namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, November 22, 2023

එදා සිංහල ගම්මානය

 සීංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 01

සමාජ විද්‍යව, මානව විද්‍යව. ජන සංස්කෘතින් හදාරන සිසුන් වෙසෙසින් විදෙස් සිසුන් මෙහි විත් හෝ නිබන්ධන,ග්‍රන්ථ, සගරා පරිශීලනය කරමින් ශ්‍රී ලංකාවේ අතීත ගැමි සමාජය ද අධ්‍යයනය කරනු ලබයි. ඒ පිළිබඳව ’ඉංග්‍රිසි‘ බසින් පළවූ පොත්පත් එමටය. එයින් බොහෝ කෘති යටත් විජිත සමයේ, මෙහි සේවය කළ බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරීන් සහ වැසියන් විසින් විරචිතය. එදා ඔවුනට මෙහි දක්නට ලැබුනු අපුර්ව ගැමි සමාජය, ඔවුන් ලෝකයා ගේ දැනගැන්ම පිනිස ග්‍රන්ථාරූඩ කර තබන්නට උත්සුක වූහ. 

අදද, ගැමියන් නොවූ පුද්ගලයන් හට ඒවා දැන හැඳින, ඔවුන් කළ කී දෑ, භාවිතයට ගත් උපකරණ, සිරිත් විරිත් සහ ඇදැහිලි, ජනක්‍රීඩාවන් සහ ආගමික යාතු කර්ම, වෛද්‍යකර්මය, සත්ව පාලනය, ගොවිතැන් කටයුතු, කර්මාන්ත, විනෝදාස්වාද එනම් රංගන සහ ගායන විධික්‍රම, ප්‍රවාහනය,ජල සම්පාදනය, පරිපාලනය යන මේවයේ අතීත තොරතුරු සපයා ගැනීමේ මහගු මූලාශ්‍රය පෙරකී ග්‍රන්ථ සමූහයයි.


70 දශකයේ අවසනායේ ඇරඹී සිංහල ජන සමාජය වානිජකරණයට නතු වන තෙක් වසර සිය ගණනකදී ඔවුන්ගේ ජීවන රටාවන් බරපතල විපරිනාමයකට භාජනය නොවී තිබුනු බව පෙනෙයි.

සද්ධර්මරත්නාවලියේ, රොබට් නොක්ස් ගේ  කෘතියේ, සහ මෑත කාලීනව මාර්ටින් වික්‍රමසිංහ සහ කේ ජයතිලක ශූරීන් ගේ සාහිත්‍ය නිබන්ධන වල සිංහල ගැමිදිවිය පිළිබඳවු සඳහන්  වු දෑ අතර පරතරය අවමය.

සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යය මෙන්ම සිංහල ගී සාහිත්‍යය සවිස්තරාත්මකව අවධානයෙන් හැදෑරීමෙන් යමෙකුට අතීත ගැමියන් ගේ ලොවට කාලතරණය කරන්නට හැකි වනවා ඇත.

මෙම සටහනේ අරමුන මතු අවසානයට කී සිංහල ගීත සාහිත්‍යය ඇසුරෙන්, පුරාන ගම්මානයට පිවිස විවරණයකට යෙදීමයි.

අල්පේච්ඡ ජීවිත ගත කරන්නට හුරු පුරුදු වී සිටි ඔවුන් ඈතින් ඈත පිහිටි සිමිත ජනගහනයකින් යුත් ගම්මානවල කොටුවි සිටීමින්, කෘෂිකාර්මික කටයුතු වල නිරතව සිටියේ ගම්මාන වසා පැතිර පැවති වන ගහනය හා එහි බහුලව ජීවත් වූ වන සතුන් හා අරගලයක යෙදෙමිනි. අද මෙන්ම එදාද ඇතැම්විට අදට වඩා කිහිප ගුණයකින් ඔවුන්ගේ භෝගවගාවන් වනසතුන් ගේ ගොදුරු බවට පත්විමේ අනතුරට ලක් වි සිටි බව කියැවේ. ඒවා ආරක්‍ෂා කර ගැනීම  පිනිස නොපෙනෙන බලවේගයන්ගේ පිහිට පැතීම සිදු කළ අතර ඒ සඳහා විවිධාකාර වූ යාතු කර්ම උපයෝගි කොටගත්හ.

ඔවුන් ගේ අස්වනු නෙළාගත් පසුව, ඊට ඊලග වාරය එළඹෙන තුරු ලැබුනු විවේකය ’බක්මහ උළෙල’ හා සමපාත වෙයි. එහිදි ඥාති සබඳතා තරකරගනිමින්, විවිධ විනෝදාංහ, කෙළි සෙල්ලම් ආදියෙන් දවස ගතකළහ. ඔවුන්ගෙන් ඇතැමුන් දුර ඈත පිහිටි ආගමික සිද්ධස්ථාන කරා වන්දනා ගමන් ගියේ පා ගමනිනි. තවත් අය ’කරත්ත’ යොදා ගත්තේය. වියපත්, වැඩිහිටියෙක් කන්ඩායමේ නියමුවා වූ අතර ඔහු ’නඩේ ගුරා’ ය. ඒවා සඳහා සති මාස ගණනාවක් ගතවිනි.

බ්‍රිතාන්‍යයන් විසින් නිතීරීති අණපනත් පමුණුව, සම්ප්‍රදාය විපර්යාසයකට ලක් කරන ලද 19 සියවසේ මුල් භාගය දක්වා, ඔවුන් තමන් අයත් කුලය අනුව ශ්‍රම විභාජනයේ යෙදෙන්නට නියම වි තිබිනි. ඒ අනුව කිසිවෙකුට සිය අභිමතය පරිදි සිය කර්මාන්තය වෙනස් කරන්නට හැකියාව නොලබන්නට ඇත. ඒ අනුව ’බෙර වාදකයෝ සහ සංගීත කරුවන්’ ගේ දරුවන්ට පිය උරුමයෙන් එය නියම කෙරී තිබුනු අතර ’කම්මල්කරුවන්’, ’ආභරන තනන්න් සහ මෝස්තර ශීල්පීන්, සිත්තරුන්, මැටි භාන්ඩ නිෂ්පාදකයන්, රෙදි වියන්නන්, ධීවර කාර්මාන්තකරුවන්, හේවායන්, කැටයම් කරුවන්, ගෘහ භාන්ඩ නිෂ්පාදකයන්, නැකැත්කරුවන්, යාතුකර්ම කරන්නන්, ශාකමය අමුදව්‍ය යොදා පානවර්ග නිපදවන්නන් ආදී වෘත්තිකයෝ එහිම කොටු වී ඊට කැප වී සිටිය යුතු වූ අතර එයින් වෙනස් කර්මාන්තයකට මාරු විමේ වරම අහිමි වි තිබෙන්නට ඇත. ’දඩයක්කරුවන්, දෝලාගෙනයන්නන්, ආදීන් ද ඔවුන්ට පැවරුනු රාජකාරි ඉටුකිරීමට බැඳි සැදී පැහැදී සිටියයුතුම විය.

ජන කථා සහ ජන ගී කවි සාහිත්‍යය, පුරාන ගද්‍ය සහ පද්‍ය සාහිත්‍යය, මුලින් කී ග්‍රන්ථාවලිය, සහ ගැමියන් අසුරෙන් මෙන්ම තමන්ගේම සමාජ අත්දැකීම් ඇසුරෙන් ගීත රචනා කලාවේ නිරතවුනු නිර්මාණකරුන් වෙතින් බිහිවූ අතිවිශාල ගී පද්‍ය නිර්මාණවලියේ ගැමිජනදිවිය හා සබැඳී තොරතුරු එක්රැස් වී සංග්‍රහ වී පවතී. ඒවා රසවිඳිමෙන් සීරූවෙන් අධ්‍යයනයෙන් යමෙකුට සිංහල ජනසංස්කෘතිය විපර්යාසයට ලක්වෙන්නට පෙර පැවති අතිදිර්ඝ යුගයකට මනසින් පිවිස, දැහැන්ගත වී, එහි සැරිසරන්නට වරම් ලැබෙන්නේය. 

එහිදී, ඒවා හදාරන්නෝ අතීත කර්මාන්ත, කෙළි සෙල්ලම්, යාතුකර්ම, සිරිත් විරිත් යන මෙකී නොකී දෑ මෙන්ම වෘක්‍ෂ, පැළෑටි, ඇතුඵ වනජීවීන් පිළීබඳව ගී කවි පද අතර රුවා තිබෙන ඒ හා සබැඳී සුවිශාල වදන් කෝෂයේ  පිහිටෙන් මහත් දැනුම් සම්භාරයක් අත්කර ගන්නවා ඇත.

ආහාර, ඖෂධ, ආභරණ, ඇසුරුම් සකසා තනා ගැනීමේ කටයුත්තේ යෙදුනේ කන්තා පාර්ශ්වයයි, ඒවා ගොතා නිපදවා ගැනීමේ දැනුම හැකියාව ’ඇය’ ගේ විවහය තින්දු විමේ සුදුසුකම් ගණනාවක් අතර රැඳි පැවතියේය. ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය වූ ශාක පත්‍ර කොටස් නුදුරින් පිහිට වනරොදකින් සපයා ගැනීමේ වගකීම ද ඔවුන් විසින්ම දැරූහ.


පහත නිබන්ධන විමසනු මනාය.


රන් කුරහන් හේන උඩින්, සී පද හඞ ඇසෙන පැයෙන්....

එන්න මගේ හද අරණට සපුමල් කුමරෝ....

රෑ තිස්පැය දිවා රැයේ ඔබ එනතුරු හිමිදිරියේ ....

ඕවිට ලග බලා සිටිමි සපුමල් කුමරෝ.....

වැටකෙයියා යාය මැදින් තුන්හිරියා පන් උදුරන් ...

පාන්දරින් ඔයත් එක්ක පාන්පැලේ දෙවියන් වැඳ...

කුඹුකේ ළීඳෙන් දියනාගමු සපුමල් කුමරෝ.....

රෑ ඉරබටු තරුව ලගින් ..පායන සඳ අපට හොරෙන්..

නැකත් අරන් ඒවි ඉතින්... අඵත් බතේ සුවඳ අරන්...

බක්මාසෙට එක්තැන් වෙමු සපුමල් කුමරෝ.....

(උපාලි ධනවලවිතාන ගී සංකල්පනාවේ සංගීතය සරත් දසනායකගෙනි, ගැයුම නිරංජලා සරෝජිනී - 1978 පමණ)

-----------------------------------


මඞ ගොවිතැන භාරදුර කටයුත්තකි. ඊට මහ පිරිස් ඇවැසිය. අතීතයේ එය සිදුකරන ලද්දේ ’අත්තම’ පිහිටකොටගෙනය. එනම් කිසියම් ගොවියෙකුගේ කුඹුර අස්වැද්දීමේ කටයුත්තට ඔහුගේ ගමේ සෙසු සාමාජික සාමාජිකාවන් ගේ දායකත්වය සපයා ගැනීමේ ක්‍රමවේදයයි. අදාළ දිනයට පෙර, බුලත් අතක් එනම් බුලත් හතළිහක ප්‍රමානයක් ගෙන ගොවියා ගම්මානයේ සෙසු ගැමි නිවෙස් කරා ගොඩවැදී ඔවුනට තමන්ගේ ’කයිය’ අසවල් දිනයේ සිදුකරන බවත්, ඊට සහභාගී වන ලෙස ආරාධනා කරන්නට පැමිනි බවත් දන්වයි. ඊට සහභාගී වන්නේ නම් නිවස් හිමියා හෝ ඔහු වෙනුවෙන් එහි සාමාජිකයා බුලත් කොළයක් ලබාගනී. එසේ වැයවූ බුලත් කොළ ගනනින් තමන්ගේ කටයුත්තට ලැබෙන ශ්‍රම දායකත්වයේ තරම ඔහු කලින් දැනගෙන ඊට සූදානම් වන්නේ ඔවුනට ’ඇඹුල’ සැපයිම ආදිය කළයුතු බැවිනි. කූඹුරේ සිදුකරන සාමූහික කටයුතු ’කයිය’ ලෙස ද එහි සැපයෙන ආහාර ’ඇඹුල’ ලෙසද වෙසෙස් ගැමි වහරේ හැඳින්වෙයි.


-------------------
කුරහන් හේන.......
-----------------

එහෙත් ගොඩ ගොවිතැන සාපේක්‍ෂව ශ්‍රම දායකත්වය අඩු කාර්යභාරයකි. එහිදී ’ඇල්’ වී සහ ’කුරහන්’ වපුරයි. ඇතැම් ගැමියන්ගේ ප්‍රධාන ආහාරය කුරහන් ය. එය හාල් ඇටයට වඩා ප්‍රමනයෙන් කුඩා ධාන්‍ය ඇටයකි. නමුත් ඒවාද කරල්ය. ’කහ’ වර්ණයට හැරීගෙන එන කුරහන් නෙළාගන්නට පිටත්වන්නේ ’ගැමි තරුණියන්ය’ ඔවුන් ඒ සඳහා විශේෂ දෑකැත්තක් භාවිත කරයි. එය ගොයම් කපන්නාවු දෑකැත්තට වඩා ප්‍රමානයෙන් කුඩාය. 

එසේ කපාගන්නා කුරහන් අඹරන්නේ ’කුරහන් ගලේ’ ආධාරයෙනි. නිවසේ වී අටුව මෙන්ම කුරහන් අටුවක් ද තිබෙන්නට හැක. දිනයට නියමිත සරිළන ප්‍රමානයෙන් කුරහන් අඹරන්නේ ද කාන්තා පාර්ශ්වයයි. ඒ කුරහන් පිටි ගෙන ’තලප’ සහ ’පිට්ටු’ වැනි ආහාර පිළීයෙල කෙරේ. කුරහන් රඵ ආහාරයක් නමුත් ගුණදායකය. වරක් ආහාරයට ගත් පසු දිරවන්නට යන කාලය අධික නිසා, කුසගින්නකින් තොරව වැඩි වේලාවක් සිටිය හැකිය.


සිංහල සංස්කෘතිය හා සමීපව සබැඳී ’කුරහන්’ උදෙසා ලියැවුනු ගී කවි සින්දු විරළ නොවේ.


කුරහන් හේනේ පිපුණු මලී.............

මගේ නෙත් හඞනවා නුදුටු කලී ....

ඔබ කියනා කවි සුවඳ රැඳී...


මට රිදවනවා මහද වෙලී.....

පිරිපුන් උකුළෙන් කලය වඩාගෙන...

උදෑසනින් නිල් වරළ උනාගෙන ...

යනෙන මලී..සුවඳ මලී....


තවත් සුවඳ මල් ගමේ පිපෙනවා ...

ඔබේ දෙනෙත් ඇයි මා ඉල්ලන්නේ ...

මහද සැලේ නුඹව දැනී .......

(ඩෝල්ටන් අල්විස් ගී පද ගැයුවේ ටි එම් ජයරත්න සහ මාලිනි බුලත්සිංහල විසින් ස්ටැන්ලි එම් ප්‍රනාන්දුගේ සංගීතයටය - 1976)

------------------------
අසන්න මෙතැනින්

ගී ශ්‍රාවකයන්ගෙන් සිමිත පිරිසකට එහි අරුත් පිරිසිඳ දැනකියා ගැනීමේ ශාක්‍යතාවය ඇත්තේ, ඔවුන් ඇසූ පිරූ තැන් ඇත්තන් විම නිසාය. එහෙත් වැඩි පිරිසකට අරුතේ වගක් නැත. ඔවූහූ ඒවා ’ඇහෙනවාට’ අසති.


-----------
කුඹුක් ගස
-------------

රමණිය ’කුරහන් ගී’ කවි සින්දු එදා ගීත සාහිත කලාව වර්ණවත් කළේ මෙඅයුරිනි.


කුරහන් යායේ සඳ උතුරාගෙන සිතට දුකක් ගලනා වේලේ...

රෑ තුන්යාමේ ගැයෙනා මේ ගී නුඹට ඇසේවා සුදුනෑනේ ....

එදා වගේ සැඳැ අඳුර වැව් බැම්මෙන් ගලා ඇවිත් ....

උණ පඳුරේ සෙවණ සදනවා ...

කීව කථා රහසේ යළි සිතට නැගෙනවා .....
------------------------------------

(කුලරත්න ආරියවංශ පබැඳුමේ ගායනය ටී එම් ජයරත්නගෙනි. සංගීතය ස්ටැන්ලි පීරිස් - 1979)

මතු දිනක ඉතිරිය.........

Wednesday, November 8, 2023

ඈත දිනක ගිය පාසල් ගමන

 උදෑසනම පොඩි අපි දිව ආ ඒ යුගයේ අත්දුටු සොඳුරු අත්දැකීම්......(1973-1989)


ගම්මැද්දේ, පාසල් ක්‍රියාශිලීව පැවති 80 දශකය දක්වා, ළමෝ අකුරු කරන්නට එහි ගියහ. නමුත් අද මෙන් එදාද ශීෂ්‍යත්වය විභාගය ඉහළින් සමත්වූවෝ ඉන් පසු නගරයේ පාසලට පියමං කළහ. එහෙත් ඒ ආසන්නතම මහ විද්‍යාලය දක්වා මිස සැතැපුම් ගණනාවක් මග ගෙවා යා යුතු නමගිය පාසල් කරා නොවේ. එවැන්නෝ ඒකී පාසල් ආසන්නයේ පදිංචිව හෝ ඒ පාසල් නේවාසිකාර පහසුකම භුක්ති විඳිමින් හෝ පෙර කී තරම් දිර්ඝ වෙහෙසකර ගමන් මගහරවාගත්හ. 

90 දශකයේ දී,ක්‍රමයෙන් පුඵල් වූ ’පාසල් බස් සහ වෑන් රථ සේවාව’ කර්මාන්තයක් බවට පත්කරමින්, සමාජයේ එක්තර කොටසකට ජිවිකාව සපයද්දී, ළමෝ කිලෝමීටර් විස්සක් ද ඉක්මවා දුරකට එකී වෑන් රථ සේවාවේ පහස ලබමින් ගමන් කරන්නට පුරුදු වූහ, මාර්ගයේ වාහන තදබදය තිව්ර වුයේය. කාර්යල කරා ගමන් කරන්නෝ අපහසුතාවයන්ට ලක්වුහ. ඒ සියල්ල අභිබවා, කුකුළා හඞලන  පැයේ, තවමත් පරිසරය අඳුරේ ගිලී පවතිද්දී, ළමෝ  මහමාර්ගයන්ට අවතීර්ණ වුයේ නිදිබර ගතියෙනි. 



මේ තත්වය උදාවන්නට පෙර පරපුරේ පාසල් දරුවන් ගේ සුහද ප්‍රවාහන මාධ්‍යය වූයේ ලක්වැසියන් ගේ හදවතට සමීප ’ලංගම’ බස්රථ ඇණියයි. නගරයේ සිට ගම්මාන ගණනාවක් හරහා තවත් ගම්මානයක් ගමාන්තයක් කරගත් මේ බස්රථයේ සේවකයන් සහ මගීන් එකිනෙකා ලෙන්ගතුව බැඳී සිටියේය. රියදුරු අසුන වටා ගැවසෙමින් කුඩා පාසල් සිසුන් එහි නැගී ගියහ. එතැනින් හාත්පස හොඳින් දර්ශනය වන නිසාත්, තෙරපීමට ලක්නොවීමත් නිසා එසේ කරන්නට ඇත.

ඇතැම් උඩරට පළාත්වල ධාවනයට යොදා තිබුනු ’ටාටා’ ලාංජනයේ හැරුණුවිට, සෙසු මාදිලි බටහිර කලාපයෙන් බිහිවී ලෝ පරසිඳු නාමයන් වූ ’මර්සඩීස් බෙන්ස්’ ’ලේලන්ඩ්’ සහ ’ෆියට්’ සහ ජපානයේ ’ඉසුසු’ වාහන ආයතනයේ නිෂ්පාදිත චැසි උදෙසා ලංගම කාර්මික වැඩපලවල් හීදී තනා සම්පුර්ණ කරන්නට යෙදිනි.

රඵ පරඵ නිමාවකින් යුත් ඒවා නිමාවෙන් සහ පෙනුමෙන් ද සැප පහසුවෙන්ද ලොව නිෂ්පාදිත උසස් ගනයේ මගී ප්‍රවාහන බස්රථ හා සැසඳිය හැකි මට්ටමක නොවිය. කොහුබත් හෝ රබර් ගුදිරි වලින් ආවරණය කළ රෙක්සින් ආසන රඳවා තිබුනු ලෑලී රඳවනයන් හී මතුපිට ලියැවුනු කුරුටු ගී එදා සුලබ එහෙත් එක්තරා ආකාරයකට විචිත්‍රවත් දසුනක් විය. 

----------------------
1980 ජපානයෙන් අනයනික
----------------------

කරුණු එසේ තිබියදී, පොදු ප්‍රවාහන සේවා භාවිත කරන, සාමාන්‍ය ලාංකීය මගී ජනතාවට නැවුම්, ප්‍රසන්න පෙරනොවු විරු සොඳුරු අත්දැකීමක් අත්කර දෙමින් මුල්වරට ශ්‍රී ලාංකීය නොවන බස්රථ බඳ සහිත සමකාලීනව ධාවනය වූ ලංගම බස්රථ ඇණියට වඩා නිමාවෙන් බොහෝ ඉදිරියෙන් පැවතී නිමි බස්රථ ආනයනය කලේද වත්මනෙහි මෙන් ඉන්දියාවෙනි. ඒ 1978 වසරේ අවසන් කාර්තුවේදීය.

තහඩු එකිනෙක පුරුද්දා ඇති ස්ථාන සියුම් ලෙස රබර් වැසුම් ආවරණ ගන්වා, කවුඵ මැදින් දිවයන, හරස් යකඩ පටී, මෘදු පී වී සී ආවරණ ගන්වා, ප්‍රාථමික ඇඵමිනියම් තහඩු රඵ ලෙස නංවා තැනූ ඇතූළත විදුලි බුබුඵ වෙනුවට, එකල මධ්‍යම පාන්තික නිවස් හි භාවිතා කල, ප්ලාස්ටික් විදුලි බුබුඵ ආවරණ බඳු වැසුම් යොදු විදුලි ආලෝක පද්ධති සවිකරවා, එමතුදු නොව, දෙපස කවුඵ පේළි ඉහළින් සවිකෙරූ වා කවුඵ දාර පවා, රබර් පටි මගින් හැඩගන්වා, තිබූ මේ බස්රථයේ දකුණු පස ආසන පේළි ආරම්භ වන පුජ්‍ය පක්‍ෂයේ ආසනය ඉහලින් මෙම ටාටා 1`210 බස් ඛාන්ඩය නිමවූ ආයතනයේ නාමය රඳවා ආනයනික මේවා කුඩා පාසල් දරුවන් වූ අපගේ නෙතට රසඳුනක්ම වු අතර ගතට නැවුම් සුවපහසුවක්ද ගෙන දුනි. ( Sundaram Coach Builders) නමින් ඉහත ලේබලයේ කොටා තිබුනි. 

---------------
ටාටා 1210  - 1978 ඉන්දීය සුන්දරම් මගීරථ නිෂ්පාදනය
----------------------
පහළ - ෆියට් - ඉතාලි චැසිය සහ ලංකාවේ බඳ - 1970?

---------------

එහෙත් ප්‍රවණතාවය වඩාත් යහපත් අතට පත්වී, ජපානයේ ’ඉසුසු’ සමාගමේන් පුර්ණ ලෙස නිෂ්පාදිත ’නිමි බස්රථ’ වල දීප්තිමත් ෆ්ලුවොරසන්ට් ආලෝක ධාරා වලින් ආලෝකමත් ව, සුවපහසු අසුන් අරා, ගමන් බිමන් යෑමේ වරප්‍රසාදය ලැබුනේ 1980 වසරේදීය. තනි ඇතුඵවිමේ  - පිටවීමේ දොරටුවකින් යුත් ඒවා පොදු මගී ජනයා ගේ ප්‍රවාහන පහසුව සඳහා යෙදවූ එදවස නවීන සුපිරි ගනයේ බස්රථ විය. 

එහෙත් මේ ’ඉසුසු’ කුමාරවරුන්ගේ රාජකීය සුපිරි සාමාජිකයන්ගෙන් පොදු මිනිසාගේ ප්‍රවාහන මාධ්‍යය ඔපවත් වූයේ 1986 වසරේදීය. එවර ලාංකීයයන් හට මුල්වරට එදා නවීන තාක්‍ෂනයෙන් ස්වයංක්‍රීයව වීවෘත ව වැසෙන ඉදිරි දොරටුවකින් යුත් ද්විත්ව දොරටු සහිතව එපමණකින් නොනැවතී ස්වංක්‍රීයව ක්‍රියාත්මක වන ගියර පද්ධති සහිත බස් රථ ගමන් හී යෙදෙන්නට වරම් ලැබීය. 

පෞද්ගලික බස්රථ ධාවයකන් සතුව ජපානයෙන් ආනයනය කල බස්රථ ඒ වනවිටද මගී ප්‍රවාහනයට එක් වී සය වසක් ගත වී, ඒවා හුරු පුරුදු වී තිබුනද, ඒවායේ සැපපහසුව සහ තාක්‍ෂනය අභිබවා යන්නට පෙරකී ’ඉසුසු’ බස්රථ ඇණිය සමත්විය.  කඳු බෑවුම් සහිත බිමට විශේෂඥ ධාවන අත්දෑකීමක් තිළිණ කරදුන් ඊට පරසිඳු ’ඉසුසු’ මාදිලිය, ඒ වසරේ සිට ඒ නිසාම උඩරට ලංගම බස් ඩිපෝවලදී නිතර ඇස ගැටෙන දසුනක් විය. ඔවූහූ ඒවා යොදාගනිමින් කන්ද උඩරට නගරයන් හි සිට අගනුවර දක්වා අධි සීඝ්‍රගාමි සේවා පවත්වාගෙන ගියේ ඒවයේ ගුණාත්මක බව මදකුදු හෝ පිරිහෙන්නට  ඉඩකඩ නොතබමිනි. 

සංවර්ධනය නොකළ වත්මන් තත්වය හා සසඳන විට එයින් භාගයක් තරම් පළලකින් යුත් ලංකාවේ අංක 01 මහාමාර්ගය වු කොළඹ - නුවර මාර්ගයේ ඒවා නියමිත කාලසටහනට අධිවේගයෙන් ධාවනය විය. මගීන් විසින් වැයකරන මුදලට සරිළන සේවය මනාව සපුරාලීම තමන්ගේ වගකීම බව සේවක දෙපොළ හොඳින් අවබෝධ කරගෙන සිටියහ.  

මෙට්‍රෝ රැපිඩ්’ ලෙසින් විශාල අකුරෙන් පින්තාරු කළ ඒ බස්රථ සේවාවේ පිහිට ලබාගත් ඒ පිළිබඳ අතීත මතක සටහන් සතු ළමා  - ළපටි - තරුණ කැළ මීට සාක්‍ෂි දරනු ඇත.

මේ සුපිරි ඉසුසු හැඩකාරයන්ගේ නිවුන් සහෝදරයාගේ ආගමනය සිදුවුයේ 1989 වසරේදීය. ඊට අනන්‍යතාවය හිමිකර දුන්   බඳ මත - හරිත - කසා වර්ණ ද්විත්වයෙන් යුත් තීරු යුගළය සහිත ඒවායේ ’ස්වයංක්‍රීයත්වය ව්‍යාන්ධිකරණයට ලක්කර තිබිනි. එහෙත් දෙවර්ගයේ බාහිර පෙනුම සර්වසම විය. 

රථය තුළ ගමන්ගන්නා මගීන් හට නොදැනෙන, වෙහෙසඇතිනොකරන මේවයේ ගමන් බිමන් හි යෙදුනු පාසල් ළමෝ එය ඔවුන්ගේ මිහිරි අතීත මතකාවර්ජනයට එක් කරගන්නට ඇත.



අදට වඩා ගීත රසවින්දනයට හුරුව සිටි දරුවන් හට සිය  ’පාසල් බස් රථ ගමන’ ගැන ලියැවුනු ගැයුනු ඇසුනු එකම ගීතය මතකයට නැගෙන්නට ඇත. ’දෙසතිය’ නම් වූ වාර සගරාවේ සංස්කාරක ධූරය හෙබවුද අත්දැකීම බහුල ගීත නිබන්ධකයෙකු වූද නැසිගිය ගාමිණි විජේතුංග ශූරීන් විසින් ලියු එහි නාද මාලාව සැකසූයේ සිනමා ගීතාවලියේ හැඩවැඩ වඩාත් ඔපවත් කල සංගීතවේදී නැසිගිය සරත් දසනායකයන් ය. 

පොදුපාසල් බසයක එදා ගමන් ගිය දරුවෙකු අත්විඳි, කළ කී දෑ නොඅඩුව එහි ලැයිස්තු ගතකොට දක්වා ඇත්තේය.





උදෑසනම පොඩි අපි දිව එනවා.........

කොහේද සැගවී එළියට එනවා ....

උදේ පාන්දර පාසල් යන්නට ...

බසයක් ඇවිදින් කථා කරනවා...............


දෙබර මුලක් ගල් ගැසී සැළෙන ලෙස...

එපා පුංචි ළමයිනි පොරකන්නට....

පේළී ගැසී බසයට නැගගත් විට....

මුතු ඇමිනුවා වාගේ මුතු පොටකට.....


මේ පොඩි බස්රිය ඔබේය හිතලා....

කුරුටු ගෑම හරි නෑ ඉරි ඇඳලා.................

අසුන් කඩා බිඳ දමා නොයන්නේ ...

ඔබේය මේ බස්රිය රැකගන්නේ ....


(ලලිත් සිරිවර්ධන සහ ළමෝ - 1973)


මේවා නිසා ව්‍යාපාරයක් බවට පුර්ණලෙස පත්වි තිබුනු ’පෞද්ගලික බස්’ සේවාවට අගතියක් සිදු වන්නට ඇත. ඒවයේ අවසනාවන්ත අවසානයට එකරුණ නිසැක ලෙස හේතු වන්නට ඇත.

මේ සියඵ සේවා 90 දශකයේ මුල් යුගය දක්වා කෙටි කාලයක් ක්‍රියාත්මක වීමෙන් පසු, ධාවනයෙන් මතුනොව ඒවා හිමිකරගෙන තිබු ඩිපෝවලින්ද අතුරුදහන් වී තිබීම අංජනමකින් සොයා යා යුතු ශෝචනීය පුවතක් නොවීය. ඒවා මෙම රාජ්‍යයේ වෙනත් වැඩකටයුතු සිදුවන අයුරු අනුවම සිදුවි තිබිනි.  මේ අතරින් එකක් දෙකක් ඉඳහිට ද ඔබට මගතොට මුණගැසිය හැක්කේය. නමුත් ලංගම ලාංජනයෙන් නොවේ.

අද ’ලංගම’ සහ පෞද්ගලික’ සේවා වෙන්කෙරෙන්නේ මතුපිට බඳ පින්තාරු වී ඇති වර්ණයෙන් පමණකි. අන් කිසි කරුණකින් නොවේ. ඉතා කලාතුරකින් හැරෙන්නට ප්‍රධාන මාර්ගයන්හී ප්‍රසිද්ධ ධාවන අංක යටතේ ධාවනය කෙරෙන්නේ එකම වර්ගයේ එකම තත්වයේ බස්රථය. ඒවයේ පෙළපත, නිමාව පිළීබඳව නොයෙකුත්  අවලාද චෝදනා නැගෙයි. 80 දශකයේ පෙරකී සේවාවන් වෙතින් ප්‍රවාහන පහසුකම් සලසාගත් පරපුරේ සාමාජිකයන් හට සංසන්දනයේ යෙදෙමින් වත්මන් ප්‍රවාහන සේවාවන් පිළීබඳව කියන්නට බොහෝ දෑ තිබිය හැකිය. 

බරපැන යහමින් වැයවෙන අධිවේගී ගමන් නොව පොදුමගී ප්‍රවාහන සේවාව උදෙසා වත්මනෙහි අසල්වැසි දේශයෙන් හැරෙන්නට, බස්මගී ප්‍රවාහනයේ ගුණාත්මක බව සැපපහසුව අගයන බටහිර සහ ඈත පෙරදිග දේශයන් විසින් මෙහි බස්රථ එවනු නොලබන්නේය. 

එදා මෙන් ’මර්සඩීස් බෙන්ස්’, ’බ්‍රිටිෂ් ලේලන්ඩ්’, ’ෆියට්’ , ’මිට්ෂුබිසි’ ’ටොයටා’, ’ඉසුසු’ ආදී ..ලෝකයේ සුප්‍රසිද්ධ වාහන නිෂ්පාදනාගාර සහ දැවැන්ත සමාගම් විසින් නිපදවනු ලබන, පරසිඳු මාදිලි දැන් මෙහි දක්නට නැත්තේය. ඒවයේ ආගමනය අඩමානය අවිනිශ්චිතය. 

ඒවා යළිත් දිනක මෙහි එවනු ලබත්වා. පාසල් ගමනෙහි යෙදෙන වත්මන් ළමා ළපැටියන්හට අව්‍යාජ බස්රථ ගමනක සැපහසුව විඳගන්නට වරම් ලැබේවා.

'සේයාරු උපුටාගැනීම -අන්තර්ජාල මුහුණුපොත

http://sltbbus.blogspot.com/ බ්ලෝග් මෙහෙයුම් සහෘදයන්හට ස්තුතියි

ප්‍රභාත් රාජසූරිය