namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, October 29, 2017

මගේ සිරිලක ගැන ලොවට කියමි මම...... ......

ඔස්‌ටින් මුණසිංහ නිර්මාණ මියැසි රස ගුලාව ................. 04

ඈත ලොවක සිට හිනැහෙන හඞින් සුවය වේවා ................  04 කොටස


---------
ඔස්‌ටින් මුණසිංහ -  ලංකා සමසමාජ පක්‍ෂයේ සංවත්සර වැඩසටහනකදී ගීතයක්‌ ගයමින්
-----------------

1976 වසරේ දිනක ප්‍රේමකීර්ති ද අල්විස්‌ ගේ පදපෙලක ට සත්සර පහස ලබාදෙන්නට වරම් ලැබු ඔහු ඒ සඳහා ද ජන සංගීතය සහා සිපද ගායනා අකෘතියේ පිහිට සෙවීය ඒ ගුවන් විදුලි සරළ ගී ගායිකා මාලනී බුලත්සිංහල වෙනුවෙනි


මා එක්‌කලා අමනාපව වී දබර - දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර.......

වැළි පොල්කටුයි හැඳි රෑනයි පෙරළාලා  - මිදුලේ වැටුනු කොළ සේරම අතුගාලා......

ගේ ලග වැට කඩුල්ලට බැරි බර දීලා - රෑ එළිවෙන තුරා ඉමු මිදුලට වීලා.........

(ප්‍රේමකීර්ති ද අල්විස්‌ - මාලනී බුලත්සිංහල)

අසන්න මෙතැනින්
-------------------



හින්දුස්‌ථානි සංගීතයේ ස්‌ථායි අන්තරා ආකෘතිය අතික්‍රමණය කරනු ලැබ ඇත්තේ කුරක්‌කන් කවි නාද මාලාවෙනි


මාල් මල් මල් මල් මල් - මාල් මල් මල් මල් මල්
මාල් මල් මල් මල් මල් - මල මල පිට බඹරිඳු රොන් ගන්නා සේ

(සොඳුරු ගාන්ධර්වයා 134 පිටුව)

මේ යුගයේදීම සිය ගම්පියස ට ආසන්නව  සමන් කලායතනය පිහිටුවා ප්‍රදේශවාසී දරු දැරියන්ට සප්තසර රස මිහිර බෙදාදුන් ඔහු  පසුව රත්මලානේ කම්කරු සේවනේ ද අභිනව සංගීත පන්තියක්‌ පවත්වාගෙන ගියේය

පසුකලක මාරිම්බා සංගීත කන්ඩායමේ නායක බන්දු කන්නංගර ඇතුඵ සිසු සිසුවියන් රාශියක්‌ මෙහි අධ්‍යාපනය ලැබීය

ගුවන් විදුලියෙන් පරිබාහිරව රසිකයන්ගේ පෞද්ගලික රසවින්දනය උදෙසා මේ යුගයේ භාවිතා වුයේ වෙළඳ සමාගම් මගින් නිතිපතා නිකුත් කරමින් පැවති තැටි නිර්මාණයන්ය ඒවා සඳහා නව ගී රචනයේ යෙදුනු ගුවන් විදුලි නිවේදක සංසදයේ සාමාජිකයන් අතර ප්‍රමුඛයන් වුයේ කරුණාරත්න අබේසේකර ප්‍රේමකීර්ති ද අල්විස්‌ සහ කේ ඩි කේ ධර්මවර්ධන තිදෙනා ය

දිනක කේ ඩි කේ පෞද්ගලික තැටි නිෂ්පාදකයෙකු වෙනුවෙන් ලියු සිය පදවැල් යුගළයක්‌ මුණසිංහයන් වෙත ලබාදී ඊට හැකි ඉක්‌මනින් තනු හා සංගීතය යොදන ලෙස ඉල්ලා සිටි අතර එහි ගායකයා මිල්ටන් මල්ලවාරච්චි බවද දන්වා සිටියේය

සිය ගුරු භූමිකාව හා වේදිකා නාට්‍යය සංගීත සංකලන අතර සිරවී කාර්ය බහුල වු ඔහු ඒ වෙනුවෙන් සුන්දර තනු යුගලයක්‌ නිර්මාණය කලද සංගීත සංයෝජන කරන්නට අවස්‌ථාවක්‌ නොලද්දේය  පසුව වානිජමය කටයුත්තක්‌ වු ඒ සඳහා නිතිපතා මිල්ටන් ගී සංගීතවත් කරනු ලැබු ක්‌ලැරන්ස්‌ විජෙවර්ධනයන් යෙදවීය

මලින් මලේ රොන් ගන්නා  බඹරු බඹන්නා ..................

රැළින් රැළේ මොණරුන් ඉඳ පිල් විහිදන්නා ......................

බඹරු බඹන්නා මොණරු රගන්නා ...........................

අසන්න මෙතැනින්
----------------





කියනු එපා බොරු කියනු එපා - මා රවටන්නට හඞනු එපා ......................


මා මෙහි නොසිටිය දින කිපය තුල - සිදුවු දේ සගවන්න එපා ...........................


දිවයිනේ පාසල් දරුකැළ වෙනුවෙන් ජාතික ගුවන් විදුලිය විසින් මෙහෙයවු අධ්‍යාපන සේවයේ සංගීත අංශය වෙනුවෙන් බාහිර සංගීතඥයෙකු ලෙස ඔහුගේ සේවය ලබාගන්නට හේතු වුයේ ඔහු එවකට ද අධ්‍යාපන ක්‍ෂේත්‍රය ට සෘජුව සම්බන්ධ වෙමින් සිටි නිසා වන්නට ඇතැයි අනුමාන කළ හැකිය 

ඒ වෙනුවෙන් ඔහු පබැඳු තේමා වාදනය ම පසුව ඉන් වසර 06 කට පසුව විකාශය ඇරඹි ජාතික රූපවාහිනියේ උදා විකාශයේ  අධ්‍යාපන සේවය වෙනුවනේ භාවිතා කෙරිනි

මේ වසරේදීම ජපානයේ එන් එච් කේ රූපවාහිනි සහ ගුවන් විදුලි ආයතනය පැවැත්වූ දක්‍ෂිණ ආසියානු ගුවන් විදුලි තරගයක්‌ නියෝජ්නය කිරිම පිනිස ඔහු තනුරටාවක්‌ මැවිය  ප්‍රවිණ නර්තන ශිල්පිනි මිරැන්ඩා හේමලතා සිය ගම්පියස කරා බසයෙන් ගමන් කරමින් සිටියදී මනසේ නැගුනු සිතිවිලි පෙළ බස්‌ ටිකට්‌ පතක ලියු එකී පදවැල ට පණ පොවන්නට ද සහභාගි කරගත්තේ මාලනී බුලත්සිංහලය

මේ රට මගේ රට මා ඉපදුනු රට - හැදෙන වැඩෙන රට - මගේම මව් රට ..........

සරුපස පොළොවෙන්  - වැහිබිඳු අහසින් ...............

(මිරැන්ඩා හේමලතා  - මාලනී බුලත්සිංහල) - ගුවන් විදුලි අධ්‍යාපන සේවය

අසන්න මෙතැනින්


රටවල් 20 ක අභිබව එය ඔහුගේ හැදෙන වැඩෙන රටට මගේම මව් රටට ජයග්‍රහනය අත්කර දුන්නේය

නැවතත් ඔහු පිළිබදව දොඩමඵ වන්නට  යළිත් දිනක  හමුවෙමු .....

තොරතුරු මුලාශ්‍රය සහ වැඩිදුර කියවිම


(සොඳුරු ගාන්ධර්වයා - අචිරවතී යාලගම)

ප්‍රණාම පූර්වක ස්‌තුතිය - අචිරවතී යාලගම (ඔස්‌ටින් මුණසිංහ මහත්මිය)  වෙත
ජයාරෑප 
අනුග්‍රහය
අචිරවතී යාලගම මහත්මිය

Wednesday, October 11, 2017

ඔස්‌ටින් මුණසිංහ නිර්මාණ මියැසි රස ගුලාව ................. 03

ඈත ලොවක සිට හිනැහෙන හඞින් සුවය වේවා ................  03 කොටස


ඔස්‌ටින්- අචිරවති නැවුම් කැදැල්ලේ සුව පහස විඳි මේ අවධියේ ගුවන් විදුලියේ එක්‌ව සුසැදි ලුෂන් - ඔස්‌ටින් සුසංයෝගයේ නව මානයක මං සළකුණු මෝදුවෙමින් තිබුනි  පළමුවැන්නා ගේ නවතම වේදිකා නාට්‍යයේ ඔහු ම ලියූ පදවැල් වෙනුවෙන් තනු සහ සංගීතය දෙවැන්නා වෙත පවරනු ලැබීය  රතු හැට්‌ටකාරී නම් වූ එහි ස්‌වර රටා රෑහි හඞ නැගනු නිශා යාමයේ ඔහු අතැගිලි පහස ලැබු හර්මෝනියම් යතුරු වෙතින් මැවෙමින් තිබුනි


ඒවා ද සිංහල වේදිකා නාට්‍ය වංශයේ නොමැකෙන මං සළකුණු සටහන් කළ ගීතාවලියට ඇතුළත් ව වත්මනෙහි ද දශක 04 අයු ලබමින් රසික හදවත් සනහාලයි

දීකිරි දීකිරි ගෙනවා දීකිරි මිහිපිට කාටත් - ගුණදෙන දීකිරි

පැටියා මෝරපු දෙනගෙන් රාන්කිරි - හොඳහැටි උණුකර බීවා රන් කිරි

නැවුම් මුට්‌ටියේ වත්කළ මේ කිරි - පණමට ලාබයි මං දෙන දී කිරි

(ලුෂන් බුලත්සිංහල - අනුලා බුලත්සිංහල)

මෙතැනින් සවන්දෙන්න
------------



මෙහිදි වාදනය කෙරෙන්නේ මැටි කළගෙඩියක්‌ සහ පහතරට බෙරයකි පහත රට බලි තොවිල් ඇසුරේ යෙදෙන රොකු දෙක තිත යනුවෙන් ව්‍යාහරිත තාලයයි (සොඳුරු ගාන්ධර්වයා පිටුව 132)


ළමා කාලයේ සිය ජාත භූමි පියසේ කටුබැද්දේ පුරාණ සත්පත්තිනි දේවාලයේ ද  එහි පෙරහැර මංගල්‍යයේ ද වැයුනු බෙරපද නාදයෙන් වශීකෘතවු ඔහුට ඒවා සිය නිර්මාණ උදෙසා යොදාගන්නට නොහැක්‌කේ මන්දැයි යන්න වැටහෙන්නට ඇත


පාරම්පරික ගැමි ජනහදවත් දිනු ඔවුන්ගේ සංස්‌කෘතිය මෙන්ම එදිනෙදා දිවිය හා දැඩිව බැඳුනු  පෙරහැර උත්සවයන් හි හේවිසි  වැයෙන්නේ  දහඅට වන්නම් මාලාවේ එන ගජගා වන්නමෙනි  ඒ ඇත් ගමන සිහිගන්වමිනි 

එහි නාදරටාවෙන් මැවු අපුර්වත්වය වේදිකා නාට්‍යය ගීතය වෙත කැඳවාලුයේ ද රතු හැට්‌ටකාරි වෙතිනි

යස ඉසුරු පිරුණු තැනා - සිරි දෙව් දූ සිටින තැනා''''''

ලගම ඇතේ දුරක නැතේ - අපි යන්නේ මේ පාරේ'''''''


රජවරු රජ මැතිවරු - යස රාජ බිසෝවරු''''''

කළ කෙළි සෙල්ලමම් දැක - තව කාසි දියං මට''''''


හොඳ තෑගි දියං මට - හොඳ තෑගි දියං මට''''''


මෙතැනින් සවන්දෙන්න
-------

(ලූෂන් බුලත්සිංහල - ජය ශ්‍රී චන්ද්‍රජිත්)

ඔස්‌ටින් මුණසිංහ නාමය පෙරටුකොටගත් මෙකී පෙරළිකාර සංගීත නිර්මාණ උදෙසා ඔහුට නියමිත  නිසි ගරු බුහුමන නිසි අවධියේ නිසි ලෙස ලැබුනේ එය 1974 වසරේ හොඳම නාට්‍ය සංගීතයට හිමි සම්මානය දිනගනිමිනි එයාකාරයෙන් ඔහු මැදිවිය ඉක්‌මවා යන්නට පෙරාතුවම සිය කලා දිවියේ තුරුණු මල් සමයේදීම සිය උපන් බිමේ සහෝදර ජනතාවගේ රසික දනන්ගේ කෘතවේදීත්වය ලබන්නට වසනාවන්ත විය

ඉහත ගී බිඳු ගී රසික තුඩ තුඩ බිඳ බිඳ වැහෙද්දී රතු හැට්‌ටකාරි ශිල්පි කැල සමගින් ඔහු ලක්‌දිව සිසාරා යමින් වේදිකාවේ ඉදරිපස සිට සිය වාද්‍ය භාන්ඩය වැයුවේය 

මේ වකවානුවේ එක්‌තරා දිනක රතු හැට්‌ටකාරි දර්ශන වාරයක්‌ වේදිකා ගත කරන්නට සුදානම් වී තිබෙද්දී වාද්‍ය වෘන්දය මෙහෙයවමින් සිටි ඔහු වෙත කිසියම් පණිවිඩයක්‌ ලැබුනේය

ප්‍රේක්‍ෂක ඔල්වසරන් මැද සුපුරුදු පරිදි එය නියමිත ලෙසම අවසන් වු අතර සිය නායකයාගේ මුහුණ අඳුරු වි ඇතිබව දුටු සෙස්‌සෝ 
ඒ පිළිබඳව විමසා සිටියහ

ලැබුණු පිළිතුරෙන් ඔහුවු වික්‍ෂිප්ත වුහ දැඩි ලෙස සසල වුහ එතරම්ම තැන්පත් ඉවසිලිවන්ත බවක්‌ කෙසේ අදහම්ද ?

ඒ පනිවිඩයෙන් කියෑවි තිබුනේ මුණසිංහයන් ගේ දයාබර මැණියන් මෙළොව හැර ගොස්‌ තිබුනු බවති


මෙලොව වෙසෙන මිනිසා වරෙක අසිමිතව ප්‍රිති ප්‍රමෝදය ලබයි ඊලග පැයේ දුක්‌ වේදනා අනුභව කරන්නට පොළඹවයි ඊලග වසරේ රෝ ගී සිය  දයාබර මැණියන්ද පියාණන්ගේද වියෝව අත්විඳින්නට සිදුවු ඔහු මාස ගණනක ඇවැමෙන් උතුම් පිය පදවියේ කිරුඵ දැරීය 

ඒ 1975 වස බිනර මස 04 දාතමින් මෙලොව ජනිත වූ තිසර තරුපති පුතු නිසායමතු දිනක ඉතිරි කොටසින් යළි හමුවෙමු .....
තොරතුරු මුලාශ්‍රය සහ වැඩිදුර කියවිම


(සොඳුරු ගාන්ධර්වයා - අචිරවතී යාලගම)

ප්‍රණාම පූර්වක ස්‌තුතිය - අචිරවතී යාලගම (ඔස්‌ටින් මුණසිංහ මහත්මිය)  වෙත