සිංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය........... 09 සටහන
පූර්ව සටහනේ ගැයුනු බඹර කැපීමේ ජනකවියේ කියැවෙන පරිදි, දෙවියන්ට භාරහාර වී සිදුකළ යුතු තරම් භාර්දූර අවදානම් කටයුත්තක් ලෙස ’බඹර කැපීම’ සළකන්නේ ඇයි?
මී මැස්සන් ගේ ඥාති පරපුරේ වැඩිමහල් සාමාජිකයා වූ බඹරා ඔහුට වඩා සිරුරෙන් මෙන්ම පහරදිමෙන්ද විසල්ය. මෙම දාමයේ ’ලොකු අයියා’ දෙබරාය. ගැමියන් ගේ සමීකරණය නම් මී මැස්සෝ සතක විෂ එක බඹරෙකු මෙන්ම ඔවුන් සත්දෙනෙකු ගේ විෂ දෙබරා සතුවන බවයි. වැඩිමහල් සාමාජිකයාගේ පහරදීම වඩාත්ම රුදුරුය. ඔහුගේ විෂ දළය යළි යළිත් භාවිතා කරමින් ඔහුට සිය ප්‍රතිවාදියා අඩපන කර දැමිය හැකිය. බාල සහෝදරයෙන් දෙදෙනා ඒ අතින් අවසනාවන්තය. පළමු ප්‍රහාරයේදී ඔවුන්ගේ විෂදළ කැඩි වෙන්වි යන අතර එතැනින්ම සත්වයා සිය ජිවිතයට සමුදෙයි. මෙම පරපුරේ තවත් සාමාජිකයන් අතර දඞුවැල්ථ කණෙයි, මැස්සා වැනි කුඩා අයද වෙති. ඔවුන් සියල්ලෝම ’වද’ නිෂ්පාදකයෝය.
වැල් ඉනිමගේ මරුවා ට ඔච්චම් කරමින් |
ඇතැමුන් ගේ ආහාර අසාත්මිකතාවය අධික වන්නා සේ මේ පරපුරේ බලවත් සාමාජිකයන් කිහිපදෙනෙකු ගේ ප්‍රහාරයකට ලක්වන ඇතැම් අය අවසනාවන්ත ලෙස සිය දිවි ගමන අවසන් කරගනී.
දෙබරු සහ බඹරු සිය නවාතැන් පොළවල් තනාගන්නේ සිව්පා දෙපා සතුන්ට පහසුවෙන් ළංවිය නොහැකි ඉතා උස් පර්වත මුදුන් බෑවුමක හෝ වනස්පතියක අහස්කුසට වඩාත් ම ළංවි ඇති අත්තකය. අස්වනු ගෙටගෙන ගොවිතැනින් ඉසිඹු ලබන්නෝ, කන්ඩායම් සැදී මහවන වදින්නේ ’බඹර පැණි’ කැඩිමේ භාරදුර කටයුත්ත උදෙසාය. උක්ත ජනකවියේ ’වැල් තොටිල්ල’ යනු කඹ එකිනෙක ගොත සැදූ ’මැස්ස’ විය හැකිය. එය බඹර කූඩූව අසන්නයේ ස්ථානගත කරන්නට පළමු, වරපට (හැරපට,යොත) බඹර කූඩුව බැඳ ඇති ගසට හෝ පර්වතයට අමුණා ගත යුතුය. දැඩි ලෙස දුම් පිටකරන ශාඛ කොටස් එකතුකොට තැනූ විලක්කුව (පන්දම) දල්වා හොඳින් දුම්ගැස්වීමෙන්, බඹරු සිය නිවහනින් ඈතට පන්නා හරිනු ලැබේ. ඔවුන් පෙරළා එන්නට පළමුව, යොත දිගේ ඉහළට නැග බඹරය කපා මුට්ටියට දමා බා ගත යුතු අතර, බඹර කපන්නා ද වහා එතැනින් ඉවත්ව යා යුතුය. මේ කාර්යය සිදුකරන තුරු වරපට අනිත් අන්තයෙන් රඳවා ගෙන සිටින්නා, බඹර කපන්නාගේ අතිශය විශ්වාසවන්තයෙකි. ඔහුගේ අතපසුවිම, පළමු කී තැනැත්තාගේ දිවි අහිමිවීමට පවා හේතු විය හැකිය.
වරපට දිගේ බා ගත් බඹර පැණි මුට්ටි එකකට වඩා තිබියි හැකිය. විශාල බඹර වදයක පැණි මුට්ටි කිහිපයක අස්වැන්නක් තිබිය හැක.
මහ මූකලාන තුළ දිවිගෙවන ආදිවාසී වැදි ජනතාවගේ යැපුම් මාර්ගය වන ’දඩමස්’ දිනගණන් කල්තබාගන්නා කාරකය ’පැණී’ ය. ඒ නිසා ඔවුන් හට ඒවා නැතිවම බැරිය. ඔවූහූ, ගැමියන්ට වඩා අතිශූර ’වද’ බිඳින්නන්ය. තම ආයුධ එනම් දුනු හී තනාගන්නට ගම්මානයේ කම්මල්කාර නයිදේ ගේ සහය පතන ඔවුන් ඊට හිලව් ලෙස ඉස්තරම් බඹර පැණි සපයයි.
සොරබොර දිය මල් නෙළා ගෙනාදෝ ...කන්දේ පැනි මල් නෙළා ගෙනාදෝ.....
නෑනී නෑනී කොයිබයි යන්නේ පැලටා එනවාදෝ ....
කොබ්බෑ පැල්පත දුන්න නමාලා ................
ගොරියන් කෙක්කෙන් හද මානාල...........
ගොරියෝ ගොරියා බඹර නෙළන්නට කන්දේ යනවාදෝ.............
හිරු දෙයියන්ගේ වීරිය උුඹටයි... සඳ දෙයියන්ගේ සොමිගුණ උඹටයි
පසේ බුදුන්ගේ පිහිටත් උඹටයි මා හා එනවාදෝ...............
(අමිතා වැදිසිංහ සමග එස් ලියනගේ )
මධ්‍යම, උතුරු මැද, ඌව - වෙල්ලස්ස, ආදී පළාත්වල ගැමියන්ගේ බස්වහර එකිනෙකට යම්තරමින් වෙනස් ව පැවතියේ ඒවා අතර ගමනාගමනය, අන්තර් සබඳතා සිමාසහිතව සිදුකෙරුනු පසුගිය සියවසේ මුල් යුගයේ දීය. ඒවා ඔවුනොවුන්ගේ උපසංස්කෘතියක් නිර්මාණය කෙරෙන්නට ඉවහල් විය. මේ ’ගැමි බස්වහර’ සහිත පාරිභාෂික වදන් මාලාවන් ඉහත දැක්වු නිදසුන මෙන්ම ඔවුන් සබැඳිව ගොඩනැගුනු විවිධාකාරයේ කලා නිර්මාණයන්ට හේතු පාදක විය. පහත දැක්වෙන්නේ එයින් අල්ප මාත්‍රයකි. මේහි අදිවාසි වැදි ජනතාවගේ බස් වහර ද ඇතුළත්ය
ගෝ බිඳු කැලේ - තලගොයි වසන ඉසව්ව දඩයමේ යෑම
සෝලි තියනවා - දොස් කියනවා
ඉරගල වැටෙනවා - ඉර බහිනවා
ඉලන්දාරියා - තරුණයා
පැංචා - පොඩිළමයා
ටොම්බ - වලිගය
ගිනි බිඳිනවා - වෙඩි තියනවා
කඩප්පුලියා - විෂම හැසිරීම සහිත පුද්ගලයා
ඔසේ අදිනවා - අඞහැර පෑම (වෙලේ හරක් දැක්කීමේදී සිදුකරන අණකිරීම)
හන්දුරුවෝ - රදළයන් අමතන ආකාරය
හෑල්ලුව - වන්දනා කරුවන්ගේ බඩුමුට්ටු දමන ගමන් මල්ල
තොලොංචි වෙනවා - නොපෙනී යනවා, ඉවතට යනවා
එතනහාමි - වැදගත් කාන්තාව
නිලමේ - කුලවත් පිරිමිය
ළමාතැනී - වලව්වේ කුල කාන්තාව
පොඩිස්සිය - කෙල්ල
පොතාන - ළඳු කැළෑව
නවදැළිහේන - අඵත ගිනි ලා එළිපෙහෙළි කල හේන
නෙයියාඩං නටනවා - නොමනා හැසීරීම් සිදුකරනවා
මදාවියා - අයුෂ අඩු තැනැත්තා, නොහික්මුනු තැනැත්තා
සාරසුබාවට - සිහිකල්පනාවට
කිරිපල්ල - යටිබඩ
සන්තෑසිය - විපත
උරුට්ටු අල්ලනවා - දබර කරනවා
පංකාදු - කදිම
හූරා - මහත්මයා
හෙනකඳයා - බෙහෙත් කොටන තුවක්කුව
වින්නැහිය - අකරතැබ්බය
හක්කලං කරනවා - සැරිසරනවා
පෙරකී බස්වහරෙ ගුරුකොට ගෙන ආදීවාසී ජනදිවිය ඇසුරුකොටගෙන නිර්මාණකරණයේ යෙදුනු යටත් විජිත නිලදරු වෛද්‍ය ’ආර් ඒ ස්පිටල්’ ගේ සටහනක් උපුටනය කරමින් එය මනරම් ගීතයක් බවට පත් වී, එදා ශ්‍රාවකයන්ගේ ජනාදරය දිනාගත්හ. මේ හෙළ ආදිවාසි වැදිජන බස් වහරයි.
නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව පළාත් බද ඈත ගම්මානයන් ගේ සිමා ඉම සළකුණු කෙරෙන මහ මූකලානේ ඔදතෙද බල ඇත්තන් ආදිවාසීන්ය. මායිම් ගම්මානයන්හි වෙසෙන ගැමියෝ සියවසකට පෙර, විසූ නොඉඳුල් අව්‍යාජ වැද්දන් වූ ඔවුන් හා ඇයි හොඳයි කම් පැවැත්වූහ, ගම්මනයේ විසු ’යමන්නෝ’ (යකඩ කම්මල්කරුවන්) මත ඔවුන්ගේ ජීවන චර්යාව යැපුනේ සියවස් ගණනක නොපෙනෙන දුරාතිතයේ සිටය. ’අනුරපුර’ මහවාසළ පැවති යුගයේ ඔවුන් අර්ධ ම්ලේච්ඡයන් ව සිටින්නට ඇත.
පෙර ලිපියක ලියැවුනු ’මී-බඹර පැනි’ වද මෙන්ම දඩමස් ඈ වනයේ සම්පත් භුක්ති විඳිනට ඔවුන්ගේ අතහිත පතන්නට ගැමියෝ ද පුරුදුව සිටියහ.
බ්‍රිතාන්‍ය සිවිල් නිලදරුවන් සහ ඔවුන්ගේ හිතමිතුරු පිරිස් මේ ආදිවාසි දනන් පිළිබඳව මහත් ආයාසයෙන් රැස්කර තබාගත් වාර්තා ඇසුරෙන් සංගෘහිතු පොත්පත් වලට පින්සිදුවන්නට පරපුරෙන් පරපුරට ලක්වාසීන් ද තම මව්බිමේ එදා විසූ නියම ආදීවාසීන් ගේ එදා තොරතුරු අද දැුනකියා ගනිති.
’තලගොයි දඩයමේ’ පිටත්ව යන්නට තම ප්‍රියවන්තිය වෙතට ඇරයුම් කරන වැදි මානවකයාගේ අයැදුමකි මේ. මෙහෙයුම සඳහා නික්මෙන්නට සැරසෙන දෙදෙනාගේ වාහනය ’මී ගවයෙකි’.
මා මිනි මා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා .....
කබෙන් පා බල යක්කම වේ... යමු දෙන්නා....
බීමෙන් යන්නට බොල් පිනි බැරි නම්.....
වඩානා මිමා ලණු බැඳගං.... යමු දෙන්නා...
මීමා පිටේ යමු දෙන්නා ... ගෝ බිඳු කැලේ යමු දෙන්නා...
ගෝයා පුච්චා කමු දෙන්නා...ගෝ කුර පුච්චා කමු දෙන්නා....
ගෝ ටුඹ පුච්චා කමු දෙන්නා.. ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා...
ගෝ අකුමා ටිකා මා කඤ්ඤා...
වැල්කොබ්බෑ වල .. දුන්න නමාගෙන ... එන්නේ ඔරගල මාලොකුවෝ....
අගර නැටුම් නටන නංගීට රූබර බෙරපද ගච්චා පෝ ....
රූබර නැටුම් නටපෝ..වල් අත්තේ නටපෝ...
චොද චොද නැටුම් නටපෝ..අපටත් වෙත්තිල බෙදපෝ....
මෙත්තට ආවා බොල දෙයියෝ...
තං තදිනානේ තදිනානේ.....
(වෛද්‍ය ආර් එල් ස්පිටල්, ෂෙල්ටන් ප්‍රේමරත්න, විමල් ජේ සාගර - 1972 -සිනමා පටය - ’හිතක පිපුණු මල්’)
----------------------
පාදක සටහන
වැදි ජනතාවගේ ආගම ’නෑ යකුන් ’ පිදීමයි. එනම් තමන් අතර ජීවත්ව සිට මියගියවුන් දේවත්වයට පත්කර ඇදහීමයි. ඔවුනට බලිබිලි පුද පුජා පිළිගන්වා යදින පිහිට ලැබී තම දඩයම සරුසාර වෙතැයි ඔවූහූ විශ්වාස කරන අතරවාරයේ එය නොසළකා හැරීම නිසා තමන් මියගියවුන්ගේ වෛරයට පාත්‍ර වී, කරදර හිරිහැර විඳින්නට සිදුවෙතැයි බියවෙති. ’යක්කම’ නම් ඒ යාතුකර්මයයි. ’කිරිකොරහ’ නැටීම ද එබඳුය. එහිදි ඔවූහූ පරළවෙති.
’මීමා’ එනම් මී ගවයා නම් වාහනය අරා වනය තුළට පිවිසෙන්නේ ’ගෝ බිඳු’ එනම් තලගොයි දඩයම් කිරීමය. තලගොයා, කුර සහිත ගාත්, වල්ගය පුච්චා කමු යැයි වැදි මානවකයා සිය පෙම්වතියට යෝජනා කරයි.
අක්මාව තමන්ට ද තිට බඩවැල් ද දෙන බව කියාසිටින්නේ ඇයව විනෝදමත් කිරීමටය. මේ සියල්ල තලගොයා ගේ අවයවයන්ය. ඒවා වැද්දන්ගේ මතුනොව ගැමියන්ගේ පවා රසවත් ආහාරයකි.
’ඔලගල’ රෑහේ මහඇත්තා (නායකයා) එහි පැමිණෙනු ඇත්තේ ’වැල්කොබ්බෑ’ වැලකින් තැනූ දුන්නක් අතැතිවය. ඉතිං.. ’නංගීට’ නටන්ට ලස්සනට බෙරපද වයාපං.... අතු මිටියක් ගෙන සොළවමින් නටාපං..
නටන ගමන් අපටත් බුලත් දීපං....
’මාලොකු’ නම් මහියංගන ආශ්‍රිත වැදි ජනතාවට පුජෝපාහරයට පාත්‍ර වූ, දෙවතාවියකි. ජනවහරේ කියාපාන්නේ ඇය සමනල සිරිපා අඩවිය අධිගෘහිත ’සුමන සමන්’ දිව්‍යරාජයා ගේ අක්කන්ඩිය බවයි.
’චොඳ නැටුම්’ නම් අසල්වැසි ජනවාර්ගය වූ සිංහලයන්ගේ වහරේ ඇති ’හොඳ නැටුම්’ ය.
වැද්දන්ගේ සංස්කෘතිකාංගයන් අතර ඔවුන්ගේ ’නැටුම’ සිත්ගන්නා සුඵය. කොළඅතු මිටියක් අතැතිව ඔවුන් නටමින් එකිනෙකා පසුපස පේළියට වටයක් සැදී ගමන් කරයි. මෙහි විස්තර කෙරෙන්නේ එවැන්නක් වන්නට ඇත.
(විශේෂ ස්තුතිය - හද ගී පොත බ්ලොග් අඩවිය මෙහෙයුම් කරු තිස්ස දොඩංගොඩ සහෘදයාට)
'
නැවත දිනක මෙහි එන්න ............
සරුවට ගහක් හැදෙන්නෙ සරු පසක තමයි
ReplyDeleteදුර යුගයේ ගී තැනුනෙත් එවන් තැනයි
තවමත් එවන් ගී රස දෙයි- මිහිර මවයි
එදා ඇසුණු ගී - මෙහෙයත් අසමසමයි!
ඒ ගී ආකරය මහඟු ය බව කියනා...
Deleteඇත්තන් ඇත ඔබ වැනි ඉඳහිට දකිනා...
වපර ඇහෙන් බලමින් තව ඔච්චමටා...
දනන් ඇත එය මගහැර යනෙනා...
අගය කරන ඔබහට තුති පුදදෙමිනා...
රිසිය ලියන්නට තව තව රස මවලා....
සකිය බලනු මැන තොරතුරු ගැන විමසා...
පහන ලෙසින් රන් ආලෝකය පතුරා....
අදටත් ආසාවෙන් අහන්න පුළුවන් ගීත!
ReplyDeleteඒ ගීතය නිර්මානය කරන්නට කැපවුනු මහ පිරිසකගේ අපිරිමිත බලයයි එනම් ඔවුන් උපයා ගත් ධනයයි. රසික බුහුමන් ඔවුන් ලද වස්තුවයි. පරම සැපතයි. කලා කරුවෙකුගේ වත්කමයි. ලොව පවතින අසිරියයි. පැනවතුන්ගේ කෙම්බිමයි.
Delete