namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, July 26, 2023

අමතක නොකරනු මැනවි ඒ සුන්දර රසවතා ............

ශ්‍රී ලංකාවේ කන්ඩායම්  සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලා අංක -05) 

 ඔහුගේ මනනන්දනීය විසිතුරු තනු  විදෙස් ගී තනු අනුකරණයන් නොවිය හැකිදැයි ඇතැමුන් කුකුස් පහළ විය හැකිය. ඔහු ඒවා ගුරු කොට නොගන්නට ඇතැයි නොකිව මනාය. 70 දශකයේ දසත පැතිර ගිය ’බොනි එම්’ 
 (BoneyM)  නම් වු සංගීත කන්ඩායමේ ගීත ඇල්බම අතර පරසිඳු ’By the Rivers of Babylon.....’ නම් වූ ගීතයේ තනුව අනුව ගිය ඔහු  ඊට හෙළවදනින් සංග්‍රහ කරමින් ’කඳුකරයේ සිතලේ.... මීදුම් තිර යා කෙරේ....’ නමින් ත්‍රී සිස්ටර්ස් කන්ඩායමේ නායිකා ’ඉන්ද්‍රානි පෙරේරා’ හා එක්ව ගැයුවේය. එයින් විදෙස් ගී තනුවක් සෘජුව අනුකරණය නොකර සිටීමේ ප්‍රතිපත්තිය කඩ කලේය.

------------------------------
සවන්දෙන්න එම ගීතයට .....
-----------------------

ඇය සහ ක්ලැරන්ස් තරමටම  වෙළඳ ගී තැටි රජදහනේ ආධිපත්‍යය පතුරුවා තිබූ ශ්‍රී ලංකීය ’ජිම් රිවිස්’ අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ’මිල්ටන් මල්ලවාරච්චි’ ගේ එකී තැටි ගීතාවලියේ ජනප්‍රසාදය උදෙසා ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ දායකත්වය ද සුඵ පටු ලෙස ගිණිය හැකි නොවේ. අතිජාත සමකාලීන මිතුරන් බවට පත් වී සිටි ඔවුන් දෙදෙනා නිසා සිංහල ගී තැටි සහ පසුව කැසට් පටි ව්‍යාපාරය  ගී ලෝලීන් ට රසඋල්පතක්ද ව්‍යාපාරිකයන්ට ධනඋල්පතක්ද බවට පත් විය.

කැසට් වංශ කථාව දියත් කරමින්, ශ්‍රී ලංකාවේ ගායකයෙකු උදෙසා දොරට වඩින ලද මංගල කැසට් පටය ලෙස පිළිගැනීමට ලක්වූ ’තරංගා් ලේබලයේ නිර්මාතෘ දිවංගත විජය රාමණායකගේ 'Anytime_Anywhere ' කැසට් පටයේ සංගීතය නිර්මාණය කරනු පිනිස ඇරයුම් ලද්දේ ’ක්ලැරන්ස්’ ය. 

පෙම් රජ දහනේ...(අජන්තා රණසිංහ)  (රුක්මණි දේවි සමග),  සඳෙන් එහා කඳු මුදුන් ඉමේ ...(කුලරත්න ආරියවංශ), නාඞන් රෑ සඳ තනිවී ...(උපාලි ධනවලවිතාන),තරිඳු සේ මා දිවි ගමනේ.....(කුලරත්න ආරියවංශ), සැදී රන් අබරණින් .....(කුලරත්න)  අවසර නැත මට ඔබේ අත ගන්නට... (ප්‍රේමකීර්ති ද අල්විස්), සමනළ සමනළියන් මැද්දේ....(ප්‍රේමකීර්ති), හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂනී ...(ප්‍රේමකීර්ති), අද හෙට ඔබ මා අතහැර.. (කේ ඩි කේ ධර්මවර්ධන), නිරතුරු මම ඔබ ගැනම .....(කේ ඩි කේ), කෙසේ කියන්නද ඔබ මා අතහැර ...(කේ ඩි කේ) , රැයේ රැදුරු සිහින ලොවක .........(කේ ඩි කේ), මට මෙන් ඔහුටද කදුළ ඔබයි ...(ප්‍රේමකීර්ති)  වැනි ගීත මෙන්ම තමන්ම ගී පබැඳු සදඵතලේ ඔබ සිටියා බලා..., සුළගේ පාවි ඈ වෙත යාවී ...., තවත් කෙනෙක්... මට ඔබ ලියු ගී....’ ’රත් නෙඵම් මල් කැකූළී.....’  ’තනිවි සිටින්නයි මා අදහස් කළේ...’, ’සැන්දෑවේ රන් වළා..’  වැනි අකාලික ප්‍රේම ගී මියැසි සයුරක රසිකයන්ව පා කර හරින්නට ’ක්ලැරන්ස්’ ගී තනු සහ සංගීත රටා සමත්විය. කේ ඩි කේ ධර්මවර්ධන - මිල්ටන් සදාතනික මිතුරුදම් සුසංයෝගයෙන් බිහිවූ ගීත විසින් ඔහුව එදා යව්වනයන්ගේ ගීත ලොවේ රජූ ලෙස කිරුඵ පළඳවාලූ අතර  මෙම සමාගමයට ආගන්තුක සංගීතවේදියෙකු වූ ද ගුවන් විදුලි ගී ඕවිල්ල සැරසූ ’ඔස්ටින් මුණසිංහ’ ගේ තනුවක් ’ක්ලැරන්ස්’ ගේ රසපුර්ණ නාදරටාවෙන් සරසා මිල්ටන් වෙත තිළිණ වුයේය.

---------------
සංගීතඥ ඔස්ටින් මුණසිංහ 
----------------

’මලින් මලේ රොන් ගන්නා බඹරු බඹන්නා.............’

’රැලින් රැලේ මොණරුන් ඉඳ පිල් විහිදන්නා...............’

’බඹරු බඹන්නා... මොණරු රගන්නා..................’



-------------------------
මෙතැනින් අසන්න'



ලීඩ් ගිටාරයෙන් අන්තර් සංගීත ඛන්ඩ මවමින් ගී මවන මේ යව්වනයා පිළිබඳව රාගධාරි සංගීත කලාවේ පරතෙර පැමිනි හා වෙනත් සංගීත ශිල්පීයක්‍රමවේදයන්ට අනුගත වූ  ඇතැම් ජ්‍යෙෂ්ඨයන් විසින් දැරුවේ දියාරු උදාසීන අකල්පයකි. ජනප්‍රිය පොප් වේගරිද්ම ගී ගයනවා හැරෙන්නට ඉන් ඔබ්බට යමක් කරනට ඔහු කිසිදින සමත් නොවනවා පමණක් නොව, තමන් මෙන් බුහුමන් හා සම්මානනයට පාත්‍ර වන්නට අවස්ථාවක් උදාකරනොගනු ඇතැයි ඔවූහූ අනාවැකි පළ කළ අතර ඒ පිළීබඳව යටි සිතින් සතුටු වන්නටද ඇත.  සැබෑ ලෙසම ඔහුට සූරිය ලේබලය ප්‍රමුඛ වෙළඳ තැටි උදෙසා නව නිර්මාණ බිහිකර ගයනවා හෝ ගයවනවා හැරෙන්නට ’ලංකා ගුවන් විදුලියේ’ සම්මත සංගීතමය විචිත්‍රාංගයන් හෝ සිනමා සංගීතයට ප්‍රවිශිෂ්ඨ වන්නට වරම් ලැබි තිබුනේ නැත. එහෙත් ඉරණම විසින් ඔහුව යොමු කළ යුතු දිශාව තිරණය කර තිබුනි.

1975 වසරේදී සිනමා කලාවට ප්‍රවිශ්ඨ වූ ආධුනික නිර්මාණකරුවෙකු වූ ’එච් ඩී ප්‍රේමරත්න’ ක්ලැරන්ස් ගේ දිශානතිය නව මගකට යොමු කරවන්නට නියමිත ඉරණම්කරුවා ලෙස ඔහුගේ දෛවය විසින් තෝරාගෙන තිබිනි. සාම්ප්‍රුදායික වට්ටෝරු වානිජමය සිනමා කලාවට පූර්ණ ලෙස ගැති නොවී එය පර්යේෂනාත්මකව නව මගකට යොමු කරනට සමත් වූ ප්‍රේමරත්නයන් සිය භාරදුර කාර්යයේ ප්‍රධාන කොටස්කරුවෙකු බවට ’ක්ලැරන්ස්’ ව පත්කරගන්නට තිරණය කලේ ’සිකුරුලියා’ සිනමා පටයේ සියඵ පසුබිම් සංගීත ඛන්ඩ, තේමා සංගීතය සහ ගීත නිර්මාණය කෙරෙහි පුර්ණ ලෙස ඔහු කෙරෙහි විශ්වාසය තබමිනි.

-----------------------------------
එච් ඩී ප්‍රේමරත්න නම් වූ සරුපසෙහි රෝපනය වූ ක්ලැරන්ස් විජේවර්ධන සිනමා පසුබිම් සංගීතය නම් වු මී අඹ රුක - මෙතැනින් රසවිඳින්නට ඇරයුම්  (මෙම හඞ පටයේ සිකුරුලියා සහ අපේක්‍ෂා තේමා සංගීත ඛන්ඩ ඇතුළත්ය) 

--------------------------------------

සම්මානිත ප්‍රවිණ සංගීතඥයන් ගේ තෝතැන්නක් බවට පත් වී තිබූ මේ අවධියේ සිනමා සංගීත කලාව වෙත, ක්ලැරන්ස් වැනි නිර්මාණකරුවෙකු පිවිසීම ඇතැමුන්ට ගැටඵ සහගත පැවරීම අවදානම් කටයුත්තක් ලෙස හැකිව තිබිනි.  එහෙත් සියල්ල ඉතාමත් විශීෂ්ඨ අයුරින් විසඳාගෙන තමන්ට පැවරූ අභියෝගය හොඳින්ම ජයගන්නට ඔහු සමත්වුයේ, තම සංගීත දිවියේ නවමංසලකුණක් තබමිනි.

ධර්මසිරි ගමගේ ශූරීන් විසින් ලියැවුනු තේමාගීතය ’විරහව’ කැටිකොටගත් අතර එය ගයන්නට අසවල් ගායකයා තොරාගන්නා ලෙස ක්ලැරන්ස් වෙත සිනමාපටයේ බරපැණ දරන්නන්ගෙන් එල්ල වූ බලපෑමට ඔහු යටත් වුයේ නැත. විරහ ගියේ එදා සංකේතය වූ ගුවන් විදුලි සහ සිනමා ගී ගායක ’මිල්ටන් පෙරේරා’ හැරෙන්නට කිසිවෙකු තම නිර්මාණය ගායනා නොකළ යුතුයැයි ඔහු තරයේ කියා සිටියේය.  කැළණිය ශබ්දාගාරයේ දී ගීතය එක්වරකින් පටිගත විය. එය ’සිකුරුලියා’ සිනමාපටයේ ජයසංකේතය බවට පත් වී ඉන් නොනැවතී එදාමෙදා තුර සිංහල සිනමා සංගීතයේ නොමැකෙන මංසළකුණුක් සටහන් කරන්නට සමත් විය. සිනමා පටයක ’තේමා’ ගීයක හැඩරුව මනාව දැන හැඳින අවබෝධකරගෙන ඊට ආවේනික ගුණාංග ’සිකුරුලියා’ ට ආදේශ කරන්නට ඔහු වගබලාගත්තේය. එහිදී තම සුපුරුදු රිද්මයෙන්, මියැසි රටාවෙන් මිදෙන්නට ඔහුට සිදුවන්නට ඇත. 


කොමළලියා .............බොළඳලියා .............මාව දමා යන්න ගියා.............සියුමැලියා සිකුරුලියා...................

--------------------
ප්‍රේමරත්න රූප දසුන් පෙළ උත්කර්ෂනයට ලක් කල ක්ලැරන්ස් මියැසිය නරඹමින් රසවිඳිනු මැනව
-----------------------


'ක්‍ෂේත්‍රයේ ඇතැමන්, ඒ දෙස සැකමුසු බැලුම් හෙඵහ. ඊට පෙර දශක ද්විත්වයේදී සිදුවූ ලෙසම, ඇතැම් නිෂ්පාදකයන් සහ අධ්‍යක්‍ෂවරුන් ගේ අණසකට යටත් ව, ’විදෙස් ගී තනු සියුම් ලෙස පැහැර ගැනීමේ’ ක්‍රමවේදය දැනකියා ඊට හුරුපුරුදුව සිටියවුන් එය ද ’විදෙස් ගී තනු අනුකරණයේ ගොඩට ඇද දමන්නට තැන් දැරූහ. අසල්වැසියාගේ සිනමා ගීත කලාවෙන් පුරුද්දා නොගත්තේ නම්, වෙනත ්බටහිර රටක නුහුරු ගීයක තනුවකැයි කසු කුසු ගෑහ. එහෙත් ඔවුන් හට එදාමෙදා තුර ඊට ගුරු වූ මුල් විදෙස් ගීතයක් දැන හැඳින මතුකරගන්නට හැකි නොවීය. සියල්ලෝ නිරුත්තර වූහ. 


---------------------
ප්‍රවිණ සිනමාවේදී දිවංගත එච් ඩී ප්‍රේමරත්නයන්
---------------------

එතැන් පටන්, සිදුවිය යුතුව තිබුනේ වෙනත් නිෂ්පාදකයන් වෙතින් ඔහු වෙත ඇරයුම් ගලා ඒමයි. එහෙත් විශ්මයකි... එච් ඩී ප්‍රේමරත්නයන් විසින්ම සිය දෙවැනි නිර්මණය ’අපේක්‍ෂා’ ඉන් වසර 04 කට පසුව නිර්මාණය කරනා තෙක්, එදවස වසරකට පණහකට ආසන්නව නිපැදවුනු එකදු සිනමා පටයක නාමාවලියේ  ’සංගීත අධ්‍යක්‍ෂනය - ක්ලැරන්ස් විජේවර්ධන’ යන්න සඳහන් වුයේ නැත. 


’සිකුරුලියා’ මියැසිය නැවැත්වූ තැනින් ඔහු ’අපේක්‍ෂා’ ගී මියැසි පෙළහර ආරම්භ කළේය. සිංහල සිනමාවේ ප්‍රේම විප්‍රයෝගයේ පෙම්වතුන් ගැයුනු තවත් විශීෂ්ඨතම විරහ ගීතයක්, සිනමාලෝලීන් මුවග දශක ගණනක් රැව් පිළිරැව් දෙන්නට නියම වූවා වූ යුග ගීයක් ඔහු නිර්මාණය කර දුන්නේය.

----------------


සඳ තනිවෙලා අහසේ ....................හිරු තනිවෙලා ..................... උතුරා ගැඵ ගගුලක් අද වියළිලා ................

--------------------



---------------------------

ක්ලැරන්ස් ගේ වෙළඳ තැටි ගීතාවලියෙහි දක්නට නොලැබුනු පරිණත බවක්, අපුර්වත්වයක් ඔහුගේ කුඵඳුල් සිනමා සංගීත නිර්මාණයන් සහ දෙවැනි නිර්මාණ පෙළ සඳහා දක්නට ලැබුනේ එහි ඔහු මුල්වරට තම නිර්මාණවලිය සඳහා භාවිත කර නොගත්, එහෙත් එදවස ගුවන් විදුලි සරළ ගීතයේදී මහත් සේ ජනප්‍රියත්වයට පත් ’සන්තූර්’ සහ ’වයිබ්‍රෆෝන්’ නම් වූ සිංහල ගීතාවලියට නව හැඩතල එක්කල සංගීත භාන්ඩ ද්විත්වය මුල්වරට යොදා ගනු ලැබීම නිසා විය හැකිය.

අපේක්‍ෂා සිනමා පටයේ දී රංගනවේදිනී ගීතා කුමාරසිංහ සහ රංගධර රොබින් ප්‍රනාන්දු දෙපොළ  පෙනී සිටින ශංගාරාත්මක  එසේම උද්වේගකර ජවනිකා පෙළක් සඳහා ඔහු  නිර්මාණය කර තිබූ පසුබිම් සංගීත ඛන්ඩයේදී ’වයිබ්‍රෆෝන්’ නාදමාලා රැව්දෙයි. එසේම, එහි ඇතුළත් ආචාර්ය සුජාතා අත්තනායක සහ ජෝතිපාලයන් ගැයූ ’සොඳුරු ලොවට මල් වැහැලා....’ (අන්තර්වාදනයේදී) සහ ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි සහ ශීල්පිනී ඇන්ජලීන් ගුණතිලක ගැයු ’කලක් ඇවෑමෙන් පෙරුම් පුරා...’ (ආරම්භක වාද්‍ය ඛන්ඩය) යන මේ ගීතවලදී ’සන්තූරය’ වැයෙන්නේය.

--------------------------


සිකුරුලියා හි ඉන්ද්‍රානි පෙරේරා ගැයු ’වසන්තයේ මල් කැකුළයි.............’ ඒකල ගීතය මෙන්ම අපේක්‍ෂා හී ක්ලැරන්ස් විසින්ම ගැයු ’සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි..............’ ගීත ඔහු විසින්ම පද සැකසූ අමරණිය සිනමා ගී අතරට එක්ව තිබේ.  මේ ගී සඳහා සංගීත සංයෝජනය සහ වාද්‍ය සහය ඔහුගේ ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ කන්ඩායමේ සාමාජිකයන් විසින්ම සිදු කරන ලදැයි කියැවෙන අතර එහි ඩ්‍රම්ස් වාදනශුරී දිවංගත ශ්‍රී කාන්ත දසනායකයන්ගේ දායකත්වය එහිදි වෙසෙසින් කැපී පෙනෙයි. 

සම්මාන උළෙලවල් එකිනෙක පසුපස එකිනෙක පෙළගැසිනි. එහෙත්  ඒ කිසිම වේදිකාවක ඔහුගේ නාමය කොතැන කවර කල්හී හෝ සඳහන් වූ වගක් වාර්තා නොවේ. අද අප අතර නැති ඔහු ලද්දේ සිනමා ගීත ලොලීන් හද පිනවා ඔවුන් ගේ හදවත් දිනාගැනිමේ සම්මානය පමණකි.

50 දශකයේ පටන් හින්දි සිනමා රූ සත්සර රටාවන් හැඩගැන්වූ සුවිශේෂි තත් භාන්ඩයකි ’සන්තූරය’. එක ගොණුවකට තත් සතරක් බැගින් ගොණු 10 ටත් වඩා ප්‍රමානයකට තත් සකසා ඇති ඒ මත ස්පර්ශ වන දන්ඩක් නිසාවෙන් එකිනෙකා පසුව එන කම්පන මාලාවකින් එය හැඞවෙන්නේ ඉන් උපදවන තත් නාදයට නැවුම් හැඩයක් ගෙනදෙමිනි. 70 දශකයේ මධ්‍ය භාගය ගෙවී යද්දී එය ’ගුවන් විදුලි’ සිංහල ගීත පටිගතකිරීම් සඳහා යොදාගැනුනු අතර එය හඳුන්වාදීමේ පුරෝගාමි වාදන ශිල්පිය සංගීතඥ ආචාර්ය රෝහණ විරසිංහය.  ’ඔබ පෙම් කරනා ඔබේ කුමාරී............. (ගුණදාස කපුගේ) ගීයේදී, එහි රාව ප්‍රතිරාවය අත්විඳිය හැකිවන්නේය. එතැන් හි සිට මහත් අභිරුචියකින් ’සිංහල ගි’ නිර්මාණයන් සඳහා එය යොදාගන්නට උත්සහ කළ සංගීතඥයන් අතර ප්‍රමුඛයෙකු බවට පත්වුයේ ’ක්ලැරන්ස්’ ය.  මතු කී, ’අපේක්‍ෂා’ සිනමා සළරූ පෙළහරේ සියඵ ගීතයන්හි විවිධ අන්තර්වාද්‍ය ඛන්ඩ සඳහා ’ක්ලැරන්ස්’ ගේ ඇරයුමෙන් එය වැයුවේ ’රෝහණයන්’ විසිනි. සිනමා ගීයෙන් ඔබ්බට ද එහි රසය පුඵල් කරන්නට සිතු ඔහු එතැන්හි සිට සිය නිර්මාණ ගණනාවක් උදෙසා ’සන්තුර’ යේ නාදරටාව මුසු කරන්නට නොපැකිළිව පියවර ගත්තේය.

වර්ණන් පෙරේරා සහ ඉන්ද්‍රාණී පෙරේරා ගැයූ ’සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට...............’  මර්වින් මිහිඳුකුල ගැයු ’කුඹුකේ ළිඳ ලගදී...මට මතකයි මන බැන්දු සිනා.....’ වැනි අතිශය ජනප්‍රිය නිර්මාණයන් ඔපවත් වුයේ මෙකී ’සන්තුර්’ හඞ මුසුවිමෙනි.

--------------------------
මර්වින් මිහිඳුකුල නාමය එක රැයකින් රටටම හඞගා කියූ ක්ලැරන්ස් මධුරසය
---------------------------

'ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සත්සර නිර්මාණයෙන් දායක වූ කේ ඒ ඩබ්ලිව් පෙරේරා ගේ  ’ජනක සහ මංජු’  සුමියුරු ගී රස උල්පතකින් ගීතලෝලී මනදොළ සැපිරිය. ඔහු ඇරයුමෙන් ’ක්ලැරන්ස්’ හඞ අවදිවූයේ 1978 වසරේදීය. එහිදි ඔහු ’ගෝතමි පතිරාජ’ සහ ’ජයන්තදාස් පෙරේරා’ නම් වු අධුනික නඵනිළි යුවලකගේ ජවනිකා පෙළක් දෙවරකදී ප්‍රේක්‍ෂක හදතුල ලැගුම් ගන්වන්නේ වරෙක ඒකල ගීතයක්ද වරෙක ලතා ව්ලපොළ සමග යුග ගීයක්ද ගයමිනි.

01 ’සුවඳක් දැනෙවි හදෙහි ආදර ලෝකේ හා හා........ කුමරෙක් ඇවිදින් සිටිවී කුමරී කොහේද මා හා ..............’ (ගී පද ධර්මසිරි ගමගේ)

-------------------

02 ’ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ..........ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ.........මංජූ (ගී පද ධර්මසිරි ගමගේ සහය ගැයුම ලතා වල්පොළ)



---------------------------------------------------------------------------------

පසු සටහන - ’එච් ඩී ප්‍රේමරත්න- ක්ලැරන්ස්’ සුසංයෝගයේදී ඔහු සිනමා සංගීතකරණයේදී අති සාර්ථක වූ බව පෙනිගියද එය බිඳුනු පසුව ඔහුට සිදුකරන්නට ලැබුනු සිනමා සංගීත නිර්මාණයන්හිදී, එක්තරා අන්දමකට හුදකලා වීමකට ලක් වූ බවක් හැගී යයි. මේ අතරවාරයේ එච් ඩී ප්‍රේමරත්න ගේ පසුකාලීන නිර්මාණයන් සියල්ල ම මනරංජනීය ගීතාවලියකින් වර්ණවත් ව හැඩගැන්වී තිබිණි. ඒ අනුව පරිත්‍යාග - 1980 (ළා හිරු පායලා - ටී එම් ජයරත්න - මාලිනි බුලත්සිංහ - සංගීතය ප්‍රේමසිරි කේමදාස), ආදර හසුන - 1986 (සුදුමුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ - නීලා වික්‍රමසිංහ - ටී එම් ජයරත්න - සංගීතය රෝහණ වීරසිංහ), මංගල තෑග්ග  - 1987 (වාසනා වේවා - සංගීත් නිපුන් මහාචාර්ය නැසිගිය සනත් නන්දසිරි, එකයායේ කකා වැටි - බන්දුල විජේවිර, සුනිල් එදිරිසිංහ - සංගීතය එච් එම් ජයවර්ධන) 

එච් ඩී ප්‍රේමරත්නයන් සිනමා සංගීතය කෙරෙහි අතිසංවේදිව කටයුතු කළ, වෙනත් කැපී පෙනෙන සිනමාකරුවන් කිහිපදෙනා අතරට එක්වූ චරිතයක් බව මෙයින් හැගී යන්නේය. එනම් ඔහු සිය නිර්මණයන්හී ඇතුළත් කරන්නට නියමිත ගීතවල මධුරත්වය සහ යෝග්‍යතාවය කෙරෙහි සැළකිළිමත් වෙමින් ගී පද රචකයන් සහ සංගීතඥයන් ගේ භූමිකාවට සක්‍රිය ලෙස මැදිහත් වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. 

ක්ලැරන්ස් විසින් ඔහුගේ සිනමා නිර්මාණ ද්විත්වයේදීම සරුසාර පසුබිම් සංගීත රටාවන් පවා මුසුකරන්නට සමත්වි තිබිනි. ’අපේක්‍ෂා’ පසුබිම් සංගීත ඛණ්ඩ පසුව එයින් පරිබාහිරව ගුවන් විදුලි වාද්‍ය සංගීත ඛන්ඩ සහ තේමා වාදනයන් උදෙසාද 1979-1989 දශකයේදී යොදාගනු ලැබිය.

’වසන්තයේ මල් කැකුළයි....’ වෙනුවෙන් වාද්‍ය රසය මුසුකල ක්ලැරන්ස් ගේ ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ කන්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශූරී ’ශ්‍රී කාන්ත දසනායක’ යන් ගීතය කැළණිය දඵගම ශබ්දාගාරයේ පුහුණුවීම අරඹන්නට පෙර.... එහි මුල් ස්ථායි කොටසට ගී පද පේළි පහක් ඇතුළත් ව තිබෙනු දැක ගීතයේ රිද්මයට එයින් බාධා සිදු නොවන්නේදැයි ගී පද රචක ක්ලැරන්ස් ගෙන් කළ විමසීමට, ඔහු එය එසේ සිදු නොවන බවද, ගීතයේ තනුව ඊට සුදුසු ලෙස තමා සිරුමාරු කරඇති බවද කියා සිටි බව එක්තරා සටහනකින් එළිදරවු විය. මෙම සිද්ධිදාමයේ සත්‍යතාවය තහවුරු කර ගැන්මට එදා මේ නිර්ාමණයට දායක වු කිසිවෙකු අද අප අතර නැත්තේය


----------------------------------
මෙතැන් හි සිට ඉදිරියට.................
----------------------------------

Wednesday, July 12, 2023

ක්ලැරන්ස් විජේවර්ධන නොනිමි මෙහෙවර......

ශ්‍රී ලංකාවේ කන්ඩායම්  සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලා අංක -04) 


 
මීට සමගාමීව, ’ද ගෝල්ඩන් චයිම්ස්’ කන්ඩායමද සිය සංගීතමය චාරිකාව සුපුරුදු පරිදි සිදුකරගෙන ගියේ ඥාතිත්වයෙන් එකට බැඳුනු ’ලාංකිකා - ෂානක - විජිත්’ තිදෙනා ගේ මූලිකත්වයෙනි. ඔවූහූ තමන්ට ඉඩ කඩ ලැබෙන අවස්ථාවන්හිදී බටහිර වෙරළ තිරයේ සංචාරක නිකේතනයන්හි දී, විදේශිකයන් මෙන්ම ස්වදේශිකයන් වෙත ’ඉංග්‍රිසි’ ගීත රසය බෙදා හරිමින් සිය කටයුත්ත නිහඞවම සිදුකරගෙන ගියහ. එහෙත්, හැකි හැම අවස්ථාවන්හිදී ’ගී තැටි’ ඇල්බම නිකුත් කිරිමේ කටයුත්තටද අත ගැසුවේය. ඒවා දැන් නිකුත්වන්නේ ’ද ගෝල්ඩන් චයිම්ස්’ ලේබලයෙනි. බරපැන සාමාජික ’ෂානක පෙරේරා’ ගෙනි. ඔවුන්ගේ ගීත ද ’ගුවන් විදුලි කන්ඩායම් ගී’ වැඩසටහන වර්ණවත් කරන්නට එක්කරගන්නා ලද අතර ’ද ගෝල්ඩන් චයිම්ස්’ නාමයෙන් ජනගත වන නිර්මාණ ඇතැමුන් විසින් ’ක්ලැරන්ස්’ ගේ ගීත ලෙස වරදවා හඳුනාගන්නට පටන් ගැණිනි. එදා ගුවන් විදුලි වැඩසටහනේ ’ලාංකිකා පෙරේරා’ ගායන ශීල්පිනිය විසින් සංගීත කන්ඩායමේ නාමය යටතේ ’තනි’ ව ගැයු අල්ප ගණනක ගීත අතරින් වඩාත්ම ජනප්‍රිය වූ නිර්මාණය පහත පරිදිය. ගී පද නැසිගිය කරුණාරත්න අබේසේකරයන්ගෙනි. තනු රටා සහ සංගීත නිර්මාණයන් ’ලා බම්බාස්’ කන්ඩායමේ නායක ’ප්‍රියා පීරිස්’ විසිනි. මේ 1974 පමණ යුගයේ විය හැකිය. 



මා මතක නැති කලාට දුකක් නෑ ................

තරහක් නෑ..............

මට ඉවසගන්න බැරිව යන්නේ ............

ඔබ මගේ හිත රිදෙව්වම තමයි...................

--------------------- අසන්න පහතින්


-----------------

ලාංකිකා සහ ඇයගේ සැමියා ශානක පෙරේරා ’ගෝල්ඩන් චයිම්ස්’ යුගයේ... 1972
----------

ඉංග්‍රිසි සේවාවන්හි විසුරුවා හැරි ’සිංහල’ කන්ඩායම් ගී 1967 වසර පමණ වෙද්දී එහි සාමාජිකයන්ගේ ආයාචනය සලකා සිංහල වෙළඳ සේවයේ  අඩපැයක් තරම් දිර්ඝ කාලයකදී විසුරුවා හරින්නට එවකට එහි මුල්පුටුව හෙබවු ජ්‍යෙෂ්ඨ පරිපාලක නිලධිරී නෙවිල් ජයවීරයන් පියවර ගත්තේය. එය එකී වර්ගීකරණය යටතේ ගැයුනු සිමිත ගීත ගණනකින් සමන්විත වූ අතර, වසරින් වසර කන්ඩායම් ගී පුෂ්පකරණිය සුවඳ විහිදුවමින් හාත්පස විසිර පැතිර වැඩෙන්නට වූ කල්හී 1970 වසරින් ඔබ්බට  එය අඩපැයකින්ද අඩකට සිමා කර දමන්නට ක්‍රියා කරන ලදී. ගී තැටිධාවන යන්ත්‍ර සතුවූ සිමිත ශ්‍රාවක පිරිසගෙන් ඔබ්බට තම නිර්මාණ විසුරුවා හරින්නට ඉතිරව පවතින එකම විද්යුත් මාධ්‍යයෙන් එසේ වැඩකඩොඵ බඳිද්දී, ඇනස්ලි මාලේවන සහ ලා සියෙලනියන්ස් හි නායක ’නෙයෙල් රණසිංහ’ ප්‍රමුඛව කන්ඩායම් ගී සාමාජික සංසදයේ පිරිස ඊට එරෙහිව නැගි සිටිමින් ’ගුවන් විදුලි බලධාරීන්’ වෙත පැමිණිළි කළහ.  ’තුප්පහි’ ගීත කලාවෙන් ලාංකීය ගීත ශ්‍රාවකයන් බේරාගන්නට තමන් හට එක්තරා පිරිසකගෙන් දැඩිව බලපෑම් ඇති බවද ඒ නිසා එය සම්පුරණයෙන් සීමානොකර දිනපතා විනාඩි පහළොවක් වෙන්කරන්නට නියම කළ බවද දන්වා නව පරිපාලකයන් වෙතින් පිළීතුරු ලැබිනි. තමන්ගේ නිර්මණයන් හට ’ලේබල්’ ගසා කොන්කීරීම පිළිබඳව එයින් ඔබ්බට අවිඅමෝරාගන්නට ඔවූහූ අසමත් වූ අතර හිරු මුදුන්වූ ’කන්ඩායම් ගී’ භූමියෙන් එය ක්‍රමයෙන් අස්ත ගත විමේ ලෝ දහමට නතුවෙමින් පැවතියේය. 

සතුරු බලමුඵ ක්‍රමයෙන් කඳවුරු බැඳ සටනට එළඹෙද්දී වුවද, සංගීත අධ්‍යක්‍ෂනය, ගී තනු සහ පදරචනය යන ත්‍රීත්ව කලාවේ පරසිඳු ’ක්ලැරන්ස්’ ගේ නාමය ඒ ආකාරයෙන් තැටි ලේබලය සිසාර ලියැවෙමින් දිගින් දිගට වසරින් වසරට, සරළ ගී පද කැටිකොටගත්, නවමු වාද්‍ය රටාවෙන් සැරසීගත් නව ගී බිහිවීම කිසිවෙකුටත් වැළැක්විය හැකි නොවිය. ඊට අත්වැළ සැපයූවේ එවකට ප්‍රබල ස්ථාවරත්වයකට පත්වී සිටි ’තැටි’ ව්‍යාපාරික ගීත රසවතුන්ගේ එකමුතුවයි. 

01 සඳ කිරණින් ................ 02 දයාබර අක්කේ ....(ගමෙන් ලියුමක් පිළිතුර)  03 ගම දන්න අය................. 04 සිත බැඳුනා...............  ගී පෙළ එළිදුටු ’ලෝටස්’ තැටිය  තරමක පසුබෑමකට ලක් වූ අතර ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ කන්ඩායමේ පස්වැනි ඇල්බමයේ ’වික්ටරි’ ලේබලය (ජීප්සීස් සංගීත කන්ඩයම සතු)  ඊට හාත්පසින්ම වෙනස් ලෙසින් අසීමිත රසික සම්මානයට පාත්‍ර විය 01 සඳ ගිලුනත් හිරු ගිඵනත් මට කමක් නෑ ....(ක්ලැරන්ස්)  02 රන් සීනු හැඞවේ රිදී සීණු හැඞවේ .........(මංගලම් - ඇනස්ලි)  03 අඵයම ළා හිරුරැස් වාගේ සීතල සඳපානක් වාගේ.... (ඇනස්ලි)  04 සිහින ලොවක් දුටුවා මතකයි ...(ක්ලැරන්ස්) 

----------------------------අසන්න පහතින්------------------

'සදාඅනුස්මරණිය ක්ලැරන්ස් නිර්මාණ අතරට එක්ව දශකයෙන් දශකයෙන් පරපුරෙන් පරපුරට ඔහුගේ නාමය බබළවයි. ’සරසවී’ තැඹිලි පැහැ වෘත්තය මත සටහන් වී තිබුනු 01 දුවනී (ක්ලැරන්ස්) 02 නිල් අහසේ (ඇනස්ලි) 03 ඔබ සොයා (ඇනස්ලි) 04 මහවැලි (ක්ලැරන්ස්) සහ නීල ලේබලයේ ඇඳුනු  01 දිල්ෂාන්  ... 02 ටිකිරි නගේ........ 03 සායිබාබා........... 04 ආදර දුරුතු මහේ.....  යළිත් ඔහුගේ සෙසු දැවැන්ත නිර්මණ අතර හැකිළී සැගව ගියහ. මේ වනවිට ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ සාමාජිකයන් දෙවසරක ගී යුගයක අයු විඳිමින් සිටියේය. 

-----------

පාදක සටහන

1975 පමණ ඈත අතීතයක සිට, ලේඛකයා ගේ ළපැටි වියේ ’සුපර් ගෝල්ඩන් චයිම්ස් ගායන - වාදන රසවන්තයන්ගේ සජිවී ප්‍රසංග වේදිකා ගායන ලීලාව විඳ ගන්නට වාසනා මහිමය ලද්දේ මින් පෙර ලිපියේ සඳහන් කළ පරිදී සාම්ප්‍රදායිකව ඇසළ පෙරහැර සමයේ මහනුවර බෝගම්බර පිටියේ උත්කර්ෂවත් ලෙස පැවති ’ඇසළ මේලා’ සැනකෙළි බිමෙහිදීය. අදමෙන් දැවැන්ත වේදිකා සහ ආලෝක සැරසිලි නොතිබූ ඒ නොපැතිරුනු තහඩු වේදිකාව මත එකිනෙකා උරෙනුර ගැටෙන තරම් ළංවී සිටිමින් සිය නායකයා ’ක්ලැරන්ස්’ ව පෙරටු කොට ගනිමින් ඔවූහූ වැඩිහිටි තරුණවුන් මතුනොව කුඩා අපවද වසග කළහ. ගිටාරය අතදරමින්  ගයන්නට වූ ’ක්ලැරන්ස්’ ගේ මුවින් නැගී ආ ගීත රාවය ’සඳද ගිලි ගිය, හිරු ගිලි ගිය ඒ  සොඳුරු රාත්‍රි යාමයේ  හාත්පසින් නැගි සිටින යෝධ ’බහිරව කඳුපෙළ’ ද ඊට තනි රකින ’හන්තාන’ කඳුරැල්ල ද සිසාරා පැතිර යන්නට ඇත. එතැන්හිදී ඔහු එසේ ’සඳ ගිඵනත් හිරු ගිඵනත් මට කමක් නෑ.............’ , ’සිහින ලොවක් දුටුවා මතකයි..................’, ’මුව හසරැලි සාගරේ..............’ නිවිහැනහිල්ලේ ගයද්දී. වේදිකාව සිසාරා රොක් වි සිටි එකකුදු  වත්මන් යුගයේ මෙන් නර්තනයේ යෙදෙනවා තබා අභිනයක් හෝ නොපෙන්වා සෙල් පිළිම මෙන් දැහැන් ගතවී ඔහු සහ පිරිසගේ ගායන රසය විඳගන්නා අයුරු ඉතා හොඳින් නැරඹුවෙමි. 


විවිධ රටා මවමින් නිවි නිවි දැල්වෙන දස දහස් සංඛ්‍යාත විදුලි බුබුඵ විවිධාකාරයේ පොකුරු හැඩතල සරසවද්දී, අනතුරුව වේදිකා ගතවුයේ ඉන්ද්‍රානි පෙරේරා ප්‍රමුඛ ’ත්‍රී සිස්ටර්ස්’ යුවතියන්ය. යව්වනියන් තිදෙනෙකු මයික්‍රෆෝන දරා එකවර එකට එක්වී ප්‍රසංග වේදිකාවේ ගී ගයන අත්දැකීමක් ලාංකීය ගීත රසිකයන්හට හා පුරා කියා අත්කර දුන් මේ යව්වනියන් ද ’ක්ලැරන්ස්’ ගේ ගී තනු සහ සංගීත රටාවන්ට ගයද්දී, පසුබිමේ සිට ක්ලැරන්ස් ඇතුඵ පිරිස ඊට වාදන රසය මුසුකළහ. 1975 -1982 අතර යුගයේ මේ අත්දැකීම එදවස එහි ආ සෙසු කඳුරට රසිකයන්ද ලබන්නට ඇති බව නිසැකය.


ඔහු විසින් මේ යුගයේදීම ඉන්ද්‍රානී පෙරේරා වෙත නිර්මාණය කර දුන් ’එදා තරම් මගේ සිතේ....(සැනකෙළිය) නම් වු ගීතය මෙන්ම පසුව අපේක්‍ෂා සිනමා පටය වෙනුවෙන් ඔහු ලියා සංගීතවත් කල ’සැනකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි....’ වැනි ගීත ඔහුගේ සිත්හි පිළිසිඳගන්නට ඇත්තේ ඔහු ඇතූඵ පිරිස් එදවස දිවයිනේ ප්‍රමුඛතම මෙන්ම වඩාත් ජනප්‍රිය ‘සැනකෙළිය’ වූ ’මහනුවර ඇසළ මේලා’ වට සහභාගි වී ලද අත්දැකීම් විය හැකි යැයි අනුමාන කරමි.

එදා ළපැටි පෙළ වෙනුවෙන් වෙසෙසින්ම තැනුනු ගී මහත් රාශියක් තිබියදීත්  ඒ වෙනුවෙන් දිනපතා වැඩසටහන්ද මෙහෙයවමින් ගුවන් විදුලියෙන් ගී ප්‍රචාරය කරන්නට යෙදුනත් ළමා අපව ඒ සියල්ල අභිබවා ආකර්ෂනය කරගත්තේ ’ක්ලැරන්ස්’ ගී රටාවයි. සැබැවින්ම ඒවයේ ගී පදමාළාවන් ළපැටි මෘදු සිත් අකර්මන්‍ය කර කළඹා දමන්නට තරම් වු සැහැසි වදන් වලින් තොර වූයේය. මේ කාරණය මෙන්ම ඒවයේ ගැබ්වු අපුරු රිද්මය ද වාද්‍ය සංයෝජනයන්ද අපවන් කුඩා දරුකැළ ඊට ඇඳබැඳ තබාගත් රැහැන් වන්නට ඇත.

------------------------------------

60 දශකයේ අවසානයේ බිහිවූ බොහෝ   ගී පද රචනාවන්ට මුලාශ්‍ර සැපයුනේ තම ගම්පියසේ එනම් රත්නපුර දිවිය සහ බැඳුනු ජන ජිවිතය බව ඔහු නෙයෙක් වර පවසා තිබේ. ඒ අතර ඔහු විවහ දිවියට එළඹෙන්නට පෙර සිය පෙම්වතිය බවට පත්වූ ’ශිලා...’ (පසුව ඔහුගේ දයාබර බිරිඳ) හා තමා අතර බැඳි සබඳතාවය හා ඒ හා බැඳුනු සිද්ධි දාමයන්ද වූ බව හෙළිදරවු කර තිබේ. ඔහුගේ ගීතාවලියේ පෙනීසිටින ’මැණීකේ (සුදු මැණීකේ) ඇයයි.  සූපර් ගෝල්චන් චයිම්ස් - මූන්ස්ටෝන්ස් එකට යා කල ක්ලැරන්ස් ගේ දෙවැනි හර්මනි ගායන සහකරුවා ’ඇනස්ලි මාලේවන’ යුගදිවියට එළැඹී සිය සංගීත දිවියෙන්ද සමුගෙන නික්ම යද්දී 1978 වසර ගෙවියමින් තිබිනි. ඓහත් ’ක්ලැරන්ස්’ ගේ දැඩි බලකිරීම ද පෙළඹවීම මත එතැන් හි සිට තවත් දසවසරක විරාමයකින් පසු යුගයකදී ඔහු ඔවුන් හා නැවත එක්ව කටයුතු කරන්නට එකගතාව පළකළේය.

ක්ලැරන්ස් ඇතුඵ පිරිස මෙන්ම සෙසු ගායක කන්ඩායම් ගැයූ ගීත ලද අසිමිත ජනප්‍රසාදය හමුවේ ඒවා හීන් සිරුවේ එකිනෙක සිනමා පටවල පසුබිම් ගායනා ලෙස ඇතුළත් කරවා ගැනීම එදවස නිෂ්පාදකයන් ගේ උපක්‍රමයක් වි තිබිනි. 

1974 වසරේ තිරගත වූ ටයිටස් තොටවත්තයන්ගේ ’තොටවත සළරූ’ සිනමාපෙළේ නිපැයුනු  ’සිහසුන’ ප්‍රහසන සිනමා පටයේ එක්තරා ජවනිකාවක ඔවුන් පෙනී සිටිමින් ගීතයක් ගයන්නේ උඩරට කඳුකරය කරා සෙමෙන් ඇදෙන දුම්රිය මැදිරියකට කොටුවෙමිනි. සාමාන්‍යයෙන් ගී තැටිවලින් නිකුත් වූ ගීත අතර නොඇසූ  ’මවුත්ඕගන්’ නාදරටා (වාදනය නැසිගිය මවුත් ඕගන් වාද්‍ය ශිල්පී හර්බට් ගුණවර්ධන විසිනි)  ඇතුළත් ’ක්ලැරන්ස්’ ගී රටාවට අනුගත වූ මෙම ගීතයේ නිර්මාණයට සිනමාපටයේ සංගීත නිර්මාපක ’සෝමදාස ඇල්විටිගල’ ජ්‍යෙෂ්ඨ සංගීතඥයා ගේ මගපෙන්වීම ලැබෙන්නට ඇත.


උඩරට මැණිකෙට පටසඵ පොරවන ..................

සුදුමුදු මීඳුම් දෝනාවේ .......................

කඳුරට දිවයන දුම්රිය මැදිරිය ..............

ආලේ ආලක මන්දාවේ.................

-----------------------------------------පහතින් අසන්න-------


සුපර් ගෝල්ඩන් චයිම්ස් එළෙස හඞ අවදිකරද්දී, වෙනත් කන්ඩායම් ගී ද අතරින් පතර සිංහල සිනමාපට උදෙසා ඇතුළත් කරන්නට යෙදුනි. 1972 වසරේ තිරගත වූ සිරිල් වික්‍රමගේ නිර්මාණ ’සිහින ලොවක්’ වෙනුවෙන් සාහිත්‍යවේදී මහගම සේකර ගේ ගී පදවැළක් දෙවැනි වරටද කන්ඩායම් ගීතයකට යොදාගන්නා ලදී (පළමු අවස්ථාව දෙළොවක් අතර  -1966 ලොස් කැබැයියරෝස් ගැයූ ’ගයන ගැයුම් නටන නැටුම්) එදවස දිවයිනේ ප්‍රමුඛතම කාන්තා ගායක කන්ඩායම වූ ’ත්‍රී සිස්ටර්ස්’ ඊට හඞමුසුකරන ලදී. 

ගාලා සුවඳ රස අඳුන්......... කාලා සුවඳ රස බොජුන්....

බීලා මිහිරි මීවිතෙන්..........ජිවිතේ ගෙවී යාවි මේ ළෙසින්...

සැමදාම සන්තෝසයෙන්..................

(තනුව - සෝමදාස ඇල්විටිගල)

1974 වසරේදී ඔවුන්ව දෙවැනි වරටත් කන්ඩායම් සිනමා ගීයකට කැඳවන ලද්දේ දයානන්ද රොද්‍රීගෝ ගේ ’ජීවන ගංගා’ සිනමාපටය උදෙසාය. (ඔමරි ලතා බොළඳ කතා..........සම්පත සොම්නස දෙන්න ලබා.............. - ගී පද සරත් විමලවීර සංගීතය - එම් කේ රොක්සාමි - දයාරත්න රණතුංග සහ ජස්ටින් සිල්වා) 1978 දී තෙවැනි කන්ඩායම් ගීතය සඳහා ඔවුන් සම්බන්ධ වූයේ දයානන්ද ජයවර්ධන ගේ ’සමන්මලී’ සිනමා සිත්තමේ ඇතුළත් ගැට කපන යුවතියන් තිදෙනෙකුගේ කන්ඩායම ගයන සමාජ ශාලා ගීතයක් උදෙසාය.  

මන්දහාසේ ...මන්දහාසේ ... මන්දහාසිනි...

පුංචි හීන ලෝකේ පාවේලා..පිහිනා නැළවී පිහිනා සැගවි ...........

(ගී පද ධර්මසිරි ගමගේ - සංගීතය සරත් දසනායක)

එවක සුප්‍රසිද්ධ වූ තවත් ගායිකාවන් පිරිසකගේ කන්ඩායමක් ’ගේ සහෝදරියෝ’ ලෙසින් හැඳින්වූ අතර 1974 දී ’හදවත් නැත්තෝ’ සිනමාපටයේ ඔවුන් ගයන්නීය. (ඇයි දුක්වන්නේ කරදර වන්නේ .......ජීවිත අඳුරේ මුසුවිලා .............ඔබ නළවන්නයි ....සිප සනසන්නයි අදහස මගේ ඔබ පිනවාලා)










------------------------------------
ක්ලැරන්ස් විජේවර්ධනයන් ත්‍රී සිස්ටර්ස් ගායිකවන් හට ගීයක් පුහුණුකරවමින්....
--------------------------------------

මෙළෙසින්, මූන්ස්ටෝන්ස් සහය ගායිකාව ලෙස දොරට වැඩි ’ඉන්ද්‍රානි පෙරේරා’  ගේ ගී හඞෙහි අපුර්වත්වය දැන හැඳින ගත්තෝ සංගීතය මනාව හැදැරූ ඇයගේ දෙටු සහෝදරිය වූ නැසිගිය ’මල්ලිකා පෙරේරා’ ගායිකාව ද කණිටු සහෝදරිය ’අයිරාංගනී’ ද කැටිව නව ගායිකා කන්ඩායමක් බිහිකරගන්නා ලෙස ලද උපදෙස් අනුව බිහිවුයේ ශ්‍රී ලාංකීය ප්‍රථම පොප් ගායිකා කන්ඩායම වූ ’ත්‍රී සිස්ටර්ස්ය’  ඔවුන්ගේ පසුකාලීන නිර්මාණ ගණනාවක තිරයෙන් පිටුපස භූමිකාව රගදක්වූයේ ’ක්ලැරන්ස්’ ප්‍රමුඛ ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ වාදයකයන්ය.  ඒ ඔහු ලියා සංගීතවත් කරමින් ඇය ඇතුඵ සහෝදරියන් ගැයු ගීත උදෙසා  පටිගත කිරීමේ සංගීත වාද්‍ය සංයෝජනයන් සිදුකරමිනි.

ඒ අනුව 01 ’හා හා හොරේ දැනුනා දැනුනා...’  02 අම්මා (මතකය ඇසුරින්)... 03 එදා තරම් මගේ සිතේ (සැණකෙළිය).... 04 සිරිකත වැඩියා අද දවසේ.. 05 එක දවසක් මම දුටුවා'....06 සිහින් සිනිඳු දුහුල් රිදී, 07 පිපෙන පියුම් සඳෙහි කැඵම් ....08 මං කිරිල්ලියක් වෙලා................. 09 කල්පනී දූවනී ............ 10 මගේදෑතේ නැළවි සඳරේණු දුවනී.... (ගී පද ෂෙල්ටන් වීරරත්න) 11 දොයි දොයි පුතුනේ... (කරුණාරත්න අබේසේකර)''12 මේ ගීය මම ගයන්නේ වැසි වළාකුල .... 13 නිසංසලේ අපි තනිවෙලා .. නම් වූ 70 දශකයේ ගීතලෝලීන් කිසිවෙකු ගේ මතකයෙන් නොමියෙන නිර්මාණ පෙළක් ඔහුගේ ගිටාරයේ තත් හඞවා උපදවා දුන්නේය. ඒ ඔහු සිය ගායක කන්ඩායම සමග රටපුරා යමින් සැණකෙළි ප්‍රිති උත්සව ප්‍රසංග වේදිකාවන් වර්ණවත් කරමින් ඔබමොබ ගිය අතිශය කාර්ය බහුල දිවිය අතරවාරයේදීය. 
----------------------------අසන්න පහතින්------------------

ක්ලැරන්ස් ගේ නිර්මාන කෞෂල්‍යය අරභයා ගෙනහැර පෑ හැකි නෙක නිදසුන් අතර, ප්‍රමුඛත්වය ලැබිය යුතු පහත නිර්මානය, ඔහුගේ ගීත රසිකයන් වෙත සදානුස්මරණිය අත්දැකීමක් තිලිණ කරන්නේය. ඔහු, සිය පරිකල්පනය ශූරලෙස කොනිති ගන්වා ඔවුන්වද තම චිත්තරූප සංකල්ප ඔස්සේ හදේ ඇඳන අපුරු සිතුවමක් වෙතට කැඳවා ගන්නේය. මසැසින් දුටු දසුනක් වහා වහා සිය පින්සල් තුඩින් පුවරුවකට නංවන්නට නොඉවසිල්ලෙන් පසුවන ළමා සිත්තරෙකු බඳුව, අපට ද ඔහුගේ වදන් පෙළින් හදේ මවාදෙන රූ රටා සිතුවම් කරන්නට පොළඹවන්නා සේය. ’හර්මනි’ සංගීත ශිල්පයේ අපුරු හැඩතල ඉතා පැහැදිළිව මේ නිර්මාණයේදී අත්විඳින්නට හැකිවන අතර, ඒ බටහිර සංගීත රටාවේ ස්වභාවය කෙබඳුදැයි එහි ආධුනිකයෙකුට මනාව අවබොධ කරගත හැකිවන සේ එය නිර්මාණය කෙරි ඇත.


සිහින් සිනිඳු දුහුල් රිදී රේණුවල නැගී ...........

සිහින් දෙපා පොඩි හොවලා ලොවට එන සැටි ...........

පළගැටි ගී තනුව අනුව මලක් මත නැගී ............

සඳ කුමරිය පිණිකැට නා නැවත යන සැටි ..............

සඳ කුමරියේ කුමරු ඔබේ නොදැක ඇයි මෙසේ....

කලකට ඔබේ වත පෙන්වා නැවත හැකිළ යේ ......

කුමරු සොයා යන්නට ඔබ නෑ සැරසෙන්නේ ..............

සඳුන් ගසයි සමන් ලතාවයි මුමුණන්නේ ..............

(ත්‍රී සිස්ටර්ස් ගායිකාවෝ උදෙසා ගී පද, තනුව, සංගීත අධ්‍යක්‍ෂනය සහ වාද්‍ය රටා සැකසුම ක්ලැරන්ස් විජේවර්ධන විසිනි)
----------------------------------අසන්න  පහතින්----------------------

----------------------------------
මෙතැන් හි සිට ඉදිරියට.................
----------------------------------

මුලාශ්‍ර තොරතුරු - කෘතඥ පූර්වක ස්තුති ප්‍රනාමය 

ගායන ශිල්පී ඇනස්ලි මාලේවන මහතා (මූන්ස්ටෝන්ස් - ද සුපර් ගෝල්ඩන් චයිම්ස්)

ගායන ශිල්පී අනිල් භාරති මහතා (ද ගෝල්ඩන් චයිම්ස්)

ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය (ත්‍රී සිස්ටර්ස්) 

ගායන ශීල්පිනී ලාංකිකා පෙරේරා මහත්මිය (ද ගොල්ඩන් චයිම්ස්)

සංගීතඥ ගායන ශිල්පී  මෙල්රෝයි ධර්මරත්න මහතා (ධර්මරත්න බ්‍රදර්ස්)

සංගීතඥ ගායන ශිල්පී මහින්ද බන්ඩාර මහතා (ෆෝර්චූන්ස්) - ප්‍රවිණ ගිටාර් වාද්‍ය ශිල්පී  - 

පීටර් රණසිංහ මහතා (ලාංකා ගී තැටි සංරක්‍ෂකයන් -එකතුකරන්නන්ගේ සංගමය)