namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, December 6, 2023

එදා සිංහල ගම්මානය - 02

 සීංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 02

 මේවා වස්දඞු රාවයෙන් හැඩගන්වා ඇත්තේ කිනම් කරුණක් නිසාද? එය ’ගැමියා’ ගේ සංගීත භාන්ඩය වන නිසයි. අත පොවන දුරින් වැවී ඇති ’උණ පඳුරු’ ගොල්ලෙන් බටයක් කපා ගන්නා ඔහු එයින් බටනලාවක් නිර්මාණය කරගන්නේ වැඩි ආයාසායකින් තොරවය. හුදකලා පාඵ බව මකා ගන්නට ඔහු බඩවැටියේ, ළන්දේ ඇවිද යමින් එය වාදනය කරයි. උච්ච ස්වරයෙන් හඞවන එහි රාව ප්‍රතිරාවය ඈත කඳු වළල්ලෙන් හැපී දෝංකාර දෙන්නා සේය.  එයින් මත්වෙන ගැමිලියකගේ සිතතුළ ගුලිවි නිදිගත් ප්‍රේමාදරය කිතිකැවී වහා වහා අවදිවෙයි. දුරින් නැගෙන්නාවු ඒ මෝහණිය වස්දඞු රාවය ඇදී එන ඉසව්ව කරා ඇය පියනගන්නී හදවතේ තෙරපෙන ළයාදරය පවසන්නීය.



දෑත දරා පෙරදා කීව කථාවේ.....

දෑස රැඳි තාම බැඳිලා......

සීත රැයේ හඞනා දෑස ගියාවේ ...

ඈත ඔබේ ලෝකේ සොයාලා ......


ලන්ද දිගේ හැංගි හොරා සැඳැ කාලයේ....

රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ....


පාඵ පැයේ මුමුණා ගීත ගැයේවා..,

පාඵ සිතේ ශෝක නිවාලා ...

ජීවිතයේ තනිවි දෑත රෑඳේවා..,

ආයේ ඔබේ දෑතේ බැඳිලා ....

(කුලරත්න ආරියවංශ ගී පද ගැයුම නන්දා පතිරණ, සංගීතය ස්ටැන්ලි පීරිස් - 1978)


අරුත් විමසුම 

’ඇල් වී’ හේන සහ ’කුරහන් හේන’ ගොඩගොවිතැනක් වූ ’හේන්’ වගාවේ නිරතව සිටි ගැමියන්ගේ කුසගිනි නිවූහ. කුරහන් පැසුනු විට ගොයම් සේම ’රන්වන්’ පැහැතිය. එය ශුෂ්ක භෝගයකි. ඒවායේ අස්වැන්න නෙඵ කල්හී ’කුරහන්’ ඇඹරුම් ගල යොදාගෙන අඹරා පිටි කරවීමෙන් පසුව විවිධ ආහාර නිපදවා ගනී, ඒ අතරින් බහුලම වුයේ ’කුරහන්’ රොටියයි. එය නීරස ආහාරයකි. දඩමස් හෝ එවැන්නක් ඊට එකතුකරගැනීමෙන් පමණක් ආහාර රුචිය වඩවා ගත හැක්කේය. එනමුත් සිරුරු බලගන්වයි. වරක් ආහාරයට ගත් පසූ, කුසගින්න මැඩපවත්වා ගත හැකි කාලය දිගුය. 

ඒ කුරහන් සහ වෙනත් භෝග වවා ඇති හේන්, වනසතුන්ගෙන් රැකගත යුත්තේ ඔවනු එළවා දැමීමෙනි. නමුත් වළසුන්, අලින් ගෙන් මෙන්ම විසකුරු සර්පයන්ගෙන් ජීවිත තර්ජන එල්ල විම නිසා හේනේ උස් ගසක හෝ උස් රිටි මත ’පැලක්’ අටවාගනී. අඳුරු වැටුනු පසු පැල්රැකීම ඇරඹෙන්නේ සීව්පද කවි ගයනා ද සමගිනි. ඒවා තනිව සිටින ගැමියා ගේ කාන්සිය මගහරවයි. යාබද හේන් ගොවින් ගේ සිව්පද ද අතරින් පතර නිහඞ වනයේ රැව් පිළීරැව් දෙයි. රාත්‍රී යාමය පුරා නිදිවර්ජිතව නිවසින් බැහැරව සිටින්නා ගේ  යුගදිවියේ සතුරන් සිටී.

මේ යුවතියද  ’තුන්හිරියා’ වැනි ශාඛ (ඒවා පොදුවේ පන් නමිනි) පත්‍ර කපා ගෙනෙන්නේ, වට්ටි පෙට්ටි ඇසුරුම්, පැදුරු වියා ගැනීමටය.

අදද, නිවෙස් නවීකරණයට ලක් වුවද, නිවස ඉදිරිපට මිදුලේ ’පහන්පැල’ අවටා තිබේ. තමන් ගේ දුක් කරදර කම්කෙටොඵ උදෙසා පිහිටාධාර පතන්නේ ඒ ඉදිරිපිටය. එහි ඇති දේවරූපයට ’පහනක්’ දල්වනු ලැබේ. 

අපමණ දුක් හිරිහැර කරදර ඉවසා දරාගෙන රකින ’කුරහන් යාය’ රන්වන් පැහැ ගන්නේ පැසීගෙන එද්දීය. තම ශ්‍රමයේ ඵල නෙළාගන්නට ආසන්න බව වටහගන්නා ගැමියා අටලෝ දහම් සක කැරකී, දැන් අපමණ ප්‍රිති ප්‍රමෝදයට පත්වෙයි. නුදුරු දිනකදී රන්වන් කුරහන් නෙළාගන්නට සැරසිය යුතුය. එවිට අටුකොට පිරීයයි. අතමිට සරුවෙයි. සම්පත, සිරිදෙව්දුව වඩින්නේය. ඔහුගේ වසන්තය සමය එළඹෙයි. හෙළයන්ගේ බක්මහ සැණකෙළිය ද ළං ළංව එයි. හාත්පස තුරුලිය මලින් ඵලින් බරවී දඵ ළා මද සුළගේ රගදෙයි. ඔහුට ද රැගුම් රගන්නට සිත්දෙනුවා වන්නට ඇත.


කරල් බරින් නැමි දිළෙයි රන්වන් කුරහන්.....

රෑන් ඇදී ගිරව් සැදී කරතෙයි සෙල්ලම් ...

නගේ මලේ ...මොකදැයි ඔය කම්මැළිකම් ...

අත්වැල් බැඳ නෙළන්න යමු හේනේ කුරහන් ......


කුරුඵ පැටවු සිංදු කියති ..බැද්දේ නිල්වන් ...

බඹරු නටති..නලා පිඹිති රොදබැද රුං රුං.....

මමත් මෙතැන බලා ඉඳිමි නෑනා එනකං.....

පුංචි පුංචි නෑනාවරු එක් රොක් වෙන්නයි...

පුංචි පුංචි පුටුවල ඉඳ ඔමරි කරන්නයි....

නගේ මලේ කුරහන් සිංදු කියාපං ...

කුරක්කනේ මංගල්ලය ජයටම ගන්නයි....

(ජයම්පති අල්ගම, එඩ්වර්ඩ් ජයකොඩි ඇතුඵ පිරිස ට මියැසි රටා පන්ඩිත් අමරදේවයන්ගෙනි - 1975)



කූඹුක් ශාකයෙන් වැටෙන බීජ ජල මුලාශ්‍රයන් පිරිසිදු කරන ස්වභාවික සම්පතකි. එසේම කුඹුක් ගස නිසා ඒ ආශ්‍රීත උල්පත හෝ දියවලේ, නානළිඳේ ජලය සිහිල් සිසිළසක් ගෙනදෙයි.

’කුඹුකෙ ළීඳ’ ගමේ පවතින පොදු නාන ළිං අතර ප්‍රසිද්ධය 




මට මතකයි මන බැන්දූ සිනා ඔබේ....

හද පතුලේ සිහිවෙන්නේ ඔයාමයා කුඹුකේ ළිඳ ලගදී...

කුරහන් හේනේ කරල් කපන්නට තනියෙන් නම් මට බැහැ මැණීකේ...

මගේ පොඩි පැල්පත එළිය කරන්නට ... හනිකේ ඇවිදින් මා හමුවෙනවද කුඹුකේ ළිඳ ලගදී...


(ක්ලැරන්ස් විජේවර්ධන ගේ නිර්මාණයේ ගැයුම මර්වින් මිහිඳුකුලගෙනි - 1978)

----------------
කුඹුක් ගස අසබඩ ළිඳ (දිය උල්පත) -  සුපිරිසිදු ජල මුලාශ්‍රයකි
-----------------

එහි විත් කළය බහා දිය පුරවා.. උකුලේ තබා නිවසට පියමං කරන යුවතිය ඒ කාර්ය කරන්නේ ස්නානාය කිරීමෙන් පසුව විය හැකිය. ඒ අනුව ඇය ආපසු යන්නේ දියබේරෙන වරළ මුදාගෙනය. 


නාමල සේමයි පෙණුනේ ....

නාගෙන යනවද ළඳුනේ ...

රෑන කිතුල් සේම රුවට වරළ උනාලා ...

වක්කලමින් ගලා බසින කලබල දියරැල්ල වගෙයි.

වයස ගෙවෙනවා ළඳුනේ වයස ගෙවෙනවා...


(ඩෝල්ටන් අල්විස්ගේ රචනයේ හඞ විජේරත්න වරකාගොඩගෙනි, සංගීතය වික්ටර් දඵගම ගෙනි- 1970)


නළ වතුරෙන් කරාමය ඇර පැන් පහසුව සනහාගන්නාවුන්, එදා නාගරිකයන් අතර පවා අතළොස්සකි. ඔවූහූ වියළි කර්කශ පොළොව හා පොරබදනවුන්ගේ දුක් වේදනා නොහඳුනති. දිය කළයක් උරමත රුවා හෝ කිහිපයක් හිස මත දරා දුර මග යන්නී, එකී සිමිත පැන් සම්පතින් දවසේ පානීය අවශ්‍යතා සපුරා ගනිති. ’කළය උකුලේ රුවා දිය ගෙන යන්නියන්’ තරම් සාහිත්‍ය නිර්මාණයන් හට ද වෙනත් මූර්ති, සිතුවම් කලා නිර්මාපකයන් හටද විෂය වූ අන් යමක් නැත්තා සේය. 



වතුර කලේ ඇයි උකුළ තෙමන්නේ ....

කාගෙන් අහලද එහෙම කරන්නේ ...

පිපුනු මලක් සේ සූරිය තැන්නේ ...

ළීඳට ගිහිල්ලද තනියම යන්නේ .....

(ඩෝල්ටන් අල්විස්, ගැයුම සිසිර සේනාරත්න - 1971)


සැළෙන ළෙලෙන උකුඵ තලේ ...

ළිඳට යනෙන වතුර කළේ ....

කළමහ පින පෙනෙන වෙලේ ....

(ඩෝල්ටන් අල්විස්, අයිවෝ ඩෙනිස් - 1968)



මෙතැන් සිට ඉදිරියට දෙසතියකින්....

12 comments:

  1. මර්වින් මිහිදුකුල මහත්මයගේ මට මතකයි මන බැන්දු සින්නා ගීතය මා ඉතා ආසාවෙන් අහපු සින්දුවක්.

    කුඹුක් ගස් වලට ඉතා ඉහල ගනයේ වතුරට ඔරොත්තු දෙන හැකියාවක් තියෙනවා.ඉස්සර කාලේ පාලම් වල පාදමට පාවිච්චි කරන්නේ කුඹුක් කදන්. පොලොව යට වලලා අවුරුදු ගාණකට පස්සේ නැවත හාරා බැලුවත් මේ කිඹුක් කදන් හොද තත්වයේ පවතිනවා දකින්න පුලුවන් - Mayya

    ReplyDelete
    Replies
    1. ඉතා වටිනා තොරතුරු , මේවා ඇයි මෙසේ ලියා තබන්නේ? ඔය ගීත වල අදහස් වර්තමාන පරපුරටත් අවබෝධකර ගන්නටයි මෙහෙම ලියා තබන්නේ. කුඹුක්, මී, බෝවිටියා,දං, බාළොලියා...මේවා දැන් පරපුර දනිත්ද

      Delete
  2. අනේ යන්න හැකි නම් මට අතීතෙට
    ගිහිං ඉන්නවා නෑවිත් වත්මනට
    ලෝකය ඇවිත් වගෙ පෙනුණත් දියුණුවට
    අද තියෙනවද අපෙ හිත්වල ඒ සතුට?

    ReplyDelete
    Replies
    1. ඒ බව ඔබ දැනගත් බව පෙනීයතේ...
      ගොඩ ගහත්ත ජීවිත නිසරුය දනිතේ...
      සොබදෙහම් මව්ගේ තුරුළේ සැනහේ...
      එයම නොවෙද සැපසම්පත මිනිස්බවේ....

      Delete
  3. මෙම සටහනේ වටිනාකම තිබෙන්නේ ඉදිරිපත් කරන ගීත මුල් පටිගත කරන ලද ගීත වීම නිසයි. අද මේ ගිත කිසිම මාධ්‍යයක නෑ.

    ReplyDelete
    Replies
    1. සැබැවි, එය මෙහි අරමුණු අතරින් වැදගත් එකකි. ස්තුතියි

      Delete
  4. මීට වසර පනහකටත් පෙර මගේ ළමා වියේදී රස වින්ද මේ ගීත අහන්නට ලැබීම ලොකුම සතුටකි. මේ මුල් ගීත අසන්නට සැලැස්වූ ඔබතුමාට බොහොම පින්. ස්තූතියි .

    ReplyDelete
    Replies
    1. මෙය කොටස් ගණනාවකින් සමන්විත මුල් ගී පොකුරු රැසකි. දෙසතියකට වරක් මෙහි විත් රසවිඳිනු මැනවි. ස්තුතියි !

      Delete
  5. සුපුරුදු ලෙසින් ම මිහිරෙන් අනූන වූ එදා ඇසුණු ගී ගොන්නක්...! මේ සමහර ගීත එදාට පස්සෙ අදයි ඇහුවෙ..
    ස්තුතියි ප්‍රභාත් මේ කරන අනුපමේය මෙහෙවරට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනාලි , ඉදිරි කොටස් ද කියවා රසවිඳ අදහස් දක්වනු ඇතැයි විශ්වාස කරමි

      Delete