namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, May 20, 2024

එක්තරා යුගයක ලක් දිවයිනේ ගමක වරුණ...13

සිංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය........... 13


 සිංහල ජනශ්‍රැතියේ හදවත ’එදා ගම්මානයයි’, සිරිත් විරිත්, ජන ක්‍රීඩා, ඇදැහිලි, යාතු කර්ම, වෛද්‍ය කර්ම, ගොඩමඩ ගොවිතැන, කර්මාන්ත, යන මේවා ඇසුරෙන් උපන් ජනකවි, කථා, බස්වහර, උපමා,රූපක, ප්‍රස්ථා පිරුඵ ආදී  භාෂාප්‍රයෝග සිංහල බස පුබුදුවයි පොබයයි. ගීතයෙන් නොනැවතී  වේදිකා නාට්‍ය, සිනමා කෘති, ටෙලිනාට්‍ය, විශේෂංග, ගීතනාටක, ගුවන් විදුලි නාට්‍ය ආදී කලාංගයන් පුරා අක්මුල් විහිදුවාලන්නේ සිංහල ජනසංස්කෘතියයි. නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන් තම සිහින පැතුම් මල්ඵල ගැන්වී  පරිපාලන හිණිපෙතෙහි ක්‍රමයෙන් ඉහළට නැග මෙරට සහ නොරට විවිධ තලයන් හි රැඳී  සිටින්නන්ගේ අක්මුල් මන්-පිය මුත්තණු පරම්පරාවන් ඔස්සේ  ඈත ගම්මාන කරා විහිද යැයි. එහෙයින්දෝ සිංහල පමණක් නොව වෙනත් ජාතින් නියෝජනයක කරණ ලාංකීය ජනතාවගේ උප විඥානයේ ගැඹුරු තැන්හි ලැගුම් ගෙන ඇත්තේ ’ගැමිකමයි’. 



එහෙයින්දෝ විවේක පාඩු ලද වහාම, හිස ගත්තවුන් ලෙස ජීවන අරගලයේ නිරතවන්නෝ, දූර ඈත පදෙසකට ගොසින් නිල්ල ගැසුනු කෙත්යායේ, වෙල් එළියේ, වනවදුලේ සැරිසරන්නේ උන්මාදයට ලක්වූවන් මෙනි. එහිදි ඔවූහූ නූතන මනෝ වෙදැදුරන් විසින් හඳුනාගෙන  ’අතීතකාමය’ (nostalgia) නමැති රසගුලාවේ ගිලී මත්වෙති.  ගැමිකම කියැවෙන, වනපෙතේ, හේනේ කුඹුරේ, පැල්පතේ අත්දැකීම් සිදුවීම් කැටිවූ කලා නිර්මාණයන් කෙරෙහි වහාම ආශක්ත වන්නේ එනිසා වන්නට ඇත.

’ජනකවි’  කලාව ගුරුකොට ගත් අතිමහත් ගණනක ’ගී’ බිහිවූයේ පසුගිය සියවසේ දෙවන භාගයේදීය. එයින් උත්පාදනය වූ ගාමක බලයෙන් ඇදී ආ රැල්ල නව සහස්‍රකයේ මුල් දශකය දක්වාද පැවත ආවේය. 


’රන්කුරහන් මල සේමා............’ (නව පරපුරේ ගායන තරු යුග්මය භාතිය ජයකොඩි සහ සන්තුෂ් විරමන් ගැයු ජන කවි ආරේ නිර්මාණය) ඊට මනා නිදසුනකි. 


මෙම සටහන් මාලාවේ  සමාප්තිය කරා එළඹෙන්නට මත්තෙන් මිට පෙරාතුව ලියැවුනු සටහන් ගණනාවක ඇතුළත් වූ ’1960, 1970,1980,’ යුගයන්හී ගැයුනු ගීත පණහකට අධික සංඛාවකින් ඇතැම් ඒවා මෙම , ’ජන ගී’ කලාවෙ ආභාෂය ලැබගත් බව නිරික්‍ෂණය වේ.


ජන කවියෙන් උපන් ගීතයක් උරුම කර ගන්නේ මුලින් කී කලාංගයේ හැඩතලය.


තෙල් ගාලා හිස පීරන් නෑනෝ ...

ඇටවැල ඇරගෙන බැඳගං නෑනෝ ...

සේලේ ඉනවට ඇඳගන් නෑනෝ ...

ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ යමු නෑනෝ....

කූඹුර මැදින් නියර දිගේ මල් පුබුදිනවා ....

මිණි මුතුයෙන් ළා තනපත් සේල නෙළනවා ...

රෑණ ගිරා රෑන උඩින් වියන් බඳිනවා...

බාලලියන් සුබ නැකතින් කෙතට බහිනවා..........


(සුනිල් සාන්ත ගුවන් විදුලි ගී නිර්මාණ  - පද රචනය - අරිසෙන් අහුබුදු - 1968)


පෙර කවරකලෙකත් සිදු නොවූ, ඉංග්‍රිසි යුගයෙන් පසුව සිදුවු බරපතලම විපර්යාසයකට ’ගම්මානය’ ලක්වුයේ 70 දශකයේ අගභාගයේ ලක්දීපයට වීවෘත ආර්ථිකය ප්‍රවේශ වීම හේතුවෙනි. එතැන් හි සිට ගම්මුන් මතුනොව ගැමිලියන් ද ’අගනගරය’ කරා ඇදී ආවේ වේගයෙන් වානිජකරණයට ලක්වූ සමාජයේ ’බහු භාන්ඩිකත්වයේ’ වහඵන් බවට පත්වීමෙනි. ඒ අනුව තමන් දිවිගෙවූ කුඩා සරළ නිවහන ’බංගලාව’ ක් බවට හරවා ගැනීමේ සිහින සැබෑකරගන්නට ඔවුන් වළිකෑහ. මාසික කූළී වේතනයකට වහල් වූ ඔවුන් එයින් අතෘප්තිමත් නම් විදෙස් ගතවී බැළමෙහෙවර කිරිමේ කටයුත්තේ යෙදෙන්නට පහසුකම් සලසා දෙන ලදී. නිවහනේ සිහිනයෙන් අනතුරුව හෝ ඊට ද පළමුව ඊලග සිහිනය ’මෝටර් රථයකි’.  ගතින් නගරයට පිවිස දිවිගෙවූවද ඔහු නිරන්තරයෙන් සිතින් ගතකලේ ’සිය ගම්මනායේ’ විය හැකිය.


රන්බන්ඩේ රන්මැණීකේ ......

පිරෙනවාද මුට්ටි පුරා.....

මහකිතුලේ  මලේ කදුඵ ....

පිපෙනවාද තවමත්...

සත්කෝරළයේ සමන් කැකුඵ .....


ගම්මානෙන් නුවරට එන මහපාලම බිඳදමන්න...

මං ආසයි හැමදාමත් මං හිටි මගේ ගම දකින්න.....

ගොඩේ ඉඳං හැන්දෑවට වාරං කීවා මතකයි...

ගමේ මතක මට තාමත් සමන් පිච්ච මල් සුවඳයි.....


(සුනිල් ආරියරත්න, වික්ටර් රත්නායක, ගැයුම ගුණදාස කපුගේ)


පෙර කී පරිවර්තනය සිදුවි දශක පහක් පමණ ගෙවි යන මේ යුගයේ, එදා ගම්මානයක නෂ්ඨාවශේෂයන් අතරින් පතර තවමත් ඉතිරිව තිබුනද,  කෙළි සෙල්ලම්, ජනක්‍රීඩා. ආදී ගැමි සංස්කෘතිකාංග සෝදාපාඵ ව සිඝ්‍රයෙන් අභාවයට යමින් තිබෙනු දක්නට හැක්කේය. සත්වයෙකුගේ සිරුර තුල දිවයන රුධිර සංසරණ පද්ධතිය බඳුවන් සංකීර්ණ මාර්ග ජාලාවන්ගෙන් වට වී ඇති ගම්මානයක වෙසෙන්නන්, නිරන්තරයෙන් එයින් ඔබ්බට යති, එති ඒ සමගම අමුත්තන්ද එහි පිවිසෙති. මාර්ග පද්ධතියට නොදෙවෙනි බලපෑමක් සිදුකරන්නේ ජංගම දුරකථන සහ මාධ්‍ය සන්නිවේදන ජාලය විසිනි. ඒවා විසින් තලා පොඩිකර දමන ගැමි සංස්කෘතිකාංග, වෙනුවට නාගරික, සංකීර්ණ සංකර දිවිපෙවෙත ඔවුන් මත පටව දමන්නේ, මතුපිටින් නෙක විසිතුරු අතිශයෝක්තියන් දවටා හරිමිනි. 

එසේ වුවද අදද, වන මූකලානයන්ගෙන් වටවීම හෝ ගිරිදුර්ග කඳුහෙල් වලින් කොටුවීම නිසා හුදකලා වූ ගම්මාන ද නැත්තේ නොවේ. 


                                 ලිපි මාලාවේ සමාප්තියයි


සමාලෝචනය


එදා මුඵ දිවයිනම එකම ගම්මානයක් බඳුය. නාගරිකයන් දිවිගෙවූ අගනුවරට නුදුරින් පැවති කිරුළපන, බොරලැස්ගමුව, කෝට්ටේ, නුගේගොඩ, කැළණිය ඈ මෙකී නොකී පදෙස් ද ගම්මනායන්ය. තමාගේ ළපැටි වියේදී පැවති කිරුළපන ගම්මානය පිළීබඳව විස්තර සටහන් එහි වැසියෙකු වූ ප්‍රවිණ ගීත රචක, සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා ශූරීන් ගේ කෘතිවල ඇතුළත්ය. තතු එකල්හි අගනුවර අවටින් තවත් දුර බැහැරට යද්දී හමූවන වෙනත් පදෙස් ගැන කියනුම කවරේද? උක්ත ගී රචනාවන් ට පාදක වන්නට ඇත්තේ මේවයේ සාමාජිකයන් ව සිටි ’ගැමියන්’ ගේ අත්දෑකීම් විය හැකිය. ඔවූහූ ළමාවියේ අත්දුටු දෑ එහි ඇතුළත් බව නිසැකය. 


ඩෝල්ටන් අල්විස්, මහගම සේකර දෙපොළ ප්‍රමුඛව කරුණාරත්න අබේසේකර, උපාලි ධනවල විතාන, කුලරත්න ආරියවංශ, සුනිල් ආරියරත්න, සුනිල් සරත් පෙරේරා, ජයම්පතී අල්ගම, අජන්තා රණසිංහ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ. ප්‍රේමකීර්ති ද අල්විස්, බන්ඩාර කේ විජේතුංග, සුනිල් ආරියරත්න, අරිසෙන් අහුබුදු, ධර්මසිරි ගමගේ, මඩවල එස් රත්නායක, මහින්ද අල්ගම, සිසිර සේනාරත්න, අබේවර්ධන බාලසූරිය, ඔවුනතරින් ගැමි දිවියේ අසිරිය ගීයට නැංවූ රසවතුන් අතර වෙසෙසින් කැපී පෙනෙයි. ගැමියන්ගේ බස් වහර පවා අව්‍යාජව සිය නිර්මාණයන් වෙත වැද්දා ගන්නට අජන්තා රණසිංහ, ඩෝල්ටන් අල්විස්, කරුණාරත්න අබේසේකර වැන්නෝ කිසිවිටක පැකිඵනේ නැත.


මෙම සටහන් මාලාවේ ඇතුළත් වූ ගීත දාමයේ රසපූර්ණිත ගී පුරුක් විමසා බලනු මනාය. වරහන් තුල ඇත්තේ එම ගීතය ඇතුළත් වූ ලිපි අංකයයි


උපාලි ධනවල විතාන

රන් කුරහන් හේන උඩින් (1) , ඔරුව වසා වැලි පුරවා (10) 


ඩෝල්ටන් අල්විස්

කුරහන් හේනේ පිපුණු මලී  (1) නාමල සේමයි පෙණුනේ (1), වතුර කළේ ඇයි උකුළ තෙමන්නේ (1), ඇල් හේන දිගේ පාන වගේ (6), එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ (10), 


කුලරත්න ආරියවංශ

කුරහන් යායේ සඳ උතුරාගෙන (1), ලන්ද දිගේ හැංගි හොරා සැඳැ කාලයේ (1), කෙකටිය යායේ සිරිපොද පිපිලා (4), මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා (4)


ජයම්පති අල්ගම

කරල් බරින් නැමී දිළෙයි (1), 


අජන්තා රණසිංහ

කුඹුකේ ළිඳෙන් දිය නා අපූරුයි (2), රෑ හඳේ හීනෙකින් සීපද ඇහුණයි (5), රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ (6), මහද කාටදෝ ඒ රුව ඇදෙනවා හදේ (11), කෝපි ගසට කෝපි මලට (11)


සුනිල් ආරියරත්න

පොඩි කුමාරිහාමියේ (2), කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ (12)


මහගම සේකර

වක්කඩ ලග දිය වැටෙන තාලයට (2)


දෙල්තොට චන්ද්‍රපාල 

රත්ති අරන් උදැනැක්කේ කොහේද යන්නේ නගෝ..(3), පින්න මල් පිපි පින්නේ ලන්ද ලස්සනයි (11), 


කරුණාරත්න අබේසේකර 

රෑ පැල් රැකලා පැල් කවි කියලා (5), මොකද මැණීකේ හනික යන්නේ (8), 


සරත් මුණසිංහ

මුතු මැණිකේ කළේ අරන් ............(5)


ප්‍රියානන්ද විජේසුන්දර

රෑහි රංචු හඞ අහලා (6), රන් තැඹිලිය මලේ රුවට (12)


සුසිල් සේනාධීර

මගේ සුදු මාමේ නෑ බෑ නොකියා (6), 


ජෝර්ජ් ලෙස්ලි රණසිංහ

පැණී මොර මල් පැණි මොර මල් (7), 


ප්‍රේමකීර්ති ද අල්විස්

බුලත් වඩියක් හාපාලා ..(7)


අරිසෙන් අහුබුදු

මල් මල් ගුමු ගුමු ගන්වන්නී (8)


කමල් ඩී අතුකෝරාළ

බිංකුන්ඩෝ බොල බිංකුන්ඩෝ..(8)


සී ද එස් කුලතිලක

බැද්ද වටට සුදු මොර මල් පිපිලා..(8),


සිසිර සේනාරත්න

රෑ හඳ පායාලා අද වාගේ (10), 


සුනිල් සාන්ත

බෝවිටියා දං පඵ කං වාරේ (11)


රෝහණ බැද්දගේ

කොස්වතු කන්දේ රොසලින් නැන්දට (12), හරි ලස්සන හැඩ වැඩ ගම්බද කෙල්ලකි (12), 

අවසාන කොටස ඉදිරි දිනයකදීය ....................


Wednesday, May 1, 2024

පෙර යුගයක දුටු ගම්මානය .......12 (Village life of then Sri Lanka)

සිංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය........... 12

ඇතැම් සමාජ සම මානව විදුදරයන්ගේ අරුත්ගැන්වීම අනුව එක් පවුලක් පමණක් ජීවත්වන නිවහනක් වේ නම් එයද ගම්මානයකි. අඩසියවසකට පෙර යුගයකදී වන මූකළානට මැදි වී හුදකලා වූ ගම්මනායන්හී ජීවත් ව සිට ඇත්තේ පවුල් දහයකට වඩා අඩු ප්‍රමාණයකි. ඔවුන් ද එකිනෙක ඥාතීන්ය. ශ්‍රම විභාජනය ක්‍රියාවලියට නතු ව ගොස්, පෙර කී ගමක සියඵ දෙනා ’යමන්නන්’ (යකඩ වැඩ කරන්නන්), කුඹඵන් (මැටි භාන්ඩ නිෂ්පාදකයන්), පේෂකර්ම (රෙදි වියන්නන්) වූ ජනපද පැවතිනි. මේ අතර හේවාගම් ද අතරින් පතර තිබෙන්නට ඇත. ඔවූහූ පාලන තන්ත්‍රයට හිතෛෂීව සේවය කරන හමුදා සෙබඵන්ය. උක්ත ශ්‍රම දායකත්වයේ යෙදෙන ඔවුන් ගොවියන් ලෙස ද කටයුතු කළ අවස්ථා තිබිනි.


සර්පවිෂ වෙදැදුරන්, යකදුරන්, සත්ව වෙදැදුරන්, කැඩුම් බිඳුම් මෙන්ම සර්වාංග වෙදකමේ යෙදෙන්නන්ද ගම්වැසියන්ගේ නොමද ගරු බුහුමනට ආදර ගෞරවයට පාත්‍ර විය. එහෙත් 16 සියවසේ කන්ද උඩරට දෙවැනි රාජසිංහ නරපතියා ගේ ග්‍රහනයට හසුව 18 වසරක් එහිම ගතකරන්නට සිදුවූ ඉංග්‍රිසි නැවි ’රොබට් නොක්ස්’ තම කෘතියෙන් හෙළිදරවු කර ඇති ලෙසට, සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් වේවා, සියඵ සාමාන්‍ය ගැමියන් එක්තරා මට්ටමකට වෛද්‍ය කර්මයේ යෙදෙන්නට ඇත.  ’ගහකොළ සතාසීපාවා’ හොඳින් දැනකියාගත් ඔවුනට එසේ තම රෝග උදෙසා පිළියම් කර ගැනීමේ කටයුත්තේ අපහසු බවක් නොදැනෙන්ට ඇත.

ගැමියෝ බැහැරකට යා යුත්තේ ’වන්දනාවේය’ නැතහොත් ඥාතියෙකු මුණගැසෙන්නටය. ළඳු කැළෑ දෙවැට, වතුපිටි, ඕවිටි මැදින් වැටි ඇති අඩිපාරවල් ඔවුන්ගේ ගමන් පහසුකම් සඳහා විවෘත ව තිබිනි. ඇළ-දොළ-ඔයකින් එතෙර වීම අපහසු කටයුත්තක් නොවුනත් ගංගාව තරණය කරන්නේ ඉහත කී ලෙස තොටියා ගේ පිහිටෙනි. 


පුරාණ ගම්මානය ක්‍රම ක්‍රමයෙන් එහි හුදකලාබවින් මිදෙන්නට වූයේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ගොඩනගන ලද මහාමාර්ග ජාලය නිසා බව අවිවාදාත්මකය. දිවයිනේ ප්‍රධාන නගර එකිනෙක යා විමෙන් පසු උපනගරද ඉන් අනතුරුව ගම්මානයන්ද මෙකී ජාලයට සිඝ්‍රයෙන් සම්බන්ධ කෙරිනි. එහෙත් 70 දශකය අවසන් භාගයේ සිදූවූ ආර්ථික පෙරළියට පළමු, පැවති සිමිත පොදු ප්‍රවාහන සේවාවන් විසින් ගම සහ නගරය අතර සංනිවේදන සම්බන්ධතා සිමාසහිතව සිදු කෙරුනද, පෞද්ගලික බස් කර්මාන්තය සහ පෞද්ගලික රථවාහන භාවිතයේ පෙර නොවු විරූ ඉහළ යෑම නිසා මෙම තත්වය වෙනස් වී, ගම්මානය නාගරික සංස්කෘතිය විසින් ආක්‍රමනය කොට ගිලගන්නට යෙදිනි. රැකියා සොයා ගැමියන්ගේ දරුවන් නගර කරා සංක්‍රමනය වීමේ සීඝ්‍රතාවය වේගයෙන් ඉහළ ගියේ  80 දශකයේ ආරම්භයේදීමය. ඔවුන් විසින් සියල්ල උඩු යටිකුරු කරන්නට යෙදිනි. 

ගම්මානය නගරයට නිරාවරණය විම වඩ වඩාත් ඉක්මනින් සිදුවූ අතර, අවිහිංසක ගැමි ප්‍රජාව, බිලිබා ගැනීමට මාන බලමින් සිටි, බලවේගයන් හට ඒ කාර්යය සිදුකරගැනීමට ඇවැසි සියඵ මෙවළම්, යටිතල පහසුකම් සැපයිනි. නගරයේ විෂම බලවේගයන්ට නතුවූවන් තමන් ට අත්වූ ඉරණම සිය ගැමි ඥාති වර්ගයා හට උරුම කර දීමේ විෂම චිත්තාවේගයන් හට ගන්නට ඇත.

මේ තත්වය කලා නිරමානයන් මගින් එළිදැක්වූ ප්‍රකට අවස්ථා ගණනාවකි.  අතීත ගුවන් විදුලිය ඒ සඳහා අත්වැල සැපයූවේ ගැමියන්ද නාගරිකයන්ද දෙකොටසම එකළෙස වසග කරගක් ’මුවන් පැළැස්ස’ නම් වූ ගුවන් විදුලි සංවාද නාට්‍යය මගිනි. 

සිංහල සිනමාවේ උපත සිදුවු මුල් යුගයේ දක්‍ෂින භාරතීය චිත්‍රාගාර ආශ්‍රීතව ගොඩනැගුනු කතා පුවත්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ආගමනයෙන් නවමගකට යොමුවන්නට විය. ඔහු සිනමා කැමරාව එළිමහනේ ගම්මානය පුරා මෙහෙයවමින් ’රේඛාව’ නිර්මාණය කළ 1956 වසරේදී පවා දිවයිනේ අතිබහුතර ජනතාව නොඉඳුල් ගැමියන්ව සිටියහ. එකී කථාපුවතින් දැක්වෙන පරිදි, සිංහල ගැමියන් අසරණ දරුවන්හට අඩන්තේට්ටම් කරන්නෝ නොවන බව කියමින් ඇතැමුන් ඔහුගේ කෘතිය විවේචනයට ලක් කරන්නට විය. එහෙත් අභිචාර, මිථ්‍යා විශ්වාසයන්ගෙන් සහ පාරම්පරික ඇදැහිලි ක්‍රම වලින් මුක්ත නොවූ සිංහල ගැමියන් ඒවාට දැඩිව වහල් වීම නිසා, සිය සහෝදර ජනතාව නෙපෙළා සිටියෝ නොවුන බව එදා සිගිත්තන් වූ වත්මන් වැඩිහිටි පරපුර සාක්‍ෂි දරනු ඇත.


එතැන්හි සිට සිංහල සිනමාවේ නව මං සළකුණු තබන්නට, ඉන්දිය සිනමාකරුවන්ද උත්සුක වූයේ ගැමිදිවිය අළලා කළ සිනමාකෘති වඩ වඩාත් ජනගත කරවීමෙනි. ඒවා පසුව ආදායම් වාරතා ඉපදවීමට සමත් විය. 

කුරුඵ බැද්ද - 1960, සංදේශය - 1960, හඳපාන - 1965, සාරවිට - 1965, රෑන ගිරව් - 1967, බිනරමලී - 1969, දෑසනිසා-1976,  වැනි සිනමා සිත්තම් පූර්ණ ලෙස ගැමි දිවිය අළලා ගෙතුනු අතර, සිංහල නවකථා සාහිත්‍යයෙන් බිහිවුනු කැළෑහඳ - 1956, හිගන කොල්ලා - 1978 (ඩබ්ලිව් ඒ සිල්වා), ගම්පෙරළිය - 1963, මඩොල් දූව - 1976 (මාර්ටින් වික්‍රමසිංහ) තුංමං හන්දිය - 1970 (මහගම සේකර), ළසඳා  1974, (ටී බී ඉලංගරත්න),  සාගර ජලය මදි හැඞුවා ඔබ සන්දා-1988, (සයිමන් නවගත්තේගම), බැද්දේගම - 1981 (ලෙනාඩ් වුල්ෆ්) ද දුරාතිතයේ ලාංකීය ගැමිදිවියේ විසිතුරු හදාරන්නන්ට මහගු මුලාශ්‍ර සිනමා පටයන්ය.



ගම්මානයේ වරුණ ගෙනහැර පෑ ගුවන් විදුලි මාලා නාටකයන් කෙරෙහි වසග වූ ලාංකීක ශ්‍රාවකයන් ගේ මනදොළ සපුරා දෙන්නට උත්සුක වූ සිනමාකරුවන්  ’මුවන් පැළැස්ස’ නමින් පිළීවෙලින් 1979, 1980, 1983 සිනමාකෘති ත්‍රිත්වයක් ම තිරගත කරවීමෙන් යම් අයෙකුට එදවස එකී නාට්‍යය ලද ජනප්‍රසාදය පිළීබඳව අවබෝධයක් ලබාගත හැක්කේය. කෙසේවෙතත්  ශ්‍රාවකයන් තම මනසේ මවාගත් ’ගම්මානයේ රුවගුණ සිනමාපට වෙතින් සුණුවිසුනු කරගන්නට ඇත. එසේම ’මොණරතැන්න’ නමින් 1979.1982  සළරූ ද, වජිරා’ නමින් 1985 දීද, රත්තරං කන්ද නාටකයෙන් 1985 දිද සිනමාපට බිහිවිය. 


ලාංකීකයන්ට පෙරනොවූ විරූ අපූරු අත්දැකීම් අත්කරදෙමින් ඔවුනට අත්විඳින්නට ලැබුනු, ඔවුන්ගේ ජනවහරින් කියැවුනු ’මැදසාලයේ පික්චර් හෝල් එක’ එනම් ’රූපවාහිනියේ’ අගමනයෙන් පසු එය එළෙසින්ම තවත්  සිගිති සිනමා තිරයක්’ බවට හැරවීමේ සිහිනය පූර්ණ ලෙස සැබෑ කරදුන්නේ  ’ටෙලිනාට්‍ය’ කලාවයි. එය තම පසුම්බිය සිඳියාම වළක්වා, නගරයට යෑමේ ඊමේ කාලය ඉතිරිකරවාදුන් අපුරු බයස්කෝප් පෙට්ටියක් නොවේදැයි ඔවුනට සිතෙන්නට ඇත.  ’දිමුතු මුතු - 1982, පළිගු මැණිකේ - 1984, මැණික් නදිය ගලාබසී - 1985, අඹ යහඵවෝ  - 1988, වෙදහාමිනේ - 1990, දඞුබස්නාමානය - 1995,  පිටගංකාරයෝ-1998  ගමක අසිරිය රූපවාහිනියෙන් ගෙනහැර පෑ ’ටෙලිමාලා නාටක’ අතර ප්‍රමුඛ විය.

නිදහස් අධ්‍යාපනයේ සිඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ඈත එපිට ගැමි පාඨශාලාවන්හී අකුරු කළ දරුවන් දක්‍ෂ ගුරුවරුන් හමුවේ අධ්‍යාපනයේ සරුඵල නෙළාගන්නට සමත්වෙමින් තිබුනු අතර මෙහි ප්‍රථිපල 70 දශකයේදී වඩ වඩාත් පුඵල් වූ බව පෙනීයයි. ඔවූහූ පසුව උසස් අධ්‍යාපන අවස්ථාවන් ලැබ නාගරික පාසල් කරා සංක්‍රමනය වී, රජයේ සහ පෞද්ගලික අංශයේ වගකිවයුතු තනතුරු ලැබ, පහළ මධ්‍යම පංතියේ සාමාජිකයන් බවට පත්විය.

මෙවන් විපර්යාසයන්ගේ සළකුණු එකිනෙක මතුවන්නට ගත් 70 දශකයේ දී, නාගරිකරණය ආශ්චර්යයක් ලෙස සළකන්නට යෙදුනු යුගයක, සාම්ප්‍රදාය අතික්‍රමණය කරමින් සුන්දර ගැමිලියන් සංකර නගරික තරුණයන් හා විවහ බැම්මෙන් බැඳෙන්නට රිසි වූ යුගයක එකී පෙරළිය සාම්ප්‍රදායික ගැමියන්ගේ සෝපහසයට ලක්වූ වග කියැවෙන පබැඳුමකි මේ.

අනේ හැබෑමට මෙහෙමත් නාටක ....

කොස්වතු කන්දේ රොසලින් නැන්දගේ ඉහේ මලක් පිපිලා ...

හරි ඉහලයි..මද්දුම දෝණිට ගැළපෙන පන්නෙට බැණා කෙනෙක් ලැබිලා ...

කන්තෝරුවක වැඩ ලොකු තනතුරකයි. දේපොළ වතු සින්නක්කර තිබුනයි..

ගජරාමෙට ඉංගිරිසි කතාවයි... කියල වැඩක් නෑ බෑණගේ විස්තර.....

සුභ මෙහෛාතින් පෝරුවේ නංවාලා...අෂ්ඨක කියලා ආසිරි පතලා...

චීන පටස් කෙළි සෙල්ලම් මැද මගුල් ගෙදර ජයටම කෙරුණා...

ජයට මගුල් කා දෝණිව දුන්නට රොසලින් නැන්දට කරදර අඩුනැත..

ඒ දිගෙන් මට කම්නැත කියලා... මද්දුම දෝණි සටනට සැරසුනි....

කොස්වතු කන්දේ රොසලින් නැන්දට හිසරදයක් හැදිලා ඉවසුම් නෑ..

මද්දුම දෝණි ඕන්න ආපහු ගෙදරට ඇවිදිල්ලා ....

(රෝහණ බැද්දගේ සංගීත පර්යේෂණ ගී සරණිය - 1975)

ගම්මානයේ ඉපිද එහි හැදීවැඩී, කෙළිලොල් ළමාවිය එහි ගතකළ පසුව නිදහස් අධ්‍යාපනයේ ඵල ප්‍රයෝජන අත් කරගනිමින්, සමාජ සංස්ථාවේ ඉහළ ස්ථර කරා එළඹ, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නාගරික සමාජයට අනුගත ව සහ එයින් මවන සරුවපිත්තල ලෝකයේ දිවිගෙවන්නෝ, අනායාසයෙන් මනසින් සැරිසරන්නේ තමාගේ ළපැටි විය ගෙවුනු ගම්මානයේය. රැකියාවේන ඉසිඹු ලබන ඔවුහූ යළිත් තම පරන පුරුදු දිවිමං චාරිකාවේ නිරත වන්නට ප්‍රිය කරති. සමාජ ස්ථරයන්හි ඉහල තල කරා එළැඹුනු ඔවූහූ එය විවහ බන්ධන මගින් ස්ථාවර කර ගනිති. සහකරුවා හෝ සහකාරියගේ ළමා - යොවුන් විය ගෙවුනේ නාගරික කොටුවු පරිසරයක දී නම්, ඔවුන්ගෙන් ඇතැමුන්ද, පෙර අත්නොවිඳි අත්දැකීම් සහ නිදහස පිනිස සිය විවහ සහකරුගේ උපන් ගමෙහි සැරසරන්නට ප්‍රිය කරති.


විවහා බන්ධනාදියෙන් හා වෙනත් කරුණු නිසා ඉඳහිට නගරයට සංක්‍රමනය වූ ගැමි යුවතියන් එහි සරුව පිත්තල ලෝකය හරිහැටි දැන හඳුනාගනු නොහැකිව එයින් උද්දාමයට පත්ව ඊටම ගොදුරුවූ අතර එවැන්නියන් අවශේෂ ගැමිලියන්ගේ උපහාසයට හා පිළිකුලට භාජනය වූ බවක් දක්නට ලැබිනි. ඒ 70 දශකයේ දීය. ඒ බව හැගවෙන පදරටාවකි මේ. ගී පද රචකයා ඒ බව ප්‍රකට කරන්නට සපයා ගත් සිත්ගන්නා සුඵ උපමාව සළකා බලනු මැනවි.

රන් තැඹිලිය මලේ රුවට රුවින් දිලුනු නගේ .....................

පෙති ගෝමර බඳරග දුන් බාල බොළඳ නගේ ..............

සිදාදියට දීග ගිහින් ගමට ආව නගේ .................

විදුලි බුබුඵ සැණකෙළියත් නුඹ වාගෙයි නගේ ...............

දුරට පිපුනු මල් සුවඳට ඔමරි කලා දනී......................

කිතුල රෑන නිතඹ රෑන දග දුන්නා දනී....

කවඩි සිනා රතු තොල්පෙති ඔපකෙරුවා දනී...

නුඹ හින්දා මේ යායම එළිය වුනා දනී......


'විළිබිය නැති නෙතින් ඉහින්  සඵ ගතවට එතේයා .......

නන් විසිතුරු පාට වලින් වතේ ඔපය ඇඳේයා...

අහංකාර රුවට ගතේ අරුමෝසම් බැඳේයා...

නගේ යළිත් නුඹ යායට නාවත් කම්නැතේයා...

(ප්‍රියානන්ද විජේසුන්දර ගී පද ගැයුම නීලා වික්‍රමසිංහගෙනි සංගීතය - අතුල සෝමසිරි - ජන සංගීත පර්යේෂන ගී - 1975)

ඈත යුගයක මතුනොව මෑත ගෙවිගිය දශක කිහිපය දක්වා, ඇතැම් විට ඉඳහිට අදපවා, ඥාතිත්වයෙන් එකට බැඳුනු ගැමියන්ගේ ආකල්ප, සිරිත් විරිත් විපරිනාමයට ලක් නොවි පැවතුනු, පවතින බව දක්නට ලැබිනි. මානවක මානවිකාවන්ගේ දිවියේ වඩාත්ම වැදගත් කර්තව්‍යය වූයේ ’අතිනත ගැනීමයි’. තම පුතු විසින් අභිනවයෙන් නිවසට කැන්දාගෙන ආ යුවතිය දෙස උකුසු ඇසින් බැලුම් හෙළන්නී, මවයි. ඇයගේ චර්යාව. කතාබහ, ඇඳුම් පැළඳුම්. ඉහුම් පිහුම්, සකසුරුවම, කාර්යශූරත්වය, සබයකදී හැසිරෙන අයුර පමණක් නොව පෞද්ගලික ස්වස්ථතාවය, නැන්දම්මාගේ සියුම් නිරික්‍ෂනයට ලක්වෙයි. එපමණකුදු නොව, ’අඵත කැන්දාගෙන ආ මනාලිය’ සැමියාගේ ඥාති පරපුරේ සාමාජිකාවන්ගේ ද නෙත්බැල්මට හසුවෙයි.  ඔවුන් සියල්ලෝ  පුන පුනා බලා සිටින්නේ අන් කවර කරුණක් හෝ නොව ඇය වෙතින් වහා පෙන්විය  යුතු, මව් පදවියට ලක්විමේ පෙරනිමිතිය. 

අඵත ගෙනා මනමාලි..............

හරි ලස්සන හැඩවැඩ ගම්බද කෙල්ලකි...........

නැන්දා මාමා ගොඩක් සතුටින් පිළිගත්තේ දෙපැත්තෙම නෑ මිතුරන්....

ප්‍රිය සම්භාෂනෙන් පසු මංගල සබේදි පැවැත්වු කතාවලටත් සවන්දුනි..........

පුංචි මාමා නැගී සිටිමින් අවවාද රැසක් දුනි දේශනයෙන් ...

දරු මල්ලෝ ගොඩක් ලැබේවා නව යුවළට කිව්වම කට කොණකින්...

හිනාවුනි අඵත ගෙනා මනමාලී....

නෑසියන් පිටවු සැණකෙන් නැන්දම්මා ඇවිත් ඉඳගත්තේ ලගින්...

දරු මල්ලෝ දෙකක් හොඳටෝම අපට ඇති නේද දුවේ කියමින් ...

වැළඳ ගති අඵත ගෙනා මනමාලී.....

(නීලා වික්‍රමසිංහ සමග රෝහණ බැද්දගේ  - ජන සංගීත පර්යේෂණ අංශය - ලංකා ගුවන් විදුලිය - 1974)

එදා තමා දිවිගෙවූ පරිසරයේ එනම් මූකලානේ ගහකොළ, සතාසීපාවා, මිනිසුන්, සිරිත් විරිත් පිළිබඳව හොඳින් දැනකියාගත් එහෙත් සමාජ අත්දැකීම් රහිත අවිහිංසක එසේම ඇතැම් මෝඩ පහේ ගැමියන් ඇතැම් විට කෛරාටිකයන්ගේ බස් අදහාගනිමින්, අසිරුවට පත් වූ පුවත් ද නැත්තේ නොවේ. එවන් අකරතැබ්බයන්  ද ඉඳහිට හෝ ගීයකට ගොණු කළ අවස්ථා ද හමුවන්නේ මෙළෙසිනි. ඒවා හුදු කතාන්දර ස්වරූපයෙන් ලියැවුනේ ගමේ නගරයේ කවර මට්ටමේ උගත්කමක් ඇත්තෙකුට නිරුත්සහයෙන් වටහ ගත හැකි වන ලෙසටය.

’කපුරුහාමි ගේ ආලය -’

අතුරු මිතුරු දඹදිව තුරු මගේ සුමිතුරු රාජ කපුරු...හාමි කපුරු...

ගගක් අයිනේ නානා හිටිය ළඳක් එක්ක උනා මිතුරු....

එක දවසට එක සැරයයි ගගට එන්නේ තරුණි මිතුරු...

එන වේලාව කියන්ට බැරි කාරණයකි කරලා සිකුරු ...

යන එන අය දකී කියා හැංගි හැංගි අතරේ පඳුරු ...

මුඵ දවසම ගග අද්දර කාලේ ගෙවයි හාමි කපුරු..

දැක ගන්නට උවමනා නිසා ඒ ලස්සන සොඳුරු සොඳුරු

ගගට බැහැලා කාලේ ගෙව්වා හිරු බැස ගොස් උනා අඳුරු...

එදා රැයත් පහුවෙනිදත් වද දුන්නද මැස්සො මදුරු ...

ගග අද්දර අහස දිහා බලා සිටි හාමි කපුරු....

ඔරු පැද පැද නව යුවළක් ගග මැද්දේ පෙනේ නුදුරු...

ඒ ගී හඞ ඇගේ කටහඞ ඇය නොවේ මගේ තරුණි මිතුරු...

අදහන්නට බැරි තරමේ සිහිනයක්ය මේක නපුරු...

දෑස පියාගන්ට බැරිව දෑත වනයි හාමි කපුරු...

ඈ වෙනුවෙන් ලියාපු කවි කියාගන්ට බැරිවනතුරු..

ආදරයක් ආසාවක් තවත් හිතේ නොකර ඉතුරු..

ගගට කැපූ ඉනි කියාලා ගියේ යන්ට හදින් දෙදරු..

ඊට පස්සේ ඒ පළාතේ ආවෙම නෑ හාමි කපුරු..

(එම් එස් ප්‍රනාන්දු, සෙබස්තියන් ප්‍රනාන්දු)

'අඩමසකින් නැවතත්..................