namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, December 3, 2019

ඉන්ද්රානි බෝගෝඩ මුල් ගුවන් විදුලි නිර්මාණපෙළ අතරින්.....

දෙරණ තල දෝවා අරුණැල්ලේ නාද දුන් නීල කොබෙයි පවත..................... ස්වර්ණවර්ණ එදා ගුවන් විදුලිය....1975


රුහුණු කුමාරිය සුපුරුදු ලෙස දිනපතා මාතර පුරවරයෙන් හිමිදිරියේ පිටත්වෙයි. යොවුන් පෙම්වතුන්ද පෙම් සටනින් ජයලද්දෝද එදා මෙන්ම අදද හෙටද එහි නිරතුරු ගමන් කරනු ඇත. 


එසේම අඩසියවසක යුගයකදී බොහෝ දේ විපර්යාසට ලක්වී ඇත්තේය. නව තාක්‍ෂණය උපකරණ ආකල්ප අදහස් සිතුම් පැතුමි මේ සියල්ලම එසේය. ඔවුන් අතරැුඳි ජංගම දුරකථනය වෙත නිරන්තරයෙන් නෙත්යොම සිටිමින් ඇතැමුන් යුහුසුඵව මාපටැගිලි ඒ මත චලනය කරවන්නේ නොයෙක් ආකාරයේ වෛවර්ණ චලන රූප මෙහෙයවමින් ක‍්‍රිඩා කරන්නටය. සවන්පත් වසාගත් උපකරණය ඊට නිතිපතා සම්බන්ධ වේ. එදා මෙන්ම අදද  නෙකාකාර දසුන් කවුඵ අතරින් ඈත් මැත් වෙද්දී කිසිවෙකු හෝ ඒ දෙස හිස ඔසවා නොබලන්නේ දුරකථන තිරයේ දිස්වන දෑ සියලු දසුන් පරදා ඔවුන්ගේ නෙත් පැහැර ගන්නා නිසා වන්නට ඇත.

පරිසරයේ සිරි අසිරිය විඳගන්නට එය නෙත් රසඳුන් කරගන්නට ඔවුහු ප‍්‍රිය නොකරනා සේය. තාක්‍ෂණය විසින් ඒ සියල්ල ඔහුට ඇයට අහිමි කර ඇති සේය. 

අඩසියවසකට ආසන්න යුගයක දුර අතීතයේ දිනක රුහුණු කුමාරි ඇකයේ සැනහෙමින් අගනුවර කරා පියමං කරන යොවුන් පති පතිනි යුවළකි. එදවස ද දිනකර මෙදවස මෙන් කවුඵ අතරින් එබි බලද්දී ඔහු හිමිදිරි අරුණෝදයේ රුසිරු දසුන් වින්දනය කරයි. ඇය හිස මත දැඩි බරක් වගකිමකි. තවත් හෝරා කිහිපයකින් ඇය සිය දිවියේ සුවිශේෂී අත්දැකීමට මුහුණ පාන්නට සැරසි සිටින්නීය. එහෙත් ඒ කාර්යය නිසි ලෙස ඉටුකරගන්නට හැකිවේදෝ යන සිතුවිල්ල ඇයගේ මනස කළඹාලයි. ඇය ඊට මනාලෙස තවමත් සුදානම් නැත. අගනුවරට පිවිසෙන්නට පෙර ඉටුකරගතයුතු සම්පුර්ණකරගතයුතු කාර්යයක් අසම්පුර්ණය. අභියෝගය සුඵපටු නොවේ. 

රුහුණු කුමාරිය පෙනෙන දුරින් රළ රැුළි නංවන සිඳු නාදය පරදවා සිය ඝෝෂාව නංවයි. ජීවන චාරිකාව ද ඇයගේ චාරිකාව ද එකළෙසය. නැවතුමක ගිමන් හරින්නට සැරසි ඇය කෙමෙන් නිසලවෙයි. යළි හඞ නංවයි.

ඔවුන් මෙසේ අරුණෝදයේ කඵ සෙවනැළි මෑත් වන්නටද පෙරාතුවම රුහුනු කුමාරි දුම්රියේ අසුන් අරා අගනුවරට සේන්දු වන්නේ ඇයට තැපෑලෙන් ලැබුනු ලිපියේ සඳහන් කාර්යාලයටය. එය එදවස අයෙකුට ලැබෙන ඉතා දුර්ලභ අවස්ථාවකට සම්බන්ධ වනු පිනිසය. දිවයිනේ ඇති එකම විද්යුත් මාධ්‍යායතනය වු එය ’ලංකා ගුවන් විදුලියයි’. ලක්දිව පුරා අධිපත්‍යය පතුරාලු ජනතාවට වඩාත් සමීප රාජ්‍ය ආයතනය වු එහි එක්රොක්වන්නට සිහින මවන්නෝ මහත්ය. ඒ අතරින් ගැයුමෙන් වැයුමෙන් හඞ අවදිකිරීමෙන් රංගනයෙන් අසමසම දස්කම් විස්කම් පෑවෝ පමණක් එහි පියනගන්නට වරම් ලබයි. ඒ දුලබ හිමිකම ලද්දෝ තමන් දිවයිනේ වඩාත් වසනාවන්තයෝ ලෙස සළකති.

ඇය කලාන්තරයක් පුරා සිහින මවමින් පෙරුම් පුරමින් සිටි  ’සරළ ගීත ගායනා’ වැඩසටහන වෙත දොරටු විවර කර දුන් කැඳවිම් ලිපිය ලද ඇයට පස්වනක් ප‍්‍රිතියෙන් පිනා යන්නට වරම් නොවීය. ඇයට එහි ගායනා කරන්නට නියමිත ගීත සතරකින් එක් ගීතයක ’තනුව’ පමණක් ඇය සතුය එහි තාලය පමණක් ඇය මනාව ප‍්‍රගුණ කර තිබුනද පදමාලාව අහිමිය. ඇයගේ හදවත යකුඵ පහර දෙමින් ස්පන්දනය වන්නේ එබැවිනි. තවත් සුඵ කාලයකින් ඇය දැන කියා ගත් ’තනුවට’ වදන් සම්පුර්ණකරගත යුතුමය. 

පතිකුලයට පිවිසි නවකයන් වූ ඇය සිය සැමියා කැටිව හිස ගිනි ගත් ලෙසින්  දුරුරට පියමං කරන්නේ ඒ නිසාවෙනි.

ඔහු සිය බෑගයෙන් ගත් කඩදාසියක් මත කිසිවක් සටහන් කරනු ඇයට පෙනෙයි. වරෙක හිසරුවා කවුඵවෙන් එපිට තැනක ඔහුගේ නුවන් රඳවයි. යළි හිස පහත හෙළා කිසිවක් කඩදාසිය මත කුරුටු ගායි. පෑන් හිස දෙතොල් අතර රඳවයි. 

හිරු සිය සුපුරුදු චාරිකාව අරඹා ඇත. නිල්ල අතරින් අහස් කුස කරා පියඹා යන සියොත් ?න් සොඳුරු දසුන් මවයි. 

අත රැුඳි පත සිසාරා ඔහුගේ සුරත දිව යනු ඇයට පෙනෙයි. එහි මුතු අකුරින් වදන් වැල් මතුවෙයි. රුහුණු කුමාරිය සිය ගමනින් අඩක් නිමවා ඇති සේය. උකුල මත රුවා ගත් පතෙහි  පදවැල් පේළී මාලා එක්තැන් වෙයි.


ඔහුගේ මුහුනේ ඇඳි මන්දස්මිතය ඇයගේ කැළඹුනු සිත නිවාළන පවන් රොදක් බඳුය. දුම්රිය අගනුවර පෙනෙන මානයේ ඇදීයද්දී ඔහු සිය සුරත රැුඳි පත ඇයගේ උකුල මත තබයි. 

’කියවන්න .............’

’ආ....නේ .. හරිම ලස්සන කවියක්................. ’

මාතර සිට කොළොම්පුරය දක්වා සැතැපුම් සියයක දුරකදී  දුම්රිය කවුඵ දොරින් නෙත ගැවසුනු දසුන් අකුරු වැල් බවට පත්වී එහි අපූරුවට පෙළගස්වා තිබිනි.

සීත දියරැුල් සලා .........................

පියුම් පිපුනා බලා ......................

දෙරණ තල දෝවා අරුනඵ දේ ....................

සියොත් කැළ නාද දේ .......................


දෙරණ තල දෝවා නැගි අරුනඵ හමුවේ හදගැස්ම සමනය වී සැක සංකාවෝ පහවී ගිය සේය. තවත් හෝරාවකින් දෙකකින් තම ගායන දිවියේ මුහුණදෙන්නට නියමිත තවත් කඩඉම අභියෝගය ජයගැන්ම උදෙසා ඊට එරෙහිව නැගි බාධක දුරු වි ගොසිනි. තවත් නොබෝ දිනකින් එය සිරිලක අහස් කුස සිසාරා ඇසෙනු ඇත. තවත් සොඳුරු නිර්මාණයකින් ශ‍්‍රාවක සිත් සැනහෙනු ඇත.


කලක් ගත වී එක්තරා දිනක නිශා යාමයේ තැන්පත් ස්වරයෙන් කියැවුනු ගුවන් විදුලි නිවේදනයකි.

’මේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල පළමුවෙනි සේවයයි................’

මෙතැන් සිට ’සරළ ගී’ , අද සරළ ගී වැඩසටහන ආරම්භ කරන්නේ ගායන ශීල්පිනී ඉන්ද‍්‍රානී බෝගෝඩ ගැයු ගීතයකිනි................’ 
මේ ගීතයේ පද රචනය ’ධර්මදාස පරණගම’ සංගීත නිර්මණය සංගීතවේදී චන්ද‍්‍රසේන බෝගෝඩ ..............’


කල් බලන් සිටිය බඹරින්දා ....

විල්තෙරින් හමන මදනළ හා ...........

මුසුව ගිය රත් දෙතොල් පොපියා .....

හාදු දී මා දිහා බැලුවා .................


විල්තෙරේ රේණු සුකුමාලා ...

රත්පියුම් රේණු මා දැකලා ....

--------------------------
මෙතැනින් සවන්දෙන්න
----------------------------

Embed Music Files - Share Audio -

තවත් කලක් ගතවිනි මේ  1976 වසරයි. එක්තරා දිනකදී නිකුත් වුනු ’ගුවන් විදුලි මාසික වැඩසටහන් විස්තරය කැටි කොට ගත් එය සගරාවක් යැයි කිවනොහැකි නමුත් කඵසුදු’ තරමක් නොපැහැදිලි මුද‍්‍රිත අකුරු සහ සේයාරූ වලින් සමන්විත පත‍්‍රිකාවකි. එහි පසුපිටේ මුද‍්‍රිත උඩුකය සේයාරුව යොවුන් යුවතියකගේය. ඊට දකුණු පසින් ගීතයක පදපේලී හා එහි නිර්මාණ තොරතුරු මුද‍්‍රිතය.


නීල වරළ නීල කොබෙයියෝ ..................

මං ආදර නීල වරළ නීල කොබෙයියෝ .................

සිත වටකර පියාසලන.........

සිතට සුවඳ පවන්සලන ...................

උඩින් ගියත් බිමින් ගියත් .............

මගේ සිතින් ඉගිල නොයන්නේ ......................

අඳුර නිවෙන සොඳුරු සිහින ..................

ම වෙත ගෙනෙන්නේ .................

එරන් මාල එරන් තෝඩු ............

එරන් වළලු නැතෙයි පතන්නේ ........

අමාවකේ නිමා නොවන ....

සිනා බිඳක් රැුගෙන වරෙන්නේ .................


ගීත රචනය - ජී එච් කේ රත්නසිරි

සංගීත නිර්මාණය - චන්ද‍්‍රදාස බෝගෝඩ

ගායනය - ඉන්ද‍්‍රානී බෝගෝඩ

--------------------------
මෙතැනින් සවන්දෙන්න
----------------------------

ගීතය වාදනය කරන්නට පෙරාතුව නිවේදක තනතුර හොබවන්නා ගේ මුවින් ’ඉන්ද‍්‍රානී’ නාමය පිටවෙද්දී නිමේෂයක කලපරතරයකදී ශ‍්‍රාවකයෝ කුතුහලයෙන් මත්වී යතී. ඒ එදවස ගීත ලොවේ ජයදද බැන්දූ ’ඉන්ද‍්‍රානී’ තුන්කට්ටුවෙන් ඇය කිනම් සාමාජිකාවදැයි දැනගන්නා තෙක්ය. වරෙක ඇය ජ්‍යෙෂ්ඨතමයා වු ’ඉන්ද‍්‍රානී සේනාරත්න විය හැකිය (එදා ගුවන් විදුලියේ ඇගේ අනන්‍යතාවය හෙළිකළ පරිදි* හෝ පොප් වේගරිද්ම ගායිකාව වූ ’ඉන්ද‍්‍රානී පෙරේරා’ ද විය හැකි අතර ඇතැම්විට අධූනික ගායිකා ’ඉන්ද‍්‍රානී බෝගෝඩ’ ද වන්නට හැකිය.

සාලයේ දැවැන්ත රේඩියෝ පෙට්ටිය අසල ගැවසෙමින් සිටිනා  ගී ශ‍්‍රාවකයන්ගේ කසුකුසුව මතුවෙයි.............

’අන්න අන්න ’සඳකිඳුරී මා .................. ’ යන්න හදනවෝ ...................... ආ නෑ.... නෑ ............... ’ඈත එපිට සඳවටකර තරු පායනවා ......... ද ? ඔබේ කටහඞ තාම මතකයි ... වෙන්න ඇති .... අනේ නෑ දෙන්නාම නෙවයි ඒ ඉන්ද‍්‍රනි බෝගෝඩ ගේ නේ ....................’


නිර්මාපකයා ගේ අනන්‍යතාවය සැගවී දශක දෙකක ඇවැමෙන් ඇයට ඔහු අහඹු ලෙස මුණගැසී පසුව මෙම නිර්මාණයට පාදක වූ නිමිත්ත ද ඔහු විසින් හෙළිදරවු කරන ලදී.

’එක් දිනක් මා නිවසට යන්නට රැුඳි සිටි බස්නැවතුමේ සොඳුරු වදනින් සන්තර්පනය වෙන යොවුන් යුවළකි. අපිළිවෙලට හිසපීරූ අවලස්සන කාල වර්ණ දේහයක් හෙබි ඔහු පැහැපත් සුන්දර වත කමලකින් හෙබි සිය අදරවන්තිය හා ළංවී බස් තෙපලමින් සිටී.

 ගැමිජනවහරේ ’තැඹිලි ගෙඩිය මත වැසු කපුටා’ කියමන සරි ඇය ආදරය කරණ ’නීල වර්ණ නීල කොබෙයියා’ ගේ පවත බිහිවුනේ එයාකාරයෙනි.

1970 දශකය  නම් වූ ලාංකීය ගීත කලා වංශ කථාවේ සකල යස ඉසුරු සපිරි  ’දුටුගැමුණු’ යුගයේ ’ඉන්ද‍්‍රානී බෝගෝඩ’ නම් වු ගාන්ධර්ව යුවතියගේ ’ගී ස්වයංවරය’ එසේ සටහන් විය යුත්තේය.

එදා ඇසුණු ගී - ගී මුතුමාලා බ්ලොග් සටහන් පෙළ
ප‍්‍රභාත් රාජසූරිය 

2019 උඳුවප් මසින් සතරවැනි දිනයේදීය.


Tuesday, October 8, 2019

සංගීතඥ එච් එම් ජයවර්ධන මතක සැමරුම් - HM Jayawardena

වෙල්ලස්සෙන් කොළොම්පුරට  - සිරිලක ගුවන සිසාරා ඇසුණු  වස්දඞුරාවය  ..............(II)

ගුවන් විදුලියේ  රිජ්වේ තිලකරත්න යුගයේ එයින් දිනපතා නිතිපතා නව ගීත නව වැඩසටහන් ගණනාවක් ඔස්සේ බිහිවෙද්දී ඊට මුල් වී උරදුන්නේ එවකට එහි වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙස සේවය කල ප‍්‍රවිණ සිනමා ගී ගායන ශිල්පිනී ජී එස් බී රාණි පෙරේරා ය. ඇය ගේ වැඩසටහන් ඔස්සේ එඩ්වර්ඩ් ජයකොඩි බන්දුල විජේවිර වැනි එවක අධුනිකයන් ගේ ගීත ද කළ එළි දුටුවේය. 

සෝමදාස ඇල්විටිගලයන් යටතේ පැවති ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ වස්දඞුරාව නගන්නට සැදී පැහැදී සිටි දෙවැන්නා ’එච් එම්’ ය. පළමුවැන්නා ’එම් ඩබ්ලිව් පීරිස්’ ය. 1970 දශකයේ ගුවන් වා තලය සිසාරා නැගුනු ගුවන් විදුලි ගී වස්දඞුවෙන් හැඩවූයේ යම්සේද ඒවා එකිනෙක පාසා  රසගැන්වූයේ මේ දෙපොළගේ වැයුමෙනි.

ඈත වෙල්ලස්සේ සියඹලාන්ඩුවේ කෙත් යාය කොනින් දිනකර මුවා වි ගිමන් හරින්නට සමුගෙන ගිය යාමයේ ඒ සිසාරා ඇදී ආ බට ලී හඞ එයාකාරයෙන්ම දැන් ඇසෙන්නේ කලබල කොළොම්පුරයේ ගුවන් විදුලි මැදිරියෙනි. එහෙත් එහි සුන්දරත්වය රසමිහිර අංශුමාත‍්‍රයකින් හෝ වෙනස් නොවුන බවට සහතිකයයි මේ. ඒ පාවී එන බටනලා හඞ ඔස්සේ ඔහු ශ‍්‍රාවක ඔබව ඔහුගේ ඒ සුන්දර ගම්පියස වෙත කැඳවාගෙන යන්නට සුදානම්ය. නිල් වියනක සිරි අසිරිය විඳිමින් පියනගනු මැනවි ඔබ ඔහුගේ ගම්පියස වෙත.



මට තනි නැත නුඹ නාඩන් සුරතළියේ......

පේ‍්‍රමාලිංගන නැතුවට අහිමි පෙමට බිඳුනු සිතට....

මම නොතැවෙන්නෙම්......
---------------------------------------
පද රචනය - ප‍්‍රවින පුවත්පත් කලාවේදී සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ

තනුව සහ සංගීතය  - නැසිගිය එච් එම් ජයවර්ධන

නිෂ්පාදිත යුගය - 1975 පමණ (ගුවන් විදුලි ගීතයකි)
-----------------------------------
මෙතැනින් සවදෙන්න


Podcast Hosting - Download Audio - ගී තැටි යුගයේ නිමාව සනිටුහන් කල ’කැසට්’ ගී යුගයේ භාරදුර කර්තව්‍යයක් ඉටු කරන්නට ඔහුට පැවරෙද්දී එහි පුර්වගාමී වෙළඳ තැටි ගීත උදෙසාද ඔහු ගේ තනු නිර්මාණයේ පහන් අලෝකය යොමුවී අවසන්ය.


නවාතැන් පොල ඔබයි  - ඔබගේ සිනාවයි

ජීවිතේ දිගු වන්දනා ගමනේ 

අලයේ වන බිගුන් බමනා

පේ‍්‍රමයේ ජල තරග නැගෙනා

නිල්ල දිවෙනා නිම්නයේ

සදා උනුසුම් නවාතැන ඔබ

(මහාචාර්ය සුනිල් ආරියරත්න ගී පද - ආචාර්ය නන්දා මාලිනී -  සිංග්ලංකා කැසට්පටය - 1982)
--------------------------------
මෙතැනින් සවන්දෙන්න
Listen Music Files - Audio Hosting -

70 දශකයේ ගුවන් විදුලියේ ’කිකිණි’ නාදය සතු ගැමියුවතිය වු ඇය ’බී ඇස් මාලිනී’ හෙවත් බුලත්සිංහලගේ ’මාලිනීය. ඇය සිය කුඩා නැගනිය වු ’සන්ධ්‍යා’ ද කැටුව එහි විත් නෙක වැඩසටහන් උදෙසා හඞ අවදිකරන්නී සියඹලාන්ඩුවේ ගැමි යව්වනයා ’එච් එම්’ ගේ නෙත් පහර ලබන්නීය.

80 දශකය උදාවෙද්දී කැසට් ගී කලාවේ ස්වර්ණ යුගය නැගඑමින් ගුවන් විදුලි ගීයේ වසන්ත යුගය පෑල දොරින් පලවා හරින ලද්දේය. ’එච් එම්  - මාලිනී’ දම්පතීන් ලංකීය ගීත කලාවේ නව ප‍්‍රවණතාවය අනුව යමින් විකුම් පාමින් සිටියහ. 

මාලිනිය දිවා ? සංදර්ශන වේදිකවේ හඞ අවදිකරද්දී එච් එම් ගේ දෙවැනි නිවහන ද නවාතැන් පොළ ද  ශබ්දාගාරයන් බවට පත්විය.  ලද විරාමයෙන් කිරිකැටි දියණියගේ මොළකැටි වදනින් සැනහෙමින් සිය වෙහෙස දුරුකරගත්හ.

ඇස පිනවන  නෙක විසිතුරු භාන්ඩයන්ගෙන් ද දිව පිනවන රසමසවුළෙන්ද  කඩ සල්පිල් පිරි යද්දී ඒ හා අත්වැල් බැඳගත්තේ පෙර නොවූ විරූ ’රෝග ව්‍යාධීන්’ය.

මදුරු දෂ්ඨයක ප‍්‍රතිඵලයක් ලෙසින් එවකට පැතිරෙමින් තිබූ වසංගත රෝගයකට ගොදුරු වූ ඔවුන්ගේ එකම බිළිඳියගේ වියෝව සංවේදී ඔහුගේ කලාකාමි හදවත සසල කළේය.

උමතුවෙන් මෙන් ඔහු සිය දියණිය සදා නින්දේ සැතපෙන කුටිරය මත වැතිර සිටියේය ..දින සති ගණනක් එසේ කලේය...

ඉනුදු කලකට පසු ඔවුන් ගේ කැදැල්ලේ ලැගුම් සොයා සපැමිණි කුමරා ’කසුන් කල්හාර’ ගේ මොළකැටි වදනින් සෝ සංකා තැවුල් දුරු වී ගියේය.

තවත් දශකයකුත් පස් වසක් ගතවී තිබිනි. මාලිනිය ගී රස මිහිර බෙදා දෙනු පිනිස දුරු රට පියමං කලාය. ඇය එතැන් හි සිට සිය දයාබර සැමියා ගේ සෙවණ සොයා එනු වෙනුවට නොපෙනෙන ලොවක වෙසෙනා අදරණීය දියණිය සොයා නොකියාම යන්නට ගියාය.

ඔහු යෞවනයේ එළිපත්තේ සිටි පුතු කසුන් හා හුදකලා විය. 
  
එහෙත් ඔහුගේ අතැගිලි තුඩු අතරින් පෙරී ආ රසමියැසි ධාරාවන් මදකුදු මිලින ව නොගියේය. එතෙකුදු මේ ගාන්ධර්වයා මෙළොව ලැගුම් සොයා පැමිණි ’මිනිස් කය’ ට මනුලොව දහමෙන් වසන් වී සිටිය නොහැකි විය. ඔහු ගත දිනෙන් දින දුබල විය. එය ඔහු කරන්නට කියන්නට නියමිත බොහෝ දේ වැළැක්වීය. 

තතු විමසා දැන ගත් පරිදි ඔහුගේ ’වකුගඩු’ අකර්මන්‍ය වී ඇතැයි දැන ගන්නට ලැබ ඊට නියමිත පිළියම් යොදන්නට ඔහු සිය කාලය ද ශ‍්‍රමය ද ධනය ද වැය කරන්නට විය. 

ලාංකීය සිහල ගී රස මිහිර මැවු බොහෝ ගාන්ධර්වයන් මෙහි රැුඳි සිටි කාලය ඉක්මවා යන්නට ඔහුට ද අවසර නොවුන සේය. එච් එම් ජයවර්ධන නම් වූ ඔහු ලක්දනා සිය වසන්ත උළෙලේ සිරියෙන් මත්වෙද්දී 2019 වසින් බක් මස දසවැනි දිනයේ සැන්දෑ යාමයේ මළහිරු බැස යද්දී සිය දියණිය සහ දයාබර බිරිඳ සොයා නික්ම ගියේය.

එනමුදු චතුර් දශකයක දිගු යුගයක් ඉක්මවා ඔහු එක්තැන් කල සොඳුරු ස්වර රටා හෙළ ගී පවතින තුරා අමර වරම ලබනු නිසැකය.

එච් එම් ජයවර්ධන ගී මුතු දාමයේ  බිඳක්


නීල වර්ණ වන වදුලේ - ටී එම් ජයරත්න - තිලකරත්න කුරුවිට බන්ඩාර


මේ පුංචි රටේ - ටී එම් - කුලරත්න ආරියවංශ


රත්තරන් නෙත් දෙකින් - කුලරත්න ආරියවංශ


උඩ අහසේ තරු ගානේ  - නීලා වික‍්‍රමසිංහ තිලකරත්න කුරුවිට බන්ඩාර


පිණිබිඳු විසිරෙන සීතල හිමිදිරියේ - මාලිනි බුලත්සිංහල - දයා ද අල්විස්


මා එක්කලා අමනාපව - මාලිනි බුලත්සිංහල - පේ‍්‍රමකීර්ති ද අල්විස්


වී පැදුරෙන් ඉගිලී යන - ක‍්‍රිශාන්ත එරන්දක - මහින්ද දිසානායක


ඔබයි රම්‍ය සඳ කිරණ - නන්දා මාලිනී - මහාචාර්ය සුනිල් ආරියරත්න


එක යායට මල් පීදුනු - සංගීත් නිපුන් සනත් නන්දසිරි - සුනිල් ආරියරත්න


චේතනා පරිශුද්ධ වූවත්  - සනත් නන්දසිරි - සුනිල් ආරියරත්න


ඔබ හා මෙමා අතිනත් අරන් - ටී එම් - විමලා රංජනී පීරිස්


ළබැඳි සබඳ ඔබ කිමද තැවෙන්නේ - ඉන්ද‍්‍රානී බෝගොඩ - ධර්මදාස
පරණගම


එක යායේ කකා වැටී - බන්දුල විජේවිර - සුනිල් එදිරිසිංහ  - (මංගල
තෑග්ග - 1987)  - පේ‍්‍රමකීරති ද අල්විස්

මා හඞනා කදුඵ ගලා - නන්දා මාලිනී - සුනිල් ආරියරත්න
කඩමන්ඩියේ දොළ අයිනේ -නන්දා මාලිනී - සුනිල් ආරියරත්න
පෙම්ලොව දී දුටු ඔහුමද මේ - නන්දා මාලිනී - සුනිල් ආරියරත්න
සිනාවකින් පුතුගේ මුවේ - විජය කුමාරතුංග - මාලිනි බුලත්සිංහල
(ආරාධනා  - 1981) - සුනිල් සරත් පෙරේරා

නෙළා ගන්න බෑ මගේ අත දිග නෑ - නන්දා මාලිනී - සුනිල් ආරියරත්න
දුවයි පුතයි මමයි අපි - මාලිනි බුලත්සිංහල - සුනිල් ආරියරත්න
රෝස කුසුමක් පිපේවී - නන්දා මාලිනී - සුනිල් ආරියරත්න
අම්මා බුදුවේවා - මාලිනි බුලත්සිංහල - සුනිල් ආරියරත්න
මධුර පේ‍්‍රම කල්පනා  - නන්දා මාලිනී - කුලරත්න ආරිවංශ
හංස ගීයද ගයන්නේ - නන්දා මාලිනී - සුනිල් ආරියරත්න
පූජාසනයේ ඔබ හිඳුවා - නන්දා මාලිනී - සුනිල් ආරියරත්න
සක්වල තලයේ සොයා බලා - සෝමතිලක ජයමහ - සුනිල් ආරියරත්න
නවාතැන් පොළ ඔබයි - නන්දා මාලිනී - සුනිල් ආරියරත්න
පුංචි පුංචි රංචු එක්වෙලා - නන්දා මාලිනී - සුනිල් ආරියරත්න
පේ‍්‍රමය නම් රාගයෙන් තොර - නන්දා මාලිනී - සුනිල් ආරියරත්න
පිළිම නෙලා නැති විරුවන් - නන්දා මාලිනී - සුනිල් ආරියරත්න
වරදින්නේ නැත මට හිමි බත්පත - රෝහණ සිරිවර්ධන - සුනිල්
ආරියරත්න

දෙවොලේ නොකැළැල් - සුනිල් එදිරිසංහ - සුනිල් ආරියරත්න
මධු බඳුන් දෙතොල් විෂ බඳුන් - නිර්මලා රණතුංග - සුනිල් ආරියරත්න
කැළැමල් පිපේ සුවඳ දිදී - සුනිල් එදිරිසිංහ (කැළෑමල් - 1982) - සුනිල් ආරියරත්න
පහන් කන්ද මුල අඳුරුයි - නන්දා මාලිනී - සුනිල් ආරියරත්න
බුදු තාත්තේ බොන්න එපා - නන්දා මාලිනී - සුනිල් ආරියරත්න
මේ ජීවන ගංගාධාරයේ - නන්දා මාලිනී - සුනිල් ආරියරත්න
----------------  --------  --(සමාප්තයි)---------------------
එදා ඇසුනු ගී බ්ලොග් අඩවිය - 2019 වප් මස

Tuesday, September 3, 2019

සංගීතඥ එච් එම් ජයවර්ධන මතක සැමරුම් - HM Jayawardena

වෙල්ලස්සෙන් කොළොම්පුරට  - සිරිලක ගුවන සිසාරා ඇසුණු  වස්දඞුරාවය  ..............01 


සොබා සොඳුරු බව කැටිකොටගත් අදින් අඩසියවසකට පෙර ඌව වෙල්ලස්ස එහි වත්මන් පරිසරයට වඩා බෙහෙවින් වෙනස් ව තිබිනි ඉංග‍්‍රිසී පාලන යුගයේදී දිස්ත‍්‍රික්ක විසිගනනකට අධික සංඛ්‍යාවකවකට කැබැලි කරනු ලැබූ ලක්දිව විසල් බවෙන් අනුරපුර දිස්ත‍්‍රික්කයට පමණක් දෙවැනි වන මොණරාගල පෙර රජ දවස වෙල්ලස්ස ලෙසින් නම්වුයේ එහි සිතිජ ඉම තෙක් පැතිර තිබු නිල්ල ගැසුනු සුවිසල් කෙත්වතු නිසා යැයි කියැවේ

එහි වැස්සන් අතරින් බොහොමයක් අදද සිය පදෙසටම ආවේනික ප‍්‍රාදේශිය බස්වහරක් පවත්වාගෙන යන ගැමියන්ය  පරසිඳු දුටුගැමුණු - එළාර සංග‍්‍රාම යුගය දක්වා දුර ඈත ඉතිහාසයක අමිල නිධන් සගවාගත් ඒ බිමයාය උදෙසා ලියැවුනු කව් - ගී - ගැදි පැදි නිමැයුම් ද සුඵපටු නොවේ

බාහිර ලෝකය හා සිමිත සබඳතා පවත්වාගන්නට රිසි වු එහි වැසියන් හට යම්තමින් හෝ නවලොව අරුණඵ අංශු මාත‍්‍ර පමණින් විවිර වුයේ මේ පුවතට පසුබිම් වු 60 දශකයේදී වන්නට ඇත

දිවයිනේ සෙසු වැසියන් සියවසකට ආසන්න යුගයක සිටි භුක්ති විඳි තැපැල් සේවය මෙබිම වාසභූමිය කොටගත් සියඹලාන්ඩුව වැසි ගැමියන් උදෙසා දියත් වුවා පමණි එහි ගොඩගැසෙන තැපැල් මලු කර ලා බයිසිකලය පැදයන එගම් වැසි  යෞවනයා ද සිප්හලට සමුදුන්නා පමණකි 

තමනට පැවරුනු රාජකාරියෙන් ඉසිඹු ලබනට දිනකර මුදාහළ සැඩ දාහයෙන් අඳුරු පැහැගැන්වුනු ඔහු සිය ගත පුර පිපි නැගී ආ ඩා බිඳු පිසලමින් පා පැදිය ගාල් කරයි

ඊලග නිමේෂයේ සුළං කුමරිය නංවන තාලයට රගනා බන්ඩි ගොයම් අතරින් දිව යන ඔහු සිය අතරැුඳි වස්දඞුව මුවට ලංකරගන්නේ හාත්පස ගී රාවය නංවන සියොතුන් හා තරග කරන්නටය

පැටිවියේ පටන් සම් මස් ඇට නහර විනිවිද පැතිර ගිය මේ ගීනද රසයෙන් කෙසේනම් මිදෙන්නද ? ඔහු සිතන්නට ඇත

 ලොව ඇති සියඵ රාජකාරි පසේක තිබියේවා මා ලද හැකි හැම මොහොතකම මෙසේ වයන්නෙමි මේ මගේ ආත්මිය සහකරුවායි සිය අදරණිය වස්දඞුව තුරුඵ කරගනිමින් ඔහු සිතයි

ගලන ගගකි ජිවිතේ - දායඵ ලෝකයේ....

මිහිර පතා ආදරේ - ළපඵ නටයි ගං තෙරේ....

පෙරදිනක සිය සිප්හලේදී වැයු අයුර ඔහුට මැවි පෙනයි අදත් හෙටත් මතු මතුත් දිවි තිබෙන තුරා වයන්නෙමි මම එසේ ඔහු ඉටාගත්තේය

ඔහු  පියුං මහතැන් ගේ පරම ගාම්භීර කාකි ඇඳුමට සමුදෙන්නට තිරණය කලේය  පසුවදා සිට වෙල් එළියේ කුඹුක් ගස් සෙවනේ කරඹ යායේ කොනේ ගාල් වී සැඩහිරු රැුස් ගෙවියන තුරු සොමිසඳ කැන් පෙරීඑන තුරු වයන්නට හැකි නොවේද ?

එදිනෙදා ඇවැසි දෑ අල්ප වු ඒ යුගයේ කුස ගිනි නිවාගන්නට සරි යමක් සපයා ගන්නට අරගලයක් ඇවැසි නොවු ඒ යුගයේ එගම් වැස්සන් හට  මාසික වේතන ලද රැුකියා එතරම් වැදගත් නොවන්නට ඇත

යමං මැණික් ගරන්ට ....................

මිතුරු කොඵගැටයෙකු ගේ ඒ කියුම ද නරකම නැත ... ඔව් මම කැමති අපි කරමු ................... ඔහු ගේ පිළිවදනයි

මොනරාගල ඔක්කම්පිටිය බදුල්ල ලොව කාන්තියෙන් බබළවා ලූ මිණිකැට මතුවන බිම පදෙස් අතර වෙයි

රතු - නිල්  - ආරනූල් - පසිංගල් - කැට   කෙසේවෙතදු දිනපතා නිතිපතා  බොරඵ කැට කුඩා ගනනින් ලැබුනු ඔහු වහා  ඒ රඵපරඵ දිවියෙන් ද සමුගත්තේය


තමා පෙරදිනක සිය සිප්හලේ වැයු ගී නාදයේ රසමිහිර සිහිගැන්වුනු ඔහුට  පුරාන වෙල්ලස්සෙන් රුහුුණු රට මාගම් පුරයට පිවිසෙන්නට  සිත්විය ඒ ගී නාදයේ බයස්කෝප් රූපරාමුවේ දිස්වු සිහින කුමරා වසනුයේ එහි නොවේද ? 

හම්බන්තොට වීරවිල වෙරළ ඉම පේන මායිමේ දිස්වු සැනසුම නාමපුවරුව ඇසගැසුනු වහාම තම ආගිය තොරතුරු පවසා එහි හිමිකරුවා මුණගැසෙන්නට පැමිණිය වග දැන්වීය 

ගාමිණි  සර් අද මෙහෙ නෑ .........................

එසේ එක් සිහින මාලිගාවක් සුනුවිසුනු වෙද්දී තවත් එකක් එතැන ගන්නට පැමිනියේය එයින් කියවුනේ දකුනු ලකේ අග නගරයට යන ලෙසය

ගාලු පුරයේ රිච්මන්ඩ් කන්ද නැගි මේ අඳුරු පැහැ කෙසග මිනිසා ගේ ඊලග සිහිනය විජයානන්ද දහනායක මැතිඳු මුණගැසීමය

සර් මම රස්සාවක් හොයාගෙන ආවේ සියඹලාන්ඩුව ඉඳලා ......................

ඇයි එච්චර ඈත ගමක ඉඳං මෙච්චර දුර ආවේ .............රස්තියාදු ගහන්න එපා .........මේ සල්ලි අරන් ගෙදර යනවා .......................

අවවාදය ලැබුනේ රුපියල් විස්සක තරම් ලොකු මුදලක් මිට මොළවද්දීය

මාස ගණනකට පසුව සියඹලාන්ඩුවේ ගැමියන් හට යළිත් තමන්ට හුරුපුරුදු හින්දෑරි කොඵගැටයා ගේ රුව උදේ හවා දකින්නට ලැබිනි ඒ මෙවර වෙල් ඉපනැලේලේ ගසකට බරදී බටනලා වයන්නා නොවේ වැඩබිම් වල අත්උදව් කරුවෙකි

තවත් කලක් ගතවෙද්දී ඔහු බුරුත - හල්මිල්ල -  වීර -  පඵ පඵ ගසන්නෙකු ලෙස ඔවුන් දුටුවේය ......

මද කලකින් නැවතත්  සියඹලාන්ඩුවේ අපුරු වාදකයා ආගිය අතක් නොවිණි 

තම පුතු ගැන ලැබුනු පනිවුඩයකින් අනුව ඔහුගේ පියා කඩිමුඩියේ ඈත හිමයේ වන වදුල පීරා රිංගා යද්දී ඔහු නිල්ල ගැසී පිදී ගිය එක්තරා සරුයායක සිරි නරඹමින් සිටිනු දකින්නට පියා ගේ නෙත් පින් නොව පව්කර තිබුනේය  


මොනවද උඹ මේ කරන්නේ ...?

මාත් ඉතිං ජීවත්වෙන්න එැපැයැ අප්පච්චි .....

අපේ පරපුරේ උන් මේ වා කරලා නෑ නොකා මළත් මේවා කරන්න එපා ..................

ත්‍රෛලෝකවිජයපත‍්‍ර වගාව පැළ ඉදිරි අහසින් විසිවි යන්නට පටන් ගත්තේය

දැන් නැවතත් වාදකයා ගම්මානයේය ... සියඹලාන්ඩුවේ නව තැපැල් පියුං උන්නැහේ ගේ සිණු නාදය ඔහුගේ දොරකඩ නාදවීමේ අරුමය කිමද ? 


හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන ..... නමට ලියුං කරදහියක් ආංඩුවේ රේඩියෝ සිලෝන් එකෙන් ......................

ඔහු පස්වනක් ප‍්‍රිතියෙන් පිනා ගියේය මෙතරම් සතුටක් .... කවර දිනක හෝ පෙර  අත්දකින්නට ලැබුනු වගක් මතක නැත.... තමන් මෑත දිනක කඩමන්ඩියේ පුවත්පත් දැන්විමට ලියු ලිපියට පිළීතුරක් ලැබි ඇත

ඔහු දුරබැහැර සිට අගනුවරට පිවිසියේය නමුත් ඒ ගුවන් විදුලි සම්මුඛ පරික්‍ෂණය මුහුණදෙන්නට නොවේ  තමන්ගේ කටයුත්ත වඩාත් හොඳින් පහසුවෙන් කරගැන්මට හැකි කෙටි ක‍්‍රමය පිළිබඳව ඔහු හොඳින්ම දැනුවත්ය 


-----------------------------------

නීල වර්ණ වන වදුලේ .....

කුරුඵ පේ‍්‍රම ගී අතරේ ..........

සයුරු සමිඳු වැළඳ ගන්ට ...............

පෙම් දියවර ගලා හැලේ .................

පද සංකලනය - ප‍්‍රවිණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බන්ඩාර

ගැයුම - ටී එම් ජයරත්න

(තරංගා ලේබලයේ වෙළඳ තැටියකි - 1979)
--------------------------------------------------
මෙතැනින් සවන්දෙන්න

රජයේ ආයතනයන් හි රැුකියා ලබාගැනීමේ සාම්ප‍්‍රදායික නොවන ජනප‍්‍රිය හුරුපුරුදු ක‍්‍රමවේදය වඩාත් ආරක්‍ෂාකාරි මෙන්ම ස්ථිරසාර යැයි ද ඔහු සිතුවේය

දුරබැහැර සිට එන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ගේ නේවාසිකාගාරය වු ශ‍්‍රාවස්තිය කරා පිවිස  තම ප‍්‍රදේශය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා මුණගැසීම එකී පහසු කෙටි ක‍්‍රමයයි නියමිත දිනය එළඹියේය  ඒ ප‍්‍රභූවරයා ගේ නිර්දේශය සහිත ලියැවිල්ල එදවස ගුවන් විදුලියේ සංගීත පාලක තනතුර හෙබවු කීර්තිධර සම්මානනීය ජ්‍යෙෂ්ඨ සංගීතවේදී සෝමදාස ඇල්විටිගලයන් අතට ලැබි ඇත

මේ මන්ත‍්‍රි ලියුම් අපිට වැඩක් නෑ ................ හෙට එනවා පරික්‍ෂණයේදී තමුන්ගේ හැකියාව පෙන්නන්න පුඵවන් .....

ලැබුනු පිළිතුරයි ........

බදුල්ලේ දී සිය ගුරුපියෙකු ලෙස කටයුතු කල වසන්ත ඔබේසේකරයන් ඔහුට සිහිවිය ඇල්විටිගල ශූරීන් සහ ඔහු සමිපතමයන්ය දෙදෙනා එක්ව වසර කිහිපයකට ඉහත දී හෙළ සිනමාවේ සිදු කළ පෙරළිය ඒ අපුර්ව සිනමා පටය වු සත්සමුදුර එහි මෝහනීය සංගීත රටා  ..සංවේදී දෙබස් ඛාන්ඩ .... ඔහුගේ මතකයේ රූප දසුන් මවමින් ඇදී ගියේය

ආත්ම ධෛර්ය සිඳබිඳනොගත් ඔහු කෙසේ කවර කැපකිරීමක් කරමින් හෝ තම උත්සහය මල්ඵල ගන්වන්නට කැස කැවීය

වසන්ත ඔබේසේකරයන් මුණ ගැසී ඔහුගේ ලියුම් කරදහියක් ද ලබාගැනීමේ ඔහුගේ  සිහිනය සැබෑ කර ගත්තේය

ඉන් ඉක්බිති ....වසර ගණනක් පුරා තැන තැන මුළා වෙමින් විඳි දුක් කම්කටොඵ ඔහුට සිහි වන්නට ඇත ... අවසානයේ තමා ගේ ආදරණිය වස්දඞුව .... ළපටි වියේ සිට ගමේ වෙල් එළියේ ඉපනැල්ලේ  ගාටමින් ගී තාල වයමින් සිදුකළ සිය ප‍්‍රියතම විනෝදාංශය සිය ජීවන මාර්ගය බවට පත් වන්නට වැඩ කටයුතු යෙදෙන තීරාණාත්මක මෙහොත හෙට උදාවනු ඇද්ද ?

පරික්‍ෂණ මන්ඩලයේ අසුන්ගෙන සිටියේ සිංහල සංගීතයේ මහ පුරුෂයාණෝය ඒ පන්ඩිත් අමරදේවයන් ය ගීයක අනුවැයිමක් සිදුකර පෙන්වන ලෙස එතුමෝ ගේ අභියෝගයකි

ඔහු ගීතයක් වයන්නට විය 

අමරදේවයන් ගේ වතකමල පිබිද නැගී එන අයුරු ඔහු ගේ නෙත්කොන් දසුනේ ඇඳිගියේය

සත් සමුදුරේදී හෙළ ගීතය නවමගකට යොමුකරමින් යුග පෙරළියක් සිදුකල  මේ මහා සංගීතවේදීන් දෙදෙනා අතර මන්ත‍්‍රනයකි

හරි .... තමුන් ව අපි තෝරාගත්තා ................. 

පසුකලදී හෙළ සරල ගීතය  වඩ වඩාත් සොඳුරු කරවන්නට අමයුරු සුමධුර රසපුර්ණ භාවපුර්ණ සංවේදී සත්සර රටා බිහිකල ගාන්ධර්වයෙකුගේ නිර්මාණ දිවිගමන එතැන් සිට එඅයුරින් ඇරඹිනි

සංගීතයේ අල - වැල - මුලගිය තැන් හදාරා නැති හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන ගේ මුවින් නැගී ආ වායුදහරාව වස්දඞුව කිතිකවද්දී ඔහුගේ අතැගිලි තුඩින් හාර්මෝනියමෙන් මතුවි ආ මධුරමනෝහර තනු දහරා රසිකයන්ගේ හදවත එදා සිට කිතිකවමින් සිටී.

ගුවන් විදුලියේ ද සිංහල සංගීතයේදී වසන්ත සමය උදා වී තිබූ යුගය ’70’ දශකය ලෙසින් නම්කෙරුනේ නම් ඒ යුගයේ පරසිඳු  එකී ගී තනු අතර ඔහුගේ නිර්මාණ ද එමටය.

හාත්පස එකලු කරන්නට විදුලි මිනි පහන්ද ශබ්ද දුෂණය නංවන්නට  විවිධාකාර විද්යුත් මේවලම් ද හිඳ හිට හෝ දකින්ට නොවූ එදා ගම් පියසේ හුදකලා නිසල බව සොඳුරු ලෙස බිඳලුයේ එච් එම් ජයවර්ධනවරුන් ගේ ’වස්දඞු’ රාවයයි. සැඳැ අඳුර ගලා එද්දී විදුලි කෝෂ යුග්මයකින් පමන බලගැන්වූ කුඩා රේඩියෝවෙන් නිසොල්මනේ නැගෙන සංගීත රාවය සිත පහන් කර දැහැනට සමකරවයි. 

ඔබ හා මෙමා අතිනත් අරන් .....................

අපගේ ලොවේ තනිවූ එදා ...............

ඔබ මා දෙපා දෑතින් බදා .............

සිපගත් එදා සිහිවෙනවා ....................
--------------------------------------------
ගැයුම- ටී එම් ජයරත්න

පද සංකල්පනය  - විමලා රංජනී පීරිස් (ගුවන් විදුලි අධ්‍යක්‍ෂ ජනරාල් රිජ්වේ තිලකරත්න ගී සංකල්පනා උදෙසා යෙදූ අන්වර්ථ නාමයකි)

-------------------------------
මෙතැනින් සවන්දෙන්න


මතු කියවීම තෙක් විරාමය...................
(විශේෂ ස්තුතිය උපුටා ගැනීම - රස මතක අසිරිය - විජිත් කුමාර් සේනාරත්න මහතා)


Tuesday, August 6, 2019

සංස්කෘත නාද රසය හෙළ ගීයෙන්..........02

"සගිස්කුරුත" - 02 - සිංහල ගීතාවලියේ රැව්දෙන සංස්කෘත වදන් මහිම..................


තත්සම නමින් හැඳින්වෙන පාලි සංස්කෘත වදන් රාශියකින් සුපෝෂිත හෙළ බස් වහර ලොව ගීතවත් භාෂාවන් අතරින් එකකි. සුමධුර තනු උදෙසා වදන් පෙළගැස්වූ උක්ත භාෂාවන්හි නිපුණයන් වු එදවස ගී පද රචකයන් ගේ නිර්මාණ අරුත්බර බවින් නොමිදුනේ ඒ නිසා ද විය හැකිය. 

1940 දශකයේ හෙළ හවුලේ සාමාජික භවතුන් වූ රැුයිපියෙල් තෙන්නකෝන්  හියුබත් දිසානායක වැනි කිහිප දෙනෙකු හැරුනුවිට ඔවුන්ගේ පසුකාලීනයන් වූු ගී පද නිර්මාපකයන් කිසිවෙකු හටත් කිරාමැන පෙරා වෙන්කර ගත් හෙළ වදන් පමණක් ගැබ් වූ ගීත බිහිකරන්නට අපොහොසත් වී ඇති බව පෙනියයි. 

මක්නිසාද යත් පාලි සංස්කෘත වදන් වලින් බැහැරව එය ඉතා අසිරු කටයුත්තක් වූ නිසා වන්නට ඇත.

පෙර කී ලිපියේ සඳහන් වූ පන්ඩිත් විමල් අබේසුන්දරයන් 1950 දශකයේ ගුවන් විදුලියේ පැවතී පසුව අභාවයට ගිය සුවිශේෂී සංගීතමය විචිත‍්‍රාංගයක් වූ ’ගීත නටාකයන්’ වෙනුවෙන් පද එක්තැන් කරන්නට උත්සුක විය. ඔහු එයින් එකී කලාවේ පුරෝගාමි ශ‍්‍රී චන්ද‍්‍රරත්න මානවසිංහයන්ගේ අනුප‍්‍රාප්තිකයෙකි.

50 දශකයේ අවසන් භාගයේ විරචිත ’ලංකා’ නම් ගීත නාටකය වෙනුවෙන් ඔහු ඉදිරිපත් කරන ලද මෙම නිර්මාණය ද පන්ඩිත් අබේසුන්දරයන්ගේ භාෂා ප‍්‍රවිණත්වය පාන්ඩිත්‍යයය හුවා දක්වන්නට අගනේය වටනේය. එහි ගැයුම විශාරද දයාරත්න රණතුංග ඇඵ පිරිසගෙනි. තනු නිර්මාණය පී ඩංස්ටන් ද සිල්වා සංගීතවේදියාගෙනි.


ධර්මදීපනී ලංකා ධරණී.....

පුජීත ලංකා මාතාවෝ.....

යුග යුග වන්දිත සෝබා නන්දිත....

ධීර වීර ගති පෑවෝ ....

ශෂ්‍ය සාදනී ලංකා ධරණී.....

-------------------
පද රචනය - කිවිපති විමල් අබේසුන්දර 

තනුව - පී ඩංස්ටන්ද සිල්වා

----------------------------
මෙතැනින් සවන්දෙන්න
Play Music - Embed Audio -

කලක රිවිකිරණ ලක් පොළොව සිප සනසන බොහෝ අරුණෝදයන්හීදී ගුවන් තලය සිසිරා විසිර ගිය මේ ගීතය හෙළයේ සංස්කෘත ආභාෂය මොනවට පසක් කරදෙයි.

යම් වදනක මහප‍්‍රාණ අක්ෂර ඇතුළත් වේද එය පාලි හෝ සංස්කෘත බස්වහරෙන් නිපැයෙන බව හෙළ භාෂා පඞුවන්ගේ මතයයි. තවත් අයුරකින් පවසන්නේ නම් නොඉඳුල් හෙළබසේ ’මහප‍්‍රාණ’ අක්‍ෂර තිබිය නොහැකි බවකි එයින් කියනුයේ. 

එකී තත්සම වදන් පෙළ හා ඊට අනුරූපි තෝරාගත් සිහල වදන් අතළොස්සකි මේ.

මේවා සංස්කෘතයේද පාලියේද සිංහලයේද එකලෙස සමාන අරුතෙන් යෙදෙයි.

අපර, උරග, මනහර, නගර, කුලපති, ජය, දායක, නයන, ගජ, යෝග, ගායන, ආරාම, භූමි, ගුණ, ආදර


1960 දශකයේ දෙවන භාගය ට පිවිසි ලංකාද්වීපය මෙහෙයවූ නියමුවා වුයේ එක්සත් ජාතික පක්‍ෂයේ ’ඩඩ්ලි සේනානායක’ අගමැතිඳුය. ඔහු එහි ආරම්භක සාමාජික පමණක් නොව නිදහස් ලංකාවේ පළමු අග‍්‍රමාත්‍ය ධුරන්ධර මහාමාන්‍ය ’ඩී ඇස් සේනනායක’ ගේ පුත‍්‍ර රත්නයයි.

------------------
අයි එම් ආර් ඒ ඊරියගොල්ල මැතිතුමා - අධ්‍යාපන අමාත්‍ය -  1965-1970
----------------



එකි රජයේ අධ්‍යාපන අමාත්‍ය නිලය හෙබවූයේ සාහිත්‍ය කලා පතාක යෝධයෙකු වු ’අයි එම් ආර් ඒ ඊරියගොල්ලය. අධ්‍යාපන සියවස සමරනුවස් ඔහු අතින් ලියැවෙන්නට ඇතැයි අනුමාන කරන මෙකි ගීතය ගායක ගයිකා සමූහයකගේ ප‍්‍රයන්තයකි


හැම දන මන දිනු සුජාත ධරණී.............

සෞභාග්‍ය නිධානය ලංකා.....

වොරැුඳේ වොරැුඳේ වො?ඳේවා....

සෞභාග්‍ය නිධානය ලංකා.....

---------------------------------
පද රචනය - අයි එම් ආර් ඒ ඊරියගොල්ල
-----------------------------
සවන්දෙන්න මෙතැනින්
Upload Music Files - Listen Audio -


සංස්කෘත බසේ ගායන ලාලිත්‍යය මතුකර දක්වන වදන් මාලා ඇතුලත් ගී සංකල්පනා සිංහල වේදිකා නාට්‍ය රැුගුම්බිම ගිගුම් දුන්නේ පසුගිය සියවසේ මුල් යුගයේ දී ප‍්‍රකට වු ’ටවර් හෝල්’ නාට්‍ය සම්ප‍්‍රදායේදීමය. නිතිඳ චාල්ස් ඩයස් සහ නිතිඥ ජෝන් ද සිල්වා විසින් කරලිය වෙත කැන්දූ ෙඓතිහාසික නාට්‍ය පෙළ රසගැන්වු උත්තර භාරතීය රාගධාරි සංගීත රටා අනුව ඒවා පබැඳුවේ ඔවුන් දෙදෙනාම විසිනි.

1970 දශකයේ මුල් යුගයේදී එවකට සංස්කෘතික අමත්‍ය ධුරය හෙබවු ලක්‍ෂමන් ජයකොඩි මහතාගේ සංකල්පයක් අනුව ඒවා යළි ගයා ප‍්‍රතිනිර්මාණය කෙරෙද්දීත් මෙකී ගැයුම් ඇතුලත් මුල් ග‍්‍රැමෆෝන් තැටි සහ ගීත අභාවයට ගොස් තිබෙන්නට ඇත. එවකට දිවයිනේ ප‍්‍රමුඛතම වෙළඳ තැටි නිෂ්පාදන ආයතනයක් වූ ’සූරිය’ තැටි සමාගමේ ජෙරල්ඩ් වික‍්‍රමසූරිය මහතා එකි අභියෝගය භාරගත් අතර ඒ අනුව සංගීත් නිපුන් සනත් නන්දසිරි මල්කාන්ති - මලිනී බුලත්සිංහ - වික්ටර් රත්නායක සහ පන්ඩිත් අමරදේව ඇතුඵ පිරිසක් ඊට දායකත්වය දැක්වීය.


මේ ගැයුම නිතිඥ චාල්ස් ඩයස් ශූරීන් ගේ ’සිවම්මා ධනපාල’ නූර්තියෙනි. 


දිප ථූප විහාරා යතී පාඵවී....

යතී පඵවී අනේ පාඵවී.....

සිංහලුන්ගේ සාර සාර ශුද්ධ වු ජන්ම භුමි....

සතුරන්ගේ වේය වාස දක්නා මේ මගේ හෘදේ....

කම්පිත වේ බෝ මා සෝක නිවේය භංගා.....
---------------------

පද රචනය - නිතිඥ චාල්ස් ඩයස්


නූර්තිය - සිවම්මා ධනපාල ?

සංගීතය - විශ්වනාත් ලව්ජි

නව සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි

නව ගැයුම - මහාචාර්ය සනත් නන්දසිරි

ප‍්‍රතිනිෂ්පාදනය - සූරිය ලේබලය වෙනුවෙන් ජෙරල්ඩ් වික‍්‍රමසූරිය

උපදෙස් - අමාත්‍ය ලක්‍ෂමන් ජයකොඩි

වසර - 1974 පමණ
----------------------------------------
මෙතැනින් සවන්දෙන්න
--------------------------------
Listen Music Files - Audio Hosting -


මේ ප‍්‍රවණතාවය එසේම නොගිලිහි පවත්වාගන්නට මහෝපකරී වූයේ හෙළයේ වේදිකා නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ යුගපෙරළියක නිරත වු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද‍්‍රයන් විසිනි.  ඔහු සාම්ප‍්‍රදායික ’මනමෙ’ නාඩගමේ තාලරූප අනුව අභිනවයෙන් නිපදවූ  සිය ’මනමේ’ නාට්‍යයේ ගීත උදෙසා බරසාර සංස්කෘත තත්සම වදන් යොදාගත් අතර ඊට ගෙනහැර පෑ හැකි කදිම නිදසුනකි මේ


පේ‍්‍රමයෙන් මන රංජිත වේ නන්දිත වේ....

පුෂ්පයෙන් මන සුන්දර වේ ලංකෘත වේ...

ආලයෙන් වෙලි සෑදි මේ ලතා...

මන්ඩපයෙන් චන්ඩාසැප ඛන්ඩිත වේ...

හිරු රජිඳුගේ...

කෝකිල හඞ කන් පිනවයි රන් ස්වරයයි...

?න ගිරව් දෙන ගී සිංදු අම බිංදු...

සෑම දෙසින් සංගීත ඇසේ...

පිපි තඹරන නද බඹරන....

----------------------------

ප‍්‍රවිණ කිවිවර සාහිතවේදී මහගම සේකරයන් ගේ නිර්මාණයන් අතර වැඩිමනත් සංස්කෘත පද හමුවන්නේ ඔහු විසින් 1961 වසරේ වේදිකා ගතවූ ’කුන්ඩලකේශී’ වෙනුවෙන් ලියැවුනු ගීතයකය. සෝමදාස ඇල්විටිගලයන්ගේ සත්සර නාද මාලාවකින් එය හැඩවැඩවිය.

චන්දන පල්ලව කෝකිල කුජන....

සංගීතයේ පැටලී...

සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ...

ආදර බස් කියනා...

හඞ දේමිනි කන් පිනනා....

ලාංකීය වේදිකා නාට්‍ය කලාවේදී  තත්සම තත්භව සංස්කෘත පද යොදා හැඩගැන්වූ මධුර මනෝහර ගීත ඇතුළත් වූ තවත් නිර්මාණයක් වන්නේ ආනන්ද එස් විජේසිරි විසින් නිර්මාණය කරන ලද ’දෙව්ලොව යනකං’ වේදිකා නාට්‍යයයි. දක්‍ෂ ගී පද රචකයෙකු වු ඔහු 1981 තිරගත වු ’සතර පෙර නිමිති’ හා ’මිහිදුම් සිහින’ සහ 1982 ’චතු මධුර’ යන සිනමා පට සහ 1983 වසරේදී ’චුට්ටේ’ 1984 වසරේදී ’මාල ගිරවී’ වෙනුවන්ද ගීත රචනා කරන ලදී. 

මොරටුවේ ප‍්‍රවිණ සංගීතඥ ’එමිල් මෙන්ඩිස්’ විසින් මතකයෙන් නොමියෙන ස්වර මාලා පෙළකින් එය සංගීතවත් කලේය. මුල් යුගයේ ගුවන් විදුලි ගායිකා පුන්‍යා කත‍්‍රිආරච්චි සහ ටයිටස් සී පෙරේරා ගැයු මේ ගීත පසුව මාලිනි බුලත්සිංහල - ටයිටස් හඞින් ඇසෙන්නට විය.


දිව්‍ය ලෝකේ ලගයි පේන මානේ ..........

කිම්ද සංකා සිතේ මේ විලාසේ.....

චන්දනාදේ උයන් භෘංග සේනා නදින්....

පුෂ්ප මාලා වලින් රංජනාවේ...

නෛක ශ‍්‍රිනී සුරන් රංගනාදේ....

පංච මධූරි බොජුන් ස්වර්ණ විහිදේ...

ඒකේ අරුම පුදුම කියන වරුණ.....

අසන මෙමට යන්ට හිතය....

දුක්ඛ දෙවා වුව සරීරේ....

චිත්ත ධෛරී වඩන් පුතුනි මාගේ

මන්ද යන්ටා එලෝ මේ ප‍්‍රමාදේ


තාම යමිය යමිය එපුර ගමන

බොහොම බොහොම දුරය එමග

සංකා සිතේ යාද ප‍්‍රනේ
-----------------------------
පද සංකල්පනය - අනන්ද එස් විජේසිරි

ගැයුම - පුන්‍යා කත‍්‍රිආරච්චි සමග ටයිටස් සී පෙරේරා

තනු නිර්මාණය - එමිල් මෙන්ඩිස්

වේදිකා නාට්‍යය - දෙව්ලොව් යනකං

වසර - 1972 ?
-----------------------------------
Podcast Hosting - Music podcasts -
සිංහල බස සියවස් ගණනකට පෙරාතුව සිට ’ද‍්‍රවිඩ’ බසින් ද 16 සියවසේ පටන් පිළීවෙළින් ’පෘතුගිසී’ ’ලන්දේසී’ බස් වහරින්ද ඉන් අනතුරුව ’ඉංග‍්‍රිසි බස් වහරින් ද පෝෂණය විය.

මෙකී හැම ආකාරයකම පදයන් සිංහල ගීත සාහිත්‍යය පෝෂනය කරනු පිනිස උපකාරී වි ඇති අතර සෑම ගී පද රචකයෙකුම පාහේ ඒවා නොපැකිළිව සිය  නිර්මාණ සඳහා යොදාගනු ලැබ ඇත.

දෙමළ

මුදල්,  අච්චුව, ඔප්පු, කඩ, පාක්කුඩම්, විලක්කු, මුරිච්චි, කෝච්චී. ඉලව්, ගෙජ්ජි, පෙට්ටගම, අඩංගු, තොප්පි, පඩික්කම්, පදක්කම්, මාලිගය, තොටිල්ල, නංගී


පෘතුගීසීපෙනේර,  අච්චාරු,  කල්දේරම්,  තාප්ප,  කරත්ත,  තාච්චි,  තෙම්පරාදු,  දෝසි,  පේර,  සපත්තු,  විස්කෝතු,  බොත්තම්,  බන්දේසි


ලන්දේසි
ලන්තෑරුම,  මුද්දර,  කලම්ප,  බාල්ක,  කොකිස්,  සොල්දොර,  ඔර්ලෝසු,  තරප්පු,  වෙන්දේසි,  කුවිතාන්සිය,  රාබු,  කන්තෝරු,  කේතල


ඉංග‍්‍රීසි
ටෙලිෆෝන්,  මයික‍්‍රෆෝන්,  බස්,  කාර්,  ගරාජ්,  ටිකට්,  එන්ජිම,  බුරුසුව,  බයිසිකලය,  බැංකුව


පාලි - සංස්කෘත වදන් සිංහල ඌරුවට සකසා ගත් විට ඒවා ’තත්භව’ නමි. මේ ලැයිස්තුව විමසන්න.


සංස්කෘත            පාලි           සිංහල

කර්ම            කම්ම            කරුමය

ප‍්‍රසිද්ධ          පසිද්ධ            පරසිඳු

ශාස්ත‍්‍ර           සාත්ථ            සතර

ශීර්ෂ             සිස                සිරස

ශරීර             සරීර            සිරුර

ජිව්හා           ජිව්හා            දිව

පුන්‍ය            පුඤ්ඤ        පින්

පුස්තක        පොත්ථක        පොත්

භ‍්‍රමන           භමර            බමන

යෞවන        යොබ්බන        යොවුන්

රාත‍්‍රි              රාත්ති            ?

ප‍්‍රථම             පඨම            පළමු

සුකුමාර        සුබ‍්‍රමාල        සියුමැලි

විද්යුත්          විජ්ජු        විදුලිය

වෘක්ෂ           රුක්ඛ        ගස්

වෛද්‍ය         භෙසජ්ජ    වෙද

මණ්ඩුක         මණ්ඩුක       මැඩියා

කිරිට             කිරිට        කිරුඵ

අග්නි             අග්ගි        ගින්දර

අප‍්‍රමාණ         අප්පමාණ        අපමණ

සත්ව             සත්ත           සත්

ආශ‍්‍රිත ග‍්‍රන්ථ - සිංහල භාෂාව සහ සාහිත්‍යයය - රත්න කොඩිකාර
විශේෂ ස්තුතිය - මනෝධ වික්රමසූරිය - සූරිය තැටි ලේබලය - සූරිය විලේජ් අධිපති
-------------------------------The end------------------

Wednesday, July 24, 2019

සංස්කෘත භාෂාව’ භාවිත කළ සිංහල ගී....රසය

 ’සගිස්කුරුත’ බසක මහිම......

’සගිස්කුරුත’ යන පදය මින් අඩසියවසකට ඉහත හා ඉන් පසු දශක කිහිපයක දී දිවිගෙවු ගැමි ජනතාවගේ එදිනෙදා ව්‍යාවහාරයට එක්ව තිබු බවට එදා කුඩාවුන් වු අද වැඩිහිටියන් සාක්‍ෂි දරනවා ඇත්තේය.


ලොව අදීතම ඉන්දු ආර්ය භාෂාවක් බවට පත් වී දැනට එදිනෙදා ව්‍යවහරයෙන් ඉවත් වි තිබුනද වත්මනෙහි පවා සජිවී බසක් ලෙස පිළිගැනෙන ’සංස්කෘත භාෂාව’ පුරාණ භාරතයේ හින්දු සාහිත්‍යයයේ මව්බසයි.  හින්දූන්ගේ පූජනීය ග‍්‍රන්ථ වු ත‍්‍රිවේදය ද හින්දු භාරතයේ මහා කාව්‍යයන්වූ ’මහා භාරතය’ සහ ’රාමායනය’ ද සංස්කෘත සාහිත්‍යය නියෝජනය කරයි.

වසර තුන්දහසක පමන අතීතයකට හිමිකම් කියන බවට මත පලවී ඇති මෙකී භාෂා මාධ්‍යය භාරතයේ මහායාන බෞද්ධ නිකායන්ගේද මූල භාෂාවයි. 

වර්තමානයේ ජාත්‍යන්තරව ’ඉංග‍්‍රීසි භාෂාව’ යම් පිළිගැනිමට ලක්වී තිබේද එපමණ පිළිගැනීමක් පුරාණ ආසියාවේ ’සංස්කෘත’ භාෂාවට ලැබි තිබුන බව කියැවේ. 

ඈත පූරාණයේ සිට පසුගිය විසිවන සියවස මැද භාගයද ඉක්මවන තෙක් ලක්දිවේ මෙකී භාෂාවේ නිපුණත්වයට පත්වූවන් හිග නොවීය.  
තමන් ලද දැනුම් සම්භාරය යොදවා එහි සුවිසල් සාහිත්‍යය කෝෂ්ඨාගාරය ඇසුරු කල එකී ප‍්‍රාඥයන්  අතර වැඩිදෙනා පැවිදි පඞිවරුය. 

ඔවුහු අවස්ථාව ලද විට සංස්කෘත භාෂා වාග්කෝෂයේ අනුසාරයෙන් තම මව්බස වු සිංහලය පෝෂණය කරන්නට පසුබට නොවිය.


විසිවන සියවසේ තාක්‍ෂණික විප්ලවයේ මුලාරම්භයේදී ම ලක්දිව ගුවන් විදුලි මාධ්‍ය කලාව ස්ඵාපිත වී ක‍්‍රමයෙන් වැඩිදියුණු වූ අතර රාජ්‍ය ආයතනයක් ලෙසින් තැපැල් දෙපාර්තුමේන්තුවේ අධිකාරිත්වය යටතේ ක‍්‍රියාත්මක වී එහි දෙවන භාගයේ සිට ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙසින් ප‍්‍රතිව්‍යුහගත වී අද දක්වා ක‍්‍රියාශීලි වෙමින් පැවතෙයි.

සිංහල ගීතය ප‍්‍රථමයෙන් ග‍්‍රැමෆෝන් තැටි නිෂ්පාදන ලෙස දොරට වැඩීමෙන් පසු දෙවනුව ගුවන් විදුලිය් අනුග‍්‍රහය යටතේ එහි වැඩසටහන් ඔ්සසේ නිර්මාණය වී ප‍්‍රචාරය විය.

පෙරකී සංස්කෘත බස මැනැවින් ප‍්‍රගුණ කල බහුශ‍්‍රැතයන් පඞිවරුන්  ලාංකිකයන්ට ආගන්තුක මෙකී නව විද්යුත් මාධ්‍යයේ සෙවන ලැබ සිය පාන්ඩිත්වය ප‍්‍රකට කලේ එහි පිවිස විවිධාකර වැඩසටහන් ගීත ප‍්‍රබන්ධයන් බිහිකරවාදෙමිනි.

ශ‍්‍රී චන්ද‍්‍රරත්න මානවසිංහ
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද‍්‍ර
පන්ඩිත් විමල් අබේසුන්දර

ඒ අතර වඩාත් ප‍්‍රකටය. 

ප‍්‍රශස්ත සිංහල ගීත රචනා කලාවේ අභිවෘද්ධිය උදෙසා සිය දායකත්වය පළකල මුල් පරපුර නියෝජනය කරන ලද මානවසිංහ සහ විමල් අබේසුන්දරගෙන් පසුව දෙවන පරපුරේ සාමාජිකයන් ලෙස දොරට වැඩි ගුවන් විදුලි නිවේදක පරපුරට අයත් කරුණාරත්න අබේසේකර- කේ ඩි කේ ධර්මවර්ධන - ලලිත් එස් මෛත‍්‍රිපාල - වැන්නෝ ද සිය නිර්මාණකරණය ඔප මට්ටම් කරගනු පිනිස සංස්කෘත වාග් කෝෂයේ පිහිට පැතුහ.

සංස්කෘත භාෂාවේ නාමපදයන් උසුරුවිමේදී ඒවයේ ඇති ගීතවත් මටසිඵටු බව සුගායනීය බව නිසා සාහිත්‍යාංගයක් වු ගීතයේ කර්ණරසායන බව වඩවාලන්නට ඊට ඇති හැකියාව කෙරෙහි ඔවුන් එහිදී වඩාත් සැළකිලිමත් වන්නට ඇත. 

පහත දක්වා ඇති අල්ප මාත‍්‍ර වූ සංස්කෘත වදන් කෝෂය පිරික්සීමේදී සිංහල බස ඊට කොතරම් ණයගැති වී දැයි අවබෝධ කරගත හැකිය.
එක - ඒක 
දෙක  - ද්වි
තුන - ත‍්‍රයි
හතර - චතුර්
පහ - පංච
හය - ෂඩ්
හත - සප්ත
අට - අෂ්ඨ
දහය - දස

මීට අමතරව 

ස්වාමී - බෝධි - දේවතා - ගජ - අලංකාර - විශිෂ්ඨ - බහු  - අල්ප - සර්ව - මහත් - ගුරු - පුරුෂ - මනුෂ්‍ය - භාර්යා - පති - පීතෘ - මත්ස්‍ය - සර්ප - මුඛ - දන්ඩ  - ඵල - බීජ - පත‍්‍ර - මුල - මූලය - පුෂ්ප - තෘණ - මංස - අංග - කේශ - සිරස - කර්ණ - අක්‍ෂි - දන්ත - පාද - ජංඝා - හස්ත - උදර - ගුද - හෘදය  - ස්වප්නය - ධාරණය - සූර්ය - චන්ද‍්‍ර - ජල - වර්ෂාව - නදී - පවන - ලවණ - මේඝ - ආකාශ - වාත - තුෂර - තුහින - හිම - ධුමය - අග්නි - මාර්ග - පර්වත - ලෝහිත - නීල - පීත - හරිත - ශ්වේත - රාත‍්‍රී - සංවත්සර - ශීත - පූර්ණ - ග‍්‍රාම - පාප - මිලින - ශුද්ධ - දුර - දක්‍ෂිණ - වාම - ආචාර්ය  - අධර්ම - ධර්ම - භක්ති - භාර - භෝජන - භූමි - භූපාල - බිංදු - බුද්ධ - බුද්ධි - දන්ඩ - දර්ශන - දීරඝ - ගජ - හස්ත - ජනක - ජනනී - ක්‍රෝධ - මධු - මත්ස - මූර්ති - නාටක - නේත‍්‍ර - පන්ඩිත - පවිත‍්‍ර - පුෂ්ප

ඇතුඵ නාමපද රැුසක් සිහල බස්වහර හා මුසුවි කැළතී ඇත.

සංස්කෘත - සිහල බස්වහර සම්බන්ධ මැදි අධ්‍යාපනයක් ලද්දන් හට මේ පද ආගන්තුක නොවේ. ඒවා ඇතුලත් ලියැවිල්ලක් ඒ බස්හුරු දුහුනන් වහා දැන අවබෝධ කරගනු නිසැකය.

ඉහත ලියැවි ඇති එකදු වදනක් හෝ ඇතුලත් නොවු සිංහල ගීතයක් ඇත්තේ වි නම් ඒ අල්ප ගණනක් විය හැකිය.


 එසේ නමුදු ’නාගරී’ අක්‍ෂර අනුසාරයෙන් ලියැවෙන ’සංස්කෘත’ බසේ වඩාත් සංකීර්ණ වදන් පිහිට කොටගෙන පබැඳි ගී ද ඉඳහිට හමුවේ. ඒවා නිර්මාණ කරන්නට මුල්වුයේ ඉහත කී විද්වත් ප‍්‍රබන්ධකයන්ය. 

ඒවා ගැමි වහරට අනුව අමු ’සගිස්කුරුතය’. ගැමියාට දුරවබෝධ යමක් සවන් වැකුනේද නයන රැුඳුනේද ඔහු ඒවා ඉහත පදයෙන් හඳුන්වන්නට මැලි නොවේ. එවැනි වර්ගයේ  වදන් පමණක් මුසුවු ගීතයක් මුලින්ම දොරට වඩින්නේ 1967 වසරේ කොළඹ ’අශෝකා’ සිනමාහලේදීය. ලේක්හවුස් නවතම සතිපතා සිනමා ප‍්‍රකාශනය වු ’සරසවිය’ පුවත්පත ඇල්ම බැල්මෙන් එහි දියත් වු මංගල සරසවි සම්මාන උළෙලේ සමාරම්භය වර්ණවත් කරමින් ගැයුනු ඒ සරසවි දේවි අභිවන්දන ගීතය ’පන්ඩිත් අමරදේවයන්ගෙනි’ 
--------------
ශ‍්‍රී චන්ද‍්‍රරත්න මානවසිංහ----------------
සංස්කෘත - පාලි - සිංහල භාෂා ත‍්‍රිත්වයේ නිපුණතමයෙකු ලෙස හැඳින්වු ’ශ‍්‍රී චන්ද‍්‍රරත්න මාණවසිංහ’ යන් එහි පද පෙළ ගැස්ම සිදු කළේ මෙපරිදිය.

ජගන් - මෝහිණී - මධුර - භාෂිනි.....

චාරූ දේහිණි - කමල - වාදිනි....

සරස්වතී දේවි - වන්දේ....

කම්පිත  - කංචන  - මාලා - පූජිත....

කිංකිණි   - නුපූර - ජාලා....

පාද සරෝදේ - කටී - තටාකේ....

චංචන - නර්තන - ලීලා.......
----------------------
ගායනය - පද්ම ශ‍්‍රී පන්ඩිත් අමරදේව

පද රචනය - ශ‍්‍රී චන්ද‍්‍රරත්න මානවසිංහ

තනුව - පන්ඩිත් අමරදේව

වසර - 1967

වැඩසටහන - ආරම්භක සරසවි සම්මාන උළෙල 
---------------------------
මෙතැනින් සවන්දෙන්න
Free Music - Share Audio -

මෙවැනි මුහුණුවරක් ලද දෙවැනි ගී නිර්මාණය මතු වන්නේ ගුවන් විදුලි වැඩසහනකදීය. ජී එස් බී රාණි පෙරේරා නමින් වු සිංහල සිනමා ගී කලා වේදිනිය ඊට පිවිසෙන්නේ 1950 දශකයේ දීමය. පසුව 1970 දශකයේ මුලාරම්භයේ ගුවන් විදුලිය ට සම්බන්ධ වු ඇය එහිදී පටිගත කල ’නව රසධාරා’වැඩසටහනක් වෙනුවෙන් ගැයු එහි සංස්කෘත භාෂා වෙසරද මහිම පෑවේ ’පියදාස කරඳගොල්ල’ නම් මහතෙකි.

පිළිමතලාවේ ගිරාගම සෞන්දර්ය අධ්‍යාපන විද්‍යා පිඨයේ ඒ යුගයේ ගිරාගම ගුරු ඇබැසි විදුහලය. එහි ඇදුරු මඩුල්ලේ සේවය කල සංගීතවේදී ’එම් ජී සුගතදාස’ සහ ඔහුගේ ශිෂ්‍යා ’ඉන්ද‍්‍රා කුමාරි විජේරත්න’ ජී ඇස් බී රාණි ගායනවේදිනයට අත්වැල් සහය දුන් අතර තනු නිර්මාණය සුගතදාසයන් විසින්ම සිදු කෙරිණි. 

සියවස් අඩ සියවසක්ද ඉක්මවා මනුලොව පැවත එමින් එපමණට අයු විඳි ශ්‍රේෂ්ඨ ඉන්දු සභ්‍යාත්වයේ මව්බස ව වැජඹුනු ’සංස්කෘත’ බසෙහි ගාම්භීරත්වය මෙසේ යැයි කියා පන්නට එය කදිම නිදසුනක්මය


ජන මන නයන වශීකල ලංකා.....

ශාන්ත සුඛදායි ජන්ම භූමි ධරණී......

මධුකර භෘංග සමූහ විභූෂීත....

මනෝහාර ගිරි ශිඛර අලංකෘත....

රම්‍ය භූමි ධරණී.....


රංග තරංග නගා මන මෝහණ.....

ශුද්ධ වර්ණ ජල ධාරා බැස යන....

වෘක්ෂ ගුල්ම පලු පල්ලව බබලන....

සාර භූමි ධරණී......


කරුණා ධර මෛත‍්‍රි ගුණ පෝෂිත....

භක්ති පූර්ණ ජනරාශි නිවාසිත....

බුද්ධ රාජ්‍ය ශ‍්‍රී පාදශ්පර්ශිත.....

පුන්‍ය භූමි ධරණී.....


දේශ විලෝපන - සතෘනිධාරණ......

ජාතභූමි අනුරෝදිපන......

කීර්ති රාව ජය ඝෝෂාලම්භන......

වීර භූමි ධරණී ...... 

--------------------
ගැයුම - ජී එස් බී රාණි පෙරේරා - එම් ජී සුගතදාස - ඉන්ද‍්‍රා කුමාරි විජේරත්න

පද රචනය - පියදාස කරඳගොල්ල

තනුව - සංගීත විශාරද එම් ජී සුගතදාස

වසර - 1970
--------------------------
මෙතැනින් සවන්දෙන්න

Embed Music - Audio Hosting - ලාංකීය ගීත රසාස්වාදය පෝෂණය කරනට එය දියුණු තියුණු කරනට පැවති එකම රාජ්‍ය ආයතනය සහ මාධ්‍යායාතනය වු ’ගුවන් විදුලිය’ 1970 දශකය කරා එළඹෙද්දී දැඩි භාෂා ප‍්‍රතිපත්තියක් මෙන්ම සංනිවේදන ප‍්‍රතිපත්තියක් පවත්වා ගෙන ගියේය. විද්වතුන්ගෙන් සමන්විත අධීක්‍ෂණ මන්ඩලයකින් තෝරා අනුමත කර එවන ’ගී’ සංකල්පනා භාත්ඛන්ඩේ භාරත සංගීත නිකේතනයේ මනා පුහුණවක් ලැබූ සංගීතඥ මඩුල්ලක් ප‍්‍රමුඛ මියැසි විදුදරයන් විසින් ඊට සත්සර මුසු කළේය. 

පී ඩංස්ටන් ද සිල්වා - තිලකසිරි ප‍්‍රනාන්දු - ඩබ්ලිව් එෆ් විමලසිරි - පද්ම ශ‍්‍රී පන්ඩිත් අමරදේව - වාද්‍ය විශාරද ඩී ආර් පීරිස් - සෝමදාස ඇල්විටිගල - ස්ටැන්ලි එම් ප‍්‍රනාන්දු - ආචාර්ය දයාරත්න රණතුංග ඇතුඵ පිරිසක් ඔවුන් අතර විය. 1950 දශකයේ සිට 1970 දශකය අවසානය දක්වා බිහිවුනු රසාලිප්ත රසපුර්ණ ගුවන් විදුලි ගීතාවලියේ නිර්මාණකරුවන් ඔවුන්ය.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය යන නාමයෙන් මේ රජය හැඳින්වෙන්නට මුලපිරුණු නව ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත්තේ 1970 බිහිවු සමගි පෙරමුනු රජයේ නායිකා සිරිමාවෝ බන්ඩාරණායක මැතිනියගේ රාජ්‍ය යුගයේ දෙවන වසරේදිය එනම් 1972 දීය. එතැන් සිට ලංකාද්වීපය බි‍්‍රතාන්‍ය කිරිටයෙන් මුඵමනින්ම ස්වාධීන වු බවද කියැවේ. 
---------------
පන්ඩිත් විමල් අබේසුන්දර
-----------------
මේ මහෝත්සවය වර්ණවත් කල විවිධ රාජ්‍ය උත්සවයන් හට රැුකුල් දෙන්නට රාජ්‍ය ගුවන් විදුලිය පෙරමුණ ගත්තේ ’ජනරජ’ සැමරුම් ගී වැඩසටහන් නිර්මණයෙනි.  ඒ යුගයේ විද්වත් ගුවන් විදුලි කාර්ය මන්ඩලයේ සාමජික කිවිපති පන්ඩිත් විමල් අබේසුන්දර ශූරීන් සිය සංස්කෘත භාෂා වෙසරද සිරි අසිරිය පෑවේ පන්ඩිත් අමරදේවයන් වෙත අනුප‍්‍රාස රසය පිරි ඉතිර යන තවත් සංස්කෘත භාෂාමය ගී පද සංකල්පනාවක් දායදා කරමිනි.



ස්වස්ති ශ‍්‍රී සෞභාග්‍ය සූපූරිත....

පුන්‍ය භූමි ලංකා......

වීර විජිත ලංකා........

සුරංජතු පුන්‍ය භූමී ලංකා......



නීල වර්ණ ගිිරි ජල චල ශාඛා......

ක්‍ෂේත‍්‍ර පංති කෝමල වන රේඛා......

සාගර රංග තරංගජ ජෝති.....

චාමර  - චංචල - චාරූ විභූති......


ස්වස්ති ශ‍්‍රී සෞභාග්‍ය සූපූරිත......

පුන්‍ය භූමි ලංකා.....

සෂ්‍ය භුමි ලංකා......

සුරංජතු රත්න භූමි ලංකා........


ධන්‍ය පුන්‍ය ලක්‍ෂන ප‍්‍රථිමන්ඩිත......

සදාචරගුණ ඥාන විභූෂිත.....


සාගර රංග තරංගජ ජෝති....

චාමර  - චංචල - චාරූ විභූති...


ස්වස්ති ශ‍්‍රී සෞභාග්‍ය සූපූරිත....

පුන්‍ය භූමි ලංකා...

ජන්ම භූමි ලංකා...

සුරංජතු අමර අමිල ලංකා....

------------------------
ගැයුම - පන්ඩිත් අමරදේව - අමිතා වැදිසිංහ

පද රචනය - පන්ඩිත් විමල් අබේසුන්දර

තනුව - පන්ඩිත් අමරදේව

වසර - 1972
--------------------------
මෙතැනින් සවන්දෙන්න

Download Music - Free Audio - කිවිපති විමලේන්ද‍්‍ර වතුරේගම කවියා පිළිබඳ තතු විත්තී දන්නෝ වත්මනෙහි එතරම් හමු නොවේ. 60 දශකයේ වතුරේගම විමලකිත්ති තෙර නමින් පැවදි බිමට පත් වී සිට උපවැදිවු ඔහු ද පාලි - සංස්කෘත - හෙළ බස් වෙසරදත්වයෙන් පරිපුර්ණ විය. 1975 වසරේ ජාතික වෙසක් උළෙලක් සමරුනු පිනිස පැවැත්වු බැති ගී වැඩසටහනකදී මුල්තැන ගත් මෙකී බැති ගීතය ආචාර්ය නන්දා මාලිනිය ගේ ගැයුමක් බවට පත්විය.

ප‍්‍රඥා ප‍්‍රදීප දල්වා - මෝහන්ධකාර වනසා....

ජනතා විමුක්ති සලසා - වජ්රාසනාරූඩ වූ...

සිරිඝන මෛත‍්‍රී මූර්ති - සිරිපද පද්ම නමාමි....

කරුණා සිතල හදෙහි - වස්වා සධර්ම වරුසා....

ලෝකාලෝක සදා - තුන්ලෝකානුකම්පා....

පාරමිතා උපහාරී පුන්‍යශ‍්‍රීයා බලධාරී...

ඥානවිශේෂ සුනාරී - මාර පරාජිත සෑසී......

----------------------------------
පද රචනය - කිවිපති විමලේන්ද‍්‍ර වතුරේගම

ගැයුම - නන්දා මාලිනී

තනුව - නන්දා මාලිනී

වසර - 1975
---------------------
මෙතැනින් සවන්දෙන්න
Listen Music - Upload Audio Files -
මින් පරබාහිරව වැඩිමනත්ව ගීතවත් ගම්භීර තෙදැති ’සංස්කෘත’ වදන් අනුසාරයෙන් සිය නිර්මාණ සරුසාරකරගත් සිහල ගී පද රචකයන් යුග්මයකි ’කේ ඩි කේ ධර්මවර්ධන’ සහ ’මහාචාර්ය සුනිල් ආරියරත්න’. ඔවුන් ඉන් අමරණීය ගීත රැුසක් ලාංකීය ගීත ක්‍ෂේත‍්‍රයට දායක කරන ලද්දේය.

පහත නිර්මාණ විමසනු වටී.

කේ ඩි කේ ධර්මවර්ධන

හෝ පලු වනපෙත කම්පිත කරවන - වික්ටර් රත්නායක - වික්ටර් 
රණඹර ඉඳුදුනු සිතුවම් වෙලා - මිල්ටන් මල්ලවාරච්චි - වික්ටර්
කුමරියක පා සළඹ සැලුනා - පන්ඩිත් අමරදේව - වික්ටර් 
කුංකුම චන්දන අංජන තවරා  - විල්බට් ඇන්තනි - සෝමපාල රත්නායක
මලින් මලේ රොන් ගන්නා බඹරු බඹන්නා- මිල්ටන් මල්ලවාරච්චි - ඔස්ටින් මුණසිංහ - ක්ලැරන්ස් විජේවර්ධන
උමයංගනියෝ සුරලාලනියෝ - ජෝතිපාල - පැටි‍්‍රක් දෙණිපිටිය

මහචාරය සුනිල් ආරියරත්න

මිහිළිය නලලේ අංජන තිලකේ - පන්ඩිත් අමරදේව - වික්ටර් රත්නායක
රුවන්මුවා පොළෝ තලේ ගොයම් සූනිල - නන්දා මාලිනී - වික්ටර්
සබඳ ඔබේ සිත අංජලිකරණීයයි - අමිතා දඵගම - පී ඩංස්ටන් ද සිල්වා
පේ‍්‍රමය නම් රාගයෙන් තොර - නන්දා මාලිනී - එච් එම් ජයවර්ධන
බුද්ධානුභාවෙන සිත් නෙත් පහන් වී - නන්දා මාලිනී - නන්දා මාලිනී
මේඝයක් සේ හුදකලාවේ නීල අම්බරයේ - නන්දා මාලිනී - රෝහණ වීරසිංහ
ඔබයි රම්‍ය සඳ කිරණ - නන්දා - එච් එම් ජයවර්ධන
පේ‍්‍රම අසපුවේ මුණිවරයාණෙනි මලින් ගඳින් පුදනා - නන්දා මාලිනී
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා - නන්දා මාලිනී
අනාථනාථයාණෙනි - වික්ටර් රත්නායක


වත්මනෙහි සිංහල ගී කෙත සරුසාර ඵල බර කෙරෙන්නාවූ මෙවන් පද්‍ය සංකල්පනා හමු නොවනා තරම්ය. ඇසූ පිරූ තැන් ඇත්න්ගේ නිහඞ නිසල බව හෝ ලැබිය යුත්තාට නොලැබුනු දෑ අත්කරගත්  නොලැබිය යුත්තන්  විළියෙන් බරව පළමු කී සද්ජනයා දුරින් දුරු කිරීම ඊට හේතුකාරණා අතර තිබිය හැකිය.

-------------------------සමාප්තයි ----------------