namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, May 20, 2024

එක්තරා යුගයක ලක් දිවයිනේ ගමක වරුණ...13

සිංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය........... 13


 සිංහල ජනශ්‍රැතියේ හදවත ’එදා ගම්මානයයි’, සිරිත් විරිත්, ජන ක්‍රීඩා, ඇදැහිලි, යාතු කර්ම, වෛද්‍ය කර්ම, ගොඩමඩ ගොවිතැන, කර්මාන්ත, යන මේවා ඇසුරෙන් උපන් ජනකවි, කථා, බස්වහර, උපමා,රූපක, ප්‍රස්ථා පිරුඵ ආදී  භාෂාප්‍රයෝග සිංහල බස පුබුදුවයි පොබයයි. ගීතයෙන් නොනැවතී  වේදිකා නාට්‍ය, සිනමා කෘති, ටෙලිනාට්‍ය, විශේෂංග, ගීතනාටක, ගුවන් විදුලි නාට්‍ය ආදී කලාංගයන් පුරා අක්මුල් විහිදුවාලන්නේ සිංහල ජනසංස්කෘතියයි. නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන් තම සිහින පැතුම් මල්ඵල ගැන්වී  පරිපාලන හිණිපෙතෙහි ක්‍රමයෙන් ඉහළට නැග මෙරට සහ නොරට විවිධ තලයන් හි රැඳී  සිටින්නන්ගේ අක්මුල් මන්-පිය මුත්තණු පරම්පරාවන් ඔස්සේ  ඈත ගම්මාන කරා විහිද යැයි. එහෙයින්දෝ සිංහල පමණක් නොව වෙනත් ජාතින් නියෝජනයක කරණ ලාංකීය ජනතාවගේ උප විඥානයේ ගැඹුරු තැන්හි ලැගුම් ගෙන ඇත්තේ ’ගැමිකමයි’. 



එහෙයින්දෝ විවේක පාඩු ලද වහාම, හිස ගත්තවුන් ලෙස ජීවන අරගලයේ නිරතවන්නෝ, දූර ඈත පදෙසකට ගොසින් නිල්ල ගැසුනු කෙත්යායේ, වෙල් එළියේ, වනවදුලේ සැරිසරන්නේ උන්මාදයට ලක්වූවන් මෙනි. එහිදි ඔවූහූ නූතන මනෝ වෙදැදුරන් විසින් හඳුනාගෙන  ’අතීතකාමය’ (nostalgia) නමැති රසගුලාවේ ගිලී මත්වෙති.  ගැමිකම කියැවෙන, වනපෙතේ, හේනේ කුඹුරේ, පැල්පතේ අත්දැකීම් සිදුවීම් කැටිවූ කලා නිර්මාණයන් කෙරෙහි වහාම ආශක්ත වන්නේ එනිසා වන්නට ඇත.

’ජනකවි’  කලාව ගුරුකොට ගත් අතිමහත් ගණනක ’ගී’ බිහිවූයේ පසුගිය සියවසේ දෙවන භාගයේදීය. එයින් උත්පාදනය වූ ගාමක බලයෙන් ඇදී ආ රැල්ල නව සහස්‍රකයේ මුල් දශකය දක්වාද පැවත ආවේය. 


’රන්කුරහන් මල සේමා............’ (නව පරපුරේ ගායන තරු යුග්මය භාතිය ජයකොඩි සහ සන්තුෂ් විරමන් ගැයු ජන කවි ආරේ නිර්මාණය) ඊට මනා නිදසුනකි. 


මෙම සටහන් මාලාවේ  සමාප්තිය කරා එළඹෙන්නට මත්තෙන් මිට පෙරාතුව ලියැවුනු සටහන් ගණනාවක ඇතුළත් වූ ’1960, 1970,1980,’ යුගයන්හී ගැයුනු ගීත පණහකට අධික සංඛාවකින් ඇතැම් ඒවා මෙම , ’ජන ගී’ කලාවෙ ආභාෂය ලැබගත් බව නිරික්‍ෂණය වේ.


ජන කවියෙන් උපන් ගීතයක් උරුම කර ගන්නේ මුලින් කී කලාංගයේ හැඩතලය.


තෙල් ගාලා හිස පීරන් නෑනෝ ...

ඇටවැල ඇරගෙන බැඳගං නෑනෝ ...

සේලේ ඉනවට ඇඳගන් නෑනෝ ...

ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ යමු නෑනෝ....

කූඹුර මැදින් නියර දිගේ මල් පුබුදිනවා ....

මිණි මුතුයෙන් ළා තනපත් සේල නෙළනවා ...

රෑණ ගිරා රෑන උඩින් වියන් බඳිනවා...

බාලලියන් සුබ නැකතින් කෙතට බහිනවා..........


(සුනිල් සාන්ත ගුවන් විදුලි ගී නිර්මාණ  - පද රචනය - අරිසෙන් අහුබුදු - 1968)


පෙර කවරකලෙකත් සිදු නොවූ, ඉංග්‍රිසි යුගයෙන් පසුව සිදුවු බරපතලම විපර්යාසයකට ’ගම්මානය’ ලක්වුයේ 70 දශකයේ අගභාගයේ ලක්දීපයට වීවෘත ආර්ථිකය ප්‍රවේශ වීම හේතුවෙනි. එතැන් හි සිට ගම්මුන් මතුනොව ගැමිලියන් ද ’අගනගරය’ කරා ඇදී ආවේ වේගයෙන් වානිජකරණයට ලක්වූ සමාජයේ ’බහු භාන්ඩිකත්වයේ’ වහඵන් බවට පත්වීමෙනි. ඒ අනුව තමන් දිවිගෙවූ කුඩා සරළ නිවහන ’බංගලාව’ ක් බවට හරවා ගැනීමේ සිහින සැබෑකරගන්නට ඔවුන් වළිකෑහ. මාසික කූළී වේතනයකට වහල් වූ ඔවුන් එයින් අතෘප්තිමත් නම් විදෙස් ගතවී බැළමෙහෙවර කිරිමේ කටයුත්තේ යෙදෙන්නට පහසුකම් සලසා දෙන ලදී. නිවහනේ සිහිනයෙන් අනතුරුව හෝ ඊට ද පළමුව ඊලග සිහිනය ’මෝටර් රථයකි’.  ගතින් නගරයට පිවිස දිවිගෙවූවද ඔහු නිරන්තරයෙන් සිතින් ගතකලේ ’සිය ගම්මනායේ’ විය හැකිය.


රන්බන්ඩේ රන්මැණීකේ ......

පිරෙනවාද මුට්ටි පුරා.....

මහකිතුලේ  මලේ කදුඵ ....

පිපෙනවාද තවමත්...

සත්කෝරළයේ සමන් කැකුඵ .....


ගම්මානෙන් නුවරට එන මහපාලම බිඳදමන්න...

මං ආසයි හැමදාමත් මං හිටි මගේ ගම දකින්න.....

ගොඩේ ඉඳං හැන්දෑවට වාරං කීවා මතකයි...

ගමේ මතක මට තාමත් සමන් පිච්ච මල් සුවඳයි.....


(සුනිල් ආරියරත්න, වික්ටර් රත්නායක, ගැයුම ගුණදාස කපුගේ)


පෙර කී පරිවර්තනය සිදුවි දශක පහක් පමණ ගෙවි යන මේ යුගයේ, එදා ගම්මානයක නෂ්ඨාවශේෂයන් අතරින් පතර තවමත් ඉතිරිව තිබුනද,  කෙළි සෙල්ලම්, ජනක්‍රීඩා. ආදී ගැමි සංස්කෘතිකාංග සෝදාපාඵ ව සිඝ්‍රයෙන් අභාවයට යමින් තිබෙනු දක්නට හැක්කේය. සත්වයෙකුගේ සිරුර තුල දිවයන රුධිර සංසරණ පද්ධතිය බඳුවන් සංකීර්ණ මාර්ග ජාලාවන්ගෙන් වට වී ඇති ගම්මානයක වෙසෙන්නන්, නිරන්තරයෙන් එයින් ඔබ්බට යති, එති ඒ සමගම අමුත්තන්ද එහි පිවිසෙති. මාර්ග පද්ධතියට නොදෙවෙනි බලපෑමක් සිදුකරන්නේ ජංගම දුරකථන සහ මාධ්‍ය සන්නිවේදන ජාලය විසිනි. ඒවා විසින් තලා පොඩිකර දමන ගැමි සංස්කෘතිකාංග, වෙනුවට නාගරික, සංකීර්ණ සංකර දිවිපෙවෙත ඔවුන් මත පටව දමන්නේ, මතුපිටින් නෙක විසිතුරු අතිශයෝක්තියන් දවටා හරිමිනි. 

එසේ වුවද අදද, වන මූකලානයන්ගෙන් වටවීම හෝ ගිරිදුර්ග කඳුහෙල් වලින් කොටුවීම නිසා හුදකලා වූ ගම්මාන ද නැත්තේ නොවේ. 


                                 ලිපි මාලාවේ සමාප්තියයි


සමාලෝචනය


එදා මුඵ දිවයිනම එකම ගම්මානයක් බඳුය. නාගරිකයන් දිවිගෙවූ අගනුවරට නුදුරින් පැවති කිරුළපන, බොරලැස්ගමුව, කෝට්ටේ, නුගේගොඩ, කැළණිය ඈ මෙකී නොකී පදෙස් ද ගම්මනායන්ය. තමාගේ ළපැටි වියේදී පැවති කිරුළපන ගම්මානය පිළීබඳව විස්තර සටහන් එහි වැසියෙකු වූ ප්‍රවිණ ගීත රචක, සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා ශූරීන් ගේ කෘතිවල ඇතුළත්ය. තතු එකල්හි අගනුවර අවටින් තවත් දුර බැහැරට යද්දී හමූවන වෙනත් පදෙස් ගැන කියනුම කවරේද? උක්ත ගී රචනාවන් ට පාදක වන්නට ඇත්තේ මේවයේ සාමාජිකයන් ව සිටි ’ගැමියන්’ ගේ අත්දෑකීම් විය හැකිය. ඔවූහූ ළමාවියේ අත්දුටු දෑ එහි ඇතුළත් බව නිසැකය. 


ඩෝල්ටන් අල්විස්, මහගම සේකර දෙපොළ ප්‍රමුඛව කරුණාරත්න අබේසේකර, උපාලි ධනවල විතාන, කුලරත්න ආරියවංශ, සුනිල් ආරියරත්න, සුනිල් සරත් පෙරේරා, ජයම්පතී අල්ගම, අජන්තා රණසිංහ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ. ප්‍රේමකීර්ති ද අල්විස්, බන්ඩාර කේ විජේතුංග, සුනිල් ආරියරත්න, අරිසෙන් අහුබුදු, ධර්මසිරි ගමගේ, මඩවල එස් රත්නායක, මහින්ද අල්ගම, සිසිර සේනාරත්න, අබේවර්ධන බාලසූරිය, ඔවුනතරින් ගැමි දිවියේ අසිරිය ගීයට නැංවූ රසවතුන් අතර වෙසෙසින් කැපී පෙනෙයි. ගැමියන්ගේ බස් වහර පවා අව්‍යාජව සිය නිර්මාණයන් වෙත වැද්දා ගන්නට අජන්තා රණසිංහ, ඩෝල්ටන් අල්විස්, කරුණාරත්න අබේසේකර වැන්නෝ කිසිවිටක පැකිඵනේ නැත.


මෙම සටහන් මාලාවේ ඇතුළත් වූ ගීත දාමයේ රසපූර්ණිත ගී පුරුක් විමසා බලනු මනාය. වරහන් තුල ඇත්තේ එම ගීතය ඇතුළත් වූ ලිපි අංකයයි


උපාලි ධනවල විතාන

රන් කුරහන් හේන උඩින් (1) , ඔරුව වසා වැලි පුරවා (10) 


ඩෝල්ටන් අල්විස්

කුරහන් හේනේ පිපුණු මලී  (1) නාමල සේමයි පෙණුනේ (1), වතුර කළේ ඇයි උකුළ තෙමන්නේ (1), ඇල් හේන දිගේ පාන වගේ (6), එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ (10), 


කුලරත්න ආරියවංශ

කුරහන් යායේ සඳ උතුරාගෙන (1), ලන්ද දිගේ හැංගි හොරා සැඳැ කාලයේ (1), කෙකටිය යායේ සිරිපොද පිපිලා (4), මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා (4)


ජයම්පති අල්ගම

කරල් බරින් නැමී දිළෙයි (1), 


අජන්තා රණසිංහ

කුඹුකේ ළිඳෙන් දිය නා අපූරුයි (2), රෑ හඳේ හීනෙකින් සීපද ඇහුණයි (5), රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ (6), මහද කාටදෝ ඒ රුව ඇදෙනවා හදේ (11), කෝපි ගසට කෝපි මලට (11)


සුනිල් ආරියරත්න

පොඩි කුමාරිහාමියේ (2), කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ (12)


මහගම සේකර

වක්කඩ ලග දිය වැටෙන තාලයට (2)


දෙල්තොට චන්ද්‍රපාල 

රත්ති අරන් උදැනැක්කේ කොහේද යන්නේ නගෝ..(3), පින්න මල් පිපි පින්නේ ලන්ද ලස්සනයි (11), 


කරුණාරත්න අබේසේකර 

රෑ පැල් රැකලා පැල් කවි කියලා (5), මොකද මැණීකේ හනික යන්නේ (8), 


සරත් මුණසිංහ

මුතු මැණිකේ කළේ අරන් ............(5)


ප්‍රියානන්ද විජේසුන්දර

රෑහි රංචු හඞ අහලා (6), රන් තැඹිලිය මලේ රුවට (12)


සුසිල් සේනාධීර

මගේ සුදු මාමේ නෑ බෑ නොකියා (6), 


ජෝර්ජ් ලෙස්ලි රණසිංහ

පැණී මොර මල් පැණි මොර මල් (7), 


ප්‍රේමකීර්ති ද අල්විස්

බුලත් වඩියක් හාපාලා ..(7)


අරිසෙන් අහුබුදු

මල් මල් ගුමු ගුමු ගන්වන්නී (8)


කමල් ඩී අතුකෝරාළ

බිංකුන්ඩෝ බොල බිංකුන්ඩෝ..(8)


සී ද එස් කුලතිලක

බැද්ද වටට සුදු මොර මල් පිපිලා..(8),


සිසිර සේනාරත්න

රෑ හඳ පායාලා අද වාගේ (10), 


සුනිල් සාන්ත

බෝවිටියා දං පඵ කං වාරේ (11)


රෝහණ බැද්දගේ

කොස්වතු කන්දේ රොසලින් නැන්දට (12), හරි ලස්සන හැඩ වැඩ ගම්බද කෙල්ලකි (12), 

අවසාන කොටස ඉදිරි දිනයකදීය ....................


8 comments:

  1. මේ අගනා ලිපිපෙළ ලියන්න ගත් මහන්සිය ගැන ස්තූතියි.💐👌🙏

    ReplyDelete

  2. ඉර හඳ වුණත් උදා වෙලා බැස යනවා
    සුවඳැති මල් වුණත් මුකුලිත වී යනවා
    හොඳ ලිපි පෙළක් අවසන් වෙන්නට යනවා
    තව මරු posts මඟ එන බව තේරෙනවා!

    ReplyDelete
    Replies
    1. අරුත් සපිරි ගී යුගයද නිමාවිය
      මධුර මිහිරි ගී තනු ⁣නොම අසාවිය
      රසය පලාගිය යුගයක් උදාවිය
      ඒ දිය දහම කිමදැයි පසක්විය

      Delete
  3. මේ වගේ සීරිස් එකක් ලියන්න කොය් තරං මහන්සි වෙන්නෝනද. ඔබට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. 🙏 ස්තුතියි රසික හිතවත

      Delete