namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, October 13, 2022

වින්සන්ට් ප්‍රේමසිරි ගුවන් විදුලි විරහ ගී කදුඵ...

 බොදු සාහිත රසාකරයෙන් බිඳක් ඇසුරුකර මැවු ගීයකින් උපන් ගී රස දාමය....


බොදුණුවන්ගේ පූජාර්භ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඇතුලත් පන්සිය පනස් ජාතක පොත ඇසුරෙන් කුරුණෑගල රාජ්‍ය සමයේ දී සිංහල පන්සිය පනස් ජාතක පුස්තකය සංග්‍රහ කරන ලද්දේ යැයි ඉතිහාසගත පුවත් වාර්තා කරයි. එහි ඇතුළත් පැරණි භාරතීය කථාගංයන් අතරින් ඇතැම් ඒවා යුග යුග ලාංකීය ජන දිවිය ඒකාලෝක කරන්නට සමත් වු අතර ඒවා ඇසුරෙන් නිපදවු විවිධාකාර කලා රසාංගයන් ඊට හේතු පාදක විය. කෝලම් ජන නාටක සංදේශ කාව්‍ය දැනට අභාවයට ගොස් ඇති නූර්ති මෙන්ම කවිකොළ  සහ පසුව බිහිවු වේදිකා නාට්‍ය සිනමා කෘති ගීත ටෙලි නිර්මාණ මහත් රාශියක් ඒ අතර වෙයි 















------------------------------

සේයාරුව නරඹන ඔබේ දකුණත සිට පළමුවැන්නා  ප්‍රාග් ඓතිහාසික ලංකා ඉතිහාසය සහ බෞද්ධ සාහිත්‍යයේ රසමුසු තැන් මතුකරගනිමින් භාවපූර්ණ විරහ ගී ගැයු එකම ගුවන් විදුලි ගායන ශිල්පීයා වූ ද සිනමා සහ ගුවන් විදුලි සංගීත අධ්‍යක්‍ෂවරයෙකු ලෙස මෙන්ම සිනමා නඵවෙකු (ජෝඩු වළලු - 1980)  කටයුතු කළා වූද නැසිගිය වින්සන්ට් ප්‍රේමසිරි කලාකරුවාණන්ය.ඔහු 1979 වසරේ සාර්ථක ලෙස තිරගත වූ පතිරාජ එල් එස් දයානන්ද විසින් අධ්‍යක්‍ෂනය කරන ලද විසිහතර පැය සිනමාකෘතියේ  සත්සර නාදපතිය.

දෙවැන්නා ආචාර්ය වික්ටර් රත්නායකයන්ය සතරවැන්නා වික්ටර් ගේ හිතමිතුරු ගුවන් විදුලි ගායක සංගීතඥ දිවංගත මර් වින් පෙරේරාය.

Photo Credit - Crishantha Fernando (pupil of late Mr. Mervyn Perera) 
-------------------------

එහි එන ඇතැම් ජනකථාවන් අතිශයින්ම ලුහුඞුය. පරිච්ජේද දෙත තුනකින් පමණක් සමන්විතය එහෙත් එහි අතිශය බහුතර සංඛ්‍යාවක කථාංග මධ්‍යම ප්‍රමනයේ ඒවා වන අතර දීර්ඝතම වෘතාන්තය උම්මග්ග ජාතකය ලෙස හැඳින්වෙයි.

තමන් උපතින් උරුමකරගත් අසාමාන්‍ය ප්‍රඥා බල මහිමය  මෙහෙයවා එහි උපදේශක තනතුරුධාරියා විසින් සිය දේශයේ රජුත් රටවැසියා සහ සෙසු පාලකයන් වෙනත් අධිපතියෙකු යටතේ සේවය කලා වූ උපදේශකයෙකුගේ කූටෝපායකින් ග්‍රහනයට නතු කරගෙන විනාශකර දෑමීමේ කුමන්ත්‍රණයක් ව්‍යවර්ථ කල අයුරු එහි විස්තර කරයි.

එය අතුරු කථා ද කිහිපයකින් සමන්විතය. එයිනුදු කලා සාහිත රසය ප්‍රියකරන හෙළ බොදු වැසියන් අනාදිමත් කාලයක සිට හොඳින් දන්න හඳුනන දික්තල - කාලගෝල - දික්පිටියා කථාව සුවිශේෂිය.

'රූපත් යුවතියක් වු දික්තල විවහ කරගන්නේ ඒ අභිප්‍රාය මස්තකප්‍රාප්ත කරගන්නට සත්වසරක් බැළමෙහෙවර කළා වු විරූපී කුදු කාලගෝලය. කලකට පසු ඇගේ නිවසට නෑගම් යන යුවළට පළලැති ගංගාවක් තරණය කරන්නට සිදු වෙයි. තොටියෙකු ගේ සහය නොළබන ඔවුන්ට ඊට පිහිටවන තැනැත්තා දික්පිටියා නමිනි. ඔහු පළමුව යුවතියව එයින් එතෙර කරදෙන්නට ගිවිසගෙන ඇය හා ගංගාව තරණයේ දී ප්‍රියතෙපුලින් මන්ත්‍රණය කර ඇයගේ සිත්දිනා ගෙන එතෙර ඉවුරට ලගා වී පලා යයි. 

එයින් මහත් සේ නොසන්සුන් වූ ඇගේ සැමියා දිය පහරට පැන එය තරණය කිරීම අසිරු නොවන බව දැන වහා එතෙර වී ඔවුන් ලුහුබැඳ ගොස් ග්‍රහණයට ගනී. දික්පිටියා විසින් තර්ජනය කොට බියවද්දා පහර දී පළවා හරින්නට .තැත් දැරුවද එය නොතක පසුපස වැටී යන ඔවුන් මතු කි ප්‍රඥාසම්පන්න උපදේශක මහෞෂධ යන්ගේ රාජ්‍යයට ඇතුඵ වේ. ඔවුහු ඔහු ඉදිරියට පමුණුවන අතර අව්‍යාජ සැමියා කවරෙක්දැයි නිශ්චය කර ගැන්මට ඔහු මිනිසුන් දෙදෙනා වෙන් වෙන්ව කැඳවා බිරිඳ ගේ දෙම්ව්පියන් නම්ගොත් විමසයි. පරීක්‍ෂණයෙන් සමත් ව විරූප කුදු මිනිසාට නැවතත් සිය බරිඳ හිමිකරගන්නට වාසනාව ලබයි.

කාලශූරී පුන්‍යසේන ගුණසිංහයන් මෙම පරසිඳු කථාංගය ඇසුරෙන් දික්තල - කාලගෝල නාඩගම නිපදවා වේදිකා ගත කරන්නේ 60 දශකයේදීය. එහි කාලගෝල නම් වු පාත්‍රයා විසින් ගැයුණු ගීයක් පසුව නිරතුරුව එදවස පැවති එකම විද්යුත් මාධ්‍ය වු ලංකා ගුවන් විදුලි සේවය ඔස්සේ විසුරුවා හරින්නට යෙදී ශ්‍රාවකයන් අතර අතිශයින්ම ජනප්‍රසාදයට පත්විය. 


ආලේ බැන්ද මාගේ රම්‍යවන් ......


ඒ ඒ ... ආලේ බැන්ද මාගේ රම්‍යවන් ...


මේ සුනිමල මගේ දික්තල .....


අවුරුදු සතක් තුටීන මෙහෙවර කළ මෙමා ....


ගත් ලඳුන් අගේ .. ඇගේ රූපේ බෝ අගේ ....


යන්නට ගමට මේදීන ...


මව්පියන් දකින ලෙසීන ..


තැගිලෙසට දැන් ..


ගෙනයාමි රසකැවුම් .....
----------------------------------

මෙතැනින් සවන්යොමන්න


ගුවන් විදුලිය වෙනුවෙන් ගැයූවේ

( එම් ඩි චන්ද්‍රපාල ) 


70 දශකයේ ගීත වර්ගීකරණ සුචිය ට අනුකූලව ඉන්පෙර දශකයේ සහ ඒ යුගයේ වේදිකා ගත වූ නාට්‍යයන්හි ගැයුණු ගී ඉලක්කකොටගෙන වේදීකා නාට්‍ය ගී වැඩසටහනක් දිනපතා විසුරුවා හරින ලදී. එහි නිතර සවන වැකුණු එය පෙර කී නාට්‍ය නරඹන්නට අවස්ථාවක් නොලද්දවුන් මතුනොව දික්තල - කාලගෝල කථාව පවා නොදන්නවුන් අතර පවා මහත් සේ ජනප්‍රිය විය.


සිංහල සිනමා කර්මාන්තයේ සාරඵල ලැබු එහි මල්බර වසන්ත සමය බඳු පෙර කී දශකයේ ඊට අවතීර්ණ වු යොවුන් නිර්මාණකරුවන් අතර එච් ඩී ප්‍රේමරත්න නාමය කෑපි පෙනෙයි. ඔහුගේ කුඵඳුල් සිනමා නිර්මාණය වු සිකුරුලියා වස්තු බීජය ට පදනම් වුයේ එවක දනන් තුඩ නිතර රැව්දුන් මතු කී දික්තල - කාලගෝල කථාවයි. ඒ ඇසුරෙන් ඔහු මනරම් නව නිර්මාණයක් බිහිකරගන්නට සමත් විය. 

කුදු යොවුන් තරුණයෙකු සිය ධනවත් පියාණන් යටතේ සේවය කරන්නෙකුගේ භද්‍ර යොවුන් වියේ  අභිරූපී දියණියකට පෙම් බඳිනු ලබයි. ඔවුන්ගේ අසරණකම දඩමිමා කරගෙන සිය කාර්යය සඵල කරගන්නා ඔහු සිය මනාලිය සමග නවදිවියක් අරඹන්නට තැත් දරන්නේ ඇයට දැඩිව ප්‍රේම කරමින්ය. ලද ඉඩ හසරකින් අයුතු ප්‍රයෝජන ගෙන ඇය සිය සැමියා ගේ මෝටර් රථයේ රියදුරු හා පලායයි. පසුව අගනුවර පේළිනිවාසයකට කොටුවී අනාචාර දිවියකට නතු වෙයි.

විනෝද චාරිකාවක නිරත ව සිටිද්දී සැමියා මගදමා රියදුරු සමග ඔහුගේ රථයෙන් නික්ම යන උද්වේගකාර ජවනිකා පෙළ අතරින් ඔහු ඇය හා ගතකල සිමාසහිත විවහ දිවියේ රසමුසු තැන් ශෝකභරිතව ආවර්ජනය කරන දර්ශන තිරයේ මැවෙද්දී පසුබිමින්  නැගෙන්නේ ප්‍රේමවිප්‍රයෝගයෙන් ආතුර ව ඔහු ගයන විරහ ගීයයි. සිංහල සිනමා ගීතාවලියේ අනුස්මරණිය මතක සටහනක් ඉතිරි කර තැබු එය ක්ලැරන්ස් විජේවර්ධන නම් ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවාගේ ද කුඵඳුල් සිනමා ගී ප්‍රයන්තයයි. සිංහල විරහ ගී කලාවේ නොමැකෙන මං සළකුණු සටහන් කල ගුවන් විදුලි ගායක ජේ ඒ මිල්ටන් පෙරේරා ඊට ගායනයෙන් සහය කරගන්නට සංගීතඥ ක්ලැරන්ස් අපමණ උත්සහයකින් පසුව සමත් විය.


කොමළ ලියා ...


බොළඳ ලියා .....


මාව දමා යන්න ගියා ...


සියුමැලියා ... සිකුරුලියා ......

-------------------------
මෙතැනින් සවන්යොමන්න

(ගී පද සැකසුම - නැසිගිය ධර්මසිරි ගමගේ ශූරීන් විසිනි) - 1975


දික්තල - කාලගෝල රසපුවත නවමානයකින් මෝදු වූ තවත් ගුවන් විදුලි ගීයක් සමකාලීනව ශ්‍රවණය කරන්නට එදා රසිකයන්හට අවස්ථාව ලැබීය. එහිදි කාලගෝල ගේ වියෝග ශෝකාලාපය භාවපුර්ණතිව මතුකර දෙන්නේ නැසිගිය වින්සන්ට් ප්‍රේමසිරි කලාකරුවාය.


දික්තලා නංගියේ ...............


මම තරහා නෑ ...


නුඹ මට හිමි නෑ .....


මම තරහ නෑ ....


කාලගෛා්ල මං විරූපි බව මම දනිමි........


මිනිස්කම නොවෙයි රූපය නිසා පැරදුනී ........


නීතිය මට ඇය දුන්නත්...මිනිස්කම මගේ...


නුඹට බාර දෙන්නට මට අණකරයි මලේ ......


මෙමා නොලඳ ආදරයට නොගරහමි ළඳේ....


ඉතිං නුඹට ඇය භාරයි ඇය භාරයි...


රැකගනිම් මලේ ....

---------------------------

ගී පද සංකල්පනාව සහ සංගීතය -

ප්‍රවිණ ගුවන් විදුලි ගායක - රංගනශිල්පී - සංගීතඥ වින්සන්ට් ප්‍රේමසිරි

---------------------------

මෙතැනින් සවන්දෙන්න


නිර්මාණකරුවා කාලගෝල ලවා ඇයව අමතන්නේ ගැමි වහරට නුහුරු නොවන නංගියේ ....... යනුවෙනි. ඔහුගේ වේදනාත්මක ආයචනය ට සවන් යොමන ශ්‍රාවකයන් ගේ හදවතෙහි එයින් මෝදුවන අනුකම්පාව ගායකයාගේ හඞිව් වඩාත් තිව්ර වෙයි.

එවන් අත්දැකීමක් තමන් ලද්දේ නමි එවන් අකරතැබ්බයකට තමන් ගොදුරු වුවේ නම් සිතෙහි හටගන්නා වු කැළඹීම කෙබඳු වේදැයි සිතන්නට පොළඹවයි. 

--------------------
උපුලී තැටි කවරය - 1976 - ලංකා ගුවන් විදුලි සංස්ථාව නිකුත් කරන ලදී.
---------------------

දික්තලා නංගියේ නම් වු මෙම භාවප්‍රකම්පිත නිර්මාණය පසුව ලංකා ගුවන් විදුලිය එදවස සිය අසන්නන් ගේ වින්දනය වෙනුවෙන් ඉඳ හිට නිකුත්කරන ලද්දාවූ ඊ පී  තැටියකට තෝරා ගන්නට පාදක වු සුවිශේෂි හේතු කාරනා තිබෙන්නට ඇත. එදවස ගුවන් විදුලිය අර්ථපුර්ණ රසපූර්ණ සංගීතමය ප්‍රණිතාංගයන්ගෙන් නිරතුරුවම විචිත්‍රවත් විය. ඒ එම ආයතනය එකි තත්වයට පත්කරදෙන්නට දහදිය ශ්‍රමය හෙළන ලද්දාවූ එහි මුල් පුටුව හෙබවූ නැසිගිය රිජ්වේ තිලකරත්නයන්ගේ උත්සහයේ මල්ඵල ගැන්වීමයි. මතු කී ඊ පී තැටිය උපුලී නමින් නම්කෙරුණේ මෙම ගීතයට සමකාලීනව ගුවන් විදුලියෙන් බිහිවුනු ආචාර්ය අමරා රණතුංග ගැයු ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ නම් වු (උපුලී) නැවුම් ප්‍රස්තුතයක් අළලා බිහිවු අපුර්ව ගීතයේ අසිමිත රසික ප්‍රතිචාරය නිසාවෙන් එය ඊට ඇතුළත් කීරිම නිසාය. (උපුලී ගී පද සංකල්පනය චන්ද්‍රසේන රංගේ විසිනි)

70 දශකයේ ශ්‍රාවක වින්දනය සාපේක්‍ෂව  යම් තරමකින් හෝ ඉහළ මට්ටමක පැවති බවද පාරිභෝගිකවාදී සමාජයකට අවතිර්ණ නොවු එදා රසවතුන් අව්‍යාජව කලා නිර්මාණයන්ටද ඒවා බිහි කළ කලාකරුවන්හටද දැඩිව ආකර්ශනය වි තිබුනු බවට ද පැහැදිළිය. මානව අවශ්‍යතා අදට වඩා සරළව තිබූ එදා සමාජයේ ඔවුනට විවේකය තිබුනු අතර ඒ කාලය  අපතේ නොහැර වඩ වඩාත් අර්ථසම්පන්නව භාවිතා කරන්නටද නැඹුරු ව තිබුනු බවද කිව හැක්කේය. 

ඉහත සිද්ධිදාමයන්හී පොදු තේමාව වන්නේ තම ස්වාමියා ගේ බාහිර ස්වරූපය එනම් ඔහුගේ දේහ වීකෘතිතා - විරූපීත්වය නිසා ඔහුගෙන් දුරස්ව පරපුරුෂයන් ගේ ඇසුර සොයා ගිය බිරින්දෑවරුන් සහ එය ඉවසා දරා ගත්තවුන්ගේ චර්යාවයි. ඒ සංසිද්ධිය මතුකොට දැක්වු සිනමා කෘති ගණනාවක් සිංහල රිදී තිරය වර්ණවත් කලේය. ඒ අතරින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ දෑසනිසා (විරූපි නිරුදක ගේ බිරිඳ තවුසා හට පෙම්බැඳිම) මෙන්ම ඩබ්ලිව් ඒ බී ද සිල්වා ගේ හුලවාලි (ධාරා සිය සුරුපී බිරිඳ ගේ නොමනා පැවැත්ම නිසා ඇයව බිබිලේ ඇත්තෝ ට දන්දීම) යන සිනමා කෘති දෙකයි.

තමා දැඩිව පේමබැඳි බිරිඳ සුභා ගේ නික්ම යෑමෙන් අනතුරුව ධාරා ගේ කැළඹි ගිය චිත්ත සන්තානය ගීයක වදනින් අපුරුවට සිත්තම් කරන්නට ප්‍රවින මාධ්‍යවේදී නැසිගිය ධර්මසිරි ගමගේ ශූරීන් සමත්විය


කුඩා ගමේ මද්දහනේ 

අව් රස්මිය නිවා ...

හුරී කඳුපෙතේ දඩමං ..

දිගේ ගියා මේමා ...

එවන් ගමන් මා නම් ගියේ 

සෙනෙහස ගැන සිතා ...

නුඹේ කරට රිදී පොටක් ..

පලදඤ්ඤයි සුභා ...

--------------------

ගී පද  - නැසිගිය ධර්මසිරි ගමගේ

සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක

කථාව සහ දෙබස් - නැසිගිය චිත්‍රශීල්පී දයා රාජපක්‍ෂ

ගැයුම - ගායනශුරී සුනිල් එදිරිසිංහ

සිනමාපටය - හුළවාලි

-------------------------

යු තලයේ නරඹන්න


පන්සිය පනස් ජාතක කථා මෙන්ම වෙනත් දේශිය සහ විශ්විය  සම්භව්‍ය සාහිත්‍ය කෘතීන් හෘදයංගමව ඇසුරු කරමින් යමෙකු විසින් කරන්නට යෙදුනු නිර්මාණයන් ගුරු කොටගෙන තවත් බොහෝ රසවතුන් විවධාකරයේ කලාකෘති බිහිකළ බවට ගෙනහැර දැක්විය හැකි අපමණ නිදසුන් අතරින් එකකි මේ.

----------------------
අලිඛිත ලක් ඉතිහාසයේ ජනප්‍රවාදගත රාවණ පුරාවෘත්තය භාරතයේ රාමායණ මහා කාව්‍යය ඇසුරෙන් එහි පැණෙන ලංකාපුරය පාදක කොටගෙන සියවස් සංඛ්‍යාත කලාන්තරයක ලක්පොළොව ජනයා තුඩග රැව්දෙමින් පවතියි. ඒ අුනව එහි කථා නායිකාව වු සූරූපී සීතා කුමරිය පැහැරගන්නේ ලක්දිව යක්‍ෂ ගෝත්‍රික පාලක රාවණයන්ය. ඒ ඇයව විවහ කරගැනීමේ අභීලාෂයෙනි. අවසනදී රාවණ සිය භූමිය ද දවා හඵකරගැනීමකට ලක්ව සිය කිරුළ ද අහිමිව අවසනදී සිතාවන්ගේ වල්ලභ රාම කුමරු අතින් ජීවිතක්‍ෂයට පත්වෙයි. එහෙත් හෙළ පුරාණය මතුකරගන්නට වෙහෙස වු මෑත කාලීන විද්වතුන් වූ දිවංගත අරිසෙන් අහුබුදු ශූරීන් ද ඒ පිළිබඳව පර්යේෂාත්මක කෘතියක් රචනා කළ සංස්කෘත භාෂාවේ ප්‍රමාණික විද්වතෙකු වු නැසිගිය නාගොඩ ආරියදාස සෙනෙවිරත්නයන් වැන්නෝද දැරුවේ වාල්මිකි සෘෂිවරයාගේ රාමායනයට වෙනස් මතයකි. 

70 දශකයේදී අතිශය ජනප්‍රසාදයට පත් ගුවන් විදුලි සහ වෙළඳ තැටි ගී මහත් රාශියක් පබැඳු දිවංගත කේ ඩි කේ ධර්මවර්ධන ගුවන් විදුලි නිවේදක වැඩසටහන් සම්පාදක රසවතාණෝ තමා රාමායනය පුවත ඇසුරෙන් ලියු එක් ගීයකින් පෙර කී ලාංකීය විද්වතුන්ගේ මතය ට අනුකුලතාවය දක්වයි. ඒ විරහශෝකාලාපය ද හඞ මුසුකලේ වින්සන්ට් ප්‍රේමසිරිය. එය එකල ඔහුගේ දෙවැනි ජනප්‍රියතම ගීතයයි. රසිකයන් ඔහුව දැන හැඳිනගත් නිර්මාණයයි. එහි සත්සර ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේය

මෙහිදී ඔහු රාමායන මහා කාව්‍යයේ අපුරූවට සාරංශ ගත කරනු ලබන්නේ එහි සිය මතවාදය පැහැදිළිව ශ්‍රාවකයාට සංවේදනය කරන්නට ඉඩහසර සළසමිනි.  වින්සන්ට් ප්‍රේමසිරි කලාකරුවා ගේ භාවපූර්ණ ගී හඞින් ඒ පදපෙළ ජීවය ලබා රාවණ නරපතියා වෙත රචකයා අපේක්‍ෂිත දයානුකම්පාව මනාලෙස අත්කරදෙයි. ඊට රසික ඔබද සාක්‍ෂි නොදරන්නේද ?


සීතාවනි ඔබ හැඩ රුව ඇති බව...

දිවිහිමියෙන් පතිදම් සුරකින බව...

දනිමි ඔබත් දැනගත යුතු මේ බව...

ඔබේ සෙනෙහස මට ඕනෑ නැති බව...

මගේ කුලගොත වත...

ඉහළයි හැමවිට ...

දෑ අභිමානය රකිනෙමි හැමවිට...

අන්සතු අගනක් සිරකරගැනුමට...

දීන නෙවෙයි මේ රාවණ පෙළපත....

මගේ සෙහොයුරියක් පෙර දවසක්දා..

රාම කුමරුගෙන් හිරිහැර වින්දා ...

පිළිතුරු ලෙස ඔබ සිරකර තැබුවා..

රජපෙළපත අභිමන් ජය ලැබුවා ...
-------

සවන්දෙන්න මෙතැනින්


මෙයාකාරයෙන් වින්සන්ට් ප්‍රේමසිරි සංගීතවේදී සුළවතාණෝ රාවණ නරපතියා සහ කාලගෝල අසරණ ගැමියා යන දෙදෙනා අරභයා ශ්‍රාවක අපේ දෙඇස් කෙවෙණි තුළ කදුඵ බිඳුවක් නංවන්නට සමත්වෙති. ඔවුහු මනංකල්පිත චරිත විය හැකිය. එහෙත් අව්‍යාජ නිර්මාණකරුවන්හට  මානව චිත්තාවේග ප්‍රකම්පනය කරන්නට සිමා මායමි නැති බවට මෙව් කදිම නිදසුන්ය. අවසනාවකට ඔවුන්ගේ පරපුරේ නික්ම යෑමෙන් අනතුරුව හෙළ කලා අඹරේ මෝදු වු අඥානත්වයේ අඳුරු කඵ වලාපටල දැන් දැන් අප හිස මතින් ඇදී, යමින් පවතී. එය කිසියම් මොහොතක හෝ ජනු සාහිත්‍යයේ විස්තර කෙරෙන  මුරුගසං වරුසාව අපගේ හිසමත පතිත කරවනු ඇත. එයින් පසු මේ භූමිය කලා - රසය සෝදාපාඵවී ගිය පාලු මුඩුබිමක් බවට පත් වෙනු ඇද්ද?

යළි මුණගැසෙන තුරු සමාප්තය සටහන් කරමි

එදා ඇසුණු ගී - ගී මුතුමාලා බ්ලොග් ලිපි එකතුව
ප්‍රභාත් රාජසූරිය - 2022 වප් මසින් දසසතරවැනි දාතමෙනි.


6 comments:

  1. වින්සන්ට් ප්‍රේමසිරි යන නාමය රසිකයින්ට හඳුන්වා දුන් ගීත දෙක තමයි "සීතාවනි" සහ "දික්තලා නංගියේ". ඉහතින් කියැවුණු විදිහට ම එදා රචකයින් අපිට හුරු කතාවල අපි නොහිතන වෙනස් ම මානයන් ගැන සුන්දර පද රචනාවන් කළා.. මේ ගීත දෙකත් එවැනි ගීත..
    ඒ වගේම‍යි ප්‍රභාත් ඉදිරිපත් කරලා තියෙන අනෙක් ගීතත්..මේ ලිපිය කියවද්දී මට තව ගීත දෙකක් මතක් වුණා ඔය ආකාරයේ ඒවා..
    "අභියාචනයක් පිළිගන්වන්නට" - වික්ටර් රත්නායක (කේ.ඩී.කේ.)
    "රාම කුමරුනේ ඇත්ත කියන්නම්" - මාලිනී බුලත්සිංහල (දයා ද අල්විස්)
    බොහොම ස්තුතියි ප්‍රභාත්, අනාගත රසිකයින් වෙනුවෙන් මේ කරන කැප කිරීමට...
    "

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ අදහස් උදහස් මා දිරිගන්වයි.

      Delete
  2. ගොඩාක් උසස් කටයුත්තක් .. මේ කාලේ අසන්නට අතිශයින්ම දුර්ලබ මේ සිතාවනි.. වැනි ගිත.. කොයිතරම් රසවත්ද අතිතයේ නැවතමොහොතකට හෝ ජිවිත් කරවු ඔබට ගොඩාක් පිං.. සිකුරැලියා ගිතය අද තමා රැප රාමු සමග රසවින්දේ බුදුසරණයි ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ...! අවංක අදහස් මෙසේ ලියා තැබීම ගැන.

      Delete
  3. මත් ගානවා වාගෙය ඔබ කිරි සයුර
    මතු වෙයි නොයෙක දේ බෙදමින් අම මිහිර
    සරු තොරතුරුය ඇත්තේ නොදකින නිතර
    තව ලියපන්න මිතුරේ, ලිපි රසාකර!

    ReplyDelete
    Replies
    1. කිරි සයුරේ තිබුනා අගනා වස්තු
      කළතා එය අරගත්තා දෙව් පුත්තු
      කලා සයුරේ මිණිමුතු පාදා ගත්තු
      රසඋල්පත් ගඟුළැල්ලයි මේ වස්තු

      Delete