ශ්‍රී ලංකාවේ කන්ඩායම් සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලා අංක -05)
ඔහුගේ මනනන්දනීය විසිතුරු තනු විදෙස් ගී තනු අනුකරණයන් නොවිය හැකිදැයි ඇතැමුන් කුකුස් පහළ විය හැකිය. ඔහු ඒවා ගුරු කොට නොගන්නට ඇතැයි නොකිව මනාය. 70 දශකයේ දසත පැතිර ගිය ’බොනි එම්’ (BoneyM) නම් වු සංගීත කන්ඩායමේ ගීත ඇල්බම අතර පරසිඳු ’By the Rivers of Babylon.....’ නම් වූ ගීතයේ තනුව අනුව ගිය ඔහු ඊට හෙළවදනින් සංග්‍රහ කරමින් ’කඳුකරයේ සිතලේ.... මීදුම් තිර යා කෙරේ....’ නමින් ත්‍රී සිස්ටර්ස් කන්ඩායමේ නායිකා ’ඉන්ද්‍රානි පෙරේරා’ හා එක්ව ගැයුවේය. එයින් විදෙස් ගී තනුවක් සෘජුව අනුකරණය නොකර සිටීමේ ප්‍රතිපත්තිය කඩ කලේය.
------------------------------
සවන්දෙන්න එම ගීතයට .....
-----------------------
ඇය සහ ක්ලැරන්ස් තරමටම වෙළඳ ගී තැටි රජදහනේ ආධිපත්‍යය පතුරුවා තිබූ ශ්‍රී ලංකීය ’ජිම් රිවිස්’ අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ’මිල්ටන් මල්ලවාරච්චි’ ගේ එකී තැටි ගීතාවලියේ ජනප්‍රසාදය උදෙසා ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ දායකත්වය ද සුඵ පටු ලෙස ගිණිය හැකි නොවේ. අතිජාත සමකාලීන මිතුරන් බවට පත් වී සිටි ඔවුන් දෙදෙනා නිසා සිංහල ගී තැටි සහ පසුව කැසට් පටි ව්‍යාපාරය ගී ලෝලීන් ට රසඋල්පතක්ද ව්‍යාපාරිකයන්ට ධනඋල්පතක්ද බවට පත් විය.
කැසට් වංශ කථාව දියත් කරමින්, ශ්‍රී ලංකාවේ ගායකයෙකු උදෙසා දොරට වඩින ලද මංගල කැසට් පටය ලෙස පිළිගැනීමට ලක්වූ ’තරංගා් ලේබලයේ නිර්මාතෘ දිවංගත විජය රාමණායකගේ 'Anytime_Anywhere ' කැසට් පටයේ සංගීතය නිර්මාණය කරනු පිනිස ඇරයුම් ලද්දේ ’ක්ලැරන්ස්’ ය.
පෙම් රජ දහනේ...(අජන්තා රණසිංහ) (රුක්මණි දේවි සමග), සඳෙන් එහා කඳු මුදුන් ඉමේ ...(කුලරත්න ආරියවංශ), නාඞන් රෑ සඳ තනිවී ...(උපාලි ධනවලවිතාන),තරිඳු සේ මා දිවි ගමනේ.....(කුලරත්න ආරියවංශ), සැදී රන් අබරණින් .....(කුලරත්න) අවසර නැත මට ඔබේ අත ගන්නට... (ප්‍රේමකීර්ති ද අල්විස්), සමනළ සමනළියන් මැද්දේ....(ප්‍රේමකීර්ති), හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂනී ...(ප්‍රේමකීර්ති), අද හෙට ඔබ මා අතහැර.. (කේ ඩි කේ ධර්මවර්ධන), නිරතුරු මම ඔබ ගැනම .....(කේ ඩි කේ), කෙසේ කියන්නද ඔබ මා අතහැර ...(කේ ඩි කේ) , රැයේ රැදුරු සිහින ලොවක .........(කේ ඩි කේ), මට මෙන් ඔහුටද කදුළ ඔබයි ...(ප්‍රේමකීර්ති) වැනි ගීත මෙන්ම තමන්ම ගී පබැඳු සදඵතලේ ඔබ සිටියා බලා..., සුළගේ පාවි ඈ වෙත යාවී ...., තවත් කෙනෙක්... මට ඔබ ලියු ගී....’ ’රත් නෙඵම් මල් කැකූළී.....’ ’තනිවි සිටින්නයි මා අදහස් කළේ...’, ’සැන්දෑවේ රන් වළා..’ වැනි අකාලික ප්‍රේම ගී මියැසි සයුරක රසිකයන්ව පා කර හරින්නට ’ක්ලැරන්ස්’ ගී තනු සහ සංගීත රටා සමත්විය. කේ ඩි කේ ධර්මවර්ධන - මිල්ටන් සදාතනික මිතුරුදම් සුසංයෝගයෙන් බිහිවූ ගීත විසින් ඔහුව එදා යව්වනයන්ගේ ගීත ලොවේ රජූ ලෙස කිරුඵ පළඳවාලූ අතර මෙම සමාගමයට ආගන්තුක සංගීතවේදියෙකු වූ ද ගුවන් විදුලි ගී ඕවිල්ල සැරසූ ’ඔස්ටින් මුණසිංහ’ ගේ තනුවක් ’ක්ලැරන්ස්’ ගේ රසපුර්ණ නාදරටාවෙන් සරසා මිල්ටන් වෙත තිළිණ වුයේය.
---------------සංගීතඥ ඔස්ටින් මුණසිංහ
----------------
’මලින් මලේ රොන් ගන්නා බඹරු බඹන්නා.............’
’රැලින් රැලේ මොණරුන් ඉඳ පිල් විහිදන්නා...............’
’බඹරු බඹන්නා... මොණරු රගන්නා..................’
-------------------------
මෙතැනින් අසන්න'
ලීඩ් ගිටාරයෙන් අන්තර් සංගීත ඛන්ඩ මවමින් ගී මවන මේ යව්වනයා පිළිබඳව රාගධාරි සංගීත කලාවේ පරතෙර පැමිනි හා වෙනත් සංගීත ශිල්පීයක්‍රමවේදයන්ට අනුගත වූ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් විසින් දැරුවේ දියාරු උදාසීන අකල්පයකි. ජනප්‍රිය පොප් වේගරිද්ම ගී ගයනවා හැරෙන්නට ඉන් ඔබ්බට යමක් කරනට ඔහු කිසිදින සමත් නොවනවා පමණක් නොව, තමන් මෙන් බුහුමන් හා සම්මානනයට පාත්‍ර වන්නට අවස්ථාවක් උදාකරනොගනු ඇතැයි ඔවූහූ අනාවැකි පළ කළ අතර ඒ පිළීබඳව යටි සිතින් සතුටු වන්නටද ඇත. සැබෑ ලෙසම ඔහුට සූරිය ලේබලය ප්‍රමුඛ වෙළඳ තැටි උදෙසා නව නිර්මාණ බිහිකර ගයනවා හෝ ගයවනවා හැරෙන්නට ’ලංකා ගුවන් විදුලියේ’ සම්මත සංගීතමය විචිත්‍රාංගයන් හෝ සිනමා සංගීතයට ප්‍රවිශිෂ්ඨ වන්නට වරම් ලැබි තිබුනේ නැත. එහෙත් ඉරණම විසින් ඔහුව යොමු කළ යුතු දිශාව තිරණය කර තිබුනි.
1975 වසරේදී සිනමා කලාවට ප්‍රවිශ්ඨ වූ ආධුනික නිර්මාණකරුවෙකු වූ ’එච් ඩී ප්‍රේමරත්න’ ක්ලැරන්ස් ගේ දිශානතිය නව මගකට යොමු කරවන්නට නියමිත ඉරණම්කරුවා ලෙස ඔහුගේ දෛවය විසින් තෝරාගෙන තිබිනි. සාම්ප්‍රුදායික වට්ටෝරු වානිජමය සිනමා කලාවට පූර්ණ ලෙස ගැති නොවී එය පර්යේෂනාත්මකව නව මගකට යොමු කරනට සමත් වූ ප්‍රේමරත්නයන් සිය භාරදුර කාර්යයේ ප්‍රධාන කොටස්කරුවෙකු බවට ’ක්ලැරන්ස්’ ව පත්කරගන්නට තිරණය කලේ ’සිකුරුලියා’ සිනමා පටයේ සියඵ පසුබිම් සංගීත ඛන්ඩ, තේමා සංගීතය සහ ගීත නිර්මාණය කෙරෙහි පුර්ණ ලෙස ඔහු කෙරෙහි විශ්වාසය තබමිනි.
-----------------------------------
එච් ඩී ප්‍රේමරත්න නම් වූ සරුපසෙහි රෝපනය වූ ක්ලැරන්ස් විජේවර්ධන සිනමා පසුබිම් සංගීතය නම් වු මී අඹ රුක - මෙතැනින් රසවිඳින්නට ඇරයුම් (මෙම හඞ පටයේ සිකුරුලියා සහ අපේක්‍ෂා තේමා සංගීත ඛන්ඩ ඇතුළත්ය)
--------------------------------------
සම්මානිත ප්‍රවිණ සංගීතඥයන් ගේ තෝතැන්නක් බවට පත් වී තිබූ මේ අවධියේ සිනමා සංගීත කලාව වෙත, ක්ලැරන්ස් වැනි නිර්මාණකරුවෙකු පිවිසීම ඇතැමුන්ට ගැටඵ සහගත පැවරීම අවදානම් කටයුත්තක් ලෙස හැකිව තිබිනි. එහෙත් සියල්ල ඉතාමත් විශීෂ්ඨ අයුරින් විසඳාගෙන තමන්ට පැවරූ අභියෝගය හොඳින්ම ජයගන්නට ඔහු සමත්වුයේ, තම සංගීත දිවියේ නවමංසලකුණක් තබමිනි.
ධර්මසිරි ගමගේ ශූරීන් විසින් ලියැවුනු තේමාගීතය ’විරහව’ කැටිකොටගත් අතර එය ගයන්නට අසවල් ගායකයා තොරාගන්නා ලෙස ක්ලැරන්ස් වෙත සිනමාපටයේ බරපැණ දරන්නන්ගෙන් එල්ල වූ බලපෑමට ඔහු යටත් වුයේ නැත. විරහ ගියේ එදා සංකේතය වූ ගුවන් විදුලි සහ සිනමා ගී ගායක ’මිල්ටන් පෙරේරා’ හැරෙන්නට කිසිවෙකු තම නිර්මාණය ගායනා නොකළ යුතුයැයි ඔහු තරයේ කියා සිටියේය. කැළණිය ශබ්දාගාරයේ දී ගීතය එක්වරකින් පටිගත විය. එය ’සිකුරුලියා’ සිනමාපටයේ ජයසංකේතය බවට පත් වී ඉන් නොනැවතී එදාමෙදා තුර සිංහල සිනමා සංගීතයේ නොමැකෙන මංසළකුණුක් සටහන් කරන්නට සමත් විය. සිනමා පටයක ’තේමා’ ගීයක හැඩරුව මනාව දැන හැඳින අවබෝධකරගෙන ඊට ආවේනික ගුණාංග ’සිකුරුලියා’ ට ආදේශ කරන්නට ඔහු වගබලාගත්තේය. එහිදී තම සුපුරුදු රිද්මයෙන්, මියැසි රටාවෙන් මිදෙන්නට ඔහුට සිදුවන්නට ඇත.
කොමළලියා .............බොළඳලියා .............මාව දමා යන්න ගියා.............සියුමැලියා සිකුරුලියා...................
--------------------
ප්‍රේමරත්න රූප දසුන් පෙළ උත්කර්ෂනයට ලක් කල ක්ලැරන්ස් මියැසිය නරඹමින් රසවිඳිනු මැනව
-----------------------
'ක්‍ෂේත්‍රයේ ඇතැමන්, ඒ දෙස සැකමුසු බැලුම් හෙඵහ. ඊට පෙර දශක ද්විත්වයේදී සිදුවූ ලෙසම, ඇතැම් නිෂ්පාදකයන් සහ අධ්‍යක්‍ෂවරුන් ගේ අණසකට යටත් ව, ’විදෙස් ගී තනු සියුම් ලෙස පැහැර ගැනීමේ’ ක්‍රමවේදය දැනකියා ඊට හුරුපුරුදුව සිටියවුන් එය ද ’විදෙස් ගී තනු අනුකරණයේ ගොඩට ඇද දමන්නට තැන් දැරූහ. අසල්වැසියාගේ සිනමා ගීත කලාවෙන් පුරුද්දා නොගත්තේ නම්, වෙනත ්බටහිර රටක නුහුරු ගීයක තනුවකැයි කසු කුසු ගෑහ. එහෙත් ඔවුන් හට එදාමෙදා තුර ඊට ගුරු වූ මුල් විදෙස් ගීතයක් දැන හැඳින මතුකරගන්නට හැකි නොවීය. සියල්ලෝ නිරුත්තර වූහ.
---------------------
ප්‍රවිණ සිනමාවේදී දිවංගත එච් ඩී ප්‍රේමරත්නයන්
---------------------
එතැන් පටන්, සිදුවිය යුතුව තිබුනේ වෙනත් නිෂ්පාදකයන් වෙතින් ඔහු වෙත ඇරයුම් ගලා ඒමයි. එහෙත් විශ්මයකි... එච් ඩී ප්‍රේමරත්නයන් විසින්ම සිය දෙවැනි නිර්මණය ’අපේක්‍ෂා’ ඉන් වසර 04 කට පසුව නිර්මාණය කරනා තෙක්, එදවස වසරකට පණහකට ආසන්නව නිපැදවුනු එකදු සිනමා පටයක නාමාවලියේ ’සංගීත අධ්‍යක්‍ෂනය - ක්ලැරන්ස් විජේවර්ධන’ යන්න සඳහන් වුයේ නැත.
’සිකුරුලියා’ මියැසිය නැවැත්වූ තැනින් ඔහු ’අපේක්‍ෂා’ ගී මියැසි පෙළහර ආරම්භ කළේය. සිංහල සිනමාවේ ප්‍රේම විප්‍රයෝගයේ පෙම්වතුන් ගැයුනු තවත් විශීෂ්ඨතම විරහ ගීතයක්, සිනමාලෝලීන් මුවග දශක ගණනක් රැව් පිළිරැව් දෙන්නට නියම වූවා වූ යුග ගීයක් ඔහු නිර්මාණය කර දුන්නේය.
----------------
සඳ තනිවෙලා අහසේ ....................හිරු තනිවෙලා ..................... උතුරා ගැඵ ගගුලක් අද වියළිලා ................
--------------------
---------------------------
ක්ලැරන්ස් ගේ වෙළඳ තැටි ගීතාවලියෙහි දක්නට නොලැබුනු පරිණත බවක්, අපුර්වත්වයක් ඔහුගේ කුඵඳුල් සිනමා සංගීත නිර්මාණයන් සහ දෙවැනි නිර්මාණ පෙළ සඳහා දක්නට ලැබුනේ එහි ඔහු මුල්වරට තම නිර්මාණවලිය සඳහා භාවිත කර නොගත්, එහෙත් එදවස ගුවන් විදුලි සරළ ගීතයේදී මහත් සේ ජනප්‍රියත්වයට පත් ’සන්තූර්’ සහ ’වයිබ්‍රෆෝන්’ නම් වූ සිංහල ගීතාවලියට නව හැඩතල එක්කල සංගීත භාන්ඩ ද්විත්වය මුල්වරට යොදා ගනු ලැබීම නිසා විය හැකිය.
අපේක්‍ෂා සිනමා පටයේ දී රංගනවේදිනී ගීතා කුමාරසිංහ සහ රංගධර රොබින් ප්‍රනාන්දු දෙපොළ පෙනී සිටින ශංගාරාත්මක එසේම උද්වේගකර ජවනිකා පෙළක් සඳහා ඔහු නිර්මාණය කර තිබූ පසුබිම් සංගීත ඛන්ඩයේදී ’වයිබ්‍රෆෝන්’ නාදමාලා රැව්දෙයි. එසේම, එහි ඇතුළත් ආචාර්ය සුජාතා අත්තනායක සහ ජෝතිපාලයන් ගැයූ ’සොඳුරු ලොවට මල් වැහැලා....’ (අන්තර්වාදනයේදී) සහ ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි සහ ශීල්පිනී ඇන්ජලීන් ගුණතිලක ගැයු ’කලක් ඇවෑමෙන් පෙරුම් පුරා...’ (ආරම්භක වාද්‍ය ඛන්ඩය) යන මේ ගීතවලදී ’සන්තූරය’ වැයෙන්නේය.
සිකුරුලියා හි ඉන්ද්‍රානි පෙරේරා ගැයු ’වසන්තයේ මල් කැකුළයි.............’ ඒකල ගීතය මෙන්ම අපේක්‍ෂා හී ක්ලැරන්ස් විසින්ම ගැයු ’සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි..............’ ගීත ඔහු විසින්ම පද සැකසූ අමරණිය සිනමා ගී අතරට එක්ව තිබේ. මේ ගී සඳහා සංගීත සංයෝජනය සහ වාද්‍ය සහය ඔහුගේ ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ කන්ඩායමේ සාමාජිකයන් විසින්ම සිදු කරන ලදැයි කියැවෙන අතර එහි ඩ්‍රම්ස් වාදනශුරී දිවංගත ශ්‍රී කාන්ත දසනායකයන්ගේ දායකත්වය එහිදි වෙසෙසින් කැපී පෙනෙයි.
සම්මාන උළෙලවල් එකිනෙක පසුපස එකිනෙක පෙළගැසිනි. එහෙත් ඒ කිසිම වේදිකාවක ඔහුගේ නාමය කොතැන කවර කල්හී හෝ සඳහන් වූ වගක් වාර්තා නොවේ. අද අප අතර නැති ඔහු ලද්දේ සිනමා ගීත ලොලීන් හද පිනවා ඔවුන් ගේ හදවත් දිනාගැනිමේ සම්මානය පමණකි.
50 දශකයේ පටන් හින්දි සිනමා රූ සත්සර රටාවන් හැඩගැන්වූ සුවිශේෂි තත් භාන්ඩයකි ’සන්තූරය’. එක ගොණුවකට තත් සතරක් බැගින් ගොණු 10 ටත් වඩා ප්‍රමානයකට තත් සකසා ඇති ඒ මත ස්පර්ශ වන දන්ඩක් නිසාවෙන් එකිනෙකා පසුව එන කම්පන මාලාවකින් එය හැඞවෙන්නේ ඉන් උපදවන තත් නාදයට නැවුම් හැඩයක් ගෙනදෙමිනි. 70 දශකයේ මධ්‍ය භාගය ගෙවී යද්දී එය ’ගුවන් විදුලි’ සිංහල ගීත පටිගතකිරීම් සඳහා යොදාගැනුනු අතර එය හඳුන්වාදීමේ පුරෝගාමි වාදන ශිල්පිය සංගීතඥ ආචාර්ය රෝහණ විරසිංහය. ’ඔබ පෙම් කරනා ඔබේ කුමාරී............. (ගුණදාස කපුගේ) ගීයේදී, එහි රාව ප්‍රතිරාවය අත්විඳිය හැකිවන්නේය. එතැන් හි සිට මහත් අභිරුචියකින් ’සිංහල ගි’ නිර්මාණයන් සඳහා එය යොදාගන්නට උත්සහ කළ සංගීතඥයන් අතර ප්‍රමුඛයෙකු බවට පත්වුයේ ’ක්ලැරන්ස්’ ය. මතු කී, ’අපේක්‍ෂා’ සිනමා සළරූ පෙළහරේ සියඵ ගීතයන්හි විවිධ අන්තර්වාද්‍ය ඛන්ඩ සඳහා ’ක්ලැරන්ස්’ ගේ ඇරයුමෙන් එය වැයුවේ ’රෝහණයන්’ විසිනි. සිනමා ගීයෙන් ඔබ්බට ද එහි රසය පුඵල් කරන්නට සිතු ඔහු එතැන්හි සිට සිය නිර්මාණ ගණනාවක් උදෙසා ’සන්තුර’ යේ නාදරටාව මුසු කරන්නට නොපැකිළිව පියවර ගත්තේය.
වර්ණන් පෙරේරා සහ ඉන්ද්‍රාණී පෙරේරා ගැයූ ’සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට...............’ මර්වින් මිහිඳුකුල ගැයු ’කුඹුකේ ළිඳ ලගදී...මට මතකයි මන බැන්දු සිනා.....’ වැනි අතිශය ජනප්‍රිය නිර්මාණයන් ඔපවත් වුයේ මෙකී ’සන්තුර්’ හඞ මුසුවිමෙනි.
--------------------------
මර්වින් මිහිඳුකුල නාමය එක රැයකින් රටටම හඞගා කියූ ක්ලැරන්ස් මධුරසය
---------------------------
'ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සත්සර නිර්මාණයෙන් දායක වූ කේ ඒ ඩබ්ලිව් පෙරේරා ගේ ’ජනක සහ මංජු’ සුමියුරු ගී රස උල්පතකින් ගීතලෝලී මනදොළ සැපිරිය. ඔහු ඇරයුමෙන් ’ක්ලැරන්ස්’ හඞ අවදිවූයේ 1978 වසරේදීය. එහිදි ඔහු ’ගෝතමි පතිරාජ’ සහ ’ජයන්තදාස් පෙරේරා’ නම් වු අධුනික නඵනිළි යුවලකගේ ජවනිකා පෙළක් දෙවරකදී ප්‍රේක්‍ෂක හදතුල ලැගුම් ගන්වන්නේ වරෙක ඒකල ගීතයක්ද වරෙක ලතා ව්ලපොළ සමග යුග ගීයක්ද ගයමිනි.
01 ’සුවඳක් දැනෙවි හදෙහි ආදර ලෝකේ හා හා........ කුමරෙක් ඇවිදින් සිටිවී කුමරී කොහේද මා හා ..............’ (ගී පද ධර්මසිරි ගමගේ)
-------------------
02 ’ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ..........ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ.........මංජූ (ගී පද ධර්මසිරි ගමගේ සහය ගැයුම ලතා වල්පොළ)
---------------------------------------------------------------------------------
පසු සටහන - ’එච් ඩී ප්‍රේමරත්න- ක්ලැරන්ස්’ සුසංයෝගයේදී ඔහු සිනමා සංගීතකරණයේදී අති සාර්ථක වූ බව පෙනිගියද එය බිඳුනු පසුව ඔහුට සිදුකරන්නට ලැබුනු සිනමා සංගීත නිර්මාණයන්හිදී, එක්තරා අන්දමකට හුදකලා වීමකට ලක් වූ බවක් හැගී යයි. මේ අතරවාරයේ එච් ඩී ප්‍රේමරත්න ගේ පසුකාලීන නිර්මාණයන් සියල්ල ම මනරංජනීය ගීතාවලියකින් වර්ණවත් ව හැඩගැන්වී තිබිණි. ඒ අනුව පරිත්‍යාග - 1980 (ළා හිරු පායලා - ටී එම් ජයරත්න - මාලිනි බුලත්සිංහ - සංගීතය ප්‍රේමසිරි කේමදාස), ආදර හසුන - 1986 (සුදුමුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ - නීලා වික්‍රමසිංහ - ටී එම් ජයරත්න - සංගීතය රෝහණ වීරසිංහ), මංගල තෑග්ග - 1987 (වාසනා වේවා - සංගීත් නිපුන් මහාචාර්ය නැසිගිය සනත් නන්දසිරි, එකයායේ කකා වැටි - බන්දුල විජේවිර, සුනිල් එදිරිසිංහ - සංගීතය එච් එම් ජයවර්ධන)
එච් ඩී ප්‍රේමරත්නයන් සිනමා සංගීතය කෙරෙහි අතිසංවේදිව කටයුතු කළ, වෙනත් කැපී පෙනෙන සිනමාකරුවන් කිහිපදෙනා අතරට එක්වූ චරිතයක් බව මෙයින් හැගී යන්නේය. එනම් ඔහු සිය නිර්මණයන්හී ඇතුළත් කරන්නට නියමිත ගීතවල මධුරත්වය සහ යෝග්‍යතාවය කෙරෙහි සැළකිළිමත් වෙමින් ගී පද රචකයන් සහ සංගීතඥයන් ගේ භූමිකාවට සක්‍රිය ලෙස මැදිහත් වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.
ක්ලැරන්ස් විසින් ඔහුගේ සිනමා නිර්මාණ ද්විත්වයේදීම සරුසාර පසුබිම් සංගීත රටාවන් පවා මුසුකරන්නට සමත්වි තිබිනි. ’අපේක්‍ෂා’ පසුබිම් සංගීත ඛණ්ඩ පසුව එයින් පරිබාහිරව ගුවන් විදුලි වාද්‍ය සංගීත ඛන්ඩ සහ තේමා වාදනයන් උදෙසාද 1979-1989 දශකයේදී යොදාගනු ලැබිය.
’වසන්තයේ මල් කැකුළයි....’ වෙනුවෙන් වාද්‍ය රසය මුසුකල ක්ලැරන්ස් ගේ ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ කන්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශූරී ’ශ්‍රී කාන්ත දසනායක’ යන් ගීතය කැළණිය දඵගම ශබ්දාගාරයේ පුහුණුවීම අරඹන්නට පෙර.... එහි මුල් ස්ථායි කොටසට ගී පද පේළි පහක් ඇතුළත් ව තිබෙනු දැක ගීතයේ රිද්මයට එයින් බාධා සිදු නොවන්නේදැයි ගී පද රචක ක්ලැරන්ස් ගෙන් කළ විමසීමට, ඔහු එය එසේ සිදු නොවන බවද, ගීතයේ තනුව ඊට සුදුසු ලෙස තමා සිරුමාරු කරඇති බවද කියා සිටි බව එක්තරා සටහනකින් එළිදරවු විය. මෙම සිද්ධිදාමයේ සත්‍යතාවය තහවුරු කර ගැන්මට එදා මේ නිර්ාමණයට දායක වු කිසිවෙකු අද අප අතර නැත්තේය
මෙතැන් හි සිට ඉදිරියට.................
----------------------------------
තනු නිර්මාපකයෙකු, සංගීත සංයෝජකයෙකු, පද රචකයෙකු පමණක් නොව ළබැඳි ගීත රැසක් ඔස්සේ අප හදට සමීප වූ ගායකයෙකු ද වූ ක්ලැරන්ස් විජේවර්ධන නම් වූ ආදරණීයයා නමින් තබන මේ සටහන් හදවතින් ම අගයනවා..
ReplyDelete1979 වසරේ තිරගත වුණු ජනක සහ මංජු චිත්‍රපටයේ කෙළිලොල් තරුණයෙකු වෙනුවෙන් පසුබිම් ගායනයට කේමදාසයන් විසින් ඒ යුගයේ සිටි අන් සියලුම ගායකයින් අතුරින් ක්ලැරන්ස්ව ම තෝරා ගනු ලැබීම විශේෂත්වයක්..
එවකට තාරුණ්‍යය ඉක්මවමින් සිටියද, ක්ලැරන්ස් ගේ ගායන ශෛලියේ සහ ඔහුගේ හඬේ තිබූ කෙළිලොල් තාරුණ්‍යය කේමදාසයන්ගේ ද අවධානයට ලක් වන්නට ඇති..
ක්ලැරන්ස් වටා තරුණ පිරිස් ගොනු වුණේ ඔහුගේ නිර්මාණයන්හි මිහිරියාව සේ ම ඒ අපූර්වත්වය ද නිසාමයි කියා හිතනවා..
හදපිරි ස්තුතිය පුදදෙමි රසිකාවනි,
Deleteමා කලේ ලක්පොළෝතලයේ දුර්ලභව ජනිත වූ, කලාශිල්පියෙකු ගේ අතීත මතක හුවා දැක්වීම පමණකි. ඒ ඔබ මට අපටම පමණක් නොව මතු බිහිවන සංගීත රසවතුන් වෙනුවෙනි
ඉතාම අගනා වටිනා ඇගයීමක් , පිදිය යුත්තන් පිදීමක් හා අතීත ආවර්ජනයක් කිරීම සම්බන්දයෙන් ඔබතුමාට මෙසේ කෘතවේදීත්වය පුද කරමි !!!
ReplyDeleteමේ දේවල් අද අප ජීවත්වන සමාජයේ ඉතාම දුබලයි.
ස්තුතියි. ඔවුන් ආත්ම තෘප්තිය උදෙසා හෝ අප උදෙසා, හෝ මේ දෙකරුන නිසා නිර්මාණකරනයේ යෙදුනත්, ඒවා අප සැනහු , කලාකෘතිය. ඒවාට පෙරළා, කළගුන සළකමු
Delete