සාරපූජීත සාර ගර්භ සාරවිට පවත................. ඈත අතීතයක තිරයක ඇඳුනු ජවනිකා ...............
සෙංකඩගල ඇසළ පෙරහැර සමය මෙන්ම දිවයිනේ වෙනත් ආගමික උත්සවයන්හිදී එක්රොක්වන මහජනකාය ඉලක්ක කරගෙන තොරොම්බල්, මණිබඩු, රසකැවිලි, ළමාක්‍රිඩාභාන්ඩ කරුවන්ද එහි රොඳ බැඳ ගනිති. ඔවුන් අතරින් ඇතැමෙකු සිය වෙළඳ භාන්ඩයේ ප්‍රචාරනය උදෙසා විවිධාකාර ඇඳුම් අයිත්තම් වලින් සැරසි සිටිති. හිස ලා ගත් විකාර හිස්වැසුම් සහ ගත දැවටුනු විසිතුරු ඇඳුම් ඒ සඳහා මහෝපකාරි වේ. දැන් දැන් මෙවැන්නන් දක්නට ලැබෙන්නේ කලාතුරකිනිනි. ඔවුන්ගේ පෙරකී නිලඇඳුම් ද දැන් දකින්නට නැත්තේය.
දිළීසෙන පීත්ත පටි වලින් සැරසී ගත් බාච්චු කලිසමක් හා ඊටම ගැළපෙන කබායකින් සැරසි උරහිස මත රුව ගත් පටියකින් සම්බන්ධ වූ සෘජුකෝනාශ්‍රාකාර පුවරුවක එක සිරූවටම අසුරනු ලැබූ දේදුනු වර්ණයෙන් හැඩගැන්වූ පොල්කුඩු බුලත් විට ගොටුවල දවටා පුවරුවේ සකස් කළ රටාව මනහරය. ඔහු ’සාරබුලත් විට’ කරුවාය.
මින් අඩසියවසකට ද දුර ඈත යුගයකදී, සමාජය සංකීර්ණත්වයෙන් ඔද්දල් නොවු සමයේ රත්නපුර සමන් දේවාල පෙරහැර අවධියේ ගම්මානයක සිට එහි පැමිණෙන අවිහිංසක සාරබුලත් විට කරුවා ’ගුණහාමි’ ගේ දසුන මනසේ රුවාගත් විසිඅට හැවිරිදි මානවකයෙක් එකී ජීවන පුවතේ ඇතැම් සිදුවිම් ද පාදක කොටගෙන එක්තරා වෘතාන්තයක් ගොඩනැගුවේය.
ඒ වෘතාන්තය හැඩවැඩගන්වන්නට තවත් අය හවුල්කරගත් ඔහු එතැනින් නොනැවතී එය එදා පැවති නවිතම මාධ්‍ය කලාවෙන් එය ලක්දනන් වෙත තිළින කරන්නට ඉටාගත්තේය.
ඒ අනුව ’ගූණහාමි’ ’සාරයියා’ නමින් යළිඋපන්නේය. කාත් කවුරුවත් නැති අසරණ සාරයියා දිවිගෙවන්නේ හදාවඩාගත් අනාථ දරුවෙකු සමග ලෑලිපෙට්ටි නිවාස පේළියකය. සාරයියා එනම් ගුණහාමි ගේ හද සනසවන්නේ ද තනිය මකන්නේ ද කුඩා ’නන්දසේන’ ය. ඔහු ඇතැම් දිනවල දරුවා අසල්වැසි නිවසේ රඳවා කඩමන්ඩියට සිය සුපුරුදු රාජකාරිය කරා යයි. එහි මව සහ ඇගේ යොවුන් දියනිය කුඩා නන්දසේනව බලාකියා ගනී.
දාමරික ’මාකස්’ ගේ නිතිවිරෝධී මත්පැන් ව්‍යාපාරයේ නිෂ්පාදන ගුණවත් ’සාරයියා’ ගේ නිවසේ රඳවා තබා ගැනීමේ ඉල්ලිම ඉටුනොවී තිබියදී, කෝප සහගත වන ඔහු සාරයියා ගේ නිවසේ කොලුගැටයා එයින් ඉවත්කරවා ළමා නිවාසයක රඳවයි. ඒ ළමා නිවාසය ’ඉමාරා’ ගේ පවුලේ ව්‍යාපාරයකි.
ළමා නිවාසයේ පාලිකාව ’දේවිකා’ ය. ඇය සරයියා ගේ භාරයේ සිටි අනාථ දරුවාට මවකි පියෙකි. ධනය සහ බලය මෙයින් සන්නද්දධව සිටින ’ඉමාරා’ දේශපාලනයට පිවිස නිතර වන පළමු ඡන්ද සටනින් නිර්දය ලෙස පරාජයට පත්වීම නිසා තමන්ගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය නන්දසේන සහ දේවිකා ඇතුඵ පිරිසගේ ’ළමා නිවාසය’ වසා දමයි.
ගුණයපතින් අනූන ගුණහාමි ට දිවයිනේ ප්‍රකට ලොතරැයියකින් ’පළමු ත්‍යාගය’ ලෙස මහත් ධනස්කන්ධයක් හිමි වෙයි. එය මුලධනය ලෙස යොදා අනාථ වන්නට ගිය ළමා නිවාසයේ අසර්ණ දරුකැළ වෙනුවෙන් ඔහු නිවසක් මිළඳි ගෙන සිය වියදමින් නව ’ළමා’ නිවාසයක් අරඹයි. තමා සතු වූ සියඵ ධනය අනුන් වෙනුවෙන් වැයකළ ’ගුණහාමි’ ඒ නිසා නැවතත් ද්‍රරිද්‍රතාවයේ ගැළියයි. නැවතත් සිදාදිය වෙත පිවිසෙන්නේ සුපුරුදු ’සාරවිට තට්ටුව’ උරහිසේ රඳවාගෙනය.
පාවුඵ මුදලාලි - තිලකසිරි ප්‍රනාන්දු
මාකස් - ආධූනික රංගන පෞරුෂය - වොලී නානායක්කාර
සෝමේ (මාකස් ගේ සහය දාමරිකයා) - බන්දු මුණසිංහ
මව - ජෙසිකා වික්‍රමසිංහ
දියණිය නෙරංජලා - සුනිලා ජයන්ති
ඉමාරා - ප්‍රවිණ රංගනශිල්පිනී ජීවරාණි කුරුකුලසූරිය
දේවිකා - ප්‍රවිණ රංගධාරිනිය ශෝබනී අමරසිංහ
----------------------------
සිංහල සිනමාව එකාලෝක කල එය මධුර මනෝහර ගීත රසයෙන් නැහැවූ ප්‍රමුඛතම සිනමාවේදීන් ගේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු නාමයන් අතර
ශේෂා පළිහක්කාර
ටයිටස් තොටවත්ත
කේ ඒ ඩබ්ලිව් පෙරේරා
තිස්ස ලියනසූරිය
වෙසෙසින් සඳහන් කළ යුතුය. ඔවුන් සතර දෙනා එකම සිනමා නිර්මාණයක් උදෙසා සිය ප්‍රතිභාපූර්ණ නිර්මාණ කෞෂල්‍යය යොමුකලේ නම් එය එදාමෙදා තුර සිංහල සිනමාවේ විශිෂ්ඨතම නිර්මාණයක් බවට පත් විය යුතුමය.
එය එසේමය 1966 වසරේ පැවති තෙවැනි සරසවි සම්මාන උළෙලේදී සම්මාන ගණනාවකින් පුදලබන්නට ඔවුන් පිරිස ගේ දායකත්වය ලැබු සිමාසහිත සෙරන්ඩිබ් සමාගමේ ’සාරවිට’ සමත්විය. එය සාරයියාගේ කථාවයි.
ඉහත කී දැවැන්තයන් අතර විසිනවහැවිරිදි ළාබාළතමයා ’තිස්ස ලියනසූරිය’ එකී සිනමා උළේලේදී විශීෂ්ඨතමයා බවට පත්වීම කොතරම් අපුරු සිදුවිමක්ද ? ඒ මින් අඩසියවසකට පෙර බොහෝ ඇසූ පිරූ තැන් ඇති තාරුණ්‍යයයි.
ඉහත කි විශිෂ්ඨයන් ගේ සහයට එකතු වු සෙසු පිරිසද ඔවුන්ට නොදෙවෙනි විශිෂ්ඨයෝ වූහ
’සාරවිට’ එදාමෙදාතුර සිංහල සිනමා ඉතිහාස වංශ කථාවේ නොමැකෙන සළකුණු තබන්නට සමත් වූ සිතුවම් පටයක් බවට හරවන්නට මෙම කන්ඩායම එක පොකුරට එකට එක්වූහ. එය තුන්වන සරසවි සම්මාන ප්‍රදානයේදී සම්මාන පොදියක් එකවර තුරුඵකරගැනීමේ වාර්තාවට හිමිකම් පෑවේ පහත අයුරිනි.
හොඳම අධ්‍යක්‍ෂ - තිස්ස ලියනසූරිය
හොඳම කලා අධ්‍යක්‍ෂ - දයා කරුණාරත්න
හොඳම සංස්කාරක - ටයිටස් තොටවත්ත
හොඳම තිරකථාව - කේ ඒ ඩබ්ලිව් පෙරේරා
හොඳම රංගනශිල්පියා - ජෝ අබේවික්‍රම
හොඳම ගී පද රචක - මහගම සේකර (මේ සිංහල අපගේ රටයි)
හොඳම ගීත නිර්මාණය- පන්ඩිත් අමරදේව (මේ සිංහල අපගේ රටයි)
හොඳම ගායනය - නන්දා මාලිනී (මේ සිංහල අපගේ රටයි)
’මේ සිංහල අපගේ රටයි............’ යන සිරසෙන් මහගම සේකර නම් අති විශීිෂ්ඨ සාහිත්‍යවේදියාණන් ලියූ සම්මානනීය දෑ අබිමන් ගීතය පසුකාලීන බොහෝ මාතෘකා මැව්වේ ජනවාර්ගික ගැටඵව කරළියට පැමිනෙද්දීය. එක්තරා කාලයකදි පොදු ජනයාට ඉතිරිව තිබු එකම විද්යුත් මාධ්‍යය වූ ’ලංකා ගුවන් විදුලි සේවය’ වෙතින් ඊට ලැබුනු හරසර තුනි වී ගීතය හුදකලා වි ගියේය. ඓහෙත් ’සාරවිට’ නැරඹු ළමා - තරුණ - වැඩිහිටි පරපුරේ හදවත් වලින් පළවා හරින්නට අසමත් වූ එකී අපුර්ව ගීතයේ අනුවාදනය 70 දශකයේ දිවයිනේ විශිෂ්ඨතම පාසල් තූර්ය වාදන අනුවාදනයක් බවට පත් වි එදා අපවන් කුඩා පාසල් සිසුන් ගේ කුතුහලය අවුස්සා තැබීය. ඒ වාදනය කරන්නේ ඒ වනවිටද (1979) වාර්තාව නොබිඳි තිබුනු සිංහල සිනමාවේ අති විශිෂ්ඨතම ගීතය බව සිගිති අප දැන සිටියේ නැත. තූර්ය වාදක කන්ඩායම ගමනේ නොයෙදී සුපුරුදු තූර්ය වාදන සංදර්ශන ඉදිරිපත් කරද්දී ඒ ගීතයේ රිද්මය ඊට මොනවට ගැළපී ගියේය.
කෙසේ හෝ 1979 වසරේ දී අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ’සංගීතය’ විෂය නිර්දේශය ට ඇතුළත් වී පැවති ’මේ සිංහල අපගේ රටයි’, පාසලේ සංගීත විෂයය හැදෑරූ අපවැනි දරුවන් ගේ පළමුවන ’සංගීත පාඩම’ විය. එහි ගී පද සටහන් පොත්වල ලියාගත් අපි සංගීත ආචාර්යතුමා ගේ මග පෙන්වීම අනුව එය එකාවන්ව ගායනා කලේ ඔහුගේ නියමය පරිදි නියමිත ලෙස ස්වර පරාසයේ පිහිටමිනි. එහෙත් ඔහු එදා එය එතැන් හි සිට දසවසකට පමන පෙර යුගයක තිරගත වු ජනප්‍රියතම සිනමා කෘතියක ඇතුළත් ගීයක් යැයි කියාදෙන්නට අමතකව යන්නට ඇත.
සංගීත කලාවේ ඇසූපිරුතැන් සපිරි මහ ගුරුවරයෙකු වූ පන්ඩිත් අමරදේවයන් එහි එක්තරා පදයුග්මයක ’අප උපදින....................මැරෙන රටයි’ කිසියම් කාල විරාමයක් තබා සුගායනීය බව තිව්ර කර ඇති අතර එය එදා අප විසින් අකුරටම පිළිපැදිය යුතු විය.
ගී පද සංකල්පනාවන් මවා සාහිත්‍ය කලාවේ විස්කම් දස්කම් පෑ ’මහගම සේකර’ ද තනු නිර්මාණය කරමින් සංගීත කලාවේ මහත් පෙරළියක් කල පුරෝගාමි පන්ඩිත් අමරදේවයන් ද ගුණහාමි ගේ භූමිකාව රගදක්වන්නට සිනමා කලාවේ දැවැන්ත රංගන පෞරුෂයකින් සන්නද්දධ සිටි ජෝ අබේවික්‍රමයන්ද එක්වූහ. ඔහු ගේ මුහුණේ ඉරියව්වලින් ඇඳි යන්නේ ’ගුණහාමි’ ගේ අහිංසකත්වයයි බයාදුබවයි.
ඔවුන්ගේ දෙවනපෙළ සහයකයන් පිරිස ද සිංහල ගීත කලා රංගන ක්‍ෂේත්‍රයේ විරුවන්ය.
ඇන්ටන් රොද්‍රිගෝ - සී ටි ප්‍රනාන්දූ . නන්දා මාලිනී, මිල්ටන් පෙරේරා ගායනයෙන්ද වොලී නානායක්කර (මාකස්) ජීවරාණි කුරුකුලසූරිය (ඉමාරා) රංගනයෙන්ද එහි දස්කම් පෑහ. 60 දශකයේ ගුවන් විදුලියේ සුවිශේෂි සංගීතඥයෙකුව සිටි ’තිලකසිරි ප්‍රනාන්දු’ (පාවුලු උන්නැහේ) ද ඔවුන්අතරට එක්විය.
50 දශකයේ අතිශය ජනප්‍රිය වූ ප්‍රේමවිරහ ගීතය ’එන්න මදනලේ ගොස් පවසන්න දුකමගේ...............’ ගීතයේ ගායකයා සහ සංගීතඥයා ඔහුය. ජීවරානි කුරුකුලසූරිය රංගනවේදිනිය ගුවන් විදුලි ගායිකාවක් ලෙස පුහුණු වුයේ ඔහු යටතේදීය. මේ ජීවරාණි (’ජීවා’) සහ ඇගේ සංගීතාචාර්යය සංගීතවේදී තිලකසිරි ප්‍රනාන්දු ’සාරවිට’ තිරගත වූ යුගයේම ලංකා ගුවන් විදුලියේ පටිගත කරන ලදුව පසුව 70 දශකයේ පවා අතිශය
ජනප්‍රිය වූ ගීතයකි.
ගම්මානය කළඑළි වූවා ...........
මාලා මනමාලිය වූදා ..................
ඉපැරණි තාලේ පෝරුව සාදා ...,
පොල්මල් පුන්කලස් තියාලා ....
අතපැන් වැඩූවා ...
තැළිපිළි අන්දලා ...
මංගල සිලෝ කියාලා ....
(ගී පද සරත් විමලවිර - සංගීතය - තිලකසිරි ප්‍රනාන්දු)
------------------------------
මෙතැනින් සවන්දෙන්න (මුල් පිටපත - 1964?)
ඈත පටන් එන ජාති සිරිත් අප දීපේ දනෝ රකිති...........
නාග ලොවින් ගෙනආපු බුලත් රස තාම රසේ පවතී..............
පසුව ඔවුන් දෙදෙනා යුගගායනයේ යෙදෙමින් හැඩවැඩ කල ගීත ’60’ ’70’ දශකයේ ගුවන් විදුලි අසන්නන්ගේ මතකයේ හොඳින් රැඳි පවතී,
ජිම්කානා ලොතරැයි දිනුමක් ලැබී එක රැයකින් ධනවත් වන ’සාරයියා’ ට සුභ පතමින් ලැලීනිවාසේ පේළියේ නිරංජලා, ඇයගේ මව, ගුණහාමි ලොතරැයිය මිළදී ගත් පාවුඵ මුදලාලි ඇතුඵ අසල්වාසීන් ඔහුට ආසිරි ගියකින් සංග්‍රහ කරද්දී, බෞද්ධ දර්ශනයෙන් හික්මුනු සියල්ල උපේක්‍ෂා සහගතව ඉවසා දරාගත් ගැමියෙකු වු ඔහු එයින් මහත් උද්දාමයට පත් නොවේ.
ලස්ස ගනන් වස්තු ලැබී ........
ඉස්සර පින පැදිලා ....
රත්තරනින් පෑදිලා ...
හිත්වල මල් පිදිලා ....
සාරයි සාරයියා .....
තමා වටා ගයමින් රගන මිතුරු කැළගේ විමසුම් පැනයන්ට ඔහු ගේ පිළිතුර දෙවදනකි.
’අනේ අනිච්චං ..................’
----------------------------------
මෙතැනින් නරඹන්න
ඉස්සන් මගුරන් ලොකුවැලි ගොව්වන්, ඩොටි ඩොටී ආදර මා රූපිකාවෝ, ආසිරි මංගල ගීත ගයා අපි පැමිණියේ ගම්මානේ .... ලෙසින් එකී දශකයේ සුන්දර ගායන දැහැනක පැටලී සිටි ඇන්ටන් රොද්‍රිගෝ ගේ ගීතිකා අතර ඉහළින්ම රැඳි පැවතියේ සිංහල ගීත ඉතිහාසයේ ’මද්දුම බන්ඩාර’ ළමා විරයා පිළිබඳව ඇලෝයි ගුණවර්ධනයන් අතින් ලියැවුනු ගීතයයි.
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවුනා...
එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මැණිට නැතිවුනා .....
බෝගම්බර සිහල බිමේ හැම වැලිකැටයක් පවා....
ආඩම්බර කදුඵ වලින් අප සෝකය නිවනවා ...............
--------------------------
මෙතැනින් සවන්දෙන්න - 1969 - මුල් පටිගතකිරීම
ඔහු ’සාරයියා’ වෙතින් ’සාරවිට’ ගීතමයරූප රාමු පෙළේ’ පෙනිසිටිමින් ගැයුවේ එකම ඉල්ලිමකී. ඒ ඔහුට ’නව පාපැදියක්’ අරන් දෙන මෙන් කරන ආයචනයයි.
මේ සුභ ආරංචිය මමයි මෙහේ ගෙනාවේ...........
හොඳටම පරණ වෙලා මා යන මේ වාහනේ ..................
ඈත දුර කාලයක සිට 80 දශකයේ විදෙස් කෝලා බීම වර්ග මෙබිම ආක්‍රමනය කරන තුරු නගරයේ මෙන්ම ඈත ගම්මානයේ කඩපිල් රාක්කයේ ප්‍රදර්ශනය කෙරුනේ වර්ණ .තුන හතරක ’අලියා බීම’ බෝතල්ය. එදා ගමේගොඩේ කඩේපිලේ සාජ්ජයකදී ගැටවරයන් අතරැඳි හැන්දකින් එකී බීම බෝතල ගටා ...නංවන හඞ සංගීතඥ අමරදේවයන් සිය ගීතයෙන් මතුකරදක්වද්දී තිස්ස ලියනසූරිය එය රූපරාමුවෙන් පෙළගස්වයි.
ගත් නය පොළිය සමග සේරම මට ලැබෙනවා .......(ගුණහාමි ගත් ණය වන්නට ඇත)
මත්තට ලෙඩට දුකට පිහිටක් දැන් තියනවා.......(අසල්වැසි ගුණධර්මයෙන් පරිපූජීත ’ගුණහාමි’ තමන් ඇතුඵ පිරිස රැකබලා ගනු ඇතිබව නිසැකය)
දුරුවී අගහිකම් පිරුනා ගුණ ආදරේ....................
යෙදිලා එයි කාටත් එකසේ ඒ අදාර්..................
සාරයියාට හිතවත් ’පාවුලු’ උන්නැහේ ගේ ආයචනය එපමණකි. ’60 දශකයේ’ ජනප්‍රියතම වේගරිද්ම ගායන තරුව ’සී ටී ප්‍රනාන්දු’ ගේ හඞ මුසුවූ පදපෙළ වෙනුවෙන් පෙනිසිටින්නේ ’පාවුලු උන්නැහේය’ අතීත පුවත්පත් කලාපිටු අතර පමණක් සැගව ගිය සංගීතඥ තිලකසිරි ප්‍රනාන්දු ගේ රුව දැනහඳුනගන්නට එය කදිම අවස්ථාවකි.
70 දශකයේ - ’වික්ටර් - සනත් නන්දසිරි - ටී එම්’ යුගය බිහිවන්නට පෙරාතුව ලංකා ගුවන් විදුලියේ 60 දශකයේ ජනප්‍රියතම ගායන ශීල්පීන් බවට පත්වි සිටියේ ’සාරවිට’ දර්ශනයන්හි පෙනී සිටින මෙම තිලකසිරි ප්‍රනාන්දු - ඇන්ටන් රොද්‍රිගෝ’ - ජීවරාණි, යන ශිල්පීන්ය. ඔවුන්ගේ රුව දකින්නට සිහින මැවූ ගුවන් විදුලි ගී රසිකයන් ඔවුන් පෙනී සිටි දර්ශන රැගත් ’සාරවිට’ නරඹන්නට පොදිකකා රැස්වන්නට ඇත.
’වොලී නානායක්කාර’ පසුව සිංහල සිනමා වංශ කථාවේ කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළ රංගධරයෙක් බවට පත්වී පසුව ඔහුගේ සහෘදත්වය ප්‍රකට කලේ 1973 වසරේ දී සතිස්චන්ද්‍ර එදිරිසිංහ විසින් හැදූ ’මාතර ආච්චි’ සිනමාපටයේ කමණිය තේමා ගීතය පබඳිමිනි. ඔහු සිනමාවට ලියූ පළමු සහ අවසාන ගීතය එයම පමණක් විය. නමුත් එය සිංහල සිනමා ගීත ඉතිහාස කථාවේ නොමැකෙන සිහිවටනයක් බවට පත්වුයේ ’මාතර ආච්චි’ කථාව ශෝබමාන ලෙස ව්‍යාංගයෙන් ලියා තබමිනි.
සඳකඩ පහනක කැටයම් ඔපලා ........
පාවෙන දේදුනු ලැගුම් ගනී ......
කැළතුනු රසයක පැණ ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියැවී.....
යුගයෙන් යුගයට නොමියන දහනක ගීයක පදනම මතු වෙද්දී ....
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැළි කැකුළක් මැළවෙද්දී ....
(ගී ගායනය - සුනිල් එදිරිසිංහ - සංගීතය සහ තනු - වික්ටර් රත්නායක - සිතාර් වාදනය - රෝහණ විරසිංහ, එම් කේ රොක්සාමි ගේ වයලීන වාද්‍ය මිහිර)
-----------------------
මෙතැනින් සවන්දෙන්න - මුල් පටිගතකිරීම - සිනමා පටය සඳහා
ඉහත විස්තර කළ පරිදි, ජනප්‍රියතාවය, සමාජ තත්වය, ධනය බලය පානු පිනිස ළමා නිවාසයක් පවත්වාගෙන ගිය ඉමාරා (ජිවරාණි කුරුකුලසූරිය) මැතිවරණයෙන් ලත් අන්ත පරාජය හමුවේ වියරු වැටි එය වසා දමන්නට තිරණය කරද්දී එහි පාලිකාව වූ දේවිකා සහ දරුවන් ට නවාතැන් දෙන්නේ ’සාරයියා’ විසිනි. ඒ ඔහු විසින් ලොතරැයි මුදලින් මිළඳි ගත් නවීන නිවාසේය. දේවිකා විසින් දරුවන්ට කියාදෙන කවිපෙළ, ඒ අසලින් සාරවිට වෙළඳාමේ යන්නට යන ගුණහාමි ගේ සවන වැකී, ඔහු නැවතී දයා කරුණා ගුණය උතුරා ගලා හැලෙන මුහුණින් ඒ දෙස බලා සිටින්නේය.
මේ සිංහල අපගේ රටයි............
අප උපදින මැරෙන රටයි...........
අප හදපණ ගැහෙන රටයි....
මුඵ ලොව මේ රටට යටයි............
ළමා නිවාසයේ දරුවන් අමතා ළයාන්විතව ගයන ’දේවිකා’ (ශෝබනී අමරසිංහ) ගේ ගී හඞ අවට සිසාර පැතිරී යයි.
'අවසානයේ ඒ නිවස නිත්‍යානුකූලව ’ළමා නිවාසයක් බවට පත් කර දෙන ඒ ගුණවත් ගැමියා ලොතරැයියෙන් තමා සතුවු ධනස්කන්ධයෙන් ඉතිරි මුදලද ළමා නිවාසයේ නඩත්තුවට වෙන් කර දී අවසානයේ සුපුරුදු පරිදි නැවතත් ’සාරබුලත් විට තට්ටුව’ උරහිසේ රුවාගෙන ’සාරබුලත්’ විට රැකියාවට බසි.
සාරබුලත්විටක රසමවන වට්ටෝරුව තවමත් අපට හොඳින් කටපාඩම් ව ඇත්තේ සාරයියා ගේ පුවතේ තේමා ගී හඞ නැගෙද්දීය
කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි ඉගුරුපියලි කොත්තමල්ලි චුන්නබෝග නාගවල්ලී..... මෙවා ගෙන කටට රහට......
සිරි සාරබුලත් විට කාලා බලන්...........
හොඳ නංගී වරෙන් පොඩි මල්ලි වරෙන් ....
කට සුවඳ කරයි ....
දත් පණුවො නොකයි................
එදාමෙන් නොව මිළෙන් අධික ඒ කුඵබඩු වට්ටෝරුව අදදිනක ’සාරබුලත්’ විට සාර කරාවිදැයි සැක සහිතය.
එදා ගැමියා සාරධර්මයෙන් තදින් බැඳී ගුණධර්මයෙන් හද පුරවාගෙන සිය අසල්වැසියන් හා සහජීවනයෙන් සහෝදරත්වයෙන් බැඳි සිටියේ කිසිවිටක මුදලට සිය ශ්‍රමය, ඥානය පාවා නොදෙමිනි.
මෙම සිනමාපටය පිළිබඳව විචාරාත්මක අධ්‍යයනය යෙදෙන ප්‍රවිණ සිනමා විචාරක ’ගාමිණී වේරගම’ හෙඳිරවුකරන්නේ, ’සාරයියා’ ගේ අදහස අන් කිසිවෙකුගේ නොව රත්නපුරයේ හැදි වැඩුනු ගැමියෙකු වු මහා රංගධර ජෝ (ජෝන්) අබේවික්‍රමයන්ගේම බවයි. සිය ශිල්පීය සගයන් වූ ’කේ ඒ ඩබ්ලිව් පෙරේරා’ සහ ’තිස්ස අබේසේකර’ හා එක්ව ’ටයිටස් තොටවත්තයන්ගේ’ ද අදහස් විමසමින් ඔහු ගුණහාමි ගේ අන්දරය ගොඩනැගු බවයි.
එදා නගරයේ මෙන්ම ගම්මානයේ ද බයිස්කෝප් හල් සිසාරා තිරගත වූ ’සාරවිට’ නැරඹූ ගැමියන් තිරයේ දිස්වන ’ගුණහාමී’ තමාම නොවේදැයි ද එසේත් නැතහොත් සිය ගම්මානයේ තමන් හොඳින් දන්නා අසවල් තැනැන්තා හෝ තැනැත්තන් නොවේදැයි සිතන්නට ඇත.
අද ගම්මානයක තවදුරටත් ’ගුණහාමි’ ලා ඉතිරිව සිටියැයි අනුමාන කළ නොහේ. සාරධර්ම සහ මානව ගුණධර්මතා මුදල හමුවේ පිරිහී යන්නට පටන් ගත්තේ 70 දශකයේ අවසන් භාගයේදීය.ඒ වනවිට ඒ ගැමිලියන්ගෙන් ඇතැමුන් විදේශිය බසක අකුරක් හෝ නොදැන, කිසියම්ම හෝ වෘත්තිය පුහුණුවක් නොලබා ’මැද පෙරදිග ගෘහ සේවිකා’ රැකියාවට ඉගිළ ගියහ. සෙස්සෝ ද ගමෙහි නොරැඳී ඉදිවෙමින් පැවති අගනුවර ආශ්‍රිත ’බියගම’ සහ ’කටුණායක’ ඇගලුම් කම්හල් වල ශ්‍රමය වගුරන්නට පිටත්ව ගියහ. දෙකොටසම පෙරළා එද්දී, ගම්මානයේ සහජීවනය බිඳි විසිරි ඉරිතැලි යාම ඇරඹී තිබෙද්දී, ඔවුන් ගමෙහි තවත් නොරැඳි වහා වහා ඈත දුර නගරයක යාබදව පිහිටි ’වෙන්දේසි’ ඉඩම් කරා සංක්‍රමනය වී ආරුඪ කරගත් ප්‍රභූත්වයකින් දිවි ගෙවන්නට තැත් දැරීය.
දේශීයත්වය පිළීඹිබු කරන කැඩපතක් වන් ’සරවිට’ වැනි නිර්මාණ සිංහල සිනමාවේ දක්නට ලැබෙන්නේ ඉඳහිටය. එය වානිජ ව්‍යාපාරයක් ලෙස පවත්වාගන්නට රිසි වූ ඇතැම් ව්‍යාපාරිකයන් සිය ධනය ඊට ආයෝජනය කලේ එයින් සැළකිය යුතු ලාබයක් උපයා ගන්නට තැත් දරමිනි. ඔවුන් නිසා එය උත්තර භාරතිය සිනමාවේ කාබන් කොපියක් ලෙස පැවතුනේ එහි අන්තර්ගත වට්ටෝරුවෙන් පරිබාහිරව එය හසුරුවාගන්නට කලාත්මක නි්ර්මාණකරුවන්හට බාධා කරමිනි. ඔවුන්ගේ ග්‍රහනයට හසු නොවන්නට ’සාරවිට’ වැනි සිනමා නිර්මාණ ගණනාවක් රසවිඳිමේ භාග්‍යය අත්කරගන්නට ලාංකීය සිනමා ලෝලීන්ට ඉඩ තිබිනි.
අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලාවන්ගේ අත්වාරුව නිසා සිංහල සිනමාවේ එදාමෙදාතුර බිහිවූ විශීෂ්ඨ කලාත්මක නිර්මාණයන්ගේ සම්පුර්ණ කෘතිය කෙසේ වෙතත් යටත් පිරිසියෙන් ’ගීත ජවනිකා’ හෝ ඒවාට පෙම්බැඳි රසිකයන්හට රසවිඳින්නට අවස්ථාව සැලසි තිබීම මහත් වාසනාවකි.
’සාරවිට’ සාරගර්භ කලාකෘතියක් ලෙස වර්ගීකරණය බඳුන් වි ඇත්තා මෙන්ම රටක දැයක සංස්කෘතික - කලා - ජාතික අභිමානය විහිදා දක්වන සර්වකාලීන කලා කෘතියක් යන කරුණ සලකා බලා, කලා ළැදි මතු පරපුර වෙනුවෙන් සංරක්‍ෂනය කොට තැබිම වගකිවයුත්තන්ගේ වගකීමයි.
----------------------------------------------------------------------------
සේයාරූ අනුග්‍රහය - ෂෝන් මැක්සිමස් දිසානයක මහතා ගෙනි (ස්තුතියි ඔබට)
’සාරවිට’ කථාව උපුටාගැනීම - ප්‍රවිණ ලේඛක සිනමා විචාරක ගාමිණී වේරගම මහතා ලියූ ’සිංහල සිනමා ඉතිහාසය’ පුස්තකයෙනි