namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, November 22, 2023

එදා සිංහල ගම්මානය

 සීංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 01

සමාජ විද්‍යව, මානව විද්‍යව. ජන සංස්කෘතින් හදාරන සිසුන් වෙසෙසින් විදෙස් සිසුන් මෙහි විත් හෝ නිබන්ධන,ග්‍රන්ථ, සගරා පරිශීලනය කරමින් ශ්‍රී ලංකාවේ අතීත ගැමි සමාජය ද අධ්‍යයනය කරනු ලබයි. ඒ පිළිබඳව ’ඉංග්‍රිසි‘ බසින් පළවූ පොත්පත් එමටය. එයින් බොහෝ කෘති යටත් විජිත සමයේ, මෙහි සේවය කළ බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරීන් සහ වැසියන් විසින් විරචිතය. එදා ඔවුනට මෙහි දක්නට ලැබුනු අපුර්ව ගැමි සමාජය, ඔවුන් ලෝකයා ගේ දැනගැන්ම පිනිස ග්‍රන්ථාරූඩ කර තබන්නට උත්සුක වූහ. 

අදද, ගැමියන් නොවූ පුද්ගලයන් හට ඒවා දැන හැඳින, ඔවුන් කළ කී දෑ, භාවිතයට ගත් උපකරණ, සිරිත් විරිත් සහ ඇදැහිලි, ජනක්‍රීඩාවන් සහ ආගමික යාතු කර්ම, වෛද්‍යකර්මය, සත්ව පාලනය, ගොවිතැන් කටයුතු, කර්මාන්ත, විනෝදාස්වාද එනම් රංගන සහ ගායන විධික්‍රම, ප්‍රවාහනය,ජල සම්පාදනය, පරිපාලනය යන මේවයේ අතීත තොරතුරු සපයා ගැනීමේ මහගු මූලාශ්‍රය පෙරකී ග්‍රන්ථ සමූහයයි.


70 දශකයේ අවසනායේ ඇරඹී සිංහල ජන සමාජය වානිජකරණයට නතු වන තෙක් වසර සිය ගණනකදී ඔවුන්ගේ ජීවන රටාවන් බරපතල විපරිනාමයකට භාජනය නොවී තිබුනු බව පෙනෙයි.

සද්ධර්මරත්නාවලියේ, රොබට් නොක්ස් ගේ  කෘතියේ, සහ මෑත කාලීනව මාර්ටින් වික්‍රමසිංහ සහ කේ ජයතිලක ශූරීන් ගේ සාහිත්‍ය නිබන්ධන වල සිංහල ගැමිදිවිය පිළිබඳවු සඳහන්  වු දෑ අතර පරතරය අවමය.

සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යය මෙන්ම සිංහල ගී සාහිත්‍යය සවිස්තරාත්මකව අවධානයෙන් හැදෑරීමෙන් යමෙකුට අතීත ගැමියන් ගේ ලොවට කාලතරණය කරන්නට හැකි වනවා ඇත.

මෙම සටහනේ අරමුන මතු අවසානයට කී සිංහල ගීත සාහිත්‍යය ඇසුරෙන්, පුරාන ගම්මානයට පිවිස විවරණයකට යෙදීමයි.

අල්පේච්ඡ ජීවිත ගත කරන්නට හුරු පුරුදු වී සිටි ඔවුන් ඈතින් ඈත පිහිටි සිමිත ජනගහනයකින් යුත් ගම්මානවල කොටුවි සිටීමින්, කෘෂිකාර්මික කටයුතු වල නිරතව සිටියේ ගම්මාන වසා පැතිර පැවති වන ගහනය හා එහි බහුලව ජීවත් වූ වන සතුන් හා අරගලයක යෙදෙමිනි. අද මෙන්ම එදාද ඇතැම්විට අදට වඩා කිහිප ගුණයකින් ඔවුන්ගේ භෝගවගාවන් වනසතුන් ගේ ගොදුරු බවට පත්විමේ අනතුරට ලක් වි සිටි බව කියැවේ. ඒවා ආරක්‍ෂා කර ගැනීම  පිනිස නොපෙනෙන බලවේගයන්ගේ පිහිට පැතීම සිදු කළ අතර ඒ සඳහා විවිධාකාර වූ යාතු කර්ම උපයෝගි කොටගත්හ.

ඔවුන් ගේ අස්වනු නෙළාගත් පසුව, ඊට ඊලග වාරය එළඹෙන තුරු ලැබුනු විවේකය ’බක්මහ උළෙල’ හා සමපාත වෙයි. එහිදි ඥාති සබඳතා තරකරගනිමින්, විවිධ විනෝදාංහ, කෙළි සෙල්ලම් ආදියෙන් දවස ගතකළහ. ඔවුන්ගෙන් ඇතැමුන් දුර ඈත පිහිටි ආගමික සිද්ධස්ථාන කරා වන්දනා ගමන් ගියේ පා ගමනිනි. තවත් අය ’කරත්ත’ යොදා ගත්තේය. වියපත්, වැඩිහිටියෙක් කන්ඩායමේ නියමුවා වූ අතර ඔහු ’නඩේ ගුරා’ ය. ඒවා සඳහා සති මාස ගණනාවක් ගතවිනි.

බ්‍රිතාන්‍යයන් විසින් නිතීරීති අණපනත් පමුණුව, සම්ප්‍රදාය විපර්යාසයකට ලක් කරන ලද 19 සියවසේ මුල් භාගය දක්වා, ඔවුන් තමන් අයත් කුලය අනුව ශ්‍රම විභාජනයේ යෙදෙන්නට නියම වි තිබිනි. ඒ අනුව කිසිවෙකුට සිය අභිමතය පරිදි සිය කර්මාන්තය වෙනස් කරන්නට හැකියාව නොලබන්නට ඇත. ඒ අනුව ’බෙර වාදකයෝ සහ සංගීත කරුවන්’ ගේ දරුවන්ට පිය උරුමයෙන් එය නියම කෙරී තිබුනු අතර ’කම්මල්කරුවන්’, ’ආභරන තනන්න් සහ මෝස්තර ශීල්පීන්, සිත්තරුන්, මැටි භාන්ඩ නිෂ්පාදකයන්, රෙදි වියන්නන්, ධීවර කාර්මාන්තකරුවන්, හේවායන්, කැටයම් කරුවන්, ගෘහ භාන්ඩ නිෂ්පාදකයන්, නැකැත්කරුවන්, යාතුකර්ම කරන්නන්, ශාකමය අමුදව්‍ය යොදා පානවර්ග නිපදවන්නන් ආදී වෘත්තිකයෝ එහිම කොටු වී ඊට කැප වී සිටිය යුතු වූ අතර එයින් වෙනස් කර්මාන්තයකට මාරු විමේ වරම අහිමි වි තිබෙන්නට ඇත. ’දඩයක්කරුවන්, දෝලාගෙනයන්නන්, ආදීන් ද ඔවුන්ට පැවරුනු රාජකාරි ඉටුකිරීමට බැඳි සැදී පැහැදී සිටියයුතුම විය.

ජන කථා සහ ජන ගී කවි සාහිත්‍යය, පුරාන ගද්‍ය සහ පද්‍ය සාහිත්‍යය, මුලින් කී ග්‍රන්ථාවලිය, සහ ගැමියන් අසුරෙන් මෙන්ම තමන්ගේම සමාජ අත්දැකීම් ඇසුරෙන් ගීත රචනා කලාවේ නිරතවුනු නිර්මාණකරුන් වෙතින් බිහිවූ අතිවිශාල ගී පද්‍ය නිර්මාණවලියේ ගැමිජනදිවිය හා සබැඳී තොරතුරු එක්රැස් වී සංග්‍රහ වී පවතී. ඒවා රසවිඳිමෙන් සීරූවෙන් අධ්‍යයනයෙන් යමෙකුට සිංහල ජනසංස්කෘතිය විපර්යාසයට ලක්වෙන්නට පෙර පැවති අතිදිර්ඝ යුගයකට මනසින් පිවිස, දැහැන්ගත වී, එහි සැරිසරන්නට වරම් ලැබෙන්නේය. 

එහිදී, ඒවා හදාරන්නෝ අතීත කර්මාන්ත, කෙළි සෙල්ලම්, යාතුකර්ම, සිරිත් විරිත් යන මෙකී නොකී දෑ මෙන්ම වෘක්‍ෂ, පැළෑටි, ඇතුඵ වනජීවීන් පිළීබඳව ගී කවි පද අතර රුවා තිබෙන ඒ හා සබැඳී සුවිශාල වදන් කෝෂයේ  පිහිටෙන් මහත් දැනුම් සම්භාරයක් අත්කර ගන්නවා ඇත.

ආහාර, ඖෂධ, ආභරණ, ඇසුරුම් සකසා තනා ගැනීමේ කටයුත්තේ යෙදුනේ කන්තා පාර්ශ්වයයි, ඒවා ගොතා නිපදවා ගැනීමේ දැනුම හැකියාව ’ඇය’ ගේ විවහය තින්දු විමේ සුදුසුකම් ගණනාවක් අතර රැඳි පැවතියේය. ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය වූ ශාක පත්‍ර කොටස් නුදුරින් පිහිට වනරොදකින් සපයා ගැනීමේ වගකීම ද ඔවුන් විසින්ම දැරූහ.


පහත නිබන්ධන විමසනු මනාය.


රන් කුරහන් හේන උඩින්, සී පද හඞ ඇසෙන පැයෙන්....

එන්න මගේ හද අරණට සපුමල් කුමරෝ....

රෑ තිස්පැය දිවා රැයේ ඔබ එනතුරු හිමිදිරියේ ....

ඕවිට ලග බලා සිටිමි සපුමල් කුමරෝ.....

වැටකෙයියා යාය මැදින් තුන්හිරියා පන් උදුරන් ...

පාන්දරින් ඔයත් එක්ක පාන්පැලේ දෙවියන් වැඳ...

කුඹුකේ ළීඳෙන් දියනාගමු සපුමල් කුමරෝ.....

රෑ ඉරබටු තරුව ලගින් ..පායන සඳ අපට හොරෙන්..

නැකත් අරන් ඒවි ඉතින්... අඵත් බතේ සුවඳ අරන්...

බක්මාසෙට එක්තැන් වෙමු සපුමල් කුමරෝ.....

(උපාලි ධනවලවිතාන ගී සංකල්පනාවේ සංගීතය සරත් දසනායකගෙනි, ගැයුම නිරංජලා සරෝජිනී - 1978 පමණ)

-----------------------------------


මඞ ගොවිතැන භාරදුර කටයුත්තකි. ඊට මහ පිරිස් ඇවැසිය. අතීතයේ එය සිදුකරන ලද්දේ ’අත්තම’ පිහිටකොටගෙනය. එනම් කිසියම් ගොවියෙකුගේ කුඹුර අස්වැද්දීමේ කටයුත්තට ඔහුගේ ගමේ සෙසු සාමාජික සාමාජිකාවන් ගේ දායකත්වය සපයා ගැනීමේ ක්‍රමවේදයයි. අදාළ දිනයට පෙර, බුලත් අතක් එනම් බුලත් හතළිහක ප්‍රමානයක් ගෙන ගොවියා ගම්මානයේ සෙසු ගැමි නිවෙස් කරා ගොඩවැදී ඔවුනට තමන්ගේ ’කයිය’ අසවල් දිනයේ සිදුකරන බවත්, ඊට සහභාගී වන ලෙස ආරාධනා කරන්නට පැමිනි බවත් දන්වයි. ඊට සහභාගී වන්නේ නම් නිවස් හිමියා හෝ ඔහු වෙනුවෙන් එහි සාමාජිකයා බුලත් කොළයක් ලබාගනී. එසේ වැයවූ බුලත් කොළ ගනනින් තමන්ගේ කටයුත්තට ලැබෙන ශ්‍රම දායකත්වයේ තරම ඔහු කලින් දැනගෙන ඊට සූදානම් වන්නේ ඔවුනට ’ඇඹුල’ සැපයිම ආදිය කළයුතු බැවිනි. කූඹුරේ සිදුකරන සාමූහික කටයුතු ’කයිය’ ලෙස ද එහි සැපයෙන ආහාර ’ඇඹුල’ ලෙසද වෙසෙස් ගැමි වහරේ හැඳින්වෙයි.


-------------------
කුරහන් හේන.......
-----------------

එහෙත් ගොඩ ගොවිතැන සාපේක්‍ෂව ශ්‍රම දායකත්වය අඩු කාර්යභාරයකි. එහිදී ’ඇල්’ වී සහ ’කුරහන්’ වපුරයි. ඇතැම් ගැමියන්ගේ ප්‍රධාන ආහාරය කුරහන් ය. එය හාල් ඇටයට වඩා ප්‍රමනයෙන් කුඩා ධාන්‍ය ඇටයකි. නමුත් ඒවාද කරල්ය. ’කහ’ වර්ණයට හැරීගෙන එන කුරහන් නෙළාගන්නට පිටත්වන්නේ ’ගැමි තරුණියන්ය’ ඔවුන් ඒ සඳහා විශේෂ දෑකැත්තක් භාවිත කරයි. එය ගොයම් කපන්නාවු දෑකැත්තට වඩා ප්‍රමානයෙන් කුඩාය. 

එසේ කපාගන්නා කුරහන් අඹරන්නේ ’කුරහන් ගලේ’ ආධාරයෙනි. නිවසේ වී අටුව මෙන්ම කුරහන් අටුවක් ද තිබෙන්නට හැක. දිනයට නියමිත සරිළන ප්‍රමානයෙන් කුරහන් අඹරන්නේ ද කාන්තා පාර්ශ්වයයි. ඒ කුරහන් පිටි ගෙන ’තලප’ සහ ’පිට්ටු’ වැනි ආහාර පිළීයෙල කෙරේ. කුරහන් රඵ ආහාරයක් නමුත් ගුණදායකය. වරක් ආහාරයට ගත් පසු දිරවන්නට යන කාලය අධික නිසා, කුසගින්නකින් තොරව වැඩි වේලාවක් සිටිය හැකිය.


සිංහල සංස්කෘතිය හා සමීපව සබැඳී ’කුරහන්’ උදෙසා ලියැවුනු ගී කවි සින්දු විරළ නොවේ.


කුරහන් හේනේ පිපුණු මලී.............

මගේ නෙත් හඞනවා නුදුටු කලී ....

ඔබ කියනා කවි සුවඳ රැඳී...


මට රිදවනවා මහද වෙලී.....

පිරිපුන් උකුළෙන් කලය වඩාගෙන...

උදෑසනින් නිල් වරළ උනාගෙන ...

යනෙන මලී..සුවඳ මලී....


තවත් සුවඳ මල් ගමේ පිපෙනවා ...

ඔබේ දෙනෙත් ඇයි මා ඉල්ලන්නේ ...

මහද සැලේ නුඹව දැනී .......

(ඩෝල්ටන් අල්විස් ගී පද ගැයුවේ ටි එම් ජයරත්න සහ මාලිනි බුලත්සිංහල විසින් ස්ටැන්ලි එම් ප්‍රනාන්දුගේ සංගීතයටය - 1976)

------------------------
අසන්න මෙතැනින්

ගී ශ්‍රාවකයන්ගෙන් සිමිත පිරිසකට එහි අරුත් පිරිසිඳ දැනකියා ගැනීමේ ශාක්‍යතාවය ඇත්තේ, ඔවුන් ඇසූ පිරූ තැන් ඇත්තන් විම නිසාය. එහෙත් වැඩි පිරිසකට අරුතේ වගක් නැත. ඔවූහූ ඒවා ’ඇහෙනවාට’ අසති.


-----------
කුඹුක් ගස
-------------

රමණිය ’කුරහන් ගී’ කවි සින්දු එදා ගීත සාහිත කලාව වර්ණවත් කළේ මෙඅයුරිනි.


කුරහන් යායේ සඳ උතුරාගෙන සිතට දුකක් ගලනා වේලේ...

රෑ තුන්යාමේ ගැයෙනා මේ ගී නුඹට ඇසේවා සුදුනෑනේ ....

එදා වගේ සැඳැ අඳුර වැව් බැම්මෙන් ගලා ඇවිත් ....

උණ පඳුරේ සෙවණ සදනවා ...

කීව කථා රහසේ යළි සිතට නැගෙනවා .....
------------------------------------

(කුලරත්න ආරියවංශ පබැඳුමේ ගායනය ටී එම් ජයරත්නගෙනි. සංගීතය ස්ටැන්ලි පීරිස් - 1979)

මතු දිනක ඉතිරිය.........

8 comments:

  1. විතැන් වෙලා ගම ටික ටික හීන් සැරේ
    ඒ ගැන හිතෙන විට හදවත දුකින් පිරේ
    කවදද එන්නෙ බෝවිටියා දං පලු වාරේ
    මුණ ගැහෙන්න ගස් ගොහිල්ල මොරටු පුරේ

    ReplyDelete
    Replies
    1. ගී කවි පද ලිව්වේ ගම්මුන්ය
      කවිගී පද රස ගෙතුනේ ගම්මුන්ට...
      දැනගන්නට එදවස අද ගම්මුන්ට...
      මේ ගී නැත්නම් තව මොනවාද.....

      Delete
  2. ඉතා දීර්ඝ ලිපියක් සම්පාදනය කිරීම සදහා ඔබ වැය කල කාලය හා ශ්‍රමය පිලිබද මගෙ නොවක් ස්තූතිය පිලිගන්න.

    මෙහි නිරංජලා සරෝජනී ගායනය කරන එන්න මගේ හද අරණට සපුමල් කුමරෝ කියන ගීතය මා ඉතා ආසාවෙන් අහපු සිංදුවක්.එකල රේඩියෝ එකේ වාදනය වන සිංදු කැසට් රේකෝඩරයකින් රේකෝඩ් කර ගැනීමේ පුරුද්දක් මා ලඟ තිබ්බා. ඒසේ රෙකෝඩ් කර ගත් ගීත අතර මේ සිංදුවත් තිබුනු බව මට මතකයි.

    කුරහන් හේනේ පිපුණු මලී සිංදුව නම ඇසුවේ පලවෙනි වතාවටයි.

    ඔබ සදහන් කරන අල්පේච්ච ගැමි ජීවීතය වෙනස් උන ආකාරය ඉතා සංකීර්ණයි.මේ අල්පේච්චත්වය ඇතිඋනේ ඒ පිලිබද ගැඹුරු අධ්‍යාත්මික්‍ය අවබෝදයට වඩා, ලෝකයෙන් හුදකලාව, රටේ වෙලද ආර්තිකයට සම්බන්ධ නොවී ගම තනිවම හිටිය නිසා කියලා මට හිතෙනවා
    - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මෙය දීර්ඝ ලිපි මාලාවක්, ඉදිරි කෙටස් වල දී මෙම නගරීකරන විපර්යාසයට තුඩුදුන් හේතු සාකච්ඡාවට බඳුන් කරමි.

      මෙය දෙසතියකට වරක් බැගින් මතුවට ගීත ගණනාවකින් හැඩවැඩ වී පළ කරනු ඇත.

      මෙවන් ලිපි අගයන ඔබ වැනි සහෘදයන් මට සම්පතකි, වත්කමකි.

      ස්තුතියි,

      Delete
    2. ස්තූතියි මහත්මයා. දිගටම ලියන්න. අපි එන්නම් බලලා යන්න - Mayya

      Delete