කර දුන්නේය.
ඇය අගනුවර ’විශාඛා’ බොදු මානවිකා සිප්හලේ උසස් පෙළ හදාරමින් සිටි ’නිලියා පෙරේරා’ නම් සුරූපි යෞවනියයි. ගුවන් විදුලි ගායකයෙකු ලෙස ක්‍ෂේත‍්‍රයේ කටයුතු කරමින් සිටි සිය දෙටු සොයුරු ’හෙන්රි පෙරේරා’ ගේ සුරතේ එල්ලී හැඳල විජයා ශබ්දාගාරයට පිළපන් ඇය යොවුන් මුත්තුසාමි ගේ රූපකායේ හැඩවැඩ ද ඔහු ගේ සංගීත සාමාධියේ හැඩවැඩ ද සියැසින් රසවිඳගත්තාය. එයින් උන්මාදයට පත් වූවාය. සිය දෙමව්පියන් ද ධනය ද යන මේ සියල්ල සත්සරනද පතුරන මෙකි විජාතික සිහින කුමාර ගේ දස්කම් හමුවේ අඵයම ලූ කෙළ පිඩක් සේ ඉවත ලා ඒ මොහොතේ සිටම ඔහුගේ ජීවන සහකාරිය බවට තමා පත්කරගන්නා ලෙස අයැද සිටියාය.
මං පොඩිකාලේ දැක්කට පස්සේ ..............
දැක්කේ අදයි ඔයා ...........
ලස්සන මුනේ මල්මදහාසේ ..........
කවුරුද ගත්තේ හොරා ............
මේ ජවනිකා පෙළ දිගැහෙරන එසමයෙහි දී හෙළදිව් සතරදිග්භාගයේ ගුවන් විදුලි රසිකයන් එකී පදපෙළ ගයමින් කුල්මත් කරනු ලැබුවේ අන් කවරෙකුත් නොව ’නිලියා’ දැරියගේ දෙටු සොයුරා විසිනි. ඒ මෙකී කර්ණාටික සංගීතඥයා ගේ සත්සර නාදරටා මුසුවෙනි.
මේ පුවතට පසුබිම් වූ 1960 න් ඇරඹි දශකයේ මුලාරම්භයට ද පෙර සිට සිංහල සිනමාවේ පෙම්වතුන් ගේ අසමසම පසුබිම් හඞ හිමිකරුවන් වූ ’ලතා - ධර්මදාස වල්පොළ’ දෙපොළ හෙළ ගී විජිතයේ කිරුඵ පළඳවාලුයේ ’රාමයියා මුත්තුසාමි’ විසිනි. ඔහු ඊට සිය නොඉඳුල් මෝහණිය තනු නිර්මාණ රටා පෙළක් යොදාගනිමින් සිටියේය.
ඔය බැල්ම ඔය කැල්ම් ...
නිලුපුල් නෙතේ ...
පුබුදාමි මල් මාගේ ...
නොඉඳුල් හිතේ ...
සඳරැුල්ල කිරැුවැල්ල ...
ඉතිරීගියා ...
සැනහෙන්න අපදෙන්නා...
දිනුවා කියා...
(1961 - කුරුඵ බැද්ද සිනමා පටය - ගී පද - කරුණාරත්න අබේසේකර)
සමකාලීනව සියමව්භූමියේ සිනම ගී ගාන්ධර්වයන් විසින් නිතිපතා වයන්නට තෝරාගත් ’මෝෂිං’ තමාට මතු ලැබෙන්නට නියමිත හෙළ සිනමා ගී වෙනුවෙන් යොදාගන්නට ඔහු සැලසුම් කරමින් සිටින්නට ඇත.
ඒ සිහිනය යථාර්ථයක් කරගත් තතු විමසා බලනු පිනිස 1959 වසරේ තිරගත වු ’පුරුෂරත්නය’ සළරූ පටයේ එක්තරා ළමා ගීතයක යටගියාව මතුකර ගැන්ම වටී.
අයියාට මේ රජගේ මල්ලි හදාලා..............
ඔබේ මල්ලි හදාලා ............
රජ ගේ වත් නැත මේ ලස්සනට තියාලා ................
නිවිහිල්ලේ සැනසිල්ලේ ඉන්නා ඔහේ..........
කරදර නැතුව පාඩුවේ......
(ළමා ගයක ගායකා දෙපොළ මාස්ටර් මොරින් සහ බේබි ඩොරින්)
--------------------------------
ගැයුම - මොස්ටර් මොරින් සහ බේබි ඩොරින්
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය ප‍්‍රවිණ කර්ණාටික සංගීතඥ රාමයියා මුත්තුසාමි (ලාංකීය පුරවැසි බව ලද) -
සිනමා පටය - පුරුෂරත්නය
වසර - 1959
---------------------------------------
මෙතැනින් සවන්දෙන්න
Listen Music - Listen Audio -
ඇසූපිරූ තැන් ඇති සුවිශීෂ්ඨ නිර්මාණ කෞෂළ්‍යයකින් හෙබි නිවේදක කරුණාරත්න අබේසේකර යන් එහි පදමාලාවේ හිමිකරුවාය.
හින්දි සහ ද‍්‍රවිඩ තනු අනුකරණය කිරීම විලාසිතාවක් මෙන්ම ගෞරවයක් කොට සැළකු නිර්මාණ සාක්‍ෂරතාවයේ ප‍්‍රථමික යුගයේ පැවති සිංහල සිනමා සංගීතය ඉන් මුදවා නොඉඳුල් මධූරත්වයෙන් පිරී ඉතිරී යන්නට කටයුතු කල පුරෝගාමි සංගීතඥයන් අතර ’මුත්තුසාමි’ නාමය ස්වර්ණාක්‍ෂරයෙන් සටහන් විය යුතුමය.
’මෝෂිං’ වාදන රටා හෙළබසින් පබැඳුනු ස්වත‍්‍රන්ත‍්‍ර ගී නිර්මාණයක හා පුරා කියා මතුව නැග එන්නේ එහිදිය. ගීයේ අතුරු වාදනය රසගන්වන්නේ එයිනි.
ඉන් පියවරක් ඔබ්බට ගොස් එය තාල විරාම නංවනු පිනිස යොදා ගැනෙන්නේ 1967 වසරේදී රිදි තිරයට පිවිසි ’ඉපදුනේ ඇයි’ සිනමාසලරුවයි. එවකට ලංකා ගුවන් විදුලියේ අතිශූර නිවේදක සංසදයේ ශිල්ප දක්වමින් සිටි නිවේදිකා ’චන්ද‍්‍රා වයමන්’ ගේ අරුත්බර සංවේදී පදපෙළකින් හැඩවූ එහි හඞ මුසුකරදෙන්නට ඔහු කාන්තා ගැයුමක ලාලිත්‍යය මේ යැයි පසක් කරදුන් විශාරද ’සූජාතා අත්තනායක’ යුවතිය හට ඇරයුම් කරන්නට යෙදිනි.
ඊට පූර්වයෙන් ද ඊට පසුවද එදාමෙදා තුර අඩසියවසක තරම් දිගු කාලයකින් ද බිහිවු දැවැන්ත සංඛ්‍යාවක හෙළ ගී අතර අප‍්‍රකට වු පෙරකී වාද්‍ය මිහිර මතුකරදුන් එහි සියඵ බුහුමන් ’රාමයියා මුත්තුසාමි’ ශිල්පියා සතුය.
පූර්ව සියවසේ නිමාව සටහන් වන්නට දෙළොස්වසකට මත්තෙන් ලක්මවට දස දහස් ගණනින් සිය දූ පුතුන් අකාලයේ අහිමි වූ අවිචාර අඳූරු යුගයක සෙවණැළි අතරෙ සිය මෙහෙවර නිමවා නික්ම ගිය ’රාමයියා මුත්තුසාමි’ නාමය හෙළබිම පවතින තුරා මිළින නොවේවා.. යනු රසික ඔබ අප ගේ ඒකායන පැතුම විය යුතුය.
ගාමිණි මැණී සෝමා දේවි සිහිකර සිගිති දුවේ ................
දෑ අනුරගේ වඩවනු ඔබගේ ....
ලැබ මව් තුරුඵ සුවේ ....
දොයි දොයි දොයිය බබා ....
බයි බයි බයිය බබා .....
---------------------------------
ගැයුම - විශාරද සුජාතා අත්තනායක
ගී පද සංකල්පනා - නැසිගිය ප‍්‍රවිණ ගුවන් විදුලි නිවේදිකා චන්ද‍්‍රා වයමන්
තනු රටා සහ සංගීත සංයෝජනය - ප‍්‍රවිණ කර්ණාටික සංගීතඥ දෙමළ ජාතික රාමයියා මුත්තුසාමි (ලාංකීය පුරවැසි බව ලද) -
සිනමා කෘතිය - ඉපදුනේ ඇයි
වසර - 1967
--------------------------------------
(මෙතැනින් රසවිඳින්න)
Special Thanks - Mr. Kumara at FACEBOOK - APE SINDU KAMARE
Embed Music Files - Audio Hosting -
අනර්ඝ ගවේශනාත්මක ලියැවිල්ලක්!
ReplyDeleteබොහොම ස්තූතියි, ප්‍රභාත්!
අපුරු සටහනක්. බෙහෙවින් තුති. මුත්තුසාමිගේ කලා නිර්මාණ ප්‍රමාණවත් ඇගයුමකට ලක්වෙලා නැති නිසා මෙවන් ලිපි තව තවත් ලිය යුතුයි
ReplyDeleteස්තුතියි අවංක අදහස් යෝජනා වෙනුවෙන් ඔබට
Deleteබොහොමත් ම ස්තුතියි. මෙවන් ලිපි පෙළගස්වාලනු පිනිස මේ සටහන් දිරියක්මැය
ReplyDeleteමුල් ගීත දෙක ඉතා හොඳින් රසවිඳලා තියනවා අනිත් ගීත සම්බන්ධයෙන්දැන් අධ්‍යනයක් කරන්න හැකිවුණා
ReplyDeleteවිචාරක දියණිය
sandeshaya film ekath meyage music neda ?
ReplyDelete