namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, March 27, 2024

ඈත අතීතයේ ගම්මානයක වතගොත බිඳකින්....10 Sinhala Village before fifty years

සිංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය........... 10

 ලක්දිවයින බඳුව ගංගා ඇළ දොළ බහුල දීපයන් ලෝකයේ කොපමණ වෙත්දැයි කිව නොහේ. වියළි කලාපයට වඩා තෙත් කලාපයේ ඒවා බහුලය. බ්‍රිතාන්‍යයන්ගේ යටත් වැසියන් බවට පත්වන තුරු ඔවූහූ ඒවා තරණය කළේ ඔරු,පාරු, අන්ගුල ආධාරයෙනි. ඒවයේ නියමුවා තොටියාය. ඔවුන් පාලම් ඉදිකලේ මහමාවත් සහ වැවිළි බෝග ආශ්‍රීතව පැවති මාවත් යා කරමින් මිසක, ඉතා බහුලව තිබුනු ගම්මාන යා කරන ලද කරත්ත පාරවල් උදෙසා නොවේ.  ඇතැම්විට පුරාණයේ මේවා මතින් දැව පාලම් පවතින්නට ඇත. බදුල්ල දිස්ත්‍රීක්කයේ බෝගෝඩ පිහිටා ඇත්තේ දඹදෙණි රාජධානි යුගයට අයත් පුරාණ දැව පාලමකි. එසේ පැවතුනා නම් ඒවා ඉදිකරන්නට ඇත්තේ විශේෂ වැදගත්කමක් පැවති මාර්ග ආශ්‍රීතව පමණක් වන්නට ඇත. ඒ අනුව ’තොටියා’ ද එදවස ගැමියන්හට මහගු සේවයක් ඉටුකල අතවශ්‍ය චරිතයකි.  අද පවා  ඈත ගම්මාන යා කෙරෙන පටුමාවත්  දෙබෑ කරමින් ඇදී යන දියදහරාවල් මතින්   එතෙරවන්නට පාලම් දක්නට නැති ස්ථාන විරළ නොවේ. පාරු කවි බිහිකර ගැයුවේ තොටියන් විසිනි.









මලේ මලේ ඔය නාමල නෙළා වරෙන්.............

අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්..........

කැළණි ගගේ ඔරු යනවා බලා වරෙන්....

සාධුකාර දී ඔරුවට නැගී වරෙන්..................

(ජන කවි - පාරු කවි වර්ගීකරණය)

තොටියන් අත්දුටු අනුවේදනීය පුවත්, එමටය. දෙගොඩතලා ගං හෝ වැව් උතුරා යන වැසි සමයේ ඔහුගේ රාජකාරිය වඩාත් භාරදූරය. පැදයන තමා පිහිණුම් කලාවේ නිපුණයෙකු වුවද යනඑන මගීන් එසේ නොවේ. 


එගොඩහ යන්නෝ ....මෙගොඩහ යන්නෝ....

තව කවුරුද ඉන්නේ ......

පමා නොවන්නේ අඳුර වැටෙන්නේ ....

යනවානම් එන්නේ ...

මම මේ ගගුලේ අගුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා ........

ගගුල අනෝමයි අදමට වෙහෙසයි.... 

තව කවුදෝ ඉන්නේ ....

(ඩෝල්ටන් අල්විස් ගී පද ගැයුම සහ සංගීතය ටී ෂෙල්ටන් පෙරේරා - 1973) 



ගමේ කොඵ කුරුට්ටන්ද ඕරු පාරු පැදීමේ කලාවේ නිරත වූයේ හුදු විනෝදය පිනිසය.  එහි ගොඩවී බුදුපුදට ගෙනයන්නට නෙකපැහැ ඕඵ, නෙඵම්, මානෙල් මල් මිටි ගණනින් නෙළාගනියි. ගංගාව මැදට ගොස් විනෝදයට මත්ස්‍යයන් කිහිපදෙනෙකු අල්ලාගැනීමට උත්සහ දරයි. ජලජ පඳුරු වූ පන්, වැටකෙයියා ගාලකට ගාල් වී ඒවා කපා ගන්නේ වට්ටි,,පෙටටි පැදුරු වියන්නටය. ඒවාද කපා ගන්නට ඔරු ගමන මහෝපකාරී වෙයි. දශක තුනකට පෙර යුගයක් දක්වා අතවශ්‍යව පැවති පන් විවිමේ කර්මාන්තය දක්‍ෂ ලෙස ප්‍රගුණ කළ යුවතියන් එදා ගම්වල විසූහ. කපා තම්බා ගත් පසුව හිරු රැසින් වේළා පදම් කරගෙන, යළිත් වර්ණ ගන්වනු ලැබේ. එවිට ඒවා වියාගන්නට සුදුසුය. 

’පන්’ යනුවෙන් පොදුවේ හැඳින්වෙන කලාවට උපයෝගි කරගන්නා ජලජ ශාඛ වර්ග අතර නියඳ, වැටකෙයියා, හණ, ඇතුළත්ය. වර්ණ යෙදිමේ අමුද්‍රව්‍ය සපයාගන්නේ පතගි කොරකහ (රතු), වෙනිවැල් ගැට සහ අමුකහ (කහ), කනේරු කොළ, ලූණුමිදෙල්ල, කැළැකොහොඹ (කොළ), අරඵ බුඵ (කඵ) වැනි ශාඛයන්ගෙනි. 

පන් පැදුරු රටා වියූ පිරිස් ’කින්නර’ ලෙසින් එදා හැඳින්විනි. කන්ද උඩරට රාජධානියේ ’දුම්බ්ර මිටියාවත’ (වර්තමාන මැදමහනුවර, කුන්ඩසාලේ අවට ප්‍රදේශ) මෙම කර්මාන්තයේ විශීෂ්ඨයෝ බිහිකරදුන්හ. ඔවුනතර පැවතියේ එක්තර උප සංස්කෘතියකි.


දුම්බර කළාලේ තුන්පත් රටා වියන්නම්.......................

ආදරයට නව අරුතක් සොයා තියන්නම් ....

කාශ්මීර පටසඵ මට එපා හිමියනේ..............

ඔබේ නුවන් මදිරා දිය ලදොත් එපමණි....

(නාලනී රණසිංහ ගුවන් විදුලි ගී-1975)



ගාන තෙල් සඳුන් වරළස ඔමරි කොට....

මූණ පුරා තෙල් ගාගෙන යන කලට ................

මාන බලති මිනුවන් පන් තිබෙන කොට ...................

නෑනෝ නුඹත් එනවද පන් කපන්නට ...........

(නෙඵම් කවි, පාරම්පරික ජන ගී)

මෙම වට්ටි පෙට්ටි පැදුරු නිෂ්පාදනයන් ගැමියන්ගේ එදිනෙදා දිවියේ අවශ්‍යතා ඉටුකරගැන්මට නැතිවම බැරි අතර, කුඹරට, විහාරයට හෝ වෙනත් පොදු කටයුත්තක යෙදෙන්නන් හට ආහාර ගෙන යන්නටද, නෑගම් යන්නටද, කඩමන්ඩියේ සිට පාරිභෝගික දූව්‍ය රැගෙන එන්නටද, පිලේ, අම්බලමේ, හේනේ කූඹුරේ පැල්කොටයේ වැතිර නිදන්නටද පිහිට වූයේ ඒවාය. අරුමය නම් මෙම නිපැයුම් හොඳින් නඩත්තු කළේ නම් නොදිරා දශක ගණනක් පැවතීමයි. 



නිරන්තරයෙන් ගොඩගසා ගනිමින්, පරිසරයට හානි කරන අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදනයන්ගේ ආගමනයට දක්වා පන් කර්මාන්තයේ මහිමය ලාංකීය ජනයා හොඳින් අත්විඳගත්හ.

මේ අතරවාරයේ ඔරුපාරු යුගයේ අවසනාවන්ත සිදුවිම් ඉඳහිට හෝ අත්විඳින්නට ඔවුන්ට සිදුවන්නට ඇත. වසරේ එක්තරා සමයක, ඇදහැළෙන මහා වැහි කෝඩයෙන් දෙගොඩතලා යන ඇළ දොළ ගංගා, ඔරු-පාරු ගමන මරුට අතවනන අත්දැකීමක් බවට පත් කරන්නට ඇත. 

හිරිමල් වියේ පෙම්වතුන්ද, ඔරුවකට ගොඩ වී නිසොල්මනේ, රැළි සුළි නංවා එය පදිමින් පෙම්බස් දොඩන්නට ඇත. එහෙත් අවදානම බිඳකුඳු පහව නොයන මේ කටයුත්තේදී, ඔරුපදින්නාගේ සුඵ අතපසුවිම මහත් ව්‍යාසනයකට හේතු විය හැකිය.  මේ එවැනි පුවතකි.


රෑ හඳ පායාලා අද වාගේ ...............

තිබුදාකයි ඒ දේ සිදුවූයේ ..................

අප ගම පැත්තේ තිබු ගග මැද්දේ ............

ඈ සමගින් මා ඔරුවක් පැද්දේ ............

රෑ හඳපානේ ..ඔව් අදවාගේ ...................


එගොඩට අඹ දං අවුලා ..............

කා යලි පැදලා මෙගොඩට ආවා...............

ඕඵ නෙඵම් ඈ මානෙල් මාලා..........

බරට නෙළාලා ඔරුව පුරාලා...........

ගග බඩ වැල්ලේ ඉඳ සැනසිල්ලේ ...............


ඈ මට ඇවිටිලි කරකිව් හින්දා ..........

ඔරුවට නැගිලා යළි අපි දෙන්නා .................

යනවිට පදිමින් හබල ගිලිහුනා ....

රැල්ලට හසුවි ඔරුව පෙරඵනා ....

බෙරිහන් දිලා ඈ කෑගැසුවා .................


පීනා ගොස් මා ඈ අත අල්ලා....

ගන්නට යද්දී ඈ යට ගිඵනා....

සුළියට හසුවීලා පොරබදලා ....

ඈ සොයමින් මා හැමත පීනුවා ...


ඈ දුටුවේ නෑ.....

ඈ හමුවුනේ නෑ .....


(ගී සංකල්පනාව සහ තනුව යොදා ගායනය  - සිසිර සේනාරත්න - 1968)

ඈත අතීතයේ දී පැවති කටුමැටි, වරිච්චි බිත්ති සහිත ගැමි නිවෙස් ගොඩනගන්නට ’වැලි’  සොයා ගංපතුලේ අරගල කරමින් කිමිද යන්නට ඇවැසි වූයේ නැත. ගම්මනායේ ප්‍රභූ නිවෙස් සහ ඊටද වඩා වැදගත් වන්දනීය පූජනීය විහාර ගොඩනැගිලි පවා තැනුවේ කබොක් ගඩොලිනි. ගොඩනැගිල්ලේ වෙසෙන්නන්ට සොබා දහමේ වායුසමන සිසිළස අත්කරදුන් එවන් ගොඩනැගිලි සමකාසන්න උෂ්ණාධික දේශයකට හොඳින්ම ගැළපෙයි. යටත් විජිත යුගයේ දෙවන භාගයේ දී මෙම කලාව විපර්යාසයකට ලක් වී, ’වැලි ගොඩ දැමිම’ මහා පරිමාන කර්මාන්තයක් බවට පෙරළී, ගැමියෝ ’කම්කරුවෝ’ බවට හැරුනි. ඒ කටයුත්ත එදාටත් වඩා හොඳින්ම අදද සිදුවන්නේ දැවැන්ත පරිසර හානියක් සිදුකරමිනි. 

දැන් ගංගාවල සැරිසරන පාරූ මත ගොඩගැසෙන්නේ වැලිය. 


ඔරුව වසා වැලි පුරවා...........

එගොඩ ගොඩේ ගං ඉම සොයලා ....................

හිමිදිරියේ කාසි අතේ පැදපල්ලා ....

සඳ එළියයි පාඵ මකන්නේ තරු එළියයි පාර කියන්නේ.......................

රකුසු දියේ ගැඹුරේ කිමිදී..................

(උපාලි ධනවලවිතාන වදන් දාමයේ බබලන සත්සර ස්වරය සරත් දසනායකගේය හඞ මුසුව ටී එම් ජයරත්නගෙනි - 1981)

මෙතැන් සිට යළිත් දිනකට වැඩිදුරටත්...........

Thursday, March 14, 2024

දුර යුගයක ගැමි වරුණ - 09

සිංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය........... 0සටහන

 පූර්ව සටහනේ ගැයුනු බඹර කැපීමේ ජනකවියේ කියැවෙන පරිදි, දෙවියන්ට භාරහාර වී සිදුකළ යුතු තරම් භාර්දූර අවදානම් කටයුත්තක් ලෙස ’බඹර කැපීම’ සළකන්නේ ඇයි?

මී මැස්සන් ගේ ඥාති පරපුරේ වැඩිමහල් සාමාජිකයා වූ බඹරා ඔහුට වඩා සිරුරෙන් මෙන්ම පහරදිමෙන්ද විසල්ය. මෙම දාමයේ ’ලොකු අයියා’ දෙබරාය. ගැමියන් ගේ සමීකරණය නම් මී මැස්සෝ සතක විෂ එක බඹරෙකු මෙන්ම ඔවුන් සත්දෙනෙකු ගේ විෂ දෙබරා සතුවන බවයි. වැඩිමහල් සාමාජිකයාගේ පහරදීම වඩාත්ම රුදුරුය. ඔහුගේ විෂ දළය යළි යළිත් භාවිතා කරමින් ඔහුට සිය ප්‍රතිවාදියා අඩපන කර දැමිය හැකිය. බාල සහෝදරයෙන් දෙදෙනා ඒ අතින් අවසනාවන්තය. පළමු ප්‍රහාරයේදී ඔවුන්ගේ විෂදළ කැඩි වෙන්වි යන අතර එතැනින්ම සත්වයා සිය ජිවිතයට සමුදෙයි. මෙම පරපුරේ තවත් සාමාජිකයන් අතර දඞුවැල්ථ කණෙයි, මැස්සා වැනි කුඩා අයද වෙති. ඔවුන් සියල්ලෝම ’වද’ නිෂ්පාදකයෝය. 

වැල් ඉනිමගේ මරුවා ට ඔච්චම් කරමින්


ඇතැමුන් ගේ ආහාර අසාත්මිකතාවය අධික වන්නා සේ මේ පරපුරේ බලවත් සාමාජිකයන් කිහිපදෙනෙකු ගේ ප්‍රහාරයකට ලක්වන ඇතැම් අය අවසනාවන්ත ලෙස සිය දිවි ගමන අවසන් කරගනී.

දෙබරු සහ බඹරු සිය නවාතැන් පොළවල් තනාගන්නේ සිව්පා දෙපා සතුන්ට පහසුවෙන් ළංවිය නොහැකි ඉතා උස් පර්වත මුදුන් බෑවුමක හෝ වනස්පතියක අහස්කුසට වඩාත් ම ළංවි ඇති අත්තකය. අස්වනු ගෙටගෙන ගොවිතැනින් ඉසිඹු ලබන්නෝ, කන්ඩායම් සැදී මහවන වදින්නේ ’බඹර පැණි’ කැඩිමේ භාරදුර කටයුත්ත උදෙසාය.  උක්ත ජනකවියේ ’වැල් තොටිල්ල’ යනු කඹ එකිනෙක ගොත සැදූ ’මැස්ස’ විය හැකිය. එය බඹර කූඩූව අසන්නයේ ස්ථානගත කරන්නට පළමු, වරපට (හැරපට,යොත) බඹර කූඩුව බැඳ ඇති ගසට හෝ පර්වතයට අමුණා ගත යුතුය.  දැඩි ලෙස දුම් පිටකරන ශාඛ කොටස් එකතුකොට තැනූ විලක්කුව (පන්දම) දල්වා හොඳින් දුම්ගැස්වීමෙන්, බඹරු සිය නිවහනින් ඈතට පන්නා හරිනු ලැබේ. ඔවුන් පෙරළා එන්නට පළමුව, යොත දිගේ ඉහළට නැග බඹරය කපා මුට්ටියට දමා බා ගත යුතු අතර, බඹර කපන්නා ද වහා එතැනින් ඉවත්ව යා යුතුය. මේ කාර්යය සිදුකරන තුරු වරපට අනිත් අන්තයෙන් රඳවා ගෙන සිටින්නා, බඹර කපන්නාගේ අතිශය විශ්වාසවන්තයෙකි. ඔහුගේ අතපසුවිම, පළමු කී තැනැත්තාගේ දිවි අහිමිවීමට පවා හේතු විය හැකිය. 


වරපට දිගේ බා ගත් බඹර පැණි මුට්ටි එකකට වඩා තිබියි හැකිය. විශාල බඹර වදයක   පැණි මුට්ටි කිහිපයක අස්වැන්නක් තිබිය හැක. 


මහ මූකලාන තුළ දිවිගෙවන ආදිවාසී වැදි ජනතාවගේ යැපුම් මාර්ගය වන ’දඩමස්’ දිනගණන් කල්තබාගන්නා කාරකය ’පැණී’ ය. ඒ නිසා ඔවුන් හට ඒවා නැතිවම බැරිය. ඔවූහූ, ගැමියන්ට වඩා අතිශූර ’වද’ බිඳින්නන්ය. තම ආයුධ එනම් දුනු හී තනාගන්නට ගම්මානයේ කම්මල්කාර නයිදේ ගේ සහය පතන ඔවුන් ඊට හිලව් ලෙස ඉස්තරම් බඹර පැණි සපයයි.


සොරබොර දිය මල් නෙළා ගෙනාදෝ ...කන්දේ පැනි මල් නෙළා ගෙනාදෝ.....

නෑනී නෑනී කොයිබයි යන්නේ පැලටා එනවාදෝ ....

කොබ්බෑ පැල්පත දුන්න නමාලා ................

ගොරියන් කෙක්කෙන් හද මානාල...........

ගොරියෝ ගොරියා බඹර නෙළන්නට කන්දේ යනවාදෝ.............

හිරු දෙයියන්ගේ වීරිය උුඹටයි... සඳ දෙයියන්ගේ සොමිගුණ උඹටයි

පසේ බුදුන්ගේ පිහිටත් උඹටයි මා හා එනවාදෝ...............

(අමිතා වැදිසිංහ සමග එස් ලියනගේ )



මධ්‍යම, උතුරු මැද, ඌව - වෙල්ලස්ස, ආදී පළාත්වල ගැමියන්ගේ බස්වහර එකිනෙකට යම්තරමින් වෙනස් ව පැවතියේ ඒවා අතර ගමනාගමනය, අන්තර් සබඳතා සිමාසහිතව සිදුකෙරුනු පසුගිය සියවසේ මුල් යුගයේ දීය. ඒවා ඔවුනොවුන්ගේ උපසංස්කෘතියක් නිර්මාණය කෙරෙන්නට ඉවහල් විය. මේ ’ගැමි බස්වහර’ සහිත පාරිභාෂික වදන් මාලාවන් ඉහත දැක්වු නිදසුන මෙන්ම ඔවුන් සබැඳිව ගොඩනැගුනු විවිධාකාරයේ කලා නිර්මාණයන්ට හේතු පාදක විය. පහත දැක්වෙන්නේ එයින් අල්ප මාත්‍රයකි. මේහි අදිවාසි වැදි ජනතාවගේ බස් වහර ද ඇතුළත්ය


ගෝ බිඳු කැලේ - තලගොයි වසන ඉසව්ව දඩයමේ යෑම 

සෝලි තියනවා - දොස් කියනවා

ඉරගල වැටෙනවා - ඉර බහිනවා

ඉලන්දාරියා - තරුණයා

පැංචා - පොඩිළමයා

ටොම්බ - වලිගය

ගිනි බිඳිනවා -  වෙඩි තියනවා

කඩප්පුලියා - විෂම හැසිරීම සහිත පුද්ගලයා

ඔසේ අදිනවා - අඞහැර පෑම (වෙලේ හරක් දැක්කීමේදී සිදුකරන අණකිරීම)

හන්දුරුවෝ - රදළයන් අමතන ආකාරය

හෑල්ලුව - වන්දනා කරුවන්ගේ බඩුමුට්ටු දමන ගමන් මල්ල

තොලොංචි වෙනවා - නොපෙනී යනවා, ඉවතට යනවා

එතනහාමි - වැදගත් කාන්තාව

නිලමේ - කුලවත් පිරිමිය

ළමාතැනී - වලව්වේ කුල කාන්තාව

පොඩිස්සිය - කෙල්ල

පොතාන - ළඳු කැළෑව

නවදැළිහේන - අඵත ගිනි ලා එළිපෙහෙළි කල හේන

නෙයියාඩං නටනවා - නොමනා හැසීරීම් සිදුකරනවා

මදාවියා - අයුෂ අඩු තැනැත්තා, නොහික්මුනු තැනැත්තා

සාරසුබාවට - සිහිකල්පනාවට

කිරිපල්ල - යටිබඩ

සන්තෑසිය - විපත

උරුට්ටු අල්ලනවා - දබර කරනවා

පංකාදු - කදිම

හූරා - මහත්මයා

හෙනකඳයා - බෙහෙත් කොටන තුවක්කුව

වින්නැහිය - අකරතැබ්බය

හක්කලං කරනවා - සැරිසරනවා

පෙරකී බස්වහරෙ ගුරුකොට ගෙන ආදීවාසී ජනදිවිය ඇසුරුකොටගෙන නිර්මාණකරණයේ යෙදුනු යටත් විජිත නිලදරු වෛද්‍ය ’ආර් ඒ ස්පිටල්’ ගේ සටහනක් උපුටනය කරමින් එය මනරම් ගීතයක් බවට පත් වී, එදා ශ්‍රාවකයන්ගේ ජනාදරය දිනාගත්හ. මේ හෙළ ආදිවාසි වැදිජන බස් වහරයි.



නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව පළාත් බද ඈත ගම්මානයන් ගේ සිමා ඉම සළකුණු කෙරෙන මහ මූකලානේ ඔදතෙද බල ඇත්තන් ආදිවාසීන්ය. මායිම් ගම්මානයන්හි වෙසෙන ගැමියෝ සියවසකට පෙර, විසූ නොඉඳුල් අව්‍යාජ වැද්දන් වූ ඔවුන් හා ඇයි හොඳයි කම් පැවැත්වූහ, ගම්මනයේ විසු ’යමන්නෝ’ (යකඩ කම්මල්කරුවන්) මත ඔවුන්ගේ ජීවන චර්යාව යැපුනේ සියවස් ගණනක නොපෙනෙන දුරාතිතයේ සිටය. ’අනුරපුර’ මහවාසළ පැවති යුගයේ ඔවුන් අර්ධ ම්ලේච්ඡයන් ව සිටින්නට ඇත. 

පෙර ලිපියක ලියැවුනු ’මී-බඹර පැනි’ වද මෙන්ම දඩමස් ඈ වනයේ සම්පත් භුක්ති විඳිනට ඔවුන්ගේ අතහිත පතන්නට ගැමියෝ ද පුරුදුව සිටියහ.

බ්‍රිතාන්‍ය සිවිල් නිලදරුවන් සහ ඔවුන්ගේ හිතමිතුරු පිරිස් මේ ආදිවාසි දනන් පිළිබඳව මහත් ආයාසයෙන් රැස්කර තබාගත් වාර්තා ඇසුරෙන් සංගෘහිතු පොත්පත් වලට පින්සිදුවන්නට පරපුරෙන් පරපුරට ලක්වාසීන් ද තම මව්බිමේ එදා විසූ නියම ආදීවාසීන් ගේ එදා තොරතුරු අද දැුනකියා ගනිති.

’තලගොයි දඩයමේ’ පිටත්ව යන්නට තම ප්‍රියවන්තිය වෙතට ඇරයුම් කරන වැදි මානවකයාගේ අයැදුමකි මේ. මෙහෙයුම සඳහා නික්මෙන්නට සැරසෙන දෙදෙනාගේ වාහනය ’මී ගවයෙකි’. 


මා මිනි මා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා .....

කබෙන් පා බල යක්කම වේ... යමු දෙන්නා....

බීමෙන් යන්නට බොල් පිනි බැරි නම්.....

වඩානා මිමා ලණු බැඳගං.... යමු දෙන්නා...

මීමා පිටේ යමු දෙන්නා ... ගෝ බිඳු කැලේ යමු දෙන්නා...

ගෝයා පුච්චා කමු දෙන්නා...ගෝ කුර පුච්චා කමු දෙන්නා....

ගෝ ටුඹ පුච්චා කමු දෙන්නා.. ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා...

ගෝ අකුමා ටිකා මා කඤ්ඤා...

වැල්කොබ්බෑ වල .. දුන්න නමාගෙන ... එන්නේ ඔරගල මාලොකුවෝ....

අගර නැටුම් නටන නංගීට රූබර බෙරපද ගච්චා පෝ ....

රූබර නැටුම් නටපෝ..වල් අත්තේ නටපෝ...

චොද චොද නැටුම් නටපෝ..අපටත් වෙත්තිල බෙදපෝ....

මෙත්තට ආවා බොල දෙයියෝ...

තං තදිනානේ තදිනානේ.....

(වෛද්‍ය ආර් එල් ස්පිටල්, ෂෙල්ටන් ප්‍රේමරත්න, විමල් ජේ සාගර - 1972 -සිනමා පටය - ’හිතක පිපුණු මල්’)


----------------------












පාදක සටහන

වැදි ජනතාවගේ ආගම ’නෑ යකුන් ’ පිදීමයි. එනම් තමන් අතර ජීවත්ව සිට මියගියවුන් දේවත්වයට පත්කර ඇදහීමයි. ඔවුනට බලිබිලි පුද පුජා පිළිගන්වා යදින පිහිට ලැබී තම දඩයම සරුසාර වෙතැයි ඔවූහූ විශ්වාස කරන අතරවාරයේ එය නොසළකා හැරීම නිසා තමන් මියගියවුන්ගේ වෛරයට පාත්‍ර වී, කරදර හිරිහැර විඳින්නට සිදුවෙතැයි බියවෙති. ’යක්කම’ නම් ඒ යාතුකර්මයයි. ’කිරිකොරහ’ නැටීම ද එබඳුය. එහිදි ඔවූහූ පරළවෙති. 

’මීමා’ එනම් මී ගවයා නම් වාහනය අරා වනය තුළට පිවිසෙන්නේ ’ගෝ බිඳු’ එනම් තලගොයි දඩයම් කිරීමය. තලගොයා, කුර සහිත ගාත්, වල්ගය පුච්චා කමු යැයි වැදි මානවකයා සිය පෙම්වතියට යෝජනා කරයි.

අක්මාව තමන්ට ද තිට බඩවැල් ද දෙන බව කියාසිටින්නේ ඇයව විනෝදමත් කිරීමටය. මේ සියල්ල තලගොයා ගේ අවයවයන්ය. ඒවා වැද්දන්ගේ මතුනොව ගැමියන්ගේ පවා රසවත් ආහාරයකි.

’ඔලගල’ රෑහේ මහඇත්තා (නායකයා) එහි පැමිණෙනු ඇත්තේ ’වැල්කොබ්බෑ’ වැලකින් තැනූ දුන්නක් අතැතිවය. ඉතිං.. ’නංගීට’ නටන්ට ලස්සනට බෙරපද වයාපං.... අතු මිටියක් ගෙන සොළවමින් නටාපං..

නටන ගමන් අපටත් බුලත් දීපං....

’මාලොකු’ නම් මහියංගන ආශ්‍රිත වැදි ජනතාවට පුජෝපාහරයට පාත්‍ර වූ, දෙවතාවියකි. ජනවහරේ කියාපාන්නේ ඇය සමනල සිරිපා අඩවිය අධිගෘහිත ’සුමන සමන්’ දිව්‍යරාජයා ගේ අක්කන්ඩිය බවයි.

’චොඳ නැටුම්’ නම් අසල්වැසි ජනවාර්ගය වූ සිංහලයන්ගේ වහරේ ඇති ’හොඳ නැටුම්’ ය. 

වැද්දන්ගේ සංස්කෘතිකාංගයන් අතර ඔවුන්ගේ ’නැටුම’ සිත්ගන්නා සුඵය. කොළඅතු මිටියක් අතැතිව ඔවුන් නටමින් එකිනෙකා පසුපස පේළියට වටයක් සැදී ගමන් කරයි. මෙහි විස්තර කෙරෙන්නේ එවැන්නක් වන්නට ඇත.


(විශේෂ ස්තුතිය - හද ගී පොත බ්ලොග් අඩවිය මෙහෙයුම් කරු තිස්ස දොඩංගොඩ සහෘදයාට)

'
නැවත දිනක මෙහි එන්න ............