සමන් වැලේ ජයට පිපුණු මල්....... 05 - සමාප්ති සටහන
සී ඩී ෆොන්සේකා ගේ හඞ අනන්‍යතාවය අදටද එසේම ඉතිරිව පවතී. ඔහුගේ සමකාලීනයන් අතර මතු නොව ඔහුගේ පසුකාලීනයක් අතර ද, ඔහුගේ ’හඞ’ අනුකරණය කළ හැකි කිසිවෙකු නොසිටි බව ඉඳුරා කිව හැකිය. ඔහුගේ ගීත ගණනින් එතරම් මහත් නොවූවත්, ඒවයේ මධුරත්වය මහත්ය. 60 දශකයේ ප්‍රසංග වේදිකා සංදර්ශන ලැයිස්තු සංරක්ෂනය කළවුන් දිවයිනේ එවකට පළමු පෙළේ ගායක ගායිකාවන් අතර ඔහුගේ නමද තිබෙනු දකිනු ඇත.
ලංකා ගුවන් විදුලි සේවය විසින් ඔහුගේ ජනාදරයට පත් ගීත දෙක තුනක් සතියකට වාදනය කළ බව මතකය. අනාදිමත් කාලයක සිට සතියේ දිනවල පෙරවරු කාලයේ අඩපැයක් සිනමා ගී සඳහා වෙන්කර දුන්නේ එහි ’වෙළඳ සේවය’ විසිනි. එහි දී ඔහුගේ ජනප්‍රියතම ගීත වූ ’තරුණ සිතට මිහිර රැගෙන ආපු කුරුල්ලා (සැනසුම කොතැනද - සංගීතය ප්‍රේමසිරි කේමදාස - 1966), ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිලා .....(සැ`ඟවුනු මැණික - 1967 - සංගීතය - පැට්රික් දෙණිපිටිය) වාදනය කිරීමේ ප්‍රතිඵලය වූයේ 70 දශකයේ කුඩාවුන් පවා ’සී ඩී ෆොන්සේකා’ නාමය හැඳිනගැනීමයි. දිවා කාලය ගතවෙද්දී යළිත් වරක් ඔහුගේ තවත් ජනප්‍රිය වෙළඳ සේවා පටිගතකිරීමක් වූ ’දෑස පුරා සිත නළවන ලතාවයි....’ ගීය ද වාදනය නොවු සතියක් නොවූ තරම්ය.
1978 පමණ වෙද්දී ඔහු ගේ සිඟිති දියණීය ’ෂර්මිලා’ සමග ගැයූ රසබර සංවාද යුග ගී ඇසෙන්නට විය. ’පියා - දියණි’ සුසංයෝගයෙන් ගැයුනු ගී අතළොස්ස අතර ඒ යුග්ම - සංවාද ගීතාවලිය ප්රමුඛ ව පැවතියේය.
අන් කවර කලකට වඩා, කිතුණුවන්ගේ උත්සව සමය වූ ’නත්තල’ ලබද්දී, සී ඩී ෆොන්සේකා ගේ හඞ ගුවනේ රැව් පිළරැව් නොදුන් දිනක් නැති තරම්ය. ඔහු ගැයු ’පුඵන් වගේ සුදු රැවුළ දිගයි....’ එය බිහිවු 60 දශකයේ සිට නව සහස්රයද උදාවන තෙක් නත්තල රසගැන්වීය.
ශ්‍රී ලංකාවට රූපවාහිනි සේවා හඳුන්වාදුන් ’ස්වාධීන රූපවාහිනිය’ සිය අතිශය ප්‍රකට සංගීතමය ප්රණිතාංගයන්හිදී ’සී ඩී ගේ රුව’ සිය ප්‍රේක්ෂක දනන් ගේ නෙතට හසුකරදෙන්නට උත්සුක විය. ඔහුගේ රුව ලාංකික සංගීත ලෝලීන් අතිබහුතරය දැක දැන ගත්තේ එයිනි. ඉන් පසුව, ජාතික රූපවාහිනියේදී ද ඔහුට ගී ගයන්නට අවස්ථාව හිමි විය. එහෙත් 80 දශකයේ අවසන් භාගය වෙද්දී ඔහුගේ සොඳුරු මදහස පිරි මුවකමළ තරමක් වෙනස් වූ සෙයක් දක්නට ලැබිනි.
පෙම්වතුන්ට වදනින් විස්තර කළ නොහැකි අත්දෑකිම් එමටය. එය සර්වකාලීනය ඒ අතරින් ඇතැම් ඒවා කටුකය, වේදනාකාරීය... පෙම්රජදහනේ මාලිගා බිඳ වැටී සුණුවිසුනු වී ගිය, බිඳුනු හදවත් වලින් ආතුර වූ පෙම්වතුන් ගේ ශෝකාලාපයන් ගීයට කවියට නැගුනේ ඉඳහිට නොවේ...
පන්ඩිත් අමරදේවයන් ගේ හඞින් දැහැන්ගතවන රසිකයන්හට අනන්දජනක අහ්ලාදයක් ගෙනදුන් ’සුනිල් සරත් පෙරේරා ශූරීන්’ ගේ ගී පද රචනාවක ගැබ්වු පදවැල් ඔබේ මතකයේ නිසැකවමට රැඳි ඇත්තේය. ’ පෙර දිනයක මා පෙම්කල යුවතිය... සියපුතු නළවනවා....’ ’1975’ වසරේ ගැයුනු එම ගීත රසයෙන් කුල්මත් වූ රසිකයන් මෙන්ම රසිකයන්ගේත් රසිකයන් වූ ’ගී පද රචකයන්’ ද එමට එදා සිටින්නට ඇත. සිංහල ගීත සාහිත්‍යයට අනුපමේය සේවයක් කළ කිතුණු පියතුමා ’මර්සලීනු ජයකොඩි’ බව අවිවාදාත්මකය. ඔහුට පසුපසින් රැඳුනේ ’ලීනස් මෙන්ඩිස්’ පියතුමාණන්ය. එතුමාණේ පෙරකී කී ගීතය රසවිඳිමෙන් ලත් ආනන්දයෙන් උද්දාම වී මෙම ගීතය පබැඳුවා විය හැකිය. සී ඩී ෆොන්සේකා සිය ගායන ප්‍රතිභාව මනාලෙස ප්‍රකට කල අවස්ථාවක් එයින් මතුවන්නේය. නිවීසැනසිල්ලේ අසනු මැනව ඔහුගේ ’හැඟුම්බර’ වේදනාකාරී ස්වරය...
04 මොළකැටි බිළිදෙකු අතේ හොවාගෙන...
ඔබ ඔහු සමගින් යනු දුටුවා...
සොඳුරු ඔබේ වත මිලාන වී ගොස් ...
නිලුපුල් නෙත් බොඳ වනු දුටුවා...
මට අදහනු බැහැ ළමා උයන තුල...
මගේ නෙත ගැටුනේ ඔබද කියා...
පමා නොවි තව පවසනු මැන ඔබ...
කෙළෙසද ඔබේ සිත බිඳුනේ කියා .....
(ගී පද - ලීනස් මෙන්ඩිස් පියතුමාගෙනි - 1978 )
නත්තල හැඩ කළ ඔහුගේ අමරණිය ’නත්තල් සීයා’ ගීතය ට නොදෙවෙනි ජනප්‍රසාදයක් ලද්දේ ඔහු ඇතුඵ පිරිස ගැයූ ’මංගල ආසිරි ගීතය’ කි. හෙළ සංගීත කෙත සරුකළ බොහෝ ’ආසිරි ගී’ ඇතත්, ඒවා ද පටිගත වන්නට කලකට පෙර ඔහු ’60 දශකයේ’ මංගල සිරිය හැඩගන්වනු වස් පහත කියැවෙන ගීතය ගැයුවේ සමකාලීන අතිශය ජනප්‍රිය බටහිර ගීත ගායිකාවක් වූ ’මිනෝන් රත්නම් ප්‍රනාන්දු’ ගේ හඞ ද එකතුකරගනිමිනි. ඇය ඒකල ව ගැයු ’කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී වගේ ......’ 60-70-80 දශක ත්‍රිත්වයේ ලක්ෂ සංඛ්‍යාත මංගලෝත්සවයන් හැඩ කල හැඟුම්බර ගීතයකි. අද වැඩිහිටියන්ව සිටින එදා කුඩා දරුවන්හට මේ ගීත කිසිලෙසකින් අමතක විය නොහේ. අතිශය ජනප්‍රිය බටහිර ගීතයක් වූ ’කන්ග්රැටුලේෂ්න් ඇන්ඩ් සෙලිබේ්රෂ්න්’ ගීතයට සිංහල වදනින් සැරසූ ’පාවඩ දාලා පා ඔසවාලා............’ අද අසන්නට නැත්තේ එය ඇසූ කිසිවකු ’ජනමාධ්‍ය’ කලායතනයන්හී නොසිටින නිසාදෝ යැයි කුකුසකි.
රසවත් කරන ලද්දකි.
05 පාවඩ දාලා පා ඔසවලා ....
'මංගල යුවළ පැමිණ සිනහ නගාලා...
කෝමල ලීලා ආදර පාලා ...
අතදී සෙත් පතන්න තෑගි පුදාලා...
(සහය ගායනය - මිනෝන් රත්නම් ප්‍රනාන්දු)
සී ඩී ෆොන්සේකා නාමය යටතේ වාදනය වූ ගීත ගොන්නෙහි යටපත්ව සැඟවුනු නිර්මාණ ද ගණනාවකි. 70 දශකයේදී ම ඔහු ගැයු මෙම ගීතය වෙළඳ තැටියකින් උපුටනය කරනන්ට යෙදිනි. යොවුන් පෙම්වතුන්ගේ සැළමුතු ප්‍රේමය දෙදරවා බිඳ හැර ඇතිවන ගැටීම් හමුවේ, මතුවන ’ප්‍රේම විප්රයෝගය’ අරභයා ගැයුනු ගීත සිංහල ගීතාවලියේ එමටය. එහෙත් එය මෙතරම් සරළව, එදිනෙදා වහරණ ’සිංහලයෙන්’ ලියැවුනු අවස්ථා නම් විරළය.
06 රහසේ කීව ප්‍රේම කතා නෑ ...
එදා දුන්න ඒ පොරොන්දු නෑ ...
හද නළවන ආදර ගී නෑ ...
ඒයාට දැන් මාව ඕනේ නෑ ...
එකී දශකයේදී පවා දිවයිනේ ප්‍රමුඛතම ගායන ශීල්පියෙකු ලෙස ශ්‍රාවක බුහුමනට පාත්‍ර ව සිටි ’සී ඩී ෆොන්සේකා’ ’රූපවාහිනිය’ නවමාධ්‍යයේ පෙනී සිටිමින් එහි සංගීතමට වැඩසටහන් උදෙසා දායකත්වය පළකළේය.
කලක්, රෝගාතුර ව සිටි මේ සොඳුරු කලාකරුවා දිවිගමනේ ... වසර පසුකරමින් යද්දී ජීවිතයේ සයවන දශකයේ අඩක් ඉක්මවා යන්නට ද මත්තෙන් 1986 වසරේ වෙසක් මස එකොළොස්වැනි දින දී දෙව්මව් තුරුළේ සැතපෙන්නට නික්ම ගියේය.
(තොරතුරු මුලාශ්‍රය සහ සේයාරූ - ෂර්මිලා ෆොන්සේකා මහත්මිය විසිනි)
ඇයට කෘතඥ පූර්වක ස්තුතිය පළකරමි
සමාප්තයි
No comments:
Post a Comment