namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, April 18, 2021

සී ටී ගීත - CT Song Collection

මිණිකිකිණි රාව ප‍්‍රතිරාව නැංවු ’සී ටී’ ස්වර්ණ ගී නාදය..............(1949-1977)

 සී ටී ප‍්‍රනාන්දු ලෙසින් වත්මනෙහි තෙවන සංගීත ලෝලී පරපුරක් විසින් දැන හැඳිනගත් ඔහු ’සිරිල් ටියුඩර් ප‍්‍රනාන්දු’ ය. ලාංකීය ගීත කලාව පොබයූ කැපී පෙනෙන ශිල්පීන් රැුසක් බිහිකල ’මොරටු’ පුරවරයේ කඩලාන වැසියෙකු වු ඔහු අකුරු කලේ ඉන් සැතපුම් සිය ගණනකට දුරින් පිහිටි කන්ද උඩරට නාවලපිටිය ශාන්ත මේරී විදුහලේය.



 මිහිරි කොවුල් නද බඳුවන් අසමසම ’සි ටී’ හඞ යම්තමින් හෝ අනුකරණය කරන්නට සමත් වූ කිසිවෙකු එදාමෙදා තුර ගී ලොවේ පහළ වූ බවක් නොදන්නේය. ඒ කුසලතාවය බිඳකින් හෝ උරුමකර ගත්තේ ඔහුගේ එකම පුත‍්‍ර රත්නය වූ ’ප‍්‍රියන්ත’ පමනි.

පසුගිය දුරුතු මසින් විසිඅටවෙනිදින දාතමින් ලාංකික ගීත ලෝලීන් ඔහුගේ ජන්ම ශත සංවත්සරය අනුස්මරණය කරන්නට යෙදිනි.

ළමා වියේ සිට ඉංග‍්‍රිසි බසින් සුරුවිරුකම් පාන්නට සමත් වු ඔහු ඒ බසෙහි ගායන,නාට්‍ය,රචනා තරග වලින් දස්කම් පාමින් සම්මානනයට පාත‍්‍ර විය.

1946 වසරේදී ලාංකීය ගීත කලා පුෂ්පකරණිය සදා සුවඳින් නහවන්නට ’ලංකා ගුවන් විදුලියේ’ අශීර්වාද ලබමින් සුපිපි කුසුම් ද්විත්වය ට ’සිරිල් ටියුඩර්’ ද අයත් විය. අනෙකා ’සුනිල් සාන්තය’.

ඒ සමයේදී පටන් සත් දශකයක් පුරාවටම පරම්පරා දෙකක ළමා ළපැටියන් ගේ සවන් පිනවාලූ සිහින් හඞින් ගැයෙන ආයචනාත්මක යුග ගීයකින් ඔහු ’කුරුඵ’ පියෙකු වී සිය දරුවන් හා ආයාසයෙන් තනාගත් ’නිවස’ රැුක දෙන මෙන් ගැයුවේය. පාඨශාලාචාර්ය ’ආර් එන් එච් පෙරේරා’ එහි ගී පද වැල් ලියා දුන්නේය.


පින් සිදු වෙන්නේ ...............

අනේ බාල ළමුන්නේ ..........

මගේ කුඩා නිවස කඩා ............

බිම නොදමන්නේ ..............
.
------------------------------------

ගී පද - නැසිගිය ආර් එන් එච් පෙරේරා ශූරීන් ගෙනි

සහය ගායිකාව - සුරියරාණී (එව්ලින් බාලසූරිය)
----------------------------------------------
මෙතැනින් සවන්දෙන්න

එකී යුගයේ ’හිස් මාස්ටර්ස් වොයිස්’ ජාත්‍යන්තරව පරසිඳු තැටි ලේබලයේ ලාංකිය නියෝජිතායතනය ’කාර්ගිල්ස්’ (වර්තමාන කාර්ගිල්ස් නොවේ* මෙකී කෝකිළ කූජනය සිය නිෂ්පාදනයන්ගෙන් හැඩවැඩ කරන්නට ඉදිරිපත් විය.

එවකට හින්දුස්ථානි සංගීත ආර අනුව ගැයුනු ’සිංහල’ ගී ප‍්‍රියනොකළ රසිකයන් ලක් ඉතිහාසයේ මුල්වරට ’සිංහලෙන්’ ඉංග‍්‍රිසි ගීත ගයන මෙකි අපුර්ව ගායකයා දෝතබදා වැළඳගන්නා බව ඔවූහු සිය ශූර ව්‍යාපාරික ඥානයෙන් අවබෝධකරත්තේය.


සුවඳ රෝස මල් නෙළා මාල ගොතාලා ගෙලේ දමා ඉනේ ඔතා ......................

’බරබාගේ දුටුවේ සිහිවේ පෙරකාලේ ..............’

’අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ ...............’ (ඒ යුගයේ ’සඳ’ ලක්දරුවන් හඳුනාගත් සංඥා නාමය)

’අඹරුක් සෙවනැල්ලේ මේ රන් ඔන්චිල්ලේ .............’

’බිළීඳා නැළවේ උකුලේ ...................’

’ලෝ අඩ නින්දේ මේ ? යාමේ සඳරැුස් වතුරේ ...............’


එයින් නිපන් අමරණිය ගීතාවලියෙන් අංශූ මාත‍්‍රයකි.

අරුමයකි..... දශකයක් ගෙවී ගොස් 60 දශකය එළඹෙද්දී ඔහු ලක්දිව අසමසම විශීෂ්ඨතම ’ගායකයා’ විය. එය එසේ විය යුතුව තිබිනි. මක් නිසාද යත් ඔහු තමන් නිරතව සිටින කාර්යයේ ස්වභාවය මනාව අවබෝධ කර දැන හැඳින සිටි බව නිසා විය හැකිය. ඉහත ද මින් පසුවද සටහන් කෙරෙන ’සි ටී’ ගී පදවැල් හි මධුරතර ’තනු’ නිර්මාණ ඔහුගේමය. සංගීත වාදන සංයෝජනයන් උදෙසා ලක්දිව අති විශීෂ්ඨ ’හවායන් ගිටාර්’ වාදකයා වු නැසිගිය ’පැට‍්‍රික් දෙණිපිටිය’ ගේ අතහිත ලැබිනි.

60 දශකයේදී එක්තරා අවධියක, බී බි සී - සංදේශය වැඩසටහන ලන්ඩනයේ සිට මෙහෙයවූ ආචාර්ය සුනන්ද‍්‍ර මහේන්ද‍්‍ර ඔවුන් දෙදෙනා ඒ දේශයට කැඳවා ප‍්‍රසංග පවත්වාගන්නට සමත් විය. පසුව ලක් ඉතිහාසයේ මුල්වරට එදවස පැවති නවිනතම තක්‍ෂණය අනුව ’ස්ටිරියෝ’ ක‍්‍රමයට ලන්ඩනයේදී ’ඊ පී තැටිය’ ක් නිකුත්කරවාගන්නට සමත් වු ප‍්‍රථමයා ද ’සි ටී’ ය.


’ලුවිස් බ‍්‍රවුන්’ තැටි සමාගම ද ’සි ටී රන් හඞ’ රසිකයන් අතරට ගෙනගිය වාහකයන් අතර විය. ’නිදහස් සමරු උත්සවයන්හිදී මතු මතුද යුග යුග වාදනය කරනු ඇතැයි හැගෙන එසේ කරන ලද විශීෂ්ඨ දේශාභිමානී ගීතය එයින් දොරට වැඩියේය.



හෙළ ජාතික අභිමානේ ..............’

’වැඩු විරුවන් මේ දෙරණේ...............’


(කරුණාරත්න අබේසේකර)

එයින් පසුව

මා බාල කාලේ අම්මාගේ උකුලේ ..............’

’සඳවට රන්තරු කැකුඵ පිපේවා ................’

’අනේ ඩිංගක් ඉන්නකෝ ඔය ...............’

’බේරෙන පැනි බිඳු රතු මි වද බඳු .................’


මිහිර වෑහෙන ’සි ටී’ හඞින් එළිදැක්විනි. 60 දශකයේ ලක්දිව පුරා පැවති සංගීත ප‍්‍රසංග සංදර්ශන වේදිකාවන් හිදී ඔහුගේ වේදිකා ගතවීම හමුවේ උන්මාදයෙන් වියරු වැටුනු රසික රසිකාවියන් එකහඞින් ඔල්වරසන් නැංවුහ.

තමන් ගේ පාසල් බිමේ, විනෝද චාරිකාවේ, ප‍්‍රිය සම්භාෂණයේ, උපන්දින සාදයේ’ මංගලෝත්සවයේ වරක් හෝ ’සි ටී’ ගීයක් නොගැයිනි නම් එය ද අරුමයක්ම විය.

ලංකා ගුවන් විදුලියේ විශීෂ්ඨයන් වූ ’කරුණාරත්න අබේසේකර’ ’ආනන්ද සරත් විමලවීර’ සහ ’ලලිත් එස් මෛත‍්‍රිපාල’ ද පුවත්පත් කලාවේ ජයදද නැංවූ ’විමලදාස පෙරේරා’ ද ’සි ටී කොවුල් නාද සර පොබයනු පිනිස ගී පබැඳුම් මැවිය.


පුන්සඳ හිනැහෙන්නේ .............’

’වනමල් පිබිදෙන්නේ ................’

’ලස්සන ඔබේ මුහුණේ............’

’දැක්කම නොවැ මැණීකේ ............’

60 දශකයේ දෙවන අඩ ගෙවියද්දී ’ගුවන් විදුලියෙන්’ ඇසුනි. ලංකා අම්බරයේ පෑවු විශීෂ්ඨතම ගායිකාව ’රුක්මණි දේවී’ ජනප‍්‍රියතම ගායක ’සී ටී’ හා එක්ව ගයනු එසේ ඇසෙයි. ප‍්‍රසංග වේදිකා ඒ ’යුග්ම ගී රසයෙන්’ නිම්නාද දෙයි. ප්‍රේක්‍ෂක රසවතුන් මිහිරෙන් මත්කෙරෙයි.

ඔහු ’ලංකා ගුවන් විදුලි’ යේ ගීත ගැයු බව ඇතැමුන් නොදනී මන්ද යත් ඒවා තැටි හෝ වෙනත් මාධ්‍යයන් වෙතින් පසුව අසන්නට නොලැබුනු නිසා වන්නට ඇත. ඒ රසය විඳිනට ඔබ ’ශ‍්‍රී ලංකා ගුවන් විදුලිය’ වෙත සවන් යොමා සිටිය යුතුය.


ඒ අතර

මුතු මැණිකේ කලේ අරන් ......’

’ඔංචිලි චිලි චිල්ල මලේ ඔංචිල්ලාවේ ............’

’සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ..........’

’අගේ මගේ පිටිසරයේ දැනෙන්නේ ..............’



වැනි නිර්මාණ ප‍්‍රකටය.

මේ ’කන්ඩායම් ගී’ නව සංගීත ප‍්‍රවණතාවය කළඑළි බසිමින් පැවති සමයයි. එහි පුරෝගාමි නියමුවා මීගමු පුරවරයේ ’නෙවිල් ප‍්‍රනාන්දු’ සිය ’ලොස් කැබැයියරෝස්’ කන්ඩායම සමගින් උක්ත ගීය නව ආරකින් නව ලතාවකින් වරක් දෙවරක් තෙවරක් කිහිප වරක් ගායනා කරන්නට යෙදිනි.

’සි ටී’ උරණ විනි. එසේ නොකරන්නැයි කියැවිනි. සෙසු කලා ළැදියන් ආරවුල සමථයකට පත්කරන්නට පෙරමුණ ගත්තද ඉන් ඇතිවු සිත් තැවුළින් ’අබේසේකරයෝ’ වෙතින් ඔහු මෙසේ ලියවා ගැයුවේය. සිය ගායන විජිතය ආක‍්‍රමණය කරන්නවුන්හට ’සොඳුරු තරවටුවක්’ කළේය
 

පියුමෙහි පැණිබොති වන බඹරු ............’

’මලමත නොරගති කඵ දෙබරු ...........’

’දහවල් නෙනිමෙයි අඹරේ තරු ...........’

’අවරින් නොනැගෙනි නැගෙන හිරු ........’


’කුසගිනි හැදුනට ඉඳුල් නොකවු............’

’තනකොළ නොබුදිති සිංහ පැටවු .............’

’කොඳමල් නොපිපෙයි ගිරි මුදුනේ ...........’

’ගවතෙල් නොදමයි රන් බඳුනේ .............’
---------------------------
මෙතැනින් සවන්දෙන්න
------------------------------

 

70 දශකය එළඹි ඇත. දෛවය සැමදා මිනිසා වෙත ’රෝසමල් යහනා අතුළ සිනිඳු පලස්’ අතුරනු නොහේ. ඔහු හදාවඩා හෙළිපෙහෙළි කරගත් වේගරිද්ම මාවතේ ’නව යෞවනයන්’ පියමං කරන්නට විය. ’සි ටී හඞ’ අංශූ මාත‍්‍රයකින් හෝ නැසී ගියේ නැතද ඉන් ’නව ගී’ මතුවි එන උල්පත සිඳි යන්නට විය.

1975 වසරේදී ’ලුවි වැන්ඩ‍්‍රස්ට‍්‍රාන්ට්’ ගේ ’පෙම් කුරුල්ලෝ’ තිරයේ දිගහැරෙද්දී ඉන් පෙර දශකයේ වේදිකාව එකාලෝක කල ’සි ටී’ හඞ ද මතුනොව රුව ද ඉන් මතුවිය.

’මි අඹ වනයේ ගී හඞ පතුරා ............’

’කාවද අමතන්නේ ..............’

’ලස්සනට මුහුණට ඇස්වහ දෙන්නද ............’

’ඔයහැටි හිනැහෙන්නේ .............’


(ගී පද ආනන්ද සෙනෙවිරත්න)


නවයොවුන් වේගරිද්ම ගායන තරු ප‍්‍රතිභාව කෙමෙන් පැතිරෙද්දී, ’සි ටී’ හද සසළ කෙරිණිද .....? වප් මසින් දසසත්වැනි දාතම 1977 වසරේ එළැඹි තිබියදී තිස්වරසක රන් කෝකිළ නාද රිද්ම මතුකරදුන් හදවතේ රිද්මය නැවති ගියේ සුවසහසක් ශ‍්‍රාවක රසික සමූහයා සෝ සුසුම් සයුරක ගිල්වා දමමිනි.

සී ටී ගි රස උල්පත

අදද ඊයේ වාගේ සන්තොසින් ..............

අවදිවන්න අවදිවන්න .............

අමතන්නට හැකි බසක් .............

බිළිඳා නැළවේ උකුලේ .............

දවස ගෙවි දැන් ටික ටික අඳුර වැටෙන්නා ............

කඵ මහවැලි කැළණිද වළවේ ..............

මා හද සිසිල් පවන් පොදක් .............

රැ පැල් රැුකලා පැල් කවි කියලා .............

සිගිරි සුකුමාළියේ ..........

රන මොණරයි රණ මොණරියි ...............

මා සුකුමාලි ..........

රන්වන් රන්කෙඳි පිරාලා .................

මල් ලෝකේ රාණි ........

පරවුනු මල් නැවත නැතේ .........

සංතෝසේ පෑහෙන්න සංතාපේ පහවෙන්න ...........

සිහින ලොවේ මිහිර මැවූ ................

මගේ සුදු මාමේ ...............


------------------

සී ටී වේගරිද්මය ඇතැම් විටක ’සොඳුරු වේග රිද්මයක්’ බවට පරිවර්තනය වුයේ බටහිර වාද්‍ය සංගීතයේ මිහිර ද ඊට මනාලෙස ගළපා ගැන්මෙනි. 60 දශකයේදී අන් කවර සිංහල ගීතයක් හෝ අභිබවනය කරමින් ඒවා අපුර්ව නාද සංකලනයන්ගෙන් සමන්විත විය.

පහත නිර්මාණ විමසා බලනු වටී.

අඩසියවසකට පසුව එදා මෙන් අදද ’සි ටී ගී’  එවන් අන් සියඵ ගීත හා කරට කර තබමින්  සාදයේදී, චාරිකාවේදී, ප‍්‍රියසම්භාෂණයේදී රිද්මයට පා තබමින් රගමින් ගයන්නට හැකිව ඇත්තේ එබැවිනි. ඒවා කිසිවිටක ’කල්ඉකුත් නොවන සර්වකාලින නිර්මාණයන් බවට අන් කවර සාක්‍ෂි ද ?


පරවුනු මල් නැවත නැතේ පිපෙන්නේ ....................


සදඵ තලෙන් ඇද හැළිලා ගලන්නේ ..............


දවසක් ගතවුනා කියා හිරු අවරේ ගිළි ගියත් ............


සැමදා නැත සඳ පායන්නේ .......................


----------------------------

සංගීතය - පැට‍්‍රික් දෙණිපිටිය


ගී පද - කරුණාරත්න අබේසේකර


යුගය - 1968 පමණ


------------------------------

මෙතැනදී සවන්දෙන්න

-----------------------------


රන්වන් රන්කෙදී පිරාලා .........


චන්දන කල්කෙන් නැහැවිලා ..............


කිංකිණි නූපුර නාද දී ............


මල් මල් මුහුණක් සේ ඇදී ......


උකුළ සාළාලා.. බඳ නළවාලා ....

රගන්න සියුමැළියේ................


--------------------

සංගීතය  - ප‍්‍රැටි‍්‍රක් දෙණිපිටිය

ගී පද - කරුණාරත්න අබේසේකර

---------------------

මෙතැනින් සවන්දෙන්න

------------------------

එහෙත් ’සී ටී’ එවැනි වේගරිද්ම සම්භාෂණ ගී කලාවේ පමණක් ඇලී ගැලී ඊට නතුවි සිටියෙක්ද ? නැත කිසේසේත් නැත පෙර සඳහන් කළ පරිදි ඔහුගේ නාමය යටතේ සාමාන්‍ය සරළ ගී ගුවන් විදුලිය සතුව එමට තිබේ. බලනු මැනවි.


මුතු මැණිකේ කළේ අරන් ...............


දිගු වරළස පිටේ හෙළන් ..............


කොයි යනවද උදෑසනින් .............


තව පොඩ්ඩක් හිනාවෙයන් ....................


---------------------------

ගී පද - සරත් මුණසිංහ 


සංගීතය - පැට‍්‍රික් දෙණිපිටිය 


වාදන මිහිර - ගුවන් විදුලි වාද්‍ය වෘන්දය


යුගය - 1965 පමණ

---------------------------

මෙතැනින් සවන්දෙන්න

--------------------

සිරිල් ටියුඩර් ’රුව’ ජිවමානව තබා සේයාරුවකින් හෝ දැක දැන හැඳිනගත් පරපුරු යුග්මයක් එනම් වත්මන් ළමා හා යොවුන් පරපුර මෙන්ම හතළිස්විය ඉක්මවා නොගිය මව්- පිය පරපුරක් වෙසෙන මේ යුගයේ ඔහු පිළිබඳව යතුරු ලියනය කෙරෙන මේ සටහන් ද බහුතරයක් ගී ශ‍්‍රාවකයන්හට ආගන්තුක විය හැකිය.


’රාජ්‍ය ගුවන් විදුලි සේවා නාලිකා’ හැර දැන් දැන් ඔහු ගේ උක්ත මධුර රස කැලතු ගී පෙළ විකාශය කෙරෙන රේඩියෝ නාලික දුර්ලභ වී ඇත්තේද ඉහත කරුන නිසා වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.


’සී ටී’ රසික ප‍්‍රසාදයේ හිනිපෙත්තේ වැජඹුනු 60 දශකයේදී කළඑළි බට ’ක්ලැරන්ස්’ විජේවර්ධන නම් යොවුන් තරුණයා ඔහුගේ ’අනුප‍්‍රාප්තිකයා’ ලෙසින් හැඳින්වීම කොතරම් නිවැරදිදැයි ගැටඵකාරීය. 


’ක්ලැරන්ස්’ ට වඩා ’සි ටී’ සොබාසෞන්දර්යය වර්ණනා කරමින්, මව් සෙනෙහස, සත්ව කරුණාව, ගැමි දිවිය, ජන්ම භූමිය අගයා ගී ගැයූවේය. ඊට එකිනෙකට දෙවැනි නොවන මියුරු වාද්‍ය ඛන්ඩ නිර්මාණය වුයේය. ’කන්ඩායම් ගී’ කලාව පිබිදී හැදීවැඩී ශ‍්‍රාවක සිත් කැළඹූ උක්ත දශකයේදී ඔහු ඊට අනුගත නොවි සිය ස්වාධීන ඒකල ගායන දිවිය අඛන්ඩව ගත කරන්නට ප‍්‍රිය කළ බව පෙනී යයි. 


දෙයියන්ගේ රටේ - 1957, (හිමේ සමන් දෙවි පිහිටෙන්)

හතර මහ නිධානය - 1965, (සෝබනඵ කොළඹ නගරේ)

සාරවිට - 1966, - (ලස්ස ගනන් වස්තු ලැබී)

සැගවුනු මැණීක - 1967, (ඈත කඳුරැුලි සිඹ සිඹ දැවටිලා)

සඳ නැග එද්දී - 1966, (ලා තන නිල්ලයි)

කවුද හරි - 1969, (මී වදයකි ජිවිතේ)

පාරා වළලු - 1969 (විහිඵ විහිඵ)

නිම් වළල්ල  - 1970 (නිසුයුරු මුතුළැල්)

සමනළ කුමරියෝ - 1972 (නෝනා පොල්ල සෙල්ලම)

පෙම් කුරුල්ලෝ - 1976 (මී අඹ වනයේ ගී හඞ පතුරා)

-----------------


ළා තන නිල්ලයි...


ගලනා ඇල්ලයි.........


සැළෙනා නා දල්ලයි ...


ලෝකේ හද මගේ සොල්වයි............


-----------------------------

සිනමා කෘතිය - සඳ නැග එද්දී 


සහය ගායනය - සී ඩී ෆොන්සේකා


ගී පද රචනය - නැසිගිය ප‍්‍රවිණ ගුවන් විදුලි ශීල්පී සිංහල සේවා අධ්‍යක්‍ෂ ලලිත් එස් මෛත‍්‍රිපාල


තනුව - විදේශිය තනුවකි


සිනමා සංගීත අදියුරු - නැසිගිය ප‍්‍රවිණ සංගීතවේදී තිලක් කරුණාතිලක


-------------------------------------

(ගීතය මෙතැනින් සවන්දෙන්න)


1960 දශකයේ එක්තරා යුගයකදී ද වරින් වර පැවැත්වෙන සුපුරුදු ලංකා ගුවන් විදුලි හඞ පරික්‍ෂණය හෙවත් ’ඔඩිෂන්’ සඳහා පරික්‍ෂක මන්ඩලය වෙත කැඳවා තිබුනේ මහ සංගීතවේදී සුනිල් සාන්ත, පන්ඩිත් අමරදේව සහ ජ්‍යෙෂ්ඨතම සංගීතඥ එච් ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් ය.


ඊට මුහුණ දී සිය ශ්‍රේණිගත මට්ටම ඉහළ නංවා ගැන්මට ’සී ටී’ ද සහභාගි වි තිබු බවත්, අවාසනාවන්ත ලෙසින් ඔහුට ’විශිෂ්ඨ ශ්‍රේණිය’ ලබාගැනීමේ වරම එහිදි අහිමි වි ගිය බවද වාර්තා වේ. හේතුව ලෙස වාර්තා වී තිබුනේ ’සි ටී උච්ච ස්වර පරාසයේදී දැක්වු දුර්වලතාවය’ බව කියතත් ඉහත ගැයු ගීතයේ ඔහුගේ ඒ ගායන කුසලතාවය මනා ලෙස ඉස්මතු වන අයුරු නිරික්‍ෂණය කළ හැකියි.


අතැගිලි ගණනක සිනමා කෘති සංඛාවකදී පමණක් ඔහු ගේ ගී නාදය ශ‍්‍රවණය කළ හැකිවීමෙන්, ද ඔහුගේ යුගයේ ලාංකිය සිනමා කර්මාන්තයේද ’වසන්ත සමය’ ගතවෙමින් තිබුනද, ඒ කරුණ එසේ සිදුවිමෙන්ද, ඔහු ’සිනමා’ ගීත කලාව කෙරෙහි එතරම් ප‍්‍රියතාවයක් නොදැක්වූ බවක් පෙනි යන්නේදැයි කුකුසකි.


පිය උරුමය අඛන්ඩය ඉදිරියට ගෙනගිය ’සී ටී’ එකම පුත් ’ප‍්‍රියන්ත’ ද ලොවින් සමුගෙන ගොස්ය. ඉහත කී ගැටඵ ලිහා හැරගැන්මට ඔහු සමීපව ඇසුරු කළෝද වත්මනෙහි දුලබය.


සිංහල ගී වංශකථාව කිසියම් දිනක කිසියම් පිරිසක් විසින් සටහන් කරනු ලබනවා ඇද්ද, ඔවුන් හට ’සිරිල් ටියුඩර් ප‍්‍රනාන්දූ’ නම් වූ රසවතා උදෙසා එහි පරිච්ඡේදයක් වෙන් කරන්නට සිදුවනු නිසැකය. මක් නිසාද යත් ඔහු ’සිංහල ගීත කලාවේ ’බටහිර සළකුණ’ නිසිලෙස මතුකරදුන් පුරෝගාමියා වන හෙයිනි.


නිමියේය.

එදා ඇසුණු ගී - 2021 අපේ‍්‍රල්

------------------------------



No comments:

Post a Comment