සිංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය........... 11
තොටියන් ලෙස පෙනිසිටියෝ පිරිමින් පමණක් නොවේ. යුවතියන්ද ඒ කාර්යයේ නිරත වූ අවස්ථා වාර්තා වී තිබේ. එසේම ඇය එකම කර්යයක, වගකීමක නිරත වූවා නොවේ. වරෙක ගෘහනියගේ වගකීම හිසින් දරා ගත් ඇය සිය සිගිති සොයුරු සොයුරියන් හට මවක් විය. දුරින් පිහිටි දිය කඩිත්ත, ඇළ දොළ වෙත ගොස් දිය රැගෙන ආවේ ඔවුනට උයා පිහා දෙන්නටය. ඒ අතරවාරයේ බුදුපුදට රැගෙන යනු පිනිස නෙඵම්, මානෙල්, මල් නෙළන්නට පොකුණු. විල්දියේ බැස ගියාය. ගැඹුරේදී ඔරුව පැදයමින් ඒ කටයුත්ත සිදුකලේය. නිවසේ කුදු මහත් කටයුතු සිදුකරන්නට, කෙතට ඇඹුල ගෙනයන්නට, විහාරයට දන් ගෙනයන්නට, මවපියනට සොයුරු සොයුරියන්හට ගෙපැළේ සැතපෙන්නට පැදුරු වියන්නට, විවිධ ධාන්‍ය වර්ග ගබඩා කරගන්නට, ඒවා පවනේ, හිරු රැසේ වේළාගන්නට ’මාගල්’ වියන්නට දැනකියා සිටියාය. ඊට ඇවැසි ’පන්’ නෙළා ගෙනවුත්, ඒවා තීරු කපමින්, තම්බමින්, වියළමින්, වර්ණ ගන්වමින්, සුදානම් කරගන්නීය. මේවා දැක දැන කියාගත් දනන් ඇයගේ ඒ මහත් කැපවීම, පසසා ගී කවි පබඳා ඇගයීය.
කදුරු වෙලෙන් පන් උදුරාගෙන එනවා...........
පැදුරු වියා ලස්සන රටා මවනවා ....
දෙමට කැලෙන් දර අහුලාගෙන එනවා.....
දෙවට ළිඳෙන් කළයට දිය ගෙන එනවා.....
ඕඵ විලෙන් දිය නාගෙන ගෙට එනවා...
පාඵ කුඹුර උඹ හින්දම වපුරනවා....
එගොඩ ගොඩේ මල් නෙළනා මල් එතනෝ ...
මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ...
එගොඩ මෙගොඩ ඔරු පදිනා මල් එතනෝ....
නුඹ කාගේද නුඹ කාටද මල් එතනෝ...
(රවි රණසිංහ, පෝල් ප්‍රනාන්දු ගේ ගැයුමට ස්වර රටා මෙල්රෝයි ධර්මරත්නගෙනි - 1973)
දැඩිලෙස කුලධූරාවලිය යටතේ පෙළගැසුනු ගම්මානයේ කුලවත් වැදගත් කාන්තාව ධුරාවලියේ තත්වය අනුව සෙසු අය වසින් අමතන්නේ ’එතනාහාමි’ ලෙසය (ප්‍රදේශීය ජනවහරකි) එහෙත් උඩරට කුල කාන්තාව ’මැණිකා’ ය. ’ගොවිගම’ කුලයේ උඩරට පිරිමින් ’බන්ඩා’ ය. එකම පවුලේ සහෝදර, සහෝදරියන් වෙන්කරහඳුනාගන්නට මේ දෙපදයට යෙදෙන්නේ විශේෂනයන් පමණි. ’රන් මැණිකා, මුතුමැණිකා, හීන්මැණිකා, කොයින් මැණිකා, ඩිංගිරිමැණිකා, ලොකුමැණීකා, කඵමැණිකා, සුදුමැණිකා, මෙන්ම රන්බන්ඩා, ලොකුබන්ඩා, මද්දුමබන්ඩා, සුදුබන්ඩා, පුංචිබන්ඩා, මුතුබන්ඩා,හීන්බන්ඩා,රන්බන්ඩා, කඵබන්ඩා,ඩිංගිරිබන්ඩා උඩරැටියන්ය. වෙල්නියරේ ලැසි ගමනින් පා තබමින් ඇවිද යන ’මැණිකා’ නුදුරින් ඇති පොකුණ ට බසින්නේ එහි පිපි ඇති මල් නෙළා බුදු පුදට ගෙනයන්නට පමණක් නොවේ. ඒවා නෙළා එක පොකුරට සුරත රඳවා ඉක්මන් ගමන් එන ඇයගේ දසුනින් මන්මත් වූ ඇය තනිකඩ ගැමි තරුණයාගේ නෙතට රසඳුනකි.
බහු භාන්ඩිකත්වය නම් මාරපාශයෙන් උන්මාදයෙන් නොපෙඵනු එදා ගැමියන්ගේ සියඵ අවශ්‍යතාවයන් ’ගම්මානය’ තුළින් සපුරාගැනීමට හැකිවිය.ඉඳහිට එහි පැමිණෙන සංචාරක වෙළෙන්දන්ගෙන් සිය ඇඹේනියන්හට ද ආදරවන්තියන් හට ද විසිතුරු තොරොම්බල් බඩු ද නා නා වර්ණ වස්ත්‍ර ද මිළදී ගන්නට ඔවුනට මුදල් අවශ්‍ය වන්නට ඇතිමුත්, භෝග, මි පැණි හුවමාරු ක්‍රමයටද ඔවුන්ගෙන් ඇතැමුන් ඒවා උපයා සපයාගන්නට ඇතිබවට වර්තා එමටය. ගොවි මානවකයා සිහින මවන්නේ තමන්ගේ ගොවිතැන් කටයුතු උදෙසා සහයිකාවක් මෙන්ම අනාගත පවුල් දිවිය සරුසාර කරගැනීමේ ඉලක්කය සපුරා ගන්නටය. ඒ අතර නවයොවුන් යුවතිය ගේ සිහින පැතුම අවස්ථාව ලද විටකදී ’දීගතල’ ගොස් සිය දෙමව්පියන්ගෙන් නිදහස් වන්නටය.
මාලෙ සදාගෙන ඔඵ මලින්..................
ගෙලේ දමාගෙන රුවට රුවින්..............
මැණීකා එනකොට නියර උඩින් ................
නිල්වන් ගොයමේ කරල් පැසෙන් .............
කවදද කටුමැටි පැලක් තනන්නේ ...
කවදද අටුකොටු පුරවා ගන්නේ....
කවදද රන්වන් කරල් කැපෙන්නේ ..
එදාට මැණිකව පැලට ගෙනෙන්නේ...
දාවලේ ඇඹුලත් මැණීකා ගෙනෙන්නේ ..
එය ඇගේ දෑතින් පිළීයෙල වෙන්නේ ...
කවදද මගේ පැලේ බතක් පිසෙන්නේ ....
එදාට රන්වන් කරල් කැපෙන්නේ ......
ඈ මා හැර වෙන කෙනෙක් පතන්නෑ ..
මම මගේ වචනය වෙනස් කරන්නෑ...
නිල්වන් ගොයමට මෙය තේරෙන්නෑ..
හනිකට හනිකට කරල් පැසෙන්නෑ....
(එම් එස් ප්‍රනාන්දු - 70 දශකය),
හෙටදින ඔහු හා එක වහලක් යටට යන්නට පෙරුම් පුරන ගෙවිලිය ද ඒ සුබදිනය එළඹෙනතුරු සිහින මවයි. හැකි ඉක්මනින් තම සිත් දිනූ තරුණයාගේ අත ගැනීම ඇයගේ එකම බලාපොරොත්තුවයි. උස්මහත් වූ පසුව සිය සහෝදර සහෝදරියන් හා මව්පිය සෙවනේ තවත් රැඳිම ඇයගේ සිත නොසන්සුන් කරයි. කුලගෙට වන් පතිනිය සිය හිමියා සමග මංගල ගමන පිටත්වෙන්නේ ’තිරික්කලයෙනි’ මොනවට සරසා, ගෙජ්ජි ගිගිරි හඞවමින් ඇදී යන ඔවුන් ගමන් ගන්නා තිරික්කලය පසුපස ඇගේ ඥාති සමූහයා රැගත් කරත්ත පෙළ ගමන් කරයි.
ඈත හේනේ ගීත කිවේ මට ඇහෙන්නදෝ.............?
රන් කරල් කපා ගෙනෙන්නෙ කාට දෙන්නදෝ ....................?
රෑ දිවා ගෙයක් හදන්නේ දිග කන්නදෝ .....?
ඒ ගෙදෙට්ට එළීය ගේන පහන කවුරුදෝ ..?
පෝයදාට ගේ වටේට මල් පිපේවිදෝ..?
ඒ මලක් තුලින් එයාට මා පෙනේවිදෝ ..?
මහද කාටදෝ ? ඒ රුව ඇදෙනවා හදේ ...
හිරු සඳු පායලා වගේ .....
(අජන්තා රණසිංහ, ලයනල් අල්ගම, සුජාතා අත්තනායක ගැයුම - 1977)
’තිරික්කලය’ එදා ගම්මානයේ අද ’බෙන්ස්’ රථයයි. ආරච්චිල සහ වලව් පැලැන්තියේ ප්‍රභූ පුද්ගලයන් ගේ සෙල්ලක්කාරකම පෙන්වූ ඊට නැගී ඉලන්දාරියෝ උජාරුවෙන් එය පැදයන්නේ ගම දෙවනත් කරමිනි. පවනට බඳු වේගයෙන් ඇදියන ගොන් නාම්බා ගේ දසුන ගැමියන් තැතිගන්වන්නට ඇත. ඒ අනුව මේ යුවතිය ඇගැලුම් කම් දවක්වන්නේ යමක් කමක් ඇති හයිකාරයෙකුටය. සෙසු තරුණයෝ බරබාගයේ නැගී හැල්මේ ඇදී යති.
සුබ නැකතින් මා අතගෙන ..............
තිරික්කලෙන් ඔබයනවිට...............
ආල නුඹෙයි ආල නුඹෙයි ආල ලතාවේ .....................
ඈත එපිට පුංචි පැළේ ..................
හෙට ලස්සන නැගෙන වෙලේ ..................
ආල නුඹෙයි අල නුඹෙයි අල ලතාවි..............
දෝතපුරා මල් අරගෙන නුඹ නළවාවි.............
කෝපි ගසට කෝපි මලට කෝපි පරෙවියෙක් ...
බඹතෙයි පරවියා බඹතෙයි................
නෙඵම් විලට නෙඵම් මලට බඹර කුමරුවෙක්............
බඹතෙයි කුමරුවා බඹතෙයි................
(අජන්තා රණසිංහ, ලයනල් අල්ගම, සුජාතා අත්තනායක ගැයුම - 1977)
ගහකොළ මලින් ඵලින් සුසැදි වනපෙතින් වටවූ කෙත්යාය ද ඒ වටා පිහිටි ගම්මානයද, කුරුඵ සරින් ගිගුම් දෙන පරිසරයද සොබාදහමේ අසිරිය කියාපාන මුණිවරු වැන්න. මි මැසි,බඹර කැළින් ද සමනළ කැළ වෙතින්ද හාදු ලබන දේදුණු පැහැ දහස් ගණන් පුෂ්ප වරග අතර ’පින්න’ මලද කැපී පෙනෙයි. පාරිශුද්ධත්වය සංකේතවත් කෙරෙන ශ්වේත වර්ණයෙන් සුසැදි ’පින්න මල්’ මත තැවරී තිබෙන පිනිබිඳු පිසගෙන හමන මන්ද මාරුතයේ පහස ලබමින් පියමං කරන යුවතියෝ එකී කමණීය දසුනින් වසග වෙති. නාගරිකරණයේ දුෂ්ඨත්වයෙන් කිළීටි වෙන්නට පෙරාතුව පැවති ගම්මානයේ අසිරිය, මෙසේ ගීයට නැංවුයේ ද 70 දශකයේදීය
පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි..............
පින්න මුතුවගේ මල් මත නටනු ලස්සනයි...............
ලන්ද කොනේ වෙල අයිනේ කැන්ද ගහේ ගහ මුදුනේ .....
සින්දු කියන කුරුඵ රෑන ගම නළවනවි .....
බිංදු බිංදු රන් මිණීමුතු පුංචි පුංචි කරල් හැදී....
ගොයම් ගසේ අග ඇමිණී සුලගේ නටනවා .....
(දෙල්තොට චන්ද්‍රපාල ගී රස මියැසිය වික්ටර් දඵගම, ගැයුම අමිතා දඵගම වැදිසිංහ - 1972?)
ඇළ, දොළ, ලන්දේ, වෙලේ, ඔව්ටේ , දෙවැටේ නිදහසේ ගම්මානය පුරා දුව පැන ඇවිදින නව යොවුන් ළමෝ සොබාදහම් මාතාවගේ උකුලේ සැනහෙන, ඇයගේ අසිරිමත් බව අත්විඳින, ඇයගේ අමිල දායාද භුක්ති විඳින්නෝය. ඔවුනට කන්නට, බොන්නට ඇවැසි දෑ ඇති පදමට එහි ඇත්තේය. බෝවිටියා, බාළොලියා, පඵ, ලොවි, වෙරඵ, දං, මාදං, මී, එකයායට සරුවට වැඩි තිබේ. සතුන්ද, දරුවන්ද ඒවා රිසිසේ භුක්ති විඳිති.
බෝවිටියා දං පඵ කං වාරේ මේ නොවැ පොඩි නංගෝ ...
කුරුඳු කැලේ සුදු වැල්ලේ මාදං ගොඩගැහිලා නංගෝ ...
සිහිවන විට තොල කටද පෙගෙයි නේ මා යනවා නංගෝ ....
පුහුල් හොරානම් කරෙන් දැනෙන්නා ඒවා නොවැ නංගෝ ...
සුදු ඔබේ දිව තොල් කඵ වූයේ කිමද අහෝ නංගෝ ..?
මටත් හොරෙන් ඔබ දං කෑවා නොවැ යසයි යසයි නංගෝ...
එකක් කටේ වැටුනා .. ටිකක් රහත් බැලුවා .. අයියගේ දත් ටික දම් පාටයි....
(සුනිල් සාන්තගේ නිර්මාණයකි - 1947)