namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, October 3, 2022

ළමා ගී - ජගත් ළමා වසර - 1979 - ආචාර්ය නන්දා මාලිනී සහ ළපැටියන්

ලෝක ළමා දින තුන්සියහැටපහකින් පිදුම් ලැබු ළපැටියන්ගේ අතීතාවලෝකනය - 01 - 1979 


ලෝක ළමා දිනය ගෙවි දෙදිනක් ගත විය. ඒ අනුව සෑම වසරකම වප් මසින් පළමුවෙනි දින එනමින් හඳුන්වාදී ළමුන් උදෙසා ඔවුන් සහභාගි කරගෙන විවිධ විනෝදාංග ඇතුඵ විවිධ ක්‍රියාකාරකම් සිදු කරනු ලබයි. දිනයක් වෙනුවෙට ඔවුන් වෙනුවෙන් සතියක් එසේත් නැතහොත් මසක කාලයක් වෙන්කළ නොහැකි වනු ඇද්ද? එසේ වුවහොත් පෙරකී ක්‍රියාකාරකම් එපමණ කාලයක් සිදු කරන්නට වරම් ලැබේ. එවන් තත්වයකදී වසරක් පුරා ළමුන් වෙනුවෙන් වෙන්කරන්නට අවස්ථාව ලද්දේ නම් එය ඔවුන් හට ජිවිතයේ අමතක නොවන අත්දැකීම් හිමිකරනු ඇත්තේය. 



එවන් දුර්ලභ අත්දෑකිම් රැසක් ලබනට වාසනා මහිමය ලද දරුවන් අපි වූයෙමු ඒ කෙසේද යත් මින් වසර හතළිස්තුනකට එපිටදී එනම් 1979 වසර ලෝක ළමා වසර හෙවත් ජාත්‍යන්තර ළමා වසර ලෙස නම්කරන ලද හෙයිනි. ඒ අනුව වසර පුරාම ළමුන් සඳහා විවිධාංග වැඩසටහන්, ප්‍රිති උත්සව, සැණකෙළි, සහ තවත් ක්‍රියාකාරකම් ගණනාවක් එකී වසරේ සිදුකරන ලදී. ඒ අතරින් වඩාත්ම මතකයේ රැඳෙන සුන්දර අත්දැකීම් ඔස්සේ අතීතාවලෝකනයක නිරත වන්නට සිත්විමි.

ඒ වනවිට අගනුවර විහාර මහ දේවි උද්‍යානයේ කොටසක් ළමා උද්‍යානයක් ලෙස එදවස පැවති නවින අංගෝපාංගයන්ගෙන් සන්නද්ධ කරවා සංවර්ධනය ලක්කර සිගිත්තන් වෙනුවෙන් වීවෘත කරන ලද්දේ එකී වසරේදීය. එදවස කොළඹ සිට අවිස්සාවෙල්ල දක්වා පැවති කැළණිවැලි දුම්රිය මග පටු මාර්ගයක් වු අතර එහි ධාවනය වුයේ ගල්අගූරු එන්ජිමක් මගින් ඇදගෙන යනු ලබන ප්‍රමානයෙන් කුඩා වු මැදිරි කිහිපයකි. ඒ අන් සියඵ දුම්රිය එවකටද ඩීසල් ඇන්ජින් මගින් ධාවනය වු යුගයයි. ගීත මගින් ගැයෙන, ළමාපොත් මගින් ඇසගැටෙන, විදේශිය සහ දේශිය සිනමාපට මගින් පමණක් ප්‍රදර්ශනය වූ එවන් ගල්අගුරු දුම්රියක අත්දෑකීම් සැබැවින්ම විඳ ගන්නට නම් පෙරකී දුම්රියේ ගමන් කිරීම ප්‍රමාණවත් විය. එවන් දුම්රියක් නෙක වර්ණයෙන් සිත්තම් කරවා මතු කි ළමා උයන වටා ධාවනය කරවුයේ දිවයිනේ දසදෙසින් අගනුවර සිරි නරඹන්නට පැමිණි සිගිත්තන් හට නවමු අත්දෑකිමක් ලබාදෙන්නටය.


චිත්‍රකථා කලාව වැඩිහිටියන් අතර පමණක් නොව දරු දැරියන් අතර පවා උන්මාදයක් ව පැවති එකී යුගයේ, මුල්වරට දරුවන් වෙනුවෙන් වෙන්කෙරුණු චිත්‍රකථා පත්තර වෙළඳ පොළට නිකුත් කෙරිනි.  දශක සතරක අතීත මතකයේ අහුමුඵ අවුස්සා තෝරාබෙරා ගන්නා තොරතුරු අපැහැදිලි නමුත් ඒවා සූකිරි සහ මී පැණි නමින් හැඳින්වු බවට බොඳ වු මතකය කියාපායි.

රූපවාහිනි මාධ්‍ය කලාව මුල්වරට ලක්පොළොවේ දඵලා වැඩෙන්නේ ද පෙරකී වසරේ බක්මහ උළෙලට සමගාමීවය.  පෞද්ගලික සමාගමක් ලෙසින් ස්වාධීන රූපවාහිනි සේවය අගනුවර අවට සිමිත පදෙසකට විසුරුවා හැරීම දියත් කෙරුණු අතර එයින් මුල්වරට ලෝකපුජීත රූපවාහිනි ළමා කාටුන් වැඩසටහන් වල අසිරිය අත්දැක විඳගන්නට ලක් දරුකැළ ද වසනාමහිමය ලද්දේය.


අගනුවරින් දුරස් ව විසු ළමාඅප වෙත පෙරකී පුවත සන්නිවේදනය කෙරෙන ලදුව, දුරු කතර ගෙවා අගනුවර විස්ම ලෝකය වෙත පිවිසෙන්නට හේතු සාධක වූ කරුණු අතරට මතු කී රූපවාහිනි කාටුන් වැඩසටහන් නැරඹීමේ උන්මාදයද අඵතෙන් එකතුවිය. ඊට අවස්ථාව හිමිවන තුරු, රූපවාහිනි යන්ත්‍ර සතුකරගත් ඥාති හිතමිතුරු නිවස් කරා පිවිස එහි කෙටිකාලයක් හෝ රැඳි සිටින්නට සිහින මැවු යුගය එයයි. 



කාටුන් උන්මාදයෙන් පෙඵන ලාංකීය ළමා පරපුරට එයින් වඩාත් වැඩදායි අධ්‍යාපනික අවස්ථාවන් හිමිකරදෙන්නට උත්සුක වී පසුකාලීනව ළමාපෙළ වෙනුවෙන් රූපවාහිනී හඞකැවිම් කලාව හඳුන්වාදී ඔවුන් වෙනුවෙන් අනගිභවනීය මෙහෙවරක් ඉටුකල සිනමාවේදී ටයිටස් තොටවත්තයන් ව මුල්වරට ලක් ළමා පරපුර දැන හැඳිනගත්තේ විශ්ව ළමා වසරේදීය. ඒ ඔහු විසින් ඔවුන් හට තිළිණ කරන ලද අමිල කලා නිර්මාණයක වු යුග යුග මතකයේ රැඳෙන  හඳයා නම් වු සම්මානනීය ළමා සිනමාපටය ඒ වසරේදී තිරගත කරන්නට කටයුතු යෙදීමෙනි.  වත්මනට වඩා පුඵල් ලෙස එවකට අගනුවර වසා පැතිර පැවති  පැල්පත්වාසී ජනසමූහයා අතර දිවි ගෙවු අසරණ ළමුන් පිරිසක ගේ චර්යා රටාවන් සියුම්ව සාකච්ඡාවට බඳුන් කරන ලද්දා වු හඳයා අභිබවා යන්නට සමත් ළමා සිනමාකෘතියක් ඉන් මත්තෙහි එදා මෙදා තුර බිහිකරදෙන්නට කිසිවෙකු හෝ සමත්වුයේ නැත.

---------------------
අවිස්සාවේල්ල මාර්ගයේ වාෂ්ප දුම්රිය - - 80 දශකයේ මැද භාගය දක්වා 
-------------------

මතු කී ලෙසම  ඒ වසර වෙද්දීද රූපවාහිනි මාධ්‍ය කලාව සම්පුරණයෙන්ම සිහිනයක් ව පමණක්ව පැවති අතිබහුතර ලක්වැසි ළමා පරපුර වෙත අතහිත දෙන්නට ඉතිරිව පැවති එකම විද්යුත් මාධ්‍යය ් ලංකා ගුවන් විදුලියයි. එහි ළමා වැඩසටහන් අංශය එදවස ඉතා කාර්ය බහුලව පැවතුනේ ළමුන් උදෙසා විවිධ සංගීතමය සහ වෙනත් අධ්‍යාපනික විචිත්‍රාංගයන් නිතර නිර්මාණය කරමින් පැවතිම නිසාය. ප්‍රවිණ ගුවන් විදුලි මධ්‍ය ශූරී කරුණාරත්න අබේසේකරයන් ඒ යුගයේ ගුවන් විදුලියට දායකත්වය ලබා දුන්නේ අර්ධකාලීනවය. ඔහු විසින් ආරම්භකර පවත්වාගෙන ගිය ළමා මන්ඩපයේ නියමුවන් අතර ප්‍රමුඛයා වුයේ සුනෙත් ගෝකුළ ශිල්පියාණන් ය. ඔහු ගේ දයාබර බිරිඳ වුයේ ඉන් ඉහත දශකයේ සිට ළමා පිටිය සරසන්නට විවිධාකාර නිර්මාණයන්ගෙන් ඊට දයාකත්වය දැක්වු සංගීතඥ වර්තමාන ආචාර්ය ධුරයෙන් පිදුම් ලද නන්දා මාලිනි මහත්මියයි. ඔවුන් දෙදෙනා යටතේ ළමා ළපැටියන් රැසක් එහි සිට ගයමින් ඇයගේ තනුනිර්මාණයන් සහ සංගීත සංයෝජනයන්ගේ මිහිර ලබමින් ගීත ගයනා ඉදිරිපත් කලේය. ගුවන් විදුලිය විසින් නිරන්තරයෙන් ඒවා ළමා පරපුර වෙත විසුරුවා හැරියේය සවස් යාමයේ ඊට ප්‍රමුඛතාව දෙමිනි.



ළමුන් ඇසුරේ නිතිපතා රැඳෙමින් ඔවුනට අතහිත දෙමින් ඔවුන්ගේ හෙට දිනය ප්‍රභාමත් කරන්නට ඇප කැප වු ඇය, සිය ආදරණිය ළමාපෙළ වෙනුවෙන් වෙසෙසින් වෙන්කරන ලද ළමාවසර තුල ඔවුන් උදෙසා සුවිශේෂි කටයුත්තක නිරතවන්නට ඉටා ගත්තේය. ඒ දිවයිනේ ලක් ඉතිහාසයේම මුල්වරට ළමුන් උදෙසා වෙළඳ ගී තැටියක් තිළින කරන්නටය. ඒ අනුව එය ගීත හතරකින් සමන්විත විමේ අවශ්‍යතාවය සපුරාලිය යුතු වන්නේය. 





--------------
සංගීතඥ ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ ග්ලිකොන්ස්පීල් වාදන ශුරී නැසිගිය සේන ජයන්ත වීරසේකර
--------

ගීත සතර කෙබඳු විය යුතුද? ඒ වෙද්දීද ඇය යටතේ ගයන දරුකැළ වෙනුවෙන් ළමා ගීත රචනා කලාවේ නිරත වී සිටි සුනිල් ආරියරත්නයන් හට ඒවා පබැඳිමේ වගකීම පැවරිනි. සංගීත වාද්‍ය සමුහයා මෙහෙයවා වාද්‍ය රසය කැවිමේ කාර්ය භාරය ප්‍රවිණ සංගීතවේදී නැසිගිය සේන ජයන්ත වීරසේකරයන් වෙත ලබා දුන්නේය.  සුපුරුදු ලෙසම තනු සහ සංගීත අදියුරු භුමිකාව ඇයගෙන්මය.

-----------------

නන්දා මාලිනි 

සුනිල් ආරියරත්න - 80 දශකයේදී

---------

පොඩිත්තන්ගේ ලෝකය සරසන ඔවුන්ගේ අජිවි කෙළිභාන්ඩය වු සරුංගලයකින් මෙන්ම සජිවි කෙළිභාන්ඩ වන සමනළයන් අතර සැරිසරන ළපැටියන් ගේ  මනරම් සිතුවමකින් හැඩවැඩ වී තැටි කංචුකය නිර්මාණය විනි.  කැළණිය දඵගම සරසවි ශබ්දාගාරයේදී එක්තරා දිනකදී ඒ අනුව සිංහල ළමා ගීත කලාවන්හට වැඩිහිටියන් වෙතින් පිදුනු නැවුම් ගීත හතරක් එළිදුටුවේය. එයන් තුනක් ළමා ළපැටියන්ගේ සුන්දරත්වය වර්ණනා කරද්දී එක් ගීයක් ඔවුන්ගේ කෙළි භාන්ඩය වු සරුංගලය අරභයා ලියැවිනි. එනමුදු ගීත ප්‍රබන්ධකයා සරුංගලයේ උපමාවෙන් වෙස් ගන්වා  සියුම් ලෙස මතුකර ගන්නේ විරෝධාකල්පයකි. ඊට පෙර වසරේදී දියත්ව ඒ වසරේදී සිඝ්‍රලෙස පැතිර ගිය මැදපෙරදිග ඉසුරු සොයා විදේශගතවිමේ මෙන්ම ලක්පොළොවේ සම්පත් අනුභව කරමින් හැදී වැඩී යැපී නොරටුන් හට බැළමෙහෙවර කිරීමේ ප්‍රවණතාවය ගීත රචකයාගේ සියුම් විවරණයට හසු කරගනී.



මහඇදුරු අභිධානයෙන් පසුව පුදලද යාපනය සහ ජපුර සරසවි ඇදුරු සුනිල් ආරියරත්න නම් වු ගී පද රචකයා ඇයගේ පවන සහ සත්‍යයේ ගීතය ප්‍රසංග හමුවේ පසුව නිරත වන්නට යෙදුනු විරෝධාකල්ප ගීත රචනා කලාවේ අංකුර අවස්ථවෛ් නිර්මානයක් ලෙස සරුංගලේ සැළකිය හැකිය. එහෙත් ඔහු ඒ වනවිට ද මිරිවැඩි සගලක්, සකුරා මල් පිපිලා වැනි ගීත ගණනාවක් ඇය ගේ ගුවන් විදුලි ගිීතාවලිය සරසන්නට නිර්මාණය කර තිබිනි. උක්ත තැටියේ ඇතුළත් වු ගී අතරින් පසුකාලීනව වැඩිම වාරගණනක් ගුවන් විදුලියෙන් විසුරුවා හැරි ගීතය බවට පත් වුයේ සරුංගලය යි.



01 මල් මල් මල් ලොව මල් දරුවෝ .............


මල් මල් මල් ලොව මල් දැරියෝ ..............


මල් මල් මල් ලොව මල් දරු දැරියෝ .............


මල් ලොව මල් දරුවෝ ................


අසන්න  ෙමතැනින්
--------------------

02 රත්තරං රටේ උපන්න රත්තරං පුතේ..........


අපේ රටේ දූ දරුවන් රත්තරං වගේ ..................


සමණළ කඳු මුදුන සිඹින උදාගිර වෙලා........


සෙංකඩගල පුරේ රැඳෙන පුරාහඳ වෙලා ...,


සිරිමා බෝ රජුන් බඳිව වළාකුඵ වෙලා ...


මේ රට සරසන්න පුතේ රත්තරං වෙලා ...........


අසන්න  ෙමතැනින්
--------------------

03 වන බඹරෝ මොකද හොරෝ ...........


පුංචි කමට පැණි උරන්නේ .............


පුංචි අයගේ හොරබොරු නෑ .............


හොර නොකරති පුංචි ළමයි........


බොරු නොකියති පුංචි ළමයි.............


දෙමව්පියන් හිත රිදවා ...........


දග නොකරති පුංචි ළමයි.....


කම්මැලි නැති පුංචි ළමයි..........


දැනුම වඩන පුංචි ළමයි.............


හෙට නවලොව ඉදිවන විට...


ලොවට අයිති පුංචි ළමයි...........


අසන්න  ෙමතැනින්
--------------------

04 සරුංගලේ වරල් සැලේ ...


නිසංසලේ ගුවන් තලේ ...


අපෙන් මිදී වෙන රටකට ...


යන්න හදන්නේ ....


උපන් බිමට වැඩිය තැනක් ..


කොහෙද තියෙන්නේ....


සරුංගලේ බට පතුරෙන් නුඹ සැදුවේ අපේ ළමයි...


සරුංගලේ ලාටු උලා රැළි කෙරුවේ අපේ ළමයි..,


සරුංගලේ කොළ අලවා හැඩ කෙරුවේ අපේ ළමයි..


සරුංගලේ නුඹ අහසෙයි අපේ ළමයි තාම බිමයි...


සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටිකෑවේ අපේ ළමයි..


සරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයි...


සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි...


සරුංගලේ නුඹ වාගෙයි රටහැර යන අපේ ළමයි....

අසන්න  ෙමතැනින්
--------------------

මෙම සුවිශේෂී වසර වෙනුවෙන් ලංකා ගුවන් විදුලිය විසින් තේමා ගීතයක් පටිගත කරන ලද අතර එය ගායනා කරන්නට යෙදුනේ ගීතය සංගීතවත් කල ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ දරුකැළ විසිනි. එදා ළපැටියන් වු ඔවුන් ජයන්ත රත්නායක, චාන්දනී, මංජුලා සහ ලෙඵම් ය. ගීතයේ පද සැකසුම ආචාර්ය නැසිගිය අජන්තා රණසිංහයන් ගෙනි.මිට අමතරව අජන්තා දියණි සිගිති සාරංගා රණසිංහ ගේ හඞ ද මෙහි ඇතුළත්ය.


පුංචි වුනත් මං...........පුංචි මටත් දැන්...


අවුරුද්දක් තියනවා ...ළමා වසර කියනවා ............


අත්පුඩි පුඩි පුවත්තා...අත්පොළසන් දෙවත්තා...............

අසන්න  ෙමතැනින්
--------------------

ජාත්‍යන්තර ළමා වසරේ අතීත මතක සැමරුම් සතුකරගත් තවත් එදා ළපැටි රසවතුන්ගේ රසපුර්ණ අත්දෑකිම් එමට අද වැඩිහිටියන් බවට පත් වු ඔවුන් සතුව පවතින බව නිසැකය. එවන් අත්දෑකිම් ඔබ සතුවේනම් ඔබේ පසු පරපුරේ කියවිමේ පිපාසාවෙන් දැනුම සොයා අතීත ගවේෂනයේ යෙදෙනවුන්ගේ අමන්දානන්දනයට හේතු වූ එවන් කරුණු මතු ලිපියකට ඇතුළත් කරනු වස් මෙහි  සටහන් කර දමන ලෙස සාදරයෙන් ඇරයුම් කරමි. (සේයාරූ පවතීනම් ඒවා දහස් වටී)


ඔබට තුති පුද.................!


(නන්දා මාලිනි ගී තැටියේ තොරතුරු සම්බන්ධිකරණය - බුද්ධි ගයාෂාන් ජයසේකර සහෘදයා විසිනි)

තැටි කවරයේ සේයාව - උපුටාගැනීම - මියැසි බ්ලොග් අඩවිය - නිමල් රත්නායක



6 comments:

  1. අද කාලයේ මෙන් ළමුන් වෙනුවෙන් නොයෙකුත් විසිතුරු ළමා දින උත්සව නොතිබුණ ද, එදා ළමා මනස පෝෂණය කිරීමට දිනපතා නිරන්තරයෙන් වැඩ කටයුතු සිදු වුණා.. එහිදී ඉහත පූර්විකාවේ කියැවෙන ලෙසින් ම කරුණාරත්න අබේසේකර, නන්දා මාලිනී වැනි නාමයන් සදානුස්මරණීයයි.. අපේ පරම්පරාව ගී රසවින්දනයට මෙන් ම, සංවේදී මිනිසුන් බවට පත්කිරීමට ද මුල් වූයේ ඒ මනස් පෝෂණයයි... අතීතයේ ඒ සුන්දර මතකයන් වෙත යළි අප ගෙන යන මේ අනගි සටහන් වෙනුවෙන් ඔබට පින්..!!
    මෙවන් සටහන් නව පරපුර වෙත කෙරෙන දායාදයක් ලෙසින් දකිමි..
    ස්තුතියි ප්‍රභාත්..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෘදිනියනි, මේ මතක මනසේ තෙරපී, එළියට එන්නට පොදිකයි.

      ඒවා මුදාහැර එදා ළපටිපෙල හා අත්දැකීම් බෙදහදා ගන්නට සිතුවෙමි.

      Delete
  2. ගියෙමි අතීතෙට ඔබගේ ලිපිය දිගේ
    ඒ අවදිය සිහිවෙද්දී කඳුළු නැගේ
    විසිතුරු වැඩිය අද අපගේ ළමයින්ගේ
    එයින් අහිංසක ගති නැසිලා වාගේ

    ReplyDelete
    Replies
    1. ළමයින් කියා කියන අය අද ඇද්ද
      ළමයින් පෙනුම ඇත්තෝ නම් දැකිය හැක.
      ළමයි හිතින් වැඩිහිටියන් වී ඇද්ද
      ළමයි⁣න්ගෙත් ළමයි අද වැඩිහිටියන්ය

      Delete
  3. මල් මල් මල් ලොව මල් දරුවෝ ගීතය ඇසෙන විට
    මල් කියන්නේ කාට ගීතයේ මතක් උනා ...ඒ රන්මය අතීතයට සිත දිව ගියා බොහොමත්ම ස්තූතියි උදාර සේවයට 💜️

    ReplyDelete