ගීයක් යනු කිම?..... විමසා දැන ගනු මැනවි... 10 - සැක්ස්ෆෝන්
බටහිර ආර අනුව සංගීත සංයෝජනය කළ සිංහල ගීතාවලියේදීද, රාගධාරී හින්දුස්ථානි සංගීත ශෛලිය අනුගමනය කරමින් සංගීතවත් වූ සිංහල ගීත රැසකදී ද එකසේ අඩු වැඩියෙන් යොදාගත් ඉතාමත් පොදු වාද්‍ය භාන්ඩය ඔබ අප කවුරුත් හොඳින් දැන හඳුනාගත් ’සැක්ස්ෆෝනය’ යි.
වෙළඳ තැටි සහ පසුව ගැයුනු කැසට් පට ගීතයන්හීදී වඩාත් බහුලව භාවිත වූ මෙම සංගීත භාන්ඩයේ යටගියාව තරමක් විමසා බැලීම වඩාත් යෙහෙකි.
ගාම්භිර මනරම් පෙනුමැති හෙඳින් ඔප දැමුනු පිත්තල සංගීත භාන්ඩ පවුලේ හැඩකාරයා වන එය එක ඉපියාවකින් ඊටම ආවේනික හඞක් හටගන්වන අතර එය ගීත රසිකයන්හට ආගන්තුක හඳුනන්නට අපහසු හඞක් නොවන බව ඔබ සැම හොඳින් දනී.
බටහිර සංධවනි වලදී විවිධ අවස්ථාවන්හිදී එනම් සන්නද්ධ හමුදා තූර්ය වාදන සංදර්ශන, වෙනත් උත්සව අවස්ථා මෙකි නොකි විවිධ සංගීතමය කටයුතු උදෙසා සැක්සෆෝනය නැතුවම බැරි සංගීත භාන්ඩයක්ව පවතීන්නේ සියවසක් තරම් ඈත යුගයක සිටය. බටහිර වාද්‍ය වෘන්දයක රුවක් ඇස ගැටන්නේ යම්තැන්හිදී එතැන්හී ’සැක්සෆෝනයේ රුවද පැහැදිලිව මතු ව කැපී පෙනෙන්නේය.
විකිපීඩියා ව කියන පරිදි එහි උපත සිදුවි ඇත්තේ බෙල්ජියමේදී ය ඒ 1840 තරම් ඈතකදීය. ඔහු බෙල්ජියානුවෙකු වු ඇඩෝල්ෆ් සැක්ස් ය.
බොහෝ ශුෂිර භාන්ඩ වල නාද උපතේ මූලධර්මය මෙම උපකරණය ද භාවිතා කරයි. එනම් එහි කම්පනය වන වායු ධාරාවේ දිග එහි ඇති සිදුරු තුලින් අඩු වැඩි කිරීමෙන් එහි ’ස්වර’ නිපදාවාගනු ලැබේ. සම් අවාරනිත කොපු වෙතින් ඒ සිදුරු වසන්නේ ඒවාට සිය අතැඟිලි පහස දෙන වාදකයා විසිනි.
මුලදී පිත්තල ලෝහ භාන්ඩයක් වූ එය 80 දශකය තරම් මෑතකදී අගනා රිදී ලෝහයෙන් ද කලඑලි බැස්සේය.
අරමුණ
සිත කළඹන වේදනාභරිත මානසික තත්වයන් සංගීතයෙන් ඉස්මතු කර දැක්වීමට මෙය භාවිතා කෙරෙන්නේ ඒ කාර්යය ම කරන ’ක්ලැරිනටය’ සහ ’ඕබෝව’ මෙනි. ශංගාරාත්ම අවස්ථාවන් උද්දීපනය කර ගැනීමටද එය යොදාගනී.
ලක්දිව ගීත කලාව රසගන්වන්නට පෙරාතුව එය උත්තර භාරතීය සිනමා සංගීතයේ මිහිර ඔපගන්වන්නට සැපත් වූයේ මෙයින් වසර 70 ට පමණ පෙරදීය. ’ෂන්කර් ජායිකිෂන්’ නම් වූ අති දක්‍ෂ සංගීතඥයන් දෙපොළ එය සිය සිනමා නිර්මාණ සඳහා යොදාගන්නට උත්සුක වූයේ 60 දශකයේ මුල් යුගයේ සිටය.
පසුව එස් ඩී බර්මන් සහ ආර් ඩි (රාහුල් දේව්) බර්මන් පියපුතු දෙපොළ ද මනෝහර් සිං නම් වු සංගීතවේදියා ද ඒ සඳහා දායක විනි.
1969 වසරේ දී භාරත සිනමා කලා ඉතිහාසයේ නොමැකෙන සිහිවටන පෙළේ තවත් සංධිස්ථානයක් සළකුණු කළේ ’ආරාධනා’ නම් වු සිනමාපටයයි. එහි ගායනවේදී කිශෝර් කුමාර් ගැයු ’රූපු තෙරා මස්තානා....’ හි වැයෙන රුසිරු සැක්සෆෝන් වාදනය සිහිකැඳවනු වටී.
------------------------------
ලාංකීය සැක්සෆෝන් වාද්‍ය වගතුග
60 දශකයේ මුල් යුගයේදී පවා ඇතැම් සිනමා ගී නි්ර්මාණ සඳහා මද පමණින් ’සැක්සෆෝනය’ වාදනය කෙරිණි. පර්යේෂානාත්මකව කරුණු හැදැරූවේ නම් අප්‍රකට වාදකයන් පිළිබඳ තොරතුරු හෙළිදරවු කරගන්නට තිබිනි
'මේ සටහන කරුණු සංක්‍ෂිප්තව ගොනු කිරීමක් නිසා එය මගහැරයන්නට සිදුවිම පිළිබඳව කණගාටු වෙමි. ප්‍රකට සංගීතවේදියෙකු හා වාදන ශීල්පියෙකු මෙන්ම සිනමා සංගීත අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කලක් කටයුතු කරන ලද ’එම් කේ රොක්සාමි’ පිළීබඳ මතකය දිගහැරලන්නේ ද ’සැක්සෆෝනයෙනි’ මක් නිසාද යත් ’වයලීන’ වාදන ශිල්පියෙකු ලෙස කටයුතු කරන්නට මත්තෙන් ඔහු පෙර කී වාද්‍ය භාන්ඩය වැයු මුල්ම වාදකයන්ගෙන් කෙනෙකු නිසාය. ඔහුගෙන් අනතුරුව ඊට මැදිහත් වූයේ එතරම් කතාබහට ලක් නොවු අතිදක්‍ෂ වාදන ශීල්පියෙකු ලෙස කටයුතු කළ ’කුමාර් මොල්ලිගොඩ’ ය.
60 දශකයේ අවසන දක්වා මේ දෙදෙනා ගේ දායකත්වය කැපී පෙනුනි.
80 දශකයේදී මෙහි දියත් කෙරුණු රාජ්‍ය රූපවාහිනී සේවා යුගලය විසින් පළමුවරට සංගීත සංදර්ශනයකට එක්නොවු රසිකයන්හට සිය ආදරණිය ගායකයන් සහ වාදකයන්ගේ හැඩරුව දිස්වන්නට සලස්වන ලදී. ඒ ඔවුන් නිතර විකාශය කළ මැදිරි පටිගත සංගීත සංදර්ශනයන්හි දීය.
එහිදි මෙම වාද්‍ය භාන්ඩය අතදරා සිටි එතරම් උස්නොවු හැඩකාර පැහැපත් සංගීත ශිල්පී වාදකයා හා එවකට ප්‍රකට සංගීතඥයා ඔබ ද දැන් වැඩිහිටියෙකු නම් ඇස ගැටෙන්නට ඇත. 80 දශකයේදී සිය කන්ඩායම සමග රූප මාධ්‍යය හරහා රුවින් කළඑළි බට ඔහු සංගීතවේදී වාදනශූරී ’ස්ටැන්ලි පීරිස්’ ය.
ෆෝර්චූන්ස් () නමින් තම වාද්‍ය කන්ඩායම හඳුන්වාදුන් ඔහු, 70 දශකයේ සිට 90 දශකය අවසන් වනතුරු එනම් ගී තැටි යුගයේ සිට කැසට් යුගයද නිමාවන තුරු වෙළඳ ගී නිර්මාණ පටිගත කිරීම් වලදී නාද වාදන සහය ලබාදුන් ප්‍රමුඛතම සංගීත කන්ඩායමයි. 50
එහිදී ඔහු තරම් ’සැක්සෆෝනය’ සංගීත රසිකයන් අතරට කැඳවාගෙන ගිය අන් කවරෙකු හෝ නැති තරම්ය. ඒ කවරහෙයින්ද යත්, ඔහු ගී පටිගත කිරීමට එකී කටයුත්තේ නිරතවිමෙන් නොනැවතී 50 දශකයේ සිට ලාංකීය සිංහල සංගීත ලෝලීන්ගේ හද බැඳ ගත් අතිශය ජනාදරයට පත්වූ සියඵ ගීත එකක් නෑර සිය වාදන වෘන්දයදසමගින් ’සැක්සෆෝනයෙන්’ අනුවාදනයේ නිරත වූ නිසාය. ඒවා තැටිගත කිරීමේ කටයුත්තද සංවිධානය කරගත් ඔහු පසුව ඒ තැටි එවකට ජනප්‍රිය වෙළඳ ලේබල යටතේ වෙළඳ පොලට නිකුත් කරමින් රසිකයන් අතරට රැගෙන යන්නට පසුබට නොවිය.
-----------------------
ස්ටැන්ලි පීරිස් - 70 දශකයේදී
----------------------
සී ටී ප්‍රනාන්දු විසින් ගැයූ මල් ලෝකේ රාණි, සිහින ලොවේ මිහිර මැවූ මාලී, පින්සිදුවන්නේ, අම්බිලි මාමේ, ලෝ අඩ නින්දේ, සුවඳ රෝස මල් නෙළා,දවස ගෙවි දැන් ටික ටික, සිගිරි සුකුමාලියේ, ඇතුඵ තවත් ගීත ද
සංගීතවේදී සුනිල් සාන්ත ගේ ’ඔඵ නෙඵම් නෙරිය රඟාලා (රේඛාව - 1956)
රුක්මණී දේවී ගේ ආදරය නිසා හෘර්දේ බැඳෙනා, මැවිලා පෙනෙවී රූපේ (කැළෑහඳ - 1953)
මෙන්ම නූර්ති ගී යුගයේ ගැයුනු ’දන්නෝ බුදුන්ගේ’
ග්‍රැමෆෝන් ගී යුගයේ ගැයුනු ’මුණී නන්දන සිරි පාද වඳිමු (ග්‍රේටා ජෙනට් සිල්වා)
60 දශකයේ සිට ජනප්‍රියතම වේදිකා නාට්‍ය ගීතයක් වූ ’අන්න බලන් සඳ රන් තැටියෙන්’ (කුණ්ඩලකේශී - 1961)
චිත්‍රා සහ පී එල් ඒ සෝමපාල ගැයු 50 දශකයේ ගීත අතර රැඳුනු උකුලේ කලේ තබා, ලලිත කලා ඔපකරනා, උඩරට කඳුකර සිරියා පරදන, දඹුලු ගලේ යන මේ ගීත අනුවාදනයන් ද ඉදිරිපත් කර ඉන් නොනැවතී සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන සමග එක්ව ඒවා ඔවුන් දෙදෙනා ලවා යළි ගායනා කරවා සිය සැක්සෆෝන වාදන සහයෙන් ප්‍රතිනිර්මාණය කොට වෙළඳ පොළට නිකුත් කරන්නට යෙදිනි.
------------------------චිත්‍රා සෝමපාල
---------------------
එයින් නොනැවතී 70 දශකයේ ගායන තරු අතර බැබඵනු වික්ටර් රත්නායක ගේ ගීත ද, කන්ඩායම් ගී අතර රැඳුනු ’දුව රෝසී’ (වින්ස්ලෝ සික්ස්) යන මේවයේ ස්වර මාලාවන් ඔහු ගේ තීක්‍ෂණ සංගීත ඥානයට හසුවි ’සැක්සෆෝන’ යෙන් ඔප්නැංවී හැඩවැඩ කෙරිනි.
මේවා මේ සටහන අතර දෑස් යොමන ඔබෙන් ඇතැමුන්ට ආගන්තුක විය හැක්කේය. කම් නැත, ඔබ සංගීතයට පෙම්බඳින්නේ නම්, ඊට ආශක්ත නම් ඒවයේ කාලනිර්ණය අදාළ නැති බව කිවමනාය. එසේම ඔබ ලමාවියේ සිට ඒවා රසවිඳ ඇත්නම් මේ අත්දැකීම ඔබේ ඒ ගීත රසය දියුණු තියුණු කරනවා නිසැකය. එසේනම් කුමට තව සුනංගු වන්නේද ? ලාංකීය ගීත සාහිත්‍යයේ මෙන්ම අනුවාදන ගීත කලාවේ නොමැකෙන සදාතනික සිහිවටන වන මේවා දැන් දැන් ඔබේ දෙසවන පිනවන්නට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවල වාදනය වෙන අවස්ථා නැති කරම්ය.
සී ටී ප්‍රනාන්දු -
මා සුකුමාලී -
පින්සිදුවන්නේ -
ලෝ අඩ නින්දේ -
කිමද සුමිහිරියේ -
---------------------------
රුක්මණී දේවී
මැවිලා පෙනෙවී රූපේ -
-----------------------------
මොහිදීන් බෙග් -
මගේය ප්‍රේම මාලිනී
පෙම් මල් මාලා නෙලා ගොතාලා -
------------------------------------
එච් ආර් ජෝතිපාල
දුරකථනයකින් මම ඔබ අමතමි
----------------------------------------
වින්ස්ලෝ සික්ස්
දුව රෝසි හිනැහෙනවා
----------------------
ඒ යුගයේ පවා දහස් ගණනක් සිංහල ගී තිබියදී මේ ගීත පමණක් ඔහු තෝරා ගන්නට හේතුව කිම ? ඒ නිදර්ශකය නම් එකි දහස් ගණනක සියඵ ගීත පරදා 70 දශකයේ දී මෙම ගීත පෙළ රසිකයන්ගේ හදවත් දිනා තිබු බවයි.
--------------------
රංජිත් පෙරේරා සහ ස්ටැන්ලී සැක්සෆෝන් සුසංවාද රස මිහිර මවමින් - 70-- - 80 දශකයේ ෆෝර්චූන්ස්
--------------------
සැක්සෆෝනය තරම් ගී අන්තර්වාදන සහ ආරම්භක වාදන ඛන්ඩ සඳහා යොදාගත් වෙනත් බටහිර සංගීත භාන්ඩයක් නැති තරම්ය ඊට නිදසුන් එමටය. ඒ ලැයිස්තුව එතරම්ම දිගුය එහෙත් ඒ අතර කැපී පෙනන නිර්මාණ පිළිබඳව යමක් කියනු වටී.
----------------
නිහාල් නෙල්සන් ක්ලැරන්ස් විජේවර්ධන සමග ගීයක් පුහුණුවෙමින්
-----------------------
70 දශකයේ දී ’වේගරිද්ම’ නාදකලාවේ කැපී පෙණුනු ගායන ශීල්පී ’නිහාල් නෙල්සන්’ ගැයු එක්තර ගීතයක මෙබඳුය.
කිංකිණි හඞට සමවෙනා .....................
ගිගිරි සැලේ ගවකුර හඞට මුසුවෙලා ....................
ඇදපන් පුල්ලි ගොනෝ ..............................
---------------------------
ගායන ශිල්පී ’වර්ණන් පෙරේරා’ ගේ සුරතින් මැවුනු මේ වදන් මාලාවට පසුබිම් වූ පරිසරය නව පරපුරේ රසිකයන් හට ආගන්තුකය. අද විවිධාකාර ප්‍රමාණයේ ලොරිරථ’ සහ මගී ප්‍රවාහන රථවල වල කාර්ය භාරය ඉටුකළ එදවස ලාංකීය ප්‍රවාහන මාධ්‍යයන් අතර කැපි පෙනුනේ ’බරකරත්තය’ සහ ’බක්කි කරත්තය’ යි. බක්කි කරත්තයෙන් මගීන් ප්‍රවාහනය කරද්දී බර කරත්තය භාන්ඩ ප්‍රවාහනය කළේය. ඒ නිසා අදට වඩා බෙහෙවින් රථවාහන හිඟ ඒ කාලයේ මහාමාර්ග වසා රජ කෙරුනේ මේ කරත්තයන් ය. එය ලංකිකයන්ගේ වෙනම උපසංස්කෘතියක් බවට පත් වී තිබිනි. ඒ වටා බැඳි කෙටිකතා, නවකථා, සිනමා කථා, කවි ගී සිංදු ද එමටය.
පෙරකී ගීතය අවසානයේ සිංහල ගීතයකට යෙදුනු දිර්ඝතම පසු සංගීත ඛන්ඩයක් වාදනය වෙයි. ඒ කාර්ය භාරය ඉටුකලේ ස්ටැන්ලි පීරිස් ය. නිර්මාණකරුවන් විසින් ඔහුට ’කරත්ත කවිය’ ක් සැක්සෆොනයෙන්’ වාදනය කරන ලෙස දන්වා තිබිනි යැයිද. එය කෙසේ කරන්නේදැයි මුලින් දෙගිඩියාවෙන් පසුවී පසුව සිය නිර්මණශීලීත්වය අවදී කරවා ගෙන එය ඉතා අපූරුවට සිදු කළේ යැයි ද ලියුම්කරු ට ඈත දිනයකදී හෙළිදරවු කලේ මේ ගීත රචකයාණන්මය.
එය විමසා දැනගන්නට සිත්වූයේ එවන් අවස්ථාවන් සිංහල ගීත ඉතිහාසයේ විරළ නිසාමය.
මෙතැනින් රසවිඳින්න
------------------------------
සැක්සෆෝන වාදනයන් සුසංවාද ක්‍රමයට ගීතයට පසුබිමින් වාදනය වන්නට සැලැස්වු තවත් අපුරු නිර්මාණයකට මගපෑදුවේ සංගීතවේදී නැසිගිය එම් කේ රොක්සාමි මාස්ටර්ය. ඒ නැසිගිය ප්‍රේමකීර්ති ද අල්විස් ගේ පදරටාවකින් ගීයක් මවන්නට එක් වෙමිනි.මෙහි ගැයුම ෆීලික්ස් ඇන්ටන් ගායනශිල්පියාගෙනි
සැක්සෆෝන් නාදරටා ඇතුළත් සිංහල ගීත භාරත සිනමා ගීතයේදී එය යොදාගත් අවස්ථාවන්ටද වඩා ඉදිරියෙන් සිටින බව කිව හැකිය. ඊට නිදසුන් ද ගණනාවකි. ස්ටැන්ලි පීරිස් සංගීතවේදියාණෝ ඊට මහත් සේ දායක වූයේය. වෙනත් ගී තනු සහ සංගීත අධ්‍යක්‍ෂවරුන් යටතේ ද වාදන සහය පෑ ඔහු තමන්ගේම සැක්සෆෝන් නාදරටා ඊට එක්කොට හැඩගැන්වූයේය ෆීලික්ස් ඇන්ටන් ම ගැයු ප්‍රේමකීර්ති ලියූ මෙම ගීතයේ වැයෙන අඛන්ඩ සැක්සෆෝන් අන්තර්වාදන රසය සලකා බලනු මනාය
ඒ ගීතය අන්තර්වාදනය ආරම්භක වාදනය මෙන්ම පසුබිමින්ද අඛන්ඩව එය ගලා යයි
---------------------
සිංහල ජනප්‍රිය ගීත කලාවේ පහන් ටැම්
එම් කේ රොක්සාමි (වම් කෙළවර) ග්‍රේෂන් ආනන්ද (පිටුපස) සහ මර්වින් පෙරේරා (දකුණු පස)
---------------
මෙතැනින් රසවිඳින්න.
---------------------------
ආචාර්ය වික්ටර් රත්නායක ට සිය සැක්සෆෝනයේ හැඩවැඩ මතුකරදුන් අවස්ථාවකී මේ
ඊට සමකාලීනව ආචාර්ය සුජාතා අත්තනායක ගායනවේදිනියගේ වෙළඳ ගී තැටියකදී මෙම ගී පදවැල් නම් වූ සිත්තම පූර්ව, අන්තර් වාදන සැක්සෆෝනයෙන් මෙසේ සිතුවම් කලේ ස්ටැන්ලි පිරිස් වාදනවේදියානෝය.
මෙතැනින් රසවිඳින්න.
---------------------------
50 දශකයේ මුල් භාගයේදී චිත්‍රා පී එල් ඒ ගැයු මේ ගීතයේ රිදී ජුබිලි සංවත්සර ය සැමරූ 1977 පමණ කාලයේදී ඇගේ ගීත බටහිර නාද රටාවෙන් ප්‍රතිනිර්මණය කරනන්ට යෙදී ස්ටැන්ලි පීරිස් සිය සැක්සෆෝනය මෙසේ හැඞවුයේය.
මෙතැනින් රසවිඳින්න.
---------------------------
බටහිර සංගීතයේ ශූෂිර නාදරජු ගේ පවත සිංහල ගි සාහිත්‍යයේදී වඩාත් සවිස්තරාත්මකය. එහෙත් එය මෙතැනින් හමාර කරන්නට සිත් ව, එයින් වැයූ ගීත ලැයිස්තුව මෙසේ දිගහැරදෙන්නෙමි. ඒවා සියල්ලම පාහේ හැඩගැන්වූ අප අතරින් සමුගෙන ගොස් දශක දෙකක්ද ඉක්මවූ මේසමයේ ස්ටැන්ලි පිරිස් සංගීතවේදයාගේ නාමයට ශිර්ෂ ප්‍රමාණ ගෞරවය මෙසේ පළකරන්නේමි.
අද හවසට මා ..., සුරංගනා මල් ඇතිරූ මාවතේ, පාවී ගියා මා ඔබ හා....(කේ ඩි කේ ධර්මවර්ධන, ස්ටැන්ලි පීරිස්) - ආචාර්ය සුජාතා අත්තනායක, අරුණ නැගෙන වෙලේ ..(මහාචාර්ය සුනිල් ආරියරත්න,ස්ටැන්ලි පීරිස්) - ආචාර්ය වික්ටර් රත්නායක - සුජාතා අත්තනායක, කිංකිණි හඞට සමවෙනා....,(වර්ණන් පෙරේරා, ලාල් තේනබදු), ලස්සන ඇස් දෙක පුංචි කරන්..., කරුණා සුවඳ තවරාලු , - නිහාල් නෙල්සන්, නීල බිගු කැළ.. - (රජගෙදර පරවියෝ - 1975 - කේ ඩි කේ ධර්මවර්ධන, වික්ටර් රත්නායක), අඳුර බිඳින්නට රැයක් දවාලු - (මාතර ආච්චි -1973 - ප්‍රේමකිර්ති, වික්ටර්), රටකින් එහා ඉගිළී.. (ප්‍රේමකිර්ති ද අල්විස්, ක්ලැරන්ස්), සැන්දෑ යාමේ එක්වූ යාමේ (ආචාර්ය අජන්තා රණසිංහ, ක්ලැරන්ස්), සරතැස නිවා (ප්‍රේමකිර්ති, රොක්සාමි), තොලගෑ අමාවේ රහා.... (ප්‍රේමකීර්ති, ප්‍රියා සූර්යසේන),බිගූ වැළපිලා (කරු අබේසේකර, ප්‍රියා) - ප්‍රියා සූර්යසේන, මල් නෙළලා වරළස ..(ප්‍රේමකීර්ති,ෆීලික්ස්), නෙත පිනන රුසිරු වත...(ප්‍රේමකීර්ති, රොක්සාමි) .. මල් කුමාරියක් වගේ..(ප්‍රේමකීර්ති, ෆීලික්ස්), පැළඳි මිණී මුතු...(ප්‍රේමකීර්ති, වික්ටර්) - ෆීලික්ස් ඇන්ටන්, ඉන්දුමතී හා බින්දුමති.. (ප්‍රේමකීර්ති, වික්ටර්), ඔබයි මමයි මැවූ සිහින (බන්ඩාර කේ විජේතුංග, වික්ටර්), නීල දෑසේ දැතේ සතපාලා (කේ ඩි කේ, ස්ටැන්ලි පීරිස්) - මිල්ටන් මල්ලවාරච්චි පායන් සඳුනේ මේ පාඵ රාත්‍රීයේ - පන්ඩිත් අමරදේව - මල්කාන්ති නන්දසිරි, මා හද සිසිල් පවන්.., රන මොණරියි විළාසේ ..... (කරු අබේසේකර, පැට්‍රික් දෙණිපිටිය) - සී ටී ප්‍රනාන්ද ඇතුඵ දීර්ඝ ලැයිස්තුවකි. මේ මැයිගහ යට..(අජන්තා රණසිංහ,මෙල්රෝයි ධර්මරත්න), ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී..(බන්ඩාර කේ විජේතුංග,සරත් දසනායක), පාවී ඇදී එන්නා..(කුලරත්න ආරියවංශ, ස්ටැන්ලි පීරිස්),සුලගේ පාවි ඈ වෙත (කරුණාරත්න අබේසේකර,ක්ලැරන්ස්) - මිල්ටන් මල්ලවාරච්චි, කොමළ ලියා බොළඳ ලියා..(ධර්මසිරි ගමගේ,ක්ලැරන්ස් විජේවර්ධන -සිකුරුලියා - 1975) - මිල්ටන් පෙරේරා, ඈත දුරක දෑස පාවෙලා...(කුලරත්න ආරියවංශ,ග්‍රේෂන් ආනන්ද) - ග්‍රේෂන් සහ නීලා වික්‍රමසිංහ, අඩවන් දෑසින් පවසනු රහසින් ... (මහගම සේකර,සෝමදාස ඇල්විටිගල, - වෙස්ගත්තො - 1970), අඳුර බිඳින්නට රැයක් දවාලු.... (ප්‍රේමකීර්ති ද අල්විස්,වික්ටර් රත්නායක, මාතර ආච්චි - 1973), අපි සව්දිය පුරමු ..(සුනිල් ආරියරත්න,වික්ටර් රත්නායක - ’ස’ ප්‍රසංගය) - වික්ටර් රත්නායක
දැන් සමුගෙන යළි මුණගැසෙමු........

















