බෝවිටියා දං බාළොලි පඵකං වාරය කැන්දූ- බක්මහ සැණකෙළිය ඉස්මත්තේ සැගව ගිය කෝකිල නාදය... හීන හඞින සිහින වගේ අදද එයි නැගී............02 කොටස
ඔහුගේ දිවිපවත තතු ඇතුළත් පුවත්පත් සහ වාරසගරා ලිපි ගණනාවක් පළවු අතර, එය හකුළා දක්වා මහඇදුරු සුනිල් ආරියරත්න විසින් පුස්තකයක් ලෙස පළකර දැනට දසවසක් පමණ ගතවි ඇත. ඔහු කළ කී බොහෝමයක් දෑ එහි සංගෘහිතය. ඊට අමතරව සුනිල් ගීයට පෙම්බැදී විජිත් කුමාර් සේනාරත්න විසින් ද එතරම් විසල් නොවු පුස්තිකාවක් පළ කරන්නට යෙදුනි.
සුනිල් සාන්ත පෑ ස්වර පෙළහර මහිමය අන් කවරෙකු කවර විටකදී අභිබවනය කරනු ඇද්ද ?
සංගීතය හොඳින් හදරා සුදුසුකම් ලැබ ඇති සුනිල් ආරියරත්නයන්ගේ පර්යේෂනාත්මක කෘතියේ දී ඔහු සුනිල් ගීතයන්හි න්‍යයාත්මක මූලධර්මයන් පිළීබඳව විග්‍රහ කර තිබෙන අතර ඒවයේ ස්වර ලිපිවල අපුර්වත්වය මතුකොට දක්වා එකී නිර්මාණයන් සර්වකාලීන විශීෂ්ඨත්වයෙන් ඔපවන්නේ කිනම් හේතු සාධක නිසාදැයි සාකච්ඡා කර තිබේ.
පහත දැක්වෙන්නේ එයින් උපුටාගන්නා ලද සටහනකි.
එම්බා ගංගා නවතිනු ගංගාවේ - සඩ්ජය සිය පංචමය (ස - රි - ග - ම - ප)දක්වා ස්වර පහකින් පමණක් මුඵ ගීතයට ගැයේ
ගුම් ගුම් ගුම් - තනි ස්වරයකින් නිපැයු ගීතයකි
ගං ගං ගං -සඩ්ජය සිය ගාන්ධර්ව (ස - රි - ග) දක්වා පමනයි
අදයි වෙසක් පෝදා - ඉහත පරිදිමය
අම්බලමේ පිනා (ස - රි - ග - ම) පමනයි.
ටිකිරි ටිකිරි ටිකිරි ලියා (ධ - නි අත්හැර අන් ස්වර)
(උපුටා ගැනීම අවසන්)
සුනිලුන් ගේ අඩසියවසක් ඉක්ම වූ දිවිමංපියසේ දී ඔහු පෑ මියැසිය පෙළහර ගෙනහැර පාන්නට වෙන්කර ගත හැක්කේ පුර්ණ වශයෙන් මුල් යුගයෙන් සත්වසක් පමණ හා දෙවන යුගයෙන් සතරවසක් ඇතුළත්ව පුර්ණ ලෙස එකළොස්වසකට ආසන්න කාලයකි.
එවන් කෙටි කාලයකදී සුනිල් සාන්තයන් ගෙතූ ගී කුසුම්දාමය සුගන්ධවත්ය. කාන්තිමත්ය... එමෙන්ම නෙකවර්ණයෙන් පරිපූර්ණය.
ජාතික ආගමික මහෝත්සවයන් සැමරූ 50-60 දශකයේ හෙළයන්හට එදවස ගුවන් විදුලියෙන් එනම් ඔහු දොහොත්මුදුනින් හිසනමා වැළඳගත් කුමරතුගු හෙළබසින් ’රෙදෙව්වෙන්’ ඊට සරිළන ගී රස වින්දනයන් නොළැබුනු සමයේ ඔහු ඒවා අරභයා එක් ගීතය බැගින් තනා දුන්නේය. ගයා දුන්නේය.
සිංහල අවුරුද්දේ ...........මංගල ගී සද්දේ ....
සිංහල අවුරුද්දේ......ඔංචිලි හැම පැත්තේ ...........
------------------------------------------
බුදුන් වඳින්නේ ....දහම් වඳින්නේ ....සගුන් වදින්නේ ...
අපේ මහා මගුල් දා ...............
------------------------
සවන්දෙන්න මෙතැනින් (1951? මුල් පටිගතකිරීම)
එහි රුසිරු නිසරු නොවේ. එහි රසය කැටිවු තැන් ගණනාවකි. ඔහු වරෙක විවියන් ද සිල්වා බොරලැස්ස නම් වූ ග්‍රැමෆෝන් ගායිකාව සමග ගැයු ගීතයක් පසුකාලීනව නෑසි ගොස් වියැකි අප්‍රකටව ගියත්, එහි සුවිශේෂත්වය වන්නේ එහි සහය ගායකයා ලෙස සුනිලුන් කටයුතු කිරීමයි.
රැල්ල නැගෙන්නේ.........වැල්ල බලා සරන්නේ .................
රැඳිලා බැඳිලා ...සයුර සොයා .... ...සෙමින් ඇදෙන්නේ ................
------------------------
සවන්දෙන්න මෙතැනින් (1950? මුල් පටිගතකිරීම)
ගුරු ඇසුර සොයා ගොස් ස්වර සප්තකයට අත්පොත් තබන නූතන යුගයේ ළපැටියන් හට මතුනොව වැඩිහිටියන් හට පවා මියැසි ඇදුරන් වෙතින් ලබන්නේ ’සුනිල් ගී ස්වර ලිපියකි’
හඳපානේ ...හඳපානේ හඳපානේ රෑ යාමේ .....
දියගොඩ හැමතැන කිරි ඉතිරේ ...
ගස්වැල් කිරිමුදේ කිමිදේ ...
මද මුදු සුළගින් අප නැළැවෙන්නේ ...
බැබැළෙන හඳපානේ ...........
------------------------
සවන්දෙන්න මෙතැනින් (1949? මුල් පටිගතකිරීම)
ජාතික මහෝත්සවයකදී ත්‍රිවිධ හමුදා බටහිර වාද්‍ය වෘන්දයන් වෙතින් නැග එන්නේ ද බොහෝවක් ’සුනිල් ගී’ ය. නැතහොත් සුනිල් ගී ආර පුර්ණලෙස අනුකරණය නොකරමින් එයින් ඇබෑසිය ලැබ නවමගක ගිය ’සී ටී’ ගී (ක්‍රිස්ටෝපර් ටියුඩර් ප්‍රනාන්දු) රසයන්ය.
ඒ මන්ද ? ඊට පිළිතුර සෘජුය. සුනිල් ස්වර සමාධිය එතරම්ම සරළය. එය කුඩා දරුවෙකුට පවා ආයාසයකින් තොරව සමවැදිය හැකි දැහැනකි. ලංකා හමුදා තුර්ය වාදකයන් නිතර වාදනය කරන්නට පුරුදු පුහුණු වූ සුනිල් ගී අතරින් එකකි මේ
සුවඳ රෝස මල් නෙළා ............
මාලයක් ගොතාලා .............
මගේ කොමළ සොඳුරියේ බඳිමි ඔබ ගෙලේ .................
------------------------
සවන්දෙන්න මෙතැනින් (1950? මුල් පටිගතකිරීම)
එක්තරා යුගයක (මේ සුනිලුන් ගුවන් විදුලියෙන් නෙරපූ අඵත 1952 පමණ වන්නට ඇත) එතුමෝ අගනුවර එදත් අදටත් එකසේ ජනාකීර්ණ බම්බලපිටිය කඩමන්ඩියේ එක්තරා ගොඩනැගිල්ලක ’මියැසි රස’ සොයන්නන් අරභයා ගුරුහරුකම් හලක් පවත්වාගෙන යමින් සිටියෝය. එදවස එහි ඇසුර ලැබුවෝ පසුව සිය අනන්‍යතාවය මනාව ප්‍රකට කරමින් තම තමන් විසින් තෝරාදැනකියනාගන්නා ලද මංපෙත් හි සැරිසැරූහ. සුනිලුන් නිසා පසුව හෙළ ගී කෙත සරුකළ මහරු ගාන්ධර්වයන් රැසක්ම එයින් බිහිවිය. හෙළ සිනමා සංගීතය මෙන්ම සී ටී ප්‍රනාන්දු ගී රසයට ස්වර ගෙත්තම් කළ ’පැට්‍රික් දෙණිපිටිය’ ශූරීන් ද , බටහිර ගීත කලාව වහකදුරු සේ ගුවන් විදුලිය පිළීකෙව් කළ යුගයක එහි රුසිරු ප්‍රකට කල ’කාන්ති වක්වැල්ල’ ද එයින් කැපී පෙනෙන්නේය.
1975 ගුවන් විදුලිය නිකුත් කල ’කිරිකවඩි’ තැටියට ’බෝවිටියා දං පඵ කං වාරේ ..... (මුල් ගීතය) සහ 1976 ගුවන් විදුලිය නිකුත් කළ ’සැළලිහිණියෝ’ එල් පී ගී තැටියට ’මිහිකත නළවාලා.....’ නම් වූ ’සුනිල් ගී’ ඇතුළත් කරන්නට එදා ගුවන් විදුලි බලධාරීන් උත්සුක වූයේ ඔහුව නෙරපා හැර තමන්ගෙන් පෙරකළ සිදූවූ මහා අසාධාරණය තුනි කරගන්නටදෝ යැයි සිතේ. එහි ඔහු සිය අදරණිය පියඹ ’ලීලා සාන්ත’ ගේ වරුණ ගයන්නේය. සිසු ’පැට්‍රික් දෙණිපිටිය’ සිය ආදරණිය ගුරුවරයා වෙනුවෙන් ’හවායන් ගිටාරය’ වැයිමේ භාග්‍යය උදාකරගත්තේය.
-------------------------සුනිලුන් සිය දයාබරිත අගසිසු අයිවෝ ඩෙනිසුන් සමග 50 දශකයේදී
----------------
මිහිකත නළවාලා ...........
මග මල් ගන්වාලා ...................
පාසල වෙත යන මේ........
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ ...
සුදුහෙළ සාරිය ඇඳලා හැඩකොට ...
ඉගවට රැලි ළෙලවා..... දිගුනිල් වරළස පීරා නිසිලෙස ...
මල් ගවසා බැඳලා ...
ගෙලවට මුතුමාලේ ....
දෝතේ වළලු සැලේ ....
සිරියා සපුරා ..පිරියා පතුරා ...
යන සුරතල් ’ලීලා’...................
(ගී පද - හියුබත් දිසානායක)
------------------------
සවන්දෙන්න මෙතැනින්
නැවතත් අනතුරුව පැමිනි වසරේ දී, ගුවන් විදුලිය ඔහු උදෙසාම එල් පී තැටියක් නිකුත් කරන්නට යෙදී එය ’සුනිල් ගී’ ලෙසින් නම්කළේය. ’දුදොනොද බිඳ’ සහ ’හෝ ගා රැල්ල බිඳේ’ හැර එහි වැඩිමනත්ව ඇතුළත් වූයේ ඔහුගේ ගීත අතර එතරම්ම රසික ප්‍රසාදයට ලක් නොවූ පහත දැක්වෙන ගීතයන්ය.
සුන්දර හිමිදිරියේ....
සුමනෝ..............
ලලිත ලවංග.................
කුරුඵ ආදරේ සතුටු සාගරේ...................
රාම වැළපිල්ල .........................
සාලිය ආලය...................
ලංකා .........................
සිරිලංකා ...ලංකා ..... සිරිලංකාර ලංකා ...................
ලංකා ..ලංකා....ලංකාර ලංකා ..............
------------------------
සවන්දෙන්න මෙතැනින්
පළමු කොටසේ සඳහන් වූ ලෙස 1967 වසරේදී ’සුනිලුන් ගේ ගුවන් විදුලි පුනාරාගමනය’ සිදුකරදෙන්නට මුල් වූ විරුවාණෝ ලංකා ගුවන් විදුලි දෙපාර්තුමේන්තුව ’ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව’ ලෙසින් පුනරුප්පත්තිය ලැබූ සමයේ එහි නියමුවා ලෙස පත්ව ආ ප්‍රවිණ පරිපාලන නිලදරු ’නෙවිල් ජයවීර’ ය. දෛවෝපගතව රතන්ජංකර් විසින් 1952 වසරේ ’සුනිලුන්’ ඉලක්ක කොට සිදුකල ’හඞ පරික්‍ෂනය’ වැන්නකදී ඔහුගේ අනුප්‍රාප්තිකත්වය දරන්නට 1967 වසරේදී සුනිලුන්ටම ආරධනා ලැබිනි. එහිදී ඔහු සමගින් පන්ඩිත් අමරදේව සහ මේ දෙදෙනාටම වඩා ලාංකීය ගීත ක්‍ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකු වු මාතර එච් ඩබ්ලිව් රූපසිංහ ද (ග්‍රැමෆෝන් යුගයේ හිස් මාස්ටර්ස් වොයිස් ලේබලයේ සංගීත අධ්‍යක්‍ෂ - 1920-1940) ද ඒ මන්ඩලය නියොජ්නය කරන්නට යෙදිනි.
සුනිලුන් එතැන්හිදී එදවස අධුනිකත්වයෙන් මිදෙමින් සිටි ’නන්දා මාලිනී’ ගායන ශිල්පිනිය ට ’විශිෂ්ඨ ශ්‍රේණිය’ නිර්දේශ කළ බව කියැවේ. එතැනින් නොනැවතුනු ඔහු එකි දශකයේ බටහිර පොප් ගීත වේග රිද්ම දිදුළන තරුව ’සිරිල් ටියුඩර් ප්‍රනාන්දු’ ගායන ශිල්පියා හටද ’විශිෂ්ඨ ශ්‍රේණිය’ නිර්දේශ කළද සෙසු සාමාජිකයන් දෙදෙනා විසින් එය ප්‍රතික්‍ෂේප කරන ලද බව ද වාර්තා වේ.
(උපුටාගැනීම ’සුනිල් ආරියරත්න කෘතිය)
එතැන් හී සිට දෙවසරක පමන කාලයකදී ගුවන් විදුලි සංස්ථාවට යමින් එමින් ඔහු ’මධුර මධු’ ’පංච මධුර’ සහ ’සීගිරී ගී’ සංගීතමය විචිත්‍රාංගයන් ඔස්සේ පර්යේෂනාත්මක ගීත රැසක් දැයට දායද කළේය. පෙර සඳහන් වූ ’අම්බලමේ පිනා’ ’ටිකිරි ටිකිරි ටිකිරි ලියා’ ’එම්බා ගංගා’ ’වළාකුලින් බැස’ ’තෙල් ගාලා හිස පීරන් නෑනෝ’ ’හමල් මරු ජහස්සිඵ හස්සැන්ඩල්ලා...(සිගිරී ගී), ’ගුම් ගුම් ගුම්,’ ’ගං ගං ගං....’ ඒවායේ ඇතුළත් විනි.
1970 වසරෙදී සිදුවූ දේශපාලන පෙරළියේදී සුනිලුන් නැවතත් ’ලක් රෙදෙව් පොළ’ ට ආයුබෝවන් කීවේය.
ඒ යුගයේ තමන්ගේ ’වරෙන් හීන් සැරේ රිදී වළාවේ ...’ ගීතය ගුවනින් ඇසෙද්දී සුනිලුන් ගීතයේ එක්තරා වදනක නුහුරු බවක් හැගී ඒ පිළීබඳව විමසිමේ ඵලය වුයේ එය තම හඞ නියමාකාරයෙන් අනුකරණය කළ යව්වනයෙකුගේ කාර්යයක් බව දැන කියා ගන්නට ලැබිමයි. තමන්ගේ ගී අනුකරණය කරණවා යැයි දෙස්දෙවෙල් තබමින් සාප කරන්නෝ එදත් අදත් එමට සිටිද්දී, සුනිලුන් ඔහු සොයා ගොස් සිය සිසුවෙකු බවට පත්කරගත්තේය. ඉන් නොනැවතී තමා වෙනුවෙන් සිය කුඵඳුල් සිනමා සංගීත කර්තව්‍යයේ භාරදුර වගකීම පවරා ඔහුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සහ සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රනි විජයබන්ඩාර යන යව්වනයා සහ යුවතිය සමගින් භාරත දේශයට පිටත් කර හැරියේය. 1956 රේඛාව ගීත සමුච්ඡයේ උපතට ’අයිවෝ ඩෙනිස්’ නාමය ගෑවි ගියේ එයාකාරයෙනි.
මහ ගානධර්ව සුනිල් සාන්ත පිළිබඳව ලියැවුනු සටහන්, කෘති, අන්තර්ජාල තොරතුරු, විස්තර පත්‍රිකා, දැන් දැන් නොවිරළය. ඔහු ගැයූ ගීත ද සංඛ්‍යාත්මකව අල්පය. වානිජමය අරමුණු උදෙසා ඔහු සිය නිර්මාණ කැප කරන්නට සිතුවේ නම්, ඔහුටද එක්තරා කලක දහසින් බැඳි පියළි ලබන්නට තිබිණ. එහෙත් දැඩි ප්‍රතිපත්තිගරුක සුනිලුන් මුදලට තමා ජන්මයෙන් උරුමකරගත් ප්‍රතිභාව සහ වෙහෙස මහන්සියෙන් ප්‍රගුණ කරගත් කලාව විකෙනෙන්ට ඉඩ හැරියේ ඔහු නොවේ.
සිය ආත්ම ගෞරවය, උගත් ශීල්පය මුදලට කිසිවිටක පාවා දෙන්නට සිහිනෙන් හෝ නොසිතු ඔහු තමන්ට එසේ කරන්නට ලැබුනු අවස්ථාවන් අඵයම ලූ කෙළපිඩක් සේ බැහැර කළේය. සිය පියඹ සහ පාසල් වියේ කුඩාවුන් සතර දෙනෙකු සමග ජා ඇල දෙහියාගත හුදකලා අබලන් නිවසකට ගාල් වී කැඩිබිඳි ගිය අබලන් රේඩියෝ යන්ත්‍ර අඵත්වැඩියා කිරීමේ කටයුත්තක නිරත වි සිටිම ඊට වඩා අගය කලේය.
’රොමියෝ ජුලියට්’ කථාවක් තිර රූපරාමු පෙළහර වෙනුවෙන් මියැසි නාද පෙළහර පාන්නට අවසර ලත් ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් හට එහි අයිතිකරුවන් වෙතින් අභියෝගයක් එල්ල වි තිබිණි. ඒ එදවස බටහිර සංගීත ලෝලීන් පමණක් නොව බටහිර ගීතයට ලැදි පෙරදිග ලෝ වැසියන් ද නැළවූ ’ජිම් රීව්ස්’ ගේ ගීතයක් ඊට එකතු කර දෙන ලෙසය. ඒ දැවැන්ත කාර්යය සිහිනය සැබෑ කරදීමේ ඉටුදෙවියා ’සුනිල් සාන්ත’ බව මියැසි සත්සර කලාවේ කෙළපැමිනි ’ෂෙල්ටන් ප්‍රේමරත්නයන් දැන සිටියද ඔහුව ඊට එකග කර ගැනීමට වඩා පිහාටු සහිත ඉබ්බන්ගෙන් සොයා යෑම ලෙහෙසි බව ඔහු හොඳින් අවබෝධ කරගෙන සිටියේය.
වාග් ප්‍රහාර, බැණ අඞගැසීම්, ප්‍රතික්‍ෂේප වීම් එකපිට එක මැද ’මර්සලිනු ජයකොඩි’ පියතුමාගේ සරණ පැතීමෙන් ඒ කඩුල්ල පැන ගන්නට ඔහු සමත්විය.
My Dreams are Roses for My Love..............
------------------------
සවන්දෙන්න මෙතැනින්
බී බී සී ගුවන් විදුලියේ හෝ වෙනත් බටහිර රටකදී වදනය වන්නට ඇද්දැයි නොදනිමු. එහෙත් එසේ වූවා නම් ඔවූහු එය ’ජීම් රිව්ස්’ ගීතයක් නොවෙතැයි කෙසේ අදහනු ඇද්ද ?
’සුනිල් ගී’ නිදහනේ අතීතාවලෝකනයෙන් මිදීයන්නට එතරම් පහසු නොවේ. එය යළි යළිත් සිතුවිළි රැහැන් පටයන්හි වෙළෙමින් ඇදීඑයි.
පෙරකී අල්ප සංඛ්‍යාත සුනිල් ගී එනම් ගුවන් විදුලි සුනිල් ගීතාවලිය අතරින් තෝරාගත් ගීත සංඛ්‍යාවක් යළි යළිත් වාදනය කරන ප්‍රධාන ධාරාවේ මාධ්‍යය ඔහුගේ සැගවුනු එහෙත් සුනිල ගී සර මතුකර ගන්නට උත්සහ නොදරනු පෙනෙයි. ’70’ දශකයේ නිතර ගුවන් විදුලියෙන් ඇසුනු එක්තර ගීයකදී සුනිල් මෙසේ කියයි.
ආසිරි ආසිරි ආසිරි වේ ලංකා...............
උතුර නැගෙනහිර බටහිර දකුණට ..........
සිව්දිග එක්වි එකම දැයක් වී ..........
එක කොඩියේ සෙවණ ලබා ...
පෙරටම යමු ලංකා ....
------------------------
සවන්දෙන්න මෙතැනින්
උත්තර භාරතිය රාගධාරි සංගීතයේ නියමුවෙකු ව සිටි සුනිලුන් එහිදි ද බටහිර ගීත කලාවේ සිද්ධාන්ත අනුව යමින් සිය නිර්මාණය එළිපෙහෙළි කරගන්නට සිතුවා f්ස්ය. එහි ආසිරි වේ ලංකා .............පසුබිමෙන් රැව් දෙන්නේද ’ආසිරි ...ආසිරි...........’ ප්‍රතිරාවයයි.
මතු කී ’බෝවිටියා දං පසු නිර්මාණය හා සමවන සේ මෙහිදීද සුනිල් ගී රසයට එතරම් වැද්දා නොගත් ’අන්තර් වද්‍ය සංගීත රටා’ පොඩියක් ඇතුළත්ය
සුනිල් සාන්තයන් සිංහල සිනමා කලාව හා සුසැදි සංගීතය හා එක්වු අවස්ථා විරළය. 1960 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ දෙවන සිනමාකෘතිය වූ ’සන්දේශය’ තනු නිර්මාණය කිරීමෙන් පසුව ඔහු 1969 තිරගත වූ ජී ඩී එල් පෙරේරා ගේ ’රෝමියෝ ජුලියට් කථාවක්’ වෙනුවෙන් ඉංග්‍රිසී ගීතයක් ගයන්නේ එවකට බටහිර සංගීත ලෝලීන් උන්මාදයට පත් කල ’ජිම් රිව්ස්’ ගී හඞ හා සමපාත වන ලෙසිනි. එහි සංගීත නිර්මාණය ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න ගෙනි.
1975 තිරගත වූ ’කොළඹ සන්නිය’ නම් විකට සිනමාපටයේ ගීතයකට ඔහු සංගීතය සැපයූ අතර එය ඔහු සිංහල සිනමාව හා සබඳතා පැවැත්වූ අවසන් වාරය විය. අවසනාවකට එකී සිනමාපටයද ගීතය ද අසාර්ථකත්වයේ අඳුරු අහුමුඵ කරා තල්ලු වි ගොස් රසිකයන්ගේ මතකයෙන් බැහැරව ගියේය.
දුම්බර දුම්බර දුම්බර බාගේ ..........
ගින්දර වාගේ දුම්බර බාගේ ...............
දුම්බර දුම්බර දුම්බර බාගේ................
(සහය ෆේරේඩී සිල්වා )
සුනිල් ගී රසවිඳින්නන් හට සංයමය හික්මවා ගත් ශ්‍රවණේන්ද්‍රිය මෙන්ම විවේක බුද්ධිය ගීත රසවින්දනයේ පරිණත බව තිබිය යුතුය. ’සුනිල් ගී’ ශ්‍රාවකයා ගේ සවන් තූර්ය භාන්ඩයන්ගෙන් නංවන ඝෝෂාවෙන් පුරවන්නේ නැත. හදවත කම්පනය කරන්නේ නැත. ඒ ගී පදමාලාවන්ගේ එකකදු හෝ ඕලාරික ප්‍රේමවිලාපයන් හෝ විරුද්ධ ලිංගිකයා වෙත කරන නිවට නියාඵ ආයචනාවන් ගේ සේයාවකුදු නැත. මිනිස් ආවේගයන් තීවර කර නොසන්සුන් කරවන්නේ නැත. ඒවන් ගීතයන්හට සවන් හුරුපුරුදු කරගත්තෝ හට ’සුනිල් ගී’ මිහිර දැනෙන්නේ නැත, වැටහෙන්නේ නැත. සෞන්දර්වාදී මුනිවර මනස් ඇත්තෝ පමණක් ඒවායේ අගය මනාව දැන වටහාගෙන මේ මුණිවර ගාන්ධර්ව උතුමාණෝ හට සිතින් බුහුමන් පුදනු ඇත්තේය. වරෙක ඔහු ගේ 50 දශකයේ ගුවන් විදුලි සංගීත අභ්‍යාස වැඩසටහනකදී ඔහුම පවසා ඇති පරිදි හොඳම සංගීත භාන්ඩය ’මිනිස් කටහඞ’ ය. ’සුනිල් ගී’ ඊට මුල්තැන් දී තිබෙනායුරු මනාව පසක්වන්නේය.
සිය රැකියාවෙන් නෙරපා දමන ලදුව දයාබර පියඹ ගේ ගුරු වෘත්තියෙන් ලබන සුඵ වැටුප ද පරණ අබලන් රේඩියෝ සහ කැමරා අඵත්වැඩියා කිරීමෙන් ඉපැයූ මුදලද යන මේවයින් දිවිගැටගසාගත් එතුමෝ අපමණ දුක් පීඩා හිරිහැර කම්කටොඵ අනුභව කරමින් ආදරණිය පුතුන් තිදෙනාම ලක් මව්පියන්ගේ නොහිම් සිහින පැතුම වූ සිය දරුවා ’වෛද්‍ය’ ’ඉංජිනේරු’ පදවි ලැබිමේ කරුණ අනුවම ’පේරාදෙණිය සරසවියේ’ ඉංජිනේරුවරුන් ලෙසද එකම දුවනිය ’කලා සාන්ත’ එහි පශූ වෙදදුරෙක් ලෙසද දිවි මග ජයගන්නට යොමු කළේය.
1977 වසරේදී හැමු දේශපාලන කුණාටුවෙන් පසුව, සුනිලුන් තෙවැනි වරට ගුවන් විදුලියට සම්බන්ධ වූ බවක් වර්තා වන්නේ නැත. 1981 වසරේදී පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පිඨයේ සාමාජිකයෙකු වූ සිය දෙවන පුතු ගේ අකල් වියෝවෙන් දැඩි ලෙස කම්පනයට පත් වූ ඔහුට එයින් මිදී පියවිලොවට පිවිසෙන්නට වාරු නොලද්දා සේය. ඒ වසරේ රබන් සුරල් - කොවුල් ගී නාදය දසතින් නැග එද්දී දැයේ කලාරසයෙන් මත්වූවන්ගේ පිනට පහළ වූ ඉටුදෙවියෙකු බඳු වූ මේ හෙළ ගාන්ධර්වයා ලක්මවගෙන් සමුගත්තේය.
සුනිල් ගී ඔවිල්ලේ වරුණ අංශූ මාත්‍රයකින්
ආදර නදියේ පීනමු පිරියේ ... හියුබත් දිසානායක
හඳපානේ රෑ යාමේ - සුනිල් සාන්ත
සුවඳ රෝස මල් නෙලා - හියුබත් දිසානායක
කුරුඵ ආදරේ - හියුබත් දිසානායක
නැළවි සැනසෙන්නේ මාගේ සුදු ඕලු මලේ - සුනිල් සාන්ත
මිහිකත නළවාලා - හියුබත් දිසානායක
කුරුඵ පරාදීසයේ කුරුඵ සීන සාගරේ - තිලක සුදර්මන්ද සිල්වා
මෙවන් පිටිසරේ මේ දුගි පැලේ - හියුබත් දිසානායක
කෝකිළයන්ගේ කෝකිළ නාදේ - හියුබත් දිසානායක
දුදු නොද බිඳ - රැයිපියෙල් තෙන්නකෝන්
ලංකා ලංකා පෙම්බර ලංකා - අරිසෙන් අහුබුදු
මල් මල් ගුමු ගුමු ගන්වන්නේ- කැලිස්ටස් ජයසිංහ
කොන්දක් ඇති එවුන් ලන්දට එලවාලා
ReplyDeleteකොන්ද නැති එවුන් අබිසෙස් කරවාලා
තබන රටක ඉපදීමේ පව ගෙවලා
සුනිලුන් ගියෝ ඉක්මනින්ම නික්මීලා
එතුමන් දිවිසැරිය කවුරුත් දත යුතුය
එයින් ගැනෙන උත්තම දේ ගත යුතුය
නිවටුන් ලෙසින් ජීවත් වී පල නැතිය
මළත් අමර වු විරුවා සුනිලුන්ය!!!