namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, June 18, 2026

Sinhala super hits instrumental of 70s

 ගීයක් යනු කිම?..... විමසා දැන ගනු  මැනවි... 10  -   සැක්ස්ෆෝන්


බටහිර ආර අනුව සංගීත සංයෝජනය කළ සිංහල ගීතාවලියේදීද, රාගධාරී හින්දුස්ථානි සංගීත ශෛලිය අනුගමනය කරමින් සංගීතවත් වූ  සිංහල ගීත රැසකදී ද එකසේ අඩු වැඩියෙන් යොදාගත් ඉතාමත් පොදු වාද්‍ය භාන්ඩය ඔබ අප කවුරුත් හොඳින් දැන හඳුනාගත් ’සැක්ස්ෆෝනය’ යි.



වෙළඳ තැටි සහ පසුව ගැයුනු කැසට් පට ගීතයන්හීදී වඩාත් බහුලව භාවිත වූ මෙම සංගීත භාන්ඩයේ යටගියාව තරමක් විමසා බැලීම වඩාත් යෙහෙකි.

ගාම්භිර මනරම් පෙනුමැති හෙඳින් ඔප දැමුනු පිත්තල සංගීත භාන්ඩ පවුලේ හැඩකාරයා වන එය එක ඉපියාවකින් ඊටම ආවේනික හඞක් හටගන්වන අතර එය ගීත රසිකයන්හට ආගන්තුක හඳුනන්නට අපහසු හඞක් නොවන බව ඔබ සැම හොඳින් දනී.

බටහිර සංධවනි වලදී විවිධ අවස්ථාවන්හිදී එනම් සන්නද්ධ හමුදා තූර්ය වාදන සංදර්ශන, වෙනත් උත්සව අවස්ථා මෙකි නොකි විවිධ සංගීතමය කටයුතු උදෙසා සැක්සෆෝනය නැතුවම බැරි සංගීත භාන්ඩයක්ව පවතීන්නේ සියවසක් තරම් ඈත යුගයක සිටය. බටහිර වාද්‍ය වෘන්දයක රුවක් ඇස ගැටන්නේ යම්තැන්හිදී එතැන්හී ’සැක්සෆෝනයේ රුවද පැහැදිලිව මතු ව කැපී පෙනෙන්නේය.


විකිපීඩියා ව කියන පරිදි එහි උපත සිදුවි ඇත්තේ බෙල්ජියමේදී ය ඒ 1840 තරම් ඈතකදීය. ඔහු බෙල්ජියානුවෙකු වු ඇඩෝල්ෆ් සැක්ස් ය.

බොහෝ ශුෂිර භාන්ඩ වල නාද උපතේ මූලධර්මය මෙම උපකරණය ද භාවිතා කරයි. එනම් එහි කම්පනය වන වායු ධාරාවේ දිග එහි ඇති සිදුරු තුලින් අඩු වැඩි කිරීමෙන් එහි ’ස්වර’ නිපදාවාගනු ලැබේ. සම් අවාරනිත කොපු වෙතින් ඒ සිදුරු වසන්නේ ඒවාට සිය අතැඟිලි පහස දෙන වාදකයා විසිනි.

මුලදී පිත්තල ලෝහ භාන්ඩයක් වූ එය 80 දශකය තරම් මෑතකදී අගනා රිදී ලෝහයෙන් ද කලඑලි බැස්සේය.


අරමුණ

සිත කළඹන වේදනාභරිත මානසික තත්වයන් සංගීතයෙන් ඉස්මතු කර දැක්වීමට මෙය භාවිතා කෙරෙන්නේ ඒ කාර්යය ම කරන  ’ක්ලැරිනටය’ සහ ’ඕබෝව’ මෙනි. ශංගාරාත්ම අවස්ථාවන් උද්දීපනය කර ගැනීමටද එය යොදාගනී.

ලක්දිව ගීත කලාව රසගන්වන්නට පෙරාතුව එය උත්තර භාරතීය සිනමා සංගීතයේ මිහිර ඔපගන්වන්නට සැපත් වූයේ මෙයින් වසර 70 ට පමණ පෙරදීය. ’ෂන්කර් ජායිකිෂන්’ නම් වූ අති දක්‍ෂ සංගීතඥයන් දෙපොළ එය සිය සිනමා නිර්මාණ සඳහා යොදාගන්නට උත්සුක වූයේ 60 දශකයේ මුල් යුගයේ සිටය.

පසුව එස් ඩී බර්මන් සහ ආර් ඩි (රාහුල් දේව්) බර්මන් පියපුතු දෙපොළ ද මනෝහර් සිං නම් වු සංගීතවේදියා ද ඒ සඳහා දායක විනි.

1969 වසරේ දී භාරත සිනමා කලා ඉතිහාසයේ නොමැකෙන සිහිවටන පෙළේ තවත් සංධිස්ථානයක් සළකුණු කළේ ’ආරාධනා’ නම් වු සිනමාපටයයි. එහි ගායනවේදී කිශෝර් කුමාර් ගැයු ’රූපු තෙරා මස්තානා....’ හි වැයෙන රුසිරු සැක්සෆෝන් වාදනය  සිහිකැඳවනු වටී.

------------------------------


ලාංකීය සැක්සෆෝන් වාද්‍ය වගතුග

60 දශකයේ මුල් යුගයේදී පවා ඇතැම් සිනමා ගී නි්ර්මාණ සඳහා මද පමණින් ’සැක්සෆෝනය’ වාදනය කෙරිණි. පර්යේෂානාත්මකව කරුණු හැදැරූවේ නම් අප්‍රකට වාදකයන් පිළිබඳ තොරතුරු හෙළිදරවු කරගන්නට තිබිනි

'මේ සටහන කරුණු සංක්‍ෂිප්තව ගොනු කිරීමක් නිසා එය මගහැරයන්නට සිදුවිම පිළිබඳව කණගාටු වෙමි. ප්‍රකට සංගීතවේදියෙකු හා වාදන ශීල්පියෙකු මෙන්ම සිනමා සංගීත අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කලක් කටයුතු කරන ලද ’එම් කේ රොක්සාමි’ පිළීබඳ මතකය දිගහැරලන්නේ ද ’සැක්සෆෝනයෙනි’ මක් නිසාද යත් ’වයලීන’ වාදන ශිල්පියෙකු ලෙස කටයුතු කරන්නට මත්තෙන් ඔහු පෙර කී වාද්‍ය භාන්ඩය වැයු මුල්ම වාදකයන්ගෙන් කෙනෙකු නිසාය.  ඔහුගෙන් අනතුරුව ඊට මැදිහත් වූයේ එතරම් කතාබහට ලක් නොවු අතිදක්‍ෂ වාදන ශීල්පියෙකු ලෙස කටයුතු කළ ’කුමාර් මොල්ලිගොඩ’ ය.



60 දශකයේ අවසන දක්වා මේ දෙදෙනා ගේ දායකත්වය කැපී පෙනුනි.

80 දශකයේදී මෙහි දියත් කෙරුණු රාජ්‍ය රූපවාහිනී සේවා යුගලය විසින් පළමුවරට සංගීත සංදර්ශනයකට එක්නොවු රසිකයන්හට සිය ආදරණිය ගායකයන් සහ වාදකයන්ගේ හැඩරුව දිස්වන්නට සලස්වන ලදී. ඒ ඔවුන් නිතර විකාශය කළ මැදිරි පටිගත සංගීත සංදර්ශනයන්හි දීය.

එහිදි මෙම වාද්‍ය භාන්ඩය අතදරා සිටි එතරම් උස්නොවු හැඩකාර පැහැපත් සංගීත ශිල්පී වාදකයා හා එවකට ප්‍රකට සංගීතඥයා ඔබ ද දැන් වැඩිහිටියෙකු නම් ඇස ගැටෙන්නට ඇත.  80 දශකයේදී සිය කන්ඩායම සමග රූප මාධ්‍යය හරහා රුවින් කළඑළි බට ඔහු සංගීතවේදී වාදනශූරී ’ස්ටැන්ලි පීරිස්’ ය. 

ෆෝර්චූන්ස් () නමින් තම වාද්‍ය කන්ඩායම හඳුන්වාදුන් ඔහු, 70 දශකයේ සිට 90 දශකය අවසන් වනතුරු එනම් ගී තැටි යුගයේ සිට කැසට් යුගයද නිමාවන තුරු වෙළඳ ගී නිර්මාණ පටිගත කිරීම් වලදී නාද වාදන සහය ලබාදුන් ප්‍රමුඛතම සංගීත කන්ඩායමයි. 50

එහිදී ඔහු තරම් ’සැක්සෆෝනය’ සංගීත රසිකයන් අතරට කැඳවාගෙන ගිය අන් කවරෙකු හෝ නැති තරම්ය. ඒ කවරහෙයින්ද යත්, ඔහු ගී පටිගත කිරීමට එකී කටයුත්තේ නිරතවිමෙන් නොනැවතී 50 දශකයේ සිට ලාංකීය සිංහල සංගීත ලෝලීන්ගේ හද බැඳ ගත් අතිශය ජනාදරයට පත්වූ සියඵ ගීත එකක් නෑර සිය වාදන වෘන්දයදසමගින් ’සැක්සෆෝනයෙන්’ අනුවාදනයේ නිරත වූ නිසාය. ඒවා තැටිගත කිරීමේ කටයුත්තද සංවිධානය කරගත් ඔහු පසුව ඒ තැටි එවකට ජනප්‍රිය වෙළඳ ලේබල යටතේ වෙළඳ පොලට නිකුත් කරමින් රසිකයන් අතරට රැගෙන යන්නට පසුබට නොවිය.


-----------------------

ස්ටැන්ලි පීරිස් - 70 දශකයේදී
----------------------

සී ටී ප්‍රනාන්දු විසින් ගැයූ  මල් ලෝකේ රාණි, සිහින ලොවේ මිහිර මැවූ මාලී, පින්සිදුවන්නේ, අම්බිලි මාමේ, ලෝ අඩ නින්දේ, සුවඳ රෝස මල් නෙළා,දවස ගෙවි දැන් ටික ටික, සිගිරි සුකුමාලියේ, ඇතුඵ තවත් ගීත ද 


සංගීතවේදී සුනිල් සාන්ත ගේ ’ඔඵ නෙඵම් නෙරිය රඟාලා (රේඛාව - 1956) 


රුක්මණී දේවී ගේ ආදරය නිසා හෘර්දේ බැඳෙනා, මැවිලා පෙනෙවී රූපේ (කැළෑහඳ - 1953) 


මෙන්ම නූර්ති ගී යුගයේ ගැයුනු  ’දන්නෝ බුදුන්ගේ’


ග්‍රැමෆෝන් ගී යුගයේ ගැයුනු ’මුණී නන්දන සිරි පාද වඳිමු (ග්‍රේටා ජෙනට් සිල්වා) 


60 දශකයේ සිට ජනප්‍රියතම වේදිකා නාට්‍ය ගීතයක් වූ ’අන්න බලන් සඳ රන් තැටියෙන්’ (කුණ්ඩලකේශී - 1961)


චිත්‍රා සහ පී එල් ඒ සෝමපාල ගැයු 50 දශකයේ ගීත අතර රැඳුනු  උකුලේ කලේ තබා, ලලිත කලා ඔපකරනා, උඩරට කඳුකර සිරියා පරදන, දඹුලු ගලේ යන මේ ගීත අනුවාදනයන් ද ඉදිරිපත් කර ඉන් නොනැවතී සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන සමග එක්ව ඒවා ඔවුන් දෙදෙනා ලවා යළි ගායනා කරවා සිය සැක්සෆෝන වාදන සහයෙන් ප්‍රතිනිර්මාණය කොට වෙළඳ පොළට නිකුත් කරන්නට යෙදිනි.

------------------------

චිත්‍රා සෝමපාල
---------------------

එයින් නොනැවතී 70 දශකයේ ගායන තරු අතර බැබඵනු වික්ටර් රත්නායක ගේ ගීත ද, කන්ඩායම් ගී අතර රැඳුනු ’දුව රෝසී’ (වින්ස්ලෝ සික්ස්) යන මේවයේ ස්වර මාලාවන් ඔහු ගේ තීක්‍ෂණ සංගීත ඥානයට හසුවි ’සැක්සෆෝන’ යෙන් ඔප්නැංවී හැඩවැඩ කෙරිනි.


මේවා මේ සටහන අතර දෑස් යොමන ඔබෙන් ඇතැමුන්ට ආගන්තුක විය හැක්කේය. කම් නැත, ඔබ සංගීතයට පෙම්බඳින්නේ නම්, ඊට ආශක්ත නම් ඒවයේ කාලනිර්ණය අදාළ නැති බව කිවමනාය. එසේම ඔබ ලමාවියේ සිට ඒවා රසවිඳ ඇත්නම් මේ අත්දැකීම ඔබේ ඒ ගීත රසය දියුණු තියුණු කරනවා නිසැකය. එසේනම් කුමට තව සුනංගු වන්නේද ? ලාංකීය ගීත සාහිත්‍යයේ මෙන්ම අනුවාදන ගීත කලාවේ නොමැකෙන සදාතනික සිහිවටන වන මේවා දැන් දැන් ඔබේ දෙසවන පිනවන්නට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවල  වාදනය වෙන අවස්ථා නැති කරම්ය.


සී ටී ප්‍රනාන්දු -


මා සුකුමාලී -

පින්සිදුවන්නේ - 

ලෝ අඩ නින්දේ - 

කිමද සුමිහිරියේ - 

---------------------------



රුක්මණී දේවී

මැවිලා පෙනෙවී රූපේ - 

-----------------------------


මොහිදීන් බෙග් - 

මගේය ප්‍රේම මාලිනී

පෙම් මල් මාලා නෙලා ගොතාලා -

------------------------------------


එච් ආර් ජෝතිපාල

දුරකථනයකින් මම ඔබ අමතමි

----------------------------------------


වින්ස්ලෝ සික්ස්

දුව රෝසි හිනැහෙනවා

----------------------

ඒ යුගයේ පවා දහස් ගණනක් සිංහල ගී තිබියදී මේ ගීත පමණක් ඔහු තෝරා ගන්නට හේතුව කිම ?  ඒ නිදර්ශකය නම් එකි දහස් ගණනක සියඵ ගීත පරදා 70 දශකයේ දී මෙම ගීත පෙළ රසිකයන්ගේ හදවත් දිනා තිබු බවයි.

--------------------
රංජිත් පෙරේරා සහ ස්ටැන්ලී සැක්සෆෝන් සුසංවාද රස මිහිර මවමින්  - 70-- - 80 දශකයේ ෆෝර්චූන්ස්
--------------------

සැක්සෆෝනය තරම් ගී අන්තර්වාදන සහ ආරම්භක වාදන ඛන්ඩ සඳහා යොදාගත් වෙනත් බටහිර සංගීත භාන්ඩයක් නැති තරම්ය ඊට නිදසුන් එමටය. ඒ ලැයිස්තුව එතරම්ම දිගුය එහෙත් ඒ අතර කැපී පෙනන නිර්මාණ පිළිබඳව යමක් කියනු වටී.

----------------
නිහාල් නෙල්සන් ක්ලැරන්ස් විජේවර්ධන සමග ගීයක් පුහුණුවෙමින්
-----------------------

70 දශකයේ දී ’වේගරිද්ම’ නාදකලාවේ කැපී පෙණුනු ගායන ශීල්පී ’නිහාල් නෙල්සන්’ ගැයු එක්තර ගීතයක මෙබඳුය.


කිංකිණි හඞට සමවෙනා .....................

ගිගිරි සැලේ ගවකුර හඞට මුසුවෙලා ....................

ඇදපන් පුල්ලි ගොනෝ ..............................

---------------------------


ගායන ශිල්පී ’වර්ණන් පෙරේරා’ ගේ සුරතින් මැවුනු මේ වදන් මාලාවට පසුබිම් වූ පරිසරය නව පරපුරේ රසිකයන් හට ආගන්තුකය. අද විවිධාකාර ප්‍රමාණයේ ලොරිරථ’ සහ මගී ප්‍රවාහන රථවල වල කාර්ය භාරය ඉටුකළ එදවස ලාංකීය ප්‍රවාහන මාධ්‍යයන් අතර කැපි පෙනුනේ ’බරකරත්තය’ සහ ’බක්කි කරත්තය’ යි. බක්කි කරත්තයෙන් මගීන් ප්‍රවාහනය කරද්දී බර කරත්තය භාන්ඩ ප්‍රවාහනය කළේය. ඒ නිසා අදට වඩා බෙහෙවින් රථවාහන හිඟ ඒ කාලයේ මහාමාර්ග වසා රජ කෙරුනේ මේ කරත්තයන් ය. එය ලංකිකයන්ගේ වෙනම උපසංස්කෘතියක් බවට පත් වී තිබිනි. ඒ වටා බැඳි කෙටිකතා, නවකථා, සිනමා කථා, කවි ගී සිංදු ද එමටය. 

පෙරකී ගීතය අවසානයේ සිංහල ගීතයකට යෙදුනු දිර්ඝතම පසු සංගීත ඛන්ඩයක් වාදනය වෙයි. ඒ කාර්ය භාරය ඉටුකලේ ස්ටැන්ලි පීරිස් ය. නිර්මාණකරුවන් විසින් ඔහුට ’කරත්ත කවිය’ ක් සැක්සෆොනයෙන්’ වාදනය කරන ලෙස දන්වා තිබිනි යැයිද. එය කෙසේ කරන්නේදැයි මුලින් දෙගිඩියාවෙන් පසුවී පසුව සිය නිර්මණශීලීත්වය අවදී කරවා ගෙන එය ඉතා අපූරුවට සිදු කළේ යැයි ද ලියුම්කරු ට ඈත දිනයකදී හෙළිදරවු කලේ මේ ගීත රචකයාණන්මය.

එය විමසා දැනගන්නට සිත්වූයේ එවන් අවස්ථාවන් සිංහල ගීත ඉතිහාසයේ විරළ නිසාමය.


මෙතැනින් රසවිඳින්න

------------------------------


සැක්සෆෝන වාදනයන් සුසංවාද ක්‍රමයට ගීතයට පසුබිමින් වාදනය වන්නට සැලැස්වු තවත් අපුරු නිර්මාණයකට මගපෑදුවේ සංගීතවේදී නැසිගිය එම් කේ රොක්සාමි මාස්ටර්ය. ඒ නැසිගිය ප්‍රේමකීර්ති ද අල්විස් ගේ පදරටාවකින් ගීයක් මවන්නට එක් වෙමිනි.මෙහි ගැයුම ෆීලික්ස් ඇන්ටන් ගායනශිල්පියාගෙනි


සැක්සෆෝන් නාදරටා ඇතුළත් සිංහල ගීත භාරත සිනමා ගීතයේදී එය යොදාගත් අවස්ථාවන්ටද වඩා ඉදිරියෙන් සිටින බව කිව හැකිය. ඊට නිදසුන් ද ගණනාවකි.  ස්ටැන්ලි පීරිස් සංගීතවේදියාණෝ ඊට මහත් සේ දායක වූයේය. වෙනත් ගී තනු සහ සංගීත අධ්‍යක්‍ෂවරුන් යටතේ ද වාදන සහය පෑ ඔහු තමන්ගේම සැක්සෆෝන් නාදරටා ඊට එක්කොට හැඩගැන්වූයේය  ෆීලික්ස් ඇන්ටන් ම ගැයු ප්‍රේමකීර්ති ලියූ මෙම ගීතයේ වැයෙන අඛන්ඩ සැක්සෆෝන් අන්තර්වාදන රසය සලකා බලනු මනාය

ඒ ගීතය අන්තර්වාදනය ආරම්භක වාදනය මෙන්ම පසුබිමින්ද අඛන්ඩව එය ගලා යයි

--------------------


---------------------

සිංහල ජනප්‍රිය ගීත කලාවේ පහන් ටැම්

එම් කේ රොක්සාමි (වම් කෙළවර)  ග්‍රේෂන් ආනන්ද (පිටුපස) සහ මර්වින් පෙරේරා (දකුණු පස)

---------------

මෙතැනින් රසවිඳින්න.

---------------------------


ආචාර්ය වික්ටර් රත්නායක ට සිය සැක්සෆෝනයේ හැඩවැඩ මතුකරදුන් අවස්ථාවකී මේ


ඊට සමකාලීනව ආචාර්ය සුජාතා අත්තනායක ගායනවේදිනියගේ වෙළඳ ගී තැටියකදී මෙම ගී පදවැල් නම් වූ සිත්තම පූර්ව, අන්තර් වාදන සැක්සෆෝනයෙන් මෙසේ සිතුවම් කලේ ස්ටැන්ලි පිරිස් වාදනවේදියානෝය.

මෙතැනින් රසවිඳින්න.

---------------------------


50 දශකයේ මුල් භාගයේදී චිත්‍රා පී එල් ඒ ගැයු මේ ගීතයේ රිදී ජුබිලි සංවත්සර ය සැමරූ 1977 පමණ කාලයේදී ඇගේ ගීත බටහිර නාද රටාවෙන් ප්‍රතිනිර්මණය කරනන්ට යෙදී ස්ටැන්ලි පීරිස් සිය සැක්සෆෝනය මෙසේ හැඞවුයේය.

මෙතැනින් රසවිඳින්න.

---------------------------


බටහිර සංගීතයේ ශූෂිර නාදරජු ගේ පවත සිංහල ගි සාහිත්‍යයේදී වඩාත් සවිස්තරාත්මකය. එහෙත් එය මෙතැනින් හමාර කරන්නට සිත් ව, එයින් වැයූ ගීත ලැයිස්තුව මෙසේ දිගහැරදෙන්නෙමි. ඒවා සියල්ලම පාහේ හැඩගැන්වූ අප අතරින් සමුගෙන ගොස් දශක දෙකක්ද ඉක්මවූ මේසමයේ ස්ටැන්ලි පිරිස් සංගීතවේදයාගේ නාමයට ශිර්ෂ ප්‍රමාණ ගෞරවය මෙසේ පළකරන්නේමි.


අද හවසට මා ..., සුරංගනා මල් ඇතිරූ මාවතේ,  පාවී ගියා මා ඔබ හා....(කේ ඩි කේ ධර්මවර්ධන, ස්ටැන්ලි පීරිස්) - ආචාර්ය සුජාතා අත්තනායක, අරුණ නැගෙන වෙලේ ..(මහාචාර්ය සුනිල් ආරියරත්න,ස්ටැන්ලි පීරිස්) - ආචාර්ය වික්ටර් රත්නායක - සුජාතා අත්තනායක, කිංකිණි හඞට සමවෙනා....,(වර්ණන් පෙරේරා, ලාල් තේනබදු), ලස්සන ඇස් දෙක පුංචි කරන්..., කරුණා සුවඳ තවරාලු , - නිහාල් නෙල්සන්, නීල බිගු කැළ.. - (රජගෙදර පරවියෝ - 1975 - කේ ඩි කේ ධර්මවර්ධන, වික්ටර් රත්නායක), අඳුර බිඳින්නට රැයක් දවාලු  - (මාතර ආච්චි -1973 - ප්‍රේමකිර්ති, වික්ටර්), රටකින් එහා ඉගිළී.. (ප්‍රේමකිර්ති ද අල්විස්, ක්ලැරන්ස්), සැන්දෑ යාමේ එක්වූ යාමේ (ආචාර්ය අජන්තා රණසිංහ, ක්ලැරන්ස්), සරතැස නිවා (ප්‍රේමකිර්ති, රොක්සාමි), තොලගෑ අමාවේ රහා.... (ප්‍රේමකීර්ති, ප්‍රියා සූර්යසේන),බිගූ වැළපිලා (කරු අබේසේකර, ප්‍රියා) - ප්‍රියා සූර්යසේන, මල් නෙළලා වරළස ..(ප්‍රේමකීර්ති,ෆීලික්ස්), නෙත පිනන රුසිරු වත...(ප්‍රේමකීර්ති, රොක්සාමි) .. මල් කුමාරියක් වගේ..(ප්‍රේමකීර්ති, ෆීලික්ස්), පැළඳි මිණී මුතු...(ප්‍රේමකීර්ති, වික්ටර්) - ෆීලික්ස් ඇන්ටන්, ඉන්දුමතී හා බින්දුමති.. (ප්‍රේමකීර්ති, වික්ටර්), ඔබයි මමයි මැවූ සිහින (බන්ඩාර කේ විජේතුංග, වික්ටර්), නීල දෑසේ දැතේ සතපාලා (කේ ඩි කේ, ස්ටැන්ලි පීරිස්) - මිල්ටන් මල්ලවාරච්චි පායන් සඳුනේ මේ පාඵ රාත්‍රීයේ - පන්ඩිත් අමරදේව - මල්කාන්ති නන්දසිරි, මා හද සිසිල් පවන්.., රන මොණරියි විළාසේ ..... (කරු අබේසේකර, පැට්‍රික් දෙණිපිටිය) - සී ටී ප්‍රනාන්ද   ඇතුඵ දීර්ඝ ලැයිස්තුවකි. මේ මැයිගහ යට..(අජන්තා රණසිංහ,මෙල්රෝයි ධර්මරත්න), ඔබ වෙනුවෙන් ලියු  දහසක් ගී..(බන්ඩාර කේ විජේතුංග,සරත් දසනායක), පාවී ඇදී එන්නා..(කුලරත්න ආරියවංශ, ස්ටැන්ලි පීරිස්),සුලගේ පාවි ඈ වෙත (කරුණාරත්න අබේසේකර,ක්ලැරන්ස්) - මිල්ටන් මල්ලවාරච්චි, කොමළ ලියා බොළඳ ලියා..(ධර්මසිරි ගමගේ,ක්ලැරන්ස් විජේවර්ධන -සිකුරුලියා - 1975) - මිල්ටන් පෙරේරා, ඈත දුරක දෑස පාවෙලා...(කුලරත්න ආරියවංශ,ග්‍රේෂන් ආනන්ද) - ග්‍රේෂන් සහ නීලා වික්‍රමසිංහ, අඩවන් දෑසින් පවසනු රහසින් ... (මහගම සේකර,සෝමදාස ඇල්විටිගල, - වෙස්ගත්තො - 1970), අඳුර බිඳින්නට රැයක් දවාලු.... (ප්‍රේමකීර්ති ද අල්විස්,වික්ටර් රත්නායක, මාතර ආච්චි - 1973), අපි සව්දිය පුරමු ..(සුනිල් ආරියරත්න,වික්ටර් රත්නායක - ’ස’ ප්‍රසංගය)  - වික්ටර් රත්නායක

දැන් සමුගෙන යළි මුණගැසෙමු........

Thursday, March 19, 2026

Sinhala songs and music of 70s

 ගීයක් යනු කිම?..... විමසා දැන ගනු  මැනවි... 09  -  ට්‍රම්පට්  -ට්‍රොම්බෝන් 

නැසිගිය සංගීතඥ පී එල් ඒ සෝමපාල හෙවත් එතරම් හුරු පුරුදු බවක් නැති ’පේරගස්වත්ත ලියනාරච්චි ගේ සෝමපාල’ 40 දශකයේ ඔහුගේ ඉතා තුරුණු වියේ දී ගුවන් විදුලිය සම්බන්ධ වූ අති දක්‍ෂ සිතාර් වාදකයෙකි. ඔහු එකී දශකයේ දී ’ආනන්ද සමරකෝන්’ ශූරීන් වෙනුවෙන් ’සිතාරය’ වාදනය කරන්නට යෙදුනු බව සඳහන්ය. එය සැබෑ වක් නම් ඔහුගේ මනෝරම්‍ය ගීත සඳැල්ලේ නැගෙන සිතාර් වාදන නිසැකවම ඔහුගේ විය හැකිය.  



පසුව ඔහු සිංහල වෙළඳ තැටි ගීත කලාව හා සම්බන්ධ වී. ඒවාට බටහිර සංගීත භාන්ඩ යොදාගන්නට ඇප කැප වූ පුරෝගාමියෙකු ලෙස කටයුතු කළේය. ඒ අනුව 50 දශකයේ තැටිගත වූ සිංහල වෙළඳ තැටි ගී ගණනාවක සංගීත සංයෝජනයන් බටහිර වාද්‍ය රසයෙන් හැඩගැන්වූයේ සෝමපාලයන්ය.

පෙරදීග වාද්‍ය භාන්ඩ ඇසුර ප්‍රියකල හින්දුස්ථානි සංගීත කලාව පොබයූ සංගීතකරුවන් ඒ නිසාම ඔහුට පසුව ’පිත්තල බෑන්ඩ් කාරයා’ යන උපහාසාත්මක අන්වර්ථ නාමය පටබැඳ තිබුනු බවට පැරණි ලිපි ලේඛන සහ තොරතුරු වල සඳහන් වේ.

ඒ ඔහු ’පිත්තල’ :(BRASS) ලෝහයෙන් නිර්මිත ශූෂිර වාද්‍ය භාන්ඩ ඔහුගේ නිර්මාණවලට බහුලව යොදාගත් නිසාද  විය හැකිය. මේ ’පිත්තල’ භාන්ඩ පවුලේ කැපී පෙනෙන සාමාජිකයා ’ට්‍රම්පටය’ යි.

මුලින් සිංහල චිත්‍රපට ගීත කලාව ඔස්සේ පසුව වෙළඳ ගී තැටි කලාව වර්ණවත් කරමින් ඊට නව රසයක් මුසු කළ ට්‍රම්පටයේ පසුබිම් තොරතුරු පළමුව සැකවින් විමසා බලනු වටනේය.

අන්තර්ජාල මාර්ගගත පරිගණක තිර පුස්තක ලිපි වල එහි මුතුන්මිත්තා ලෙස නම් කෙරෙන්නේ අදින් වසර තුන්දහස් ගණනකට පෙර බලසේනා රණබිමට කැඳවා දිරිගන්වන තියුණු හඞක් නිකුත්වූ ’නලා’ වර්ගයයි.  ඊජිප්තු ගීසා පිරමිඩයේ සහස්‍ර සංඛ්‍යාත යුගයක නිදන ’තුතන්කාමන්’ පුරාණ මිසර ශිෂ්ඨාචාර නරපතියා ගේ සොහෙන් ගෙයිදී මෙම වාද්‍ය භාන්ඩයට සමාන උපකරණයක් හමුව තිබුනු බව පැවසේ.

අදටද ලොව පුරා හමුදා සංගීතකරුවන් අතර එය ඉතා සුලභ සංගීත භාන්ඩයකි.

කෙසේ වෙතත් එය සංඥා ලබා දෙන්නට සැකසු වද්‍ය උපකරණයක් ලෙස භාවිත කළ බව පෙනෙන්නට තිබුනු බව ට සාක්‍ෂි තහවුරු ව පවතී.

මනාලෙස දිස්නය දෙමින් ඔපවත්ව බබළන මෙම සංගීත භාන්ඩ එහි වාදකයන් හට තේජස්වී බවක් මෙන්ම ගාම්භිර බවක් ආරෝපනය කරයි. එය සුකොමළ ළඳකගේ ගෙළ බැූි රන්හුය ඇයගේ වතකමල ට එක්කරන රූපවත් බව පෙරකී වාදකයන්හට ලබාදෙන්නා සේය.

ට්‍රම්පටයේ හඞ නිතර සංගීත රාවයන් සවනත වැකි රසවතුන් හට කිසෙසේත් ආගන්තුක නොවේ. එය අවශේෂ හඞවල් අතරින් කැපී පෙනෙන ලෙස වෙන්කර හඳුනාගැනීම ලෙහෙසිය පහසුය.

ශ්‍රී ලංකාවේ සංගීත කලාවේ යටගියාවට පිවිසි කල, 60 දශකයේ සිට මෙපිටට මෙම වාද්‍ය භාන්ඩයේ හඞ මුසුකරනලද්දාව ගීත නිර්මාණ එමට හමුවේ. ඒවා අතරින් ද මතුව නැගෙන්නේ එදවස බයිලා චක්‍රවර්ති අභිධානයෙන් පුදලද වේගරිද්ම ගායන ශිල්පී ’එම් එස් ප්‍රනාන්දූ’ ගේ නිර්මාණයන්ය.

එම් එස් - ට්‍රම්පට් නාදය’ 60-70 දශකයේ ගසට පොත්ත මෙන් එකිනෙක හා හාවි ගිය වග පසක් කරන ගීත නිර්මාණ ගොන්න ගණනින් සියය ඉක්මවන තරම්ය. මේ වාද්‍ය භාන්ඩය එතරම් වාර ගණනක් සිය ගීත සඳහා යොදාගත් වෙනත් සිංහල ගායකයෙන් එදත් නොසිටි අතර අදත් තවමත් නැත්තේය.



ඔහුගේ ගීත උදෙසා මේකී වාදන රසය මුසුකල වාදකයාගේ නම ගීත ලෝකයේ බොහෝ රසවතුන් නොහැඳිනීම කණගාටුවට කරුණකි. එම් එස් ගේ ගීත පවා ප්‍රියකරණ රසිකයන් නොහැඳිනගත් ඔහු ’සෙබස්තියන් ප්‍රනාන්දු’ නම් වුයේය.

ඔහු එම් එස් ගීතවලට ට්‍රම්පටයෙන් මුසුකළ අනන්‍යතාවය සුවිශේෂීය. එදා ගුවන් විදුලියෙන් හා මගතොටේදී ’ට්‍රම්පට්’ රාවය නැගෙන්නේ නම් එය නිසැකවම ’එම් එස්’ ගේ ගීතයක අන්තර්වාදනයක් හෝ ආරම්භක සංගීත ඛන්ඩයක් බවට හඳුනාගත හැකිව තිබුනි. ඒවා ඔහුගේ ගීතවලට නැවුම් රසයක් පෙරනොවූ ආනන්දයක් මතුකොට තිබිනි. 


ට්‍රම්පටය ප්‍රසංවාදයේදී (HARMONY) වාදකයන් දෙපොළක් විසින් වැයු කළ මතුකරන රසය කෙබඳු වේද ? අසන්න


-----------------------------------

මුතු සෙව්වෙමි මුතු ද හමුවුනා.............

මිණී සෙව්වෙමි මිණීද සතුවුනා.........

රන් සෙව්වෙමි රන්ද හිමිවුනා..................

නොළද එකම දෙය පමණකි ඔබගේ ආදරේ..........

---------------------------------

ගී පද - කරුණාරත්න අබේසේකර


සංගීතය - එම් එස් ප්‍රනාන්දු


----------------------------------


එම් එස් ගේ ට්‍රම්පට් ගීත ලැයිස්තුව තරමක් දිගය. ඒ අතරින්ද එය හොඳින් කැපී පෙනෙන ලෙස වාදනය වන ගීයකි මේ


පුතෙක් උපන්නා ලේ කැටි පුතෙක් උපන්නා....

පුතෙක් උපන්නා සුරතල් පුතෙක් උපන්නා..............

ලද සොම්නස අසිරිමතී....

ළයාදාරය ඉතිර යති.....

ළපටි පුතුට දෙන්න ඇති....................

මට හුරු හොඳ මිනිස් ගතී...................

-------------------------------------------

කරුණාරත්න අබේසේකර


එම් එස් ප්‍රනාන්දු

------------------------------------

දිවයින පුරා අතරක් නැතිව පැවති සැණකෙළි බිම් වලදී, මෙරි ගෝ රවුම එදා සංගීතවත් කලේ සජිවී ට්‍රම්පට් වාදකයන් දෙපොළක් හෝ ත්‍රිත්වයකි. ඔවුහු ඒ උපකරණයේ එක කොටසක අසුන් ගෙන සිය ට්‍රම්පටයෙන් වැඩිමනත්ව වාදනය කළේ ද ’එම් එස්’ ගේ ගීතමය. ඒ අතරින් නිතර වැයුනු මේ ගීයේ මතක අවදිකරනු මනාය.


කැකිරි පැළෙන ටිකිරි සිනාවයි......................

ඇගේ ගමන බිමන නාරි ලතාවයි......................

කිකිණි කිකිණි කිකිණි කිකිණි කිකිණි කතාවයි......................

-----------------------------------

ගී පද සංගීතය - එම් එස් ප්‍රනාන්දු

--------------------------------------

ට්‍රම්පටය විසින් ආරම්භක වාද්‍ය ඛන්ඩය රසවත් කළ මෙම ගීතය නිකුත් වූයේ එවකට තිරය පසුබිමෙන් ඉඳ වානිජ ගී තැටි කලාවට අනුපමේය සේවයක් කළ සංගීතඥ ද්‍රවිඪ ජාතික ෂන්මුගම් (ෂාන් තැටි ලේබලයේ නිර්මාතෘ) තනු හැදු ගීයකි මේ


පෙම් පැතුම් මල් පීදිලා..............

දුන් පොරොන්දම් පෑහිලා................

රන් නැකැත් වැල් සිහිලා...................

මංගලම් මග පෑදිලා ආවා...................

සතුටු ගඟ කැළතී....

සිතුසේ එහි ගිළෙති...

මිහිර විඳ කැමති....

ජයතු යුවතිපතී....

--------------------------------

කරුණාරත්න අබේසේකර

තනුව - ෂන්මුගම්

--------------------------


එකී ලැයිස්තුව මෙම ලිපියේ අන්තයේ ඇතුළත්ව තිබේ.

සිංහල සිනමා ගීත කලාවට එබි බැඵ විට ට්‍රම්පට් වාදන රටා ගොන්නකින් හැඩවු පළමු නිර්මාණය වූයේ 1972 තිරගත වූ නීල් රූපසිංහ ගේ ’ආදරේ හිතෙනවා දැක්කම’ සිනමා පටයයි. එදා සිනමාකලාවේ දැවැන්තම නඵ-නිළි දෙපොළ වූ යෞවනයේ සිහින කුමරු විජය කුමාරණතුංග මාලිනි ෆොන්සේකා මෙන්ම ගාමිණි ෆොන්සේකා ද පෙනිසිටි එය එදවස හින්දි හෝ ද්‍රවිඩ සිනමාපටයක් පරදවාලන තරමේ සංගීත රසයකින් නහවන්නට නීල් රූපසිංහයන් සමත් ව තිබුනි.

එහි ඇතුළත් වූ ගීත එකක් නොහැර  ’ට්‍රම්පට්’ රාවය නංවන්නට මුල් වූ බලවේගය අන් කවරෙක් නොව් පෙරකී ’පිත්තල බෑන්ඩ්’ කාරයා ලෙස හංවඩු ගසා තිබුනු ’පී එල් ඒ සෝමපාල’ ය. ඔහු ඊට පෙළෙඹෙන්නට මුල් වූ වලංගු හේතු සාධක තිබෙන්නට ඇත. ඇතැම්විට ඒ යුගයේ රසිකයන් මේ හඞ මුසුවට  දැඩිව ඇඵම් කරන්නට ඇත. සිනමා නිර්මාණයක් කලාත්මක විම පමණක් නොසෑහෙන බවත් එය වානිජමය ව්‍යාපාරයක් බව අමතක නොකළ යුතු බවත්, එය සිහියේ තබාගෙන එහි සම්පත් දායකයා මංමුළා කර ඔහුට ආදයම් මාර්ග අවහිර නොකරන්නට වග බලා ගත යුතු බවත් ඒ නිසා තමාට ඇතැම් අවස්ථාවල අතිශය ජනප්‍රිය බටහිර සහ හින්දි ගී තනු උපුටාගෙන ඒවා උපරිම වාද්‍ය රසයෙන් සරසවාගන්නට වූ බවත් පවසා තිබුනේ ද ඔහුමය.


මුතු මිටක් පිරී ඇත්තේ..................

මල් ගොඩක් පිපී ඇත්තේ........................

මිණි කැටත් සොයා ගත්තේ....................

අඩුවකුත් මෙහේ නැත්තේ....................

----------------------------

ගායනය - මොරිස් දහනායක

පද රචනය - කරුණාරත්න අබේසේකර

සංගීතය - පී එල් ඒ සෝමපාල

සිනමා පටය - ආදරේ හිතෙනවා දැක්කම (1972)

---------------------------------------

එහෙත් ඉන්පසුව එතරම් ට්‍රම්පට් නාදරස මුසුවු එකදු සිංහල සිනමාපටයක් සිහියට නගා ගන්නට අසමත් ව ඇති බව මෙහිදි කිව යුතුය.

සැක්ස්ෆෝන් හි හඞ ට්‍රම්පටයෙන් හොඳින් වෙන්කර හඳුනාගත හැකිව තිබුනත්, ඊට අසමත් වන රසිකයන්ද නැතිවා නොවේ. ඔවුන් එය හොඳින් අසා කණට හුරු කරගත මැනව.

අනාදිමත් කාලයක සිට ලො දසදෙස පාසල් සහ එවන් ආයතනයන්හි තූර්ය වාදන කන්ඩායම් අත නිසැකවම දක්නට ලැබෙන ට්‍රම්පටයේ හඞ වෙනත් බොහෝ ශූෂිර වාද්‍ය භාන්ඩයන් අබිභවා සිටි.

එයින් රසවත් වූ එකදු ’ගුවන් විදුලි ගීයක්’ ද සිහියට නෙඑයි. බටහිර වාද්‍ය භාන්ඩ පිළිකුල් කරමින ඊට් දැඩි ලෙස සිමා පැනවූ ගුවන් විදුලි බලධාරීන් ඊට වගකිව යුතුය.

60 සහ 70 දශකයේ ජනගත වූ කැලිප්සෝ ශෛලියේ කන්ඩායම් ගීත කලාවට උරදෙමින් එය ප්‍රවර්ධනය කළ සංගීත කරුවන් ද සිය ගීත සඳහා එය වාදනය කළ අවස්ථා ඉතා විරළය. බටහිර ගීතයට ප්‍රියකල ඔවුහූ බටහිර ට්‍රම්පටය ඇසුරු කරන්නට මැළීවූවා සේය.



එහෙත් අරුමයකි. 80 දශකයේ උදාවේ දී ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම සපැමිනි ලංකා රූපවාහිනි සේවා ඇරඹු මුල් දශකයේ එහි සංගීත වැඩසටහන් උදෙසා නොමද දායකත්වයක් දැක් වූ සංගීතවේදී ’අර්නස්ට් සොයිසා’ සිය සාමාජියකන් අතරට ’ට්‍රම්පට් වාදකයන්’ එක්කර ගත්තේය. එය රැල්ලක් බවට පරිවර්තනය වි එතැන් සිට 80 දශකයේ වෙනත් වාදක කන්ඩායම්ද ට්‍රම්පටය ට පෙම් බඳින්නට වූ අතර රූපවාහිනි වැඩසටහන්වල පෙනීසිටිමින් උදාර ලෙස ට්‍රම්පටය අත රඳවා අතිශය ජනාදරයට පත් ගීත උදෙසා එයින් වාදන රසය මතුකර දුන්හ.




පහත ලැයිස්තු ගතකර ඇත්තේ ට්‍රම්පටයේ නාදරසයෙන් ඔපගැන්වූ සිංහල සිනමා සහ වෙළඳ ගී නිර්මාණ අතරින් අල්පයකි.

මතු කී ලෙස හමුදා සමාජිකයන් අතර භාවිතා වෙන ට්‍රම්පටය සාමාන්‍ය වෙළඳ සිංහල ගී තැටි අතරට මුසුවේනම් එය ඉතා අහඹු සිදුවිමකි. එහෙත් ශ්‍රි ලාංකීය සංගීතලෝලීන් හට ඒ අත්දැකීම විඳගන්නට අවස්ථාව සැලසුනේ 1967 තරම් ඈතකදීය. එවකට ශ්‍රි ලංකා නාවික හමුදා තූර්ය වාදන වෘන්දයේ ප්‍රධානි කොමදෝරු ප්‍රෙමලාල් දන්වත්ත සිය පිරිවර සමග මුල්වරට වෙළඳ ගී තැටියක් තනු නිර්මාණය කර සංගීතවත් කරන්නට යෙදුනේ සිය ඥාති සොයුරියක් වූ එදවස ප්‍රවිණ ගායන ශිල්පිනිී අයිරින්ද අල්විස් ගේ නවතම ගීතයකටය.


ඇයගේ සැමියා නැසීගිය ප්‍රවිණ ගීත රචක හේම ශ්‍රී ද අල්විස් ලියු එම ගීතයේ ඇතුළත් අපුර්ව බටහිර සංගීත මුසුව නිසාදෝ එදා සිට අඩ සියවසක්ද ඉක්මවූ අද දක්වා එකී ගීතය සිංහල ගී රසිකයන් ගේ හදවත් දිනා සිටී


දෑස පා සිනා ........................

කියන රහස තේරුණා ..................

පෙම් ලොවක් දෙපා මුලේ මවා .....................

අද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමී......................

------------------------

මෙතැනින් සවන්දෙන්න

-----------------------------


ආදරවන්ති ලස්සන.. (කරුණාරත්න අබේසේකර,පී එල් ඒ සෝමපාල - ආදරේ හිතෙනවා දැක්කම - 1972), මුතු දෙපොටක් අරගත්තේ...  -  පෙම් පැතුම් මල් පිදිලා... - (කරුණාරත්න අබේසේකර, ෂන්මුගම්), කැකිරි පැළෙන ටිකිරි සිනාවයි, ටිකිරි ටිකිරි ටිකිරි ලියා, මල් යහනාවකි ලෝකේ (සිංගප්පුරූ චාලි  - 1972), පුතෙක් උපන්නා ලේ කැටි.... (කරු අබේසේකර,ෂන්මුගම්), මුතු සෙව්වෙමි මුතුද හමුවුනා... (කරු අබේසේකර, ෂන්මුගම්), ඉරයි හඳයි වැඳ අවසර... (කරු.අබේසේකර, ෂන්මුගම්), ලස්සන රෝස මලක්..(එම් එස්)  - එම් එස් ප්‍රනාන්දු,  මගේ හද ප්‍රේම දායාදේ , දෑස පා සිනා කියන රහස...- (හේම ශ්‍රී , ප්‍රේමලාල් දන්වත්ත - නාවුක හමුදා වාද්‍ය වෘන්දය) - අයිරින් ද අල්විස්', දොළාස්මහේ පහන වාගේ... (කරු. අබේසේකර, උපේන්ද්‍ර ප්‍රනාන්දු) - එච් ආර් ජෝතිපාල 


සූපර්ස්ටාර්ස් කන්ඩායම (අර්නස්ට් සොයිසා) ට්‍රම්පටයෙන් පත්‍රිනිර්මාණය කළ සහ 70 දශකයේ ගී සහ 80 දශකයේ නව නිර්මාණ



පිණිපොදේ වැටෙන පියකරු මල ඔබනම්, ක්‍ෂිතිජයේ ගිලි සැඳෑ හිරු නිවි ගියා, දෑස රිදෙනවා පාර බලා ඉඳලා= (මිල්ටන් මල්ලවාරච්චි), ලේනෝ ලෙනෝ (මිල්ටන්), සඳයි තරුයි අහසේ පායලා (මිල්ටන්) සිහිනෙන් ඔබ මට පෙනෙනවානම් (මිල්ටන්) පාංකිරිත්තා (ෆ්‍රෙඩී සිල්වා), කුණ්ඩුමනී (ෆ්‍රෙඩී) බනින්නෙපා පොඩි දෝණිට (වික්ටර් රත්නායක) රාං කුරුල්ලා රූං කියාගෙන (චන්ද්‍රානි ගුණවර්ධන)  


මෙතැනින් ඉදිරියට ඉදිරි දිනක...


Sunday, January 4, 2026

Sinhala music of 70s - Originals - Bagpipe music in Sinhala Songs

 ගීයක් යනු කිම?..... විමසා දැන ගනු  මැනවි... 08  බෑග් - පයිප් (ස්කොට්ලන්තය)

පැසකට වායු පුරවාගනිමින් වාදනය කරනු ලබන මෙයින් නිකුත්වෙන නාදය පෙර සඳහන් කළ කවර හෝ ශුෂිර භාන්ඩයකින් නිපදවා ගත නොහැක්කකි. එය ඇතැම්විට දේශිය පංචතූර්ය නාද සංකලනයේ හොරණෑවේ හඞ ටද නෑකම් කියයි.

අති පුරාණ ග්‍රීක ශීෂ්ඨාචාරයේදී භාවිතා වූයේ යැයි කියන ’අස්කෝස්’ නම් වූ ශූෂීර වාද්‍ය භාන්ඩය බෑග්පයිප් හී ආදි මුතුන්මිත්තා යැයි සඳහන් කෙරෙන්නේ විකපීඩියා අන්තර්ජාල වෙබ් අඩවියයි

එක්සත් රාජධානිය හා කලකදී එහි යටත් විජිත ලෙස පැවතුනු රටවල් ගණනාවක සන්නද්ධ හමුදා තූර්ය වාදන වෘන්දන්හිදී මෙම උපකරණය භාවිතා කරනු ලබන අතර විශේෂ උත්සව සහ ප්‍රසංගයන්හිදී එය නොවැරදීම කළඑළි බසී. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ හමුදා තූර්ය වාදන වෘන්දයන්හිදීද මෙම උපකරණය භාවිත වන අතර ජාතික නිදහස් දින උළෙල, රණවිරු සැමරුම් සහ වෙනත් එයාකාර රාජ්‍ය උත්සවයන්හිදීද සංදර්ශනයන්හීදීද ’බෑග්පයිප්’ හඞ නෑගි ප්‍රතිරාව නංවයි.


මෙම වාද්‍ය භාන්ඩයේ වාදන රසය ඇතුළත් කරමින් 60 දශකයේ උත්තර භාරතීය සිනමා ගීතාවලිය හැඩගන්වන්නට එහි සුරුවිරුවෝ සමත්විය. ඒ 1964 වසරේ තිරගත වූ බොලිවුඩි සිනමාවේ දැවැන්තයෙකු වූ ’රාජ් කපූර්’ ගේ ’සංගම්’ සිනමාපටයේ ගැයුනු ’මෙරෙ මන්කි ගංගා... (බෝල් රාධා බෝල් සංගම් හෝ කා කෙ නහී....) හිදී මෙම අපුරු බටහිර සංගීත භාන්ඩය වැයෙන අතර එහි ජවනිකාවන්හිදී ද ’රාජ් කපූර්’ එය වයන අයුරු දැක්වෙන වීඩීයෝ පිටපත් යූ ටියුබය පුරා ඔබට දැක ගත හැකිවනු ඇත.

ශ්‍රී ලාංකීය සිනමාලෝලීන් මතුනොව ගුවන් විදුලියෙන් ගීත ඇසූ සංගීතලෝලීන් අතර පවා අතිශයන්ම ජනප්‍රිය වූ එම ගීතය ද එකී සිනමාපටයද පිළීබඳ මතක ඡායා 70 80 90 දශක පුරා ඔවුන් අතර රැව්පිළිරැව් දුනි.

සිංහල සිනමාවේදී හෝ වෙනත් ගීතවලදී ඒ තාක් භාවිත නොවූ ’බෑග්පයිප්’ නාදයට පෙම් බැන්දේ, සමකාලීන දෝස්ති සිනමාපටයෙන් ඇසුනු ’මවුත් ඕගන්’ රාවයටද පෙම්බැඳි ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න නම් වු අතිදක්‍ෂ සංගීතවේදියා විසිනි. ’සංගම්’ ගීත රාවය නැගුණු අවධියේ සිට ඔහු එය සිය සිනමා නිර්මාණයකට ඇඳාගැනීමට අර අඳිමින් සිටින්නට ඇත. එකී සිහිනය සැබෑ වන්නට තවත් වසර පහක් පමණ ගත වු අතර සිනමාවේදී කිංස්ලි රාජපක්‍ෂ විසින් නිර්මිත ’කළණ මිතුරෝ සිනමාපටයේදී ඔහු සිය මවුත්ඕගන් සිහිනය සමග ’බෑග්පයිප්’ සිහිනයද සැබෑ කරගත්තේ සිංහල සිනමාවේ මුල්වරට ’බෑග්පයිප්’ වාද්‍ය රසය ඇතුළත් ගීයක් රසික සවනට යොමු කිරීමෙනි.


අභිමාන ධීර වීර වූ අතිජාත භූමි ලංකා ..................

ලංකා ධීර ලංකා ලංකා ධීර ලංකා ලංකා ධීර ලංකා ලංකා මාගේ ලංකා ............................

ගීතරචනා කලාවේ මහගුරු බඳු කරුණාරත්න අබේසේකරයන් විසිනි විරචිත එය ගායනා කරන්නට යෙදුනේ අල්හාජ් මොහිදීන් බෙග් ඇතුඵ කන්ඩායම විසිනි.

මෙතැනින් සවන්දෙන්න

-----------------------------


ඉන් පසුව ද ඔහු මේ ශූෂීර වාද්‍ය භාන්ඩයට බැඳි පෙම අතහැරියේ නැති බවට සාධක හමුවන්නේ 1972 වසරේ සිංහල සිනමා වංශ කතාවට එක්වූ එස් රාමනාදන් ගේ ’හිතක පිපුණූ මල්’ සිනමාපටයෙනි. විවිධ ගණයේ විවිධ රස කැන්දූ විචිත්‍ර ගීතාවලියකින් හැඩගැන්වූ එහි දොස්තර ආර් ඒ ස්පිටල් රසවතා විසින් 20 සියවසේ මුල් යුගයේ සටහන් කළ වැදි පැදි පෙළක අනුසාරයෙන් රසගැන්වූ ගීතයක් ඇතුළත්ය.



මා මෙනි මා දෙයියා දෙයියා..................

කාබෙන් පාබලයක්කම යේ ..................

යමු දෙන්නා .......

බිමින් යන්නට බොල්පිනි බැරිනම් ....

වඩනා මිමා ලණු බැඳගන්...

යමු දෙන්නා...


මෙතැනින් සවන්දෙන්න

-----------------------------

විමල් ජේ සාගර (ආචාර්ය ෂෙල්ටන් ගේ බාලසොයුරු) ඇතුඵ ගායක කන්ඩායම ගැයූ මෙහි දී ඔහු පැකිළීමකින් තොරවම ඇති පදමට ’බෑග්පයිප්’ නාදරටා වයා ගයවන්නට පෙළඹෙයි. ඒ කවරඅයුරකින් ද යත් මෙහිදී මනාව වටහගත හැකි වනු ඇත.

එපමණද ?

ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් පමණද ’බෑග්පයිප්’ රසය සිංහල ගීත රසයට හා මුසුකළේ ?

=============

ෂෙල්ටන් ප්‍රෙුමරත්න පන්ඩිත් අමරදේව සහ චන්ද්‍රිකා සිරිවර්ධන සමග 70 දශකයේ ගුවන් විදුලියේදී ගීතයක් පටිගත කිරීමට සුදානම්ව.................. මේ බොහෝවිට ඒ දෙදෙන ගැයූ ’රන්වන් රන් කෙත සිපගෙන හමනා....’ නම් වූ යුග ගීය විය හැකිය. එය ’රන්කෙතයි ගොවිදෑතයි’ ලෙස 1975 වසරේ ගුවන් විදුලියේ විකාශය වූ නාට්‍යමය සංගීත විචිත්‍රාංගය විය හැකිය. අතිශය ජනප්‍රියත්වයට පත් ගායිකා මාලිනි බුලත්සිංහල ගැයූ ’සඳමඩලේ සිට තරුමඩලේ සිට...’ ගීය ඇතුළත් වූයේද මෙම වැඩසටහනේය. එය ’මවුත්ඕගනය’ යටතේ විස්තර කරන්නට යෙදුනි.


ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ දයාබර ශිෂ්‍ය නැසිගිය මර්වින් ප්‍රියන්ත විසින් ඔහු ගේ මඟපෙන්වීම යටතේ ඒ වෙනුවෙන් අසීරූ මවුත්ඕගන් වාදන රටාවක් මැව්වේය.

====================================

වර්තා වෙන පරිදි එය එපමණය. ඒ අන් කවර කරුණක් හෝ නිසානොව, වාදකයන් සපයා උපයා ගැනීමේ අසිරූතාවය නිසා වන්නට ඇතැයි ලියුම්කරු අනුමාන කරයි. පෙර සඳහන් නළ පරිද්දෙන් ම ’බෑග්පයිප්’ වාදකයන් රැඳෙන්නේ පුහුණුවන්නේ සැරිසරන්නේ ’ත්‍රිවිධ හමුදා තූර්ය වාදක ක්‍ෂේත්‍රය පමණක් වන නිසාය. ඔවුන් ද එදා සිටින්නට ඇත්තේ අල්ප ගණනනි. එසේම බාහිර වානිජමය පටිගතකිරීම් සඳහා ඇවැසි අවසරය ලබා ගැනීම සහ කාලය මිඩංගු කරගැනීමේ අපහසුතා ද එමට තිබෙන්නට ඇතැයි සිතීම සාධාරණය. අනෙක් අතට, තත්පර ගණනක හෝ නිමේෂයක එක් සංගීත ඛන්ඩයක් උදෙසා එතරම් වෙහෙසකර කටයුත්තක නිරතවෙන්නට ඒ යුගයේ පවා සංගීතකරුවන් මැළී වන්නට ඇත. එහෙත් ෂෙල්ටන් ප්‍රේමරත්න යනු එසේ ලෙහෙසියෙන් පහසුවෙන් තමන්ට පැවරුණු වගකීම සැහැල්ලුවෙන් සළකන්නෙක් නොවන වග ඔහුගේ නිර්මාණ ගණනාවකින් පසක් කර දෙයි. ඔහු විනාඩි කිහිපයක කටයුත්තකට තම ක්‍ෂේත්‍රයේ සෙස්සන්ට වඩා දින සති මාස ගණන් වෙහෙසෙන්නට මැළි කමක් නොදක්වන චරිතයකි. 

එහෙත් ඔහු ’බෑග්පයිප්’ වාදනයට ඇඵම් කළ බව හැඟෙන්නේ මතු කී ලෙස 1971 කළණ මිතුරෝ ගීතය සඳහා එය තෝරාගෙන පසුව ’හිතක පිපුණු මල්’ වෙනුවෙන්ද එය වාදනය කළ බැවිනි.

මෙයින් නැගෙන හඞ විසින් ලියුම්කරු කැඳවාගෙන යන්නේ පෝදාක විහාර බිමකටයි. ඒ එය තරමකට පංචතූර්ය නාදයේ ’හොරණෑ’ වට නෑකම් කියතැයි සිතෙන බැවිනි. 

බෑග්පයිප් වාදනයක් හසුකරගැනීමට සිංහල ගීත කොපමණ ප්‍රමාණයකට සවන්යොමුකරයුතුවේද ? අපැහැදිළිය. එවන් ගීත තවත් හමුවේනම් මේ ලිපිමාලාවේ අතරතුර මා ඔබට නිසැකවම එය මතුකරදක්වමි. එය සපථ කරමි.

------------------------------------------------------------

මෙතැනින් ඉදිරියට ඉදිරි දිනක......