සැමදා සුපුෂ්පිතය සුගන්ධවත්ය ඵලබරය ඒ අමිල ගී තුර - කේ ඩි කේ ධර්මවර්ධන මතක සුවද - 03 වන කොටස
මිතුරු මිල්ටන් මල්ලවාරච්චි ගේ ළගන්නා හඩට සරිලන ලෙසින් ඉහත පෙළගස්‌වා ඇති ගී පද පෙළගස්‌වා ඔහුව 70 දශකයේ යව්වනයේ සිහින කුමරාණෝ ලෙස අභිෂේක කලේ කේ ඩි කේ ය
එයාකාර ප්‍රේමයේ සොඳුරු බව මිහිරි බව ගීයට නංවා යොවුනන් හදකිතිකැවූ ඔහු වරෙක ඔවුන්හට සිහින ලොවින් පියවි ලොවට පිවිස නුවණැස දල්වාලන්නට ඔවදන් දෙන්නේ දයාදර වැඩිහිටියෙකු ලෙසිනි
එදා මෙදා තුර හිරු සඳු පසළොස්‌දහස් වාර ගණනක් ඉක්‌මවා උදා වී අස්‌ත ගතවෙද්දී ගී රසික ඔබ එපමණ වාර ගණනක් නෙක ගී රස විඳින්නට ඇද්ද රෑ ඒ සා විශාල ගේය පද කව්‍ය ගොන්නකින් යළි යළිත් පැණ නැග ප්‍රතිරාව නගන්නේ හද පතුලටම කිඳා බසිමින් කවර නම් අල්ප නිර්මාණ සංඛ්‍යාවක්‌ද රෑ ඊට හේතුව කිම ?
ගී රසික හද කිතිකැවුණු ඔහුගේ එකී මධුරතර නිර්මාණපෙළ පෑ පෙළහර විමසිම මදකට නවත්වා මේකී අපුරු රසවතාගේ දිවිමග තොරතුරු වෙතට නෙත් යොමු කරමු
මින් දශක හයකට එපිටින් වූ යුගයකදී කන්ද උඩරට අගනගරයේ ග්‍රාමයේ පදිංචිව සිටි කඵආරච්චිගේ දොන් එඩ්මන්ඩ් ධර්මවර්ධන මහතාණෝ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකු විය පොත් හා සගරා මුද්‍රණ ශිල්පය ප්‍රගුණ කර සිටි ඔහු ගේ එකී පොත් ව්‍යාපරය තිලක මුද්‍රණාලය නමින් හැදින්විනි ලිලාවතී ධරමවර්ධන ඔහුගේ දයාබර බිරිඳයි මේ යුවළට දාව උපන් දරුවන් සයදෙනා අතරින් කේ ඩි කේ ධර්මවර්ධනයන් පවුලේ වැඩිමලා වූ මෙන්ම ඔවුන්ගේ එකම පුත්‍ර රත්නයයි
දළදා සමිඳු වැඩවසන මන්දිරයට එපිටින් විරාජමානවන අගනුවරින් බැහැරව ලක්‌දිව සිසාරා සිප්සතර පතල දම්රද සෙවණේ අකුරු කරවු ඔහු ගේ නිති ඇසුර ලැබූ මිතුරු කැළ ද පොත්පත්මය
නොසංසිඳෙන ඥාන පිපාසාවෙන් පෙඵණු ඔහු උඩරට රාජධානි සමයේ හෙළයේ මහා විහාරය ලෙසින් ගරු බුහුමන් ලැබූ තම නිවස්‌නට පෙනෙන දුරකින් පිහිටි මල්වතු මහා විහාරයේ මහාපොත්ගුලෙහි නිති ඇසුර ලැබීය
එයින් බැහැරව ගුවන සිසාරා කණ වැකුණු රෙදෙව් හඩ ඔහුගේ විශ්වාශවන්තම ඥාතියා බඳුවිය කෙදිනක හෝ මතු එකී ඥාතිවරයා මුණගැසීම හා ඒ ඇසුර පැතීම හා ලැබීම තම එකම සිහිනය කරගත්තේය ඒ සිහිනය මල්ඵල ගන්වාගැනීම ස්‌වකීය එකම අපේක්‍ෂාව බවට පත්කරගනිමින් හෙළයේ අවසන් රාජධානියේ අගනුවරින් වත්මන් අගනුවරට පියමං කරනු ලැබීය
අගනුවරදී ඔහුගේ මුල්ම නවාතැන කොළඹ සරසවි පුස්‌තකාලය බවට පත් කරගත්තේය අදින් වසර 50 කට ඔබ්බෙන් රෙදෙව් පොළේ ඇබෑර්තුවකට අයදුම් කරනු ලැබීය ඇසූ පිරූවන් මනාසේ ඇසුරු කරමින් භාෂණයේ භාෂාත්‍රය මතු නොව පාලි සංස්‌කෘත භාෂාන්තර මහා දැනුම් සම්භාරයකට හිමිකම් කියූ ධර්මවර්ධනයන් එකී ආයතනයට නුසුදුසු වන්නේ යෑයි කවරහු පවසත්ද ?
ඔහු 1967 වසරේ ඔහු නිති පැතු සිතු සිහිනය මල්ඵල ගැන්වීය එතැන් පටන් ඒ සුන්දර හඩ ලක් පොළොව සිසාර ඇසෙන්නට විය
සම වයස් යව්වනයෙකු වූ ළගන්නා ළයාන්විත හඩකට උරුමකම් ලද මිල්ටන් මල්ලවාරච්චි නම් තරුණෙකු ගෙන් ආයාචනයකි ඒ තමා ට ගයන්නට නියම ව තිබුණු වැඩසටහනක් වෙනුවෙන් ගේයපද පෙළක් අමුණා දෙන ලෙසය
ඔහු ගේ ඉහත ලැයිස්‌තු ගත ගීමුතු දාමය පිරික්‌සන්නේකුට මෙකී මගුල් සක්‌වළ ද නියෝජනය කරන කාම ලෝකයක් වූ මිනිස් ලොව මානව මානවිකාවන් සොඳුරු සිහින පරාදීසයක සතපන ප්‍රේමාලිංගනය නුරාව හා එයින් හටගන්නා විරහව වියෝගය මතු කරවන නිර්මාණයන් පමණක් ම හමුවේද ?
ඔහු එපමණකින්ම ස්‌වකීය නිර්මාණකරයට සිමා බන්ධන පනවාගනු ලැබ තිබුණේද ?
යන මේ කරුණ සළකා බැලීම වටී
සමාජයේ තමන් හා ඇසුරු කලෝ කළ කී දෑ මෙන්ම ස්‌වකීය පෞද්ගලික අත්දැකීම්ද ඒ අතර නොතිබෙන්නට ඇතැයි කිව නොහේ ඒ බව සොයා බලා දැනගන්නට ඔහුව විමසන්නට පමා වූවා වැඩිය හුදු ප්‍රේම සල්ලාපයන් බැහැර ව පියවි ලෝකයට පිවිස ලෝ දහම් තතු මෙයාකාරයෑයි දැන හැඳින ගත් ඔහු තම නිර්මාණදාමයේ නිම් වළලු පුඵල් කරවාගත් එක්‌තරා අන්දමක සංවේදී පද පෙළගැස්‌මක් මෙයාකාරයෙන් විය
ගුණ ගී වරුස පැසසුම් ගෝසා රැව් දෙන්නේ මරණින් පස්‌සේ............
කී දොස් නැවතී එතුවක් පැවතී හොඳ මතුවේ මරණින් පස්‌සේ..............
නොතකා සිටි ඒ වටිනා ජිවිත - පොළවේ සැගවෙනදා............
කළ මහ සේවා - සත්ගුණවත්කම් - ගුවනේ රැව්දෙනවා...
මේ ඉරහඳ පුහුදුන් වූ අප කාටත් වරදිනවා - යම් යම් තැන්වල සමහර සිතිවිලි කාටත් පැටලෙනවා.................
ගැයුම් - මයිකල් පීරිස්
ස්වර සිත්තම් - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු
මෙතැනින් සවන්දෙන්න
තමා අවට සිදුවන දෑ අත්විඳි ඔහු ස්‌වකීය ඉරණම ද මතු ඒයාකාරයෙන් විසඳීමට නියමිතව ඇතැයි ප්‍රඥාක්‍ෂියෙන් දක්‌නට ඇතැයි කිවහැකිය
තමා දෙපාරැඳි භූමියේ ආරක්‍ෂාවට සෘජුවම බලපාන වගකියයුතු ආයතනයක ඉතා භාරදුර සංවේදී වෘත්තියක නිරතව සිටිමින් කරණ කටයුත්ත වගකීමෙන් ඇදපඵදු රහිතව සිදුකරන්නට ඔහු වගබලාගත්තේ එය ලබන්නට තමා දිවා රෑ නොබලා සිදුකල අපිරිමිත උත්සහය ඔහුට හොඳින් මතක තිබෙන්නට ඇත
සෙසු කාර්යාලීය සගයන් පිරිවරාගෙන සිටිමින් වෘත්තිමය සමාජ සම්බන්ධතා ගොන්නක පැටලි සිටියදී ඇතැමුන්ගේ ක්‍රියා කලාපය කෙරෙහි ඔහු පෑ කනස්‌සල්ල ගේය පද පෙළකට කැටිකර දක්‌වන්නට පසුබට නොවීය
අප උදේ ගිහිල්ලා යළි හවසට එනවා - ඒ අතරේ ඒ පැය අට බොරුවෙන් ගතවේනම්.........
අපත් එතැනමයි රටත් එතැනමයි...............
කල්ගත වී දුවිලි කුණු වැදිලා - මේසය මත ලිපිගොණු ගොඩ ගැසිලා....
ඔට්‌ටු කොලේ නුදුටු දසුන් සොයලා - සුසුම් මැදින් තව දවසක් ගෙවිලා...
අපත් නැවතිලා රටත් නැවතිලා....
පැයේ විවේකය පැයතුන විලා - බමණ ගතින් නෙත්යුග රතුවිලා....
ඉතුරු ටිකේ පුරසාරම් දොඩලා - රටක පැතුම් කඳුලට මුසුකරලා....
අපත් නැවතිලා රටත් නැවතිලා...
(ගැයුම හා ස්‌වර රටාව - වික්‌ටර් රත්නායක)
මෙතැනින් සවන්දෙන්න
මිනිස් මනසේ ඇතුළාන්තය ට එබිකම්කල අති ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍යයේ අසිරිය විඳි නිසාදෝ වරෙක ඔහුගේ පන්හිඳ මහල්ලෙකුගේ අතීතාවර්ජනයෙන් හටගත් සෝ සන්තාපය මෙසේ පෙළ ගැස්‌වුයේ ද පන්ඩිත් අමරදේවයන් ගේ හඩ උදෙසාය සිංහල ගේයපද සාහිත්‍යයේ නිතර හමුනොවන එහෙත් සුන්දර පැතිකඩක් ඔහු එසේ නිරාවරණය කලේ එකි කලාවේ බුහුටි මව මොනවට පසක් කරමිනි
මහ වැස්‌සක පෙර නිමිති පෙනෙනවා - කවුඵව අතරින් හිරිකඩ එනවා...
මල් පැනි වඩියක උණුසුම ලබනට - යන්නට ඕනෑ කඩමන්ඩිය වෙත..
කබාය ඉරිලා ඊට කමක් නැහැ - කවුරු බලන්නද කවුරු දකින්නද ...
මා දැන් මහඵ වියේ ............................
මිවිතකින් ගත උනුසුම් වු විට - සිත උණුසුම් වේදෝ....
සිරිපොද වැස්‌සේ එකම කුඩය යට - තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ..
මමත් ඔහොම ගිය හැටි මතකයි - මට හොඳ හැටි මතකයි...
පාරට බැස්‌සම නොවැ සීතල වැඩි - තනිකම ඊට වැඩී...
එපා එපා මිවිත මගේ දෙතොලට - අපසු මගේ කුටියට යනවා....
මා අපසු යනවා.....
(තනු නිර්මාණය හා සංගීතය -සංගීත් නිපුන් මහඇදුරු සනත් නන්දසිරි විසිනි)
මෙතැනින් සවන්දෙන්න
විරාමයකින් යළි හමුවෙමු.......
(සම්බන්ධිකරණය කෘතඥතාපූර්වක ස්‌තුතිය - ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදිණි - නිවේදිකා සමදරා කෝට්‌ටගේ මහත්මිය
ස්වභාවික පුෂ්පයන් පමණක්මය සුවඳ විහිදුවන්නේ .......................... සිංහල ගීතාවලියේ දිදුලණ මිණිකැට වන් එදා ඇසුණු අමරණීය ගී පෙළ එලෙසින්ම
Monday, March 20, 2017
Sunday, March 5, 2017
කේ ඩි කේ ධර්මවර්ධන නිර්මාණ මතක සුවද - 02
සැමදා සුපුෂ්පිතය සුගන්ධවත්ය ඵලබරය ඒ අමිල ගී තුර - කේ ඩි කේ ධර්මවර්ධන මතක සුවද - 02 කොටස
එහෙත් ඔහු යව්වන ප්‍රේමයේ සුන්දරත්වය ම ඉස්‌මතු කරමින් එහිම රැඳි සිටියේ නොවේ නව ඉසව් පැතිකඩ ඔස්‌සේ තම නිසග නිර්මාණ කෞෂල්‍යය අතුපතර විහිදුවන්නට සලස්‌වාලමින් එහි ලෞකික චමත්කාරය අත්විඳින්නට තම ශ්‍රාවකයන්ට ආරාධනා කලේය
හෝ පඵ වනපෙත කම්පිත කරවන -...............
මන්මද නර්ථන රංගන කළ මැන....................
අංජන ගල්වන පංකජ නයනී..................
වෙන චංචල කල සත්සර දියණී.................
ළැම විල පියකරු හසුන් රකින්නි.................
සිහිනිග සුවිපුල් උකුල් දරන්නී...............
මන්මද රංගන නර්ථන කළමැන....................
(තනු රටා නිර්මාණය - ආචාර්ය වික්‌ටර් රත්නායක
ගායන රස මැවුම - ආචාර්ය වික්‌ටර් රත්නායක)
වෙණ චංචල කළ සත්සර දියණියනි කළ මැනවි ඒ මන්මද රංගනය
ඔහු ගේ ආයාචනයයි කවරෙකුහටද ?
සත්සර දියණියටය ඈ තම උකුල මත රැඳි වෙණ චංචල කරන්නී සත්සර නංවන්නී එයින් මදක් ඉසිඹුලා අප මන්මත් කරන්නට සරි නර්තනයක යෙදෙන්නට ය
මින් චතුර්දශකයටත් ඔබ්බෙන් වූ යුගයක වික්‌ටර් රත්නායකයන්ගේ ස ඒක පුද්ගල ගී ප්රසංගය වෙනුවෙන් ඔහුගේ පෑන්තුඩ හැසිරවු අයුරයි ඒ
සවන්දෙන්න මෙතැනින්
මෙසමයේදීම මෙකී ප්‍රේමශෘංගාර ආකරයේ කුටප්‍රාප්තිය ලෙස හඳුනාගත හැකි දසත උතුරාගාලා ගිය කේ ඩි කේ නිර්මාණඋල්පතේ අග්‍රඵලය බඳුවන් ගේයකාව්‍යයක් රසික සවන්පත් කර පියමං කරනු ලැබිය
කුමරියක පා සළඹ සැඵණා - වසා සිටි නෙතු පියන් ඇරුණා..............
කුමර බඹසර අසපුවේ මා - සමවැදී උන් දැහැන් බිඳුණා..............
උකුළ ළැමහස - මළවිකරළිය - මුවාකළ ඇගෙ දුහුල් සඵතිර.................
විවර කෙරුවා මනස්‌සළෙඵන් - උමතු වූ දෙණුවන් රැහැන් ඇද.................
මා අබියස මැවුනි තුසිතය - සුරන් නැළවූ සුයාමය.................
නිසල ජීවන තපෝවන මැද - හැගුම් ගජසෙන් යදම් බිදවද..................
තලා සිත කම්පණය කරවයි - ළපළු තුරුවැල් කැකූඵ මල් පෙති................
මා හඩවයි බිදුනු තුසිතය - සුරන් නැළවූ සුයාමය.......................
(තනු රටා නිර්මාණය - ආචාර්ය වික්‌ටර් රත්නායක
ගායන රස මැවුම - පද්ම ශ්‍රී නැසිගිය පන්ඩිත් අමරදේව)
මෙතැනින් සවන්දෙන්න
සිංහල ගී සාහිත්‍යය නම් මිණිආකරයේ දසත කාන්තිය විහිදුවන මරකත මිණක් බදු මේ පබැදුම මේ රචකයාගේ නිසග අපුර්ව ප්රතිභාව මොනවට කියාපායි
භාෂාන්තරව පූරාණ සාහිත්‍යය ඇසුරේ ඔහු ලැබූ පන්නරය මනාව ගෙනහැර දක්‌වන මෙයින් එයාකාර සාහිත්‍යඥානයකින් හික්‌මවා ගත් මනසකින් හෙබි ශ්‍රාවක ගණයා විසින් ස්‌වකීය පරිකල්පනයෙන් කෙතරම් නම් සුන්දර සිත් රූ මවනු ලබනවා ඇද්ද ?
හෙළයේ මහා ගාන්ධර්වයාණෝ පන්ඩිත් අමරදේවයෝ ඊට හඩ අවදිකරනු ලැබුවේ එහි යුවරජු වික්ටර් රත්නායකන්ගේ
මින් දශක සතරකට එපිට යුගයකින් ඇසුණු ලියෑවුණු නමුදු මතු මතු ද සිංහල ගී සාහිත්‍යයේ නොමැකෙන සිහිවටනයක් ලෙස සැලකිය හැකි ඔහුගේ මෙකී නිර්මාණය ඉහත කී උසස් රසඥතාවය වඩවන්නෝ අගයන්නෝ පොබයන්නෝ නිති නිති අගය කරති
යොවුන් ප්‍රේමෝන්මාදයේ විසිතුර සොබාදහමේ සංසිද්ධියකට ඇඳනු ලැබ වරෙක ඔහු මෙසේ ගීයට නැංවුයේ ශ්‍රාවකයාට එයින් විවිධ ඉසව් කරා තම සිතිවිලි මෙහෙයවන්නට ඉඩ හසර තබමිනි ඊට හඩ අවදිකලේ ගුවන් විදුලි සරළ ගී ගායන ශිල්පී විජේසිරිවර්ධන පොළොන්නෝවිටය මේ සුමධුර සුගායනයේ ස්‌වර ගෙත්තම ද එතුමෝ සතු බව කිවමනාය
උණ පඳුරක මල් පිපිලා - ඔබේ පෙමත් ඒ වාගේ............
මලක් පිපී පෙති හැළිලා - ඔබේ පෙමත් ඒ වගේ..........
ඇරඹුම අවසන කොතනද - නොදැනයි මදනළ දිවයන්නේ................
කොතැනක විසිරි යනවද - නොදැනයි මේ කුඵ පාවේන්නේ.............
යායුතු වෙනතක් නැතිවද - රළපෙළ වෙරළට දිවයන්නේ...........
බැහැ කියන්න බැරි හින්දද - මා හා ඔබ හිනැහී යන්නේ..................
(තනු රටා නිර්මාණය - විජේසිරිවර්ධන පොළොන්නෝවිට
ගායන රස මැවුම - විජේසිරිවර්ධන පොළොන්නෝවිට)
මෙතැනින් සවන්දෙන්න
උණ පඳුරක මල් පිපිමේ අරුමය කිමද ? එය අසාමන්‍යද ?
මෙයාකාරයේ පැණපොඩි ඔස්‌සේ තමා වෙසෙන අරුමැසි ලොව පිළිබඳව ශ්‍රාවකයා දැනුවත්වනු ඇත එක තනි යෙදුමකින් අපූර්ව බුද්ධිමය සංවාදයක් ගොඩනංගවාලිමට එකී නිර්මාණය දායක වනු ඇත
යළි හමුවෙමු................(සම්බන්ධිකරණය කෘතඥතාපූර්වක ස්‌තුතිය - ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදිණි - නිවේදිකා සමදරා කෝට්‌ටගේ මහත්මිය (කේ ඩි කේ ධර්මවර්ධන දයාබර බිරිඳ)
Subscribe to:
Posts (Atom)