namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, June 14, 2023

ක්ලැරන්ස් විජේවර්ධන - Clarance's Creations

ශ්‍රී ලංකාවේ කන්ඩායම්  සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලාවකි) -  අංක 02

 1969 පමණ වෙද්දී මූන්ස්ටෝන්ස් සාමාජිකයන්  ගේ ලැයිස්තුව සමන්විත වූයේ නියමු ක්ලැරන්ස් (රිදම් ගිටාරය සමග ගායනය) ප්‍රමුඛ චානක පෙරේරා (බේස් ගිටාරය දරමින්), සුනිල් මාලේවන (ලීඩ් ගිටාරය), විජිත් පීරිස් (ඩ්‍රම්ස්), ඇනස්ලි මාලේවන (ගායන), මංගල රොද්‍රීගෝ (ගායනය) සහ ඇන්ටන් ගුණතිලක (ලීඩ් ගිටාරය) යන සාමජිකයන්ගෙනි. මේ කන්ඩායමට පමණ කාලයක් ගතවෙද්දී ඊට කාන්තා ගායන ශිල්පිනියක් ඇතුළත් කර ගැනීම සුදුසු නෙවේදැයි යනුවෙන් වූ ජෙර්ල්ඩ් වික්‍රමසූරිය නම් ව්‍යාපාරික ගී රසවතා ගේ යෝජනාව අනුව පසල් ගමන නිමකල යව්වනිය ’ඉන්ද්‍රානි පෙරේරා’ ඊට එක්කර ගැණිනි.


-------------------------------------------------------
ධම්මික විජේසිරි, ක්ලැරන්ස්, ඇනස්ලි සමග මොන්ටි වත්තලදෙනිය  - මූන්ස්ටෝන්ස් ආරම්භක සමාජිකයන් - රත්නපුර
------------------------------------
-------

මුලින් සඳහන් කල කුඵඳුල්  ’මූන්ස්ටෝන්ස්’  තැටිය ජේවිසීපි ඛාන්ඩ අංක 1007 යටතේ  01 මංගො කඵ නැන්දේ  02 ආදරය  03 රුවන්පුරය අපේ ගම තමයි 04 සුදු මැණීකේ ගීත පෙළගස්වා තිබිනි.'

සවන්දෙන්න - ’මංගෝ කඵ නැන්දේ’
-----------------------------------------------

මේසමයෙහි ජෙරල්ඩ් වික්‍රමසූරිය විසින් කොටුවේ එවකට ද පැවති පොත් සාප්පුවක් මිළදී ගෙන තිබුනු අතර එය පසුව ළමුන් උදෙසා ආනයනික පොත්පත් සඳහා ප්‍රමුඛස්ථානය දී ’චිල්රන්ස් බුක් ෂොප්’ ලෙසින් නම් කෙරුණි. මේ අතර ’ලුවිස් බ්‍රවුන්’ තැටි ලේබලය නියෝජනය කළ සමාගම සිය ව්‍යාපාරික කටයුතු අත්හිටුවන්නට තිරණය කළ අතර එහි නියෝජිතත්වය ද න්‍යායානුකුලව සංගීත විෂය හොඳින් හදාරා ඒ සම්බන්ධ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට පිවිසෙන්නට ලැදියාවක් දැක්වූ  ජෙරල්ඩ් වික්‍රමසූරිය ආයතනය වෙත පිරිනමන ලදී. එතැන්හි සිට ඔවුන් ’සූරිය’ තැටි ලේබලය හඳුන්වාදුන්හ. 

රත්නපුරය නිජබිම කරගත් මේ සාමාජිකයන් එහි ප්‍රමුඛ පෙලේ බාලිකා විදුහලක පැවැත්වූ සංදර්ශනයකදී ගීත ගායනා කරන්නට අවස්ථාව ලද අතර, ක්‍ෂේත්‍රයට පිවිසෙන ආධුනිකයන් එදවස මුහුණ පෑ ’කටුක’ අත්දැකීමකට නතු ව ’හූ’ සංග්‍රහයකින් ප්‍රතිචාර ලබන්නට සිදුවී, වේදිකාවෙන් බැස යන්නට සිදුවූ බව කියැවේ. එයින් මහත් වික්‍ෂෝපයට පත් ’ක්ලැරන්ස්’ මින්මතු රත්නපුරයේ ගීත නොගයන්නට දැඩි ව තීරණය කරගත් බවද එහි ගීතගැයූ වෙනත් ගායක කන්ඩායමක අගය කිරීමට ලක්ව ඔවුන්ගේ ඇරයුමෙන් ’මොරටුව’ රසිකයන් හමුවේ පෙනී සිටිය බව ද වාර්තා වේ. එහිදි ඔවූහූ හාත්පසින් වෙනස් අත්දැකීම් ලබා ප්‍රෙු්ක්‍ෂකයන්ගේ උණුසුම් සුහද ප්‍රතිචාරයෙන් කුල්මත් විය. පසුකාලීනව ’ද සුපර් ගෝල්ඩන් චයිම්ස්’ නාමයෙන් ගැයු ’මොරටුව.........මොරටුව........’ ගීතයෙන් ඔහු එහි රසිකයන් වෙත ඊට සිය කෘතඥතාවය පිරිනමන්නට අමතක නොකළේය.  

'’සුරිය’ ලේබලයෙන් නිකුත් වූ මංගල ඊ පී තැටිය වෙන්කෙරුනේද  ’මූන්ස්ටෝන්ස්’ වෙනුවෙනි.  More Hits by Moonstones   හිසින් නම්ලද ලෝහිතවර්ණ ලේබලයේ අනුක්‍රමික අංක සී එච් බී 0001 ය.  01 ගොයම් කපනවා මැණිකේ වෙලේ නෙළනවා  02 රමනී  (සගබෝ කොරයා ගේ දියණියකි)  03 මමේ අපේ කඵ මාමේ .... 04 රෝසමලේ නටුවේ කටු ............... ගීත තිළීණ කල එකී මූන්ස්ටෝන්ස් දෙවැනි තැටියෙන් අනතුරුව සූරිය අලෙවි වාර්තා බිඳලුයේ මුල්වරට කාන්තා හඞක් සහිතව නිකුත් වූ  මේ ගායකයන්ගේ තෙවැනි තැටියෙනි. 01 සුමුදුමල් පිපුණු අතුකොනේ''.... (ඉන්ද්‍රානි පෙරේරා)  සහ 02 කාගේද ගොන්වස්සා ( ඇනස්ලි සහ ඉන්ද්‍රානී) 03 දිල්හානි දුවනි ...(ඉන්ද්‍රානී)  04 කුසුමලතා .....ඇගේ නළල මත කියඹුලතා............ (ඇනස්ලි) ගී ඇතුළත් වූ එහි සාර්ථකත්වයටද  එකුන්විසි හැවිරිදි ඉන්ද්‍රානී පෙරේරා ආධුනික ගායිකාවගේ අසාමන්‍ය ගී හඞ හේතුවන්නට ඇත. 
-----------------------------------
සවන්දෙන්න - ’ගොයම් කපනවා...’ සහ ’මාමේ අපේ කඵ මාමේ...............’
------------------------------------


මුල්ම ’සූරිය’ ඊ පී තැටි ලේබලය
 වෙන්කෙරුනේ ්මූන්ස්ටෝන්ස්’ උදෙසාය

මේ 1969 වසරයි. ඉහත කී ’රමණි’ මෙන්ම සහ ’දිල්හානි’ දුවණි ගීත සිය නිර්මාණ චාරිකාව පවත්වා පුබුදුවා ගන්නට අත්වැල සැපයූ ’ශ්‍රී සගබෝ කොරයා’ ට උපහාරයක් ලෙස ඔහුගේ දියණියන් අරභයා පබඳින ලදැයි වාර්තා වේ.  

ඉන් අනතුරුව සූරිය නියෝජිතත්වයෙන් එළිදැක්වූ ’ඩෙකා’ නමින් වූ ලේබලය වෙන්කෙරුනේ   මේ ගායිකාව සහ ගායක කන්ඩායමේ  ගීත උදෙසා වූ අතර එය තෙවසරකදී නිකුක් කෙරුනු ඔවුන්ගේ සතරවන  තැටියයි.  01 වන දෙව්ලිය තුරුලේ (සිගිරිය - ගැයුම ඉන්ද්‍රාණි පෙරේරා)  02 සුමුදු සමන් මල් පොඩි පිපුණාවේ ............. (ගැයුම - ඇනස්ලි මාලේවන)  03 රාළහාමි  04 මම එදා ගොසින් ඇගේ සුසුම් අසා (පෙම්කථාව - ඇනස්ලි සහ ඉන්ද්‍රානී) දොරට වැඩියේ මේ ඇල්බමයේදීය.  

කරුණාරත්න අබේසේකරයන් සිය කැදැල්ලට සපැමිනි අමුත්තා ’දිලීප පුතු’ උදෙසා පුවත්පතකට යොමුකොට තිබු කවිපදවැළක් ඔස්සේ හඹාගිය ක්ලැරන්ස් ගේ ගී හඞ වඩාත් පැහැදිළිව හා හොඳින් රසවිඳින්නට රසිකයන්හට හැකිවූයේ ’දිළිප පොඩි පුතු ............සනීපයට නිදි’ ගීතය නිකුත්විමෙනි. මේ අවධිය වෙද්දී වෙනත්  ’කන්ඩායම් ගී  ’ ද ’පිලිප්ස්’ සහ ’සූරිය’ ලේබලයන්ගෙන් එළිදුටු අතර ඒවාට ඉතා හොඳින් තරගයක් දෙන්නට ද නිරන්තරයෙන් තම ශ්‍රාවක ප්‍රසාදය ඉහළින් රඳවා තබා ගන්නටද ඔවුන් හට හැකිවුයේ ’ක්ලැරන්ස්’ ගේ මිහිරි තනු හා එකට කැටිවූ නවමු පෙර නොවු වීරූ මනරම් ’ගිටාර් වාදන සංකලන’ නිසා වන්නට ඇත. ඔහුගේ රසිකයන් හට සිය ආදරණිය ශිල්පියාගේ ඒකල ’ගී හඞ’ මුල්වරට ගුවනින් රසවිඳින්නට අවස්ථාව ලද්දේ මෙම ගීතයෙනි.  එක්ස්වී ... ලේබලය විසින් ගෙන ආ ’දීලීප’ ඇල්බමයේ ගීත අතරින් කරළියට පැමිනියේ මතු දැක්වූ  ගීතය පමණකි. ඊට අමතරව එහි 04 සළා සළරුවන් 02 නාලී  සහ 01 ගමරාළ නම් වු අපක්‍රට ගී ඇතුළත් විය. මේ 1970 වසර විය හැකිය. 

-----------------------------
සුමුදු මල් පිපිණු අතුකොනේ......  සහ ’දිල්හානි....’
---------------------------------

විජය කොරයා ගේ පුතු ගේ නාමය යොදනු ලැබ ලියු ගීතය ඔහු විසින් කාරුණිකව ප්‍රතික්‍ෂේප කරන ලද්දෙන් නැවතත් නිර්ණාමිකව පද යොදමින් ’කිරි මූද කළඹලා ගෙනා මගේ කුඩා පුතුටයි.................. මුතු මාලිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි............’ ලෙස ගයා ඔහුටද සිය කෘතඥතාවය පළ කරනන්ට ක්ලැරන්ස් පසුබට වුයේ නැතැයි කියවේ. 

අද මෙන්ම එදත් සංගීතයෙන් ජීවන යාත්‍රාව පැදයන්නට සුදුසු කෙම්බිමක් නොවූ මෙහි ඒ බව දැන අවබෝධ කරගත් ක්ලැරන්ස් ගේ මවගේ ඉල්ලිම පිට, ඔහුට පුවක්පිටියේ එක්තරා වත්තක පුහුණුවන වතු අධිකාරිවරයෙකු ලෙස කටයුතු කරන්නට සගබෝ කොරයා මහතා අවස්ථාව සළසා දුන්නත් එවැනි වගකීමක් දරන්නට මේ කලාකරුවා මැලිවන බව පසුව ඔහු විසින්ම අවබෝධ කරගන්නා ලදැයි, ඔහු ලියූ පුවත්පත් ලිපියක සඳහන්ය. 

මේ සියඵ ගීත වල ඒකල නිර්මාණකරුවා මෙන්ම කන්ඩායෙම් රිදම් ගිටාරයේ හිමිකරුවා ’ක්ලැරන්ස්’ ය. ඔහුට ගායනයෙන් සහය වූ ’ඇනස්ලි මාලේවන’ සහ ’මංගල රොද්‍රීගෝ’  මෙන්ම ලීඩ් ගීටාරය වාදනයෙන් සහය වූ සාමාජික ’සුනිල් මාලේවන’ සහ ’ඇන්ටන් ගුණතිලක’ මෙන්ම බේස් වාදක ’ෂානක පෙරේරා’ සමග ඩ්‍රම්ස් වැයූ ’විජිත් පීරිස්’  මෙවක ’මුන්ස්ටෝන්ස්’ හි නිත්‍ය සාමාජිකත්වය ලද්දහ. මේ අවධියේ පවා ගායනයට පිවිසෙන්නට මැළිකමක් දැක්වු ක්ලැරන්ස්  තිරයෙන් පිටුපස නිර්මාණකරණයේ දැවැන්තයා විය.
----------------------------
පෙම් කථාව’ ලෙස තැටියේ සඳහන් ගීතය... ’මම එදා ගොසින්... - ඇනස්ලි සහ ඉන්ද්‍රානී
---------------------------------

වාරතා වන පරිදි හිතේ සැංගී මතුවී නැග එන තනුවකට වදන් යොදා එය ගීතයක් බවට පත් කරන්නට ඔහුට ඒ හැටි වෙහෙසවිය නොවිය යුතුව තිබිනි. එපමණ ගී තනු කැකෑරී බුබුඵ දමමින් ඔහුගේ නිර්මාණඋල්පත උතුරුවා දැමුවේය. ප්‍රථිපලය වූයේ, ඒවා ඔහුගේ කන්ඩායමෙන් ඔබ්බට ඈතට ගලා ගෙන යෑමයි. එනම් වෙනත් ගායක ගායිකාවන් රැසකට ඔහු අතින් ගී නිර්මාණ බිහිවීමයි.

ඔහුගේ ගී වංශ කථාවේ දෙවන පරිච්ඡේදය විවෘත වන්නේ ’ද ගෝල්ඩන් චයිම්ස්’ නම් වු හිසිනි.  ඒ 1971 වසරේදී ඔහු මුල්වි බිහිවන්නට යොදුනු දෙවැනි ගායක වාදක කන්ඩායමයි. මේ නව කන්ඩායම බිහිවිම පිළීබඳව සිංහල පමණක් නොව ඉංග්‍රිසි ඉරුදින පුවත්පත් විසින් පුඵල් ප්‍රසිද්ධියක් දෙන ලද්දේ ඒ වනවිට ඔහු ලබා තිබූ ජනප්‍රියත්වය  ඔවුන් හොඳින් අවබෝධ කරගෙන සිටි බැවිනි.

ද ගෝල්ඩන් චයිම්ස් ගායක කන්ඩායම - 1972

ඩික්සන් ගුණරත්න (ලීඩ් ගිටාර්), රන්ජන් ද කොස්තා (ගායන සහය), ක්ලැරන්ස් (රිදම් ගිටාරය සමග ගායනා), විජිත් පීරිස් (ඩ්‍රම්ස්) සහ ෂානක පෙරේරා (බේස් ගිටාර් සහ ගායනා) මේ නව කන්ඩායමේ සාමාජිකයන් ලෙස පෙනී සිටියහ. නවක ගායිකාවක් ලෙස කළ එළි බට ’ප්‍රියන්ති සේනාරත්න’ විසින් මේ කන්ඩායමේ කාන්තා ගී හඞ නියෝජනය කලේ තාවකාලිකවය. ඇය විසින් ඔවුන්ගේ පළමු ගී තැටියේ ගැයුනු ගීයකට හඞ මුසුකළත්, අදටත් ක්‍රියාකාරීව එනමින්ම පවතින ඊට එකතු වු නිත්‍ය සාමාජිකාව ’විජිත් පීරිස්’ ගේ කණිටු සොයුරිය මෙන්ම පසුව ෂානක පෙරේරා ගේ ආදරණිය බිරිඳ බවට පත්වූ ’ලාංකිකා පෙරේරා’ ය.

සී එච් බී 0014 අනු අංකය යටතේ,  සුපුරුදු සූරිය ලේබලය විසින් නැවතත් මේ අපුරු රසවතා ගේ ගී පෙළහර මතුවූ අතර මෙය එය පැහැදිළිවම නව මාවතකට පිවිසියේය. ඒ මෙතුවක් කල් පසුබිමි ගායනයේ යෙදුනු ක්ලැරන්ස් මුල්වරට සිය ඒකල ගී හඞ අවදිකරන්නට පෙළඹිමයි.  ඒ අනුව 01 සිහින් සිනාවයි ඔබේ ළපටි මුවේ................ 02 පාට පාට රන්තටු සළලා (සමනළයෝ - ක්ලැරන්ස්)....  03 මගේ පැල්පතේ මා අඳුරේ වෙලී ...(ක්ලැරන්ස්)  04 කිමදනාවේ ඇයිනාවේ..........(ප්‍රියන්ති)   ගුවන් විදුලි කන්ඩායම් ගී තීරයේ'වාදනය වන්නට පටන් ගත්තේ ’ ද ගෝල්ඩන් චයිම්ස්’ නාමය යටතේය. 

--------------------------------
’කිමද නාවේ’...... සහ ’මගේ පැල්පතේ’ ....... සවන්දෙන්න
---------------------------

මේ අතරවාරයේ මතු කි ’මූන්ස්ටෝන්ස්’ සාමාජිකයන් ගේ පුරප්පාඩු ලලිත් ප්‍රනාන්දු (ගායනය), ලොරන්ස් මැන්රික්ස් (ඕගනය), ස්ටැන්මෝ ඩී ජොන්ක් (ඩ්‍රම්ස්)  සහ මයික් ගුණසේකර (ගායනය - රිදම් ගිටාරය) යන තුරුණු රසවතුන් විසින් සම්පූර්ණ කරන්නට යෙදුනු අතර ඔවුන් තවදුරටත් ’සූරිය’ තැටි දාමයේ පුරුක් බවට පත්විය. 01 තොටියා 02 ඉංග්‍රිසි ගීතයක්  03 සමනළයෝ සහ ගීත රසික මතකයෙන් නොමියෙන 04 උඩරට කඳුකරයේ (දුන්හිඳ මනමාලී) එකී ගීත ඇල්බමය සැරසුවේය. එහෙත් ඔවුන්ගේ ප්‍රමුඛස්ථානය ’ඉංග්‍රිසි ගීත’ සඳහා යොමුවිනි. 

මේ යුගයට සමාන්තරව, ක්ලැරන්ස් ඇතුඵ පිරිස එක්සත්ව එක්සිත්ව Dynamic Hits by Golden Chimes නමින් එළිදුටු  ලේබලය'නම් කෙරුනේ  ’ස්ටාර්’ (STAR) ලෙසිනි. ඒ යටතේ 01 මලයි වැලයි එක වාගේ.... 02 මගේ වියෝවෙන්.. 03 සුරගන වෙස් වලා ............ සහ 04 සිහින් නුවන් යුග..............ගීත කරළියට පිවිසියේය මීට ඉහත ලැයිස්තු ගත ගී එකක් දෙකක් හැරෙන්නට සියල්ල ඔහුගේ ඒකපුද්ගල ගී නිර්මාණ වුවත්   එවකට ලංකා ගුවන් විදුලියේ ප්‍රමුඛතම නිවේදක- ප්‍රශස්ත ගී පද මාලා නිර්මාණකරණයේ යෙදුනු දෙපොළක් වූ   කේ ඩි කේ ධර්මවර්ධන සහ කරුණාරත්න අබේසේකර    පිළීවෙලින් ’සුරගන වෙස්...’ සහ ’සිහිල් නුවන්’ පබඳාලීය.  

-----------------------------------
’සුරගන වෙස් වළා...’ සමගින් ’සිහින් නුවන් යුග’ ගිටාර් රිද්ම රසය රසවිඳින්න .......

----------------------------------
මෙතැන් හි සිට ඉදිරියට.................
----------------------------------

මුලාශ්‍ර තොරතුරු - කෘතඥ පූර්වක ස්තුති ප්‍රනාමය 

ගායන ශිල්පී ඇනස්ලි මාලේවන මහතා (මූන්ස්ටෝන්ස් - ද සුපර් ගෝල්ඩන් චයිම්ස්)

ගායන ශිල්පී අනිල් භාරති මහතා (ද ගෝල්ඩන් චයිම්ස්)

ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය (ත්‍රී සිස්ටර්ස්) 

ගායන ශීල්පිනී ලාංකිකා පෙරේරා මහත්මිය (ද ගොල්ඩන් චයිම්ස්)

සංගීතඥ ගායන ශිල්පී  මෙල්රෝයි ධර්මරත්න මහතා (ධර්මරත්න බ්‍රදර්ස්)

සංගීතඥ ගායන ශිල්පී මහින්ද බන්ඩාර මහතා (ෆෝර්චූන්ස්) - ප්‍රවිණ ගිටාර් වාද්‍ය ශිල්පී  - 

පීටර් රණසිංහ මහතා (ලාංකා ගී තැටි සංරක්‍ෂකයන් -එකතුකරන්නන්ගේ සංගමය)


3 comments: