namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, January 31, 2024

එදා සිංහල ගම්මානය - 06

සීංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 06

 නව සහශ්‍රකය එළෙඹෙද්දී ගම්මානය යටකර දමමින් නාගරික සංස්කෘතිය වේගයෙන් පැතිර යමින් පැවතියේය. ළපැටියන්හට නිදහසේ දුවපැන ඇවිදින්නට තිබු බිම්කඩ අහිමි වි, ’උයන්’ සහ ඉංග්‍රිසි ව්‍යාවහරය රජකරමින්  ’සිටි’ සහ ’ගාර්ඩ්න්’ වදන් වලින් හැඳින්වූ බිම්කඩවල් බිහිවුයේ ’රබර් සහ ’පොල්’ වතු අතුරුදහන් කරමිනි. එහි පැමිණි ආගන්තුකයන්ගේ පළමු කාර්යය වූයේ ලැබුනු කුඩා බිම්කොටස වටා තාප්පයක් ඉදිකර ගේට්ටුවක් සවිකරගැනීමේ කටයුත්තයි. කසළ බැහැරකිරිමේ ක්‍රමවේදයක් නොතිබුනු මෙහි වැසියන් ගෙන් ඇතැමුන් ඒවා මාවත් අද්දරට විසිකර දැමිමේ අවකල් ක්‍රියාවේ නිරත වූහ. ගැමිදරුවන්හට දුවපැන ඇවිදින්නට ඉතිරි වුයේ සිමිත ඉඩකඩකි. ඔවුන්ගේ වැඩිහිටියන් බතසරිකරගත් කුඹූරු යායේ කෘමි උවදුර දුරුකරගත්තේ අධීක විෂ සහිත කෘමිනාශක යොදාගනිමිනි. ඒවා නිසා රාත්‍රිය එළැඹුනු බව කියමින් සිය අපූරු සමූහ ගායනයේ නිරත වන ’රැහැයි’ ගහනයටද බලපෑම් වන්නට ඇත. විෂ මුසුවුනු දියකඩිතිවල දිවිගෙවූ මැඞියන් සහ මාඵන් වඳව යාම නිසා ඒවා ’මදුරු’ රජදහන් සහ රෝග පතුරුවන තෝතැනි විය.

’රැහැයියන්’ මුහුණ පෑ ඉරනමට ලක්වූ අනෙක් අසිරිමත් කෘමි ගහනය වූයේ ’කණාමැදිරියන්’ සහ ’රෑ බදුල්ලන්ය’. මින් දශක දෙක තුනකට ඉහත රාත්‍රි චාරිකාවක යෙදෙන්නෝ, එක පොදියට තරු කඩා හැළෙන්නා සේ ඔබමොබ ඇදීයන ’කණමැදිරි’ සේනා අතරින් ඇවිද ගියහ. විදුලි බලය රහිත ගම්මනායන් හි වාසය කළ එදා පොඩිත්තෝ මේ අත්දැකීම් හොඳහැටි විඳගන්නට ඇතිබව බව නිසැකය. එවැනි නිවස් බොහොමයක අලෝක ප්‍රභවය ’කුප්පි ලාම්පු’ ය. ඉඳහිට හාත්පස එළිය විහිදුවන ’පැට්‍රෝමැක්ස්’ ලාම්පූ ද නොදැල්වූවා නොවේ එහෙත් ඒ උත්සවයකදී, පිංකම් පොළකදී, ගොයම් බැත පැගීම වැනි පොදු කටයුත්තකදීය.

සිගිත්තන්ගේ රාජධානියේ පොල්කටු අං සවිකළ පොල්පිති ගොණුන් ඇදගෙන යන්නෝ මෙන්ම කොළපත් වල නැගී චාරිකා කරන්නෝ අතර පොල්අත්තක් රිටිදෙකතුනක අටවාගත් ’සෙල්ලම් ගෙයකට’ වැදී ’කෝම්පිට්ටු’ සාදන්නියෝ ද නිහඞවම තමන්ගේ කාර්යය කරගෙන ගියාය. ඔවුන්ගේ බෝනික්කන්ගේ ආහාර වේල එය විය හැකිය.  හැන්දෑකරයේ ගම්මානයට පිවිසෙන්නෙකුට නිතර ඇස ගැටුනු දසුන්ය. මේ සොඳුරු අතීතාවලෝකනයන් පසුකාලීනව වැඩිහිටියන් වූ ඔවුන්ගේ නිර්මාණ කෞෂල්‍යය ඔප මට්ටම් කළහ. ඒවා ඇතුළත් කළ කවි ගී සිංදු නවකථා කෙටිකථා සටහන් බිහිවිය.

ගම්මානයේ හැදිවැඩී මතුකී සොබාදහම් මතාවගේ ඇකයේ පහස විඳී සොයුරියන්ගේ අතීතාවලෝකයකි මේ.


රෑහි රංචු හඞ අහලා ........හැන්දෑවට තරු බලන්න...

බකිනි ගහේ ඉගි කරනා කණාමැදිරි මල් ගනින්න...

ඉස්සර වගේ ගොම්මනේට අම්මා එන මග බලන්න ...

අක්කන්ඩී ඉනි වැට ගාවට යමුද හිනා මල් මවන්න...?


කුප්පි ලාම්පුවේ එළියෙන් බිත්තියේ හෙවනැලි අඳින්න...

ඉරටු ඉලක්කම් ගැනලා පුංචි කතන්දර අහන්න...

කෝම්පිට්ටු ගෙදර ඉඳං රංඩු වෙවි හැඩ කරන්න ...

අක්කන්ඩි ඒ පුංචි ලොවට යමුද හිනා මල් මවන්න...


හැන්දෑවට හඳ එළියේ  සාරි පොඩිත්තක් අඳින්න...

හීතලෙට නිදි පැදුරේ තුරුඵ වෙලා නිදාගන්න..,

ලියදි උඩින් පියමං කොට දං වාරෙට දං කඩන්ට ...

අක්කන්ඩි ඒ පුංචි ලොවට යමුද හිනා මල් මවන්න...?

(ප්‍රියානන්ද විජේසුන්දර ගී සංකල්පනාව පණපෙවීම නීලා වික්‍රමසිංහගෙනි සංගීතය රෝහණ වීරසිංහ - 1979)

අතීත ගම්මානය, ශ්‍රම විභාජනය යෙදුනු පිරිස් දිවිගෙවූ සමාජයකින් සමන්විත වූහ. එය රාජ නියමයද විය. කම්මල් කරුවන්, වළං තනන්නන්, රීදීරත්රන් වැඩ කරුවන්, විහාර සිත්තම් කරන්නන්, පටපිළි සෝදා පිරිසිදු කර ඒවා සපයන්නන්, කූඵ වට්ටි පෙට්ටි වියන්නන්, දෝලා කුණම් රැගෙන යන්නන්, හේවායන්, බෙර ඇතුඵ වාද්‍ය උපකරන වයන්නන් සහ නර්තනයේ යෙදෙන්නන්, නැකත් කරුවන්, උඵවඩුවන් සහ සැළසුම් ශීල්පීන් සහ මුහුදුකරයේ ධීවරයන්, ඇතුන් අල්ලන්නන්, වෙදැදුරන්, රහමෙර සහ පොල්,තල්, කිතුල් ආශ්‍රීත අතුරු ආහාර වර්ග නිෂ්පාදකයන් යන මොවුන් සිදුකල රැකියාව අනුව අදාළ ’කුලය’ තීරණය විය. 



කිතුල් සහ පොල් ගස් මගින් රා මදින්නන් ඒ අතර විශේෂිතය, රසකැවිලි නිෂ්පාදනයට අවශ්‍ය හකුරු වැනි අතුරු නිපැයුම් බිහිකරන්නේ ඔවුන්ය. ’රා මදින්නෙකුගෙන් ගැමි තරුණයෙකු කරන ආයචනයකි මේ. සුපුරුදු ජන සම්ප්‍රදාය අනුව ඔවුන්ගෙන් ඇතැමෙකු අව්‍යාජ ලෙන්ගතුකම පළ කරමින්  වැඩිහිටියා  ’මගෙ සුදු මාමේ..........’ යනුවෙන් ඇමතූ අවස්ථා අරුම නොවේ. 

’කිතුල් නිෂ්පාදන’ එක්තරා ඖෂධීය ගුණයන්ගෙන් යුක්ත බව නූතන පර්යේෂන පත්‍රිකා ලිපි ලේඛන අනුව කියැවෙයි. අහිතකර ’කොලොස්ටරෝල්’ දුරුකරගැනීම මෙන්ම හිතකර කොලොස්ටරෝල් වර්ධනය කරගැනීමටද ඉහවල් වන ඒවා, ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන, දියවැඩියා රෝගීන්ට පවා හිතකර බව සඳහන්ය. 


ළපටි රා තරුණ අපටයි බෙදන්නේ ..පැහුනු රා මහඵ අයටයි ඔබින්නේ....

විනාකිරට ඉතුරු කොටස තබන්නේ.. අච්චාරු වලින් සදන්නේ..

මගේ සුදු මාමේ නෑ බෑ නොකියා රා පොඩියක් දී මා සනසන්නේ..................


ගහෙන් ගහට අතුර දිගේ නගින්නා ..ළපටි කැකුඵ මල් බල බල තලන්නා...

මන්ඩි නැතුව රා හැමටම බෙදන්නා..අනේ වාසනාවන් මේ මදින්නා....

(සුසිල් සේනාධීර ගේ ගී පද ගැයුම සී ටී ප්‍රනාන්දු, මියැසිය පැට්‍රික් දෙණිපිටිය -1964?)

පහත කියැවෙන යුවතියගේ පෙම්වතා ඇතැම් විට ඇයගේ ඇවැස්ස මස්සිනා ම විය හැකිය. එදා සිරිත අනුව පවුලේ ’නෑනා’ ගේ අනාගත අතපැතීමේ හිමිකම දැරුවේ ’මස්සිනා’ ය. ඔහුට ඒ සඳහා සියඵ අයිතිය හිමිය. ’ගැමිවහර’ අනුකරණය කළ විශේෂාංග වැඩසටහන්, සංගීතමය විචිත්‍රාංගයන්, වේදිකා සහ ගුවන් විදුලි නාට්‍යයන්, සිනමා කෘතින්ටත් වඩා බහුලව සංසරණය වූයේ නවකථා සහ කෙටිකථා නිර්මාණයන්ය.

කෙනෙකු වෙසෙසින් යුවතියක්, පිරිමි අයෙකු අමතද්දී ’ඔහේ.........’ ,මේ ඇහුණද...?, වැනි වදන් භාවිතා කළ ප්‍රාදේශිය ගැමිවහර ද අප්‍රකට නොවේ. තමන් අවමානයට පරිභවයට ලක් කෙරේයැයි හෝ එවැනි කටයුතු ’මුණේ දැළි ගෑම’ කි. ඇළේ දොළේ බඩවැටියේ, කූඹුරේ, නානතොටේ, කමතේ දී, තමන් පසුපස හිතවතෙකු ලුහුබඳී නම්, අන් අයගේ අවධානයට ලක් විමේ අවදානම දැරීමට එදවස ගැමි යුවතියෝ මැළිවූහ. 



ඇල් හේන දිගේ පාන වගේ කොයි යනවද නෑනා මගේ.....?

හෙනේ ළිඳට මම යනවා...මා පසුපස ඔබ එනවා ....

ගම්මානය හිනැහෙනවා...ඔහේ..... ඔතැන නවතිනවා....


සෙවණැල්ල වගේ යනෙන මගේ දැළි ගෑවෙයි මුණේ මගේ ....

ඇයි එහෙම අනේ නැනා මගේ කරුණාවක් නැතුව වගේ....?

නියම කලට බහ දෙනවා... එතකොට හිත සැනසෙනවා....


ඔබටත් හඳ පායනවා...අනේ .....එතෙක් ඉවසනවා.....

(ඩෝල්ටන් අල්විස් ගී පබැඳුමට සංගීතය සහ ගායනය  - ප්‍රේමදාස මුදුන්කොටුව සහ කුමාරි බෝතොට- 1969)

ඒ ගැමිළඳුන් හැමවිටම ගම්මානයේම මානවකයෙකුගේ බිරිඳ බවට පත්වූවා නොවේ. ’නෑනා - මස්සිනා’ පෙම් පුවත බිඳි විසිරි එකිනෙකා අහිමි වූ අවස්ථා එමට තිබෙන්නට ඇත. එහෙත් එදා ගැමි තරුණ තරුණියන්ගෙන් අති බහුතරය ඒ  අහිමිවීම්, වියෝවීම්  ඉරණමට පවරා ලෝ දහම් දැන හැඳින අවබෝධකරගත් අය වූහ. කිසිවිටක එකිනෙකා කෙරෙහි ක්‍රෝධ වෛර සහගත සිතුවිලි ඇතිකරගත්තේ නැත. ඔහු ද ඇයගේ හෙට දිනය සරුසාර වන්නට පැතූ ලෙසම ඇයද පෙරළා ඔහුට යහපතක් ම වන්නට පතන්නට ඇත. මේ බව නිර්මාණකරනයේදී මතුකොට දක්වා අගයා පසසන්නට එදා නවකථා, කෙටිකථා කරුවන් පසුබට නොවිය. ගැමියන්ගේ හදවත්හි සදාලැගුම් ගත්, ඔවූහු අදරින් වැළඳ ගත් ’මුවන් පැළැස්ස’ නම් වු ගුවන් විදුලි කථාංග මාලා නාටකය සිහිගැන්විම යෙහෙකි. ඒ ගම්මානයේ ඔදතෙද කැටිකොටගත් හැඩිදැඩි තරුණයා ’දඩයක්කාරයා’ පසුව ’කදිරා’ ’වීරා’ ලෙසින් නම්කෙරිනි. ඔහු තමන්ට හෝ තම අසල්වැසි ඥාතිවර්ගයාට සිදුවු අසාධාරණයකදී වියරු වැටුනෙකු ලෙස ක්‍රියා කලද කිසිවිටක තමන් හට අහිමි, තමන් ප්‍රතික්‍ෂේප කළ දෙයක්, බලෙන් අත්පත් කරගන්නට හෝ අයෙකුට හිරිහැර පිඩා කරන්නට ගියේ නැත. 


එගොඩහ වෙලේ ඉස්මත්තෙදි දුටුවාට... ඇළ කන්ඩියේ ඉඳගෙන අත වැනුවාට...

මගේ හිතු මනාපෙට මං බහ දුන්නාට..නාඞන් මස්සිනේ පෙරපින් නැතුවාට......


රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ ...මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ ...

හෙටදින නුඹත් දීගෙක ගිය පසු නෑනේ...මාසේපෝයදා වාගෙයි ගම්මානේ.....


ගෙපැළේ මට තනියෙන් හිඳින්නට.... බාලේ ඉඳං බැඳි ආලය විඳීන්නට....

රෑ තුන් යමේ මේ හැටි දුක් විඳීන්නට..හිනෙන් මිසක හැබැහින් එක්නොවන්නට..


නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි...සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි...

පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි..කුරහන් කපන දා මා සිහිකරන්නයි...


(අජන්තා රණසිංහ, අබේවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන් එඩ්වර්ඩ් වෙනුවෙන් සංගීතය සරත් දසනායක - 1976)

මෙතැන් සිට ඉදිරි ලිපියකට....................



Wednesday, January 17, 2024

එදා සිංහල ගම්මානය - 05

සීංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 05

ජන්මයෙන් ලද කලා රසඥතාවය පුබුදුවන පරිසරය ’ගම්මානය සහ එය වටකරගත් ’බැද්ද’ යි. ගම්මානයේ ප්‍රභූවරයෙකු ලෙස සැළකූ වෙදරාළ තමාගේ ඔසු නිපදවාගන්නා කම්හල අවට වනයයි. එහි වැවි ඇති ඖෂධීය ශාක වර්ග හොඳින් හඳුනන්නේ ඔහු පමණක් නොව සාමාන්‍ය ගැමියන් පවා ඒවා පිළිබඳව හොඳින් දැනුවත්ය. ඒ බවට සාක්‍ෂි සැපයන්නේ 17 වන සියවසේ උඩරට සෙංකඩගලපුර රජවාසළ සිරකරුවෙකු ලෙස දිවිගෙවූ බ්‍රිතාන්‍ය ජාතික ’රොබ්ර්ට් නොක්ස්’ ය. ඔහු ලියු ජගත් පූජිත පුස්තකයේ ඒ බව සටහන් වි තිබේ. සංගීත කලාව අගයන්නෝ හට තම කුසලතාවය වඩවා ගන්නට ඇවැසි ගහකොළ් අතර උණ’ පඳුරු ප්‍රමුඛය. එයින් කපාගන්නා බට සිදුරු කරමින් ඔවුහූ ’බටනළාව’ නිර්මාණය කර ගත්තේය. ලන්දේ, බඩවැටියේ, කුඹුරේ ඇවිද යමින් ලද විවේකයේදී පාඵව කාන්සිය දුරුකරගත්තේ එය වැයීමෙනි. හේනේ කූඹුරේ අටවාගත් පැල තුළින් නැගඑන සීපද රාවය, සවන් වැකි වෙනත් පැල්රකින්නන් ද පිළිතුරු සීපදයකින් සංග්‍රහ කරයි. එය එකම සීපද රසගුලාවක් වන්නේ එවිටය. මෙ හඞ සවනත වැකි වල් සතුන් බැද්දෙන් මෑත් වීමට බියක් දක්වයි. මේ සංවාදය පැල් රකින හිරිමල් වියේ ගෙවිළියක් සහ ගොවි තරුණයෙකු අතරය. 










රෑ.... රෑහඳේ හේනකින් සීපද ඇහුණයි....

හීනෙකින් ඒ හඞට මගේ හිත බැඳුනයි.....


රෑන බඹරු වටකරගත් වැටකේ මල වැන්නේ...

උඹේ රූ වරුනා සීපද මට කියන්න හිතදෙන්නේ ...


මීරකින් කීවොතින් ගී කවි සිංදු .....

ආදරේ කෝලපෙම් රූබර ලන්දූ .....


හව් හරනෙට පැළඉනිවැට විතරයි කල එළියේ ...

මා කාන්සියේ රෑ වරුවම හිරිමල් හුරතළියේ...


පාඵවේ රෑ දවල් කිමද තැවෙන්නේ...

ගංගොඩින් කවුරු හෝ කැන්දන් එන්නේ


නපුරු බහට සුබාරුසිරු අඩුවක් නොමවන්නා..,

රෑ බැත පාගන කමතෙහි කවි කියමුද අපි දෙන්නා....

(අජන්තා රණසිංහ කවි පද මියැසිය ප්‍රේමසිරි කේමදාසගෙනි, ගැයුම අමරදේව සහ නිරංජලා සරෝජිනීගෙනි)

’වැටකෙයා’ පඳුරු ශාඛය දිය සිරාවට පෙම් බඳියි. එය හොඳින් ගං හෝ..වැව් පොකුණු විල් ආශ්‍රීතව වැවෙයි. උද්භිද වේදයේ ’කඩොලාන’ පවුලේ සාමාජිකයෙකි. ’දුනුකෙයියා’ වැටකෙයියා වේ නිවුන් සොයුරා වැන්න. එය ද ජලජ පඳුරු ශාඛයකි. එකබැල්මට ’අන්නාසි’ ඵලයක් බඳූ වූ සුගන්ධවත් වැටකේ මල කටු සහිත ජලජ පඳුරු ගොන්නට ළංවි අසිරූවෙන් නෙළා ගත යුතු නිසදෝ එය බුදුපුදට පැමිණවු කල්හි ඔහුට ඇයට අනුසස් බොහෝ යැයි ජනවහරින් කියැවෙයි. වැටකෙයියා නොසළකා හැරිය නොහැකි ඔසු ශාක ගණයට අයත්ය. දියවැඩියාව, අර්ශස්, මුත්‍රා අඩස්සිය, උණ, අපස්මාරය ආදි රෝගාබාධයන් සංසිඳවාගන්නට එය පිහිටවෙයි.

--------
වැටකෙයියා
-------------


ලක් ඉතිහාසයෙ ලියැවුනු සාහිත්‍යවංශයේ, වැටකෙයියා පත් ද ලේඛනකලාවට උපයෝගි කරගත් බව කියැවේ. වැටකෙයියා මල සංස්කෘත බසින් ’කේතකි’ යැයි කියැවෙද්දී, ඇතැම් විට ඒවා වර්ග දෙකක් බව සඳහන් වෙයි.

පිදූනු රන්වන් ගොයම හිසින් රැගෙන විත්, ගෞරව බුහුමානයෙන් ’කමතේ’ තැන්පත් කර, අම්බරුවන් යොදා පෑගිම අරඹන්නේ ගොම්මන් යාමයෙන් පසුවය.  ලන්තෑරුම් සහ පසුකාලීනව පසුගිය සියවසේ අවසන් දශක කිහිපයේ ’පැට්‍රෝමැක්ස්’ ලාම්පුවෙන් එකාලෝක වූ කමතෙහිදි ’බැත’ පාගනු ලබයි. එහිදී  ගොවිදරු දැරියන් හා වැඩිහිටියන් එකට එකතු වෙයි. 

හේන අද්දර රෑස්ස ගහක ඇටවු අට්ටාලයේ සිට පැල් රකින ගැමියාට නින්ද පළවා හරින්නට සිදුවෙයි. නිදිබර දෑස පියවී ගොස් තිබුනේ යම් කාලාන්තරයකටද, තමා මෙතෙක් දිනක් දැරූ වෙහෙස මහන්සිය, උත්සහය සම්පූර්ණයෙන් අපතේ යන්නට ඒ කාලාන්තරය සෑහෙනු ඇත. පියවි ලොවට එළඹෙන ඔහුට ඇතැම් විට දක්නට ලැබෙනුයේ සතුන් විසින් කා දමා ගිය භෝගවගාව විය හැකිය. එය ඉවසා දරාගත හැකි පිඩාවක් හිරිහැරයක් කරදරයක් නොවනු ඇත. රැයක් පුරා නිදිවර්ජිතව අට්ටාලයේ හිඳිනා ගැමියා ගේ සසල සිතට නොයක් සිතුවිලි පහළ වනු ඇත. තවමත් විවහයක් කර නොගත්තේ නම්, එය සිදුකර ගන්නට පවා අස්වනු සරු විය යුතුය. භවභෝග සම්පතින් අටුකොටු පිරිය යුතුය. එවිටය ඔහුට ඥාති වර්ගයාට බත බුලතින් සංග්‍රහ කළ හැක්කේ. සිතුවිලි දාම රැහැන් පටින් වෙළෙමින් යන ගැමියා තම හෙට දිනය සරුකරගන්නට සිහින මාලිගා මවමින් සිටී.


බොල්පිනි වැටිලා හිරු රැස් වැටිලා මැණික් ලෙසින් දිලිසේ ....

මට බහ දුන්දා විළීයෙන් ඇඹුරුන මැණිකෙගේ නෙත් විලසේ ..,

මෙදා සැරේ කුරහන් කිරි වැදිලා සුළගේ ළෙලදෙනවා ....

කූඹුකෙන් නාගෙන වරළ විදා යන මැණිකෙව සිහිවෙනවා....

ගොවිතැන් සාරයි එකෙන් නැහැ නොවැ .....අතමිට අඩුපාඩු .....

පළඳන්නම් ගෙල මාල සවන් යුග ළෙලවමි රන්තෝඩු ...


ගේ පොඩියෙත් වැඩපල අවසන් මුත් ...

එළියක් එහි නැනේ ... මේ කන්නයෙදිම අස්වනු කැපුවම...

මැණීකෙත් එනවානේ ......


රෑ පැල් රැකලා ...පැල් කවි කියලා ....

නිදි නැති දෙනෙත බරයි ......

වෙහෙස නිවන්නට තුරුලිය නළවා ...

එන මද පවන සුවයි.....


(කරුණාරත්න අබේසේකර, පැට්‍රික් දෙණිපිටිය ගී තනුවේ මිහිර සී ටී ප්‍රනාන්දුගෙනි - 1973)


මතු කි ලෙසම,ගම්මානය පුරා ස්නානය පිනිස ඇති ළිං වලට ,කුඹුක් ගස් සෙවණ ලබන්නට සලස්වා ඇත්තේ ගැමියන් විසිනි. දියපිරිසුදු කිරීමේ කාරකයක් ලෙස එය නම් දරා සිටියි. ඒ නිසා සියඵම පොදු නාන ළිං ’කුඹුක ළිඳ’ නම් ලබයි. 

----------------------
වදමල

-----------------

හේනේ පැල් රැකිමේ භාරදූර රාජකාරියෙන් ඉසිඹු ලද ගැමියා හිමිදිරි පිනි පොද වැටුනු , වදමල් යායේ ලෝහිත පැහැයෙන් සිත්තම් වූ දෙවැට දිගේ තම පැල්කොටය කරා පියනගයි. ගැමි යුවතියෝ ඒ යාමයේ ඉහුම් පිහුම් කටයුතු සඳහා ලක ලෑස්ති වෙති. ඇය ස්නානය පිනිස අසලින් ගලායන ඔයට, පිහිල්ලට, දියකඳුරට යන්නී, කලය උකුලේ රඳවාගෙනය. ඒ පැල්කොටයට දිය ගෙන ඒමටය. ඇය ඈතින් එන්නේ කෙත්යායේ නියර දිගේ හෙමින් ඇවිද යයි. රැයක් පුරා නිදිවරා එන ’ඇය’  ඔහුගේ නෙතට රසඳුනකි. නිතැතින්ම ඔහුගේ කවිසිතුවිලි පිබිද අත්තටු ලැබ ඈතට පියඹා යයි. මනහර මුව සරසන එකපෙළට කඩතොඵ රහිතව පිහිටි දසන් උපමා කරනුයේ ’සමන් කැකුඵ’ වලටය. ගැමි ගෙමිදුල් පුරා, ඔවුන්ගේ නිවසට පිවිසෙන කඩුල්ල දෙපසින් සමන් පිච්ච පඳුරු විරාජමානය. එහි පිපි ළෙලදෙන ’සමන් මල්’ පිසඑන මන්ද මාරුතය හමන්නේ සමන් මල් සුවඳ ද රැගෙනය. මිදුලේ කොණක අටවා ඇති පහන් පැළට පුදදෙන්නේ සමන් මල්ය. නුදුරින් ඇති විලෙහි සුපිපි ’නෙඵම්’ සහ ’මානෙල්’, එහි කරවටක් බැස නෙළා ගන්නේ විහාරය වඳිනු පිනිසය. ඒ කාර්යය පිනිසම කැපවූ කොඵ කෙළි පොඩිත්තන් ඔරුවක නැගී ඒ කාර්යය පහසුවෙන් ඉටුකරගනිති. විල් ඉවුරට එන ඔරු කඳ මත නෙඵම්, මහනෙල් පොදි ගැසී තිබේ. 

අපුරු ඔසුගුණයක් රක්ත වර්ණයෙන් දිදුළන ’වදමල’ සතුය. එය දරුගැබ ඇතිවීම වළකන බව කියැවෙයි. රුධිර පෝෂනය කරයි. නිරක්තිය පළවා හරී. පොකුරු වදමල් පෙති උණුසුම් ජලයේ තබා එය පානය කරන්නෝ අධිරුධීර පීඩනයෙන් මිදෙති යැයි කියැවේ.  පොල් හෝ තල තෙලින් රත්කරගත් මේ පෙති කල්ගිය පැසවූ තුවාල සමනය කර සුවය ඇති කරයි. 


මහනෙල් මල් දෙකක් වගේ ... දෙනෙත දිළෙන්නේ ....

සමන් කැකුඵ දසන් විදා ... සිනහ නගන්නේ ...

වදමල් පැහැ ගත් දෙතොලග මිහිර පෙනෙන්නේ ...

පුරහඳ මෙන් මුතුමැණිකගේ මුහුන පෙනෙන්නේ .....


මුතු මැණිකේ කලේ අරන්........

දිගු වරළස පිටේ හෙලන් ... 

කොයි යනවද උදෑසනින් ...?

තව පොඩ්ඩක් හිනාවෙයං....


නියර දිගේ සුමුදු පාද හෙමින් තබනවා....

විලේ නෙඵම් ඇය දැක ගන්නට පොරකනවා...

උදාගිරෙන් හිරු කුමරා මුකුඵ කරනවා...

ගමේ පහන මුතුමැණිකේ වතුරට යනවා.....

(සරත් මුණසිංහ ගේ පද පැට්‍රික් දෙණිපිටිය සත්සරයෙන් ගැයුවේ සී ටී ප්‍රනාන්දුය - 1967?)

විහගුන්, සමනලුන් මෙන් ගම්මානය පුරා දුවපැන ඇවිද ගිය ළපැටියෝ සොබාදහමේ අසිරිය විඳිමින් එහි දායාදයන් අත්දකිමින් තමන්ගේ නෙත  ගැටුනු සොඳුරු දසුන්, පරිකල්පනය හා මුසුකරගනිමින්, රසකාමින් බවට පත්වූහ. මතු කීවාක් මෙන්, ගහකොළ පැළැටි ගැන ඔවුන් හොඳින් දැනුවත් විය. සිය කුසගිනි නිවාගන්නට සොබාදම් මාතාව දායාද කළ රසමසවුඵ  කවරේද, රෝගාබාධ පීඩා දුරුකරගැනීමට ඇය පිරිනැමූ ගස්වැල් කවරේද යන්න ඔවූහූ අත්දැකීමෙන් දැනකියාගත්හ. ඔවුන්ගේ සිතකය සනසා නැළවූයේ ඇයයි. පාරිභෝගිකවාදයෙන් ජරාජීර්ණව, ගතවන හෝරාවක් පාසා අසහනයෙන්   පෙළෙන නාගරිකයන් ගේ දූෂිත මනසින් කවර නම් නිර්මාණයන් බිහිවේද? කවර ලෙසට මානව වර්ගයා සුවපත් වේද? එසේ නොවන්නේමය. ඔවූහූ අතෘප්තියෙන්, අසහනයෙන් ජිවිතාවසානයට එළඹෙන්නේ බහුභාන්ඩිකත්වයේ වහලුන් බවට පත්වෙමිනි.

මෙහිදී, එදා දුරාතීතයේ විසු ගම්වැසියන් ද්‍රරිද්‍රතාවයෙන් පෙළීම නිසා, ඔවුන්ගේ ජීවන මට්ටම පහත් ව පැවතෙන්නට ඇතැයි, වර්තමානිකයන්ගේ දෘෂ්ඨි කෝණයෙන් අතීත ගම්වැසියා දෙස බලන්නවුන් තර්ක කළ හැකිය. එහෙත් එදා ගමක කුලධූරාවලියට යටත්ව, ඔවුන් සිය ජීවන මට්ටම පිළිබඳව සෝ දුක් සංකා ඇති කර ගත් බවක් කියැවෙන පුවත් දුලබය.  එහෙත් සාමාජ අසාධාරණයට ගොදුරු විම අදටත් වඩා එදා තිබුනි. එවැනි පුවත්, වාර්තා සුලභය. 

දෙසතියක විරාමයකි................

Wednesday, January 3, 2024

එදා සිංහල ගම්මානය - 04 වන අංකය

සීංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 04


 රසායනික පොහොර හඳුන්වාදෙන්නට පෙර, විෂරහිත ව පැවති ඇළ,දොළ, කුඹුරු, දිය කඩිති ආශ්‍රීතව නිරෝගි ව අභිජනනය වී, හොඳින් බෝවි වැඩුනු විසිතුරු නෙකවර්ණ මත්ස්‍යයන් වර්ග ගණනාවකි. ’තිත්තිය’, ’කොරළි’ ’දන්ඩි’ ’පෙතියා’ ’බුලත් හපයා’ ආදීන්  ඒ අතර වූහ. ඔවූහූ ඒ දියකඩිති වල බෝවන මදුරු කීටයන් ආහාරයට ගැනීම නිසා, මදුරු ගහනයද ඒ හා ආශ්‍රිතව පැතිර පවතින වසංගත රෝග ද පාලනය වි තිබුනද, ඈත අතීතයේ සිට ලාංකිකයා ’මැලේරියා උණ’ රෝගයෙන් පීඩා විඳි බව වාර්තා වේ. පසුගිය සියවසේ පළමු දශක කිහිපය තුල ක්‍රමයෙන් හිස එසවූ ’මැලේරියා වසංගතයට’ ගොදුරු වී, මිනිසුන් බොහෝ දෙනෙකුට ජිවිතය අහිමි කරගන්නට සිදුවිය. ගැමි දරුවන් ගේ සුරතල් මත්ස්‍ය සම්පත බවට පත් වූයේ මොවුන්ය. වෙල්යායේ,නියරේ,ලන්දේ දුවපැන කෙළිකවටකම් කරමින් යන දරුවන් මේ මත්ස්‍යයන් අල්ලා, නිවෙස්වලට නොම ගෙනගොස් පසුව මුදාහැරියේය. 

-------------
කෙකටිය යායක විසිතුරු
-----------

වගුර වැසෙන්නට කෙකටිය ගාලකි. එහි එන ගැමියෝ ඒවා නෙළා ගෙන ගොස් දඵ සහ මල් උයාපිහා ගනිති. ඔසුවකි, රසවත් පළා වර්ගයකි. තෙරටිය ද එසේමය. ඒවා වෑංජන ලෙස පිළීයෙල කරගෙන සප්පායම් වෙති. ගැමි මානවකයා ගේ වගාසරුවී අටුකොටු පිරි ඇත්තාසේය. ලන්දේ බඩවැටියේ දුව පැන ඇවිද යමක් එකතුකරගන්නා ඇය යනෙනා තැන් ඔහු නෙතට හසුකරගනියි. වරෙක ඇය තෙරටිය නෙළන්නී තවත් වරෙක කෙකටිය ගාල වෙත ළං වෙයි. මියෙන පඳුරු ගොන්නට ළං වන්නේ තම පළා කූඩය සරු කරගන්නට විය හැකිය. එය ඇත්තේ ’කණටිය’ ලගය. එනම් කූඹුරේ පැසී ඇති වී කරල් අනුභව කරන්නට එන කුරුඵ රංචු උදෙසාම වෙන්කළ බිම්කඩයි. එය ඔවුන්ගේ රාජධානීයයි. එහි ඇති ’වී’ රිසිසේ කුරුල්ලන්හට බුදින්නට ඉඩ සළසා දුන්නේ ’බොදු’ දහමෙන් හික්මවන ලද ගැමියාය.

ඔහුගේ කෙතේ අස්වැද්දූ ’මා වී’ වගාව සරු වි ඇත. එය එදවස දක්නට ලැබුනු ගුණදායි දේශිය වී වර්ගයකි. මිදුලේ වැවුනු ’බුලත්’වැල් පැතිර වැවෙන්නේ ඊට ආධාරකයක් ලෙස ගොඩනැගු ඇටවුමෙනි. එය පන්දමලයි. එහි අස්වනු නෙළන්නට අවසර ලැබෙනුයේ පවුලේ සාමාජිකයන්හට පමනි. වෙනත් ආගන්තුකයෙකු එයින් ඵලප්‍රයෝජන ලබන්නට තැත් දැරුවේ නම්, එය බුලත් කොරටුවේ (වැලේ) අවසානයයි. මෙය අත්දුටුවෝ එමට සිටිය හැක්කේය.




තෙරටිය ගොන්නේ තෙරටිය දඵ මැද ඉන්නේ...

කෙකටිය ගොන්නේ කෙකටිය දඵ මැද එන්නේ ...

කණටිය ලග මියෙන පඳුරු අතරේ ඉන්නේ ......

නුඹ නොබලා ඉන්න බැරිව ඇස් රිදවෙන්නේ ....


රත්ති අරන් උදැනැක්කේ කොහේද යන්නේ නගෝ...

රත්තීගෙන් පාන්දරම කිරි දෙව්වද නගො...?


හෙන කොටා ගිනි තියලා ඇල් ඉහලා ඇත....

මිදුලේ බුලත් පන්දලමේ දඵ ලියලා ඇත...

කූඹූරේ මාවි සරුවට කිරිවැදිලා ඇත....

නගෝ මගේ පැලට වරෙන් අගහිගයක් නැත...

(ප්‍රවිණ පුවත්පත් කලාවේදී දෙල්තොට චන්දපාල ගී පද ගැයුම සනත් නන්දසිරි- 1973)


හිමිදිරි පිනිපොද බිම සිපගන්නා යාමයේ, ඇය ඈත පෙනෙන ’කෙකටිය ගාල’ වෙත අත දිගුකරමින් ආවර්ජනය කරන්නේ බොඳ ව ගිය පෙම් පුවතකි. 

-----------------------
කෙකටිය දඵ
_----------------


ලන්ද පුරා පුංචි පුංචි මල් හිමිදිරියේ සැලෙනා ...

මන්ද පවන් වැද ළහිරු දසුන් සිප අන්ද මන්ද වෙමිනා..,

අද සිදාදියට යන පුංචි මස්සිනා සිත කළඹයි නිතිනා.....


අපිත් මෙදා එන බක්මාසේදී අත ගනිමුද කියලා ..

කීව කතා පොඩි සිතට බරක් වෙයි...

ඉවසන්නේ කෝමා...


සිත් හදාගන්න අස්වසාලන්න බෑ..,

හිත දෑලේ බැඳුනා......

කෙකටිය යායේ සිරිපොද ඉහිලා ආාාාංංංං බලං කදිමා..........

සිරි සිරි නාදෙන් සරනා වැහිපොද මන බඳිති බෝමා ....

ඔබ සිහිවෙයි පෙරසේමා.........................

(කුලරත්න ආරියවංශ ගී පබැඳුමේ හඞ චන්ද්‍රලේඛා පෙරේරා, සංගීතය රෝහණ වීරසිංහ - 1985)

කෙත්යායේ තැනින් තැන ’මී ගස්’ වවා ඇත්තේ ඒවා ’වවුලන්ගේ’ රජදහන් බැවිනි. දිවා කාලයේ සිය ගනනින් එහි විත් ලැගුම් ගන්නා වවුලන් ගේ වසුරු, ගොයමට දිව ඔසුවක් බඳු පොහොරකි. ඊට මහත් සම්පතකි.

------------------------
මී ගස
--------------------

ඒ හැරෙන්නට මී ගස විසින් නිපදවන මල්, ගෙඩි, ඉටි ගැමියන් ගේ විවිධ අවශ්‍යතා සපුරයි. ඒ අනුව එය ගමට දායාද වු තවත් කප්රුකකි. ’වන රුක්’ අමිල සම්පත් බවත්, ඒවා පිළීබඳව වර්තමානිකයන් නොදත් බොහෝ දේ පැරැන්නන් දැන සිටි බවත් පසක් වන්නේ ඒවා පිළිබඳව ලිඛිත මුලාශ්‍ර හැදෑරීමේදීය. ’මී ශාඛය’ ද ඒ අතරට එක්වෙයි. අන් වෘක්‍ෂ මෙන් දිවා කාලයේ ’ඔක්සිජන්’ නිපදවා රාත්‍රි යාමයේ ’කාබන්ඩයොක්සයිඩ්’ නිකුත් නොකර, දිවා රෑ සියඵ කල්හී නිතිපතා අංගාරික වාතය එනම් ’ඔක්සිජන්’ නිකුත් කරන්නේ මෙකී මී ගස යැයි ඇතැමුන් ගේ මතවාදයකි. එසේම  ’පොල්තෙල්’ ද පරදවා රසගුණ දෙන ’මී තෙල්’ යොදා පිසින ලද ආහාර අහිතකර මේද සංඝටකයන්ගෙන් සිරුර රැක දෙන බව ද කියැවෙයි. ’මී පුෂ්ප ද ඵල ද ගෙන ’හැලප’ සදා රස බැලීමේ පුරුද්ද ඇතැම් ගැමියන් අතර අදද පවතින බව අනාවරණය වෙයි.  ’මී ඇට’ ගෙන හිඳගන්නා තෙල් වෙනත් දෑ සමග මුසුකර ධුමායනය කර, පරිසරයේ විශබිජ නසා අවට සුවඳවත් කළ බව ද කියැවෙයි. ඈත අතීතයේ ගැමියන් ගේ නිවහන් ආලෝකමත් කල පහන් දැල්වුනේ මෙම ’මී තෙල්’ වලිනි. 

පෙර රජ දවස, ’මී ගස’ ට හානි කිරීම, දණ්ඩනයට යටත් වීමට හේතු වූ බව ද සඳහන්ය. එහෙත් යටත් විජිත යුගයේ අවසන් භාගයේ සියවස් එකහමාරකට පමන පෙර යුගයකදී, ’ඉංග්‍රිසි’ න් විසින් එය අවලංගු කර දමන්නට යෙදුනු බවක් වාර්තා වේ. එතැන් හි සිට, ක්‍රමයෙන් මේ සම්පත පිරිහෙමින් පැවතී, අද ඇස ගැටෙන්නේ ඉඳහිට බව වර්තා වේ.

මේ කරුණු සාධක දැනුවත්, අව්‍යාජ ගැමියන් ම ඒවා සිය කවි ගී සිංදු නිර්මාණයන්හට වැද්දා ගත්හ. 

මේ කවියා අතීතාවර්ජනයක යෙදෙයි. ඔහු සිය සොයුරා සහ දුවපැන ඇවිද ගිය කෙත්යායේ අසිරිය සිහිගන්වයි. ඈත නොව මෑත අතීතයේ ගම්මානයේ දිවි පෙවෙතෙහි අසිරිය වින්දෝ මේ අත්දැකීමේ ලද්දෝ ඒවා නිබඳව සිහිකරති. මනසින් සිය ළපැටි වියට පියමං කරති. ඥාති පරපුරේ ඇත්තන්ගේ ලද ආදර සැළකිලි කවට කෙළි සිනා බස් සිහිවි නෙතු බොඳ කර ගනිති.










---------------

මී ඵල
------------

තමන් සමග එකට දුවපැන ඇවිද ගිය සොයුරු කැළේ සාමාජිකයන්ගෙන් ඇතැමුන් අද මෙලොවින් සමුගෙන ගොස් තිබෙනවා විය හැකිය. හෝ දුරු රටක නුහුරු නුපුරුදු දේශයකට යන්නට සිදුවී, බඩවියත සරි කරගන්නට සිදුවි තිබෙනවා විය හැකිය. එහෙත් ඒ දුරස්වීම් කිසිසේත් යමෙකුගේ අතීත මිහිරි මධුර මතක සේයාවන් බොඳ නොකරනවා මතුනොව ඒවා තව තවත් තිව්ර කරනු නිසැකය. මේ සටහන වෙත නෙත් පහර දල්වා ගත් සහෘද ඔබටද මේ අත්දැකීම් පොදුය. ඒවා හද පාරන්නේය. ඔබටද මටද යළිදු ඒ ගම්මනායට පිවිස දුව පැන යන්නට ඇත්නම් එය කවර නම් සොම්නස් සහගත අත්දැකීමක් වනු ඇද්ද?


මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා ....

මී ගස් යට මී වැහි වැහැලා ...

බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ ....

මට තනියක් දැනෙනවා ..........


දරට ගිහින් කුරුඵ කැලේ ....

මග වැරදීලා......

මං එනතුරු හඞා වැටෙද්දී...

නුඹට දැනුනු පාඵව දුක...

මෙදා මටත් මලේ ... 

නුඹ නැති දා මට තනිකම දැනෙනවා......


පැදුරු කොටේ තුරුඵවෙලා ගොම්මන් යාමේ...

හොල්මන් ගැන කතා කියද්දී...

මගේ ඇගේ දැවටීගෙන අසාවුන්න මලේ ...

නුඹ නැති දා මට තනිකම දැනෙනවා.....

(කුලරත්න ආරියවංශ, පන්ඩිත් අමරදේව - 1980?)

 

(ඇතැම් කරුණු උපුටාගැනීම - නඳුන් ලියනගෙදර - රොවර් මිඩීයා සහෘදයා ගේ අඩවියකිනි)

ගම්මානයේ සුවඳ මෙතැනින් නොම වියැකී යැයි.... සත්දින යුග්මයකින් මෙහි එනු මැනවි....