namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, February 9, 2023

Sunil Santha Songs - 1947-1981

 ’බෝවිටියා දං බාළොලි පඵකං  වාරය කැන්දූ- බක්මහ සැණකෙළිය ඉස්මත්තේ සැගව ගිය කෝකිල නාදය... හීන හඞින සිහින වගේ අදද එයි නැගී............01 කොටස

ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ පද රචක මෙන්ම සංගීත අධ්‍යක්‍ෂනයේ යෙදුනු ආනන්ද සමරකෝන් ශුරීන් ගේ නිර්මාණ ඇතුළත් වන්නේ ’ග්‍රැමෆෝන්’ ගී යුගයටය. එය 20 සියවසේ මුල් භාගයේ සිට එහි මධ්‍ය යුගය දක්වා පැවතුනු අතර ’හිස් මාස්ටර්ස් වොයිස්’ සහ ’කොළොම්බියා’ නම් වු ජාත්‍යන්තර ගී තැටි ලේබල් බලපත්‍රලාභී ’කාර්ගිල්ස්’ (වත්මන් ආයතනය නොවේ) සහ ’මිලර්ස්’ පිළිවෙලින් ග්‍රැමෆෝන් ගී තැටි සඳහා ශීල්පීන් සහ සංගීත අධ්‍යක්‍ෂකවරුන් සපයා ගන්නා ලදුව ඒවා නිකුත් කෙරිනි.



මේවා අතරින් සැලකිය යුතු ගීත සංඛ්‍යාවක් ’යුග ගී’ ගණයට අයත්ය. එනම් ගායිකාවක් හෝ ගායකයෙකු අතර හෝ ගායිකාවන් යුවළක් අතර සිදුවන සංවාදය ආකාරයෙන් ඒ ගීත නිර්මාණය විය.

ආනන්ද සමරකෝන් ද ඒ අනුව සිය සහය ගායිකාව වු ’බී පී ලිලාවතී’ සමගින් ගැයු ’සංවාදමය යුග ගි’ අවශේෂ ග්‍රැමෆෝන් යුග ගී අභිබවා ශ්‍රාවක බුහුමනට පාත්‍ර විය. ඒවයේ ගී පද රචනා පමණක් නොව තනු ද ඔහුගේමය. ඒවා අතරින් පළමු ස්ථානයේ වැජඹුනු ගීතය දශක සතක් ඉක්මවා ගිය පසුව වර්තමානයේ පවා ශ්‍රාවක අවධානයෙන් ගිලිහි නැති සේය.




එන්නද මැණිකේ මමත් දියඹට කඩන්ට කෙකටිය මල් .................

ඔහො ලාස්සනයි ඔහෝ ලස්සනයි ඔහො පිපිච්ච කෙකටිය මල් .......................


මෙම ගීත ආකෘතිය අනුකරණය කරමින් පසුව සිංහල ගීත සාහිත්‍යයට එක් වු ගීත මහත් රාශියකි. එහි පද සංකලනය සංයමයකින් ගයනු ලබන්නේය. එසේම සරළය සුගමය. කථන බස් ව්‍යවහරය යොදා ගනී. ග්‍රැමෆෝන් ගී යුගයේ මූලික සංකල්පයක් වූ සංස්කෘත තත්සම පද භාවිතයෙන් වැළකි සිටී. ඒ නිසා එහි සර්වකාලීන ජීවගුණය රැඳි පවතී.


ඉන් අඩසියවසක් ද ඉක්මවා ගිය පසු බිහිවුනු එක්තරා ගීතයක ’ඉහත ගීතයේ’ ’ඡායාව’ වැටි ඇති ආකාරය සුපැහැදිළිය.



සුළගක් වී මං යනවා ..................

දුර අහසේ ඇවිදින්නට ................

අප්පච්චි කොහොමද මං අල්ලන්නේ ..............

අහසක් සේ දූ යන මග ................

පුඵන් වලා අතුරනවා ....................

එහෙමයි මගේ දෝණි..................

මං අල්ලන්නේ .................

පණවාගේ මගේ දූ ...............

මං රැකගන්නේ .................

--------------

ගී පද - නැසිගිය ආනන්ද හේවාරංහිඳගේ 
---------------------

ආනන්ද සමරකෝන් ගීයේ මානවකයා යුවතිය කොටුකර ගැනීමේ උපක්‍රමය කියාපාද්දී ඇය ඉන් මිදීමේ උත්සහයක් ගන්නේ යම්සේද, ඉහත නිර්මාණයේ පියාගෙන් මිදී යන්නට තැත් දරන දියණිය කොටුකරගන්නා ආකාරය ’පියා’ විසින් කියාපායි.


ආනන්ද සමරකෝන්  ගාන්ධර්වායා  - බී පී ලීලාවතී සිසුවිය (1942?)

ඔන් එහෙම මම ඔරුවේ නැගීලා මැණීකේ ලගට සැනේ

ඔව් හනිකට හනිකට හනිකට එනවා ඔරුවට නැගී මෙසේ

පීනනවා මම එතකොට එගොඩට මලුවෙකු වෙසෙනි

හීන් දැළක් දා අල්ලා ගන්නවා නොවෙද එවිට මැණිකේ ....

ගන්නවා එතකොට කුරුඵ වෙසක් මම රූං කියා යනවා ....

ඔව් එනවා එනවා පස්සෙන් එවනවා ගුරුඵ රජෙකු වෙමිනේ ....


එඩ්වර්ඩ් ජයකොඩි සංගීතවේදයා - නටාෂා පෙරේරා දැරිය  (2002?)

මහ ගංවතුරක් වීලා හරි වේගෙන් මම ගලනවා.............

මහ ගස්වැල් කඳුවැටි උදුරා පොළොවට දමනවා ............

අප්පච්චි කොහොමද මං අල්ලන්නේ ..............

මං මහ මුහුදක් වීළා දූ එනතුරු තනි රකිනවා ..............

ආදරයෙන් මග බලනවා තුරුලට ගෙන සනසවනවා .............

අතිශය ජනාදරයට පත් මෙකී සංවාද ගී සරණියෙන් මත් වූවන් අතර මහ සංගීතවේදී ’සුනිල් සාන්ත’ ද විය. ඔහු ආනන්ද සමරකෝන් ගේ සමකාලීන ශීල්පියෙකුව ඔහුගේ සංවාද ගී පෙළ ජනගත වූ යුගයේ එනම් 40 දශකයේ අගභාගයේදී ඔහු විසින්ම පද රචනා කොට සංගීතවත් කල සංවාද ගීයකට එකතුකරගත්තේ මේරී මාග්‍රට් පෙරේරා නම්වු තුදුස් වියැති දැරියකි. ඒ සංවාදය අයියා - නගෝ අතරය. මෙකී යුවතිය ගේ නාමය  කලාලොවට ඔබිනා ලෙස ’චිත්‍රා’ ලෙසින් නම්කරණ ලදුව සංගීතවේදී පී එල් ඒ සෝමපාල හා විවහප්‍රාප්ත වී ඇය එතැන් හි සිට ’චිත්‍රා සෝමපාල’ විය.

-------
ගායිකා  - චිත්‍රා සෝමපාල
----------


බෝවිටියා දං පඵකං වාරේ මේ නොවැ පොඩි නංගෝ .............

කුරුඳු කැලේ සුදු වැල්ලේ මාදං වැහි වැහැලා නංගෝ .......

සිහිවන විට තොල කටද තෙමෙයි නේ ..............

මා යනවා නංගෝ ....................

මා එමි සුදු අයියේ ..................

මා එනවා අයියේ ................

අයියේ යමු යමු සුදු වැල්ලේ ..................

------------------------

සවන්දෙන්න මෙතැනින් (1947 පමන මුල් පටිගතකිරීම)

එතැන්හි සිට නිරතුරුවම ගුවනින් ඇසුනු මෙකී අපුර්ව සංවාද ගීය, පසුව 70 දශකයේදී ගුවන් වදුලිය විසින්  ශ්‍රාවකයන්හට තිළිණ කරන්නට යෙදුනු ’මංගල වෙළඳ ගී’ තැටියට නංවා ජනගත කළේය. එය 1975 වසරේ නිකුත් කල ’කිරිකවඩි’ වෙළඳ තැටියයි.

එහෙත් ’කිරිකවඩි’ එළිදුටු යුගයේදී ’බෝවිටියා දං......................’ ගීතය වෙනත් ආරකින් නවමු නිර්මාණ්‍යක් ලෙස ගුවන් විදුලියෙන් ඇසෙමින් පැවතුනි. එහි ගී පද පෙළ තරමකින් මුල් ගීතයට වෙනස් වු අතර සහය ගායකයා ’සුනිල් සාන්ත’ යන්ගේ හොඳම ශීෂ්‍ය රත්නය වූ නැසිගිය ’අයිවෝ ඩෙනිස්’ ය. 

බෝවිටියා දං පඵකං වාරේ මේ නොවැ පොඩි නංගෝ ...........

කුරුඳු කැලේ සුදු වැල්ලේ මාදං වැහි වැහැලා නංගෝ .......

සිහිවන විට තොල කටද තෙමෙයි නේ ..............

මා යනවා නංගෝ ....................

බෝවිටියා දං බාළොලි පඵකං තරග ගොඩයි නංගෝ ..............


මා යන්නේ මේ වෙලටයි මා අත හැරයන්කෝ නංගෝ ..............

බාළොලියා බෝවිටියා කන්නෝ නරක ළමෝ නංගෝ .....

ඊයේ වාගේ ඕඵ නෙළාගෙන මම එන්නම් නංගෝ..........

බෝවිටියා දං බාළොලි පඵකං තරග ගොඩයි නංගෝ ..............


ඒ බොරුවට මා විහිඵ කලා නොවැ තරහද මගේ නංගෝ ....

රතට රතේ කජු පුහුළං ඔබදැක සැගවෙනවා නංගෝ ......

අපට එපා ඔය ලැජ්ජා වැඩි අය එන්න මෙහෙන් නංගෝ ...

බෝවිටියා දං බාළොලි පඵකං තරග ගොඩයි නංගෝ ..............


පුහුල් හොරා නම් කරෙන් දැනෙන්නා කීවා නොවැ නංගෝ...

සුදු ඔබේ දිව දම්පැහැ වූයේ කිමද අහෝ නංගෝ....

මටත් හොරෙන් ඔබ දං කෑවා නොවැ යසයි යසයි නංගෝ .......

බෝවිටියා දං බාළොලි පඵකං තරග ගොඩයි නංගෝ ..............


බෝවිටියා දං බාළොලි පඵකං තරග ගොඩයි නංගෝ ..............

සුදු ඔබේ කට අතට වඩා වේගෙන් යන්නා නංගෝ ...

ඊට වඩා පය ඉක්මන් කර ගෙදරට යමු නංගෝ.........

බෝවිටියා දං බාළොලි පඵකං තරග ගොඩයි නංගෝ ..............

------------------------

සවන්දෙන්න මෙතැනින් (1969 පමන මුල් පටිගතකිරීම)

මුල් ගීතයට වඩා වේගලයමානයකින් ගැයෙන මේ ගීතයේ සුවිශේෂිත්වය වනුයේ එහි වයලීනයෙන් වැයෙන මධුරතර අන්තර්වාදනයක්ද ඇතුළත් වීමයි.  

ඊර්ෂ්‍යා පරවශ බලධාරීන් ගේ කුමන්ත්‍රණයකට හසුව 1952 වසරේ දී ගුවන් විදුලිය හැරදමා යන්නට ගිය සුනිලුන් නැවතත් එහි කැඳවා ගත්තේ 1965 වසරේ පත්වූ ඩඩ්ලි සේනානයක රජය විසින් ගුවන් විදුලි නිසිබලධාරයා ලෙස පත්කරන ලද ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලදරු නෙවිල් ජයවීරයන් ගේ උපදෙස් අනුවය.  1967 පමණ වෙද්දී ඔහු ගේ දෙවන ගුවන් විදුලි ආගමනය සිදු වූ අතර එතැන් හි සිට ඔහු 1946 වසරේදී ’ඔඵ පිපිළා වෙළ ළෙල දෙනවා...............’ ගයමින් ඇරඹි මහා විපර්යාසය නැවැත්වූ තැනින් අරඹන්නට උත්සුක විය.

ඒ අනුව ලංකා ගුවන් විදුලි පර්යේෂණ ගී අංශය පිහිටුවන්නටද පෙරාතුව සුනිලුන් විසින් හුදකලාවම පර්යේෂනාත්මක ගී රැසක් ගුවන් විදුලියට දායද කරන්නට කටයුතු කෙරිණි. ’මධුර මධු’ නම් වූ ඒ සංගීතමය වැඩසටහනේ දී ඔහු වරෙක උඩැක්කිය පමනක් වාදනය කරමින් ගීයක් ගැයුවේ අයිවෝ ද සහගාගී කරවාගෙනය. ඊට ඔහු සාම්ප්‍රදායික ’අම්බලමේ පිනා’ ජනකවිය උපයෝගී කොටගත්තේය.


අම්බලමේ පිනා වළං කඳක් ගෙනා ............

ඒක බිඳපු ගොනා උඩ පැන පැන හිනා .....

අපේ ගමේ වළං හදන තුරුණු ලියන් ....

අතින් හදන නැවුම් වළං අගෙයි බොලං ....

------------------------

සවන්දෙන්න මෙතැනින් (1967 පටිගතකිරීම)

මහඇදුරු සෙනරත් පරණවිතාන කියවා වර්තා කරන ලද ’සීගිරී ගි’  අතරින් කිහිපයක් තොරාගත් ඔහු ඒවාට තනු යොදා ගයනා කරන්නට සිය ශිෂ්‍යා ’නාලිනි රණසිංහ’ ව සහභාගි කරවා ගත්තේය.

හමල්හලු ජහස්සිලු හස්සැන්ඩල්ලා ..............

අරිසෙන් අහුබුදු ශූරීන් විසින් ලියා දුන් සුප්‍රකට ’මහවැලි ගී’ ද්විත්වය බිහිවුනේ ද මේ යුගයේදීය.


වළාකුලෙන් බැස සමන් කුලත් වැඳ ...........

එලෝ බලා යනවා .........

අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඞ හඞා ඔහේ යනවා ..............

------------------------

 සවන්දෙන්න මෙතැනින් (1967 පටිගතකිරීම)


එම්බා ගංගා නවතිනු නවතිනු නවතිනු නවතිනු ගංගාවේ ............

කන්ද කපවු ගල් පෙරළව් වේළි බඳිවු ගම නොබිඳිවු ගංගාවේ .................

------------------------

’එම්බා ගංගා’ සවන්දෙන්න මෙතැනින් (1967 පටිගතකිරීම)

1970 වසරේදී පොල්ගොල්ල හැරවුම ට මුල්ගල තබමින් ඇරඹි ’මහවැලි මහ ව්‍යාපාරය’ වෙනුවෙන් එකී වසරේ විසිදෙවැනි නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ ’මහවැලි මහ ගීත නාටකය’ වේදිකා ගත කරන ලදී. එය පැවති රජ්‍ය නිලදරුවන්හට හිතවත් වූ ප්‍රවිණ පුවත්පත් කලාවේදී ’ධර්ම ශ්‍රී කුරුප්පු’ ගේ පබැඳුමකි සංගීතමය රසය කවන්නට මහ සංගීතවේදී ’සෝමදාස ඇල්විටිගල’ ඉදිරිපත් විය. 

1976 පොල්ගොල්ලේ හැරවුම’ විවෘත කරන්නට යෙදුනේ එවක පැවති ’සමගි පෙරමුණු’ රජයේ නියමු අගමැති සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය විසිනි. එවිට ගුවන් විදුලියට නිතර වාදනය කරන්නට ඉතිරිව තිබුනේ සුනිලුන් හැදූ මතු කී ගීත ද්විත්වය පමණි. එහෙත් ඊට ටික කලකට පෙර ’මහගම සේකර’ යන් විසින් පන්ඩිත් අමරදේව හා එක්ව ’මහවැලි’ ගීයක් නිර්මණය කර තිබුනු බැවින් ඒ මහෝත්සවය මහ ඉහළින් සමරන් දින එනම් 1976 ජනවාරි 08 දින රටටම ඇසෙන්නට ගුවන් විදුලිය මහවැලි ගීත ත්‍රිත්වයක් වාදනය කරන්නට යෙදුනි.

මේ වසර වෙද්දී නැවතත් ’සුනිල් සාන්ත’ ගුවන් විදුලියෙන් නික්ම ගොස් තිබුනත් ’රිජ්වේ තිලකරත්න’ නම් වූ පැණවතා මුල් පුටුව හෙබවූ ඒ යුගයේදී ’සුනිල් සාන්ත’ ව ගුවන් විදුලි උද ශනිදා සාදයට කැඳවා ප්‍රේමකීර්ති ද අල්විසුන් ලවා ඔහුව සුහද සාකච්ඡාවකට යොමු කරගන්නට කටයුතු යොදන ලදී. 

එය මෑත කාලීනව එනම් මීට දශකයකට ද එපිටදී ගුවන් විදුලිය විසින් නිකුත් කරන්නට යෙදුනු ’හඞ’ ගුවන් විදුලි සගරාවක පළ කර තිබුනි. 

----------------------------------------

මතු දිනකට ඉතිරිය තබනෙමි.....

-------------------------------------------------

පාදක සටහන්

මහවැලි ව්‍යාපාරය - විකිපීඩියා ජාල විශ්ව කෝෂය අනුව එය 1961 වසරේදී එවකට පැවති ලෝකයේ ප්‍රථම කාන්තා අගමැති ධුරය හෙබවූ සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය විසින් ආරම්භ කරන්නට කටයුතු යෙදුනු එක්සත් ජාතින්ගේ සංවිධානයේ මුල්‍යාධාර අපේක්‍ෂාවෙනි. එය අනුමතවි 1964 එය ආරම්භ කෙරිණි. දෙවන අදියර අග්‍රමාත්‍ය ධුරන්ධර ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ රජය විසින් 1967-68 වසරේ දියත් කරන ලද අතර එහි ජලාශ ව්‍යාපෘතියේ සමාරම්භය 1970 පොල්ගොල්ල ජලාශ ව්‍යාපාරය නමින් දියත් කෙරිනි. එකම විද්යුත් මාධ්‍යය ද රාජ්‍ය මාධ්‍යයද වූ ලංකා ගුවන් විදුලිය විශේෂිත වැඩසටහන් ඒ වෙනුවෙන් විසුරුවා හරින ලද අතර 1970 පෙබරවාරි 04 දින විසිදෙවැනි නිදහස් උත්සවයට සමගාමීව කොළඹ නිදහස් මන්දිරයේදී ධර්ම ශ්‍රි කුරුප්පු ගේ ’මහවැලි ගීත නාටකය’ ගුවන් විදුලිය විසින් රගදක්වන්නට යෙදිනි. අරිසෙන් අහුබුදු ශූරීන් විසින් පද රචනා කරන්නට යෙදුනු ඉහත සඳහන් ’එම්බා ගංගා....’ සහ ’වළාකුලින් බැස......’ 1967-70 යුගයේ සුනිල් සාන්තයන් සිය දෙවන ගුවන් විදුලි ආගමනයේදී සංගීතවත් කොට ගයන ලද්දේ මෙම ව්‍යාපාරයට සමගාමිවය. මන්ද යත් එය මෑත ලංකා ඉතිහාසයේ දැවැන්ත මුල්‍ය දායකත්වයක් සහිතව සිදු කෙරුණු දැවැන්තම සංවර්ධන ව්‍යෘපෘතිය ලෙස නම් කෙරුණු බැවිනි. 



1976 ජනවාරී මස 08 දින දාතමින් මහත් උත්සවාකාරයෙන් පොල්ගොල්ල ජලාශ ව්‍යාපෘතිය වැඩ නිමකොට විවෘත කරද්දී පැවතියේ නැවතත් සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ සමගි පෙරමුනු රජයයි. එය එදින ඇය විසින් විවෘත කිරීම නිමිත්තෙන් ගුවන් විදුලියේ ප්‍රචාරක දායකත්ව සඳහා ඉහත ගීත යුග්මයද ඊට අමතරව පහත ගීත ද වාදනය කරන්නට යෙදිනි


සිරිපද ලස සමනොළ සිරසේ - ගී පද - නැසිගිය මහගම සේකර - ගැයුම නැසිගිය පන්ඩිත් අමරදේව ඇතුඵ පිරිස 

ගංගා එන්නකෝ ගංගා - මහාචාර්ය සුනිල් ආරියරත්න - නැසිගිය අබේවර්ධන බාලසූරිය

බෝවිටියා, දං, පඵකං  - ගම්මානවල බහුලව දැකිය හැකි පඳුරු ශාඛ වන මේවයේ සිගිති ඵල ගැමි දරු දැරියන්ගේ ප්‍රියතම ආහාරයක් වූ අතර පෝෂ්‍ය ගුණයෙන් අනූන යැයි කියැවේ. 

---------------
දං
--------
--
--------
බෝවිටියා
---------


අම්බලම - පා ගමනින් දිර්ඝ චාරිකාවේ යෙදෙන සංචාරක වෙළෙන්දන් සහ මගීන් ගේ ගිමන් නිවාගැනීම පිනිස ගම්මානයේ ප්‍රභූන්ගේ හෝ පාලකකාරකාදීන්ගේ මැදිහත්වීමෙන් ප්‍රසිද්ධ මංපෙත් අද්දර ගොඩනගන ලදී. පොසීල ඉන්ධන වාහන සහ බයිසිකල් හඳුන්වාදීමත් සමග මේවා අභාවයට ගියේය. අදටත් ඒවා අතරින් සමහරක් පෞරාණිකත්ව රැකෙනා පරිදි සංරක්‍ෂකය කර තිබේ. කරින් කද රැගෙන ඔබමොබ සැරිසැරූ  මාඵ, සහ වළං කත් කරුවන් 80 දශකය දක්වා සුලභ දසුනක්ව පැවතියේය.













එදා ඇසුණු ගී - බ්ලොග් ලිපි සමූහය
10 නවම් මස 2023

4 comments:

  1. හරිම අගෙයි....ඒ සොඳුරු අතීතයේ අද නෑසෙන දුර්ලභ, සුමියුරු ගීත සහ ඒවායේ තොරතුරු සමඟ ම, අද දකින්න නොලැබෙන සේයා රූ සහිතව අංගසම්පූර්ණ ඉදිරිපත් කිරීමක්..
    පින් සිදු වේවා....

    ReplyDelete
    Replies
    1. මේ ඇගයීමට ඔබට ද හද පත්ලෙන් කෘතඥතාවය පළකරමි සහෘදනිය.

      මේ ලිපිය සිංහල ගීතයේ අතීත කතාවට කැමති රසිකයන්හට රසඳුනක් වේවා

      Delete
  2. බෝවිටියා දං පලු වැනි ඔක්කොම විතැන් වෙලා අයියෝ
    ඩකං දඩ බඩං ඩිං ඩොන් සද්දේ පෙරට ඇවිත් - දෙයියෝ
    මෙහෙම මෙහෙමවත් පරණ සිංදු ගැන ලියන්න තව ගොයියෝ
    කියවන්නට මේ ලිපි එක් වේවා - ඉතිහාසෙට ලැදියෝ

    ReplyDelete
  3. බෝව්ටියා යුගය ඉකුත්ව කල් ගතවීලා
    පරනවෙලා තිබුනද නවලොව පිබිදීලා..
    මිනිස් උතුරුදහම යුතුය පැවතී සැමදා...
    තිරිසන් මිනිසුන් අතරින් වෙනස මවාලා...

    ReplyDelete