namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, September 26, 2024

ඉන්ද්‍රානි පෙරේරා ගී හඞ ලංකා ගුවන් විදුලියේදී .................

එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ  ගී හඞ  - 08

ධර්මරත්න සහෝදර ගායක කන්ඩායමේ නියමු ’මෙල්රෝයි ධර්මරත්න’ ද, සුපර් ගෝල්ඩන් චයිම්ස් නියමු ක්ලැරන්ස් ද, ප්‍රවිණ ගිටාර් වාදන ශූරී මයික් ගුණසේකරද, ෆෝචූන්ස් නියමු ’ස්ටැන්ලි පීරිස්’ ද ඇයගේ ඒකල සහ යුග  වෙළඳ තැටි ගීතයන් වෙත සත්සර වියමන් ගොතා දුන්නේය. වෙළඳ තැටියේදී ඇයගේ ගායන සහයකයා ලෙස වරෙක සිංහල ගී ලොව මිණි පහන ’එච් ආර් ජෝතිපාල’ කටයුතු කළ අවස්ථාවක් මෙළෙස සටහන් වෙයි.















මෙහි අංක 04 ඉන්ද්‍රානිය. ඇය ගුවන් විදුලියේ ගී ගැයු යුගයට සමකාලීනව වෙළඳ තැටියක පටිගතකිරීමකට සිය සොයුරියන් සමග සුදානම් ව සිටී

--------------------------------------------

මේ දෑස කාගේදෝ - මේ මොහොතේ කොයිබදෝ .........

සැන්දෑ ඉරේ ආවේ මුහුනේ ඔබේ .....

මේ දෑස මිහිරියේ දැන් ඉන්නේ කොයිබදෝ............

නේවාසිකාගාරේ පාඩම් පොතේ ..............

(ප්‍රේමකීර්ති ද අල්විස්, ස්ටැන්ලි පීරිස්)

ඔවුන්ගේ පරපුරේ ජ්‍යෙෂ්ඨයා ’සී ටී ප්‍රනාන්දු’ ගේ පුත් ’ප්‍රියන්ත’ ගී ලොවට පිවිසි මුල් යුගය සටහන් වන්නේ 1977-78 දීය. ඇය ප්‍රියන්ත ගේ ගී සහයිකාව ලෙස ගැයූ අවස්ථාවකි  මෙ


නිරංජලා කාටෙදෝ ආදරේලු දැන් ............

ඉතිං මොකෝ ආසා නෑ ආදරේට මං....................


(ගී පද ආචාර්ය අජන්තා රණසිංහ, සංගීතය - ක්ලැරන්ස්)

ඉන්ද්‍රානී ’මුන්ස්ටෝන්ස්’ මුල් යුගයේදී ගි ගයද්දී එහි සාමාජික ’ඇනස්ලි මාලේවන’ සමග යුග ගීයක් ගයා තිබිනි.

මම එදා ගොසින් ඇගේ සුසුම් වනා ...

ඇයි මෙසේ කරුණු ඇසුවා ......

රතු කුඩා දෙනෙත් කඳුළැලින් පුරා...

ඇය මගේ මුහුණ බැලුවා............

මම දනිම් ප්‍රියේ ඔබේ කතන්දරේ................


(ක්ලැරන්ස් විජේවර්ධන නිර්මාණයකි)

ඉන් දශකයක් ගතවෙද්දී ඇය නැවතත් ඔහු සමග ගැයුවාය. සංගීතවේදී සරත් දසනායක ඊට මධුරතර තනුවක් ද වාද්‍ය මුසුවක්ද එක් කළේය.

පවුරු වළල්ලක් බැඳලා...

සතර අතේ අවිගත් මුර සෙබඵන් යොදලා ..........

පවුරු වළල්ලම බිඳලා ...

මං එනවා මුරකාවල් අතරින් මිදිලා ..................

(ගී පද - කරුණාරත්න අබේසේකර, සංගීතය - සරත් දසනායක)


60 දශකයේ ක්‍රමයෙන් අතු පතර ලියලා වැඩිගිය හින්දි සිනමා ගී උන්මාදය 1976 අවධිය වෙද්දී තරමකින් මෙල්ල වී තිබුනේ එදවස ලාංකීය සිනමා ගීතයේ පෙරළිකාර නිර්මාණයන් ජනගත වෙමින් පැවති නිසාය. එහෙත් එයින් පවා ’හින්දි’ ගීතය වියැකී ගියා නොවේ. තත්කාලීන භාරත සිනමා ගීත කලාවේදී නිරන්තරයෙන් වැයුනු තත් වාද්‍ය භාන්ඩයක් වූයේ ’සන්තූර්’ ය. එය දන්ඩකින් පහර ලබන විශාල තත් ගණනාවක් දඩිලෙස කම්පනය වන්නට සලස්වා දෝංකාරමය තත් නාදයක් උපදවාගතහැකි අපූර්ව භාන්ඩයකි. උක්ත අවධියේදී සිංහල ගීත කලාව වෙත ප්‍රවිශ්ඨ වෙමින් පැවතුනු සන්තුර් නාද මිහිර වෙත වඩාත් දැඩිව ආශක්ත වූ සංගීතඥයන් අතර ’ක්ලැරන්ස් විජේවර්ධන ද විය. ඔහු මෙකී සංගීත භාන්ඩය උපයෝගී කරගෙන මනහර ගීත ගණනාවක් සිංහල සිනමා කලාවට සහ ගී තැටි කලාව වෙත දායද කොට දුන්නේය.

(මට මතකයි මන බැන්දු සිනා ඔබේ - මර්වින් මිහිඳුකුල, සොඳුරු ලොවට මල් වැහැලා - ජෝති සමග සුජාතා අත්තනායක - අපේක්‍ෂා සිනමාපටය, කලක් ඇවෑමෙන් පෙරුම් පුරා - මිල්ටන් මල්ලවාරච්චි සමග ඇන්ජලීන් ) මෙම තත් භාන්ඩයෙන් රසගැන්වුනු ගීතයක පබැඳුම වර්ණන් පෙරෙරා විසිනි. ඔහු ඇයට ලියු ගීත ගණනාවකි. ඒවා අතරින් බහුතරය ශ්‍රාවක ජනාදරයට පාත්‍ර වෙද්දී ඇය ඔහුගේ සහය ගායිකාව ලෙස කටයුතු කළ අවස්ථාවකි මේ


සමුගෙන යන්නෙමි   මම ඔබ තනිකොට අපේ මතු දියුණ කර.......

හිතකින් නොව මා නැව්නැග යන්නේ  - හිත ඔබේ තුරුලේ තියා.............


(ගී පද  - කරුණාරත්න අබේසේකර, සංගීතය - ක්ලැරන්ස්)

මේ ගීත එක්තරා යුගයකදී එනම් මින් දශක හතරකට එපිටදී, වෙළඳ ගී තැටි නි්ෂ්පාදකයන් විසින්  එළිදක්වන්නට යෙදුන, ලාංකීය බටහිර ගීත රසය ඉවකළ රසිකයන්ගේ නොමද ශ්‍රාවක සම්මානනයට පාත්‍ර ව තිබිනි. එදා නිරන්තරයෙන් ලංකා ගුවන් විදුලියේ වෙළඳ වැඩසටහන් අතරවාරයේ දී ඇසුණු මෙම ගීත පසුව සාමාන්‍ය ගුවන් විදුලි විකාශනයේදී නිරතුරු වාදනය වී, එදා ගීත දර්ශකයන්හි වාර්තා තබමින් පැවතුනි.

මේ අවධියේ දී එනම් 70 දශකයේ මුල් භාගයේදීම, ’මල්ලිකා’ මෙන්ම ’ඉන්ද්‍රානි’ ද ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හඞ පරික්‍ෂනයෙන් සමත් ව ’සරළ ගී’ ගායිකාවන් ලෙස ලියාපදිංචි වි සිටියහ.

ඇය ගේ ගුවන් විදුලි සරළ ගී වැඩසටහන් සඳහා සංගීත සංයෝජනය සිදුකරන ලද්දේද ඇය වෙනුවෙන් නිබඳව වෙළඳ ගී තැටි මියැසි විසිතුරු මැවූ  ’සරත් දසනායක’ සංගීතවේදියාණෝය. ඒවා ඉතා පැහැදිළිව පොප් සංගීත කලාවෙන් සපුරා බැහැරව, සාම්ප්‍රදායික ගුවන් විදුලි ගීතයේ හැඩතල රුවගුණ සහිතව නිර්මාණය වි තිබිනි. ඒ අනුව ඇයගේ ඒකල වෙළඳ තැටි ගී සහ ගුවන් විදුලි වාද්‍ය වෘන්දය වැයූ රසයට අනුකූලව ගැයුනු ගීත පැහැදිළිව වෙන්කර හඳුනාගත හැක්කේය.


වසර ගණන් ඇසුරේ සිටියත් හඳුනා ගම්ද කෙසේ ...?

අපගේ සිතුම් පෑහෙනු බැරිවී අහසට පොළොව ලෙසේ ......

(ගී පද  - ධර්ම ශ්‍රී වික්‍රමසිංහ  - ප්‍රවිණ ගුවන් විදුලි නිවේදක)


සඳකිඳුරී මා සඳකිඳුරී.................

සඳගිරි පව්වේ රඟදෙන සඳකිඳුරී...........

දුනුහී තල ගෙන බඹදත් ඒවි.........

මගේ රුවින් ඔහු මන්මත් වෙවි.........

ඔහුගේ පහරින් හිමි මිය යාවී...........

සඳගිරි පව්වේ මා තනිවේවි....................

බරණැස මිණි කිරුළෙන් පිදුවත් මා......

රාජ බොජුන් සිහිලෙන් තැනුවත් මා.............


(මහාචාර්ය සුනිල් ආරියරත්න)


රතුමල් ගවුමට ලස්සන වැටුනා...........

පොඩි සමනලියට අත්තටු ලැබුනා...........

ඔබේ මුව පොඩියට සිනා පුරෝගෙන........

මා වෙත ඉගිලී එන්න දුවේ................

(ගී පද - ඩොනල්ඩ් අයිවන්)


එවකට ගුවන් විදුලි ගායක සමූහයට එක් වූ ආධුනිකයා ’අබේවර්ධන බාලසූරිය’ නමි. ඔහු හා ඇය ගුවන් විදුලියේදී හමුවූ අවස්ථාවකි මේ ඇය මෙහිදී එදවස කලාකෙත අස්වැද්දූ රසවතුන් අතර කැපි පෙණුනු ප්‍රවිණ රංගවේදී දිවංගත ’යූ ආරියවිමල්’ ශූරීන් කෘතගුණ පූර්වකව සිහිපත් කරන්නීය. ‘තාරාවෝ ඉගිළෙති’ නම් වූ ප්‍රහසන වේදිකා නාට්‍යයේ පෙනිසිටි ඔහු එහි ’සෝබාව දේ මෙපුර සිරි විසිතුරු....’ නම් වු අතිශය ජනප්‍රිය වේදිකා නාට්‍යය ගීතය ’ගාමිණි සමරකෝන්’ සමග මුල් කාලීන වේදිකා ගතකිරීම් වලදී (1981-1986) ගැයුවේය. ආරියවිමල් අනේක විධ කුසලතාවයන්ගෙන් පරිපුර්ණ වු එවන් හැකියාවන් උරුමකරගත් දුර්ලභ ගණයේ මිනිසෙකි. ඔහු 80 දශකයේ අග භාගයේ අකාලයේ අප අතරින් සමුගෙන ගියේය. ’වැලිබත් ඉව්වා.............’ ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි පටිගතකිරීමේදී එහි තාක්‍ෂන සහය ලබාදෙමින් පටිගතකිරීමේ ප්‍රධාන ඉංජිනේරු ලෙස කටයුතු කළේ ඔහුය. 


වැලිබත් ඉව්වා - මතකයි අපි දෙන්නා.........

ඔංචිලි පැද්දා මතකයි - අපි දෙන්නා............

මෙතුවක් එක්වි වැඩුනත් අපි දෙන්නා..............

අද හිනැහෙන්නේ කොයි ලෙසදෝ මන්දා ............


තනි මංසල මට ඔබ නොව මුණගැසුනු නොහේ...

තනි පංගලමේ ගෙන් පිට යන්ට නොදේ...

වපරැස් බැල්මට පිවිතුරු ලෝකය නෙපෙනේ...

අවිහිංසක මුදු සිතුවිලි මල් පරවේ .....

(ගී පද මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීතය සහ තනුව - ආචාර්ය වික්ටර් රත්නායක - 1975)

’නිරංජලා සරෝජිනී’ එවකට ගුවන් විදුලියෙන් දොරට වැඩි ආධුනික ගායිකාවක් විය. ඇයගේ ගීත කලාවේ අත්වැළ සැපයූවේ එකී රාජ්‍ය ආයතනයයි. ගීත ගායනයට පිවිස දශකයක් ආසන්න වෙද්දී 80 දශකයේ මුල් යුගයේ ඇයද බටහිර සංගීත ආර අනුව ගීත ගයන්නට ඉදිරිපත් වුවත් ඒවා ඉන්ද්‍රානීට සාපේක්‍ෂව ඉතා විරළය. 

80 දශකයේ එක්තරා යුගයකදී ’නිරංජලා’  සහ ’ඉන්ද්‍රානි’ දෙදෙනා එක්වූ දුර්ලභ සංයෝජනයක් ප්‍රකට වූ අවස්ථාවකි මේ. මේ නිර්මාණයේ කතුවරු දෙදෙනාම එදා ගුවන් විදුලි ගීත කලාව රසගැන්වූ අප්‍රකට රසවතුන් දෙපොළක් වීම විශේෂත්වයයි.


මනමාල නෙඵම් පිපිලා ..... ආලේට කෝළ කැඵම් හෙඵවා....

නීලා නුවන් හෙළනා... තාලෙට කෝළ කැඵම් හෙඵවා ...

මනමාල ගිරව් මිදිලා..තාලෙට මිහිර ගීත ගැයුවා...

මනමාල නැටුම් නටලා ..තාලෙට මිහිරි ගීත ගැයුවා.....

මනමාල ගිරව් වටලා ... කෝළෙට තාල නැටුම් නැටුවා...

මනමාල බැඵම් හෙළලා ... කෝළෙට තාල නැටුම් නැටුවා .....

(ගී පද - ධර්මසේන ගීකියනගේ, ගී තනුව - සරත් ධර්මසේන)


තොරතුරු සාම්පාදනය - ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය විසිනි


ඉදිරි දෙසතිය පුරා මේ ගී රසවිඳිනු මැන නැවත හමුවෙන තුරු.....

Wednesday, September 11, 2024

ඉන්ද්‍රාණි පෙරේරා සිනමා ගී ඕවිල්ල.......02

එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ  ගී හඞ  - 07

 දිවංගත සංගීතවේදී ’සරත් දසනායක’  මතු කී අයුරු ඉන්ද්‍රාණි පෙරේරා ගේ ද සොයුරියන්ගේ ද ගී කැදැල්ල හැඩගන්වා ඔප්නංවා සැලසුම් කරනු ලැබුවා වූ  මහ සැලසුම්කරුවන්ගෙන් එක් අයෙකු බවට සාක්‍ෂි ඉහත ගෙනහැර පා දක්වන්නට යෙදුනි. එමතුදු නොව ඔහු ඒ කැදැල්ල ගොඩනැංවූ වනස්පතියේ දෘඩ ශාඛාවකි. බෙලහීන ව මැළවි ගිය කල්හී ’කැදැල්ලේ’ අස්ථාවර බව මොනවට කැපී පෙණුනි. (මතු කීවා සේ එහි සෙසු මූලික මෙහෙයුම් කරුවෝ මෙන්ම සැලසුම් කරුවෝ වුයේ ’වික්ටර් දඵගම’, සහ ’ක්ලැරන්ස්’ ය)

ඔබ ද මා ඇතූඵව ගී ලෝලී වැඩිහිටි අප හොඳින් දන්නා කරුණ වන්නේ ’දසනායක’ සංගීතකරුවාණෝ ’70’ දශකයේ සිනමා සංගීතයේ ද මහ පෙරළිකරුවන්ගෙන් අයෙකු බවයි. ඉඩ ලද හැකි පරිදි, ’ඉන්ද්‍රානි’ ව ඔහු සිය සිනමා සත්සර ගෙත්තම් කරන්නට එක්කරගත්තේය. මෙහි දැක්වෙන්නේ ඇය සහ ජෝති සිනමාවෙද එකට හමුවූ අවස්ථා අල්පයකින් වඩාතම් මනහර නිර්මාණයයි.














ජෝති - 


සරා සිහින රේඛා ....

පැතම් මල් පිපිළා .....

නවාතැන් සොයා පෙම් හදේ .....


ඇය - 

මවා ප්‍රේම ඡයා ...

ඔබේ දෑස පායා ...

කියාගන්න බෑ අදරේ.............


(1979 - ’අනුෂා’ සළරුවේදී ගැයුමට පද මුසුව උපාලි ධනවලවිතානගෙනි)


’පැට්‍රිික් දෙණිපිටිය’ ඇයට ආගන්තුක නොවූ බටහිර ගීත ශිල්ප කලාව ප්‍රගුණ කරන ලදුව එහි පරප්‍රාප්ත වූ අතිවිශීෂ්ඨයෙකි. ඔහු කිසියම් තාලයක් සවනත වැකෙද්දී ඒ ක්ෂණයකින් එය  බටහිර ස්වර ප්‍රස්ථාරයකට ගොණු ගත කරවීමේ අපුර්ව කුසලතාවයකින් හෙබියේය.  එදා ඇයගේ යව්වනයේ දී, සමකාලීන යව්වන යව්වනියන් උන්මාදයට පත්කල ගායන ශීල්පී ’මිල්ටන් මල්ලවාරච්චි’ ගේ ගීත ගොන්න බිහිකරදෙන්නට උරදුන් ප්‍රමුඛයන්ගෙන් අයෙකි. එහෙත්, හෙළ සිනමා ගීතාම්බරයේ පායා රශ්මි ප්‍රභා විහිදවන්නට සමත් වු වාර ගණන අල්පය. කෙසේ වුවද, ඒ හැම වාරයකදීම ඔහු ශ්‍රාවක රසික හදවතෙහි ගැඹූරට කිමිද යන්නට සමත් වූ මධුරතර ගී නිර්මාණයන් බිහිකරන්නට සමත් වූයේය. විමසනු මැනවි


සමනල රෑනක් සේ .........අන්නත හැඟුම් මැවේ ...............

කෙසේදෝ කියන්නේ...මගේ දිව දෙතොල් අතර හැංගේ .............

පොදිවුනු සිතුවිලි අවදි වෙවි සිත තෙරපෙයි නතර නොවෙී.................

ළා දල්ලක් සේ මහද නැඟි ... නෙත් යුග එක් රැවක දිලේ ...................

(සැණකෙළිය - 1974, ගීත සංකල්පනා - කරුණාරත්න අබේසේකර) සහය ගායනය - මිල්ටන් මල්ලවාරච්චි


එදවස ගීත තැටි කලාවේ අංක 01 ස්ථානයේ වැජඹුනු ගායිකාව සහ ගායකයා යොදවා ඓළෙසින් යුග ගීතයක් ගයවා, සිනමාවේදී විමලදාස පෙරේරා එදා ’සැණකෙළිය’ එහි නිෂ්පාදකයා හට සැණකෙළියක් මවා දෙන්නට ඇති බව නිසැකය. සිනමා පටය තිරගත වී එයින් මැකි වියැකි අඩසියවසක් ගෙවි ගොසිනි. එහෙත් ගීතය ඔබත් මමත් අප පිනවන්නේය නළවන්නේය.

හෙළ සිනමා සංගීතයේ පමණක් නොව සංගීත කලාවේ පහන් ටැඹක් බඳු ’ආචාර්ය කේමදාස’ ගේ අරුම පුදුම ස්වර සංකලනයන් හමුවේ හඞ අවදිකරන්නට ඇය වරම් ලද්දේ ’ටී අර්ජුන්’ ගේ ’සරා - 1978’ සිනමා සිත්තමේදීය. වෙනත් ගායක ගායිකාවන් සේම එතැන්හිදී ඇය පළමුවරට සිංහල සිනමාවේ සංගීත භාවිතාව නව මගකට යොමු කළ පහන් ටැඹ ’ආචාර්ය ප්‍රේමසිරි කේමදාස’ ගේ ස්වර සංකලනයන් හා අනුගත වෙමින් හඞ අවදිකරන්නට පෙළඹෙන්නීය. 

ඉන්ද්‍රානී සහ ක්ලැරන්ස් - 80 දශකය

ඊට පෙර කවර විටකදී හෝ ඔහු ඇය හෝ ඇයගේ ගායක කන්ඩායම ට සංගීත අධ්‍යක්‍ෂනය කරනු තබා, ඒ රිද්මය ගුරුකොට ගත් කවර හෝ ගායක ගායිකා කන්ඩායමකට එකදු ගීතයක් හෝ නිර්මාණය කර ඇති බවක් වර්තා වන්නේ නැත.  මුල් කාලීනව ’නෙවිල් ප්‍රනාන්දු’ (ලොස් කැබැයියරෝස් නායක) 60 දශකයේ පිවිසුමේදී ’කන්ඩායම් ගීතය’ දිවයිනේ රසික ජනතාව අතරට ගෙන ගියේය. මේ ’නෙවිල්’ ඔහුගේ සංගීත කුලකයෙන් බැහැර ගිය පන්ඩිත් අමරදේව මෙන්ම කේමදාසයන් ගේ ද සිත් වසඟ කළේ ඔහුගේ අසාමාන හඞ පෞරුෂයෙනි.  1964 වසරේ ආචාර්ය ලෙස්ටර් ගේ ’දෙලොවක් අතර’ සිනමාපටයේදී අමරදේවයෝ ඔහුව කැඳවා ’ගයන ගැයුම් නටන නැටුම්.....’ නිර්මාණය කරවා ගත්තේය. ඉන් දශකයට පමණ පසුව කේමදාසයන් ද ඔහුව කැඳවා ගත්තේ තමාට පැවරුනු ’දුලිකා (සිනමාවේදී කේ ඒ ඩබ්ලිව් පෙරේරා-1973)  උදෙසාය. 

එහිදී ඔහු මහඇදුරු සනත් නන්දසිරි ගේ හඞ හා එක් වෙමින් ’සීත රෑ යාමේ අඳුරේ....’ ගීතයේ ’දුලිකා...’ පසුබිම් අත්වැල සැපයුවේය.

කේමදාසයෝ ’ත්‍රී සිස්ටර්ස්’ නායිකා ’ඉන්ද්‍රානී’ ව කැඳවද්දී ඇය එදා රසිකයන්ගේ සදාදරණිය පොප් ගායිකා කිරුඵ දරා සිටියාය.  ඒ අනුව ඇය ලක් සිනමා කලාව ඔස්සේ යමින් ශ්‍රී ලංකාවේ එවකට දිවිගෙවු අති විශීෂ්ඨ අග්‍රගන්‍ය සංගීතඥයන් සියල්ලම පාහේ සිය ගායන කෞෂල්‍යය ඔපවත් කර ගැන්මට දිනා ගන්නට සමත්ව සිටියාය. මේ ඒ බව හකුඵවා දැක්වීමට කෙටි සටහනකි.

--------------------------------

ගාලා සුවඳ රස අඳුන් - සෝමදාස ඇල්විටිගල  (සිහින ලොවක් - 1972)

රෝස කැලේ රතු කැකුළී - සරත් දසනායක (දිනුම් කණුව - 1974)

සමනළ රෑනක් සේ - පැට්‍රික් දෙණිපිටිය (සැණකෙළිය - 1974)

වසන්තයේ මල් කැකුළයි - ක්ලැරන්ස් විජේවර්ධන (සිකුරුලියා - 1975)

රුසිරු මියුරු හීනයක් - පන්ඩිත් අමරදේව (තරංගා - 1975)

මල් මල් හැඟුමින් පැතුම් පිරී - පී එල් ඒ සෝමපාල (දමයන්ති - 1975)

තුන්යම රෑ කාංචනා පව්වෙන් - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස (සරා - 1978)

පෙම්මල නිල්වන පෙත මැද පිපිලා - ආචාර්ය වික්ටර් රත්නායක (අනුපමා - 1979)

------------------------------------------------------------

යම් දිනක සිංහල සිනමා සංගීත වංශ කථාවේ  ලියැවෙන්නට නියමිත සත් මහ නරපතියන් ඔවුන් වෙති. අද අප ඔබ හද දිනු යුග යුග නොමියන සදාතනික ගී නිර්මාණ පෙළ දායදා කරදුන්නේ ඔවුන් නොවේද ?

මේ ඇය කේමදාසයන් විසින් මැවු සත්සර රස ගුලාව මතුකළ ලතාවයි.


මැදියම් රෑ .... කාංචනා පව්වෙන් ...මං ආවා ...මං ආවා...............

කාන්සියේ තනි තනියේ ඉන්නේ ඇයිද බලා ...

දිස්වෙන ලස්සන ඉඟ සුඟ ලෝකේ...

දිස්වෙන දෑසක දිස්නය නොදැනේ සෝකේ.....

ආදරේ හාදවේ .. හාදුදී ... ආදරේ....

මේ නුරා යාමේ .................


දඟයුග අහිසංකයි .. හදයට ගිනිසිඵ හුඟක් සැරයි...

ආදරේ ..ආදරේ...මේ නුරා යාමේ ......

හා පුරා මී විතේ.......

හා පුරා ජිවිතේ...

ආදරේ ගැවේ....


සුර සැප දෙන තුරු හැඟුම් සළා .................

නිදිදුව අප හැර වසන්වෙලා ...............

--------------------------------

(ගී පද ඔගස්ටස් විනයාගරත්නම්)


1973-4 පමණ ගතවේද්දී ’ද ගෝල්ඩන් චයිම්ස් ’ කන්ඩායම ක්ලැරන්ස් විජේවර්ධනයන් ගේ නියමු කාර්යභාරයෙන් වෙළඳ ගී තැටි කිහිපයක් දොරට වඩමවා තිබුනි. එහි දි ඔහු ඊට නැවුම් හඞක් මුසුකරවන්නට සමත් ව සිටියේය. ඔහු ’අනිල් භාරතී’ ය.  

--------
කන්ඩායම් ගීයේ පුරෝගාමියා - නෙවිල් ප්‍රනාන්දු - 1961 (1938 - 1975)
---------

ඒ අනුව ’ඉන්ද්‍රානී’, ’ක්ලැරන්ස්’  ’මිල්ටන්’ ගේ බටහිර ගීත ශ්‍රාවක රසික තව්තිසා විමනේ පහළ වු අංකුර දිව්‍ය පුත්‍රයා ’අනිල්’ ය. කරුණු එසේනම් ’අනිල් සහ ඉන්ද්‍රානී’ දෙදෙන යොදවා සිනමා ගීතයක් ගයනා කරවා ගන්නට පැකිළෙන්නේ කවරෙක්ද ? ඒ අවස්ථාව පැහැර හරින්නට ’දමයන්ති’ සිනමා සළරුවේ හිමිකරුවා සුදානම් නොවිය. ඔහු ඒ කාර්ය භාරය විදෙස් ගී තනු රටාව සිරුමාරුවෙන් ශීල්ප දැක්විමේ විශේෂඥ ’පී එල් ඒ සෝමපාලයන් වෙත පැවරීය.

නර්තන ජවනිකාවකට යොමුකර නිපැයුනු මෙහි දිර්ඝ ධාවන කාලය එදවස ගුවන් විදුලි කාල නියාමයන්ට හරස් ව ගිය කල්හී. එහි ’කෙටි’ පිටපතක් ගුවන් විදුලි ශ්‍රාවකයන් වෙනුවෙන් වාදනය කරන්නට නිමවා ගනු ලැබිය.


පාලා කරුණා දයා ගුණේ.... හැමදා හැමටම බෙදා සෙනේ ...........

යුතුකම් ඉටුකර මෙලෝ තලේ ....ජයමුතු මාලා දමා ගෙලේ ...................

සොම්නස සම්පත ලබන්නටයි... සුවසෙත ජයසිරි ලැබෙන්නටයි....

මව් පිය දෙදෙනා රකින්නටයි...ජයටැඹ වෙත පා තියන්නටයි...

ඉපදුනු රටදැය නගන්නටයි...හෙළ බස රස මසු කරන්නටයි.....

උපන් බිමේ ජය ලබන්නටයි.. පැතුම් විමානේ පිපෙන්නටයි.....

(කරුණාරත්න අබේසේකර)

-------------------------------





හවායන් ගිටාරයෙන් රස මැවු ගාන්ධාර්වයාණෝ - පැට්‍රික් දෙණිපිටිය (60 දශකයේ මුල් භාගයේදී)

මේ ගී මෙහි දෙඇස් යොමන ඇතැම් පාඨක රසිකයන් රසවිඳගන්නේ පළමුවරට විය හැකිය. ඒවා එතරම් මාධ්‍යය මතුපිට රැඳුනා නොවේ.  මේ ගී රාවයන් විශ්ලේෂනයට බඳුන් කරන මැදහත් රසික ඔබ ඇයගේ අසමසම ගායන කෞෂල්‍යය පිළිබඳව පවසන්නේ කිමෙක්ද ?

ඇය සිනමාවේදී ගැයූ යුග ගීත ගණනින් අල්ප වුවද රසයෙන් ද ඒහා බැඳුනු ජනප්‍රසාදයෙන් ද අනල්පය. එකී කිසිම ගීතයක් බිඳකුදු හෝ අදද එදවස ගී ලෝලී රසික හදවත් වලින් තුරන් ව නැත්තේය. යළිදු අවර්ජනය කරමු.


පෙම් රස වෑහෙන මංගල ගීතේ ජිවිතේ - වික්ටර් රත්නායක සමග - සෝමපාල ලීලානන්ද, සරත් දසනයක - සදහටම ඔබ මගේ  - 1973

පවන් සුසුම් දැලින් වෙලී ශංගාර රවේ  - දේවානන්ද වෛද්‍යසේකර සමග - ධර්මසිරි ගමගේ, පන්ඩිත් ආචාර්ය අමරදේව  - තරංගා - 1975

රුසිරු මියුරු හීනයක් - ධර්මසිරි ගමගේ, අමරදේව - තරංගා - 1975

මල් මල් හැඟුමින් පැතුමි පිරී - අනිල් භාරතී සමග - කරුණාරත්න අබේසේකර, පී එල් ඒ සෝමපාල - දමයන්ති - 1975

මල්සර හදකට තුරුඵවෙලා - ජෝතිපාල සමග - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ක්ලැරන්ස් - සිකුරුලියා - 1975


ඉන්ද්‍රානී පෙරේරා සිනමා ගී රස කළස

පා යුග නැටුවේ....(කුණ්ඩලකේශී - 1978) - සරත් බාලසූරිය, ජෝර්ජ ලෙස්ලි රණසිංහ

පෙම් සිත මගේ සංවර නෑනේ - (සුගන්ධි - 1979) - සරත් බාලසූරිය, සුනිල් විමලවීර

මීවිතේ මදිරා මතේ (කෝලංකාරයෝ - 1981) - අර්නස්ට් සොයිසා, කරුණාරත්න අබේසේකර

චාමර ගීත ඇසේ (සුදු අයියා-1982) - එම් කේ රොක්සාමි, ශ්‍රී නිහාල් ජයසිංහ

ආශා දෑසේ සිහිනේ (අනුරාධා - 1982) - කිංස්ලි රාජසිංහ, අජන්තා රණසිංහ

මුව පොව්වනේ  - (චලිත රංගලී - 1985) - ක්ලැරන්ස් විජේවර්ධන

යව්වන රඟමඞලේ (සුරනිමල - 1992) - සරත් දසනායක, අජන්තා රණසිංහ

දෙසතියකින් නැවතත් හමුවෙමු.....................