namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, September 25, 2022

ශ්‍රී ලංකා ජන සංගීතය ජන ගායනා මිහිර

 




ජන සංගීත පර්යේෂන ඒකකය - ජන ගී ගැයුනු යුගයේ ඇසුණු පර්යේෂණ ගී තීරය - 1972-1979 - සී ද එස් කුලතිලක - කමල් ඩී අතුකෝරාල



ඉතා සංකීර්ණ පුඵල් පරාසයක පැතිරුනු ශ්‍රී ලංකාවේ ජන සාහිතත්‍යය කෝෂ්ඨාගාරය වෙත කිමිද යන්නට නම් දිවයිනේ විවිධ ජන වාර්ගික කන්ඩායම් අතරට මුසුවි ඈත ගම් දනව් සිසාරා දැඩි පරිශ්‍රමයක් දරමින් කටයුතු කරන්නට සිදුවේ. මින් සියවසකට ද එපිට යුගයකදී  හෙන්රි පාකර් වැනි බිත්‍රාන්‍ය සිවිල් සේවා නිලදරුවන් විසින් එය මහත් කැපවිමකින් සිදු කරන ලදී. ඔවුහු පසු ඒවා මතු පරපුර වෙතින් ගිලිහි නොයනු පිනිස ග්‍රන්ථාරූඩ කරන්නට පෙළඹිනි. 


ඉන් අනතුරුව විසිවන සියවස මැද භාගයේ සිට ඩබ්ලිව් ඩී මකුලොඵව, පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේව වැන්නන් ද ජන සංගීතය පිළීබඳව කරුණු හදාරා විමසා දැන ඒවා තම නිර්මාණකරණයේ මෙවලම් ලෙස යොදාගනු ලැබිය.එහෙත් ඒ පිළිබඳව පුර්ණ ලෙස මහත් කැපවීමෙන් හදාරා, ලක්දිව පුරා විසිර පැතිර තිබු ජන ගී අදාළ පාර්ශ්වයන් වෙතින්ම සම්මුඛව හමුවී ගායනා කරවා එකතු කර පටිගත කර සංරක්‍ෂනයේ යෙදුනු පුරෝගාමි ශිල්පයා නැසිගිය සී ද එස් කුලතිලකය.



පසුව ලංකා ගුවන් විදුලිය විසින් පවත්වාගෙන ගිය ජන සංගීත පර්යේෂන ඒකකයට බැඳී 1970 වසරේදි පමණ සිට ඒ හා සම්බන්ධ වෙමින් ඔහු ඒවා යළි පණගැන්වීමට මහත් මෙහෙවරක් ඉටුකරනු ලැබීය. ඒවායේ තාල හැඩතල විමසාදැන ගනිමින් ඒවා එදවස ආධුනික මෙන්ම ප්‍රවිණ ගුවන් විදුලි ශිල්පීන් යොදා ප්‍රතිනිර්මාණය කරමින් නැවත නැවුම් ලෙස පටිගතකරවා ලැයිස්තු ගත කරන්නට ඔහු කැප වී ක්‍රියා කළේය.


දේශියත්වයට ගුවන් විදුලිය වඩාත් නැඹූරු වු රිජ්වේ තිලකරත්න යුගය ඇරඹී 1973 වසරේදී, එයින් ලත් මහත් පිටුබලයෙන් පන්නරය ලබමින් ඔහු සිය කටයුත්ත වඩාත් පුඵල් කළේය. විනාඩි පහළොවක මෙන්ම ඇතැම් විටක අඩපැයක වැඩසටහනක් විසුරුවා හරින්නට කටයුතු යොදමින් තමන් විසින් නැවත පණගැන්වු ජන ගී ශ්‍රි ලංකාවේ දසත විහිද විසිර පැතිර ගිය සුවහස් සංඛ්‍යාත ගුවන් විදුලි ශ්‍රාවකයන් වෙත තිළිණ කළේය. එදවස බාල තරුණ වැඩිහිටි ගුවන් විදුලි ශ්‍රාවක කැළ හට ලාංකීය ජන ගීත කලාවේ මිහිර නැවුම් ලෙස විඳගන්නට ඉඩ කඩ විවර කර දුන්නේය.


ඉන් නොනැවතී, නිවස් හි පෞද්ගලික තැටි ධාවන යන්ත්‍ර හිමිකරුවන් වු රසිකයන් ගේ ඵලප්‍රයෝජනය පිණිස වෙළඳ තැටි ඔස්සේ වර්ගීකරණයට ලක් කර ඒවා අලොවි කරන්නට කටයුතු කළේය.


ටී එම් ජයරත්න, නන්දා පතිරණ, සේන එළමල්දෙණිය, පාලතී බෞද්ධානන්ද, සේන වික්‍රමාරච්චි, පුන්‍යා කත්‍රිආරච්චි, නීලා වික්‍රමසිංහ, නාලිනි රණසිංහ, අයිවෝ ඩෙනිස්, රෝහණ බැද්දගේ, සුනිල් එදිරිසිංහ, එඩ්වර්ඩ් ජයකොඩි,යමුනා විනෝදනී, කේ ඥානවතී. කුසුමා පෙරේරා,ඉන්දීවරී ආරියසිංහ ඇතුඵ තෝරාගත් පිරිසකගේ සහභාගීත්වයෙන් ඒවා නවආරකින් ගායනා කරන ලදී


නෙඵම් ගී. ඔංචිලි වාරම්, පාරු කවි, ගිරිදේවි, සව්දම්, ඔළීඳ කෙළිය, කමත් ගී, අඞහැරයන්, දරු නැළවිලි ගී, වැදි ගී. සිරිපා තුන්සරණේ කවි, හටන් කවි, ප්‍රශස්ති, සොකරි නාඩගම, නොංචි කෝළම, රන් තෙළඹුවේ කවි, පත්තිනි හෑල්ල ආදී මෙකී නොකී ජන ගී ඔහුගේ විෂය පඨයට හසුකරගන්නට කටයුතු කළේය.


මේවා මුද්‍රණය කරන ලද කුඩා පොත් පිංච 70 දශකයේ ලොකු කුඩා නගරාශ්‍රිත කඩපිල් අද්දර, පදික වේදිකාවන්හිදී මග යන එන්නන් උදෙසා විකුණන වෙළඳුන් නෙතට නුහුරු දසුනක් නොවිය. වරෙක ප්‍රවිණ ගීත රචක සුනිල් සරත් පෙරේරා ශූරීන් තමා රඹුක්කන කඩමන්ඩියේදී මෙවැනි පදික පොත් වෙළෙන්දෙකුගෙන් මිළදී ගත් විදුර පන්ඩිත කථාව පොත්පිංච ඇසුරෙන්  පසුව මහත් සේ රසික සම්භවනාවට පාත්‍ර වූ අනෝතත්ත විල නෙඵම නෙළලා ගීතය නිර්මාණය කරගත් ආකාරය හෙළිදරවු කරන්නට යෙදිනි.


එකල ජන සමාජය වර්තමානයට වඩා මෙම ජන සාහිත්‍යයට වඩාත් සමිපව සිටිබවට ඒවා කදිම නිදසුන්ය. 


සී ද එස් කුලතිලකගේ එකී මාහැගී දායකත්වය ගෙනහැර දක්වන අතරේ ලාංකීය ජන සංගීතය සිය නිර්මාණ කර්තව්‍ය සඳහා භාවිත කරන ලද පන්ඩිත් අමරදේවයන් ගේ කාර්ය භාරය ද ලඝු කොට තැකිය නොහේ. ඔහුද පෙරළා ලක්දිව සැපත්වීමෙන් පසු  60 දශකයේදී මඩවල එස් රත්නායක සහ මහගම සේකර මෙන්ම ඩෝල්ටන් අල්විස් යන මෙකී ප්‍රවිණතමයන්ගේ ඇසුර ලබමින් ඔවුන්ගේ ගී පද රචනා උපයෝගි කොටගෙන මධුවන්ති, විජය ගීත වැනි ගුවන් විදුලි සංගීතමය ප්‍රණිතාංගයන් ඔස්සේ ජන සංගීතය ප්‍රචලිත කළේය. 


වර්තමානයේ පව අමරදේවයන්ගේ ගීතපෙළ ඔප්නංවන බඹරෙකු ආවයි (මඩවල එස් රත්නායක), රන් ගොයමේ සිංදු (ඩෝල්ටන් අල්විස්), වක්කඩ ලග දිය වැටෙන තාලයට (මහගම සේකර), ඉරට මුවාවෙන් ඉඳගෙන (මහගම සේකර), දොඩම් කපාලා ඇඹුල් තනාගෙන, (මහගම සේකර). බිංදු බිංදු රන් ගෝමර මාලා (මඩවල එස් රත්නායක) වැනි ගීත ඒ යුගයේ බිහිවු ඒවාය.


ඔහු ගුවන් විදුලියේ එසේ කටයුතු සම්පාදනය කරද්දී, සමකාලීනව ලාංකීය සංගීත ක්‍ෂේත්‍රය උඩුයටිකුරුවූ කර්තව්‍යයක් සිදුකරන ලද්දේ එවකට හතු පිපෙන්නා සේ බිහිවු කන්ඩායම් සංගීතකරුවන් විසිනි.  නෙවිල් ප්‍රනාන්දු ගේ ලොස් කැබැයියරෝස්, ක්ලැරන්ස් විජේවර්ධනගේ මූන්ස්ටෝන්ස් (පසුව 70 දශකයේ ද ගෝල්ඩන් චයිම්ස් සහ සුපර් ගෝල්ඩන් චයිම්ස්)  මෙල්රෝයි ධර්මරත්න ගේ ධර්මරත්න බ්‍රදර්ස්, ජේ බී පෙරේරා ගේ මී මැස්සෝ, නිශ්ශංක විමලසූරිය ගේ ලොස් මුචාචෝස්, නොයෙල් රණසිංහ ගේ ලා සෙයිලනියන්ස්, ලෙස්ලි ප්‍රනාන්දු ගේ බෙන්තොට බීස්, ප්‍රියා පීරිස් ගේ ලා බම්බාස්, මනිලා ජෝසප් ගේ වින්ස්ලෝ සික්ස්, ජෙරී සහ පෙරින් ජයසේකර ගේ ජේ බ්‍රදර්ස, සුනිල් පෙරේරා ගේ ද ජිප්සීස් (70 දශකය) රේමන්ඩ් ෆොන්සේකා ගේ සමනළයෝ  ඔවුන් අතර ප්‍රමුඛයෝ වුහ


බුදන්ගේ කාලයේ දෙසැට මිත්‍යාදෘෂ්ඨිකයන් මෙන් 60 දශකයේ ලාංකීය සංගීත ක්‍ෂේත්‍රයේ බටහිර ගී ආර ප්‍රියකළ ශිල්පීන් ගේ දෙසැටක් කන්ඩායම් බිහිවි තිබු බව කියැවේ. ඒ අතරින් වෙළඳ තැටි ඔස්සේ ගීත ගයනා කරමින් ඒවා ගුවන් විදුලි වැඩසටහන් ඔස්සේ ප්‍රචාරය වී නිසා රසිකයන් අතරට ගිය කන්ඩායම් ඉහත ලැයිස්තුව නියොජ්නය කරයි.


ඔවුනතරින් සිංහල ජන සංගීතය ප්‍රිය කරමින් ඒ අනුසාරයෙන් බටහිර නාදමාලාවන් හා සංකලනයෙන් නිර්මාණකරණයේ යෙදුනේ ලොස් ෆ්ලෙමින්කෝස්ය.


ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දෙසේ ............


ඔළිඳ තිබෙන්නේ සිංහල දෙසේ ..........


ගෙනත් සදන්නේ කොයි කොයි දෙසේ ...


ගෙනත් සදන්නේ සිංහල දෙසේ .....

60 දශකයේ අවසන් භාගයේදීම සිංහල ජන සංගීත ඇසුර ප්‍රියකල තෙවැන්නා පිළිබඳව වර්තමාන පරපුරේ සංගීත ලෝලීන් ගේ දැනුවත්භාවය හීන බව පෙනීයයි. ඔහු සංගීතඥ කමල් ඩී අතුකෝරාළය.  ඔහුද තමන්ට ආවේනික ආරකට නව තනු සහ සංගීත සංයෝජනයන් සිදුකරගනිමින් ජන ගී ප්‍රතිනිර්මාණයේ යෙදී සිටියේය. 


වඩාත් සුමියුරු තනු ද අන්තර් සංගීත ඛන්ඩද යොදා සාම්ප්‍රදායික ජන ගී කලාව ප්‍රචලිත කරන්නට ඔහු දැරූ තැත ද මහත්ය.පසුකාලීනව ගුවන් විදුලියේ ජනප්‍රිය වු 


බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ...............


තෝත් නටාපිය මාත් නටන්නම් බිංකුණ්ඩෝ .................


බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ...............


ඔහු විසින් නිර්මාණය කර ගයනු ලැබිය. පිටපත් රචකයෙකු, නිෂ්පාදකයකු ලෙස ක්‍රියාකාරීව කටයුතු කළ ඔහු ගුවන් විදුලියෙන් විශ්‍රාම යන්නටද පෙරාතුව 1980 වසරේදී හදිසියේ කඵරිය කළේය. ජන ගීත කලාවේ මතු පැවැත්ම හෙට දවස වෙනුවෙන් දායක වු ප්‍රමුඛ  ශිල්පීන්ගෙ නාමාවලියේ ඔහුගේ නාමය ද ඉහළින්ම ලිවිය යුතුවේමය.

් ංංංංංංංංංංංංංංංංංංං


සිංහල ජන ගීත වර්ගීකරණයේ සාම්ප්‍රදායික නෙඵම් කවි ලෙස හැඳින්වෙන්නේ පන් උදුරා නෙළාගන්නාවුන්ගේ වෙහෙස දුරුකරගැන්මට ගැයු රස කවි පද ය. එහෙත් ගොයම් නෙළන ළඳුන් ගැයු කවිද ඒ අතරට ගැනෙයි. එවන් ගණයේ කවිපද මහත් රාශියක් අතරින් පසුකාලීනව පෙරමුණගත් ශ්‍රාවකයන්ගේ සවනට නුහුරු නොවන නිර්මාණයක් කහමලියා ලෙස නම්කෙරී ඇත. තානමක් (බෙරපද තාලයක ගැයීමක්) අඩංග එය පහත ලෙසින් ගැයේ. එය මුල් ජන ගීතය නවීකරණයට භාජනය කිරීමකින් තොරව සාම්ප්‍රදායික ගායන ලතාව වෙනසකට ලක් කීර්ිමකින් තොරව ගායනා කරන ලද්දකි. සී ද එස් කුලතිලකයන්ගේ සංගීත පර්යේෂණ ඒකකයේ ප්‍රයන්තයකි ඒ.



(උපුටාගැනීම - ගුවන් විදුලි ජන සංගීතය - පර්යේෂණ ගී වැඩසටහන - 1970 දශකය)


ගැයුම - සේන එළමල්දෙණිය ඇතුඵ පිරිස


සෑදේමුව කදිමට ...

රන්පැල විලසට..


අඳි මුව කදිමට....


සේළේ ඉනවට ...


ආ...ආ.....ආ....ආ.....ආ.....ආ


අඳිමුව කදිමට....

කොන්ඩේ මුදුනට....


කියමුව කදිමට...


සිංදුලතාවට...


ආ...ආ.....ආ....ආ.....ආ.....ආ


අන්අර කහමලියේ අන්අර කහමලියේ..............


අන්නර කොණේ ලිය එකසරියේ ...


අන්අර කහමලියේ අන්අර කහමලියේ..............


අන්නර බැඳිකොණ්ඩා දෙක එකසරියේ...


තරිකිට රුකුඳ කුඳං ...තරිකිට රුකුඳ කුඳං ...


තරිකිට රුකුඳ කුඳං ...කුඳ තරිකිට රුකුඳ කුඳං...



අන්අර කහමලියේ අන්අර කහමලියේ..............


අන්අර දුණුමඞලා දෙක එකසරියේ ...


අන්අර කහමලියේ අන්අර කහමලියේ..............


අන්අර නියපොතු නියමල් එකසරියේ...


තරිකිට රුකුඳ කුඳං ...තරිකිට රුකුඳ කුඳං ...


තරිකිට රුකුඳ කුඳං ...කුඳ තරිකිට රුකුඳ කුඳං...



අන්අර රන්මැණිකෝ ...අන්අර රන්මැණිකෝ ...


අන්අර මුලඅරුමෙන් කවියක් පුරකෝ


අන්අර ඉරබලකෝ .. අන්අර ඉරබලකෝ ..


අන්අර බලලා අපි ගොඩ යමුකෝ ...


තරිකිට රුකුඳ කුඳං ...තරිකිට රුකුඳ කුඳං ...


තරිකිට රුකුඳ කුඳං ...කුඳ තරිකිට රුකුඳ කුඳං...



සමකාලීනව මෙම ජනකවිය  සහ තවත් ගොයම් නෙඵම් කවි මාලාවෙන් උපුටාගත් කොටස් වෙනත් තනුවක රුවා දේශීය බෙර තුර්්‍ය නාද සංකලනයෙන් නැසිගිය කමල් ඩී අතුකෝරාළ ශිල්පියා විසින් ද ගයන්නට යෙදුනු අතර එයද එක්තරා අතීත යුගයක දේශිය කලාව ප්‍රිය කළ සුවහස් සංඛ්‍යාත ගුවන් විදුලි ශ්‍රාවක කැළ අතර මහත් සේ ජනාදරයට පත්විය. ඔහු එහිදී සංඛ්‍යාත්මක විශාල වාදක මන්ඩලයක් ද අත්වැළ් ගායක කන්ඩායමක් ද ඊට සහභාගීකරගෙන ඇතිබව පෙනියයි. එය මෙම ජනකවි ගැයුම් වඩාත් මිහිරි වන්නට හේතුවු බව පෙනීයයි. මෙවා නිරතුරු වාදනය වූ යුගයේදීද ගොයම් නෙළන ලියන් ගේ සජීවී දසුන් ද දුලභ නොවිය. යන්ත්‍රසුත්‍ර භාවිතය කෙමෙන් කරළියට පැමිනෙමින් තිබුනද, දුර ගම්මානයන්හී මහා පරිමාණයෙන් වගා සිදු නොකරන ගොවීන් සිය කුඹුරු ළියැදි වල ගොයම් කපන්නට කන්ඩායම් ලෙස සැදුනු ගැමියන් හට ඇරයුම් කිරීමේ සම්ප්‍රදාය සිදුකළේය. 

මෑත කාලීනව 90 දශකයේදී ජන සංගීත විෂයය උදෙසා සිය කාලය සහ ශ්‍රමය වැයකරමින් එය ප්‍රචලිත කරන්නට වෙහෙස දැරූ නැසිගිය ලයනල් රන්වල ශූරීන් ද ඔහු විසින් නිර්මාණය කරගත් ශෛල්‍යයකින් උක්ත කහමලියා නිර්මාණය ජනගත කලේය.

https://youtu.be/Hd3d_y_lmd8



4 comments:

  1. මතකය අවදි කළ ලිපියක්. සංගීතය ගැන උනන්දුවක් දක්වන සැමට වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ! ජන සංගීතය නම් වු මහා කෝෂ්ඨාගාරයෙන් බිංදුමාත්‍රයක්.

      Delete
  2. වටිනා ලිපියක්. කේමදාස ශූරීන් පවා... ජනසංගීතය ආශ්‍රය කරගෙන තනු නිර්මාණය කරා කියල කතාවක් අහලා තියෙනව.
    ලයනල් රන්වලයන් ගැන සඳහන් වෙලා තියෙන නිසා රෝහණ බැද්දගේ මහතාවත් සිහියට නැගුණා

    ReplyDelete
    Replies
    1. ජන සංගීතය විෂයය පිළිබඳව ⁣මීට වඉා පුඵල්ව සාකච්ඡා කරන ලිපි මතුවට පළකරන්නට අදහස් කරගෙන සිටිමි.

      Delete