namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, February 23, 2023

Sunil Shantha Songs of 40-60s

බෝවිටියා දං බාළොලි පඵකං  වාරය කැන්දූ- බක්මහ සැණකෙළිය ඉස්මත්තේ සැගව ගිය කෝකිල නාදය... හීන හඞින සිහින වගේ අදද එයි නැගී............02 කොටස


 ඔහුගේ දිවිපවත තතු ඇතුළත් පුවත්පත් සහ වාරසගරා ලිපි ගණනාවක් පළවු අතර, එය හකුළා දක්වා මහඇදුරු සුනිල් ආරියරත්න විසින් පුස්තකයක් ලෙස පළකර දැනට දසවසක් පමණ ගතවි ඇත. ඔහු කළ කී බොහෝමයක් දෑ එහි සංගෘහිතය. ඊට අමතරව සුනිල් ගීයට පෙම්බැදී විජිත් කුමාර් සේනාරත්න විසින් ද එතරම් විසල් නොවු පුස්තිකාවක් පළ කරන්නට යෙදුනි.



සුනිල් සාන්ත පෑ  ස්වර පෙළහර මහිමය අන් කවරෙකු කවර විටකදී අභිබවනය කරනු ඇද්ද ?

සංගීතය හොඳින් හදරා සුදුසුකම් ලැබ ඇති සුනිල් ආරියරත්නයන්ගේ පර්යේෂනාත්මක කෘතියේ දී ඔහු සුනිල් ගීතයන්හි න්‍යයාත්මක මූලධර්මයන් පිළීබඳව විග්‍රහ කර තිබෙන අතර ඒවයේ ස්වර ලිපිවල අපුර්වත්වය මතුකොට දක්වා එකී නිර්මාණයන් සර්වකාලීන විශීෂ්ඨත්වයෙන් ඔපවන්නේ කිනම් හේතු සාධක නිසාදැයි සාකච්ඡා කර තිබේ.

පහත දැක්වෙන්නේ එයින් උපුටාගන්නා ලද සටහනකි.

එම්බා ගංගා නවතිනු ගංගාවේ - සඩ්ජය සිය පංචමය (ස - රි - ග - ම - ප)දක්වා ස්වර පහකින් පමණක් මුඵ ගීතයට ගැයේ

ගුම් ගුම් ගුම්  - තනි ස්වරයකින් නිපැයු ගීතයකි

ගං ගං ගං   -සඩ්ජය සිය ගාන්ධර්ව  (ස - රි - ග) දක්වා පමනයි

අදයි වෙසක් පෝදා - ඉහත පරිදිමය

අම්බලමේ පිනා (ස - රි  - ග - ම) පමනයි.

ටිකිරි ටිකිරි ටිකිරි ලියා (ධ - නි අත්හැර අන් ස්වර)


(උපුටා ගැනීම අවසන්)

සුනිලුන් ගේ අඩසියවසක් ඉක්ම වූ දිවිමංපියසේ දී ඔහු පෑ මියැසිය පෙළහර ගෙනහැර පාන්නට වෙන්කර ගත හැක්කේ පුර්ණ වශයෙන් මුල් යුගයෙන් සත්වසක් පමණ හා දෙවන යුගයෙන් සතරවසක් ඇතුළත්ව පුර්ණ ලෙස එකළොස්වසකට ආසන්න කාලයකි.

එවන් කෙටි කාලයකදී සුනිල් සාන්තයන් ගෙතූ ගී කුසුම්දාමය සුගන්ධවත්ය. කාන්තිමත්ය... එමෙන්ම නෙකවර්ණයෙන් පරිපූර්ණය.

ජාතික ආගමික මහෝත්සවයන් සැමරූ 50-60 දශකයේ හෙළයන්හට එදවස ගුවන් විදුලියෙන් එනම් ඔහු දොහොත්මුදුනින් හිසනමා වැළඳගත් කුමරතුගු හෙළබසින් ’රෙදෙව්වෙන්’ ඊට සරිළන ගී රස වින්දනයන් නොළැබුනු සමයේ ඔහු ඒවා අරභයා එක් ගීතය බැගින් තනා දුන්නේය. ගයා දුන්නේය.


සිංහල අවුරුද්දේ ...........මංගල ගී සද්දේ ....

සිංහල අවුරුද්දේ......ඔංචිලි හැම පැත්තේ ...........

------------------------------------------

බුදුන් වඳින්නේ ....දහම් වඳින්නේ ....සගුන් වදින්නේ ... 

අපේ මහා මගුල් දා ...............


------------------------

සවන්දෙන්න මෙතැනින් (1951? මුල් පටිගතකිරීම)


එහි රුසිරු නිසරු නොවේ.  එහි රසය කැටිවු තැන් ගණනාවකි. ඔහු වරෙක විවියන් ද සිල්වා බොරලැස්ස නම් වූ ග්‍රැමෆෝන් ගායිකාව සමග ගැයු ගීතයක් පසුකාලීනව නෑසි ගොස් වියැකි අප්‍රකටව ගියත්, එහි සුවිශේෂත්වය වන්නේ එහි සහය ගායකයා ලෙස සුනිලුන් කටයුතු කිරීමයි.


රැල්ල නැගෙන්නේ.........වැල්ල බලා සරන්නේ .................

රැඳිලා බැඳිලා ...සයුර සොයා .... ...සෙමින් ඇදෙන්නේ ................

------------------------

සවන්දෙන්න මෙතැනින් (1950? මුල් පටිගතකිරීම)


ගුරු ඇසුර සොයා ගොස් ස්වර සප්තකයට අත්පොත් තබන නූතන යුගයේ ළපැටියන් හට මතුනොව වැඩිහිටියන් හට පවා මියැසි ඇදුරන් වෙතින් ලබන්නේ ’සුනිල් ගී ස්වර ලිපියකි’  


හඳපානේ ...හඳපානේ හඳපානේ රෑ යාමේ .....

දියගොඩ හැමතැන කිරි ඉතිරේ ...

ගස්වැල් කිරිමුදේ කිමිදේ ...

මද මුදු සුළගින් අප නැළැවෙන්නේ ...

බැබැළෙන හඳපානේ ...........

------------------------

සවන්දෙන්න මෙතැනින් (1949? මුල් පටිගතකිරීම)

ජාතික මහෝත්සවයකදී ත්‍රිවිධ හමුදා බටහිර වාද්‍ය වෘන්දයන් වෙතින් නැග එන්නේ ද බොහෝවක් ’සුනිල් ගී’ ය. නැතහොත් සුනිල් ගී ආර පුර්ණලෙස අනුකරණය නොකරමින් එයින් ඇබෑසිය ලැබ නවමගක ගිය ’සී ටී’ ගී (ක්‍රිස්ටෝපර් ටියුඩර් ප්‍රනාන්දු)  රසයන්ය.

ඒ මන්ද ? ඊට පිළිතුර සෘජුය. සුනිල් ස්වර සමාධිය එතරම්ම සරළය. එය කුඩා දරුවෙකුට පවා ආයාසයකින් තොරව සමවැදිය හැකි දැහැනකි. ලංකා හමුදා තුර්ය වාදකයන් නිතර වාදනය කරන්නට පුරුදු පුහුණු වූ සුනිල් ගී අතරින් එකකි මේ


සුවඳ රෝස මල් නෙළා ............

මාලයක් ගොතාලා .............

මගේ කොමළ සොඳුරියේ බඳිමි ඔබ ගෙලේ .................

------------------------

සවන්දෙන්න මෙතැනින් (1950? මුල් පටිගතකිරීම)


එක්තරා යුගයක (මේ සුනිලුන් ගුවන් විදුලියෙන් නෙරපූ  අඵත 1952 පමණ වන්නට ඇත)  එතුමෝ අගනුවර එදත් අදටත් එකසේ ජනාකීර්ණ බම්බලපිටිය කඩමන්ඩියේ එක්තරා ගොඩනැගිල්ලක ’මියැසි රස’ සොයන්නන් අරභයා ගුරුහරුකම් හලක් පවත්වාගෙන යමින් සිටියෝය.  එදවස එහි ඇසුර ලැබුවෝ පසුව සිය අනන්‍යතාවය මනාව ප්‍රකට කරමින් තම තමන් විසින් තෝරාදැනකියනාගන්නා ලද මංපෙත් හි සැරිසැරූහ. සුනිලුන් නිසා  පසුව හෙළ ගී කෙත සරුකළ මහරු ගාන්ධර්වයන් රැසක්ම එයින් බිහිවිය. හෙළ සිනමා සංගීතය මෙන්ම සී ටී ප්‍රනාන්දු ගී රසයට ස්වර ගෙත්තම් කළ ’පැට්‍රික් දෙණිපිටිය’ ශූරීන් ද , බටහිර ගීත කලාව වහකදුරු සේ ගුවන් විදුලිය පිළීකෙව් කළ යුගයක එහි රුසිරු ප්‍රකට කල ’කාන්ති වක්වැල්ල’ ද එයින් කැපී පෙනෙන්නේය. 

1975 ගුවන් විදුලිය නිකුත් කල ’කිරිකවඩි’ තැටියට ’බෝවිටියා දං පඵ කං වාරේ ..... (මුල් ගීතය) සහ 1976 ගුවන් විදුලිය නිකුත් කළ ’සැළලිහිණියෝ’ එල් පී ගී තැටියට ’මිහිකත නළවාලා.....’ නම් වූ  ’සුනිල් ගී’ ඇතුළත් කරන්නට එදා ගුවන් විදුලි බලධාරීන් උත්සුක වූයේ ඔහුව නෙරපා හැර තමන්ගෙන් පෙරකළ සිදූවූ මහා අසාධාරණය තුනි කරගන්නටදෝ යැයි සිතේ. එහි ඔහු සිය අදරණිය පියඹ ’ලීලා සාන්ත’ ගේ වරුණ ගයන්නේය. සිසු ’පැට්‍රික් දෙණිපිටිය’ සිය ආදරණිය ගුරුවරයා වෙනුවෙන් ’හවායන් ගිටාරය’ වැයිමේ භාග්‍යය උදාකරගත්තේය.

-------------------------
සුනිලුන් සිය දයාබරිත අගසිසු අයිවෝ ඩෙනිසුන් සමග 50 දශකයේදී
----------------

මිහිකත නළවාලා ...........

මග මල් ගන්වාලා ...................

පාසල වෙත යන මේ........

පිටිසර හෙළ ගුරු ලිය සැරදේ ...

සුදුහෙළ සාරිය ඇඳලා හැඩකොට ...

ඉගවට රැලි ළෙලවා..... දිගුනිල් වරළස පීරා නිසිලෙස ...

මල් ගවසා බැඳලා ...

ගෙලවට මුතුමාලේ ....

දෝතේ වළලු සැලේ ....

සිරියා සපුරා ..පිරියා පතුරා ...

යන සුරතල් ’ලීලා’...................

(ගී පද - හියුබත් දිසානායක)

------------------------

සවන්දෙන්න මෙතැනින් 

නැවතත් අනතුරුව පැමිනි වසරේ දී, ගුවන් විදුලිය ඔහු උදෙසාම එල් පී තැටියක් නිකුත් කරන්නට යෙදී එය ’සුනිල් ගී’ ලෙසින් නම්කළේය. ’දුදොනොද බිඳ’ සහ ’හෝ ගා රැල්ල බිඳේ’ හැර  එහි වැඩිමනත්ව ඇතුළත් වූයේ ඔහුගේ ගීත අතර එතරම්ම රසික ප්‍රසාදයට ලක් නොවූ  පහත දැක්වෙන ගීතයන්ය.


සුන්දර හිමිදිරියේ....

සුමනෝ..............

ලලිත ලවංග.................

කුරුඵ ආදරේ සතුටු සාගරේ...................

රාම වැළපිල්ල .........................

සාලිය ආලය...................

ලංකා .........................


සිරිලංකා ...ලංකා ..... සිරිලංකාර ලංකා ...................

ලංකා ..ලංකා....ලංකාර ලංකා ..............

------------------------

සවන්දෙන්න මෙතැනින් 


පළමු කොටසේ සඳහන් වූ ලෙස 1967 වසරේදී ’සුනිලුන් ගේ ගුවන් විදුලි පුනාරාගමනය’ සිදුකරදෙන්නට මුල් වූ විරුවාණෝ ලංකා ගුවන් විදුලි දෙපාර්තුමේන්තුව ’ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව’ ලෙසින් පුනරුප්පත්තිය ලැබූ සමයේ එහි නියමුවා ලෙස පත්ව ආ ප්‍රවිණ පරිපාලන නිලදරු ’නෙවිල් ජයවීර’ ය. දෛවෝපගතව රතන්ජංකර් විසින් 1952 වසරේ ’සුනිලුන්’ ඉලක්ක කොට සිදුකල ’හඞ පරික්‍ෂනය’ වැන්නකදී ඔහුගේ අනුප්‍රාප්තිකත්වය දරන්නට 1967 වසරේදී සුනිලුන්ටම ආරධනා ලැබිනි.  එහිදී ඔහු සමගින් පන්ඩිත් අමරදේව සහ මේ දෙදෙනාටම වඩා ලාංකීය ගීත ක්‍ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකු වු මාතර එච් ඩබ්ලිව් රූපසිංහ ද (ග්‍රැමෆෝන් යුගයේ හිස් මාස්ටර්ස් වොයිස් ලේබලයේ සංගීත අධ්‍යක්‍ෂ - 1920-1940) ද ඒ මන්ඩලය නියොජ්නය කරන්නට යෙදිනි.

සුනිලුන් එතැන්හිදී එදවස අධුනිකත්වයෙන් මිදෙමින් සිටි ’නන්දා මාලිනී’ ගායන ශිල්පිනිය ට ’විශිෂ්ඨ ශ්‍රේණිය’ නිර්දේශ කළ බව කියැවේ. එතැනින් නොනැවතුනු ඔහු එකි දශකයේ බටහිර පොප් ගීත වේග රිද්ම දිදුළන තරුව ’සිරිල් ටියුඩර් ප්‍රනාන්දු’ ගායන ශිල්පියා හටද ’විශිෂ්ඨ ශ්‍රේණිය’ නිර්දේශ කළද සෙසු සාමාජිකයන් දෙදෙනා විසින් එය ප්‍රතික්‍ෂේප කරන ලද බව ද වාර්තා වේ. 

(උපුටාගැනීම ’සුනිල් ආරියරත්න කෘතිය)

එතැන් හී සිට දෙවසරක පමන කාලයකදී ගුවන් විදුලි සංස්ථාවට යමින් එමින් ඔහු ’මධුර මධු’  ’පංච මධුර’  සහ ’සීගිරී ගී’ සංගීතමය විචිත්‍රාංගයන් ඔස්සේ පර්යේෂනාත්මක ගීත රැසක් දැයට දායද කළේය. පෙර සඳහන් වූ ’අම්බලමේ පිනා’ ’ටිකිරි ටිකිරි ටිකිරි ලියා’ ’එම්බා ගංගා’ ’වළාකුලින් බැස’  ’තෙල් ගාලා හිස පීරන් නෑනෝ’  ’හමල් මරු ජහස්සිඵ හස්සැන්ඩල්ලා...(සිගිරී ගී), ’ගුම් ගුම් ගුම්,’ ’ගං ගං ගං....’ ඒවායේ ඇතුළත් විනි.

1970 වසරෙදී සිදුවූ දේශපාලන පෙරළියේදී සුනිලුන් නැවතත් ’ලක් රෙදෙව් පොළ’ ට ආයුබෝවන් කීවේය.

ඒ යුගයේ තමන්ගේ ’වරෙන් හීන් සැරේ රිදී වළාවේ ...’ ගීතය ගුවනින් ඇසෙද්දී සුනිලුන් ගීතයේ එක්තරා වදනක නුහුරු බවක් හැගී ඒ පිළීබඳව විමසිමේ ඵලය වුයේ එය තම හඞ නියමාකාරයෙන් අනුකරණය කළ යව්වනයෙකුගේ කාර්යයක් බව දැන කියා ගන්නට ලැබිමයි.  තමන්ගේ ගී අනුකරණය කරණවා යැයි දෙස්දෙවෙල් තබමින් සාප කරන්නෝ එදත් අදත් එමට සිටිද්දී, සුනිලුන් ඔහු සොයා ගොස් සිය සිසුවෙකු බවට පත්කරගත්තේය. ඉන් නොනැවතී තමා වෙනුවෙන් සිය කුඵඳුල් සිනමා සංගීත කර්තව්‍යයේ භාරදුර වගකීම පවරා ඔහුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සහ සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රනි විජයබන්ඩාර යන යව්වනයා සහ යුවතිය සමගින් භාරත දේශයට පිටත් කර හැරියේය.  1956 රේඛාව ගීත සමුච්ඡයේ උපතට ’අයිවෝ ඩෙනිස්’ නාමය ගෑවි ගියේ එයාකාරයෙනි.

මහ ගානධර්ව සුනිල් සාන්ත පිළිබඳව ලියැවුනු සටහන්, කෘති, අන්තර්ජාල තොරතුරු, විස්තර පත්‍රිකා, දැන් දැන් නොවිරළය. ඔහු ගැයූ ගීත ද සංඛ්‍යාත්මකව අල්පය. වානිජමය අරමුණු උදෙසා ඔහු සිය නිර්මාණ කැප කරන්නට සිතුවේ නම්, ඔහුටද එක්තරා කලක දහසින් බැඳි පියළි ලබන්නට තිබිණ. එහෙත් දැඩි ප්‍රතිපත්තිගරුක සුනිලුන් මුදලට තමා ජන්මයෙන් උරුමකරගත් ප්‍රතිභාව සහ වෙහෙස මහන්සියෙන් ප්‍රගුණ කරගත් කලාව විකෙනෙන්ට ඉඩ හැරියේ ඔහු නොවේ.

සිය ආත්ම ගෞරවය, උගත් ශීල්පය මුදලට කිසිවිටක පාවා දෙන්නට සිහිනෙන් හෝ නොසිතු ඔහු තමන්ට එසේ කරන්නට ලැබුනු අවස්ථාවන් අඵයම ලූ කෙළපිඩක් සේ බැහැර කළේය. සිය පියඹ සහ පාසල් වියේ කුඩාවුන් සතර දෙනෙකු සමග ජා ඇල දෙහියාගත හුදකලා අබලන් නිවසකට ගාල් වී කැඩිබිඳි ගිය අබලන් රේඩියෝ යන්ත්‍ර අඵත්වැඩියා කිරීමේ කටයුත්තක නිරත වි සිටිම ඊට වඩා අගය කලේය.

’රොමියෝ ජුලියට්’ කථාවක්  තිර රූපරාමු පෙළහර වෙනුවෙන් මියැසි නාද පෙළහර පාන්නට අවසර ලත් ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් හට එහි අයිතිකරුවන් වෙතින් අභියෝගයක් එල්ල වි තිබිණි. ඒ එදවස බටහිර සංගීත ලෝලීන් පමණක් නොව බටහිර ගීතයට ලැදි පෙරදිග ලෝ වැසියන් ද නැළවූ ’ජිම් රීව්ස්’ ගේ ගීතයක් ඊට එකතු කර දෙන ලෙසය.  ඒ දැවැන්ත කාර්යය සිහිනය සැබෑ කරදීමේ ඉටුදෙවියා ’සුනිල් සාන්ත’ බව මියැසි සත්සර කලාවේ කෙළපැමිනි ’ෂෙල්ටන් ප්‍රේමරත්නයන් දැන සිටියද ඔහුව ඊට එකග කර ගැනීමට වඩා  පිහාටු සහිත ඉබ්බන්ගෙන් සොයා යෑම ලෙහෙසි බව ඔහු හොඳින් අවබෝධ කරගෙන සිටියේය.

වාග් ප්‍රහාර, බැණ අඞගැසීම්, ප්‍රතික්‍ෂේප වීම් එකපිට එක මැද ’මර්සලිනු ජයකොඩි’ පියතුමාගේ සරණ පැතීමෙන් ඒ කඩුල්ල පැන ගන්නට ඔහු සමත්විය.

My Dreams are Roses for My Love..............

------------------------

සවන්දෙන්න මෙතැනින් 

බී බී සී ගුවන් විදුලියේ හෝ වෙනත් බටහිර රටකදී වදනය වන්නට ඇද්දැයි නොදනිමු. එහෙත් එසේ වූවා නම් ඔවූහු එය ’ජීම් රිව්ස්’ ගීතයක් නොවෙතැයි කෙසේ අදහනු ඇද්ද ? 

’සුනිල් ගී’ නිදහනේ  අතීතාවලෝකනයෙන් මිදීයන්නට එතරම් පහසු නොවේ. එය යළි යළිත් සිතුවිළි රැහැන් පටයන්හි වෙළෙමින් ඇදීඑයි.

පෙරකී අල්ප සංඛ්‍යාත සුනිල් ගී එනම් ගුවන් විදුලි සුනිල් ගීතාවලිය අතරින් තෝරාගත් ගීත සංඛ්‍යාවක් යළි යළිත් වාදනය කරන ප්‍රධාන ධාරාවේ මාධ්‍යය ඔහුගේ සැගවුනු එහෙත් සුනිල ගී සර මතුකර ගන්නට උත්සහ නොදරනු පෙනෙයි. ’70’ දශකයේ නිතර ගුවන් විදුලියෙන් ඇසුනු එක්තර ගීයකදී සුනිල් මෙසේ කියයි.

ආසිරි ආසිරි ආසිරි වේ ලංකා...............

උතුර නැගෙනහිර බටහිර දකුණට ..........

සිව්දිග එක්වි එකම දැයක් වී ..........

එක කොඩියේ සෙවණ ලබා ...

පෙරටම යමු ලංකා ....

------------------------

සවන්දෙන්න මෙතැනින්

උත්තර භාරතිය රාගධාරි සංගීතයේ නියමුවෙකු ව සිටි සුනිලුන් එහිදි ද බටහිර ගීත කලාවේ සිද්ධාන්ත අනුව යමින් සිය නිර්මාණය එළිපෙහෙළි කරගන්නට සිතුවා f්ස්ය. එහි ආසිරි වේ ලංකා .............පසුබිමෙන් රැව් දෙන්නේද ’ආසිරි ...ආසිරි...........’ ප්‍රතිරාවයයි. 

මතු කී ’බෝවිටියා දං පසු නිර්මාණය හා සමවන සේ මෙහිදීද සුනිල් ගී රසයට එතරම් වැද්දා නොගත් ’අන්තර් වද්‍ය සංගීත රටා’ පොඩියක් ඇතුළත්ය

සුනිල් සාන්තයන් සිංහල සිනමා කලාව හා සුසැදි සංගීතය හා එක්වු අවස්ථා විරළය. 1960 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ දෙවන සිනමාකෘතිය වූ ’සන්දේශය’ තනු නිර්මාණය කිරීමෙන් පසුව ඔහු 1969 තිරගත වූ ජී ඩී එල් පෙරේරා ගේ ’රෝමියෝ ජුලියට් කථාවක්’ වෙනුවෙන් ඉංග්‍රිසී ගීතයක් ගයන්නේ එවකට බටහිර සංගීත ලෝලීන් උන්මාදයට පත් කල ’ජිම් රිව්ස්’ ගී හඞ හා සමපාත වන ලෙසිනි. එහි සංගීත නිර්මාණය ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න ගෙනි.

1975 තිරගත වූ ’කොළඹ සන්නිය’ නම් විකට සිනමාපටයේ ගීතයකට ඔහු සංගීතය සැපයූ අතර එය ඔහු සිංහල සිනමාව හා සබඳතා පැවැත්වූ අවසන් වාරය විය. අවසනාවකට එකී සිනමාපටයද ගීතය ද අසාර්ථකත්වයේ අඳුරු අහුමුඵ කරා තල්ලු වි ගොස් රසිකයන්ගේ මතකයෙන් බැහැරව ගියේය.

දුම්බර දුම්බර දුම්බර බාගේ ..........

ගින්දර වාගේ දුම්බර බාගේ ...............

දුම්බර දුම්බර දුම්බර බාගේ................

(සහය ෆේරේඩී සිල්වා )

සුනිල් ගී රසවිඳින්නන් හට සංයමය හික්මවා ගත් ශ්‍රවණේන්ද්‍රිය මෙන්ම විවේක බුද්ධිය ගීත රසවින්දනයේ පරිණත බව තිබිය යුතුය. ’සුනිල් ගී’ ශ්‍රාවකයා ගේ සවන්  තූර්ය භාන්ඩයන්ගෙන් නංවන ඝෝෂාවෙන් පුරවන්නේ නැත. හදවත කම්පනය කරන්නේ නැත. ඒ ගී පදමාලාවන්ගේ එකකදු හෝ ඕලාරික ප්‍රේමවිලාපයන් හෝ විරුද්ධ ලිංගිකයා වෙත කරන නිවට නියාඵ ආයචනාවන් ගේ සේයාවකුදු නැත. මිනිස් ආවේගයන් තීවර කර නොසන්සුන් කරවන්නේ නැත. ඒවන් ගීතයන්හට සවන් හුරුපුරුදු කරගත්තෝ හට  ’සුනිල් ගී’  මිහිර දැනෙන්නේ නැත, වැටහෙන්නේ නැත. සෞන්දර්වාදී  මුනිවර මනස් ඇත්තෝ පමණක්  ඒවායේ අගය මනාව දැන වටහාගෙන මේ මුණිවර  ගාන්ධර්ව උතුමාණෝ හට සිතින් බුහුමන් පුදනු ඇත්තේය.   වරෙක ඔහු ගේ 50 දශකයේ ගුවන් විදුලි සංගීත අභ්‍යාස වැඩසටහනකදී ඔහුම පවසා ඇති පරිදි හොඳම සංගීත භාන්ඩය ’මිනිස් කටහඞ’ ය. ’සුනිල් ගී’ ඊට මුල්තැන් දී තිබෙනායුරු මනාව පසක්වන්නේය.

සිය රැකියාවෙන් නෙරපා දමන ලදුව දයාබර පියඹ ගේ ගුරු වෘත්තියෙන් ලබන සුඵ වැටුප ද පරණ අබලන් රේඩියෝ සහ කැමරා අඵත්වැඩියා කිරීමෙන් ඉපැයූ මුදලද යන මේවයින් දිවිගැටගසාගත් එතුමෝ අපමණ දුක් පීඩා හිරිහැර කම්කටොඵ අනුභව කරමින් ආදරණිය පුතුන් තිදෙනාම ලක් මව්පියන්ගේ නොහිම් සිහින පැතුම වූ සිය දරුවා ’වෛද්‍ය’ ’ඉංජිනේරු’ පදවි ලැබිමේ කරුණ අනුවම  ’පේරාදෙණිය සරසවියේ’ ඉංජිනේරුවරුන් ලෙසද එකම දුවනිය ’කලා සාන්ත’  එහි පශූ වෙදදුරෙක් ලෙසද දිවි මග ජයගන්නට යොමු කළේය. 

1977 වසරේදී හැමු දේශපාලන කුණාටුවෙන් පසුව, සුනිලුන් තෙවැනි වරට ගුවන් විදුලියට සම්බන්ධ වූ බවක් වර්තා වන්නේ නැත. 1981 වසරේදී පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පිඨයේ සාමාජිකයෙකු වූ සිය දෙවන පුතු ගේ අකල් වියෝවෙන් දැඩි ලෙස කම්පනයට පත් වූ ඔහුට එයින් මිදී පියවිලොවට පිවිසෙන්නට වාරු නොලද්දා සේය.  ඒ වසරේ  රබන් සුරල්   - කොවුල් ගී නාදය දසතින් නැග එද්දී දැයේ   කලාරසයෙන් මත්වූවන්ගේ   පිනට පහළ වූ ඉටුදෙවියෙකු බඳු වූ   මේ හෙළ ගාන්ධර්වයා ලක්මවගෙන් සමුගත්තේය.

සුනිල් ගී ඔවිල්ලේ වරුණ අංශූ මාත්‍රයකින් 

ආදර නදියේ පීනමු පිරියේ ... හියුබත් දිසානායක

හඳපානේ රෑ යාමේ - සුනිල් සාන්ත

සුවඳ රෝස මල් නෙලා - හියුබත් දිසානායක

කුරුඵ ආදරේ  - හියුබත් දිසානායක

නැළවි සැනසෙන්නේ මාගේ සුදු ඕලු මලේ - සුනිල් සාන්ත

මිහිකත නළවාලා - හියුබත් දිසානායක

කුරුඵ පරාදීසයේ කුරුඵ සීන සාගරේ - තිලක සුදර්මන්ද සිල්වා 

මෙවන් පිටිසරේ මේ දුගි පැලේ - හියුබත් දිසානායක

කෝකිළයන්ගේ කෝකිළ නාදේ - හියුබත් දිසානායක

දුදු නොද බිඳ  - රැයිපියෙල් තෙන්නකෝන්

ලංකා ලංකා පෙම්බර ලංකා - අරිසෙන් අහුබුදු

මල් මල් ගුමු ගුමු ගන්වන්නේ- කැලිස්ටස් ජයසිංහ


Thursday, February 9, 2023

Sunil Santha Songs - 1947-1981

 ’බෝවිටියා දං බාළොලි පඵකං  වාරය කැන්දූ- බක්මහ සැණකෙළිය ඉස්මත්තේ සැගව ගිය කෝකිල නාදය... හීන හඞින සිහින වගේ අදද එයි නැගී............01 කොටස

ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ පද රචක මෙන්ම සංගීත අධ්‍යක්‍ෂනයේ යෙදුනු ආනන්ද සමරකෝන් ශුරීන් ගේ නිර්මාණ ඇතුළත් වන්නේ ’ග්‍රැමෆෝන්’ ගී යුගයටය. එය 20 සියවසේ මුල් භාගයේ සිට එහි මධ්‍ය යුගය දක්වා පැවතුනු අතර ’හිස් මාස්ටර්ස් වොයිස්’ සහ ’කොළොම්බියා’ නම් වු ජාත්‍යන්තර ගී තැටි ලේබල් බලපත්‍රලාභී ’කාර්ගිල්ස්’ (වත්මන් ආයතනය නොවේ) සහ ’මිලර්ස්’ පිළිවෙලින් ග්‍රැමෆෝන් ගී තැටි සඳහා ශීල්පීන් සහ සංගීත අධ්‍යක්‍ෂකවරුන් සපයා ගන්නා ලදුව ඒවා නිකුත් කෙරිනි.



මේවා අතරින් සැලකිය යුතු ගීත සංඛ්‍යාවක් ’යුග ගී’ ගණයට අයත්ය. එනම් ගායිකාවක් හෝ ගායකයෙකු අතර හෝ ගායිකාවන් යුවළක් අතර සිදුවන සංවාදය ආකාරයෙන් ඒ ගීත නිර්මාණය විය.

ආනන්ද සමරකෝන් ද ඒ අනුව සිය සහය ගායිකාව වු ’බී පී ලිලාවතී’ සමගින් ගැයු ’සංවාදමය යුග ගි’ අවශේෂ ග්‍රැමෆෝන් යුග ගී අභිබවා ශ්‍රාවක බුහුමනට පාත්‍ර විය. ඒවයේ ගී පද රචනා පමණක් නොව තනු ද ඔහුගේමය. ඒවා අතරින් පළමු ස්ථානයේ වැජඹුනු ගීතය දශක සතක් ඉක්මවා ගිය පසුව වර්තමානයේ පවා ශ්‍රාවක අවධානයෙන් ගිලිහි නැති සේය.




එන්නද මැණිකේ මමත් දියඹට කඩන්ට කෙකටිය මල් .................

ඔහො ලාස්සනයි ඔහෝ ලස්සනයි ඔහො පිපිච්ච කෙකටිය මල් .......................


මෙම ගීත ආකෘතිය අනුකරණය කරමින් පසුව සිංහල ගීත සාහිත්‍යයට එක් වු ගීත මහත් රාශියකි. එහි පද සංකලනය සංයමයකින් ගයනු ලබන්නේය. එසේම සරළය සුගමය. කථන බස් ව්‍යවහරය යොදා ගනී. ග්‍රැමෆෝන් ගී යුගයේ මූලික සංකල්පයක් වූ සංස්කෘත තත්සම පද භාවිතයෙන් වැළකි සිටී. ඒ නිසා එහි සර්වකාලීන ජීවගුණය රැඳි පවතී.


ඉන් අඩසියවසක් ද ඉක්මවා ගිය පසු බිහිවුනු එක්තරා ගීතයක ’ඉහත ගීතයේ’ ’ඡායාව’ වැටි ඇති ආකාරය සුපැහැදිළිය.



සුළගක් වී මං යනවා ..................

දුර අහසේ ඇවිදින්නට ................

අප්පච්චි කොහොමද මං අල්ලන්නේ ..............

අහසක් සේ දූ යන මග ................

පුඵන් වලා අතුරනවා ....................

එහෙමයි මගේ දෝණි..................

මං අල්ලන්නේ .................

පණවාගේ මගේ දූ ...............

මං රැකගන්නේ .................

--------------

ගී පද - නැසිගිය ආනන්ද හේවාරංහිඳගේ 
---------------------

ආනන්ද සමරකෝන් ගීයේ මානවකයා යුවතිය කොටුකර ගැනීමේ උපක්‍රමය කියාපාද්දී ඇය ඉන් මිදීමේ උත්සහයක් ගන්නේ යම්සේද, ඉහත නිර්මාණයේ පියාගෙන් මිදී යන්නට තැත් දරන දියණිය කොටුකරගන්නා ආකාරය ’පියා’ විසින් කියාපායි.


ආනන්ද සමරකෝන්  ගාන්ධර්වායා  - බී පී ලීලාවතී සිසුවිය (1942?)

ඔන් එහෙම මම ඔරුවේ නැගීලා මැණීකේ ලගට සැනේ

ඔව් හනිකට හනිකට හනිකට එනවා ඔරුවට නැගී මෙසේ

පීනනවා මම එතකොට එගොඩට මලුවෙකු වෙසෙනි

හීන් දැළක් දා අල්ලා ගන්නවා නොවෙද එවිට මැණිකේ ....

ගන්නවා එතකොට කුරුඵ වෙසක් මම රූං කියා යනවා ....

ඔව් එනවා එනවා පස්සෙන් එවනවා ගුරුඵ රජෙකු වෙමිනේ ....


එඩ්වර්ඩ් ජයකොඩි සංගීතවේදයා - නටාෂා පෙරේරා දැරිය  (2002?)

මහ ගංවතුරක් වීලා හරි වේගෙන් මම ගලනවා.............

මහ ගස්වැල් කඳුවැටි උදුරා පොළොවට දමනවා ............

අප්පච්චි කොහොමද මං අල්ලන්නේ ..............

මං මහ මුහුදක් වීළා දූ එනතුරු තනි රකිනවා ..............

ආදරයෙන් මග බලනවා තුරුලට ගෙන සනසවනවා .............

අතිශය ජනාදරයට පත් මෙකී සංවාද ගී සරණියෙන් මත් වූවන් අතර මහ සංගීතවේදී ’සුනිල් සාන්ත’ ද විය. ඔහු ආනන්ද සමරකෝන් ගේ සමකාලීන ශීල්පියෙකුව ඔහුගේ සංවාද ගී පෙළ ජනගත වූ යුගයේ එනම් 40 දශකයේ අගභාගයේදී ඔහු විසින්ම පද රචනා කොට සංගීතවත් කල සංවාද ගීයකට එකතුකරගත්තේ මේරී මාග්‍රට් පෙරේරා නම්වු තුදුස් වියැති දැරියකි. ඒ සංවාදය අයියා - නගෝ අතරය. මෙකී යුවතිය ගේ නාමය  කලාලොවට ඔබිනා ලෙස ’චිත්‍රා’ ලෙසින් නම්කරණ ලදුව සංගීතවේදී පී එල් ඒ සෝමපාල හා විවහප්‍රාප්ත වී ඇය එතැන් හි සිට ’චිත්‍රා සෝමපාල’ විය.

-------
ගායිකා  - චිත්‍රා සෝමපාල
----------


බෝවිටියා දං පඵකං වාරේ මේ නොවැ පොඩි නංගෝ .............

කුරුඳු කැලේ සුදු වැල්ලේ මාදං වැහි වැහැලා නංගෝ .......

සිහිවන විට තොල කටද තෙමෙයි නේ ..............

මා යනවා නංගෝ ....................

මා එමි සුදු අයියේ ..................

මා එනවා අයියේ ................

අයියේ යමු යමු සුදු වැල්ලේ ..................

------------------------

සවන්දෙන්න මෙතැනින් (1947 පමන මුල් පටිගතකිරීම)

එතැන්හි සිට නිරතුරුවම ගුවනින් ඇසුනු මෙකී අපුර්ව සංවාද ගීය, පසුව 70 දශකයේදී ගුවන් වදුලිය විසින්  ශ්‍රාවකයන්හට තිළිණ කරන්නට යෙදුනු ’මංගල වෙළඳ ගී’ තැටියට නංවා ජනගත කළේය. එය 1975 වසරේ නිකුත් කල ’කිරිකවඩි’ වෙළඳ තැටියයි.

එහෙත් ’කිරිකවඩි’ එළිදුටු යුගයේදී ’බෝවිටියා දං......................’ ගීතය වෙනත් ආරකින් නවමු නිර්මාණ්‍යක් ලෙස ගුවන් විදුලියෙන් ඇසෙමින් පැවතුනි. එහි ගී පද පෙළ තරමකින් මුල් ගීතයට වෙනස් වු අතර සහය ගායකයා ’සුනිල් සාන්ත’ යන්ගේ හොඳම ශීෂ්‍ය රත්නය වූ නැසිගිය ’අයිවෝ ඩෙනිස්’ ය. 

බෝවිටියා දං පඵකං වාරේ මේ නොවැ පොඩි නංගෝ ...........

කුරුඳු කැලේ සුදු වැල්ලේ මාදං වැහි වැහැලා නංගෝ .......

සිහිවන විට තොල කටද තෙමෙයි නේ ..............

මා යනවා නංගෝ ....................

බෝවිටියා දං බාළොලි පඵකං තරග ගොඩයි නංගෝ ..............


මා යන්නේ මේ වෙලටයි මා අත හැරයන්කෝ නංගෝ ..............

බාළොලියා බෝවිටියා කන්නෝ නරක ළමෝ නංගෝ .....

ඊයේ වාගේ ඕඵ නෙළාගෙන මම එන්නම් නංගෝ..........

බෝවිටියා දං බාළොලි පඵකං තරග ගොඩයි නංගෝ ..............


ඒ බොරුවට මා විහිඵ කලා නොවැ තරහද මගේ නංගෝ ....

රතට රතේ කජු පුහුළං ඔබදැක සැගවෙනවා නංගෝ ......

අපට එපා ඔය ලැජ්ජා වැඩි අය එන්න මෙහෙන් නංගෝ ...

බෝවිටියා දං බාළොලි පඵකං තරග ගොඩයි නංගෝ ..............


පුහුල් හොරා නම් කරෙන් දැනෙන්නා කීවා නොවැ නංගෝ...

සුදු ඔබේ දිව දම්පැහැ වූයේ කිමද අහෝ නංගෝ....

මටත් හොරෙන් ඔබ දං කෑවා නොවැ යසයි යසයි නංගෝ .......

බෝවිටියා දං බාළොලි පඵකං තරග ගොඩයි නංගෝ ..............


බෝවිටියා දං බාළොලි පඵකං තරග ගොඩයි නංගෝ ..............

සුදු ඔබේ කට අතට වඩා වේගෙන් යන්නා නංගෝ ...

ඊට වඩා පය ඉක්මන් කර ගෙදරට යමු නංගෝ.........

බෝවිටියා දං බාළොලි පඵකං තරග ගොඩයි නංගෝ ..............

------------------------

සවන්දෙන්න මෙතැනින් (1969 පමන මුල් පටිගතකිරීම)

මුල් ගීතයට වඩා වේගලයමානයකින් ගැයෙන මේ ගීතයේ සුවිශේෂිත්වය වනුයේ එහි වයලීනයෙන් වැයෙන මධුරතර අන්තර්වාදනයක්ද ඇතුළත් වීමයි.  

ඊර්ෂ්‍යා පරවශ බලධාරීන් ගේ කුමන්ත්‍රණයකට හසුව 1952 වසරේ දී ගුවන් විදුලිය හැරදමා යන්නට ගිය සුනිලුන් නැවතත් එහි කැඳවා ගත්තේ 1965 වසරේ පත්වූ ඩඩ්ලි සේනානයක රජය විසින් ගුවන් විදුලි නිසිබලධාරයා ලෙස පත්කරන ලද ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලදරු නෙවිල් ජයවීරයන් ගේ උපදෙස් අනුවය.  1967 පමණ වෙද්දී ඔහු ගේ දෙවන ගුවන් විදුලි ආගමනය සිදු වූ අතර එතැන් හි සිට ඔහු 1946 වසරේදී ’ඔඵ පිපිළා වෙළ ළෙල දෙනවා...............’ ගයමින් ඇරඹි මහා විපර්යාසය නැවැත්වූ තැනින් අරඹන්නට උත්සුක විය.

ඒ අනුව ලංකා ගුවන් විදුලි පර්යේෂණ ගී අංශය පිහිටුවන්නටද පෙරාතුව සුනිලුන් විසින් හුදකලාවම පර්යේෂනාත්මක ගී රැසක් ගුවන් විදුලියට දායද කරන්නට කටයුතු කෙරිණි. ’මධුර මධු’ නම් වූ ඒ සංගීතමය වැඩසටහනේ දී ඔහු වරෙක උඩැක්කිය පමනක් වාදනය කරමින් ගීයක් ගැයුවේ අයිවෝ ද සහගාගී කරවාගෙනය. ඊට ඔහු සාම්ප්‍රදායික ’අම්බලමේ පිනා’ ජනකවිය උපයෝගී කොටගත්තේය.


අම්බලමේ පිනා වළං කඳක් ගෙනා ............

ඒක බිඳපු ගොනා උඩ පැන පැන හිනා .....

අපේ ගමේ වළං හදන තුරුණු ලියන් ....

අතින් හදන නැවුම් වළං අගෙයි බොලං ....

------------------------

සවන්දෙන්න මෙතැනින් (1967 පටිගතකිරීම)

මහඇදුරු සෙනරත් පරණවිතාන කියවා වර්තා කරන ලද ’සීගිරී ගි’  අතරින් කිහිපයක් තොරාගත් ඔහු ඒවාට තනු යොදා ගයනා කරන්නට සිය ශිෂ්‍යා ’නාලිනි රණසිංහ’ ව සහභාගි කරවා ගත්තේය.

හමල්හලු ජහස්සිලු හස්සැන්ඩල්ලා ..............

අරිසෙන් අහුබුදු ශූරීන් විසින් ලියා දුන් සුප්‍රකට ’මහවැලි ගී’ ද්විත්වය බිහිවුනේ ද මේ යුගයේදීය.


වළාකුලෙන් බැස සමන් කුලත් වැඳ ...........

එලෝ බලා යනවා .........

අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඞ හඞා ඔහේ යනවා ..............

------------------------

 සවන්දෙන්න මෙතැනින් (1967 පටිගතකිරීම)


එම්බා ගංගා නවතිනු නවතිනු නවතිනු නවතිනු ගංගාවේ ............

කන්ද කපවු ගල් පෙරළව් වේළි බඳිවු ගම නොබිඳිවු ගංගාවේ .................

------------------------

’එම්බා ගංගා’ සවන්දෙන්න මෙතැනින් (1967 පටිගතකිරීම)

1970 වසරේදී පොල්ගොල්ල හැරවුම ට මුල්ගල තබමින් ඇරඹි ’මහවැලි මහ ව්‍යාපාරය’ වෙනුවෙන් එකී වසරේ විසිදෙවැනි නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ ’මහවැලි මහ ගීත නාටකය’ වේදිකා ගත කරන ලදී. එය පැවති රජ්‍ය නිලදරුවන්හට හිතවත් වූ ප්‍රවිණ පුවත්පත් කලාවේදී ’ධර්ම ශ්‍රී කුරුප්පු’ ගේ පබැඳුමකි සංගීතමය රසය කවන්නට මහ සංගීතවේදී ’සෝමදාස ඇල්විටිගල’ ඉදිරිපත් විය. 

1976 පොල්ගොල්ලේ හැරවුම’ විවෘත කරන්නට යෙදුනේ එවක පැවති ’සමගි පෙරමුණු’ රජයේ නියමු අගමැති සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය විසිනි. එවිට ගුවන් විදුලියට නිතර වාදනය කරන්නට ඉතිරිව තිබුනේ සුනිලුන් හැදූ මතු කී ගීත ද්විත්වය පමණි. එහෙත් ඊට ටික කලකට පෙර ’මහගම සේකර’ යන් විසින් පන්ඩිත් අමරදේව හා එක්ව ’මහවැලි’ ගීයක් නිර්මණය කර තිබුනු බැවින් ඒ මහෝත්සවය මහ ඉහළින් සමරන් දින එනම් 1976 ජනවාරි 08 දින රටටම ඇසෙන්නට ගුවන් විදුලිය මහවැලි ගීත ත්‍රිත්වයක් වාදනය කරන්නට යෙදුනි.

මේ වසර වෙද්දී නැවතත් ’සුනිල් සාන්ත’ ගුවන් විදුලියෙන් නික්ම ගොස් තිබුනත් ’රිජ්වේ තිලකරත්න’ නම් වූ පැණවතා මුල් පුටුව හෙබවූ ඒ යුගයේදී ’සුනිල් සාන්ත’ ව ගුවන් විදුලි උද ශනිදා සාදයට කැඳවා ප්‍රේමකීර්ති ද අල්විසුන් ලවා ඔහුව සුහද සාකච්ඡාවකට යොමු කරගන්නට කටයුතු යොදන ලදී. 

එය මෑත කාලීනව එනම් මීට දශකයකට ද එපිටදී ගුවන් විදුලිය විසින් නිකුත් කරන්නට යෙදුනු ’හඞ’ ගුවන් විදුලි සගරාවක පළ කර තිබුනි. 

----------------------------------------

මතු දිනකට ඉතිරිය තබනෙමි.....

-------------------------------------------------

පාදක සටහන්

මහවැලි ව්‍යාපාරය - විකිපීඩියා ජාල විශ්ව කෝෂය අනුව එය 1961 වසරේදී එවකට පැවති ලෝකයේ ප්‍රථම කාන්තා අගමැති ධුරය හෙබවූ සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය විසින් ආරම්භ කරන්නට කටයුතු යෙදුනු එක්සත් ජාතින්ගේ සංවිධානයේ මුල්‍යාධාර අපේක්‍ෂාවෙනි. එය අනුමතවි 1964 එය ආරම්භ කෙරිණි. දෙවන අදියර අග්‍රමාත්‍ය ධුරන්ධර ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ රජය විසින් 1967-68 වසරේ දියත් කරන ලද අතර එහි ජලාශ ව්‍යාපෘතියේ සමාරම්භය 1970 පොල්ගොල්ල ජලාශ ව්‍යාපාරය නමින් දියත් කෙරිනි. එකම විද්යුත් මාධ්‍යය ද රාජ්‍ය මාධ්‍යයද වූ ලංකා ගුවන් විදුලිය විශේෂිත වැඩසටහන් ඒ වෙනුවෙන් විසුරුවා හරින ලද අතර 1970 පෙබරවාරි 04 දින විසිදෙවැනි නිදහස් උත්සවයට සමගාමීව කොළඹ නිදහස් මන්දිරයේදී ධර්ම ශ්‍රි කුරුප්පු ගේ ’මහවැලි ගීත නාටකය’ ගුවන් විදුලිය විසින් රගදක්වන්නට යෙදිනි. අරිසෙන් අහුබුදු ශූරීන් විසින් පද රචනා කරන්නට යෙදුනු ඉහත සඳහන් ’එම්බා ගංගා....’ සහ ’වළාකුලින් බැස......’ 1967-70 යුගයේ සුනිල් සාන්තයන් සිය දෙවන ගුවන් විදුලි ආගමනයේදී සංගීතවත් කොට ගයන ලද්දේ මෙම ව්‍යාපාරයට සමගාමිවය. මන්ද යත් එය මෑත ලංකා ඉතිහාසයේ දැවැන්ත මුල්‍ය දායකත්වයක් සහිතව සිදු කෙරුණු දැවැන්තම සංවර්ධන ව්‍යෘපෘතිය ලෙස නම් කෙරුණු බැවිනි. 



1976 ජනවාරී මස 08 දින දාතමින් මහත් උත්සවාකාරයෙන් පොල්ගොල්ල ජලාශ ව්‍යාපෘතිය වැඩ නිමකොට විවෘත කරද්දී පැවතියේ නැවතත් සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ සමගි පෙරමුනු රජයයි. එය එදින ඇය විසින් විවෘත කිරීම නිමිත්තෙන් ගුවන් විදුලියේ ප්‍රචාරක දායකත්ව සඳහා ඉහත ගීත යුග්මයද ඊට අමතරව පහත ගීත ද වාදනය කරන්නට යෙදිනි


සිරිපද ලස සමනොළ සිරසේ - ගී පද - නැසිගිය මහගම සේකර - ගැයුම නැසිගිය පන්ඩිත් අමරදේව ඇතුඵ පිරිස 

ගංගා එන්නකෝ ගංගා - මහාචාර්ය සුනිල් ආරියරත්න - නැසිගිය අබේවර්ධන බාලසූරිය

බෝවිටියා, දං, පඵකං  - ගම්මානවල බහුලව දැකිය හැකි පඳුරු ශාඛ වන මේවයේ සිගිති ඵල ගැමි දරු දැරියන්ගේ ප්‍රියතම ආහාරයක් වූ අතර පෝෂ්‍ය ගුණයෙන් අනූන යැයි කියැවේ. 

---------------
දං
--------
--
--------
බෝවිටියා
---------


අම්බලම - පා ගමනින් දිර්ඝ චාරිකාවේ යෙදෙන සංචාරක වෙළෙන්දන් සහ මගීන් ගේ ගිමන් නිවාගැනීම පිනිස ගම්මානයේ ප්‍රභූන්ගේ හෝ පාලකකාරකාදීන්ගේ මැදිහත්වීමෙන් ප්‍රසිද්ධ මංපෙත් අද්දර ගොඩනගන ලදී. පොසීල ඉන්ධන වාහන සහ බයිසිකල් හඳුන්වාදීමත් සමග මේවා අභාවයට ගියේය. අදටත් ඒවා අතරින් සමහරක් පෞරාණිකත්ව රැකෙනා පරිදි සංරක්‍ෂකය කර තිබේ. කරින් කද රැගෙන ඔබමොබ සැරිසැරූ  මාඵ, සහ වළං කත් කරුවන් 80 දශකය දක්වා සුලභ දසුනක්ව පැවතියේය.













එදා ඇසුණු ගී - බ්ලොග් ලිපි සමූහය
10 නවම් මස 2023