මල් ගෝමර පෙති ගෝමර ඉහෙන රුසිරු ළඳේ ඔබයි ගෝමර මැණිකේ ....
ඔබේ නයන නිලුපුල යට ....
මට මොහොතක් නවතින්නට ...
ඉඩ දෙනවද මැණිකේ ....
ගෝමර මැණිකේ ....
ගිනි අව්වේ මහ වැස්සේ ...
රෑ සීතල මල් පින්නේ .....
මහත් දුකෙන් මම තැවුලිනි ...
මා ඉන්නේ මැණිකේ ගෝමර මැණිකේ ....
කාසි නැතත් වාසි නැතත් ...
පැලේ පිලේ වාඩිවෙලා ....
හඳපානේ කවි කියන්න ...
ඔබේ නයන නිලුපුල් ඉඩ දෙනවද මැණීකේ ..?
-------------------------------
මෙතැනින් සවන්දෙන්න
අඩසියවසකට පෙර යුගයක ගම්මානයේ නගරයේ නිතර ඇසුණු නාමය ’මැණිකේ’ ඇමතූ දහසක් ගී අතර, ලියැවුනු මෙහි ප්‍රබන්ධකයා ඇසූපිරූ තැන් ඇති කොළඹ යුගයේ කවියෙකු වූද ගුවන් විදුලි වැඩසටහන් සම්පාදක ධූරය හොබවූද පරසිඳු ’ඩෝල්ටන් අල්විස්’ ශූරීන්. වෙසෙසින් සඳහන් කළොත් ’සසර වසන තුරු - නිවන් දකින තුරු’ අමරදේව ගීතයේ නිර්මාණකරුවාණන්ය.
ඩෝල්ටන් අල්විස් ගේ එතරම් ප්‍රකට නොවූ මෙම ගී පබැඳුමට හඞින් එදා පණපොවන්නේ ද අප්‍රකට ගුවන් විදුලි ගායන ශිල්පී ’කේ ඒ සිරිසේන’ ය. එහෙත් එක්තරා යුගයකදී මෙම ගීතය නම් අප්‍රකට ව සැගව ගියේ නැත. එය නිරතුරුවම උදේ හවා අසන්නන්ගේ හදවත ඇමතුවේය. ඇතැම් කාන්තාවන්ගේ උඩුකය වස්ත්‍රයේ නිරාවරණය වූ සිරුරේ දකින්නට ලැබෙන ’අඵහම්’ සාහිත්‍යය වැණුමෙන් ’ගෝමර’ ය. එවැන්නියන් ඇතැම් සාහිතකරුවන්ට ’මල් ගෝමර’ ’පෙති ගෝමර’ ඉහෙන රැසිරු ළඳුන්ය. දහදිය හෙළමින් මද්දහනේ කෙතේ ගොයම් නෙළන්නියන් එසේ ඇමතුවේ ’ඩබ්ලිව් ඒ අබේසිංහ’ ශූරීන් ය.
අන්න බලන් ළඳේ
බන්ඩි ගොයම ගැබ් අරගෙන
නිල්ල මතින් කිරිබර වෙයි අඵයම හෙට උදේ
මල් ගෝමර පෙති ගෝමර ඉහෙන රුසිරු ළඳේ
පින්ඇති පුතු බිහිවනු ඇත ගොයම් නෙළන ළඳේ
දුක් ගින්දර අපට නැතේ...
සා ගිනි දිය අපට නැතේ..
පුතු ඉපදෙනු ලබන මහේ
ගොයම් කැපෙයි ළඳේ...
ගැයුම නීලා වික්‍රමසිංහ ලක්ෂ්මන් විජේසේකර ඇතුඵ පිරිස - 1974
මෙතැනින් සවන්දෙන්න
70 දශකයෙන් පසු ’ගෝමර මැණිකේ’ ට ඇමතූවන් ක්‍රමයෙන් එකිනෙකා නොපෙනී ගොස් අද ඇයට ලියූ ගී කවි නැත්තේය. ඊට හේතුව වත්මන් යුවතියන් සිය සිරුරේ අබ ඇටයක තරමේ හෝ කැළලක් ඇතිවෙනවා දකින්නට අකමැති වීමයි. එය පිළීකුලෙන් සැළකීමයි. ඒ නිසා ම ඔවූහූ එවැනි දෑ පෙරදිග - බටහිර විවිධ වෙද ශිල්පොක්‍රම අනුගමනය කරමින් ඉවත් කරන්නට වෙහෙස වීමෙන් නොනැවතී සිය චර්මය වඩාත් මුදු සුමුදුව සිනිඳුව වාත්තු කලාක් මෙන් තබා ගැන්මට පෙළඹේ. හතු පිපෙන්නා සේ බෝ වී ඇති දේශිය ඖෂධ වට්ටෝරු යැයි කියන සංයෝග නිපදවන්නන් විසින්ද යුවතියන් පොළඹවන්නේ සිය රූ සපුව වඩාවාගැනීමටය.
එහෙත් අතීතයේ විසුවන් එකී පැල්ලම් ආභරණයක් සේ සැළකුවා වන්නට ඇත. ජනකවියන් සාහිත්‍යකරුවන් ඒවා නිති වැණුමට යුහුසුඵ වූ අතර එයින් පෙර කී කාන්තාවන් ගේ රූ සිරු අංගයක් ලෙස ළප ඇති සම සළකන්නට ඇත
කාලය විසින් මැවු අරුමය කදිමය ?
ගීත ප්‍රබන්ධකයන් වෙතට ’ගෝමර’ යෙදුම සපැමිනියේ සාම්ප්‍රදායික ජන කවියෙන් වූ බවට සාක්‍ෂි ලැබේ. කාන්තා රුසිරු වනන සිංහල ජනකවි මහත් රාශියක මෙය දකින්නට හැකි වන්නේය. පහත කියැවෙන සියවස් පැරණි අතිශය ජනාදරයට පත් පාරු කවියේ කියැවෙන්නේ ව්‍යාගර්ථමත් ව කිසියම් බලපුඵවන්කාර තැනැත්තියකගේ හිරිමල් වියේ දුවණියක් පිළිබඳව විය හැකිය. එහි අවසන් පදය ’මිනි නොකයි මාතර කිඹුලිගේ පැටියා’ යන්නෙන් එය අගවන්නේය.
මාතර ගගේ ඉන්නා කිඹුලිගේ පැටියා...
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා ...
යන එන පාරු මග නවතාගෙන හිටියා..
මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා...
(පාරු කවි)
දමා තැල්ල කරවට ගෝමර කැටියා
කමා බෙල්ල ගග පහලට රුව කැටියා
රුවන්වැල්ල ගග පිට අගනක් හිටියා
නුඹම පල්ලා මේ මුඵ සක්වල වටියා
(පාරු කවි)
ජනකවි ඇසුරු කරමින් නිර්මාණකරණයේ යෙදුනු අතීත ගීත රචකයන් බොහොමයක් මෙම පදය ඇසුරු කරන්නට ප්‍රියතාවයක් දැක්වු බව ඔවුන්ගේ ජනප්‍රිය ගීත පබැඳුම් මගින් පෙනීයයි.
පෙති ගෝමර ඉහුනු බඳට රිදී මාල පළඳන්නට .............
පැතූ පැතුම් හද පතුලේ පරවී යනවා .............
ඔබේ සිනා ගම්මානෙන් සැගවී යනවා ..................
(ගායන ශීල්පී ටී එම් ජයරත්න විසින් 80 දශකයේ මුල් යුගයේ ගැයු ගීතයකිනි)
-------------------------------
සැබැවින්ම මෙකී ’ගෝමර’ යනු මොනවාද ? ඒවා කාන්තා පුරුෂ සිරුරේ ඇතැම් තැන්හි දකින්නට ලැබෙන පැල්ලම් ය අඵහම්ය. වෙදැදුරන් ඒවා දීලිර ආසදන ලෙස හඳුන්වාදෙනු ලබන අතර වහා ප්‍රතිකාර ගත යුතුයැයි ද නිර්දේශ කරනු විවිධ මාධ්‍ය හරහා දක්නට ලැබෙයි.
70 දශකයේ අගභාගයේ දී ’පහන් වැට’ නමින් ආධුනික ලේඛකයන් ගේ නිර්මාණ එක්තැන් කරමින් ඒවා අගයා පුවත්පත් වල පළ කරන්නට පොළඹවාලූ එසේම පුවත්පත් කලාවේදීන්ගේ ගුරු උතුමෙකු වූ එදා ලේක් හවුස් යොවුන් ජනතා පුවත්පතේ සකසු දිවංගත ධර්මසිරි ගමගේ ශූරීන් වරෙක ’මල් ගෝමර’ අරබය ගීතයක් පබැඳුවේ 1976 වසරේ තිරගත වූ ’හුලවාලී’ සිනමා පටයේ විකුම් පෑ නැසිගිය ’ගාමිණී ෆොන්සේකා’ මහා රංගධරයා ගේ ජවනිකා පෙළක් වෙනුවෙනි.
'
කුඩා ගමේ මද්දහනේ ....
අවුරස්මිය නිවා ...........
හුරි කඳුපෙතේ දඩමං ... දිගේ ගියා මෙමා...
එවන් ගමන් මානං ගියේ සෙනෙහස ගැන සිතා...
උඹේ කරට රිදි පොටක් පළඤ්ඤයි සුබා..........
මගේ පැළට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා ....
මල් ගෝමර පිපුනු ළමැද වසා ගනිම් කියා ...
මගේ අතින් දුන් සඵවෙන් ළමැද වසා ගියා ...
රිදි පොටක් පළඳන්නට වරං නැතිව ගියා ....
(ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ හඞ පෞරුෂය අවදිවූයේ ආචාර්ය වික්ටර් රත්නායක මියැසි පෙළහර හමුවේය)
සැබැවින්ම එදා 70 දශකයේ අප කුඩා අවධියේ සිරුරේ තැන තැන ’ගෝමර’ වැටුනු ළඳුන් නෙත ගැටීම දුලබ සිද්ධින් නොවීය. විලාසිතාවන් අවම වූ එදා ඔවුන්ගෙන් අතිබහුතරය ගවොම හෝ තරමක් වයසින් වැඩි නම් රෙද්ද හැට්ටයෙන් සැරසි සිටියහ. දුර ගමන් යෑමේ ඇවැසිබවක් නොතිබූ ඔවුන් සිය නිවසේ අයගේ ඇස්මායිමෙන් නික්ම යෑම නිතර සිදුවූවද ගම්මායිමෙන් එපිටට පියමං කිරීම ඉඳ හිට සිදුවු දෙයක්ම විය.
1960 දශකයේ තිරගත වූ ’සිහින හතක්’ සිනමාපටයේ ගැයුනු මේ ගීතයේ හඞ ගායනවේදිනී ආචාර්ය ’සුජාතා අත්තනායක’ ඇතුඵ පිරිසගෙනි.
සක්වල ලෝකයක් කලා ...
ලෝකය සිහිනයක් කලා ............
නාරී ..දෙහේ .. රූපේ ශෘංගාරී .....
මල් ගෝමරියේ ... මල් ගෝමරියේ ... ගෝමරියේ ...............
(ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න සත්සර රසගුලාව වෙනුවෙන් ගී පදමාලාව නැසිගිය ශ්‍රී නිහාල් ජයසිංහගෙනි)
ලොව මහපුදුමයක් ලෙස සැළකෙන ’සිහගිරි පව්වේ’ මුහුණතේ අදටත් ’ළලනා ලාලිත්‍යය ඔප්නැංවු බිතුසිතුවම් රූ අල්ප සංඛ්‍යාවක් ඉතිරිව තිබුනද ඒවා අතරින් පතර දුර්වර්ණ වී ඇත්තේ දහස් වස් කාල විපර්යාසයට නතු වීමෙන් විය හැකිය. එහෙත් අඩසියවසකට ඉහත දී ලංකා ගුවන් විදුලි ගී රස කලාවේ වදන් මැවිසුරුවන් අතර මහගුරු වූ දිවංගත කරුණාරත්න අබේසේකරයන් හට ඒවා ’ගෝමර’ පෙතිය.
අතකින් මල් දරලා හසරැලි පාලා .................
සුසිනිඳු සඵ ඔතලා විලවුන් ගාලා ...............
ගෝමර පෙති විදාලා දිස්නය දීලා .....
ආදරයෙන් උන් තාලේ ඒ දෑසේ සිතුවම් වීලා .....
සිගිරි සුකුමාලියේ හෙළරජ සමයේ ...
මතකද අපි පාවුනා පෙම් අම නදියේ ...
ලස්සන ඔබේ රූපයේ නෙත සිත බැඳුනේ ...
නාමය ශ්‍රි ලංකාවේ රැව් දෙන්නේ ...
ඔබගෙනි සොඳුරේ .................
(ගී හඞ නැංවීම 1977 වසරේ නික්ම ගිය සී ටී ප්‍රනාන්දු රසවන්තයාගෙනි තාල - මිහිර දිවංගත පැට්‍රික් දෙණිපිටිය සංගීතවේදියාගෙනි)
ගෝමර ඉහුනු ළඳුන් අගයා පබැඳි ජන කවි ගුරුකොටගෙන ලියැවුනු තවත් ගීත ගණනාවක් සිංහල ගීත සාහිත්‍යයේ හමුවන අතර ඒ අතර
ලියක මහිම පෙති ගෝමර ඉසිලා - (හිතට හිත - 1965) - කරුණාරත්න අබේසේකර - ජේ ඒ මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට ගැයුම
හද විළ කළඹන පෙම් ජල රේඛා - (අඵත්නුවර දැඩිමුණ්ඩ යාතිකා ස්ත්‍රෝත ගී ඇසුරෙනි) - ධර්මසිරි ගමගේ - නන්දා මාලිනි ගැයුම
බිංදු බිංදු රන් ගෝමර මාලා - (ගුවන් විදුලි මධූවන්ති වැඩසටහන - 1966) - මඩවල එස් රත්නායක - පන්ඩිත් අමරදේව ඇතුඵ පිරිස ගැයුම
වඩාත් ජනප්‍රීය ගීත වේ.
(ගොයම් නෙළන ළඳාුන් සේයාරූ උපුටාගැනීම අපේ ජන කවි බී අාර් අල්විස් පුස්තක කවරයෙනි)