namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, March 27, 2024

ඈත අතීතයේ ගම්මානයක වතගොත බිඳකින්....10 Sinhala Village before fifty years

සිංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය........... 10

 ලක්දිවයින බඳුව ගංගා ඇළ දොළ බහුල දීපයන් ලෝකයේ කොපමණ වෙත්දැයි කිව නොහේ. වියළි කලාපයට වඩා තෙත් කලාපයේ ඒවා බහුලය. බ්‍රිතාන්‍යයන්ගේ යටත් වැසියන් බවට පත්වන තුරු ඔවූහූ ඒවා තරණය කළේ ඔරු,පාරු, අන්ගුල ආධාරයෙනි. ඒවයේ නියමුවා තොටියාය. ඔවුන් පාලම් ඉදිකලේ මහමාවත් සහ වැවිළි බෝග ආශ්‍රීතව පැවති මාවත් යා කරමින් මිසක, ඉතා බහුලව තිබුනු ගම්මාන යා කරන ලද කරත්ත පාරවල් උදෙසා නොවේ.  ඇතැම්විට පුරාණයේ මේවා මතින් දැව පාලම් පවතින්නට ඇත. බදුල්ල දිස්ත්‍රීක්කයේ බෝගෝඩ පිහිටා ඇත්තේ දඹදෙණි රාජධානි යුගයට අයත් පුරාණ දැව පාලමකි. එසේ පැවතුනා නම් ඒවා ඉදිකරන්නට ඇත්තේ විශේෂ වැදගත්කමක් පැවති මාර්ග ආශ්‍රීතව පමණක් වන්නට ඇත. ඒ අනුව ’තොටියා’ ද එදවස ගැමියන්හට මහගු සේවයක් ඉටුකල අතවශ්‍ය චරිතයකි.  අද පවා  ඈත ගම්මාන යා කෙරෙන පටුමාවත්  දෙබෑ කරමින් ඇදී යන දියදහරාවල් මතින්   එතෙරවන්නට පාලම් දක්නට නැති ස්ථාන විරළ නොවේ. පාරු කවි බිහිකර ගැයුවේ තොටියන් විසිනි.









මලේ මලේ ඔය නාමල නෙළා වරෙන්.............

අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්..........

කැළණි ගගේ ඔරු යනවා බලා වරෙන්....

සාධුකාර දී ඔරුවට නැගී වරෙන්..................

(ජන කවි - පාරු කවි වර්ගීකරණය)

තොටියන් අත්දුටු අනුවේදනීය පුවත්, එමටය. දෙගොඩතලා ගං හෝ වැව් උතුරා යන වැසි සමයේ ඔහුගේ රාජකාරිය වඩාත් භාරදූරය. පැදයන තමා පිහිණුම් කලාවේ නිපුණයෙකු වුවද යනඑන මගීන් එසේ නොවේ. 


එගොඩහ යන්නෝ ....මෙගොඩහ යන්නෝ....

තව කවුරුද ඉන්නේ ......

පමා නොවන්නේ අඳුර වැටෙන්නේ ....

යනවානම් එන්නේ ...

මම මේ ගගුලේ අගුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා ........

ගගුල අනෝමයි අදමට වෙහෙසයි.... 

තව කවුදෝ ඉන්නේ ....

(ඩෝල්ටන් අල්විස් ගී පද ගැයුම සහ සංගීතය ටී ෂෙල්ටන් පෙරේරා - 1973) 



ගමේ කොඵ කුරුට්ටන්ද ඕරු පාරු පැදීමේ කලාවේ නිරත වූයේ හුදු විනෝදය පිනිසය.  එහි ගොඩවී බුදුපුදට ගෙනයන්නට නෙකපැහැ ඕඵ, නෙඵම්, මානෙල් මල් මිටි ගණනින් නෙළාගනියි. ගංගාව මැදට ගොස් විනෝදයට මත්ස්‍යයන් කිහිපදෙනෙකු අල්ලාගැනීමට උත්සහ දරයි. ජලජ පඳුරු වූ පන්, වැටකෙයියා ගාලකට ගාල් වී ඒවා කපා ගන්නේ වට්ටි,,පෙටටි පැදුරු වියන්නටය. ඒවාද කපා ගන්නට ඔරු ගමන මහෝපකාරී වෙයි. දශක තුනකට පෙර යුගයක් දක්වා අතවශ්‍යව පැවති පන් විවිමේ කර්මාන්තය දක්‍ෂ ලෙස ප්‍රගුණ කළ යුවතියන් එදා ගම්වල විසූහ. කපා තම්බා ගත් පසුව හිරු රැසින් වේළා පදම් කරගෙන, යළිත් වර්ණ ගන්වනු ලැබේ. එවිට ඒවා වියාගන්නට සුදුසුය. 

’පන්’ යනුවෙන් පොදුවේ හැඳින්වෙන කලාවට උපයෝගි කරගන්නා ජලජ ශාඛ වර්ග අතර නියඳ, වැටකෙයියා, හණ, ඇතුළත්ය. වර්ණ යෙදිමේ අමුද්‍රව්‍ය සපයාගන්නේ පතගි කොරකහ (රතු), වෙනිවැල් ගැට සහ අමුකහ (කහ), කනේරු කොළ, ලූණුමිදෙල්ල, කැළැකොහොඹ (කොළ), අරඵ බුඵ (කඵ) වැනි ශාඛයන්ගෙනි. 

පන් පැදුරු රටා වියූ පිරිස් ’කින්නර’ ලෙසින් එදා හැඳින්විනි. කන්ද උඩරට රාජධානියේ ’දුම්බ්ර මිටියාවත’ (වර්තමාන මැදමහනුවර, කුන්ඩසාලේ අවට ප්‍රදේශ) මෙම කර්මාන්තයේ විශීෂ්ඨයෝ බිහිකරදුන්හ. ඔවුනතර පැවතියේ එක්තර උප සංස්කෘතියකි.


දුම්බර කළාලේ තුන්පත් රටා වියන්නම්.......................

ආදරයට නව අරුතක් සොයා තියන්නම් ....

කාශ්මීර පටසඵ මට එපා හිමියනේ..............

ඔබේ නුවන් මදිරා දිය ලදොත් එපමණි....

(නාලනී රණසිංහ ගුවන් විදුලි ගී-1975)



ගාන තෙල් සඳුන් වරළස ඔමරි කොට....

මූණ පුරා තෙල් ගාගෙන යන කලට ................

මාන බලති මිනුවන් පන් තිබෙන කොට ...................

නෑනෝ නුඹත් එනවද පන් කපන්නට ...........

(නෙඵම් කවි, පාරම්පරික ජන ගී)

මෙම වට්ටි පෙට්ටි පැදුරු නිෂ්පාදනයන් ගැමියන්ගේ එදිනෙදා දිවියේ අවශ්‍යතා ඉටුකරගැන්මට නැතිවම බැරි අතර, කුඹරට, විහාරයට හෝ වෙනත් පොදු කටයුත්තක යෙදෙන්නන් හට ආහාර ගෙන යන්නටද, නෑගම් යන්නටද, කඩමන්ඩියේ සිට පාරිභෝගික දූව්‍ය රැගෙන එන්නටද, පිලේ, අම්බලමේ, හේනේ කූඹුරේ පැල්කොටයේ වැතිර නිදන්නටද පිහිට වූයේ ඒවාය. අරුමය නම් මෙම නිපැයුම් හොඳින් නඩත්තු කළේ නම් නොදිරා දශක ගණනක් පැවතීමයි. 



නිරන්තරයෙන් ගොඩගසා ගනිමින්, පරිසරයට හානි කරන අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදනයන්ගේ ආගමනයට දක්වා පන් කර්මාන්තයේ මහිමය ලාංකීය ජනයා හොඳින් අත්විඳගත්හ.

මේ අතරවාරයේ ඔරුපාරු යුගයේ අවසනාවන්ත සිදුවිම් ඉඳහිට හෝ අත්විඳින්නට ඔවුන්ට සිදුවන්නට ඇත. වසරේ එක්තරා සමයක, ඇදහැළෙන මහා වැහි කෝඩයෙන් දෙගොඩතලා යන ඇළ දොළ ගංගා, ඔරු-පාරු ගමන මරුට අතවනන අත්දැකීමක් බවට පත් කරන්නට ඇත. 

හිරිමල් වියේ පෙම්වතුන්ද, ඔරුවකට ගොඩ වී නිසොල්මනේ, රැළි සුළි නංවා එය පදිමින් පෙම්බස් දොඩන්නට ඇත. එහෙත් අවදානම බිඳකුඳු පහව නොයන මේ කටයුත්තේදී, ඔරුපදින්නාගේ සුඵ අතපසුවිම මහත් ව්‍යාසනයකට හේතු විය හැකිය.  මේ එවැනි පුවතකි.


රෑ හඳ පායාලා අද වාගේ ...............

තිබුදාකයි ඒ දේ සිදුවූයේ ..................

අප ගම පැත්තේ තිබු ගග මැද්දේ ............

ඈ සමගින් මා ඔරුවක් පැද්දේ ............

රෑ හඳපානේ ..ඔව් අදවාගේ ...................


එගොඩට අඹ දං අවුලා ..............

කා යලි පැදලා මෙගොඩට ආවා...............

ඕඵ නෙඵම් ඈ මානෙල් මාලා..........

බරට නෙළාලා ඔරුව පුරාලා...........

ගග බඩ වැල්ලේ ඉඳ සැනසිල්ලේ ...............


ඈ මට ඇවිටිලි කරකිව් හින්දා ..........

ඔරුවට නැගිලා යළි අපි දෙන්නා .................

යනවිට පදිමින් හබල ගිලිහුනා ....

රැල්ලට හසුවි ඔරුව පෙරඵනා ....

බෙරිහන් දිලා ඈ කෑගැසුවා .................


පීනා ගොස් මා ඈ අත අල්ලා....

ගන්නට යද්දී ඈ යට ගිඵනා....

සුළියට හසුවීලා පොරබදලා ....

ඈ සොයමින් මා හැමත පීනුවා ...


ඈ දුටුවේ නෑ.....

ඈ හමුවුනේ නෑ .....


(ගී සංකල්පනාව සහ තනුව යොදා ගායනය  - සිසිර සේනාරත්න - 1968)

ඈත අතීතයේ දී පැවති කටුමැටි, වරිච්චි බිත්ති සහිත ගැමි නිවෙස් ගොඩනගන්නට ’වැලි’  සොයා ගංපතුලේ අරගල කරමින් කිමිද යන්නට ඇවැසි වූයේ නැත. ගම්මනායේ ප්‍රභූ නිවෙස් සහ ඊටද වඩා වැදගත් වන්දනීය පූජනීය විහාර ගොඩනැගිලි පවා තැනුවේ කබොක් ගඩොලිනි. ගොඩනැගිල්ලේ වෙසෙන්නන්ට සොබා දහමේ වායුසමන සිසිළස අත්කරදුන් එවන් ගොඩනැගිලි සමකාසන්න උෂ්ණාධික දේශයකට හොඳින්ම ගැළපෙයි. යටත් විජිත යුගයේ දෙවන භාගයේ දී මෙම කලාව විපර්යාසයකට ලක් වී, ’වැලි ගොඩ දැමිම’ මහා පරිමාන කර්මාන්තයක් බවට පෙරළී, ගැමියෝ ’කම්කරුවෝ’ බවට හැරුනි. ඒ කටයුත්ත එදාටත් වඩා හොඳින්ම අදද සිදුවන්නේ දැවැන්ත පරිසර හානියක් සිදුකරමිනි. 

දැන් ගංගාවල සැරිසරන පාරූ මත ගොඩගැසෙන්නේ වැලිය. 


ඔරුව වසා වැලි පුරවා...........

එගොඩ ගොඩේ ගං ඉම සොයලා ....................

හිමිදිරියේ කාසි අතේ පැදපල්ලා ....

සඳ එළියයි පාඵ මකන්නේ තරු එළියයි පාර කියන්නේ.......................

රකුසු දියේ ගැඹුරේ කිමිදී..................

(උපාලි ධනවලවිතාන වදන් දාමයේ බබලන සත්සර ස්වරය සරත් දසනායකගේය හඞ මුසුව ටී එම් ජයරත්නගෙනි - 1981)

මෙතැන් සිට යළිත් දිනකට වැඩිදුරටත්...........

4 comments:

  1. නියමයි. ලස්සන, විරල විස්තර ටිකක්. ස්තූතියි👌🙏

    ReplyDelete
  2. පුදුමයි- ඔයාට මේ ගීතය මඟ හැරුණු එක
    මේ ලින්ක් එක නං මුල් ගීයට නෙවෙයි.
    https://www.youtube.com/watch?v=afwswh60nho

    ReplyDelete
    Replies
    1. ගී රස එමටයි....මුසුව පදමටයි....
      මී විත රසයයි...රසබස් වා⁣ගෙයි....
      නී රසවේදැයි....සිතුවිලි මතුවෙයි.....
      කී දෑ තරමයි.....මියැසිය සමවෙයි....

      Delete